Mission one - 1

parker.peter

Member
Jan 4, 2016
4
1
3


Mission one

"මේජර් තමුන් දන්නවද ඇයි මම තමුන්ව ජනාධිපති ආරක්ෂක ඒකකයට අනියුක්ත කර ගත්තෙ කියලා."

මම විස්කි වීදුරුවක් තොල ගාන ගමන් මේජර් උදාරගෙන් ඇහුවා.

"නෑ සර්. "
මේජර් කවදත් තමන්ට හුරුපුරුදු වැනෙන්නෙ නැති ස්වරයෙන් උත්තර දුන්නා. වාර්ථා වලට අනුව අපේ බුද්ධි අංශයේ ඉන්න දක්ෂම නිලධාරියා මේජර් උදාර කියන එක මමයි බුද්ධි අංශයේ ප්‍රධානියයි විතරක් දැනගෙන හිටපු රහසක්.

මට ඕනි උනා කාටවත් නොදැනෙන්න වැඩක් තමුසෙට බාර දෙන්න. මම ජනාධිපති විදිහට තමුසෙට කෙලින්ම කතා කරන එක සම්ප්‍රදාය නෙවෙයිනෙ. ඒත් මේකට කවුරුත්ම අතර මැදියෙක් සම්බන්ධ කරගන්න මම කැමති නෑ. තොරතුරු හුවමාරුව වෙන්න ඕනි කෙලින්ම මේජරුයි මගෙයි අතරෙ විතරයි. කාටවත් නොදැනෙන්න මේජර්ට කෙලින්ම කතා කරන්න ඕනි හින්ද තමයි මම මේජර්ව මගෙ ස්කොඩ් එකට ගත්තෙ.

මම කිව්වෙ සීරුවෙන් හිටගෙන ඉන්න මේජර්ගෙ මූණෙ හැඟීම් වෙනස් වෙන විදිහ බලන්න උත්සහකරන ගමන්. ඒත් මට මේජර්ගෙ මූණෙන් මම කියපු දේ ඇහුණු බවක් වත් පෙනුනෙ නෑ.

"ඔව් සර්. "

මේජර් කිව්වා.

මේක මේජර් කැමති විදිහට කරන්න. මොනවා උනත් මේජර්ගෙ නමවත් මගේ නමවත් ගෑවෙන්න දෙන්න එපා. මිෂන් එක ඉවර වෙනකොට ජීවත් වෙන්න ඕනි කවුද මැරෙන්න ඕනි කවුද කියන එක මේජර් තීරණය කරන්න. කොහොම උනත් අවුරුදු දෙකක් ඇතුලත මිෂන් එක සක්සස් වෙන්න ඕනි. මම අවුරුදු තුනක් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේක කරන්න නොසෑහෙන්න උත්සහකලා. ආණ්ඩුවෙ ඉන්න මැති ඇමතිවරුවත් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුවත් මේකට කැමති කරගන්න බෑ. අනික තමයි නිලධාරීන් කියන එකෙක්වත් විස්වාස කරන්න බෑ.

වීදුරුවට අයිස් කියුබ් එකක් දාගන්න ගමන් මම කිව්වා.

මම මේජර්ට දැනට මගෙ පෞද්ගලික වියදම් වලට අනුමත කරගත්ත සල්ලි වලින් කෝටි 7ක් දෙනවා. ඒක මිෂන් එකේ ආරම්භයට ඕනි විදිහට වියදම් කරන්න. හැම මාසෙම කෝටි 10 ගානෙ මේජර්ට මිෂන් එකට අවශ්‍ය වියදමට සල්ලි ලැබෙයි. හොඳට මතක තියාගන්න හොඳින් හරි නරකින් හරි මේ මිෂන් එක අනිවාර්යයෙන්ම සක්සස් වෙන්න ඕනි.

මේ ෆයිල් එකේ තියනවා මොකක්ද මට මේජර්ට කියලා කරවාගන්න තියෙන්නෙ කියලා. මේක හොඳට ස්ටඩි කරලා මට සතියක් ඇතුලත කියන්න කොහොමද මිෂන් එක කරන්නෙ කියලා.

මේජර්ට ෆයිල් එක දෙන ගමන් මම කිව්වා.

ඕකේ සර්. මම සර්ට දවස් තුනක් ඇතුලත කියන්නම් කොහොමද මිෂන් එක සිද්ධ වෙන්නෙ කියලා.

ෆයිල් එක අතට අරගෙන ආපහු සීරුවෙන් හිටගෙන මේජර් කිව්වා.

මේජර් උදාර, මෙතන ඉන්නෙ තමුසෙයි මමයි විතරයි ඔය හමුදාවෙ විදිහ පැත්තකින් තියලා මෙතනින් වාඩි වෙනවා.

මම කිව්වෙ සෙටි එකේ මගෙ ඉස්සරහ පුටුව පෙන්නන ගමන්.

තෑන්ක් යූ සර්.

මේජර් කිව්වෙ වාඩිවෙන ගමන්.

"මේජර් මේක ඔහේ හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. මේක කොච්චර අමාරු වැඩක්ද කියලා තේරුම් ගන්නම සමහර විට දවස් තුනක් යයි. ඒ හින්දා සතියක් අරගෙන නියම විදිහට මිෂන් එක ප්ලෑන් කරන්න. "

මම කිව්වෙ විස්කි උගුරක් ආමාංශ ගත කරගන්න ගමන්.

හරි සර්. මම ඒක ස්ටඩි කරලා සර්ට කියන්නම් කොහොමද මේ මිෂන් එක වෙන්නෙ කියලා. කොහොම උනත් මට මේ ෆයිල් එක අරින්නත් කලින් සර්ගෙන් කරන්න ඉල්ලීමක් තියනවා. මම ඕනි තරම් මිෂන් වලට සක්‍රීයව සහභාගි වෙලා තියනවා. ඒත් මිෂන් එක සක්සස් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඔබතුමාල නවත්තන්න තීරණය කරපු මිෂන් ඕනි තරම් තියනවා. මේ මිෂන් එකට එහෙම කරන්න එපා කියලා මම සර්ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා.

මේජර් කිව්වෙ කලින් සිදුවීම් ගැන ලොකු කලකිරීමක් හිත ඇතුලෙ තියාගෙන.

මේ දේශපාලනය ඇතුලෙ මට හැම වෙලාවෙම කරන්න වෙන්නෙ මම කැමති දේ නෙවෙයි මේජර්. මම පටන්ගන්න තීරණය කරපු මිෂන් එකක්ම සමහර විට ටික දවසකින් මට සිද්ධ වෙනවා නවත්තලා දාන්න. මම ජනාධිපති උනාට මට ඕනි විදිහට මේ රට පාලනය කරන්න බෑ. රට පාලනය වෙන්නෙ මල්ටි නැෂනල් කම්පනි වලටයි ඉන්දියන් ඇමරිකන් වගේ ලොකු රටවල එම්බසි වලටයි අපිට ණය දෙන රටවලටයි ඕනි විදිහට. මම ඒ අයට විරුද්ධව තීරණයක් ගත්තොත් මැති ඇමතිවරු විරුද්ධ පක්ෂයට පන්නවන්න උන් ඕනි තරමක් සල්ලි වීසි කරනවා. මගෙ ආණ්ඩුව අස්ථාවර උනාම තමයි උන් මට ප්‍රෙෂර් කරන්නෙ. එතකොට එක්කො මට මම ගත්තු තීරණය අකුල ගන්න වෙනවා. නැත්තම් ජනාධිපතිකම අතාරින්න වෙනවා. අනිත් හැම මනුස්සයෙක්ම වගේ මමත් බලයට කෑදරයි මේජර්. ඉතිං මට ජනාධිපතිකම වෙනුවෙන් මම ගත්තු ගොඩක් හරි තීරණ වැරදී කියලා අතාරින්න උනා. ඒවයින් ඉගනගත්ත පාඩම් නිසාම තමයි මම මේ මිෂන් එක කිසිම කෙනෙක් නොදන්න සීක්‍රට් මිෂන් එකක් විදිහට කරන්න හිතුවෙ. මේකට රාජ්‍ය මට්ටමින් කිසිම අනුග්‍රයක් නෑ. මිෂන් එක සාර්ථක කරගන්න එක මේජර්ගෙ වගකීම. මේ මිෂන් එක අතරමඟ නතර වෙන්න කිසිම හේතුවක් නෑ මොකද මම එහෙම මිෂන් එකක් ගැන දන්නෙ නෑ. මේජර්ට තේරුනානෙ මම කිව්ව දේ.

මම ඇහුවෙ නැඟිටලා කාමරයට යන්න ලෑස්ති වෙන ගමන්.

"ඔව් සර්. හොඳටම පැහැදිලියි."

"Good night සර්"

මේජර් උදාර සීරුවෙන් හිටගෙන කිව්වා.

"Good night මේජර්"

මම කාමරයට නිදාගන්න ගියේ මේජර්ටත් සුබ පතාගෙන.

දෙවනි කොටසින් හමුවෙමු.....





Ref: https://www.facebook.com/groups/atampahiya/permalink/3091939090878856/
 
  • Like
Reactions: Boralugoda01

parker.peter

Member
Jan 4, 2016
4
1
3
Mission one - 2



Mission one 2

විවෘත කිරීම් කැබිනට් මණ්ඩල රැස්වීම් වගේ දේවල් එක්ක සතියක් ගෙවිලා යනවා දැනුනෙවත් නෑ. මේජර් උදාරට සතියක් කල් දීලා මගෙ කාර්යාලයට කැඳෙව්වෙ මම බාර දුන්නු මිෂන් එක ගැන මේජර් කරලා තියන දේවල් වල ප්‍රගතිය දැන ගන්න.

"Good evening සර්"

"Good evening මේජර්". වාඩිවෙන්න .

"තෑන්ක් යූ සර්"

මට ස්තූති කරන ගමන් මේජර් වාඩි උනා.

"ඉතිං මේජර් දන්නවා මම මොකක් ගැනද කතා කරන්න යන්නෙ කියලා. මට කියන්න බලන්න මේජර් මම දුන්න ෆයිල් එකේ තිබුනු දේවල් ස්ටඩි කලාද? මොකක්ද ඒ ගැන මේජර්ගෙ අදහස."

මම ඇහුවෙ පුටුවෙ ඇන්දට සැහැල්ලුවෙන් හේත්තුවෙන ගමන්.

"සර් මට ඉවරයක් කරන්න කියන දේ බුලට් වලින් ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මම මේකෙ මුල මැද අග හැම තැනක් ගැනම ස්ටඩි කලා. මට මේක ඉවර කරන්න අවුරුදු එක හමාරක් දෙකක් අතර කාලයක් යයි. සෑහෙන්න මුදලක් වියදම් වෙයි. හැබැයි මම මේක කරන්නෙ තනිකරම ස්වාධීනව. සර්ටවත් මම කරන්නෙ මොකක්ද කවුරු එක්කද මම වැඩ කරන්නෙ කියලා මම කියන්නෙ නෑ මිෂන් එක ඉවර වෙනකම්. "

මේජර් කිව්වෙ බොහොම අධිෂ්ඨානශීලීව.

"මිෂන් එක වෙන විදිහ ගැන මට දැන ගන්න ඕනි නෑ. මේජර්ට ඕනි නම් මට පුලුවන් නිවාඩු අනුමත කරලා දෙන්න පඩිත් එක්කම මේ මිෂන් එක ඉවර වෙනකම්. මොනවා කරලා හරි කමක් නෑ මට ප්‍රතිඵල ඕනි."

මම කිව්වෙ මේජර් දිහා කෙලින්ම බලාගෙන.

"මට නිවාඩු ඕනි නෑ සර්. සර් මාව සෙන්ට්‍රල් ඉන්ටිලිජන්ට් බියුරෝ එකට රිලීස් කරනව නම් මගෙ වැඩ වලට ඒක ලොකු පහසුවක් වෙනවා"

මේජර් ඉල්ලා හිටියා.

"හොඳයි. අනිද්ද වෙනකොට මම මේජර්ව රිලීස් කරන්නම්. එහෙනම් මිෂන් එක ඉවර කරලම මාව මුණගැහෙන්න එන්න."

මට ආචාර කරලා කාර්යාලයෙන් පිට වෙන්න හදපු මේජර්ගෙ අතින් අල්ලගෙන මම කිව්වා. මේ රටේ මේජර් උදාරලා වගේ මිනිස්සු ඉතුරු වෙලා ඉන්න එකත් රටේ වාසනාවක් කියලා මට හිතුනෙ රට වෙනුවෙන් ජීවිතේ උනත් දෙන අවංකභාවයක් මේජර් ලඟ තිබිච්ච හින්දා. ඊට පස්සෙ දවසෙම මම CIB එකට මේජර්ව රිලීස් කරන්න කියලා බුද්ධි අංශ ප්‍රධානියට නියෝග කලා.

විදේශ සංචාර, විපක්ෂයේ දේශපාලන කුමන්ත්‍රණ වලට මුහුණ දෙන වැඩ, ආණ්ඩුව ඇතුලෙන්ම එන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන වැඩ, පවුල් ප්‍රශ්න විසඳන වැඩ වගේ දේවල් එක්ක කාලය ගෙවිලා ගියා මටත් නොදැනීම.

"සර් දිසානායක ඇමතිතුමා ඇවිත් ඉන්නවා සර්ව මුණගැහෙන්න."

මගෙ පුද්ගලික ලේකම් මම රුසියන් නිල සංචාරයක් ඉවර කරලා ආපු දවසට පස්සෙ මට දැනුම් දුන්නා.

"දිසානායක ඇමතිතුමාට එන්න කියන්න. ටානියා ඔයා යනගමන් ඇමතිතුමාටයි මටයි බොන්න තේ එවන්න කියලත් දැනුම් දෙන්න."

මම ටානියාට කිව්වා.

"Good evening සර් "

"Good evening දිසානායක. ඉතිං කොහොමද සැප සනීප"

"දෙයියනේ කියලා තවම නම් කිසි අසනීපයක් නෑ සර්."

දිසානායක කිව්වෙ කපටි හිනාවක් දාන ගමන් උනත් මිනිහගෙ ඇස්වල මොකක්ද කියලා කියන්න බැරි කැලඹිල්ලක් මම දැක්කා.

කැබිනට් එකේ එහෙම මොකුත් ප්‍රශ්ණයක් නෑ නේද දිසානායක. ඔය ඇමතිකමක් දුන්නු නිසා අපිට එකතු උනාට යෝගානන්දන් එහෙම දෙපැත්තෙ කකුල් දෙක තියාගෙන ඉන්නෙ. ඒ හින්දා ඒ වගේ උන් ගැන ටිකක් අවධානයෙන් ඉන්න වෙනවා.

මං කිව්වෙ මිනිහගෙ කැලඹීම ගැන මට සැක හිතුනු හින්දා.

"නෑ කැබිනට් එකේ නම් ප්‍රශ්නයක් නෙවෙයි සර්. මේ ප්‍රශ්නෙ තියෙන්නෙ "

කියලා දිසානායක කතාව අදින්න ගත්තම මට තේරුනා මොකක් නමුත් මරාලයක් කඩාපාත් වෙලා කියලා.

"කියනවකො තටමන්නෙ නැතුව මොකක්ද ප්‍රශ්නෙ කියලා. "

මම කිව්වෙ දිසානායක කියාගන්න බැරුව දඟලන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව.

"නෑ ඒක මේ මගෙ පෞද්ගලික ප්‍රශ්නයක් සර්. "

එහෙම කියලා දිසානායක කතාව මග ඇරියා.

"මම මේ නිකමට සර්ව බලලා යන්න ආවෙ. විශේෂ දේකට නෙවෙයි. මම ගිහිල්ලා එන්නම් සර්"

දිසානායක යන්න නැඟිටලා කිව්වා.දිසානායක කියන්න ආපු දේ නොකියා හංඟගෙන ගියා කියලා මට තේරුනත් මිනිහා කියන්න ආවෙ මොකක් ගැනද කියලා මට හරි අවබෝධයක් තිබුනෙ නෑ. රටේ අලුත්ම තත්වය ගැන දැන ගන්න මම බුද්ධි අංශ ප්‍රධානියාව ඉක්මනට කැඳෙව්වෙ දිසානායකගෙ හැසිරීම මට සම්පූර්ණයෙන්ම පැටලිලි සහගත වෙච්චි හින්දා.

Good evening සර්

Good evening Director
රටේ අලුත්ම වාතාවරණය කොහොමද? නිකම් මට ඉවෙන් වගේ දැනෙනවා මොකක් නමුත් අවුලක් තියනවා කියන එක.

මම CIB එකේ අධ්‍යක්ෂකගෙන් ඇහුවෙ කෙලින්ම දේශපාලනයට සම්බන්ධතාවයක් නැති අවුලක් තියනවා කියලා තේරුම් ගිය හින්දා. නරියෙක් වගේ කපටි දිසානායකටත් ලිහාගන්න බැරි අවුලක් කියන්නෙ ඒක එච්චර හොඳ දෙයක් වෙන්න බෑ කියලා මට හිතුනා.

රටේ ආරක්ෂාව ගැන නම් සැලකියයුතු මට්ටමේ අවධානමක් නෑ ජනාධිපතිතුමා. මන්ත්‍රීවරුන්ගෙ පක්ෂ මාරුවක් වගේ රජය අස්ථාවර කරන සැලැස්මක් ගැනත් අවධානමක් දැනට නෑ. ඒත් පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීතුමන්ලගෙ ඇමතිතුමන්ලාගේ රජයේ උසස් නිලධාරීන්ගෙ හේතුවක් හොයාගන්න බැරි ලොකු කැලඹීමක් පේනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට ඒ කැලඹීමට නිශ්චිත පැහැදිලි කිරීමක් දෙන්න බෑ. දැන් මගේ ඔෆිසර්ලා වැඩිම ගානක් දාලා තියෙන්නෙ මේ හදිස්සි කැලඹීම මොකක්ද කියන එක ගැන ලැබිලා තියන දත්ත විශ්ලේෂණය කරලා ඉක්මනට නිගමනයක් ගන්න. අපිට නිගමනයකට එන්න පුලුවන් වෙච්ච ගමන් මම ඔබතුමාට දැනුම් දෙන්නම්.

CIB ඩිරෙක්ටර් කිව්වෙ කෙලින් උත්තරයක් දෙන්න බැරි වෙච්චි එකගැන පසුතැවීමෙන්.

තුන්වන කොටසින් මුණගැහෙමු...



Ref: https://www.facebook.com/groups/atampahiya/permalink/3095764400496325/
 

parker.peter

Member
Jan 4, 2016
4
1
3
Mission one - 3



Mission one 3

"මොකක් උනත් මේ ගැන ටිකක් ගැඹුරින් හොයන්න "

මම CIB අධ්‍යක්ෂකට යන්න අවසර දෙන ගමන් කිව්වා. කොහොම උනත් තියෙන තත්වෙ හැටියට හෙට උදේ වෙන්න කලින් කොතනින් හරි පැල්මක් ඇති වෙලා හිරවෙලා තියන පීඩනය එලියට පනීවි කියලා මට හිතුනෙ දිසානායකගෙ හැසිරීම හින්දා.

දවසෙ වැඩ වලින් හෙම්බත් වෙලා නිදාගන්න හිතාගෙන ඇඳට ගියත් නින්ද මගෙ අහලකවත් තිබුනෙ නෑ. යන්තමින් ඇස් පියවීගෙන එද්දෙ මොබයිල් එක රින්ග් වෙන්න ගත්තම අසුබ පෙරනිමිත්තක් වගේ මට දැනුනෙ බෑඩ්ම සිටුවේෂන් එකක මිසක් කවුරුත් මට මේ වෙලාවට කෝල් නොකරන හින්දා.

හෙලෝ...

හෙලෝ.....

ඔව් දිසානායක කියන්න. මොකද මේ මහ රෑ.

සර්. ගොඩක් නරක ආරංචියක් තියනවා කියන්න.

තෙපරබාන්නෙ නැතුව කියනවා දිසානායක මොකක්ද වෙලා තියෙන්නෙ.

අගමැතිතුමාට කවුද වෙඩි තියලා සර් එතනමයිලු.

නෑ. මොනවා. තමුසෙ කොහොමද දන්නෙ.

එතන හිටපු මගෙ මනුස්සයෙක් කිව්වෙ සර්. අගමැතිතුමා නයිට් ක්ලබ් එකේ ඉඳලා එලියට බහිද්දිම තමයි ස්නයිපර් ශොට් එක ඔලුවටම තියලා තියෙන්නෙ.

හරි හරි ඉන්නවා. මම පොලිස්පතිට කතා කරලා තමුසෙට ගන්නම්.

මම ෆෝන් එක කට් කරන්නත් කලින්ම ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක් ආවා.

හෙලෝ....

හෙලෝ .....

සර්.මම පියනන්ද කතා කරන්නෙ. පොලිස්පති දැන් කෝල් කලා අගමැතිතුමාට වෙඩි තියලා කියලා. ස්නයිපර් ශොට් එකක්ලු ඔලුවටමයි තියලා තියනවා කියලා කියන්නෙ.

මාර වැඩේනෙ පියනන්ද? රටේ මාරම කැලඹීමක් ඇතිවෙයි හෙට උදේ වෙනකොට. තමුසෙ පොලිස්පතිට කතාකරලා කියනවා. මොන ලෝකෙන් හරි හෙට උදේ වෙනකොට මේ කේස් එකට අදාල එවුන් අල්ලලා රිමාන්ඩ් කරන්න කියලා. අනික දැන් අගමැතිකමට කැබිනට් එකේ එවුන් පොරකන්න පටන් ගන්නවා. ඇමතිලා ගැන හොඳ අවදානයකින් ඉන්න වෙනවා. මේ කේස් එක ඇති ආණ්ඩුව පෙරලෙන්න අපිට හරියට මැනේජ් කරගන්න බැරි උනොත්. ඔය දේවල් ටික දැනට මැනේජ් කරගන්න. ඇමතිලා හැමෝටම කතා කරලා ආරක්ෂිතව ඉන්න කියන්න. පොලිස්පතිට කියන්න හැමෝගෙම ආරක්ෂාව වැඩි කරන්න කියලා.

එහෙම කියලා මම කෝල් එක කට් කලා. මේ වගේ වෙලාවක්ම එන්න ඕනි පියනන්ද වගේ දක්ෂ අවංක ලේකම් කෙනෙක්ගෙ වටිනාකම කොච්චරද කියලා තේරෙන්න කියලා මටම හිතුනා. ඕනිම බැරෑරුම් වැඩක් ලස්සනට බැලන්ස් කරගන්න හොඳ හැකියාවක් තිබිච්ච මනුස්සයෙක් පියනන්ද කියන්නෙ. අගමැතිට වෙඩි තිබ්බෙ කවුද දන්නෙ නැති උනත් ඒක ජාතික ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්නයක් ඇති කරන විත්තිය මට තේරුනා. විපක්ෂයේ එවුන් දැන් ජාතික ආරක්ෂාව රැස්වීම් වල පතුරු ගහන්න පටන් ගනීවි. අගමැති ලෝක හොරෙක් වංචාකාරයෙක් උනත් මිනිහා පක්ෂය ඇතුලෙත් මිනිස්සු අතරත් සෑහෙන්න ජනප්‍රිය හින්දා මොනවගේ තත්වයක් උද්ගත වෙයිද කියන එක ගැන මටත් නිවැරදි වැටහීමක් තිබුනෙ නෑ. මේ ප්‍රශ්න එක්ක මට නිදාගන්න බැරි හින්දා මම අගමැතිතුමාගෙ ගෙදරට යන්න ලෑස්ති උනත් මගෙ ආරක්ෂක උපදේශකයන් මට ඒකට ඉඩ දුන්නෙ නෑ.

"සර් බුද්ධි අංශයේ අධ්‍යක්ෂකතුමා ඇවිත් ඉන්නවා ඔබතුමා මුණ ගැහෙන්න."

උදේ පාන්දරම මගෙ ස්කොඩ් එකේ ප්‍රධානියා ඇවිත් මට දැනුම් දුන්නා.

"තව විනාඩි දහයකින් ඔෆිස් එකට එවන්න. "

එහෙම කියලා ස්කොඩ් එකේ ප්‍රධානියාව පිටත් කරපු මම වොෂ් එකක් දාගෙන ඔෆිස් රූම් එකට ගියේ අපිට තේ ඔෆිස් රූම් එකට එවන්න කියලා දැනුම් දීලා.

Good morning සර්.

Good morning

තමුසෙලාගෙ පුදූම සක්‍රීය බුද්ධි අංශයක්නෙ ඕයි තියෙන්නෙ. අගමැතිතුමාව මරලා දානකම් තමුසෙලා බම්බු ගැහුවද?

මම ඇහුවෙ රටේ දෙවැනි පුරවැසියට ජීවිත තර්ජනයක් තියන බව හඳුනාගන්න බැරි වෙච්චි එක ගැන තරහින්.

සර් අපිට පුලුවන් සංවිධානාත්මකව රටේ ආරක්ෂාව අඩපණ කරන්න ප්‍රභූවරුන් ඝාතනය කරන්න සැලැස්මක් තියනවා නම් ඒක හඳුනාගන්න. ඒත් අපිට බෑ ක්ෂණිකව ප්ලෑන් කරලා කරන පෞද්ගලික පලිගැනීම් වලක්වන්න. ඒක අපිට නෙවෙයි කාටවත්ම කරන්න බෑ.

CIB ඩිරෙක්ටර් කිව්වෙ මාව සම්පූර්ණයෙන්ම අවුල් කරමින්.

මොකක්ද ඒ කතාවෙ තේරුම.

මම ඇහුවෙ CIB අධ්‍යක්ෂකගෙ කතාව මට තේරුනේ නැති හින්දා.

සර් දන්නවනෙ මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් අයථා විදිහට අසීමිතව වත්කම් උපයනවා කියලා. ඒ උපයන මුදල් එහෙම නැත්තම් බ්ලැක් මනී විශුද්ධිකරනය කරන්න වෙනවා එහෙම නැත්තම් තව විදිහකට වොෂ් කරලා සුදු කරන්න වෙනවා. ඒවට ඉස්සර ඉඳලම එක එක ක්‍රම පාවිච්චි කලා. දඬුවම් මුදලාලි කියන්නෙ ඉස්සර කලු සල්ලි සුදු කරගන්න පාවිච්චි කරපු එක පුද්ගලයෙක්. ඒ මනුස්සයා දිහා බලාගෙන හිටපු එක පුද්ගලයෙක් බොහොම සියුම් ප්ලෑන් එකක් හරහා ජනතාව අතරට පණිවිඩයක් යවනවා දඬුවම් මුදලාලි කැසිනෝ ගහලා පරාදයි ඉතුරු සල්ලිත් අරගෙන මිනිහා රට පනින්න හදන්නෙ කියලා. එතකොට දඬුවම් මුදලාලි ලඟ සල්ලි ඩිපොසිට් කරපු සාමාන්‍ය මිනිස්සු දිගට හරහට ඩිපොසිට් කරපු සල්ලි ආපහු ඉල්ලගෙන දඬුවම් මුදලාලිගෙ ගෙදරට එනවා. මේ සිටුවේෂන් එක ගැන කලින්ම දන්න මේ පුද්ගලයා දඬුවම් මුදලාලිට කලු සල්ලි සුදු කරන්න දුන්න මැති ඇමතිවරුන්ට රජයේ උසස් නිලධාරීන්ට දැනුම් දෙනවා දඬුවම් මුදලාලිට දැනුමක් නැති හින්දා ව්‍යාපාරය වැටිලා තියෙන්නෙ මිනිස්සු සල්ලි ඉල්ලලා ගේ වටකරන්න යන්නේ. දඬුවම් මුදලාලිට දුන්න සල්ලි දැන්ම ගත්තොත් ටිකක්වත් ගන්න පුලුවන් වෙයි කියලා. හොයලා බලන්කොට මේ පුද්ගලයා කිව්ව සිටුවේෂන් එක ඇත්ත. මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් පෝලිමේ ගිහිල්ලා තමන් වොෂ් කරන්න දුන්න කලු සල්ලි ඉල්ලනවා. දඬුවම් මුදලාලි තමන් ලඟ තිබිච්ච ඔක්කොම වත්කම් වලින් මැති ඇමතිවරුන්ගෙ රාජ්‍ය නිලධාරීන්ගෙ සල්ලි වලින් වැඩි ප්‍රමාණයක් ගෙවලා දානවා. ඒත් දඬුවම් මුදලාලි ලොකු ලොකු ප්‍රොජෙක්ට් වලට ඉන්වෙස්ට් කරපු සල්ලි විශාල ප්‍රමාණයක් තියනවා. ඒත් හැමෝගෙම සල්ලි ආපහු එකපාරටම ඉල්ලීම හින්දා දඬුවම් මුදලාලි අසරණ වෙනවා. ඇත්තටම දඬුවම් මුදලාලි මූල්‍යමය වශයෙන් වැටිලා තිබුනෙ නෑ. ඒත් වංචා සහගතව හැමෝම සල්ලි එකපාරටම ඉල්ලන්න පොලවඹවපු නිසා දඬුවම් මුදලාලිට සල්ලි රිටන් කරගන්න බැරි උනා ලොකු ලොකු මැති ඇමතිවරුන්ගෙ රාජ්‍ය නිලධාරීන්ගෙ සල්ලි රිටන් කලාට පස්සෙ සාමාන්‍ය ජනතාවගේ සල්ලි ආපහු දෙන්න සල්ලි දඬුවම් මුදලාලි අතේ තිබුනෙ නෑ. ඒත් ඉන්වෙස්ට් කරපු සල්ලි ඒ වගේ සිය ගුණයක් තිබුනා. ඔය අතරෙ දඬුවම් මුදලාලි අතුරුදන් වෙලා පස්සෙ දඬුවම් මුදලාලිගෙ ඩෙත් බොඩි එක අහුවෙනවා කැලෑවක තිබිලා. ඒක වෙන්නෙ අර පුද්ගලයා දඬුවම් මුදලාලිව පැහැරගෙන දඬුවම් මුදලාලි ප්‍රොජෙක්ට් වල ඉන්වෙස්ට් කරලා තියන වත්කම් ඔහුට විකුණුව විදිහට ඩොකියුමන්ට්ස් හදාගෙන දඬුවම් මුදලාලිව මරලා දාන හින්දා.

ඊට පස්සෙ ඒ පුද්ගලයා කෙලින්ම කළු සල්ලි සුදු කිරීම පිලිබඳව විශේෂඥය දැනුමක් තියන පුද්ගලයෙක් විදිහට පෙනී ඉන්නවා.20% ක ප්‍රතිශතයක් ඔහුට ලැබෙන විදිහට ඔහු මැති ඇමතිවරුන්ගෙ රාජ්‍ය නිලධාරීන්ගෙ කලු සල්ලි ඔහු දඬුවම් මුදලාලිගෙන් වංචා සහගතව ලබාගත්ත රුපියල් බිලියනයකට වැඩි වත්කම් වලින් ගොඩ නගපු ව්‍යාපාර දියුණු කරන්න ඔහු ඉන්වෙස්ට් කරනවා. ව්‍යාපාර සම්පූර්ණයෙන්ම තියෙන්නෙ ඔහුගෙ නමට ඉන්වෙස්ට් කරලා තියන ප්‍රමාණයන්ගෙන් 80%කට අදාලව මාස් පතා ලාභාංශ ගෙවනවා අදාල පුද්ගලයට. ඒ වගේම ස්වීස් බැංකුවල මැති ඇමතිවරුන්ගෙ කළු සල්ලි ඩිපොසිට් වෙන්නෙ මේ පුද්ගලයා හරහා. අවශ්‍ය අයට පිටරට වල ඉඩ කඩම් ගෙවල් දොරවල් ඔක්කොම අරගෙන දෙන නියෝජිතයත් ඒ පුද්ගලයම තමයි. හරියටම කියනවා නම් ලංකාවෙ උපයන කලු සල්ලි ඔක්කොම තියෙන්නෙ මිනිහගෙ වත්කම් ඇතුලෙ. මේ මනුස්සයා හින්දා තමයි පහුගිය දවස් වල මැති ඇමතිවරු අතරත් රාජ්‍ය නිලධාරීන් අතරත් හොයාගන්න බැරි කැලඹීමක් තිබුනෙ. ඒ මනුස්සයාගෙ අතුරුදන් වීමයි අගමැතිතුමාගෙ මරණයයි අතර සම්බන්ධතාවයක් තියනවා කියලා මට හිතෙනවා. දැනට ඒක සනාත කරන්න Evidence නැති උනාට ඒක තමයි වෙන්න ඇත්තෙ කියලා මට මගෙ experience වලින් කියන්න පුලුවන්. කොහොම උනත් මේ සිද්ධියත් එක්ක ගොඩක් බරපතල තත්වයක් රටේ ඇතිවෙයි.

CIB අධ්‍යක්ෂක කිව්වෙ මම කනින් කොනින් අහලා තිබුනට සනාත කරගන්න බැරුව හිටපු කාරණාවක්.

"දැන් කවුද එතකොට ඔය කළු සල්ලි සුදු කරපු ඒජන්ට්"

මම ඇහුවෙ මට හොරෙන් කැබිනට් එක ඇතුලෙම කොච්චර දේවල් වෙනවද කියලා හිතාගන්න බැරුව.

තියන ලොකුම ප්‍රශ්නෙ තමයි සර් ඒ කවුද කියන්න හොයාගන්න කිසිම චාන්ස් එකක් නැති එක. අගමැතිතුමාගෙ පෞද්ගලික ලේකම් හරහා තමයි ඔක්කොම කළු සල්ලි වොෂ් කරන්න අදාල ඒජන්ට ගිහින් තියෙන්නෙ. මට හිතෙන්නෙ අගමැතිතුමාගෙ පෞද්ගලික ලේකම් කියන්නෙත් ඩමියක්. ලේකම් හරහා අගමැතිතුමාට යන්න ඇති සල්ලි අගමැතිතුමාට තමයි ඒජන්ට් එක්ක ඩිරෙක්ට් කනෙක්ෂන් තිබිලා තියෙන්නෙ. කොහොම උනත් දැන් දවස් දෙකකට කලින් මැති ඇමතිවරු කීප දෙනෙක්ගෙ ස්විස් ගිනුම් වල සල්ලි ගිනුම් වලින් අරගෙන ගිනුම් වහලා. ඒ ගැන අහන්න මිනිහව සම්බන්ධ කරගන්න ට්‍රයි එකක් දුන්නට සම්බන්ධ කරගන්න බැරි වෙලා තියනවා. එතනින් තමයි සැකය ඇවිත් හොයන්න පටන් අරගෙන තියෙන්නෙ. මෙච්චර කල් ලෝකෙ වටේම තිබිච්ච අදාල රටවල රජයේ ලියාපදිංචි ව්‍යාපාර විදිහට ඒ ඒ ගවර්න්මන්ට් වල වෙබ් සයිට් වල පෙන්නපු ඒවා දැන් පෙන්වන්නෙ නැති උනාම තමයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. කළු සල්ලි ඉන්වෙස්ට් කරපු අයට කොටස් දීලා තියෙන්නෙ ඇත්තටම නැති මේ වෙබ් සයිට් හරහා මවල පෙන්නපු ව්‍යාපාරය වලින්. ඇත්තටම ඒ ව්‍යාපාර නැති උනාට වෙබ්සයිට් හරහා හරියටම ප්‍රතිනිර්මාණය කරලා තියනවා සැබෑ ව්‍යාපාර විදිහටම. බොහොම දක්ෂ හැකර් කෙනෙක් හරහා කරපු සෙල්ලමක්. කොහොම උනත් මේ ඒජන්ට් කවුද කියන්න කිසිම සාක්ෂියක් නෑ. අගමැතිතුමා තමයි ඒජන්ට ඩිරෙක් සම්බන්ධතාවයක් තිබිච්ච එකම පුද්ගලයා අගමැතිතුමාගෙ මරණයත් එක්ක ඒ මනුස්සයා සම්පූර්ණයෙන්ම අතුරුදන් වෙනවා රුපියල් ට්‍රිලියන 9කට කිට්ටු වත්කම් එක්ක.

අපිට මේ ගැන කලින් දැන ගත්ත නම් අගමැතිතුමාව බේර ගන්න තිබුනා. දැන් අපි සම්පූර්ණයෙන්ම අවධානය දෙන්න හදන්නෙ මේ ඒජන්ට් කවුද කියලා හොයාගන්න.

CIB ඩිරෙක්ටර් කිව්වා.

දඬුවම් මුදලාලිගෙ ඉන්වෙස්ට්මන්ට් මිලදී ගත්තෙ කවුද? එතනින්ම ඒ ප්‍රශ්නෙ විසඳෙනව නේද? ඇයි ඒ මිනිහා හොයන්න ඔච්චර අමාරුයි කියන්නෙ.

මම ඇහුවෙ මෙච්චර ලේසි පාරක් තියෙද්දි ඒ මිනිහව හොයාගන්න බෑ කියන්නෙ ඇයි කියලා හිතාගන්න බැරුව.

"ඒ ඉන්වෙස්ට්මන්ට් ඔක්කොම අරගෙන තියෙන්නෙ අගමැතිතුමාගෙ නමට. ඒකයි අපිට ඒ ඒජන්ට් ගැන කිසිම තොරතුරක් නැත්තෙ."

CIB අධ්‍යක්ෂක කිව්ව අලුත්ම කතාවට මාවත් හොල්මන් වෙලා ගියා.

"එතකොට අගමැතිතුමාද මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ"

"නෑ. සර්. අගමැතිතුමා නෙවෙයි. ඒත් කවුරු උනත් අගමැතිතුමාව නියම විදිහට පාවිච්චි කරලා රුපියල් ට්‍රිලියන 9ක වත්කම් අතුරුදන් කරලා."

CIB ඩිටෙක්ටර් කිව්වා.

"දැන් අපිට මේ ඒජන්ට්ව හොයාගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?"

මම ඇහුවෙ මේක හිතාගන්න බැරි තරම් ලොකු සෙල්ලමක් හින්දා.

එකම ක්‍රමයක් තියෙනවා.

CIB ඩිරෙක්ටර් ටිකක් වෙලා කල්පනා කරලා කිව්වා.

හතරවන කොටසින් හමුවෙමු...



Ref: https://www.facebook.com/groups/atampahiya/permalink/3105062222899876/