-: Lak Seya :- Travel Sri Lanka

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    934861_112602835616473_362807108_n.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලංකාවේ උඩවැඩියා එකතුවට නව සාමාජිකයෙක්

    ලංකාවේ උඩවැඩියා එකතුවට නව සාමාජිකයෙක්



    Nervilia plicata

    P6088506.JPG


    පසුගිය වසර කිහිපයෙහි මෙරට වනාන්තර ආශ‍්‍රිත ව කරන ලද පර්යේෂණයන්හි ප‍්‍රතිඵලයක් ලෙස තවත් උඩවැඩියා විශේෂ කිහිපයක් අලූතින් සොයා ගැනීමටත්, ඉතා දුර්ලභ විශේෂ කිහිපයක් නැවත වාර්තා කිරීමටත් සත්‍ය සොබා සංරක්ෂණ සංගමයේ සාමාජිකයනට හැකි විය. ශ‍්‍රී ලංකාව තුළ උඩවැඩියා විශේෂ 188 ක් පමණ වාර්තා වී ඇති අතර, ඉන් විශේෂ 69 ක් මෙරටට ආවේණික වෙයි. ඒ අතුරින් නර්වේලියා ප්ලිකේටා (Nervilia plicata) විශේෂය ලංකාවේ උඩවැඩියා නාමාවලියට නව විශේෂයක් ලෙස එක් කිරීමට මේ පර්යේෂකයෝ සමත් වූහ.

    මේ විශේෂය සමඟ වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ උඩවැඩියා විශේෂ 189 පමණ වාර්තා වෙයි.


    වර්ෂ 1898 දී උද්භීද විද්‍යාඥ ජේ.ඞී. හූකර් (J.D. Hooker) විසින් නර්වේලියා (Nervilia) ගණයට අයත් හඳුනා නොගත් විශේෂවල නිදර්ශක කිහිපයක් පේරාදෙණිය ශාකාගාරයේ ඇති බව සඳහන් කර තිබේ. නර්වේලියා ගණයට අයත් විශේෂයක් 1968 දී උද්භිද විද්‍යාඥ ඞී. මුයිලීර් බොම්බොයිස් මහතා(D. Mueller Bombois) යාල වනෝද්‍යානයෙන් වාර්තා කර තිබේ. මේ විශේෂය එක් නිදර්ශකයකට පමණක් සීමා වී ඇති නිසා, නිසියාකාර ව හඳුනා ගැනීමට අපහසු ය. එහෙත් මේ නිදර්ශකය නර්වේලියා ජුලියානා(Nervilia juliana) නමින් නම් කර ඇති අතර, එය දැනට පේරාදෙණිය ශාකාගාරයේ තැන්පත් කර තිබේ. අප විසින් ඉහත සියලූ ම නිදර්ශක අධ්‍යයනය කරනු ලැබීමේ දී තහවුරු වූයේ නර්වේලියා ජුලියානා සහ නර්වේලියා ප්ලිකේටා යන විශේෂ දෙකට ම අයත් නිදර්ශක අදාළ එකතුවේ අන්තර් ගත වන බව යි.


    නර්වේලියා ප්ලිකේටා බීජ පලය

    DSCF4696.JPG



    පේරාදෙණිය, ශාකාගාරයේ උඩවැඩියා නිදර්ශක අතර, උද්භිද වි්‍යාඥ ඒ.එච්.එම්. ජයසූරිය මහතා විසින් 1994 මාර්තු 20 වන දින බලංගොඩ, නැෙඟනහිර බෙලිහුල්ඔය ප‍්‍රදේශයෙන් මීටර 800 ක උච්චත්වයෙන් යුත් ප‍්‍රදේශයකින් එකතු කැරුණු මේ ගණයට අයත් ශාක පත‍්‍ර නිදර්ශක 5 ක් වෙයි. ඒ නිදර්ශකNervilia juliana ලෙස නම් කර තිබුණ ද අප විසින් ඒවා පරීක්ෂා කරනු ලැබීමේ දී පෙනී ගියේ Nervilia plicata විශේෂයට අයත් වන බව යි.


    නර්වේලියා ගණයට අයත් උඩවැඩියා විශේෂ 100 ක් පමණ අප‍්‍රිකාවේ සිට ඉන්දියාව, චීනය, මැලේසියාව, ඕස්ටේ‍්‍රලියාව, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, ඔරිස්සා, මියන්මාරය, තායිලන්තය හා ජාවා වැනි රටවල වාර්තා වේ.


    නර්වෙලියා උඩවැඩියා විශේෂ භෞමික රයිසෝමයකින් සමන්විත වන අතර, පත‍්‍ර සහ පුෂ්ප එක ම අවස්ථා වේ නො හටගනී. මේ නිසා නර්වේලියා විශේෂ පිළිබඳ අධ්‍යයනය අසීරු වී ඇති අතර, හඳුනාගැනීම සඳහා වැඩි කාලයක් ගත වේ. නර්වේලියා ගණයට අයත් උඩවැඩියා විශේෂ එක් පත‍්‍රයකින් පමණක් සමන්විත වන අතර, විශේෂ අනුව පුෂ්ප එකක්, දෙකක් හෝ කිහිපයක් හටගනී.


    නර්වේලියා ප්ලිකේටා රයිසෝමය
    DSCF4549.JPG


    අනෙකුත් උඩවැඩියා විශේෂවලට වඩා වෙනස් වූ පත‍්‍ර වින්‍යාසයක් ඇති නිසා මේ ගණයට අයත් විශේෂ හඳුනාගැනීම පහසු ය. පත‍්‍ර වියළී ගිය පසු පොළොව තුළ ඇති රයිසෝමය නිද්‍රා ගත වන අතර, නව වර්ධනයත් සමඟ පුෂ්ප හටගැනීම සිදු වේ. මල් කිනිත්ත වියළී යෑමෙන් පසු ඒ රයිසෝමයෙන් ම නව පත‍්‍ර හට ගැනීම සිදු වේ. පත‍්‍ර සහ පුෂ්ප එකවර දැකිය නො හැකි නිසා බොහෝ විට මේ විශේෂය මෘතෝපජීවී උඩවැඩියා විශේෂයක් ලෙස වරදවා වටහාගැනීමට හැකියාව පවතී.


    හෘදාකාර හැඩයක් ගන්නා නර්වේලියා ප්ලිකේටා ශාක පත‍්‍රයේ පළල සෙ.මී. 7.7 ත් 10.8 ත් අතර වේ. පත‍්‍රයේ දිග සෙ.මී. 7.5 ත් 11.1 ත් අතර වේ. පත‍්‍ර පොළොව මත ඇලී පවතී. පත‍්‍ර දෙපස ම බූව සහිත ය. පත‍්‍රයේ ප‍්‍රකට ව නාරටි විහිදී පවතී. නාරටි මත ද බූව පිහිටයි. පත‍්‍ර තද දම් පැහැයක් හෝ තද කොළ පැහැයක් ගනී. ආලෝකය ලැබෙන ප‍්‍රමාණය අනුව පත‍්‍රවල පැහැය තීරණය වේ. මල් නටුව සෙ.මී. 6.4 ත් 14.5 ත් අතර උසින් යුක්ත වේ. සාමාන්‍යයෙන් පුෂ්ප දෙකක් හටගනී. පුෂ්ප දම් සහ කොළ පැහැයක් ගනී. පුෂ්ප සුවඳවත් ය. හොඳින් විවෘත වූ විට පුෂ්පයක විශ්කම්භය සෙ.මී. 6 ක් පමණ වේ. ප‍්‍රධාන වශයෙන් පුෂ්ප පහතට නැමී පවතී. මනි පත‍්‍ර දුඹුරු පැහැයට හුරු කහ පැහැති ය. මනි පත‍්‍රවල පළල සෙ.මී. 1 . 5 - 2 . 5 ත් අතර වේ. මනි පත‍්‍රවල දිග සෙ.මී. 2 . 5 ත් 4 ත් අතර වේ. දළ පත‍්‍ර දුඹුරු පැහැයට හුරු කහ පැහැයෙන් හෝ දම් පැහැයෙන් යුක්ත වේ. එහි නාරටි දම් පැහැයට හුරු රතු පැහැයක් ගනී. දළ පත‍්‍රවල පළල සෙ.මී 1 . 4 - 2 . 2 ත් අතර වේ. දිග සෙ.මී. 2 . 5 - 3 අතර වේ. අධරයේ මධ්‍යය දුඹුරු පැහැයට හුරු කහ පැහැති ය. එහි දුඹුරු පැහැයට හුරු දම් පැහැති නාරටි සහිත ය. මුල් සහ ධාවක කොටස් බොහෝ විට එක හා සමාන ස්වරූපයක් ගනී. සත්‍ය මුල් ඉතා කෙටි ය. එය රයිසෝමයේ බැඳී පවතී. මාංසල රයිසෝමයේ ජලය ගබඩා කර ගත හැකි ය.


    නර්වේලියා ප්ලිකේටා පත්‍රය
    Np.JPG



    රයිසෝමය පොළොව යට දී ලා කහ - සුදු පැහැයෙන් යුක්ත වේ. මෙය සූර්යාලෝකයට නිරාවරණය වූ විට හරිතප‍්‍රද නිපදවමින් කොළ පැහැයට හැරේ. එවිට පත‍්‍ර හා පුෂ්ප හට ගැනීම ඉක්මන් වේ. රයිසෝමයේ පත‍්‍ර වියළුණු ස්ථාන වලින් නව පුෂ්ප හටගැනීම සිදුවන අතර හරස් ගැටිති වලින් නව පත‍්‍ර හටගනී. වියළි කාලයේ නිද්‍රාගත වන අතර වර්ෂා කාලය ආරම්භයත් සමඟ පත‍්‍ර වර්ධන සිදු වේ. මඳ ආලෝකය යටතේ මේ ශාක වර්ධනය වීම විශේෂත්වයකි.


    පුෂ්ප හටගැනීම මාර්තු, අපේ‍්‍රල් හා මැයි මාසවල සිදු වේ. පුෂ්ප හටගැනීමෙන් දින 4 - 5 ක් ඇතුළත මල් වියළී යයි. ශාකාගාර නිදර්ශකවල මල් අඩංගු නො වීමට මේ තත්ත්වය බලපා තිබේ. මල් වියළී යෑමට පෙර පරාගණය සිදු වුව හොත් බීජ ඵලයක් හට ගන්නා අතර, අප ගේ නිරීක්ෂණවලට අනුව බීජ ඵලය දින 15 ක දී පුපුරා බීජ ව්‍යාප්තිය සිදු වේ. මෙය අප දන්නා සියලූ ම උඩවැඩියා විශේෂ අතුරින් ඉතා කෙටි කාලයක දී බීජ ව්‍යාප්තිය සිදු වන විශේෂය ලෙස සැලකිය හැකි ය.

    අප ගේ අධ්‍යයනයන්හි දී මේ විශේෂය පළමු වරට කොස්ලන්ද ප‍්‍රදේශයෙන් වාර්තා කිරීමට හැකි විය. පසු ව රාවණා ඇල්ල, බලංගොඩ යන ප‍්‍රදේශවලින් ද වාර්තා කරන ලදී. මේ ප‍්‍රදේශවල මීටර 700 ත් 1000 ත් අතර උච්චත්ව පරාසයේ දී වාර්තා විය. වාර්තා වූ ප‍්‍රදේශවලින් ලබා ගන්නා ලද නිදර්ශක පේරාදෙණිය උද්භිද උද්‍යානයේ, ශාකාගාරයේ අංකA.P. 2011/3/1-PDA, A.P. 2011/3/2 - PDA yd A.P. 2011/3/3 - PDA යටතේ තැන්පත් කර තිබේ.


    මේ විශේෂය වාර්තා වූ සියලූ ම ස්ථාන අතරමැදි කලාපයේ සැවානා වර්ගයට අයත් අරළු, බුළු, නෙල්ලි ආදී ශාකවලින් යුත් පරිසර පද්ධති වීම විශේෂත්වයකි. ඒ පරිසරවල තෙතමනය සහිත තණ බිම්වල මේ ශාකය වාර්තා වේ. යෝජිත උමාඔය ව්‍යාපෘතියේ විදුලි රැුහැන් පද්ධතියේ ගමන් මාර්ගය තැනීමට නියමිත ප‍්‍රදේශය මීට ඇතුළත් වේ. ඒ තත්ත්වය මේ ශාකයේ පැවැත්මට කෙතෙක් දුරට බලපානු ඇද්ද යන්න පිළිබඳ ව අවධානය යොමු කිරීම ඉතා ම වැදගත් වේ.


    ශාකය වාර්තා වන පරිසර පද්ධතිය
    P7209128.JPG



    මේ උඩවැඩියා ශාකය වාර්තා වන පරිසරවල හමු වන අනෙකුත් උඩවැඩියා විශේෂ අතර, හබනේරියා (Habenaria) ගණයට අයත් විශේෂ ප‍්‍රමුඛ වේ. මේ ශාකයට ස්වාභාවික ව පවතින තර්ජන කිහිපයකි. ශාක පත‍්‍ර හන්ගොල්ලන් සහ ගොළුබෙල්ලන් ආහාරයට ගැනීම තර්ජන අතුරෙන් ප‍්‍රධාන වේ. විශේෂයෙන් ආගන්තුක ආක‍්‍රමණික ගොළුබෙල්ලන් විශේෂයක් වන කළුතර ගොළුබෙල්ලා (Achatina fulica) මේ ශාක පත‍්‍ර ආහාරයට ගැනීම සිදු කරයි. මේ ශාක පත‍්‍රවල යුෂ උරාබීම කූඩිත්තන් විසින් සිදු කරන බව අප ගේ නිරීක්ෂණයන්ට ලක් විය. වල් ඌරන් ශාකයේ රයිසෝමය ආහාරයට ගැනීම සඳහා පස පෙරළා ඇති අවස්ථා කිහිපයක් ම ක්ෂේත‍්‍රයේ දී නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබිණි.


    ශ‍්‍රී ලංකාවේ අතරමැදි කලාපයේ හමු වන මේ උඩවැඩියා විශේෂය ඒ ප‍්‍රදේශවල බහුල ව සිදු වන පතන් ගිනි තැබීම හේතුවෙන් විනාශයට ලක් වේ. මේ ප‍්‍රදේශවල සැවානා වනාන්තර ඉඩම් අනවසරයෙන් එළි පෙහෙළි කර සිදු කරන රබර්, තේ සහ අනෙකුත් ගෙවතු වගාවන් හේතුවෙන් මේ ශාක විශේෂයේ වාසස්ථාන විනාශයට පත් වෙමින් පවතී. මීට අමතර ව පතන් බිම්වල පයිනස් සහ යුකලිප්ටස් වන වගා ඇති කිරීම නිසා මේ උඩවැඩියා විශේෂයේ වාසභූමි තර්ජනයට ලක් ව ඇත.


    ඌව සැවානා පරිසර පද්ධති ඉතා අල්ප වශයෙන් අධ්‍යයනයට ලක් වී ඇති නිසා තවත් මෙවැනි ශාක වාර්තා වීමේ හැකියාව පවතින බැවින් වැඩිදුර අධ්‍යයනය කළ යුතු ව ඇත.


    අජන්ත පලිහවඩන
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මස් වැද්දන් ගේ ගොදුරු බවට පත් වූ ලංකාවේ ඉබ&#35

    මස් වැද්දන් ගේ ගොදුරු බවට පත් වූ ලංකාවේ ඉබ්බෝ



    තරු ඉබ්බා (Geochelone elegans)
    Leopard+.jpg




    ගොඩබිම වියළි තැන්හි ජීවත්වීම සඳහා අනුවර්තනය වූ පළමු පෘෂ්ඨවංගී සත්ත්ව කාණ්ඩය වන උරගයන් මීට වසර මිලියන ගණනාවකට පෙර පෘථිවියේ රජ කළ සත්ත්වයෝ වෙති. මෙසෝසොයික සමය හෙවත් උරග යුගයේ දී (ත‍්‍රියාසික සමයේ සිට ඉහළ ක‍්‍රිටේසීය සමය දක්වා ව්‍යාප්ත ව පැවැති ) දියුණුව පැවැති මේ උරගයන් ගෝත‍්‍ර 16 ක් යටතේ වර්ගීකරණය කරනු ලැබූව ද දැනට ඉතිරි ව ඇත්තේ ඉන් ගෝත‍්‍ර 4 කට අයත් උරගයන් පමණි. එනම් Chelonia, Crocodilia, Squamata හාRhynchocephalia නම් ගෝත‍්‍ර 4 යි. Rhynchocephalia ගෝත‍්‍රය හැර අනෙක් ගෝත‍්‍ර 3 ට අයත් උරග විශේෂ 206 ක් පමණ ලංකාවේ ජීවත් වේ. Rhynchocephalia ගෝත‍්‍රයට අයත් එක් විශේෂයක් ලෝකයේ ජීවත් වේ. එනම් නවසීලන්තයේ ජීවත් වන ටුවාටරා ^Sphenodon punctatus) ය.


    මේ ගෝත‍්‍ර අතුරෙන් Chelonia ගෝත‍්‍රය යටතේ ලෝකයේ ඉබ්බන් හා කැස්බෑවන් විශේෂ 300 කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වේ. මේ අතුරින් විශාලතම ඉබ්බන් ජීවත් වන්නේ ගලපගෝස් දූපත් ආශ‍්‍රිත ව ය. මොවුන් දිගින් 120cm ක් පමණ ද, බරින් 112kg ක් පමණ ද වේ. මේ ගෝත‍්‍රයට අයත් කරදියේ ජීවත්වන කැස්බෑවුන් විශේෂ 8 කි. මෙසෝසොයික සමයේ දී Archelon නම් කැස්බෑවුන්ට සමාන සත්ත්ව විශේෂයක් කරදියේ ජීවත් වී ඇත. දිගින් 3.6 m ක් වූ මොවුන් ගේ ගාත‍්‍රා අවල්පත් ලෙස විකරණය වී තිබී ඇත.


    Chelonia ගෝත‍්‍රයට අයත් සතුන් ගේ විශේෂ ලක්ෂණයක් වන්නේ අණ්ඩාකාර හැඩයට සමාන කවචයකින් ආවරණය වූ දේහයක් දැරීම යි. මෙකී කවචය වූ කලී නිශ්චිත රටාවකට පිළියෙල වූ එකිනෙකට ළඟින් ඇදුණු අස්ථි ස්තරයකින් ද ඒ ස්තරය මත්තේ ක‍්‍රමවත් ලෙස පිළියෙල වූ කොරොස් වරූථක ආවරණයකින් ද සමන්විත වීම යි. කවචයෙහි පෘෂ්ඨීය ව උත්තල කොටස උඩු කබොලයි. වඩාත් පැතලි උදරීය කොටස යටි කබොල යි. උරස් කශේරුකා හා පර්ශු සාමාන්‍යයෙන් අස්ථිමය උඩු කබලට සවි වී ඇත. සමහර සතුන් ගේ හම් වැනි ආවරණයකින් උඩු කබොල සමන්විත වන අතර, කවචය දුර්වල ලෙස අස්ථිභවනය වී ඇත. (මෙය ජලයේ ගැඹුරට පිහිනා යන සතුන් ගේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. ) මොවුන් ගේ හණු, දත් නොදරන අතර, ආහාර තළා පොඩි කිරීම සඳහා සහය වීමට කොරොස් කොපු ස්ථරයක් පිහිට යි.


    Chelonia ගෝත‍්‍රයට අයත් විශේෂ 8 ක් ලංකාවේ වාර්තා වේ. ඉන් කරදියේ ජීවත් වන කැස්බෑවුන් විශේෂ 5 ක් ද ගොඩබිම හා මිරිදියේ ජීවත් වන ඉබ්බන් විශේෂ 3 ක් ද වේ. මේ ලිපියෙන් දීර්ඝ ව සාකච්ඡා කැරෙන්නේ ඉබ්බන් විශේෂ තුන පිළිබඳ ව ය. මොවුන් කුල තුනක් යටතේ වර්ගීකරණය කර ඇත.




    Bataguridae කුලය යටතේ ගල් ඉබ්බා (Melanochelys trijuga) විස්තර කැරේ. මේ විශේෂයේ උඩු කබොල කොරොස් වරූථක ආවරණයකින් සමන්විත වේ. පූර්ව ගාත‍්‍රා යුගලේ නඛර පහක් ද අපර ගාත‍්‍රා යුගලේ නඛර හතරක් ද පිහිටයි. ගාත‍්‍ර යුගල් දෙකේ බැදි පටල යාන්තමින් දැක ගත හැකි ය. පාදවල පහළ කොටස් කොරළවලින් වැසී ඇත. කුඩා පැටවුන් ගේ හිසේ රතු පැහැ පුල්ලි පිහිට යි. ප‍්‍රමාණයෙන් වැඩෙත් ම මේ අල්ලි නො පෙනී යයි. මොවුන් ගේ නාස් විවර හොම්බේ ඉදිරියෙන් ඉහළට වන්නට කුඩා සිදුරු යුගලක් ලෙස පිහිටා ඇත.


    ගල් ඉබ්බා (Melanochelys trijuga)
    Leopard+.jpg



    ගල් ඉබ්බා සර්ව භක්ෂක විශේෂයකි. එහෙත් ඇති කරන සතුන් ගේ පෙනී යන විශේෂ ලක්ෂණයක් නම් මොවුන් මාංශ ආහාර සඳහා වැඩි ප‍්‍රිය බවක් දක්වීම යි. දහවල් කාලයේ හොඳින් ආවරණය වු සෙවණ සහිත ස්ථානයක මොවුහු ලැග සිටින අතර, රාත‍්‍රි කාලයේ ආහාර සොයා යති. ආහාර ගැනීමේ දී පූර්ව ගාත‍්‍රා යුගල ද උපයෝගී කර ගනිති. වැඩි කාලයක් ජලයේ ගත කරන මේ සතුන් ගේ පැටවු වඩාත් ජලයට ප‍්‍රිය කරති. ගල් ඉබ්බා ජලයේ සිටින අවස්ථාවල දී බිය වූ විට ජලයේ පතුලට ගමන් කරයි. එක් වරක් ජල පෘෂ්ඨයට පැමිණ හුස්ම ගෙන විනාඩි පහකට වැඩි කාලයක් ජලයේ රැඳී සිටිය හැකි ය. ජලයේ විවේකී ව ලැග සිටින අවස්ථාවල දී ජල පෘෂ්ඨයට පැමිණ නාස් විවර පමණක් ජල පෘෂ්ඨයෙන් ඉහළ සිටින ලෙස රැුඳී සිටී. මොවුන් ගේ ප‍්‍රජනන අවස්ථාවේ දී දැක ගත හැකි විශේෂ චර්යාවක් නම් පිරිමි සතා විසින් ගැහැනු සතා ගේ ගෙල ප‍්‍රදේශය හැපීම යි. මේ සැපීමේ දී තුවාළ සිදු වී ඇති අයුරු දැක ගත හැකි අතර, ටික දිනකින් මේ තුවාළ සුව වේ.


    ලංකාවේ තෙත් සහ වියළි කලාපයේ හමුවන ගල් ඉබ්බා උප විශේෂ දෙකකට අයත් වන බව සත්ත්ව විද්‍යාඥ පී. ඊ. පී. දැරණියගල මහතා සඳහන් කර ඇත. Melanochelys trijuga parkeri නම් උප විශේෂය ලංකාවේ උතුරු කලාපවල මුහුදු බඩ පහත් ප‍්‍රදේශවල වාර්තා වේ. ලංකාවට ආවේණික මේ උප විශේෂය ප‍්‍රමාණයෙන් විශාල ය. දිග 34.5 cm ක් වන අතර පළල 24.6 cm ක් වේ.


    Melanochelys trijuga thermalis නම් උප විශේෂය තෙත් කලාපයේ අඩි 4200 ක් දක්වා කඳුකරය වන තෙක් වාර්තා වේ. මොවුන් ගේ දිග 27.1 cm ක් ද පළල 19.7 cm ක් ද වේ. දැරණියගල මහතා ගේ විස්තරවලට අනුව Manochelys trijuga sinhaleya නම් උප විශේෂය ප්ලයිස්ටොසීන අවධිය හෙවත් අවසාන මහා ග්ලැසියර අවධියේ දී ලංකාවේ ජීවත් වී ඇත. අද වන විට වඳ වී ගොස් ඇති මේ උප විශේෂය දැනට ලංකාවේ ජීවත්වන උප විශේෂයන්ට වඩා ප‍්‍රමාණයෙන් විශාල වී ඇත.


    Trionychidae කුලය යටතේ කිරි ඉබ්බා (Lissemys punctata) විස්තර කැරේ. මේ විශේෂයේ උඩු කබොල දුර්වල ලෙස අස්ථිභවනය වී ඇති අතර, මොළොක් සමකින් ආවරණය වී ඇත. බැඳි පටල සහිත පාද හබලක් ලෙස හොඳින් සැකැසී ඇත. හොම්බේ ඉදිරියෙන් පිහිටන නාස් සිදුරු යුගල කපාට සහිත ය. ඉහත අනුවර්තනවලින් යුත් කිරි ඉබ්බා ඉතා හොඳින් ජලජ ජීවිතයට අනුවර්තනය වී ඇත.


    කිරි ඉබ්බා (Lissemys punctata)
    Leopard+.jpg



    මොවුහු ප‍්‍රධාන වශයෙන් මාංශ භක්ෂක සතුන් වන අතර ගෙම්බන්, මත්ස්‍යයන්, දිය ගොළුබෙල්ලන් හා කකුළුවන් ගොදුරු කර ගනිති. ඝන ආහාර සැපැයීම සඳහා ශක්තිමත් හණු පිහිටා ඇත. ජලජ පැළෑටි ද ආහාරයට ගන්නා මොවුහු ප‍්‍රධාන වශයෙන් ජලජ ජීවිතයක් ගත කරති. එහෙත් සමහර අවස්ථාවල දී රාත‍්‍රී කාලයේ ගොඩබිමට පැමිණ ආහාර සොයා යති. දිය යට බොහෝ වේලාවක් ගත කළ හැකි කිරි ඉබ්බා බිය වූ විට මඩ තුළට රිංගා යයි.


    ලංකාවේ තෙත් හා වියළි කලාපයේ ජීවත් වන කිරි ඉබ්බා Lissemys punctata punctata උප විශේෂයට අයත් වේ. දැරණියගල මහතා ගේ විස්තරවලට අනුව Lissemys punctata sinhaleya නම් උප විශේෂය ප්ලයිස්ටොසීන අවධියේ දී ලංකාවේ ජීවත් වී ඇත.


    Testudinidae කුලය යටතේ තරු ඉබ්බා (Geochelone elegans) විස්තර කරයි. මේ විශේෂය හැඳින්වීමට විවිධ ප‍්‍රදේශවල විවිධ නම් රාශියක් භාවිත වෙයි. තාරකා ඉබ්බා, වෛරන් ඉබ්බා, මූකලන් ඉබ්බා, මේවර ඉබ්බා, හූනියම් ඉබ්බා, මෑකරල් ඉබ්බා, වැටකෙයා ඉබ්බා ඒ අතරින් සමහරකි. පූර්ණ වශයෙන් ගොඩබිම ජීවිතයට අනුවර්තනය වූ විශේෂයකි. හොඳින් අස්ථි භවනය වී ඇති දෘඪ උඩු කබොල වර්ණවත් වරූථක ආවරණයකින් සමන්විත වේ. ශරීරය කහ පැහැ කොරළවලින් සම්පූර්ණයෙන් ම ආවරණය වී ඇත. පූර්ව ගාත‍්‍රා යුගලේ නඛර පහක් හෝ හතරක් ද අපර ගාත‍්‍රා යුගලේ නඛර හතරක් ද දැක්ක හැකි ය. ප‍්‍රධාන වශයෙන් ශාක භක්ෂක විශේෂයකි. වියළි කලාපයේ ජීවත් වන අතර, පතොක් පඳුරු ආශ‍්‍රිත ව බහුල ව හමුවන මේ සත්තු පතොක් ගෙඩි ආහාරයට ගැනීමට වැඩි ප‍්‍රිය බවක් දක්වති.


    ඉහත විස්තර කරන ලද්දේ ලංකාවේ ජීවත් වන දේශීය ඉබ්බන් විශේෂ තුනක් පිළිබඳ ව ය. මීට අමතර ව සිංගප්පුරුවෙන්, මෙරට විසිතුරු ජල ජීවී කර්මාන්තය සඳහා පසුගිය කාලයේ දී ගෙන්වන ලද ගල් ඉබ්බන් විශේෂයක් ද වේ.


    Trachymis scripta නම් විද්‍යාත්මක නාමයෙන් හදුන් වන මේ විශේෂය ඉතා වර්ණවත් ය. ගාත‍්‍රාවල හා ශරීරයේ ලා කොළ මිශ‍්‍ර කහ පැහැ තිරස් ඉරි පිහිටයි. හිසේ කර්ණ විවරය ප‍්‍රදේශයේ රතු පැහැ පුල්ලියකි. මේ නිසා ඉංග‍්‍රීසියෙන් Red - eared Terrapin ලෙස හැඳින් වේ. යටි කබොල ඉතා අලංකාරවත් වන අතර, කහ පැහැයෙන් වෛරන් වැටී ඇත. මේ ලක්ෂණ හේතුවෙන් දේශීය ගල් ඉබ්බා ගෙන් මේ විශේෂය ඉතා පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි ය.


    මේ විශේෂයේ කුඩා පැටවුන් සැල්මොනෙල්ලා ඒක ෙසෙලික ජීවියා ගේ ධාරකයකු ලෙස ක‍්‍රියා කරන බව සොයාගෙන ඇත. මීට අමතර ව මේ විශේෂය ලංකාවේ ජලාශවල බෝවීමට පටන් ගත හොත් බොහෝ තර්ජන එල්ලවීමට ද ඉඩ ඇත. දැනට එවැනි තර්ජනයක් නැතත්, සුළු වශයෙන් හෝ මේ සතුන් ආනයනය කිරීම තහනම් කළ යුතු ය.


    2007 IUCN රතු දත්ත වාර්තාවට අනුව ලංකාවේ ඉබ්බන් විශේෂ අතරින් තාරකා ඉබ්බා සහ කිරි ඉබ්බා වඳ වී යෑමේ අවදානමකට ^Vulnerable& මුහුණ පා ඇති සතුන් ලෙස ද, ගල් ඉබ්බා ආසන්න තර්ජිත ^Near Threatented& විශේෂයක් ලෙස ද දක්වා ඇත. මේ තත්වය ඇතිවීමට ප‍්‍රධාන හේතුව මස් වැද්දන් ගේ ගොදුරු බවට මේ සතුන් පත්වීම යි. 1970 දශකයේ අවසානය හා 80 දශකයේ මැද භාගය වන තෙක් ම ගල් ඉබ්බා හා කිරි ඉබ්බා සුලභ ව වාර්තා වී ඇත. මොවුන් ඇළ, දොළ හා වැව්වල පමණක් නො ව, ගල් කැඞීම නිසා හෑරී ඇති විශාල ගල් වළවල් තුළ ද ජීවත් වී ඇත. එහෙත් අද වන විට ආහාර පිණිස සීග‍්‍රයෙන් මැරීම නිසා මේ සතුන් දුර්ලභ විශේෂ බවට පත් වී ඇත. මීට අමතර ව දුටු හැම ඉබ්බකු ම (තරු ඉබ්බා හා ගල් ඉබ්බා බහුල වශයෙන්) ගෘහාශ‍්‍රිත ව ඇති කිරීම සඳහා අල්ලාගෙන යෑම ඔවුන් ගේ බෝවීමට තවත් තර්ජනයකි.


    පසුගිය වකවානුවේ අපරීක්ෂාකාරී ලෙස සිදු වූ ඊනියා සංවර්ධන යෝජනා ක‍්‍රම නිසා මේ සතුන් වඳ වීමට රුකුලක් වී ඇති බව කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය නිර්මාණයේ දී සිදු වී ඇති සිද්ධීන්ගෙන් පැහැදිලි වේ. මේ ඉදිකිරීම් සිදු කළ වැඩබිමක සේවා කළ පුද්ගලයකු ගෙන් දැනගන්නට ලැබුණු තොරතුරුවලට අනුව මෙකී ප‍්‍රදේශයේ ජිවත් වූ අති විශාල ගල් ඉබ්බන් ප‍්‍රමාණයක් එහි සේවය කළ කම්කරුවන් ගේ ආහාරය බවට පත් වී ඇත. තව ද මේ සතුන් ඉතා හිංසාකාරී ලෙස මරා දමා ඇති බව ද දැනගන්නට ලැබිණි. සමහර අවස්ථාවන්හි අල්ලා ගත් ගල් ඉබ්බන් පණපිටින් ළිප මත තබා පුලූස්සා මරණයට පත් කරන අතර, තවත් සමහර අවස්ථාවන්හි වාහනවල ටයරයට හසු කර දිගු දුරක් පොළවේ ඇතිල්ලෙමින් තල්ලූ කරගෙන යෑමෙන් මරණයට පත් කරන බව ද දැනගන්නට ලැබිණි.


    වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ මේ සතුන්ට නෛතික ආරක්ෂාව සලසා ඇත. මරණයට පත් කිරීම, තුවාළ කිරීම හෝ හානි කිරීම, අල්ලා ගැනීම, බිත්තර විනාශ කිරීම, මරණ ලද හෝ අල්ලා ගනු ලැබූ සතකු ළග තබා ගැනීම සහ සතකු හෝ කොටස් විකිණීම හෝ ප‍්‍රදර්ශනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. මෙවැනි ක‍්‍රියාවක් කරන්නකු හට රු. 20 000 - රු. 50 000 දක්වා දඩයක් හෝ වසර 2-5 දක්වා සිර දඩුවම් හෝ දඩුවම් දෙක ම ලබා දිය හැකි ය.


    මෙවන් නෛතික ආරක්ෂාවක් ලබා දී ඇත්තේ වඳ වී යෑමේ එළිපත්තේ සිටින මේ සතුන් රැුකගැනීම පරිසර පද්ධතිවල තුළිතතාවට ඉතා ම වැදගත්වන නිසා ය.