සිංහල ඉස්ලාමයෙහි අභියෝගය | The challenge of Sinhalese-Islam
Posted by
Taboo on May 27, 2010
[FONT="][/FONT]
කවර හෝ ආගමක් (මාක්ස්වාදයද ඇතුළුව) පූර්ණ ලෙස විද්‍යාත්මක හෝ තාර්කික වේය සිතන්නෝ දුහුනෝය. ආගම් නිර්මාණය වී ඇත්තේ නැණවතුන්ගේ බුද්ධි වර්ධනයට වඩා මෝඩයින්ගේ විනය පවත්වා ගැනීම සඳහාය. ඉස්ලාමය ඊට හොඳම නිදර්ශනයකි.
ඉස්ලාමය මේ වන විට ලෝකයේ භාවිතා වන ප්රමුඛ ආගම් අතුරින් අතාර්කිකම හා අවිද්‍යාත්මකම ආගමය. (උදා: ගව මස් කා ඌරු මස් නොකන්නැයි කීමේ ඇති තර්කයක් හෝ විද්‍යාවක් නැත.) එසේම එය දළදඬූ ආගමකි. වර්තමානයේදී සකල සමයාන්තර වැඩිම මානව-ඝට්ඨනෝත්පාදක (conflict-inflicting) ආගම සේද ඉස්ලාමය සැලකිය හැකිය. වසර තිහ හතළිහකට ඉහත මාක්ස්වාදය තම විශ්කම්භීය එදිරි දෘෂ්ඨිය සේ දුටු බටහිර ලෝකය දැන් එතැනට ඉස්ලාමය ආදේශ කොට සිටියි. ඒ හේතූන් ඇතිවය. මේ මොහොතෙහි ‘ගෝලීය ධනවාදයට’ වැඩිම තර්ජනයක් එල්ල වන්නේ මාක්ස්වාදයෙන් නොව ඉස්ලාමයෙනි. මේ මාක්ස්වාදයෙන් එල්ලවූවාක් බඳු දාර්ශනික තර්ජනයක් නොවතුදු නොසලකා නොහැරිය හැකිය.
ඉස්ලාමය මේ ඉරණමට මුහුණ දීම අවාසනාවන්ත වෙතත් අහම්බයක් නොවේ. හැම අනම්‍ය ආගමක්ම පාහේ තම පරිණාමයේ යම් අවදියකදී දෘඪ ලක්ෂණ පළ කරයි. එක් යුගයක කිතු දහම යුද්ධ රාශියක මූල බීජය වූයේය. යේසුස්ගේ නාමයෙන් මරු වැළඳ ගත්තෝ මිලියන ගණනකි. (පූර්ණ නිරවද්‍යතාව විවාදාපන්න වුවද ඩැන් බ්‍රවුන්ගේ The Da Vinci Code මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් සපයයි.) එසේ වීම යේසුස්ගේ හෝ ‘දෙවියන් වහන්සේගේ’ වරදක් නොව එය ඇදහූ ජන සමාජය නූතන නොවීම පිළිබඳ ගැටළුවකි. කිතුණු ප්‍රජාවට ඉන් මිදී ස්වකීය ආගම සමාජ ප්‍රගමණයට බාධාවක් නොවන ධර්මයක් කරගත හැකි වූයේ මධ්‍යතන යුගයේදී ආරම්භ වූ රෙපරමා (reforms) ගණනකින් පසුවය. මේ රෙපරමා විසින් රෝමයේ කතෝලික පල්ලියේ තනි ආධිපත්‍යය අභියෝගයට ලක් කෙරුණු අතර රෙපරමාදු, ප්‍රොතෙස්තන්ත, මෙතෝදිස්ත, ඇන්ග්ලිකන් වශයෙන් නිකාය ගණනාවකට ඒ මධ්‍යගත බලය බෙදා දෙනු ලැබිණි. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ එක් එක් නිකායට සාපේක්ෂව නිදහස් හැසිරීමක් ලැබීම තුළින් කිතු දහමේ නම්‍යතාවය (flexibility) ඉහළ යෑමයි. පාප්ගේ කතෝලික ආධිපත්‍යය නොපිළිගන්නකුට වුව ඉන්පසුව වෙනත් නිකායෙක සාමාජිකයකු වන්නට බාධාවක් නොවීය. එසේම දේශය (nation) යන සංකල්පයේ ආරම්භයත් සමඟ මිනිසුන් ආගමින් ඈත්කොට ඔවුන්ගේ සමර්පණය (dedication) වෙනත් දිශාවකට යොමු කරණු ලැබිණි. ඉන් පෙර යුරෝපීයයන් සටන් කළේ ගෝත්‍රික නායකයා/රජු හෝ ආගම වෙනුවෙනි. ඉන්පසු එය රට වෙනුවෙන් සටන් කිරීමකට පරිවර්තනය විය. මෙහි ඍජු ප්‍රතිඵලය වසර දහස් ගණනක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන, වැරදි අරුත් දැක්වීම් වලට ඇතිතරම් ප්‍රස්ථාවන් ඇති ග්‍රන්ථයකට මූලධර්මවාදීව වහල් වෙනවාට වඩා අවබෝධයෙන් යුතුව, පිළිකෙව් කළ යුතු දේ පිළිකෙව් කොට, ආගම ඇදහීමට ක්‍රිස්තු භක්තිකයින්ට ඉඩ ලැබීමයි. තවදුරටත්, අන්තවාදී අතළොස්සක් හැර, පොදු කිස්තු භක්තිකයා ‘දෙවියන් වහන්සේ විසින් ලෝකය නිර්මාණය කිරීම’ බයිබලයේ එන ආකාරටම විශ්වාස නොකරන්නේ එහෙයිනි. ඉස්ලාමයෙහි අල්ලාහ් මෙන් නොව ක්‍රිස්තු භක්තිකයන් අතර ‘දෙවියන් වහන්සේ’ සම්බන්ධ විහිළු රාශියක් ගෙතී ඇත්තේද, පොදු ක්‍රිස්තු භක්තිකයා ඒ ගැන උපේක්ෂාවෙන් බලන්නේද එහෙයිනි. ඉස්ලාම් භක්තිකයින්ට සල්මාන් රුෂ්ඩිගේ The Satanic Verses ප්‍රශ්නයක් වූ ලෙස ක්‍රිස්තු භක්තිකයින්ට The Da Vinci Code ප්‍රශ්නයක් නොවූයේ එහෙයිනි. තව දුරටත් කිතු දහම යුද්ධෝත්පාදක නොවන්නේද එහෙයිනි.
ඉස්ලාමයෙහි අභාග්‍යය එය කවර හෝ කාලයෙක මෙවන් රෙපරමා වලට ලක්ව නොතිබීමයි. එනිසා එහි ආරම්භක මූලධර්මවාදී (fundamentalist) ස්වභාවය තවමත් එසේම නොනැසී පවත්නේය. මෙය ඉස්ලාම් භක්තිකයන් දකින්නේ ස්වකීය ආගමෙහි ප්‍රබලම අංගය ලෙසය. එහෙත් මැදහත්ව හා ප්‍රායෝගිකව සිතන්නකු දකිනු ඇත්තේ මෙය ඉස්ලාමයෙහි ලොකුම දුර්වලතාව බවය. මෙයද සර්වබලධාරී ‘අල්ලාහ් දෙවියන් වහන්සේගේ’ හෝ මහම්මද්ගේ වරදක් සේ හඳුනාගත යුතු නැත. ආගම් අදහන්නෝ පුහුදුන් මිනිස්සුය.
මේ දීර්ඝ අටුවාව අවශ්‍ය වන්නේ ඉතිහාසයෙහි පළමු වතාවට සිංහල ඉස්ලාමයක් බිහිවන පරිසරය හඳුනාගනු පිණිසය.
සිංහල ඉස්ලාමයක් බිහිවීම පුදුමයට කාරණාවක් නොවේ. සැබැවින්ම එය විය යුතුව තිබුණේ සියවස් ගණනකට ඉහත, පෙර රජ දවස මහම්මදිකයින් මෙරට ස්ථිර පදිංචිකරුවන් වූ අවදියේදීය. උදාහරණයක් හැටියට කිතුණු දහම සිංහලීකරණයේ ආරම්භය පෘතුගීසි යුගය දක්වාම දිවෙන්නකි. සියවසෙකට ඉහතදීත් පල්ලියේදී සුවාමි සිංහලයින් වෙනුවෙන් යාඥා කළේ සිංහලෙනි. දෙමළුන් වෙනුවෙන් දෙමළෙනි. යුරෝපීය භාෂාවෙකින් නොවේ. ඉස්ලාමය මෙසේ සිංහලීකරණය නොවූයේ කලින් කී දෘඪ බව නිසා විය යුතුය. අදත් “අල්ලාහු අක්බර්…” කියන්නේ දෙමළෙන්වත් සිංහලෙන් වත් නොවේ.
පමාවී හෝ ඉස්ලාමය සිංහලීකරණය (=දේශීයකරණය ) වීම ගැන අපට සතුටු විය නොහැක්කේ එය එසේ වන්නේ තම සහජ දෘඪ ලක්ෂණ එකක් වත් අත නොහැර දමමින් නිසාය. කිතුදහම දේශීයකරණය වූ හැම කල්තරයෙකම එය වූයේ එකී කල්තරයන්හි යම් යම් අංග ආදේශ කරගනිමිනි. එසේම ඒ ඒ රටවල පැවති ආගමයන්ට ඍජු අභියෝග නොකරමිනි. ජාකොබ් ගොන්සාල්වේස්ලා, ෆ්‍රැන්සිස් සේවියර්ලා සිය දහම ප්‍රචාරය කිරීමට දේශීය කල්තරයෙන් උකහාගත් යම් යම් දේ (සංගීතය හා භාෂාවද ඇතුළුව) උපයෝගී කොට ගත්තා මිසෙක පවත්නා හින්දු හෝ බෞද්ධ ආගම් වලට ඍජුව අභියෝග කරන තැනකට ගියේ නොවේ. පානදුරාවාදය බඳු මතවාදී ගැටුම් ඇති වුවද ඒ කිසිවක් අතින් පයින් බේරා ගන්නා තරමට දුර ඇදී නොගියේ එනිසාය. සිංහල කිතුණු කල්තරයක් ගැන අපට කතා කිරීමට ඉඩ ලැබී ඇත්තේ එනිසාය.
වත්මන් ‘සිංහල ඉස්ලාමයෙහි’ නයුවන් වන අන්වර් මනතුංගලාගේ ක්රමෝපායයන් ඉඳුරා වෙනස්ය. ඉස්ලාමය පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා වෙනුවට මනතුංගලාට අවශ්‍යව ඇත්තේ බුද්ධාගම (හා බුද්ධ ධර්මය) අභියෝගයට ලක් කිරීමය. (පහත වීඩියෝව බලන්න.)
[FONT="][/FONT]
අද අපේ රටේ ඇදහෙන ආකාරයට ‘සිංහල-බුද්ධාගම’ යනු ගෞතමයන් විසින් වදාළ දහමින් බොහෝ ඈත, මිථ්‍යා මතයන්ගෙන් ගහණ එකක් බව අමුතුවෙන් කිවමනා නොවේ. බෞද්ධ දර්ශනයේ හරය හා ඇදහීම අතර වෙනස අද ලක්ෂ ගණන් ජනතාව ‘බුදුරැස් මැජික්’ බලන්නට එක් රොක් වන තැනට විස්තාරණය වී ඇත. එහෙත් ඊටත් වඩා මිථ්‍යාවන්ගෙන් ගහණ විකල්ප ආගමක් ප්‍රචාරය කිරීමට තැත් කරන මනතුංගලාට එය ගැටළුවක් විය යුත්තේද? බෞද්ධයින් ඉස්ලාමයෙහි මූලධර්මවාදී කාරණා ගැන කථා නොකරන පරිසරයක් තුළ මනතුංගලාට බුද්ධ ධර්මයෙහි මූලධර්මවාදී කාරණා ගැන කතා කිරීමට ඇති අවශ්‍යතාව කවරේද?
මෙයින්ද එපිටට ගොස් ‘සිංහල බෞද්ධයින්’ හා ඕනෑකමින්ම කොක්කක් ඇද ගැනීමේ උවමනාව දීර්ඝ කාලයක් තිස්සේ සිවුරෙහි හිඳ එය හැරගියකු ඉස්ලාම් ආගම ප්‍රචාරණයට යොදා ගැනීමෙන් පෙනේ. (පහත වීඩියෝව – මෙය ඇඳුතු වීඩියෝ ක්ලිප් පහකින් පළමුවැන්නය. ඉතිරිවා You Tubeහි අන්තර්ගතය.)
[FONT="][/FONT]
ඕනෑම කෙනකුට තම ආගම වෙනස් කිරීමට ඇති අයිතිය සේම එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට ඇති අයිතියටද අප ගරු කළ යුත්තේ ඒ මූලික මිනිස් අයිතීන් සේ සලකාය. එහෙත් ඇමතිකමකට හා ධන ධාන්‍යයට ලොබ බැඳ ආණ්ඩුවට පනින යූ එන් පී ගෙම්බෙකු දේශයට ඇති ආදරය නිසාම මේ තීරණය ගත්තාය කියනු ඇසීමේදී දැනෙන අපුලම අපට මෙහිදී දැනේ. ආගම වෙනස් කිරීම සාධාරණීකරණයට මේ පුද්ගලයා දෙන හේතුන්ගේ බොළඳ බව මොහොතකට සලකන්න. වැසි වැසීමේ ක්‍රියාවලිය නොතේරුණු පමණින් ආගම් වෙනස් කරන්නෝත් වෙතිද? වැසි වැස්සවීම අවශ්‍යයෙන්ම කවුරුන් විසින් හෝ කළ යුතුය සිතන්නේ නම් නුදුටු අල්ලාහ් විසින් එය කරනු ලබන්නේය යන මිථ්‍යාව වෙනුවට නොදුටු බෞද්ධ දේවතාවන් විසින් එය කරන්නේය යන වඩා සමීප මිථ්‍යාව කරා එළඹීමට ඔහු තැත් නොකරන්නේ ඇයි?
අපේ රටේ බෞද්ධයින් සේ හැඳින්වෙන සියල්ලන් බෞද්ධ දර්ශනයෙහි සැබෑ හරය වටහාගත්තවුන් නම් මනතුංගලා මොන තරම් බයිලා කීවත් එය ගැටළුවක් නොවේ. මෙබඳු බොළඳ, අතාර්කික කතා වලින් සැලෙන්නට තරම් ගෞතමයන්ගේ ධර්මය සැබෑ ලෙස අනුගමණය කරන්නෝ මුග්ධයෝ නොවෙති. “මුන්ට අර පයිත්තියන්” කියා ඔවුන් එය දණින් උඩට නොගනු ඇත්තේය. නමුත් හැම ආගමකම සේම දර්ශනයෙහි හරය අවබෝධ නොකොටගෙන අන්ධානුභක්තියෙන් කටයුතුකරන අඥාණයෝ අද අපේ රටේ බෞද්ධයින්ය කියාගන්නා පිරිස අතරෙහිද වෙති. මෙවැනි කතාවලින් අධෝ මාර්ගයට ගැටැති මුගුරක් ඇතුළු කළාක් මෙන් දැඩි ලෙස රිදෙනු ඇත්තේ ඔවුන්ටය. දැනටම සිංහල ඉස්ලාමයට එරෙහිව මහා පරිමාණ රිටර්න් එකක් ආරම්භ වී ඇත්තේ එනිසාය. මේ ක්‍රියාවෙහි හා ප්‍රතික්‍රියාවෙහි අවසානය ගැන අපට සිතිය නොහැක්කේ මෝඩයින් දෙපිරිසක් ඇවිළුණු විට එය කොයි අතකට යාද අල්ලාහ්ටවත් සිතන්නට නොහැකි නිසාය. අපි ඒ මඩ සටනෙහි නිරීක්ෂකයෝ පමණක් වෙමු.
මෙබඳු මුග්ධ ක්‍රියා නිසා, ජාතික දේශපාලනයේදී කෙසේ වෙතත් ගම් මට්ටමේදී තවමත් නොපළුදු වී ඇති සිංහල මුස්ලිම් සබඳතා පළුදු වුවහොත් අන්වර් මනතුංගලා පළමුවද පෙරමුණේරාළලා දෙවනුවද ඒ වගකීමද ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු. කවුදෝ කීවාක් මෙන් අපට තාමත් අඩුවකට තිබුණේ මුස්ලිම් ප්රභාකරන් කෙනකු පමණය. මේ යන විදියට එවැන්නකු පහළ වීමද හුදෙක් රෑ මැදියමේ දකින භයානක සිහිනයක් පමණක්ම නොවනු ඇත්තේය.
Taboo Subjects