හොඳටම විශ්වාසයි, රතු වැස්ස පිටසක්වල ප්‍රහාරයක්
December 14, 2012 at 4:08 pm | Lanka C News.
රතු වැස්සේ අඩංගු දෑ පිටසක්වල සිට පැමිණි බවට දැන් හොඳින් ම තහවුරු වන්නේ යැයි මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවසයි. මෙම වැසි ජලයේ ආසනික් හා රිදී අඩංගු බවට තහවුරු වීම ඊට ලැබුණු ප්‍රබල සාක්ෂියක් බවද ඔහු සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය දා ශී‍්‍ර ලංකාවට ඇද හැළුණු රතු වැස්සේ සාම්පලවල ආසනික් හා රිදී අඩංගු බවට කාර්මික තාක්ෂණ ආයතනය කළ හෙළිදරව්ව පිළිබඳ කළ විමසුමක දී ය.
ඔහු වැඩි දුරටත් පවසන්නේ, මෙම වැස්ස පොළොව මතුපිටින් වලාකුළුවලට එකතු වූ ද්‍රව්‍ය නිසා හටගත්තේ නම්, එහි කිසිසේත්ම ආසනික් වැනි බැර ලෝහ අධි සාන්ද්‍රණය වී තිබෙන්නට නොහැකි බවකි.
‘‘මීට වසර මිලියන 65කට කලින් ඩයිනෝසරයන් මෙලොවින් තුරන් කිරීමට හේතුවූ උල්කාපාතවලත් ආසනික් හා ඉරිඩියම් යන මූලද්‍රව්‍ය දෙක අඩංගු වුණා. ඒ නිසා රතු වැස්සේ සාම්පලයකින් බැර ලෝහ හමුවීම, ඒවා අභ්‍යවකාශයේ සිට පැමිණි බව තහවුරු කෙරෙන අරුම පුදුම හෙළිදරව්වක්’’ හෙතෙම පැවසීය.
රතු වැස්සේ අඩංගු ජීවි විශේෂයකින් මෙම ලෝම වර්ග නිපදවන්නේ යැයි ඇතැමෙකු මත පළ කර තිබුණත් මහාචාර්යවරයා පවසන්නේ, කිසිම ජීවියකුට මූලද්‍රව්‍ය නිපදවිය නොහැකි බවත්, ඊට ඒවා එක්වීමට නම් එම පරිසරයේ එකී මූලද්‍රව්‍ය කුමන හෝ ආකාරයකින් පැවැතිය යුතු බවත් ය.
පොළොව මත ඇති ගිනිකඳු විදාරණවලින් මෙවැන්නක් වායුගෝලයට එක්විය නොහැකි ද? මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය සී.බී. දිසානායකයන් පවසන්නේ එවැන්නක් අනුමාන කළ හැකි බවකි. ‘‘ගිනිකඳුවලින් රසදිය පවා පිට වෙනවා. ශී‍්‍ර ලංකාව අවට ගිනිකඳු පිපිරීම් සිදු නොවුණත් මේක හුඟක් දුරින් ආපු එකක් කියල හිතන්නත් පුළුවන්. වායුගෝලයේ ගලා යෑම් අනුව, මෙවැනි ලෝහවර්ග සාන්ද්‍රගත වෙන්න පුළුවන්’’ යැයිද හෙතෙම පැවසීය.