ඔබ නිවසින් එළියට බහින්නේ යා යුතු තැන ගැන අදහසක් සහිතවය. යන්නේ කොතනටද, යා යුත්තේ කෙසේද, යා යුත්තේ කා සමඟද යනාදිය පිළිබඳව මනා කල්පනාවකින් හා අවබෝධයකින් යුතුව ඔබ නිවසින් එළියට බසී.
නමුත් කෙදිනක හෝ යා යුතු තැන ගැන කිසිදු අදහසක් නොමැතිව, ඉතාමත් අනපේක්ෂිතව, ඔබට නිවසින් එළියට බසින්නට වූවොත් ඔබට දැනෙන්නේ කවර ආකාරයේ හැඟීමක්ද..! හිස හැරුණු අතේ යනවා, අයාලයේ යනවා යන හැඟීම ඔබ කෙදිනක හෝ අත්විඳ තිබේද..!
අප ජීවිතයේ කොපමණ ගමන් ගොස් ඇත්ද, ඒ සෑම එකක්ම පාහේ අරමුණක් හා අදහසක් ඇතිව, සැලසුම් සහගතව ගිය ගමන්ය. ඉදිරියේදි යාමට නියමිත ගමන්ද එසේ වනු ඇත.
එය එසේ වූවද මරණ මොහොතේදි ඔබට යන්නට වන ගමන කොහේදැයි කියා යම්තම්වත් අදහසක් ඔබට නොතිබේ. ඔබ දන්නේ ඔබට පුරුදු සියළු දෙනා , පුරුදු පරිසරය අතහැර, යන තැන ගැන කිසිඳු අදහසක් නැතිව ඔබ කැමති වූවත් අකැමැති වූවත් යා යුතු බව පමණි.
යන තැනක් නොදැන නිවසින් එළියට යාමේදී ඇතිවන අනපේක්ෂිත බව පිරුණු, බය සැකය පිරුණු හැඟීම් වලට වඩා දස දහස් ගුණයක බය දුක ශෝකය වික්ෂිප්ත බව ආදී හැඟීම් ඔබට දැනෙනු ඇත. නිවසින් පිටතට යාමේදී යන තැනක් නොදන්නා නමුත්, අපට කැමති නම් නොයා සිටීමට හැකිමුත්, මරණයේදි අපට එසේ තේරීමක් නොවේ.
මරණ මොහොත ආ කල, අපට පසුවට කල් දැමිමක් ගැන සිතිය නොහැක. අප කැමති අය අපට රැගෙන යා නොහැක. තනිවම යා යුතුය. මහා අනන්ත විශ්වයට ඔබව නිදහසේ මුදා හැර ඇත. ඒ අනන්ත විශ්වයේ කවර හෝ තැනකට යා හැක.
මොහොතක් දෙනෙත් පියාගෙන මෙනෙහි කරන්න. එකින් එක අත හරින්නට බලන්න. අවංකවම ..හදවතින්ම.. යන තැන ගැන කිසිදු අදහසක් නොමැතිව...ඔබට මනස සංසුන්ව තබා ගෙන යා හැකිදැයි මෙනෙහි කර බලන්න..
බොහෝ විට මියයන මොහොතේ මහත් වූ කායික පීඩාවන් රැසක් මැද ඒ ගමන් යන්නට වෙන බව නොරහසකි. එවන් මොහොතක වුව මෙලෙසින් මනස සකසා යාමට හැකිදැයි බලන්න..
ඔබ සත්‍ය වශයෙන්ම මෙය අත්හදා බැලිය හැකි නම්...
මහ පොළොවේ පස් අතරින්, නිය සිල මතට ගත් පස් ස්වල්පය තරම් වූ ඉතාමත්ම ඉතාමත්ම නොගිණිය හැකි තරම් වූ අල්ප වූ පිරිසක් සුගති ලොවක් කරා යන බවට බුදු රජාණන් වහන්සේ දේශනා කර උපමාව කෙතරම් සත්‍යයද යන වග...
අප්‍රමාදී වන්න..
නොසන්සුන්ම වූ මොහොතක....
අවසන් හුස්ම පොද ගිලිහී යන මොහොතක...
සන්සුන්ව මනස සකසා ගන්නට...
සිත පුහුණු කරන්න...
කැමති ඕනෑ මොහොතක...
කැමති තරම් වේලා...
ධර්මය ශ්‍රවණය කරන්නට..
භාවනා කරන්නට...
තිබූ කල් වේලාව හිස් වූ දේවල් වෙනුවෙන් අපතේ යවා..
අවසන් හුස්ම පොද ගිලිහී යන මොහොතේ ඒ ගෙවුණු කාලය ගැන පසුතැවෙන්නට ඉඩ නොතබන්න...
මේ ගෙවෙන්නේ යළි හමුවීමට ඉතා දුර්ලභ බුද්ධොත්පාද කාලයක් බව අමතක නොකරන්න...!