Premawathi Manamperi Gaathanaya

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    නිර්නාමික පෙත්සමකින් රටට හෙළිවූ මනම්පේරි ඝාතනය

    කතරගම රූමතිය ලෙස අභිෂේක ලද ප්‍රේමවතී මනම්පේරි ඝාතනයට ලක්‌වී ඉකුත් අප්‍රේල් 17 වැනි දිනට හරියටම වසර 45 ක්‌ සම්පූර්ණ විය.

    එවකට අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය නොවන්නට මේ සිද්ධිය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට හොඳටම ඉඩ තිබිණි.

    එසේම එකල මෙම සිද්ධිය රටට අනාවරණය කිරීමට අභීතව ඉදිරිපත් වූයේ බී. ඒ. සිරිවර්ධන මහතා කර්තෘත්වය දැරූ 'ඇත්ත' පුවත්පත පමණි.

    'ඇත්ත' පුවත්පත මේ සිද්ධිය පළ කළේ එවක ඉංග්‍රීසි පුවත්පතක කර්තෘවරයකුට කතරගම ප්‍රදේශයෙන් ලැබී තිබුණු නිර්නාමික පෙත්සමක ප්‍රතිඵලයක්‌ වශයෙනි.

    කෙසේ හෝ මේ සාහසික අපරාධය හෙළි කරමින් 'ඇත්ත' පළකළ අභීත විලාසයත් එයට දායක වූ ප්‍රවීණ මාධ්‍යවේදී ස්‌ටැන්ලි සමරසිංහ හා මමත් මුහුණ දුන් අත්දැකීම්වලින් බිඳක්‌ විස්‌තර කිරීම මේ ලිපියේ අරමුණයි.

    එසේම ප්‍රේමවතී මනම්පේරිට එවන් දුක්‌ඛදායක ඉරණමක්‌ අත්වීමට තුඩු දුන් දේශපාලන හා සමාජ කරුණු මෙන්ම එම සිද්ධිය පසුකලෙක දේශපාලන වේදිකාවල භාවිත කළ ආකාරය ද විමසා බැලීම ලියුම්කරුගේ අරමුණයි.

    සත්‍යය තරමටම අසත්‍ය තොරතුරු වලින් පිරුණු එම සිදුවීම්වල අප දන්නා සත්‍යය හෙළිකිරීම අප කළ යුතු සමාජ මෙහෙවරක්‌ ලෙස සලකා මෙම ලිපිය ඉදිරිපත් කරන බව සැලකුව මැනවි.

    premawathi%2Bmanamperi-lankanews.jpg


    -------- ------- -------- ------- -------- -------

    රට පුරා මහත් ආන්දෝලනයට හේතුවූ කතරගම ප්‍රේමවතී මනම්පේරි තරුණිය ඝාතනය කිරීමේ සිද්ධියට වසර 45 ක්‌ සම්පූර්ණ වූයේ පසුගිය අප්‍රේල් 17 දාය. 1971 අප්‍රේල් කැරැල්ල ගැන සඳහන් කරන විට ප්‍රේමවතී මනම්පේරි නාමයද නිතැතින්ම කියෑවෙන්නේ ඇය හමුදා නිලධාරියකු විසින් නිරුවත්කොට මහමග ඇවිද්දවා ඉතාමත් කෲර අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීම නිසාය. කතරගම නගරයේ දෙනෝදාහක්‌ ඉදිරියේ සිදුවී ඇති මෙම සාහසික අපරාධය එකල තිබූ කිසිදු පුවත්පතක පළ නොවීය. එයට හේතු වන්නට ඇත්තේ කතරගම ප්‍රදේශයේ පුවත්පත් වාර්තාකරුවන් හමුදාවට ඇති බිය නිසා මේ සිද්ධිය වාර්තා නොකිරීමයි.

    මේ වන විට මා සේවය කළේ "ඇත්ත" පුවත්පතේ කර්තෘ මාණ්‌ඩලිකයකු වශයෙනි. "ඇත්ත" කර්තෘ වූයේ අදීන මාධ්‍යවේදියකු වූ බී. ඒ. සිරිවර්ධන මහතාය. ඔහු වෙනත් පුවත්පත් ආයතනවල සේවය කළ මාධ්‍යවේදින්ගේද මිතුරකු විය. ඒ නිසා ඇතැම් පුවත්පත් කතුවරු ඔහු හමුවීමට "ඇත්ත"ට පැමිණියහ. දිනක්‌ සවස එක්‌තරා ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක කර්තෘවරයකු සිරිවර්ධන මහතා හමුවීමට පැමිණ කිසියම් ලිපියක්‌ ඔහුට දී ඒ ගැන සාකච්ඡා කළ අයුරු අසල මේසයක වැඩකරමින් සිටි මට දැකගත හැකිවිය. "සිරා මේක මාර කතාවක්‌. හැබැයි අපට මේක පාවිච්චි කරන්න විධියක්‌ නැහැ. පුළුවන්නම් මොනව හරි කරන්න බලන්නැයි" සිරිවර්ධන මහතාට පැවසූ එම කතුවරයා අප සමගද වචනයක්‌ දෙකක්‌ කතාකොට පිටවී ගියේය.

    ඉංග්‍රීසි පුවත්පත් කතුවරයා සිරිවර්ධන මහතා අතට පත්කොට තිබුණේ කතරගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් එවා තිබූ නිර්නාමික ලිපියකි. අප්‍රේල් කැරැල්ලේ කතරගම ප්‍රදේශයේ නායිකාවක ලෙස සැකකොට යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටි රූමත් තරුණියක්‌ නිරුවත්කොට මහ පාර දිගේ ඇවිද්දවා පසුව ඇයට වෙඩි තබා ඇය මිය යැමට පෙර වළ දැමූ බවත් එහි සඳහන්කොට තිබුණි. එහෙත් මෙය එකවරම පත්‍රයේ පළ කළ නොහැක. සිරිවර්ධන මහතා ප්‍රවෘත්ති කර්තෘ නිව්ටන් සෙනෙවිරත්න මහතා සහ මාණ්‌ඩලික වාර්තාකරුවන් වූ බෙනට්‌, ස්‌ටැන්ලි හා මා ඇතුළු කිහිප දෙනකු සමඟ සාකච්ඡා කළේය. අන්තිමේදී ස්‌ටැන්ලි සමරසිංහට කතරගම ගොස්‌ මේ සිද්ධිය පිළිබඳ තොරතුරු සොයන ලෙස සිරිවර්ධන මහතා දැනුම් දුන්නේය.

    ඒ අනුව පසුදාම කතරගම ගිය ස්‌ටැන්ලි දින දෙකකට පසු පැමිණියේ ප්‍රේමවතී මනම්පේරි නමැති එම තරුණිය ඝාතනය කිරීමේ සිද්ධියේ සියලු තොරතුරුද රැගෙනය. ඔහු කතරගම නගරයේ එම සිද්ධිය ඇසින් දුටු අයගෙන් තොරතුරු ලබාගෙන තිබුණි. පොලිසියේ සමහර නිලධාරීන්ද ස්‌ටැන්ලිට රහසිගතව තොරතුරු ලබාදී තිබූ අතර ඔහු දෙටගමුවේ ප්‍රේමවතී මනම්පේරිගේ නිවෙසටද ගොස්‌ ඇගේ මව හා පවුලේ අය මුණගැසී තිබිණි. එම නිවෙසේ තිබූ ප්‍රේමවතී මනම්පේරිගේ සියලුම පින්තූරද ස්‌ටැන්ලි රැගෙනවිත් තිබුණි. ඇය පාසල් නිල ඇඳුමින් සැරසීගත් ඡායාරුපයක්‌ද කතරගම අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳි ඡායාරූපද ඒ අතර විය.

    කතරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ රහසක්‌ව තිබූ, එමෙන්ම මුළු රටටම රහසක්‌ වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතන සිද්ධිය මුල් වරට" ඇතත් ප්‍රධාන පුවතක්‌ මගින් ලොවට හෙළිකළේය. පුවත පත්‍රයේ පළවීමෙන් පසු ඒ ගැන රට පුරා විශාල කතාබහක්‌ ඇති වූ අතර කැබිනට්‌ මණ්‌ඩලයේද මේ ගැන සාකච්ඡා වී තිබුණි.

    මෙම පුවත දුටු අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය මෙම සිද්ධිය ගැන පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වා එයට වගකිව යුත්තන්ට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමට පියවර ගන්නැයි පොලිස්‌පතිවරයාට නියෝග කළාය.

    අනතුරුව රහස්‌ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ කතරගම ප්‍රදේශයට ගොස්‌ පරීක්‍ෂණ පවත්වා එහි වාර්තාවක්‌ පොලිස්‌පතිවරයා මගින් නීතිපතිවරයා වෙත භාර දුන්නේය.

    ඒ අනුව ප්‍රේමවතී මනම්පේරි තරුණිය නිරුවතින් මහ මග ඇවිද්දවා ඇයට වෙඩි තැබූ කතරගම ප්‍රදේශයේ හමුදා කඳවුර භාරව සිටි ලුතිනන් ඒ. විඡේසූරියට සහ ඔහුට සහාය දුන් සැරයන් රත්නායකට එරෙහිව හම්බන්තොට මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩු පවරනු ලැබීය. මෙම නඩුව වාර්තා කිරීම සඳහා හම්බන්තොට මහෙස්‌ත්‍රාත් උසාවියට ගිය "ඇත්ත" මාණ්‌ඩලික වාර්තාකරු ස්‌ටැන්ලි සමරසිංහට යුද හමුදා සෙබළුන් පිරිසකගේ තර්ජන පවා එල්ලවී තිබිණි. පසුව මහෙස්‌ත්‍රාත්වරයා විසින් ඔහුට ආරක්‌ෂාව සපයන්නැයි නඩු විභාගයට පැමිණ සිටි රහස්‌ පොලිස්‌ නිලධාරීන්ට දන්වා තිබුණි.

    පසුව මෙම නඩුව හම්බන්තොට මහෙස්‌ත්‍රාත්වරයා විසින් ගාල්ලේ අපරාධ නඩු අධිකරණය වෙත යොමු කරන ලදී. ඒ අනුව මෙම නඩුව විභාග කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ ඩී. කිව්. ඇම්. සිරිවර්ධන මහතා විසිනි. පැමිණිල්ල මෙහෙයවූයේ රජයේ නීතිඥ කෙනත් සෙනෙවිරත්න මහතාය.

    මෙම නඩුව වාර්තා කිරීමට පැවැරුණේ ස්‌ටැන්ලි සමරසිංහට හා මටය. මගේ ගම ගාල්ලේ ගිංතොට බැවින් අප දෙදෙනා ගිංතොට අපේ ගෙදර නතර වී එහි සිට උසාවි ගියෙමු. ගාල්ලේ කොටුවේ පිහිටි අපරාධ නඩු අධිකරණය වෙත ගිය අපට එහි වාඩිවීමට පුටුවක්‌ වත් ලැබුණේ නැත. එහි වාර්තාකරුවන් සඳහා පුටු 3 ක්‌ පමණක්‌ තිබූ අතර ඒවා ලංකාදීප, දිනමිණ හා දවස වාර්තාකරුවන් සඳහා විය. ස්‌ටැන්ලිත් මාත් නඩු විභාග නැරඹීමට එන මහජනයා සඳහා තිබූ බංකුවක වාඩි වී අපේ රාජකාරි ආරම්භ කළෙමු. නඩුවේ සාක්‌කි විභාගය අප දෙදෙනා ඒ මොහොතේම සෘජු වාර්තා ලෙස ලියා ගත්තේ සටහන් ලියාගෙන ඒවා පසුව යළි ලිවීමට කාලයක්‌ නොතිබූ හෙයිනි. අනිකුත් වාර්තාකරුවන් තිදෙනාගෙන් එක්‌ අයකු ටයිකෝට්‌ හැඳ සිටි අතර අනිත් දෙදෙනා ටයි පටිවලින් සැරසී සිටියහ. නිකම්ම කලිසම හා කමිසයෙන් සැරසී සිටි බැවින්දෝ ඔවුන් අප ගණන් ගත්තේ වත් නැත.

    මේ වන විට විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මගින් දිවයිනේ ප්‍රධාන නගරවලට සෘජු දුරකථන පහසුකම් සපයා තිබිණි. ගාල්ලේද සෘජු දුරකථන පහසුකම් සපයා තිබුණද ඒවා තිබුණේ අත්හදාබැලීමේ අවස්‌ථාවේය. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතියක අපේ මිතුරකු මගින් ගාල්ලේ විදුලි සංදේශ හුවමාරුවේ සිට කොළඹට සෘජු ඇමතුම් ලබා ගැනීමට අවස්‌ථාව උදාකර ගැනීමට අපට හැකි විය.

    ඒ අනුව නඩු විභාගයේ පළමු පැය දෙකින් වාර්තාව ලියාගත් මා ගාල්ලේ වක්‌වැල්ල පාරේ පිහිටි විදුලි සංදේශ හුවමාරුව වෙත ගොස්‌ එහි සිට මගේ වාර්තාව දුරකථන මගින් කාර්යාලයට ලබා දුනිමි. එය ලියා ගත්තේ "ඇත්ත" උප කතුවරයකු වූ සුනිල් සී. ද සිල්වා විසිනි. මා යළි අධිකරණයට පැමිණි පසු ස්‌ටැන්ලිද එහි ගොස්‌ ඔහුගේ වාර්තාව ඒ අයුරින් කාර්යාලයට ලබා දුන්නේය. පස්‌වරු 2.30 ට පමණ දිනයේ නඩු විභාගය අවසන් වන විට අපගේ වාර්තා "ඇත්ත" ට ලැබී තිබුණි.

    පසුදින "ඇත්ත" පත්‍රයේ ප්‍රධාන පුවත ලෙස පළකොට තිබුණේ මනම්පේරි නඩු විභාගය පිළිබඳව අප යෑවූ වාර්තාවය. එයට ප්‍රේමවතී මනම්පේරිගේ ඡායාරූප ද ඇතුළත් කොට තිබුණි. එදින ගාල්ලේ බොහෝ දෙනා "ඇත්ත" පත්‍රය ගත්තේ පොරකමිනි.

    අප දෙදෙනා පසුදින යළි උසාවියට යැම සඳහා ගිංතොට හන්දිය අසල බස්‌ නැවතුම් පළේ සිටියදී කොළඹ දෙසින් පැමිණි මෝටර් රථයක්‌ අප ඉදිරියේ නතර විය. එහි සිටියේ රජයේ නීතිඥ කෙනත් සෙනවිරත්න මහතාය. ඔහු ජ්‍යෙෂ්ඨ අධිකරණ වාර්තාකරුවකු වූ ස්‌ටැන්ලිගේ මිත්‍රයෙකි. අප දෙදෙනා ඔහුගේ රියට ගොඩවීමු. ස්‌ටැන්ලිත් මාත් රජයේ නීතිඥවරයාගේ මෝටර් රථයෙන් උසාවියට පැමිණෙනු දුටු ගාල්ලේ අනිත් පුවත්පත්වල වාර්තාකරුවන්ගෙන් ඉන්පසු අපට මහත් සැලකිලි ලැබුණි. ඔවුහු අධිකරණයේ ලේඛකාධිකාරීට කියා අප දෙදෙනාටද පුටු දෙකක්‌ ලබාදීමට උත්සුක වූහ.

    එම වාර්තාකරුවන් පුරුදු වී තිබුණේ නඩු විභාගයේ සටහන් ලියාගෙන ඒවා පසුව වාර්තා ලෙස සකස්‌කොට තැපැල් මගින් හෝ පුවත්පත් ප්‍රවාහනය කරන වෑන් රථ මගින් කාර්යාල වෙත යෑවීමටය. අපගේ වාර්තාව පසුදින "ඇත්ත" පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස පළවීම ඔවුන්ට ගැටලුවක්‌ වී තිබුණේ එම වාර්තාව එදිනම පුවත්පතට ලැබී තිබීම නිසාය.

    "ඇත්ත" පුවත්පත ප්‍රේමවතී මනම්පේරි නඩු විභාගය ප්‍රධාන පුවත ලෙස පළ කිරීමත් එයින් පුවත්පතේ අලෙවිය විශාල ලෙස ඉහළ යැමත් නිසා සෙසු පුවත්පත්වලට මේ පිළිබඳව දැඩි අවධානයක්‌ යොමු කිරීමට සිදුවිය. "දවස" පුවත්පත එහි ගාල්ල වාර්තාකරුවන්ට නඩු වාර්තාව දිනපතා සවස 4 ට ගාල්ලෙන් පිටත්වන දුම්රියෙන් එවන ලෙස දන්වා තිබුණේ ඒ අනුවය. එය කොළඹට ලැබෙන විට රාත්‍රි 9 පමණ වූ බැවින් නඩු වාර්තාව "දවස"ට පළකළ හැකිවූයේ කොළඹ මුද්‍රණයේ පමණි.

    නඩු විභාගය අවසානයේදී පළමු විත්තිකාර ලුතිනන් ඒ. විඡේසූරිය හා දෙවැනි විත්තිකාර සැරයන් රත්නායක චෝදනාවන්ට වරදකරුවන් වූ අතර ඔවුන්ට වසර 16 ක සිර දඬුවමක්‌ නියම විය. පසුව ඔවුන් එම තීන්දුවට එරෙහිව අපරාධ අභියාචනාධිකරණය වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කළේය. ඒ . සී. අලස්‌ (සභාපති) වී. නාමෝදරම් හා ඩී. විමලරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ එය විභාගයට ගනු ලැබූ අතර 'ඇත්ත' වෙනුවෙන් එය වාර්තා කළේ ද ස්‌ටැන්ලිය. එහිදී කලින් තීන්දුවම අනුමත වූ අතර සිර දඬුවම්වල වෙනසක්‌ නොවීය.

    වසර 16 ක සිර දඬුවමක්‌ විඳිමින් සිටි විඡේසූරිය ඊට වසරකට පසු බන්ධනාගාරයේදී හෘදයාබාධයකින් මිය ගියේය. සිර දඬුවම් විඳ නිදහස්‌ වී පැමිණි රත්නායක දෙවිනුවර සිය නිවසේ සිටියදී 1988 - 89 භීෂණ සමයේදී ජ. වි. පෙ. සාමාජිකයන් විසින් පිහියෙන් ඇන ඝාතනය කළ බව වාර්තා විය.

    1971 අප්‍රේල් කැරැල්ල සමයේ සිදු වූ මෙම සිද්ධිය "ඇත්ත" මගින් හෙළි නොකළේ නම් එය තවත් "එක්‌ සිදුවීමක්‌" පමණක්‌ වීමට ඉඩ තිබුණි. එදා අද මෙන් මානව හිමිකම් සංවිධාන නොවීය. හමුදාවේ ධෛර්ය හීනවන බව කියමින් මෙවැනි ඝාතන පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට ඇතැම් බලධාරීන් පසුබට වුවද එදා අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවක වශයෙන් ප්‍රේමවතී මනම්පේරි ඝාතනය ගැන සම්පූර්ණ පරීක්‍ෂණයක්‌ කොට ඊට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන එන ලෙසට දුන් එඩිතර නියෝගය මුළු ලෝකයේම පැසසුමට ලක්‌විය


    ප්‍රේමවතී මනම්පේරිට ඡේ.වී.පී. හංවඩුව ගැහුවේ කවුද?

    රෝහණ විඡේවීරගේ නායකත්වයෙන් ආරම්භවූ ජනතා විමුක්‌ති පෙරමුණට තරුණයන් පමණක්‌ නොව තරුණියෝ ද සිය ගණනින් එක්‌වී සිටි අතර 1971 අප්‍රේaල් කැරැල්ලේදී ඔවුන් විසින් ද විශාල වැඩ කොටසක්‌ ඉටු කොට තිබූ බව පසුව කැරැල්ල පිළිබඳ නඩු විභාගවලදී හෙළි විය.

    කමණි, සම්පතී, සුසිලා, සුජාතා, හඳගම, ලීලා, පුෂ්පා, පියසීලි, නන්දසීලි, චන්ද්‍රd, ධම්මිකා සහ ආරියවතී ආදී තරුණියන්ගේ නම් රැසක්‌ අපරාධ යුක්‌ති විනිශ්ච කොමිෂන් සභාව ඉදිරියේ විභාග වූ කැරැල්ලේ මහ නඩුqවේදී ලොකු අතුල විසින් දෙන ලද සාක්‍ෂියේදී අනාවරණය විය. කැරැල්ල සංවිධානය කිරීමේදී කැරළිකරුවන්ට යුනිෙµdaම් මැසීම, ප්‍රථමාධාර සඳහා ඖෂධ රැස්‌ කිරීම, කැරළිකරුවන් වෙත පණිවුඩ ගෙන යැම පමණක්‌ නොව පොලිස්‌ ස්‌ථානවලට පහරදීම සඳහා ද තරුණියන් රැසක්‌ ක්‍රියාකාරීව සහභාගි වූ අයුරු, ජවිපෙ ප්‍රධාන නායකයකු සහ අප්‍රේල් මහ නඩුවේ 6 වැනි විත්තිකරු වූ නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල කොමිසම ඉදිරියේ විස්‌තර කළේය.
    prema1.jpg

    කැරැල්ලේ නායිකාවන් ලෙස කටයුතු කළ තරුණියන්ගෙන් ඇතැමෙකු කැරැල්ල අසාර්ථක වී සිංහරාජයට හා විල්පත්තුවට පසු බසිද්දී හමුදාව සමග ඇතිවූ ගැටුම්වලදී මරුමුවට පත්වූ අතර වැඩිදෙනෙක්‌ හමුදාවට සහ පොලිසියට බාර වූහ. දීර්ඝ කාලයක්‌ පොලිස්‌ අත්අඩංගුවේ සහ පුනරුත්ථාපන කඳවුරුවල රඳවා තබනු ලැබූ මොවුන් පසුව නිදහස්‌ කරන ලදී.

    කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ කැරලි නායිකාවක ලෙස කටයුතු කළේ මේජර් මල්ලිකා නමින් හැඳින්වූ තරුණිය ද ජනතා විමුක්‌ති පෙරමුණට තරුණ තරුණියන් බඳවා ගැනීම, පංති පැවැත්වීම, ආයුධ එකතු කිරීම හා ඒවා සිය නිsවෙසේ සඟවා තබා ගැනීමෙන් කැරැල්ල ආරම්භවූ පසු එයට සක්‍රීයව සහභාගි වී පොලිසිවලට පහරදීමටත් සහභාගි වූවාය. පසුව කැරැල්ල අසාර්ථක වීමෙන් පසු පලායමින් සිටියදී මේජර් මල්ලිකා සෙසු කැරළිකරුවන් සමග හමුදාවට යටත් වූවාය. පසුව පැවැති නඩු විභාගවලින් පසු පුනරුත්ථාපනය වී නිදහස ලැබූ ඇය පසු කාලයක අප්‍රේල් කැරැල්ල පිළිබඳ මහ නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතකු සමග විවාහ වූ බවද වාර්තා විය.

    එහෙත් අප්‍රේල් කැරැල්ලේ නායිකාවක ලෙස හඳුන්වා අත්අඩංගුවට ගෙන කෲර ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබූ කතරගම ප්‍රේමවතී මනම්පේරි තරුණියට එවැනි ශෝචනීය ඉරණමක්‌ අත්වූයේ ඇයි?

    අප පසුගිය සතියේ ලිපියෙන් සඳහන් කළ පරිදි ප්‍රේමවතී මනම්පේරි ඝාතනය පිළිබඳව "ඇත්ත" පුවත්පතට ලැබුණු තොරතුරු සොයා බැලීමට කතරගමට ගිය අප මිත්‍ර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ස්‌ටැන්ලි සමරසිංහට පැවරී තිබුණේ බරපතල වගකීමකි.
    prema5.jpg

    ඒ වනවිටත් කතරගම පැවැතියේ හමුදාවේ පාලනය යටතේය. එම ප්‍රදේශයට ආගිය අය පිළිබඳව හමුදාව විමසිල්ලෙන් පසුවිය. එබැවින් තොරතුරු සෙවීමද ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවීය.

    කොළඹ සිට ලංගම බසයකින් කතරගමට පැමිණි ස්‌ටැන්ලි වන්දනාකරුවන් සඳහා වූ රාමක්‍රිෂ්ණ විශ්‍රාම ශාලාවේ නවාතැන් ගත්තේය. එකල එහි නවාතැන් ගන්නා වන්දනාකරුවන්ට විශ්‍රාම ශාලාව මගින් නොමිලේ තුන්වේලටම ආහාර සපයන ලද බැවින් ඔහුට කෑම බීම පිළිබඳව ද ප්‍රශ්නයක්‌ නොවීය. එදින හැන්දෑවේ කිරිවෙහෙර වැඳ පුදාගත් ඔහු රාත්‍රියේ විශ්‍රාම ශාලාවේ ගත කොට පසුදා උදේ කතරගම දේවාලයේ පැවැති පූජාවට ද සහභාගි වූයේ නියම වන්දනාකරුවෙකු මෙනි.

    ඉන්පසු ඔහු නගරයේ ඇවිදිමින් පුද්ගලයන් මුණගැසී තොරතුරු සෙවීම ඇරැඹීය. කතරගම ලංගම විශ්‍රාම ශාලාවේ පිහිටුවා තිබූ යුද හමුදා කඳවුරේ සිට ප්‍රේමවතී මනම්පේරි තරුණිය නිරුවතින් මහමඟ ඇවිද්ද වූ අයුරුත් පසුව ඇයට වෙඩි තබා වළ දමන්නට නියෝග කොට, එහෙත් ඇය මියගොස්‌ නැති නිසා පසුව යළිත් වෙඩි තබා ඝාතනය කළ අන්දමත් ඒ සිද්ධිය ඇසින් දුටු අයගෙන් ඔහුට දැනගත හැකි විය. කතරගම අවුරුදු කුමරිය වශයෙන් ප්‍රේමවතී මනම්පේරි අභිෂේක ලැබූ අවුරුදු උත්සවය පැවැති ගුණසිරි හෝටලය ඉදිරිපිටදීම වෙඩි තබා ඇය ඝාතනය කළ අන්දම එම හෝටලයේ අය ඔහුට විස්‌තර කළේ තමා "ඇත්ත" පුවත්පතේ වාර්තාකරුවකු බව ඔවුන්ට පැවසීමෙන් පසුවය. මේ අයුරින් ලංගම සේවකයන්, ප්‍රදේශවාසීන්, කඩහිමියන්ගෙන් හා රාමක්‍රිෂ්ණා විශ්‍රාම ශාලාවේ පාලනයට සහාය වෙමින් සිටි හින්දු බැතිමතෙකුගෙන් ද තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හා ඒවා තහවුරු කර ගැනීමට ස්‌ටැන්ලි සමත් විය.

    පසුව දෙටගමුවේ පිහිටි ප්‍රේමවතී මනම්පේරිගේ නිවෙසට ගිය ඔහු ඇගේ මව වන ලීලාවති ඔබේසිංහ හා පියා වන පී. එම්. ඩී. හෙන්ද්‍රික්‌ අප්පුහාමි හමුවී සියලු තොරතුරු හා එම නිවසේ තිබූ ප්‍රේමවතීගේ සියලු ඡායාරූප ද ලබා ගත්තේය.

    එකොළොස්‌ දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ ප්‍රේමවතී මනම්පෙAරි රූමත් තරුණියක්‌ වූවාය. ඒ නිසාම ඇයට 1969 හා 1970 වර්ෂවල කතරගම පැවැති අවුරුදු උළෙලවලදී කතරගම අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළැඳීමට අවස්‌ථාව ලැබුණි. පිරිපුන් යොවුන් මෙම රූමතිය කෙරෙහි ඒ වනවිට ප්‍රදේශයේ එක්‌තරා පොලිස්‌ නිලධාරියකු දැඩි අවධානයකින් පසු වූයේ ඇය සමග පෙම් සබඳකමක්‌ ඇති කර ගැනීමේ අරමුණිනි.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් 8 න් ම සමත් වී සිටි ඇය බෞද්ධාචාර්ය විභාගයෙන් ද සමත් වී ගමේ පන්සලේ දහම් පාසලේ ගුරුවරියක ලෙසද කටයුතු කළාය.

    මේ අතර ඇය දහම් පාසලට යන විටදීත් දියනෑමට මැණික්‌ ගඟට යන විටදීත් කිහිප වතාවක්‌ම ඇය පසුපස පැමිණි ඉහත කී පොලිස්‌ නිලධාරියා ඇයට තම ප්‍රේමය ප්‍රකාශ කොට ඇතත් ප්‍රේමවතී එය පිළිගෙන නැත. ඔහු තමා වැනි දුප්පත් තරුණියක්‌ කිසිදාක විවාහ කර නොගන්නා බවත් ඔහු එන්නේ තමාගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට බවත් දැන සිටි ඇය ඔහුට තම අකැමැත්ත පළ කර සිටි බව ප්‍රේමවතී මනම්පේරියගේ මව වන ලීලාවතී මහත්මිය ස්‌ටැන්ලිට පවසා තිබිණි. තම උත්සාහය අසාර්ථක වීම නිසා එම පොලිස්‌ නිලධාරියා මාන බලමින් සිට ඇත්තේ අවස්‌ථාවක්‌ ලැබුණ විට ඇගෙන් පළි ගැනීමටය.

    ඒ වනවිට කතරගම ප්‍රදේශය ජනතා විමුක්‌ති පෙරමුණේ මර්මස්‌ථානක්‌ බවට පත්වී තිබිණි. රෝහණ විඡේවීර නිතර පැමිණීමත් ඔහු තරුණයන් රැසක්‌ සමග සම්බන්ධතා ඇති කරගෙන ඔවුන් මගින් පංති පැවැත්වීමත් නිසා තරුණයන් 500 ක්‌ පමණ කතරගම ප්‍රදේශයෙන් ජවිපෙට සම්බන්ධව සිටි බව පසුව පැවැති නඩු විභාගවලදී හෙළි විය. ගාමිණි බාස්‌, කරුණාසේaන හා සිරිපාල යන නායකයන් පොලිසියට පහරදී කතරගම නගරය හා ඒ අවට ප්‍රදේශය අල්ලාගෙන තිබිණි. ඔවුන් පසුව පෙලිස්‌ වෙඩි පහරින් මියගිය කරුණාසේන හා සිරිපාලගේ නම්වල මුල් වචනගෙන "කරුණාසිරිගම" යනුවෙන් කතරගම නම්කොට දැන්වීම් පුවරු ද සවිකොට ඇත. මෙයින් සිරිපාල නමැත්තා ප්‍රේමවතී මනම්පේරිගේ පවුලේ ඥතියකු ද විය.

    එහෙත් ප්‍රේමවතී මනම්පේරි තරුණිය ජ.වි.පෙ. කටයුතුවලට හෝ කැරැල්ලට සම්බන්ධ වූ බවට කිසිදු තොරතුරක්‌ ඒ පිළිබඳව පසුව පැවැති නඩු විභාගවලදීවත් අනාවරණය නොවීය.

    කැරැල්ල ඇරඹීමෙන් පසු කැරළිකරුවෝ කතරගම පොලිසියට දෙවරක්‌ම ප්‍රහාර එල්ල කළ නමුත් ඔවුන්ට පොලිසිය අල්ලා ගැනීමට නොහැකි විය. එහෙත් ප්‍රමාණවත් තරම් පොලිස්‌ භටයන් නොවීමත් අවි ආයුධ හිඟවීමත් නිසා කතරගම පොලිසිය වසා දමා එහි නිලධාරීහු හම්බන්තොට පොලිසියට ගියහ. මේ නිසා කතරගම පාලනය මුළුමනින්ම කැරළිකරුවන් අතට පත් විය.

    එහෙත් 1971 අප්‍රේල් 10 වැනිදා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් පත් කරනු ලැබූ යුද හමුදා ස්‌වෙච්ඡා බලකායේ කර්නල් ඩෙරික්‌ නුගවෙල මහතාගේ මෙහෙයෑවීම යටතේ ලුතිනන් ඇල්ප්‍රඩ් විඡේසූරිය ප්‍රමුඛ ස්‌වෙච්ඡා සෙබළ කණ්‌ඩායමක්‌ කතරගමට පැමිණියේ අප්‍රේල් මස 16 දාය. ඔවුන් විසින් කතරගම, ලංගම විශ්‍රාම ශාලාව හමුදා කඳුවර ලෙස යොදාගෙන තිබිණි.

    යුද හමුදාව කතරගමට එන බව ආරංචි වීමෙන් පසු කැරළිකරුවෝ පාරට ගස්‌ කපා දමා මාර්ගය අවහිර කොට එම ප්‍රදේශය අතහැර වනාන්තරයට පලා ගියහ. හමුදාව එනවිට එකදු කැරළිකරුවෙකුවත් කතරගම නොවීය.

    හමුදාව කතරගමට පැමිණ කඳවුරු බැඳගත්තේ අප්‍රේල් 16 දා පෙරවරු 5 ට පමණය. එහි පැමිණි විගස හමුදාව කළේ වසා තිබූ වෙළෙඳසල් විවෘත කරවා මහජනයාට පාරිභෝගික භාණ්‌ඩ මිලයට ගැනීමට අවස්‌ථාව සලසාදීමය.

    මේ අතර එදින (16 දා) පෙරවරු 9 ට පමණ කතරගම පොලිසියේ ස්‌ථානාධිපති උඩවත්ත තවත් පොලිස්‌ නිලධාරීන් තුන්දෙනකු ද සමග පොලිසියට සැතපුම් භාගයක්‌ පමණ දුරින් පිහිටි ප්‍රේමවතී මනම්පේරිගේ නිවෙසට ගොස්‌ ඇය බලහත්කාරයෙන් ජීප් රියට නංවාගෙන හමුදා කඳවුරට ගෙන ගිය බව ඇගේ මව වන ලීලාවතී ඔබේසිංහ මහත්මිය ස්‌ටැන්ලිට පවසා තිබිණි. "ඇයි මගේ දුව අරගෙන යන්නේ" යෑයි ඇය විමසූ විට" හේතුව දැනගන්නට තමයි ගෙනියන්නේ" යනුවෙන් උඩවත්ත පිළිතුරු දී ඇත.

    ඉන්පසු කතරගම ප්‍රදේශයේම විසූ කමලාවතී, තේවානි ඇතුළු තවත් තරුණියන් 5 දෙනකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ලංගම විශ්‍රාම ශාලාවේ පිහිටි යුද හමුදා කඳවුරු වෙත ගෙනැවිත් තිබේ. මෙම තරුණියන් එහිදී ලිංගික අතවරයන්ට භාජනය වූ බවද පසුව පැවැති නඩු විභාගවලදී හෙළි විය.

    හමුදා කඳවුරු භාරව සිටි ලුතිනන් විඡේසූරියට පොලිසිය ප්‍රේමවතී මනම්පේරි හඳුන්වා දුන්නේ ඇය කතරගම ප්‍රදේශයේ කැරළි නායිකාව වශයෙනි. ඇය පංති පවත්වා ඇති බවත් කැරළිකරුවන්ට ඇගේ නිවසේදී යුනිෙµdaම් මැසූ බවත් පොලිසිය දැඩිව ප්‍රකාශ කිරීම නිසා ලුතිනන් විඡේසූරිය ද හැසිරී ඇත්තේ තමාට විශාල දඩයමක්‌ ලැබුණාක්‌ මෙනි. අප්‍රේල් 16 දා රාත්‍රියේ හමුදා කඳවුරේ තබාගෙන සිටි තරුණියන් 6 දෙනා අතරින් පසුදා ලුතිනන් විඡේසූරිය ප්‍රශ්න කොට ඇත්තේ ප්‍රේමවතී මනම්පේරීගෙන් පමණි.

    පොලිසිය විසින් මවා පෙන්වා තිබූ චිත්‍රය අනුව ප්‍රේමවතී දරුණු ගණයේ කැරළිකාරියක ලෙස සළකා ඇගෙන් ප්‍රශ්න කළ ලුතිනන් විඡේසූරිය පසුව ඇයට ගිනි අවිය එල්ල කොට ඇඳුම් ගලවන ලෙස තර්ජනය කළ අයුරුත් අනතුරුව ඇයව නිරුවතින් දෑත් ඔසවාගෙන මා පංති පහම කළා" කියමින් පාරදිගේ ඇවිදගෙන යන්නට සැලැස්‌ වූ අන්දමත් එම සිද්ධිය ඇසින් දුටු අයගෙන් ස්‌ටැන්ලිට දැනගත හැකි විය. පසුව පැවැති නඩු විභාගයේදී මේ සිදුවීම වඩාත් විස්‌තරාත්මකව අනාවරණය විය.

    කතරගමට පැමිණි යුද හමුදාව විසින් එකද පිරිමි කැරළිකරුවකුවත් අත්අඩංගුවට ගෙන නැත. ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනැවිත් බාරදුන් ප්‍රේමවතී මනම්පේරි ඇතුළු තරුණියන් 6 දෙනා පමණි. කතරගම පොලිසිය ඔවුන්ගෙන් කිසිදු කටඋත්තරයක්‌ ලබාගෙන නැත. ලුතිනන් විඡේසූරිය ප්‍රේමවතීගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්නකොට ඇතත් කිසිදු ප්‍රකාශයක්‌ ලි�තව සටහන් කරගෙන නැති බව ද හෙළි විය.

    පසුව පැවැති නඩු විභාගවලදී ප්‍රකාශ වූයේ හමුදාව මෙම තරුණියන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත්තේ ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බවයි. ප්‍රේමවතී මරාදැමීමෙන් පසු අනිත් තරුණියන් නිකම්ම නිදහස්‌ කොට යෑවීමෙන් ඒ බව පැහැදිලි විය.

    අත්අඩංගුවට ගෙන සිටි කමලාවතී නමැති තරුණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් කතරගම හමුදා කඳවුරේ ලුතිනන් ගැමුණු විජයරත්න ඇතුළු සෙබළුන් තිදෙනකුට විරුද්ධව රහස්‌ පොලිසිය විසින් වෙනම නඩුවක්‌ පවරා තිබූ අතර ඔවුන් එයට වරදකරුවන් වීම නිසා සිරදඬුවම් නියම විය.

    එහෙත් ප්‍රේමවතී මනම්පේරි දූෂණයට ලක්‌වූවාද යන්න ඔප්පු නොවූයේ ඇයගේ මළ සිරුර පසුව ගොඩගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පරීක්‍ෂා කිරීමේදී සිරුරේ කොටස්‌ විනාශ වී තිබීම නිසාය. මිනී පෙට්‌ටියක නොදමා නිකම්ම වළ දමන ලද ඇගේ සිරුර පස්‌ දමා වැසීමේදී පස්‌වලට තදවීමත්, පසුව වර්ෂා ජලයෙන් මිනී වළ පිරී යැමත් නිසා සිරුර බෙහෙවින් විනාශ වී තිබු බව අධිකරණ වෛද්‍ය නිලධාරියා සිය වාර්තාවේ දක්‌වා තිබිණි. මේ නිසා ඇය මරාදැමීමට පෙර දූෂණයට භාජන වූවාදැයි තහවුරු කළ නොහැකි බව ද එහි සඳහන් විය.

    ප්‍රේමවතී මනම්පේරි තරුණිය නිරුවත්කොට පාරේ ඇවිද්දවා වෙඩි තබා කෲර අන්දමින් ඝාතනය කළ හේතුව කුමක්‌දැයි පැහැදිලි කරදීමට නඩු විභාගයේදී පළමු විත්තිකාර ලුතිනන් විඡේසූරිය හා දෙවැනි විත්තිකාර රත්නායක ඉදිරිපත් නොවූ බවත් ඇය කැරැල්ලට සම්බන්ධ බවට විත්තිය නැඟූ චෝදනා ඔප්පු කිරීමට විත්තිකාර පාර්ශ්වය අසමත් වූ බවත් මෙම නඩුවේ අභියාචනය විභාග කළ විනිසුරු මඩුල්ලේ සභාපති වශයෙන් කටයුතු කළ ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ඒ. සී. අලස්‌ මහතා සිය තීන්දුවේ දක්‌වා ඇත.

    අප්‍රේල් කැරැල්ලට සහභාගිවෙමින් එහි නායකත්වය ගෙන ක්‍රියා කළ තරුණියන් සිය ගණනක්‌ පසුව පුනරුත්ථාපනය වී නිදහස්‌ සමාජයට පිවිස විවිධ වෘත්තීන්වල යෙදෙමින් සාර්ථක පවුල් ජීවිත ගත කරද්දී, කැරැල්ලට කිසිම අයුරකින් සම්බන්ධ නොවූ ප්‍රේමවතී මනම්පේරි තරුණියට මෙවන් ෙ€දජනක ඉරණමක්‌ අත් වූයේ ඇගේ රූපය සාපයක්‌ වීම නිසාද?
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    වෙඩි වරුසාවකින් සිරුර සිදුරු වෙද්දී නැගී සිටි වීර දියණිය!

    සියලුම ඇඳුම් එකිනෙක බලයෙන් ඉවත් කරන ලදුව, ඇඟේ නූල් පටකුදු නොමැතිව ඈ වීදිය මැද්දෙන් දෑත් ඔසවා ගෙන ගමන් කළාය. කාකි ඇදුම් ඇඳගත් කාමුක බේබද්දෙක්‌ සබ්මැෂින් තුවක්‌කුවක්‌ ඇයට එල්ල කරගෙන අණ දෙමින් ඇය පිටපසින් ගමන් ගත්තේය. ගුණසිරි හෝටලය ඇතුළේ හුන් දෙතුන් දෙනෙක්‌ ඇස්‌ අදහා ගත නොහැකි ඒ දර්ශනය දෙස කුතුහලයෙන් බලා කම්පාවී ඉවත බලාගත්හ. එක අතක්‌ හෝ පහත්කොට විළි වසාගන්නට තැත් කළ හොත් වෙඩි තබන බවට කාමුකයා අනතුරු හඟවා තිබුණද, ප්‍රේමාගේ දකුණත මිනිසුන් ඉදිරියේ ලිහිල්ව පහත් වන්නට විය. ඇය එසේ කළේ ලැඡ්ජාව නොඉවසිය හැකිව මහ හඬින් හඬමිනි.

    තුවක්‌කුව පත්තුවිය. ප්‍රේමා මඳක්‌ වැනෙමින් දැතින්ම විළි වසා ගනිමින් මොහොතක්‌ සිට ඇද වැටී ඇඹරුනාය. නිරායුධව නිර්වස්‌ත්‍රව වෙඩි තබා බිම හෙළනු ලැබූ තරුණියට නැවතද තුවක්‌කුව එල්ල විය. වෙඩි හඬ දෙක තුනක්‌ පිටවිය. ලේ ගලාගෙන ගියේය.

    තුවක්‌කුව පහත් විය. බර සපත්තු හඬ ක්‍රමයෙන් තුනී වී ගියේය. තමන්ගේම ලේ ගංගාවේ වැතිරහුන් ප්‍රේමා පළමුව කකුලක්‌ සොලවා, දෙවනුව අතක්‌ ඔසවා, ඇස්‌ හැරබලා නැගීS සිටින්නට තැත්කොට නොහැකිව දෙදණින් සිටිගෙන හෝටලය දෙස බැලුවාය. හෝටයත් හෝටලය රැඳුණු කතරගම නගරයත්, තමන් වටා කැරකෙන්නාක්‌ මෙන් ඇයට දැනිණි. ලේ පෙරමින්, අඩියක්‌ දෙකක්‌ දණගාගෙන ඉදිරියට ගෑටූ අසරණිය තමන්ට වතුර අවශ්‍ය බව කොඳුරා නැවත ද බිම ඇද වැටුණාය. ඇගේ දැස්‌ අහස දෙසට යොමුවී තිබිණි. ලෝකය රවුමට රවුමට කැරකෙයි. පිරිමි ළමයෙක්‌ ජෝගුවකට වතුර ගෙන ප්‍රේමා දෙසට බයෙන් ගමන් කරමින් සිටියේය. ගිනියම් පොළොවේ වැතිර දැඩි හිරුරැස්‌ පෙරෙන අහස දෙස බලා සිටින ඇයට මිනිස්‌ කටහඬ පමණක්‌ ඇසෙයි.''

    ''ඔහෙ මැරිච්චාවේ. වතුර දෙන්න එපා. දුන්නොත් දුන්න එකාටත් වෙඩි තියෙනවා.'' රළු හඬ ඇයට ඈතින් ඇසිණි.

    ''පව්, මේ මොන අපරාධයක්‌ද?'' හෝටලය ඇතුළතින් ඇසුණේය. වතුර ගෙනා පිරිමි ළමයා වතුර භාජනයද රැගෙන ආපසු හෝටලය තුළට දිව්වේය.

    ප්‍රේමා වැඩිවැඩියෙන් වෙව්ලුවාය. වියළි උගුරින් ගිනි පිටවෙන්නාක්‌ මෙන් ඇයට දැනිණි. දැඩි අව් රශ්මියට රත් වූ ඇගේ රුධිරය, උණ්‌ඩ වලින් හිල් වූ තුවාල කටවල් තුළින් නිදහසේ ලේ ගලා ගියේය. දෙඅත් දෙපා අප්‍රාණික වුවත් ඇගේ සිහිය තවමත් විකෘති වී නැත. ඇයට සිහින් අඩි ශබ්දයක්‌ ඇසිණි. බර සපත්තු අඩි ශබ්දයක්‌ නොවේ. ඈ ඇස්‌ ඇරියාය. කඳුළින් පෙළුණු දෑස තුළින් ඇය දුටුවේ මිනිස්‌ රුවක ඡායාවක්‌ පමණි.

    ''මෙන්න වතුර බොන්න'' දෙඅත් වාරු නැති තරුණිය කට ඇරියාය.

    මිනිසා සෝඩා බෝතලයකට පුරවන ලද ඇල් වතුර ටිකින් ටික ඇගේ උගුරට වත් කළේය. ඒ වැටෙන වතුර දිවඔසුවක්‌ මෙන් ඇයට දැනිණි. පළමු වතුර බෝතලය කෙළවර විය. දෙවෙනි වතුර බෝතලයට ලැබෙන විට ඇගේ දෙඅතට වාරු ලැබී තිබුණු හෙයින් ඇය දෝතින් ම රැගෙන වතුර බොන්නට වූවාය. තුන්වෙනි බෝතලයෙන් භාගයක්‌ බී එය සෙමින් බිම තබා තමන්ට වතුර දුන් මනුෂ්‍යයා දෙස කෘතඥතාවයෙන් බැලුවාය. ඒ ඇලඩින්ය. ඔහු දුටු සැණින් ඇයට ඇගේ මවත් පියාත් සහෝදර සහෝදරියනුත් සිහිපත්ව හැඬුම් ආවේය. ඇගේ ශාරීරික වේදනාවද ඇට පලාගෙන අනතුරුව මතු වූයේය. වේදනාව නොඉවසිය හැකිවු ඈ දරුණු ලෙස දඟලන්නට වූවාය.

    සපත්තු අඩි ශබ්දයක්‌ නැවතත් ඇසුණේය. ප්‍රේමා සිටියේ නොඉවසිය හැකි වේදනාවකින් දඟලමින් හෙයින්, ඒ හඬ ඇයට නොඇසෙන්නට ඇත. හෝටලය ඇතුලේ සිටියෝ තව තවත් ඇතුළට රිංගා ගත්හ. තරුණියට අඩි හයක්‌ හතක්‌ ළංවන තෙක්‌ පැමිණි සපත්තු හඬ නැවතිණි. එස්‌. එම්. ජී. තුවක්‌කුකට තරුණියගේ පපුවට එල්ලවිණි. එක පිට එක වෙඩි හඬ දෙක තුනක්‌ පිටවිය. වේදනාවෙන් දඟලමින් හුන් තරුණිය නිහඬ වූවාය. බිම දිගේ කැටී ගැසී තිබූ ලේ උඩින් නැවතත් අලුත් ලේ ගලා ගියේය. මහ පොළවේ හතර රියන් වළක්‌ කැපී අවසාන වනතෙක්‌ ප්‍රේමවතී මනම්පේරි නොසැලී උන්නාය. නිහඬව වැටී සිටි ආකාරයත්, තෙවරකට ඇගේ සිරුරට ඇතුල් කරන ලද උණ්‌ඩ ප්‍රමාණයත් නිසා ඇයට ප්‍රාණයක්‌ තිබෙන්නට ඉඩක්‌ ඇතැයි කිසිවෙක්‌ නොසිතූහ. එහෙත් තරුණියට පණ තිබෙන බවත්, ඇය හුස්‌ම ගන්නවා පමණක්‌ නොව සිහින් හඬින් කෙඳිරි ගාන බවත් ඇය වළ දමනු සඳහා දෑතින් හා දෙපසින් එල්ලා ගෙන වළ සමීපයට ගෙන යද්දී ඇලඩින් තේරුම් ගත්තේය. දෙපා අල්වාගෙන ඉදිරියට හැරී ඉදිරියෙන් යන පෙරුමාල්ට ඔහු කතා කළේය.

    ඒයි කෙල්ලට පණ තියෙනවා. කුකුල් දෙක අඹරවල අල්ලන්න එපා මිනිහෝ.

    ''තමුසෙට පිස්‌සු'' පෙරුමාල් පසුපස හැරී බලන්නවත් නොවෙහෙසී කීවේය.

    ඇලඩින් තරුණිය ප්‍රවේශමෙන් බිම තබා ගැහෙන හදවතින් යුතුව ඇය පරීක්‍ෂා කළේය. ඈ උගුරෙන් ගොර ගොර හඬක්‌ පිටකොට ලේ තලියක්‌ වමනය කොට, කෙඳිරි ගා ඇස්‌ ඇරියාය. ඇලඩින් ඇය ඉදිරියේ විය. ඔහුගේ දැස්‌ කඳුළින් පෙඟෙයි. ඔහු බැඳී සිටියේ නින්දිත රාජකාරියක්‌ ඉටු කිරීමටය.''

    ''මාමෙ ........'' ප්‍රේමා අතිශය දුබල හඬින් ඇලඩින් පුදුමයට පත්කරවමින් කතා කළාය. සිත් වේදනාව නිසාම තරුණිය දෙස නොබලා කඳුළු පිරි දෙනෙතින් කතරගම දේවාලය පැත්ත බලා සිටි ඇලඩින් වහා ප්‍රේමා දෙස බැලුවේය.

    ''මාමෙ මගෙ කරාබු දෙක ගලවාගෙන මගෙ අම්මට දෙන්න මාමේ. නංගිට දෙන්න කියලා අම්මට දෙන්න. මේක මගෙ කරුමේ. පණපිටින් මාව වළදාන්න දෙන්න එපා. ආයිත් වෙඩි තියන්න කියන්න. එත කොට මාව මැරේවි. මං කා එක්‌කවත් තරහ නෑ. මට වතුර ටිකක්‌.''

    ''ඇලඩින් කොතරම් සසල වූයේද යත්, තමා කළ යුත්තේ කුමක්‌දැයි නිශ්චය කරගත නොහැකිව, වරක්‌ දේවාලය පැත්ත බලා තව වරක්‌ හමුදා කඳවුර දෙස නෙත් යවා වම් ඇසේ කඳුළුÊපිස දමමින් පාරට බැස්‌සේය.

    ඇලඩින් ගෙනා වතුර පෙරුමාල් ප්‍රේමාගේ කටට වක්‌ කරද්දී ඇලඩින් නැවතත් ආපසු දිව්වේය. රයිපල් කාරයෙක්‌ ආවේ දුවගෙනය. පෙරුමාල් බයෙන් මෙන් වතුර භාජනය පැත්තකට කර හිස නැමුවේය.

    ප්‍රේමා නැවතත් ගොර ගොර හඬ නගයි. පැත්තකට හැරී තිබූ ඇගේ හිසට රයිපලය එල්ලවිය. පෙරුමාල් ඉවත බලා ගත්තේය. වෙඩි හඬ ඇසිණි. ප්‍රේමාගේ සිරුරේ හිල් නොකළ එකම තැන වූ හිස ද ඔවුන් හිල් කළ හෙයින් හිසින්ද ලේ ගලා ගියේය.

    දෑත් පිටුපසට බැඳගෙන වළ සමීපයට එන ඇලඩින්ට ආපසු යන තුවක්‌කුකාරයා මුණ ගැසුණේය.

    ''පලයන් ගිහින් වළදාපන් ඒකි ආයිත් හෙළවෙන්නේ නෑ.''

    අප ඉහතින් දැක්‌වූයේ ප්‍රේමවතී මනම්පේරි තරුණියගේ අවසන් හෝරාව මෑතදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගත්කරු ජයසේන ජයකොඩි ශූරින් විසින් නඩු වාර්තා ඇසුරින් හද සසල වන ආකාරයෙන් සිය පෑන් තුඩට හසුකරගෙන තිබූ අන්දමයි.

    ඔහු සිය සටහන අවසන් කොට ඇත්තේ මෙසේය.

    අවිනීතයෝ අවනීතියක්‌ ක්‍රියාත්මක කොට සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් හදා වැඩූ ශ්‍රේෂ්ඨ තරුණියක විනාශ කර දැම්මෝය. ඈ කිසිවෙකුටවත් ශාප නොකළාය. නොඉවසිය හැකි අපහාස නොවිඳිය හැකි දුක්‌ තනිවම විඳදරාගෙන මළාය. කාමුකයන්ගේ ම්ලේච්ඡ කාමාශාවන් සංසිඳවා ගැනීමට ඇය ඉඩ දුන්නේ නම් ඇයට මෙවැනි රුදුරු මරණයක්‌ අත්වන්නට ඉඩක්‌ නොතිබෙන්නට තිබිණි. ඈ චරිත ශක්‌තිය එළැඹෙන රුදුරු මරණයට වඩා අගය කළාය. චරිත ශක්‌තිය හා බෝධි සත්ව ගුණය නිසා ඇය අපගේ ගෞරවාදරයට පාත්‍රවෙයි. එවන් ශ්‍රේෂ්ඨ තරුණියක්‌ විනාශ මුඛයට හෙළීම ගැන ආවේගයක්‌ මතුවෙයි. ශික්‌ෂණයෙන් පමණක්‌ නොව, මාතෘ භතෘ ප්‍රේමයෙන් බැඳී ගිය බැතිසිත් ඇත්තියක හෙයින්ද ඇගේ දුක්‌ඛදායක කතා පුවත අසන අපගේ හදවත් තවත් සැලෙයි.

    සාමාන්‍ය තරුණියක්‌ මෙම ඉරණමට මුහුණපෑවා නම් ඇය බියට පත්වී ක්‌ලාන්ත වනු ඇත. එසේ නැතිනම් පළමු වෙඩි පහර එල්ලවූ විට ජීවිතදානය ඉල්ලා කෑ ගසනු ඇත. මෙවැනි අවස්‌ථාවකට මුහුණ දුන් විට සමහරුන්ට මරණ බය නිසාම මළ මුත්‍ර පහවේ. එහෙත් තෙවරක්‌ වෙඩි තබන තුරු ප්‍රේමවතී මනම්පේරි තරුණිය අභීතව එයට මුහුණදුන්නාය. ඇය කැරලි නායිකාවක්‌ නම් ඒ අවස්‌ථාවේ විප්ලවීය සටන් පාඨ හඬ නැගීමට ඉඩ තිබිණි. එහෙත් කැරැල්ලට කිසිදු සම්බන්ධයක්‌ නැති ඇය ''මේක මගේ කරුමෙ. මං කා එක්‌කවත් තරහ නෑ'' යනුවෙන් මිය යන මොහොතේදී පැවසීමෙන් පෙනී යන්නේ බුදු දහම මගින් හික්‌මවනු ලැබූ ඇගේ චරිතයයි. මේ නිසා ඇය නොබියව මරණයට මුහුණ දුන් අභීත දියණියක ලෙස ඉතිහාසයට එක්‌වනු ඇත.



    Source - Divaina Paper ( 2014/April)
     
    Last edited:

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    :( police karaya boru oththuwak dunnada? natnam athhatama JVP ekata wada kalaada..? deiyo thamai danne... monawa unath gaanu kenekta ohoma wada deela marunoth nam saapama wenawa..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,022
    16,702
    113
    රූමතිය කිව්වට ඒ තරම් රූමත් නැහැනේ බං.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පව් බන් සෑහෙන්න දුක හිතුනා. මේ කතාව දැම්මට උබට රෙප් 5ක් දුන්නා..