ත්‍රස්‌තවාදයේ ග්‍රීස් මුහුණුවර
යකා ‘ග්‍රීස්’ වේවා නො වේවා ඒකා පසුපස දිව එන රැල්ල නම් ත්‍රස්‌තවාදයේ ම තවත් එක් මුහුණුවරක් බව පැහැදිලිය.
පසුගිය සති කිහිපය තුළ කින්නියා, මඩකලපුව, පොතුවිල්, අම්පාර, පුත්තලම යන ප්‍රදේශවලින් ග්‍රීස් යක්‌කු මතු වූහ. ඒ යකුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කල්හි මිනිස්‌සු පොලිසියට පහර දුන්හ. තව තැනෙක ග්‍රීස් යකා නාවික හමුදා කඳවුරට රිංගූ විට මිනිස්‌සු ඊට පහර දුන්හ. පුත්තලමේ සිද්ධිය නම් ඉතා දරුණු ඛේදවාචකයකි. ග්‍රීස් යකකු නිසා කුපිත වූ එම ප්‍රදේශයේ කණ්‌ඩායමක් කඩු දෙසියයක් පමණ ද පොලු තුන්සියයක් පමණද වනමින් පොලිස් සරයන්වරයකු පසුපස පන්නාගෙන ගොස් පහර දී, කපා, මැරූහ. නීතිය හා සාමය රැකීමට එහි ගිය එම පොලිස් සරයන් තමන්ට පහර නො දෙන ලෙස කියමින් මැරයන්ට වැන්දේ ය. අවසානයේදී මිනී පෙට්‌ටියකින් ගෙදර ගියේ ය. මෙය ත්‍රස්‌තවාදීන්ගේ සාධනීය ක්‍රමෝපායයකි. පෙර කී ප්‍රදේශවල පොලිසියකට හෝ හමුදා මුරපළකට හෝ රාජ්‍ය ආයතනයකට හෝ පහර දීමට සිත් වූ කල ඒවා තුළට ග්‍රීස් යකුන් දිව ගියේ යෑයි කියමින් පහර දීමට ත්‍රස්‌තවාදීන්ට පුළුවන. ඉතාමත් කනගාටුදායක කාරණය වන්නේ ග්‍රීස් යකුන් යෑයි කියන සිද්ධීන් නිසා ත්‍රස්‌තවාදී ගිනි ඇවිලුණු පෙර කී ප්‍රදේශ සියල්ලෙහිම බහුතර ජනයා අපගේ මුස්‌ලිම් සහෝදරවරුන් වීම ය. අපගේ එම සහෝදරවරුන් අතරින් මතු වූ ත්‍රස්‌තවාදීන් රැලකට මේ රට නැවත වතාවක් ලේ විලක් කරන්නට වුවමනා වී ඇති බව පෙනේ. පුත්තලමේ පොලිස් සරයන් මරා දැමීමේ සිද්ධියට ප්‍රදේශයේ ම කිසියම් ආගමික ස්‌ථානයක් ද සම්බන්ධව බව දැන ගන්නට තිබේ. එය සැබෑවක් නම් එකී ආගමික ස්‌ථානය මහා පාපයක් කර ගත්තේ වෙයි. ඇතැම් ත්‍රස්‌තයන් සහ ඇතැම් ආගමික ප්‍රධානීන් කුමක් කීවද තව කෙනකුට හිරිහැර කරන ලෙස කිසිම ආගමක කියා නැත. ආගම් කර්තෘවරුන් සිsහිනයෙන් පවා නොසිතූ දේ පසු කාලයේදී එම ආගම් භාරගත් ජාවාරම්කාර පූජක පන්තිය විසින් කරන ලදී. බුද්ධ වර්ෂයට සහ ක්‍රිස්‌තු වර්ෂයට පෙර ලෝකයේ විවිධ රටවල සිටි පූජකයෝ ආගමික ඒකාධිකාරයක් බිහිකර දෙවියන් වෙනුවෙන් යෑයි කියා බඩ පැලෙනතුරු ආහාර අනුභව කළහ. දෙවියන් වෙනුවෙන් යෑයි කියා ස්‌ත්‍රීන් දූෂණය කළහ. ඔවුන් මස් කෑමට සිතුණ විට සතුන් මැරුවේ දෙවියන් වෙනුවෙන් යෑයි කියමිනි· මේ වංචාව අදත් සිදුවෙයි. ආගමික ස්‌ථාන සහ ආගම්, ත්‍රස්‌තවාදය වෙනුවෙන් යොදවා ගැනීම වහා නතර කළ යුතුය. ආගම්වලට මනුෂ්‍යයාගේ මනස තුළ පිහිටි පූජනීය ස්‌ථානය තවදුරටත් එසේම තිබිය යුතුය.
ශ්‍රී ලංකාව වසර තිහක යුද්ධයකින් පසු ක්‍රමානුකූලව හිස ඔසවමින් සිටී. අප යුද කළේ පිටස්‌තර රටක් සමඟ නොව පිටස්‌තර රටවලින් ආධාර ලැබූ ස්‌වදේශික ත්‍රස්‌තවාදීන් සමඟය. මෙබඳු පිරිසක් සමඟ යුද කිරීම දුෂ්කරය. හේතුව ස්‌වදේශික ත්‍රස්‌තවාදියා රට ගැන ඉතා හොඳින් දනී. ඔහු අප අතරම ගැවසෙයි. මේ නිසා ස්‌වදේශික ත්‍රස්‌තවාදය දුටු තැන විනාශ කර දැමිය යුතු ය. දැනට සටන් බිමට පැමිණ සිටින ස්‌වදේශික ත්‍රස්‌තවාදීන් පාවිච්චි කරන “ග්‍රීස් යකා ක්‍රමෝපායය’ පරණ වුවත් යම් ප්‍රමාණයකට සාර්ථක බව පෙනෙන්නට තිබේ. මහජනතාව අතර කැළඹීමක් ඇති කිරීම අරමුණු කරගත් ඕනෑම කෙනකුට යම් කිසි මිනිසකු පෙන්වා “අන්න ග්‍රීස් යකා” යෑයි බෙරිහන් දිය හැකි ය. එතැන් සිට සියලු දෙනාම ඒ මිනිසා පසුපස දිවෙන්නට පටන් ගනිති.
ශ්‍රී ලංකාව ලේ විලක් ව තබා ගැනීමේ දේශපාලන අවශ්‍යතාව ඇති බලවේග ආසියානු කලාපය තුළ වෙසෙති. (එම අවශ්‍යතාවම ඇති බටහිර බලවේග මේ දිනවල ලිබියාවට බෝම්බ දැමීමෙහි නිරතව සිටින්නා හ.) අපගේ දෙමළ සහෝදරවරුන් හා මුස්‌ලිම් සහෝදරවරුන් අතකොලු ලෙස පාවිච්චි කිරීමට එම පිරිස් බලාගෙන සිටිති. ඒ අතරම ඔවුන් ශ්‍රී ලංකාවට ආධාර කරන බව ද පෙන්වති. මෙබඳු පිරිස්‌වලින් ආධාර ලබනවාට වඩා වස කුප්පියක් බෙදාගෙන බීම යහපත්ය. මේ රට මෙහි වෙසෙන සියලු ජාතීන්ගේ රට ය. ආගමේ හෝ ජාතියේ නාමයෙන් එය කැඩීමට කිසි විටෙකත් ඉඩ දෙනු නො ලැබේ. මේ රට ඒකීය රාජ්‍යයක් ලෙස තබා ගැනීම සඳහා දහස් ගණනක් සෙබළු රුධිරය පූජා කළහ. ඒ රුධිරයේ ගෞරවය රැකීම අපේ යුතුකමයි.
දිවයින