You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
elazz
thnx


අසහනකාරයා;11752458 said:
elazz

පියවි ඇසින් ඔබ්බට : 08
අවසන් හුස්ම දිගේ මහරගමින් ස්කොට්ලන්තයට
අප විසින් කරනු ලබන යහපත් කි‍්‍රයාවලට ආනිශංස ලෙස යහපත් ප‍්‍රතිඵල ද අයහපත් පාපී කි‍්‍රයාවලට ආදීනව ලෙස අයහපත් ඵල විපාක ද මරණයෙන් මතු විඳින්නට සිදු වන බව අපි දනිමු. මේ ලිපියෙන් කියැවෙනුයේ වර්තමාන ජීවිතයේ මා අත් දුටු කාරණා කීපයකි. මේ සිද්ධි වෙන කෙනකු ගේ නොව මගේ ම බිරිය ගේ ජීවිතය තුළින් හෙළිදරව් වූ ඒවා ය. ඇගේ නම චන්ද්‍රා විතාන හෙවත් චන්ද්‍රා විජේතිලක ය. ඇය දිරිය බිරියක් මෙන් ම දිරිය මවක් ද වූවා ය.
1998 වර්ෂය වන විට අපි මතුගම නගරයේ සිල්ලර වෙළෙඳ සලක් පවත්වා ගෙන ගියෙමු. එතැන සිට අපේ නිවසට දුර කිලෝ මීටර් තුනක් පමණ වේ. උදේ පාන්දර නැගිට දරුවන් අවදි කරවා, උයා පිහා, ළමයින්ට කවා පොවා පාසල් යවා, නිවසේ සිටින මගේ මෑණියන්ට ද උදේ – දහවල් ආහාර සකසා තබා මා සමඟ වෙළෙඳ සලට යෑම ඇගේ සිරිත ය. ආපසු නිවසට එන්නේ රාත‍්‍රි 7 න් පසුව ය.
එදා 1998 නොවැම්බර් මස 06 වෙනි දා ය. දහවල් 12 ට පමණ චන්ද්‍රා මා අමතා “ඒයි, අපි කඩේ වහලා ගෙදර යමු” යි කීවා ය.
නගරයේ වෙළෙඳ සලක් දහවල් 12 ට පමණ වසා දමන්නේ ඉතා ම විශේෂ හේතුවක් වුණොත් පමණි. චන්ද්‍රා ගේ යෝජනාව මගේ මවිතයට හේතු විය.
”ඇයි මොකද හදිසියේ?” යි මම ඇසීමි.
”හදිසියක් නෑ. දැන් අම්මටත් වයසයිනේ. අපි කඩේ වහල ගෙදර ගිහින් අම්මා දොස්තර මහත්තයෙක් ළඟට එක්කර ගෙන ඇවිත් පෙන්නලා එයාට සුදුසු විටමින් වගේ දෙයක්වත් අරගෙන දෙමු. එයාගෙ හිතත් සතුටු වේවි නේ” යි චන්ද්‍රා කීවා ය.
මම ද ඇගේ කීමට එකඟව වෙළෙඳ සල වසා ඇය සමඟ ගෙදර (යතුරු පැදියෙන්) ආවෙමි. එන අතරමග දී හිතවත් ති‍්‍රරෝද රථයකට ද (ජී. ඩී. සේනාරත්න) අපේ ගෙදරට එන්නට යැයි කියාගෙන ආවෙමි’
අප නිවසට එන විට මගේ මව නිවසේ ඉදිරිපස ප‍්‍රධාන උළුවස්සට හේත්තු වී මඟ බලා ගෙන සිටියා ය. අප එනු දැක “අද මොකද ජෝඩුව වේලපහින් ම” යැයි සිනාවෙමින් ඇසුවා ය.
”නිකම් එන්න හිතුණා වේලපහින්” කියා ගෙන චන්ද්‍රා ගෙතුළට ගියා ය. ඇය කාමරයට ගොස් ඇඳුම් මාරු කොට මුහුණ කට සේදීමට ගියා ය. ඒ සමඟ ම අම්මා ඇගේ කාමරයට ගියා ය. මේ අතර ති‍්‍රරෝද රථය ද පැමිණියේ ය. මම අම්මා සිටි කාමරයට ගියෙමි. අම්මා ඇගේ යහනේ හරස් අතට, දෙකකුල් බිමට සිටින සේ නිදා සිටියා ය. ඒ ඉරියව්ව අසීරු ඉරියව්වක් බවත්, ඇය අමුතු ස්වභාවයකින් සිටින බවත් මට වැටහිණි. ති‍්‍රරෝද රියේ සේනාරත්න ද හිතවතකු බැවින් ඔහු ද මා සිටින තැනට ම පැමිණියේ ය. මම ඔහු ගේ ද සහාය ලබා ගෙන අම්මා ඔසොවා ඇඳේ නියමාකාරයෙන් තැබීමි. අම්මාට නින්ද ගොස් තිබුණේ ද නැත.
මේ වන විට චන්ද්‍රා සූදානම් වී “අම්මට ලැහැස්ති වෙන්න කිව්වේ නැද්දැ” යි අසා ගෙන කාමරයට ආවා ය.
”කෑ ගහන්න එපා. අමුත්තක් දැනෙනවා. තව ටිකක් බලමු” යි මම කීවෙමි. අම්මාට ඇහෙන්නට පිරිත් ටිකක් කියන්නට ඕනෑ යැයි සිතුණු මම අම්මා ගේ හිස තියෙන පැත්තෙන් කුඩා පුටුවක් තබා හිඳ ගත්තෙමි. අම්මාට ඇහෙන්නට ම හඬ නඟා පන්සිල් සමාදන් වූයෙමි. ඊළඟට තෙරුවන් ගුණ පාඨ කියා වන්දනා කළෙමි. ඉන් පසු එක් අතක් අම්මා ගේ හිසට තබා ගෙන රතන සූත‍්‍රය කියන්නට පටන් ගතිමි.
මේ වන විට අම්මා අහසට අත දිගු කරමින් “හරි හරි මම එන්නම්” යැයි කීවා ය.
රතන සූත‍්‍රය කියා “සංඝා නමස්සාමි සුවත්ථි හෝතු” යි අවසන් ගාථා පාඨය කියනවාත් සමඟ ම ෂූ… යන හඩින් අම්මා අවසන් හුස්ම හෙළුවා ය.
චන්ද්‍රා ගේ වුවමනාව මත අප වෙළෙඳසල වසා ඒ වේලාවේ ගෙදර නොපැමිණියා නම් අම්මා ගේ මරණය සිදු වූයේ කොයි වේලේ දැ යි කිසිවකු දන්නේ ද නැත. එසේ ම දහවල් 2 ට පමණ දරුවන් පාසල ඇරී ගෙදර එනතුරු කිසිවකු දන්නේ නැත. එදා කඩය වසා ගෙදර එන්නට හිත් දුන්නේ ඇයි දැයි චන්ද්‍රාවත් දන්නේ නැත. “මට නිකම් හිතුණා අම්මා දුර්වල නිසා බෙහෙත් ටිකක් අරගෙන දුන්නොත් හොඳයි කියා. ඒකයි එන්න හිතුණේ” යි ඇය කීවා ය. මේ සියල්ල ති‍්‍රරෝද රියේ රියැදුරු මහතා ද බලා ගෙන ය.
ඊළඟට චන්ද්‍රා ගේ කතාවයි. ඇයට වයස අවුරුදු පනස් එකේ දී ආහාර ගැනීමේ අපහසුතාවක් වැළඳිණි. ආයුර්වේද වෙදකමෙන් ද බටහිර වෙදකමෙන් ද වෛද්‍යවරුන් ගෙන් හා වෛද්‍ය විශේෂඥයන් ගෙන් ප‍්‍රතිකාර ලබා දුන්න ද එයින් කිසි ම ගුණයක් ලැබුණේ නැත. ආහාර ගනු ලැබුයේ ඉතා ම ස්වල්පයකි. එහෙත් පලතුරු හා වඩාත් පෝෂ්‍යදායී පිටි කිරි වර්ග ද විටමින් වර්ග ටික ටික හෝ නිතර ලබා දීම නිසා ඇය ශාරීරිකව දුර්වල වූයේ ද නැත. ගෙදර දොර සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කළා ය. ප‍්‍රතිකාර කළ සෑම වෛද්‍යවරයකු ම නිගමනය කළේ ඇයට අම්ලපිත්ත (ගැස්ට‍්‍රයිටීස්) රෝගය ඇති බව ය. ඒ නිසා මිරිස් හා ඇඹුල් අධික ආහාරවලින් වැළකී වැඩිපුර දියර ආහාර ගනිමින් ප‍්‍රතිකාර ලැබුවා ය. මේ අතර දාන මාන, බෝධි පූජා ශාන්ති කර්ම ආදිය ද ඇගේ සහභාගීත්වයෙන් ම කළෙමු.
අවසානයේ විශේෂඥ වෛද්‍ය පරාක‍්‍රම දිසානායක මහතා වෙත ඉදිරිපත් කරන ලදුව ඇයට අක්මාවේ පිළිකාවක් වැළඳී ඇතැයි නිගමනය කැරිණි. එය මටත්, දරු තිදෙනාටත්, සමීප නෑදෑ හිතවතුන්ටත් බලවත් වේදනාවක් හා කම්පනයක් වීය. එහෙත් චන්ද්‍රා පුදුම ආත්ම ශක්තියකින් කඳුළක් නොහෙළා (අපට පෙනෙන්නට) සිනහ මුහුණෙන් ඊට මුහුණ දුන්නා ය.
ඇය වයස අවුරුදු පනස් තුනේ දී ජීවිතයෙන් සමුගත්තාය. ඇය මියගියේ බිරියක වශයෙන් හා මවක වශයෙන් ඉටු කළ යුතු යුතුකම් සියල්ල නිමා කිරීමෙන් පසුව ය. අපේ තරමේ හැටියට ගේදොර අලුතින් සාදා නිම කොට දරු තිදෙනාටද උගන්වා රැකියාවලට ගිය පසු ව ය. ඇගේ ධෛර්යය නොවන්නට මේ කටයුතු කිසි විටෙක මේ අයුරින් ඉටු නොවනු ඇත. ඇය නියමිත රාජකාරියත් ඉටු කොට ආපසු ගියා හා සමාන ය. පවුලේ කටයුතු මෙන් ම ඇසුරු කළ සමාජයේ යුතුකම් ද ආගමික කටයුතු ද ඇය මැනවින් ඉටු කළා ය.
ඇය අසනීප වී රෝගය හඳුනා ගත් අවසන් වසර තුළ අපේ ආදායම් මාර්ග ඇන හිටියේ ය. එහෙත් ඥාති මිත‍්‍රයන් ගේ උදව් උපකාර මත අපට කිසි ම දෙයකින් අඩුවක් වූයේ නැත. ගරුතර මහා සංඝ රත්නයේ ආශීර්වාදය ද එසේ ම වී ය. විශේෂයෙන් ම බෙල්ලන පිරිවෙනේ ස්වාමීන් වහන්සේ සතියකට වරක් වැඩම කොට සෙත් පිරිත් දේශනා කළේ තම මවට දක්වන කරුණාවෙන් ම ය. අවට විහාරස්ථානවලින් ද එසේ ම ය.
සතියකට වරක් මතුගම සිට මහරගම රෝහලට යන ගමන සඳහා “මට බස් එකේ යන්න පුළුවන්. බොරුවට වාහන වලට වියදම් කරන්න එපා” යැයි ඇය පැවසුව ද කවුරු හෝ ඒ ගමනට වාහනයක් සපයා දුන්හ. ඉඳ හිට දිනක බස් රියෙන් මහරගම රෝහලට ද ගිය ද එහි දී කවුරුන් ම හෝ කෙනකු මුණගැසී එතැන සිට ගෙදරට ම එන්නට පහසුකම් යෙදුණි. ඇය මහරගම රෝහලේ නේවාසිකව සිටිය දී බෙල්ලන පිරිවෙනේ ස්වාමීන් වහන්සේ තිස් පස් නමක් රෝහලට වැඩමවා සෙත් පිරිත් දේශනා කළහ. රෝහල පුරා සිටින රෝගීන්ට ද පිරිත් පැන් දෙමින් පිරිත් නූල් ගැට ගසමින් රෝගීන්ට කළ ආශීර්වාදය අසිරිමත් වීය. එදින නෑදෑ හිතවතුන් ගේ සහයෙන් තැඹිලි, පලතුරු හා යෝගට් දානයක් ද රෝගීන්ට පිරිනැමිණ. ඇය රෝගීව සිටින විට “මට හෙට අසවල් දෙය ඩිංගක් කන්නට ඇත්නම්” යැයි කියූවොත් පසු දින ඇය බලන්නට එන හැම කෙනකු ම ඒ වර්ගය ම ගෙන ඒම පුදුමයට කරුණක් වීය. ඒ අපේ දැනුම් දීමකින් නම් නොවේ. ඇය අඹ කෑමට ප‍්‍රිය කළා ය. ඒ දිනවල බොහෝ දෙනෙක් අඹ ගෙනාහ. එසේ ම අපේ මිදුලේ තිබෙන කිසි ම දිනයක අඹ නොහැදුණු රට අඹ ගසේ ද ඒ වාරයේ අඹ පල ගත්තේ ය. එසේ ම ඇගේ මරණයෙන් පසු ව එහි අඹ ඵල හට ගත්තේ නැත.
මා ලියූ පොත් කියැවූ දුරකතනයෙන් හඳුනා ගත් රත්නපුරයේ වැදගත් ප‍්‍රභූ පවුලක් වීය. ඒ භද්‍රා මාරපන පවුල යි. මාරපන මැතිනිය සෑම දිනක ම රාති‍්‍ර 9.00 න් පසු චන්ද්‍රා සමඟ විනාඩි 45 ක් පමණ දුරකතනයෙන් සතුටු සාමීචියේ යෙදුණා ය. ඒ ඇගේ සිත සුවපත් කිරීමට ය. මාරපන මැතිනිය ගේ නම ද චන්ද්‍රා ය. පවුලේ අය ඇය අමතන්නේ සුදු හාමිනේ නමිනි. මගේ බිරිය ද චන්ද්‍රා ය. ඇයට ද කුඩා කල සිට ම සුදු හාමිනේ යැයි නම පටබැඳී තිබිණි. මාරපන මැතිනිය කියන්නේ මෙය සංසාරික සම්බන්ධතාවක් බවයි’
2004 අපේර්ල් මාසයේ ඉතා උණුසුම් දිනයක සවස 6.00 ට පමණ චන්ද්‍රා දියණියන් දෙදෙනා ඇමතුවා ය. “බලන්න මේ දවස්වල දහදිය ගලන හැටි. හරිම රස්නෙයි. ඔයගොල්ලො මට පටි නයිටියක් මසා දුන්නේ නැහැනේ” යි කීවා ය. ඇයට අවශ්‍ය වූයේ උරහිස්වල පටි දැමූ රාති‍්‍ර ඇඳුමකි. ඇය නිතර ම ඇන්දේ අත් සහිත සිරුර නොපෙනෙන ඇඳුම් ය.
”ඇයි චන්ද්‍රා! ඔයා ම නේද ඉස්සර ළමයින්ට අවවාද කළේ ගෑනු ඇඟ පෙනෙන්නට අඳින්න හොඳ නෑ කියලා” යැයි මම විහිළුවට ඇයට සිනාසුණෙමි.
ඇය මා දෙස බලා පරාජය බාර ගත්තා සේ බිම බලා ගත්තා ය. ඊට පසු දින උදේ 8.00 වන විට රත්නපුරේ මාරපන යුවළ ඇය බැලීමට අපේ ගෙදරට පැමිණිය හ. ඔවුන් ගෙනා තෑගි බෝග අතර පටි ඇල්ලූ නයිටි ද ගෙනැවිත් තිබුණි. එය ද අපේ කිසිම දැනුම් දීමකින් නොවේ.
මගේ බිරිය රෝගීනට ඇප උපස්ථාන කළා ය. දුගී මගී යාචකයනට, විශේෂයෙන් ම පුලන්නන්ට දන් දුන්නා ය. ඇගේ මවටත්, මගේ මවුපිය දෙදෙනාටත් ඉතා ඕනෑකමින් හා ඉවසීමෙන් සාත්තු සප්පායම් කළා ය. මහා සංඝරත්නයට ශ‍්‍රද්ධාවෙන් දන් දුන්නා ය. කර්ම විපාකයක් ලෙස පිළිකා රෝගය වැළඳුණ ද ඇයට අවශ්‍ය සියලු දෙය ලැබුණේ ඇගේ දන් පින්වල දිට්ඨ ධම්ම වේදනීය ආනිශංසයෙනියි සිතමි.
බෙල්ලන පිරිවෙනේ පරිවෙණාධිපති නා හිමියන් ගේ වැඩිමහල් ශිෂ්‍යයා රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති කඹුරාවල සිරි රේවත හිමියෝ ය. මාත් මගේ බිරියත් උන් වහන්සේට සලකන්නේ අපේ ම දරුවකුට ලෙසිනි. මේ වන විට උන් වහන්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ස්කොට්ලන්තයට වැඩම කොට සිටියහ. උන් වහන්සේ ලංකාවට වැඩම කළ සෑම දිනයක ම තමන් ගේ මවුපියන් බලන්නටත් පෙර මගේ රෝගී බිරිය ගේ සුව දුක් බැලීමට පැමිණි සේක.
අවසාන භාගයේ දිනක “මම මැරෙන්න කලින් ආයෙත් රේවත හාමුදුරුවන් දැක ගන්න ලැබෙන එකක් නැහැ නේදැ” යි දිනක් චන්ද්‍රා මගෙන් විමසුවා ය. සතියක් ගත වූයේ නැත. රේවත හිමියෝ හදිසියේ ම ලංකාවට වැඩම කළහ. අපේ නිවසට ද වැඩම කොට ඇයට සෙත් පිරිත් දේශනා කළහ. ස්කොට්ලන්තයේ සිට ම ඖෂධ වර්ග පවා ගෙනැවිත් තිබිණි.
2004 මැයි මාසයේ 19 දින ප. ව. 3.00 වන විට චන්ද්‍රා ගේ සියලු ඉන්ද්‍රියයන් කි‍්‍රයා විරහිත බවක් පෙනිණි. ඇගේ ශරීරය අප‍්‍රාණික ය. යම්තමින් හුස්ම වැටෙනවා පමණි, කතාවක් ඇස් හැර බැලීමක් පවා නැත. වහාම වෛද්‍යවරයකු ගෙන්වා සේලයින් දෙන්නට උත්සාහ කළත් එය ද සාර්ථක නො වී ය. මේ අතර බෙල්ලන පිරිවෙනෙන් ස්වාමීන් වහන්සේ පැමිණ සෙත් පිරිත් දේශනයක් ද කළහ. අප හැම කෙනෙකු ගේ ම නෙත් කඳුළින් පිරී ඇත. රාතී‍්‍ර 7.00 ට පමණ මතුගම රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයා කැඳවා සේලයින් දීමට උත්සාහ කළ ද එයත් අසාර්ථක වීය.
”අපට වඩා නර්ස්ලට පළපුරුද්ද තියෙනවා. පුළුවන්කමක් තිබුණොත් හෙට උදේට රෝහලට ලෙඩාව ගෙන එන්නැයි” පවසා වෛද්‍යවරයා යන්නට ගියේ ය.
පසු දා උදේ ද ඒ තත්ත්වය ම තිබූ නිසා ඇගේ අක‍්‍රීය ශරීරය රෝහලට ගෙන ගියෙමු. හෙදියක් එක් වර ම සාර්ථකව සේලයින් ශරීර ගත කිරීමට සමත් වූවා ය. චන්ද්‍රා ඇස් ඇර බැලුවා ය. එහෙත් කතා කිරීමට නො හැකි ය. අප කියන දේ හොඳින් ඇයට ඇසෙන බව පෙනෙන්නට තිබිණි. මේ මැයි මස 20 වෙනි දා ය. දැන් ඇයට සේලයින් සමඟ විටමින් වර්ග ශරීර ගත වෙයි. එදින රාති‍්‍ර 7.00 ට පමණ මම ඇගේ දෑත් අල්ලා ගෙන “චන්ද්‍රා මේක ගැහැනු වාට්ටුවක් නෙ. අපිට ඉන්න බැහැ නෙ. චූටි දුව ඔයාගෙ ළඟ නතර වෙලා ඉන්නවා. පුතයි මමයි ගෙදර ගිහින් පාන්දරින් ම එන්නම්” යැයි කීවෙමි. ඇය උගුරෙන් ගොර ගොර හඩින් මොනවා දෝ තෙපළා ය. එය “හොඳයි ගිහින් එන්න හෝ ඔයා එන්න කලින් මමත් මෙහෙන් ගිහින් තියේවි” යන්න විය හැකි ය. පසු දින පාන්දර 5 වන විට මමත් පුතාත් රෝහලට ගියෙමු. චූටි දුව හඬා ගෙන අප ඉදිරියට ආවා ය. චන්ද්‍රා පාන්දර 3 ට අපෙන් සමුගෙන ගොස් තිබිණි. ඇගේ සිරුර රෝහලෙන් නිදහස් කැර ගැනීම සඳහා ඇගේ රෝග නිර්ණය වෛද්‍ය වාර්තා අවශ්‍ය බැවින් පුතා සහ අනික් ඥාතීන් එහි සිටිය දී මම යතුරු පැදියෙන් වහා ම නිවසට ආවෙමි. මා එන විට නිවසේ දුරකතනය නාද වෙමින් පැවතිණි. මම ඉක්මනින් දොර හැර දුරකතනය ගතිමි. ඒ ස්කොට්ලන්තයේ සිටින රේවත හාමුදුරුවෝ ය.
”මහින්ද මහත්තයා මගේ ෆෝන් කාඩ් එකේ සල්ලි ඉවර වේගනයි යන්නේ. කට් වෙන්න කලින් මම ඔන්න කතාව කියනවා. මේක හීනයකුත් නොවෙයි. හැබැහිනුත් නොවෙයි. ඊයේ දීප්තිමත් සුදු සාරියක් හැඳ ගත් කාන්තාවක් අපේ විහාරයට ආවා. මම බැලුවා මේ අවේලාවේ කවුද මෙහෙම තනියම කියා. ඇය මට පිටුපා ගෙන විහාරයට ගියා. ධාතු කරඬුවට පසඟ පිහිටුවා වැන්දා. ආපසු මා දෙසට හැරී ආවා. එතකොටයි මම හඳුනා ගත්තේ “චන්ද්‍රා නෝනා කොහොමද මෙහෙ” කියලා මට ඉබේම කියැවුණා.
එතකොට චන්ද්‍රා නෝනා “හාමුදුරුවනේ, මම නිදහස් වුණා” යි හිනැහෙමින් කියා ගෙන ඇවිත් මට වැඳලා අතුරුදන් වුණා. මේකයි කතාව දැන් ලෙඩාට කොහොමද?” හාමුදුරුවෝ එක දිගට පවසා ඇසූහ.
”අනේ!! හාමුදුරුවෝ චන්ද්‍රා අද පාන්දර…..” මට ඉන් එහා කියාගත නොහැකි විය.
”අනේ… හ්…“ දුරකතනය විසන්ධි විය.
පියවි ඇසින් ඔබ්බට : 09
අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්
මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි.
අතීතයේ පංචේන්ද්‍රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ.
එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම ය.
මේ බොහෝ දෙනෙක් “මේ දැන්” කියන මොහොත ගැන නොසිතති. සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි.
මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්‍ය භූමියකි.
එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට ගෙන බැඳ තබා සමාධි සුවයක් විඳීන්නට උත්සාහ කරති.
සිතුවිලි ගොඩනැඟීම් වශයෙන් තව තවන් කෙලෙස් රැස්කිරීම නතර කරන්නට උත්සාහ කරති.
සේනාසනයේ කි‍්‍රයාත්මක වන කාලසටහන සිහිපත් කරමින් “ගෙඩිය” ගසා හඬ නංවන වාර ගණන අනුව මේ අවදිවීමටය.
මේ වත සඳහාය. මේ භාවනාවය, මේ දානය සඳහා පිණ්ඩපාත යේ යෑමටය, මේ ගිලන්පස සඳහා දන්ශාලාව වෙත යෑමටය ආදී වශයෙන් යෝගීහු ඒ ඒ සංඥාවන් හඳුනාගෙන ඊට අනුව කි‍්‍රයා කරති.
කතා කරමින් කාලය නාස්ති කිරීමද කෙලෙස් ගොඩ නැඟීමක් බැවින් නිශ්ශබ්දතාවයද භාවනාවේ දියුණුව සඳහා අවධාරණය කැර තිබේ.
එසේ වුවත් යෝගී භික්ෂූන් වහන්සේ ඉඳහිට ධර්ම කාරණා පිළිබඳ සතුටුසාමීචියේ යෙදෙන අවස්ථා ද ඇත. දිනක් එවැනි ස්වාමීන් වහන්සේ කීප නමක් කර්මය හා කර්ම විපාකය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ.
”කර්මයට අනුව විපාකය ලැබේ නම් ඊට යම රජකු හා යම පල්ලන් මැදිහත් වන්නේ කුමටදැයි මට ගැටලුවකැ”යි එක් ස්වාමීන්වහන්සේ නමක් පවසති.
”කර්ම විපාක ගෙවන්නට තිබේ නම් යම් කෙනකුට වේදනාව ලබා දෙන්නට තව කෙනෙක් පහර දෙති. තුවාල කරති. කෙනෙක් පිහියෙන් ඇන මරා දමති. මැසි මදුරුවන් පනුවන් නිසා ලෙඩ රෝග වැළඳෙති.
එහිදී පුද්ගලයකුට තවත් පුද්ගලයකුගේ කි‍්‍රයාකාරකම් වලට ලක්වීමට සිදුවෙයි. එසේම පේර්තයන්, යක්ෂයන් නිසා මහ රහතන් වහන්සේට පවා පීඩා සිදුවූ බව ති‍්‍රපිටකයේ සඳහන් වෙයි.
ඒ නිසා යම රජෙක් හා යම පල්ලන්ගේ් සම්බන්ධය තිබිය හැකියැ”යි තවත් ස්වාමීන්වහන්සේ නමක් පැවැසූහ.
”කර්මයට අනුව කර්ම විපාක ගෙවීමට සිදුවීම අවබෝධ කරවන්නට යම රජකු හා යම පල්ලන් ඉදිරිපත් කිරීමෙන් මිනිසා අකුසලයෙන් මුදවා ලිය හැකි බැවින් මේවා නිර්මාණ විය නොහැකිදැ”යි තවත් හිමි නමක් අදහස් දක්වති.
යම රජු හා යම පල්ලන් පිළිබඳ කියන කතා අසා සිටිමින් ඒ පිළිබඳ ගැඹුරින් සිතූ තවත් භික්ෂූන් වහන්සේ නමක් අඬන්නට වූහ.
භාවනාවෙන් යම් තරමකට දියුණු කළා වූ සිතක් ඇති උන්වහන්සේට ස්වකීය අතීතය සිතුවම් පොටක් සේ දිස්වන්නට වීය. උන්වහන්සේ ඒ පිළිබඳ විස්තර කළේ මෙසේය.
”මං මේ ආත්මයට පෙර ආත්මයෙන් එහා ආත්මයේ ටිකක් බලපුළුවන්කාරයෙක් ලෙස තමයි ඉපදිලා හිටියේ. පන්සිල් පද පහම ආරක්ෂා කළේ නෑ. තුන්වැනි සිල්පදය බහුල වශයෙන් ම කැඩුවා.
සත්ත්ව හිංසාවෙත් යෙදුණා. අනුන් සතු සම්පත් බල පුළුවන්කාරකමෙන් අයිති කැරගත්තා. මේ වගේ වැරදි වැඩවලින්ම ජීවත් වුණා මිසක කුසලයක යෙදුණේ ම නෑ.
මෙහෙම ජීවත් වෙන අතරේ දවසක් ගමනක් යන කොට විශාල දුර්ගන්ධයක් මට දැනුණා. ඒක කොයි තරම් අප‍්‍රසන්න ගඳක් ද කියනවා නම් ඒ ගඳ මොකක්ද කියා බලන්න තරම් හිතුණා.
මම නාසය වසා ගෙන ඒ ගැන හොයා බැලුවා. විශාල ඌරුමීයෙක් මැරිලා කුණුවෙලා. ඒ මී කුණෙන් චිරි චිරි ගා පණුවන් මතුවෙනවා යට යනවා. කොයි තරම් නාසය වසාගෙන සිටියත් ඒ ගඳ දැනෙනවා.
දැන් ඇස් දෙකෙනුත් දැක්කා. හරි ම අප‍්‍රිය යි. ඒ වෙලාවේ මට කවදාවත් නැති අමුතු ම නුවණක් පහළ වුණා. (අසුබ භාවනාව) කොයිතරම් සාත්තු කළත් මගේ ශරීරයත් මේ වගේ නේද? කවදා හරි මේ වගේ මළොත් කුණුවෙලා ගඳ හමනවා නේද? පණුවන් ගසනවා නේද? මේ ශරීරය දුර්වල වීම, වයසට යෑම, ජරාවට පත්වීම මට වළක්වන්න බැහැ නේද? එහෙම නම් මේ ශරීරය මගේ යැයි කියන්නේ කොහොමද? මේක හරිම දුකක්.
මම මහණ වෙන්න ඕනෑය කියා අධිෂ්ඨාන කැර ගත්තා. ඒ වුණාට ඒ ආත්මයේ මම මහණ වුණේ නෑ. එහෙම ඉඳලා කාලෙකට පස්සෙ මැරුණා.
මැරුණාය කියන්නේ , මට කතා කරගන්න බැරි වුණා. පංචේන්ද්‍රියයන් අකී‍්‍රය වුණා. ලොකු මහත බටයක් වගේ එකක් ඇතුළෙන් මාව දිගට ඇදිලා ගියා. ඒ බටයෙන් එළියට ආපු තැන දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා මාව දෙපැත්තෙන් අල්ලාගෙන ඉදිරියට එක්කගෙන ගියා.
එතැන අඩි පහළොවක් විතර උස ආසනයක යම රජ්ජුරුවෝ වාඩිවෙලා හිටියා. දකින කොටම මේ යම රජ්ජුරුවෝය කියා මට වැටහුණා. ඔහු යටිකයට සුදු වේට්ටියක් ඇඳගෙනයි හිටියේ.
”ආ.. මනුස්ස ලෝකයේ ඉන්න කොට හුඟක් පව් කරලා තියෙනවා නේද?” කියා යම රජ්ජුරුවෝ මගෙන් ඇහුවා. ඒ එක්ක ම මම කළ පව් චිත‍්‍රපටයකින් වගේ මට මැවි මැවී පෙනෙන්නට ගත්තා.
ඒවා දකින කොට ම මා වැරැදි කාරයා වෙලා ඉවරයි නේද කියා හිතින් අන්තිමට ම අසරණ වුණා. ඒ අසරණවීම හෘදය සාක්ෂියත් එක්ක ම සිදුවන ගැඹුරු අනුස්මරණයක්.
පශ්චාත්තාපයක් වගේ දෙයක්. එතැනට ටිකක් එහායෙන් ලොකු තාප්පයක් තිබුණ. ඒ තාප්පයට එහා පැත්තේ විශාල ගින්නක් බුර බුරා ඉහළ නැඟෙනවා. ඒ වගේ ම ඒ පැත්තේ විශාල පිරිසක් දැවි දැවී විලාප දෙනවා ඇහෙනවා.
ඒ තාප්පයට ඉහළින් නැඟෙන යෝධ ගිනි දලු සුළඟට මේ පැත්තටත් එනවා. අප සිටි තැනටත් එනවා. ඒත් මේ පැත්තට ආවාම ඒ ගිනි දලුවල උණුසුමක් නෑ. උණුසුම තියෙන්නේ තාප්පෙන් එහා පැත්තට විතරයි.
තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ නිරය. ඒ නිරයේ වැටුණු අය තමයි අර විලාප නඟමින් දුක් විඳිනවා ඇහෙන්නේ කියලා මට වැටහෙනවා. යම රජ්ජුරුවෝ හරිම කරුණාවන්තයි.
කරුණාවෙන් මා දිහා බලා සිටිනවා. මම කළ පව් මැවි මැවී පෙනෙන අතරේ අර මී කුණ දැකපු සිද්ධියත්, මහණ වෙන්න කළ අධිෂ්ඨානයත් මට මතක් වුණා. මෙතනින් නිදහස් වුණොත් නම් මහණ වෙනවා මහණ වෙනවාමයි කියා ඒ වෙලාවේ මට හිතුණා. (යම රජු රතු සළුවක් හැඳ සිටියොත් අනිවාර්යයෙන් ම නිරයට යන්න සිද්ධ වෙනවාලු.)
එතකොට යම රජ්ජුරුවන්ගේ මුහුණේ මඳ සිනහවකුත් නැඟුණා. ”කුසලකුත් කළා නේද?” කියලා යම රජ්ජුරුවෝ එක පාරටම ඒ වෙලාවේ මගෙන් ඇහුවා.
”තමුන්ට තවම කල් තියෙනවා” කියා නැවත යම රජ්ජුරුවෝ ප‍්‍රකාශ කළා. එතකොට ම මා නැවතත් අර නළය දිගේ ආපහු ආවා. ඒ නළය දිගේ එනකොට තව දෙදෙනෙක් මුණ ගැහුණා.
”ආ.. එහෙම කොහොමද? එහෙම නම් අපිත් ඉන්නවානෙ”යි ඒ දෙන්නා කියනවා ඇහුණා. මම නිදහස් වී එන හැටි දැක ඔවුන් එසේ කීවේ එතැනත් ඊර්ෂ්‍යාව හා තණ්හාව තියෙන තැනක් බව මට වැටහුණා.
මම ඒ නළය දිගේ ඇවිත් කෑගල්ලේ අම්මා කෙනකුගේ කුසක පිළිසිඳ ගත්තා. ඉපදුණාට පස්සේ මම හරියට දුක් වින්දා. අනුන්ගෙන් ඉල්ලාගෙන කන තත්ත්වයට පත්වුණා.
වැඩි දුර ඉගෙන ගන්නත් බැරි වුණා. ජීවත් වෙන්න බැරි ම තැන බේකරියක වැඩට ගියා. දර පළන්න ඕනෑ. දහදිය පෙරා ගෙන දර පළනවා. ඊළඟට පෝරණුවට දර දමා ගිනි අවුළුවන්න ඕනෑ.
එතැන ඉඳල ගිනි රස්නෙත් එක්කමයි දවස ගෙවෙන්නෙත්. රෑට නිදියන්නෙත් පෝරණුව ළඟ ගිනි රස්නෙත් එක්කමයි. සමහර දාට හීනෙන් අර තාප්පයට එහා ගිනිදැල් පෙනෙනවා.
නිරයේ ගිනිදැල්වලින් බේරුණත් මෙතනදි යම් තරමකින් හෝ ඒ දඬුවම විඳින්න සිද්ධ වුණා.
මේ බේකරියෙ පාන් අරගෙන බයිසිකලෙන් කඩවලට බෙදා හරින්න වුණෙත් මට. මේ පාන් ගෙනියන එක කඩේක මුදලාලි කාන්තාවක්. ලස්සනයි. මෙයා සමහරදාට පාන්වල සල්ලි දෙන්න දවසක් දෙකක් පරක්කු කරනවා.
මේ ගෑනිගෙ සිරියාවන්ත පෙනුම නිසා මමත් දවස දෙක පහුවෙලා සල්ලි ගන්නවා. මෙහෙම ඉඳලා මෙයා හිටි හැටියේ දවස් ගණනක් මුදල් අත් හිටෙව්වා. පාන් ගෙනියන ප‍්‍රමාණයට අනුව මුදල් බාර නොදෙන කොට මුදලාලි මට බණිනවා.
අන්තිමට මේ ගෑනි සල්ලි නොදෙන කොට ඒ කඩේට පාන් දමන්න එපා කියා මුදලාලි මට කිව්වා. ”උඹ කොහොම හරි ඒ සල්ලි ඉල්ලගෙන එන්න ඕනෑ. නැත්නම් උඹේ පඩියෙන් කපනවා” කීවා.
දැන් අර ගෑනි වෙන පාන් කාරයකුගෙන් පාන් ගන්නවා. මම ගියා ම මඟහරිනවා. මම යනවාටත් කැමැති නැහැ. දැන් අර සිරියාවත් නැහැ. මුදලාලි මගේ පඩියෙන් කැපුවොත් මම මගේ දුප්පත් අම්මව ජීවත් කරන්නේ කොහොමද කියලත් බය හිතුණා.
එදා රෑ බේකරියෙ තිබුණු උල් පිහියක් හොයාගෙන ළඟින් තියා ගත්තා. රෑ නිදියන කොට කොට්ටය යටින් තියා ගත්තා. හෙට උදේ පාන් අරගෙන ගිහින් සල්ලි ඉල්ලනවා.
නුදුන්නොත් අර ගෑනිට මේ පිහියෙන් ඇනලා මරණවා කියලා හිතාගත්තා. පාන්දර පිහිය අතට අරගෙන පිහිය මිට තදින් අල්ලාගෙන අරකිගෙ පපුවට මේකෙන් දෙකක් අනිනවා” කියලා හිතට වෙර ගත්තා.
අන්න එතකොටම මට ආයෙත් අර අපායෙ ගිනිදැල් පෙනෙන්න පටන් ගත්තා. මේ වතාවෙ නම් මම මහණ වෙනවාමයි කියපු එකත් සිහිපත් වුණා. නිදි පැදුරෙ ඉඳල ම කල්පනා කළා.
තවම මුදලාලිලා නිදි. මම බනිස් ගෙඩියක් කාලා උණුවතුර ටිකක් බිව්වා. තව බනිස් ගෙඩි දෙක තුනක් කඩදාසියක ඔතා ගත්තා. හෙමින් සැරේ පාරට බැස්සා. හැතැප්ම පහක් ම පයින් ගෙදරට ම ආවා.
ඒ වෙනකොට මම අවුරුදු දහඅටක ඉලන්දාරියෙක්. එදා ගෙදර ඇවිත් පැය දෙක තුනක් නිදා ගත්තා. නැගිටලා නා ගත්තා. ගෙදර තිබුණු සුදු සරොන් දෙකකුයි කමිස දෙකකුයි අරගෙන කෙළින් ම ආරණ්‍ය සේනාසනයකට ගියා. එතැනින් මේ මීතිරිගල සේනාසනයට ආවා. අම්මගෙනුත් අවසර අරගෙන මහණ වුණා.
”ඔබ වහන්සෙ මොනවා කිව්වත් යම රජ්ජුරුවොයි යම පල්ලොයි ඉන්න බව මම නම් හොඳටෝ ම විශ්වාසයි. දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් කටයුතු කළොත් ආනන්තරිය නොවන පාප කර්මවල විපාක අඩුකර ගන්න පුළුවන්.
කුසල ශක්තිය බලවත් වන විට අකුසල විපාක දුර්වල වෙනවා” යි ඒ හාමුදුරුවෝ පැවසූහ.
ඒ හාමුදුරුවන්ගේ කතාව අප සමඟ පැවසුවේ බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමවාසී ලේනව මංගල හිමියෝ ය. උන්වහන්සේට අපේ ස්තුතිය පිරිනමමු.
මතුගම මහින්ද විජේතිලක
www.silumina.lk
පියවි ඇසින් ඔබ්බට : 10
ජීවිතය වැනසූ මිතුරිය ගෙන් පළිගත් යමුනා
මිනිසාට ජීවත්වීම සඳහා මුදල් අත්‍යවශ්‍ය සාධකය වී ඇත. එහෙත් බුද්ධිමත් නොවූ බොහෝ දෙනකු නොමඟ යැවීමටත් එමඟින් විනාශය ළඟා කිරීමටත් මුදල ප‍්‍රධානතම හේතු කාරණය වී ඇත. විරැකියාවෙන් පෙළෙමින් අසහනකාරී ජීවිත ගෙවූ බොහෝ තරුණියනට ඇඟලුම්හල් රැකියාව මහත් පිටිවහලක් විය.
එහෙත් ඇඟලුම්හල් සමාජය තුළින් බිහි වූ සංස්කෘතිය සමහර ජීවිතවලට අවාසනාව ළඟා කර දුන්නේය. ඇතැම් ඇඟලුම් හල් සේවිකාවන් තම යහළු යෙහෙළියන් ගේ මංගල උත්සවවලට සහභාගි වන්නේ නම්බුකාර ලෙස මත්පැන් පානය කිරීම විලාසිතාවක් කැර ගනිමිනි. එවැනි උත්සවවලදී තරුණයින්ටත් වඩා මේ තරුණියෝ බේබදුකමට ඇබ්බැහි වී සිටිති. අද කතාවෙන් අප අනාවරණය කරන්නේ එවැනි තරුණියක් විනාශ වී තවත් ජීවිත කීපයකට අතුරු අන්තරා ගෙන දුන් ආකාරය යි.
යමුනා ඇඟලුම්හල් සේවිකාවකි. ගම්බදින් අගනුවරට පැමිණි ඇය රැකියාවට ගියේ නවාතැන් පොළක සිට ය. ඇය සමඟ නවාතැන් කාමරයේ ලැඟුම් ගත් සුසීමා ඇගේ හොඳ ම මිතුරිය බවට පත් වීමට වැඩි කලක් ගත වූයේ නැත. යමුනාට ගමේ සුරංග නම් වූ පෙම්වතෙක් සිටියේය. සුසීමා ගේ පෙම්වතා සරත් ඒ ඇඟලුම්හලේ ම සේවය කළ තරුණයෙකි.
දිනක් ආරාධනයකට අනුව යමුනාත්, සුසීමාත්, සුසීමා ගේ පෙම්වතා සරතුත් මිතුරියකගේ නිවසක පැවති, කොටහළු මගුල් ගෙදරක ගියහ. මිතුරිය ද ඇඟලුම් සේවිකාවක වූ බැවින් ඔවුන් ගේ පුරුදු සංස්කෘතියට අනුව මේ තිදෙනාට ඉහළින් ම සැලකුවා ය. සංග‍්‍රහ කළා ය.
මත්පැනින් සිහිවිකල් වූ මේ තරුණියන් දෙදෙනා සරත් හා තවත් අය සමඟ නටන්නට පටන් ගත්හ. කැසට් යන්ත‍්‍රයක උදව්වෙන් කොත්තු රොටි සංගීතයට අනුව නැටූහ. මධ්‍යම රාති‍්‍රය දක්වා ම නැටූහ. නෑදැයින් විසිර ගිය පසුව මිතුරිය මේ තිදෙනාට ම නිවසේ ඉස්සරහ කාමරයේ නිදාගන්නට පහසුකම් සලසා දුන්නාය.
ඝන අඳුරෙන් පිරුණු රාති‍්‍රය ධාරානිපාත වර්ෂාවකින් සීතල අඩුපාඩු සපුරා ලීය. මේ බේබදු කෙල්ලන් දෙදෙනා සමඟ සරත් නින්දට සැරසුණේ ද මත්පැනින් විකල් වූ ගතියෙන් ම ය. අවසානයේ ස්වකීය පෙම්වතියගේ අනුදැනුම ද ඇතිව සරත් අතින් යමුනා කෙලෙසුණා ය. වෙරි මත සිඳී පසු දිනට පහන් වූයේ පෙර දා රාති‍්‍රයේ බරපතලකම යමුනා ගේ මුවින් පිටාරය ගලමිනි. ප‍්‍රශ්නයේ භාරදූරකම වටහා ගත් සුසීමා යමුනාගේ ඉකි බිඳීම නිවැසියන්ට රහසක් කරමින් වහා හැඳ පැළඳ ගෙන තිදෙනා ම මිතුරිය ගෙන් සමු ගෙන නවාතැන කරා පිටත් වූහ.
ඔවුන් පැමිණි බස් රියේ අසුනක කෙළවරක හිඳගත් යමුනා ඉදිරි අසුනේ හිස රඳවා කඳුළු සඟවා ගෙන කල්පනා කරමින් ආවාය. සරත් සුසීමා සමඟ මිට උපායක් සාකච්ඡා කරමින් වෙනත් අසුනක හිඳගෙන පැමිණියහ. නවාතැනට ආසන්න නගරයේ සරත් නතර වූ අතර යෙහෙළියන් දෙදෙනා නවාතැනට ගියහ. ඒ දිනය ද නිවාඩු දමා තිබුණු බැවින් එදා රැකියාවට යෑමේ අවශ්‍යතාවයක් නොවීය. යමුනා ඇඳට වී මුහුණ සඟවා ගෙන ඉකි බින්දාය. මේ අතර සුසීමාගේ දුරකතනය නාද විය. ඊට මඳ වේලාවකට පසු සරත් ද ඔවුන්ගේ නවාතැන් කාමරයට ඇතුළු විය. ඔහු අතේ අරක්කු බාගයක් ද විය. එය මේසය මතින් තැබුවේය.
“සරත්! හරි වැඩේනෙ. අම්මට සනීප නෑ කියලා දැන් කෝල් එකක් ආවා. මම දැන් ගමේ යන්න ඕනෑ”යි සුසීමා කීවා ය.
“අම්මට අසනීප නම් ඉතින් නොගිහින් කොහොමද? එහෙනම් යන්න. ගිය හැටියේ කෝල් එකක් දෙන්නැ”යි සරත් කීවේය.
මේ කිසිවකට සවන් දුන්නේ යමුනා නොවේ. මේ හැතිරිය හා හතුරා නවාතැනින් පිට වී යෑමත් ඇයට සුළු සහනයක් විය. සරත් හා සුසීමා පිටත්ව ගියහ.
ඇත්තට ම අනුන්ට ම දොස් පැවරීම හරි ද? ගමෙන් පැමිණි යමුනා වෙනස් වූයේ ඇයි? මේ සියල්ලට මුල් වුණේ මගේ ම බේබදුකම නොවේ දැයි යමුනා සිතුවා ය. ඇයට තමන් ගැන දහසක් බලාපොරොත්තු තබා ගෙන සිටින මව්පිය දෙදෙනා සහ නැගණිය සිහිපත් විය. සුරංග සිහිපත් විය. යමුනා ඇඳෙන් නැගිට්ටාය. මේසය කරා ගොස් පුටුව ඇදගෙන වාඩි වූයේ ගෙදරට ලියුමක් ලියන්නට ය.
“අදාරණීය අම්මේ! තාත්තේ!
මේ ලියුම කිසි දවසක අම්මා කෙනෙක් තම දුව ගෙන් බලාපොරොත්තු ලියුමක් නොවේ. මගේ වරද නිසා ම, මත්පැනට ඇබ්බැහිකම නිසා මම අනාථ වුණා. විනාශ වුණා. මට දැන් කාටවත් මුහුණ දෙන්න බෑ…”
යමුනාට සුරංග සිහියට නැගිණි. ලියුම අතර මඟ නතර කොට සුරංග ගැන සිතන්නට වූවාය. කම්මුලේ අත රඳවා ගෙන කල්පනා කරන්නට වූ ඇගේ ඔලුව යකාගේ කම්මල සේ විය. මේ අතර මේසය මත තිබුණු අරක්කු බාගය ඇගේ නෙත ගැටිණි. “දැන් මට කොහොමත් එකයි” කියා තමන්ට ම කියා ගත් යමුනා වීදුරුවකට හලාගත් අරක්කු බාගය එක හුස්මට ම බීගෙන බීගෙන ගියාය. ඇගේ හිස බමන්නට විය. වහා පුටුවෙන් නැගිට ගොස් ඇඳේ පෙරළුණාය. පෙරළුණා පෙරළුණා ම ය.
දවස ගෙවී ගියේය. ඊළඟ දවසට ද හිරු අඩවන් කැර තිබු දොරෙන් යමුනා දෙස එබිකම් කැර බැලීය. නිල මැස්සන් කීප දෙනෙකු හැරෙන්නට ඇගේ තනි නොතනියට කිසිවකු ඒ කාමරයේ සිටියේ නැත. එදින සවස් යාමයේ මේ නවාතැන් කාමරයේ දොර නොවසා අඩවන් කැර ඇත්තේ ඇයි දැයි නවාතැනේ අයිති කාරිය එබිකම් කැර බැලුවාය.
“දෙය්යනේ!” යමුනා ඇඳෙන් බිමට වැටි සිටියාය. ඇය ලේ වමනය දමා තිබුණි. සියල්ල සිදු වී හමාර ය. මේසය මත හිස් කළ අරක්කු බෝතලයක් හා වීදුරුවක් තිබිණි. පේළි කීපයක් ලියා අවසන් නොකළ ලියුමකි.
නවාතැන් පාලිකාව සිද්ධිය පොලීසියට දැනුම් දුන්නා ය. නීතිමය රාජකාරිවලින් පසු යමුනා ගේ ඥාතීහු ඇගේ සිරුර ගමට ගෙන ගොස් භූමදාන කළහ. පොලීසිය සුසීමා ගෙන් කට උත්තරයක් ගත්ත ද ඇය මේ ගැන කිසිත් නොදන්නා බවත්, එදින තමන් ගමට ගොස් සිටි බවත් සඳහන් කළාය. එය සියදිවි හානි කැර ගැනීමක් බවට නිගමනය විය.
ශෝකයත් ලැජ්ජාවත් දරා ගත නොහැකිවූ යමුනාගේ මව්පියෝ ගෙය සහ ඉඩම විකුණා බාල දියණිය සමඟ අනුරාධපුරයෙන් ඉඩමක් මිලට ගෙන එහි පදිංචියට ගියහ.
යමුනා ගේ ජීවිතයට තමන් අතින් සිදු වූ අපරාධය වසන් කිරීමට අරක්කුවලට වස දමා තැබූ බව දන්නේ සුසීමා හා සරත් පමණි. එහෙත් එය තවත් එකම එක කෙනෙක් දැන සිටියාය.
ඒ මළ යක්ෂණියක වී බද්ධ වෛරයෙන් ඉපැදුණු යමුනාගේ භූතාත්මයයි. එහෙත් මේ සිද්ධිය සුසීමාගේත් සරත්ගේත් සිතේ නිතරම හොල්මන් කරන්නට විය. ඔවුන්ගේ සිත් නිතරම ඔවුන්ට දොස් පවරන්නට විය.
“උඹලා කළේ මහා අපරාධයක්. හෙන ගහන අපරාධයක්. සහගහන අපරාධයක්. ඒ පාපය උඹලා ගෙවන්නම ඕනෑ” යි සුසීමාගේත් සරත්ගේත් සිත තරවටු කරන්නට විය. රාති‍්‍ර නින්දට යන විට ද, උදේ අවදි වූ මොහොතේ ද යමුනා ඔවුන් දෙස රවාගෙන සිටින ආකාරය මැවී පෙනෙන්නට විය. එහෙත් මේ රහස සමාජයෙන් සඟවා ගෙන සිටින්නට ඔවුහු වග බලා ගත්හ.
මාස තුනක් පමණ නොදැනුවත්ව ම වාගේ ගෙවී ගියේය. දිනක් සරත් රැකියාවට යෑම සඳහා නිවසින් පිටත් විය. බස් නැවතුම් පොළක නතර කොට මගීන් නංවා ගෙන ඉදිරියට ඇදෙමින් තිබුණු බස් රියකට සරත් දුවගෙන ගොස් එල්ලුණේය. පය ලිස්සා ගියේය. ඒ බස් රියේම රෝදයට සරත් ගේ දෙකකුල් යට විය. මාස ගණනාවක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිට සරත් රෝහලෙන් පිට වූයේ දණහිස් දෙකෙන් පහළ කොටස් කපා වෙන් කළ අබ්බාගතයෙකු ලෙස ය.
එදා තමන් බස්රිය කරා දුව ගෙන ගොස් එල්ලුණු හැටිත් පාපුවරුවට තැබූ පය ලිස්සා ගිය හැටිත් සරත්ට හොඳට මතක ය. ඒ මිසක යමුනාගේ මළ යක්ෂ භූතාත්මය ඔහුගේ කකුළෙන් ඇද්ද බව ඔහු තවමත් දන්නේ නැත. සරත් රෝහල් ගතව සිටිය දී සුසීමා ඔහු බලන්නට මාසයකට හතර පස් වතාවක් ගියා ය. පසුව එය ක‍්‍රමයෙන් අඩු විය. “සරත්ගෙ කකුල් දෙක ම කපලා.
එයා එක්ක විවාහ වෙලා පවුල් ජීවිතයක් ගෙවන්න පුළුවන්දැ”යි ඇගේ සිත නිතර ඇගෙන් ප‍්‍රශ්න කළේය. මේ අතර දෙදෙනා හවුල් වී කළ අපරාධය ද නිතර සිතේ හොල්මන් කළේය. අබ්බාගතයෙකු සමඟ පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා ඵලක් නැතැයි තීන්දු කළ ඇය, සරත් බලන්නට යෑම නතර කැර දැමුවාය. ඇඟලුම් කම්හලේ අය ද නිතර ම “සුසී! දැන් සරත්ට කොහොමදැ”යි ප‍්‍රශ්න කිරීම ද හිසරදයක් වූ අතර ඇය එම කම්හලෙන් ඉවත්ව වෙනත් ඇඟලුම් කම්හලක රැකියාවක් සොයා ගත්තා ය.
මෙසේ මාසයක් පමණ කාලය ගෙවී යද්දී සුසීමාට ද බස් රියකට නගිද්දී සරත්ට සිදු වූ ආකාරයෙන් ම අනතුරකට ලක් වී දෙකකුල් අහිමි වූවාය. එය ද රිය අනතුරක් ලෙස සැලකුවා මිස යමුනාගේ මළ යක්ෂ ආත්මය පළි ගත් බව දැන සිටියේ නැත. යමුනා ගේ භූතාත්මය බද්ධ වෛරයෙන් ඔවුන් දෙදෙනා පසුපස ගමන් කොට කල් යල් බලා තමන්ට කළ අපරාධයේ පළිය ගත්තා ය.
දැන් අපි සුරංග දෙසට හැරෙමු. අහිංසක ජීවිතයක් ගත කළ සුරංග වයස අවුරුදු 17 දී පමණ යමුනා සමඟ පේ‍්‍රම සම්බන්ධය පටන් ගත්තේ ය. යමුනා අගනුවර රැකියාවට ගිය ද මාසයකට වරක් පමණ ඔවුන් මුණ ගැසී කතා බස් කළහ. හිටි හැටියේ ම යමුනා ගෙන් කිසි ම තොරතුරක් ලැබුණේ නැත. නගරයට ගිය පසු ඇයට මා අමතක වුණා ද? මට වඩා හැඩ වැඩකාරයෙක් සමඟ සම්බන්ධයක් ඇති කැර ගත්තා ද? මේ ගැන සිත සිතා සිටි සුරංග ගේ මානසිකත්වය පහළට වැටිණි. අවසානයේ තමන් ගේ මනසට හිරිහැර කරන මතකය වළලා දමන්නට තීරණය කළ සුරංග නිතර මිතුරන් සමඟ එක් වී කාලය ගෙවන්නට විය.
මේ අතර යමුනා ගේ භූතාත්මය කළ පාප මිත‍්‍රයන්ගෙන් පළි ගැනීමෙන් පසු යම් සහනයක් ලැබුවාය. එහෙත් ඒ භූතාත්මයේ ස්වභාවය වෙනස් කළ හැකි නොවේ. කාලය ගෙවී ගොස් කර්ම නියාමයට අනුව වෙනත් භවයක උපත ලබන තුරු ඒ ස්වභාවය ම ගත කළ යුතු ය. මේ භූතාත්මය නිතර අනුරාධපුරයට ගොස් තම දුප්පත් මව් පිය දෙදෙනා සහ නැගණිය දෙස බලා දුක් වූවාය. ඒ දුකට හේතුව සිහිපත් වූ සැණින් චිත්ත සන්තානය තුළින් මතු වන වෛරයෙන් දැවෙන්නට වූවාය.
ඒ සමඟ ම සරත් සොයා ගෙන ගියා ය. ඔහු අබ්බාගතයෙකු වී දුක් විඳින ආකාරය දැක සතුටු වූවාය. එතැනින් සුසීමා සොයා ගෙන ගියාය. එහිදී ද සුසීමා දෙකකුල් අහිමව දුක් විඳින හැටි බලා සතුටු වූවා ය.
දිනක් අනුරාධපුරයේ මව්පියන්ගේ නිවස ඇසුරු කොට ගෙන ගැවසුණු මේ මළ යක්ෂණියගේ සිත යම් කිසි චිත්ත තරංගයක් සම්බන්ධව වේදනාවක් වැනි පීඩනයක් ඇති විය. භූතාත්මය සැණින් එය හඳුනා ගත්තා ය. ඒ සුරංග ඇය ගැන සිතමින් සුසුම් හෙලන අවස්ථාවකි.
තමන් වෙනුවෙන් අවංකව ආදරය කළ සුරංග දැන් පේ‍්‍රමයේ වියෝ ගින්නෙන් දැවෙන බව ඇය වටහා ගත්තා ය.
“අනේ! සුරංග පාප මිත‍්‍ර සේවනය නිසා මම විනාශ වුණා. ඔයා තවමත් මා වෙනුවෙන් සුසුම් හෙලනවා මා නිසා ඔයා ගේ ජීවිතය කාලකන්නි කැර ගන්න එපා. මට ඔයාට උදව් කරන්න ඕනෑ. ඒත් ඒකට මට අවසර නෑ. අපේ ලෝකයේ අපි ජීවත්වෙන්නේ යක්ෂ සේනාධිපතියන් යටතේ යි. නීතිරීති තිබෙනවා. ඒ ප‍්‍රධානීන්ගේ අවසර නැතුව කිසි දෙයක් කරන්න බැහැ.
මම ඒ අයට මට සිදුවූ අසාධාරණය අපරාධය ගැන අවනඩුව කියා අවසර අරගෙන හතුරන් දෙදෙනා ගෙන් පළි ගත්තා. දැන් ඔයාට උදව් කරන්න වුණත් ප‍්‍රධානීන් ගෙන් අවසර අරගෙන එන්න ඕනෑ. මම කොහොම හරි හඬා වැළපිලා කන්නලව් කරලා අවසර වරම් අරගෙන එනවා” යි අධිෂ්ඨාන කැර ගෙන භූතාත්මය නික්ම ගියාය.
මේ අතර තම මානසික වියවුල් සඳහා සහනයක් පතා සුරංග අතුරුගිරියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ගස්නාවේ ඤාණානන්ද හිමියන් සොයා යන්නට තීරණය කැර සිටියේය.
යමුනාගේ භූතාත්මය පෙම්වතාට උදව් කරයි
ඇඟලුම් සේවිකාවක් වූ යමුනා සිය මිතුරිය වූ සුසීමා ද සුසීමා ගේ පෙම්වතා වූ සරත් ද සමඟ, තවත් මිතුරියක ගේ නිවසක පැවැති මංගල සාදයකට ගියාය. එහි දී නාගරික විලාසිතා සංස්කෘතියට අනුව ඔවුන් ද මත්පැන් පානය කොට නටා රාති‍්‍රය ගත කරද්දී යෙහෙළිය ගේ පෙම්වතා අතින් දූෂණය වූවාය. තමන් අතින් සිදු වූ අපරාධයෙන් නිදහස් වන්නට සරත් සුසීමාගේ ද අනුදැනුම ඇතුව අරක්කුවලට වස දමා යමුනාට බොන්නට සැලැස්සුවේය. බද්ද වෛරයෙන් මිය ගිය යමුනා මළ යක්ෂණියක්ව ඉපිද සරත්ගෙන් හා සුසීමාගෙන් පළිගත් හැටි පසුගිය ලිපියෙන් විස්තර කළෙමු.
සරත් ගෙන් හා සුසීමා ගෙන් පළි ගැනීමෙන් පසු භූතාත්මය සුරංග සොයා ගියා ය. සුරංග යමුනාගේ පෙම්වතා ය. සිය පෙම්වතිය ගැන කිසිදු තොරතුරක් නැතිව සුරංග මානසිකව වැටී සිටියේය. යමුනා තමා අමතක කොට ඇතැයි සිතූ සුරංග සිය මතකය වළලා දමන්නට මිතුරන් ඇසුරේ නිතර කාලය ගෙවන්නට විය. යමුනා ගේ භූතාත්මය තමන් නිසා දුක් විඳින සුරංගට උදව් කරන්නට අධිෂ්ඨාන කළාය.
මේ අතර සුරංගට තද හිසරදයක් දැනෙන්නට විය. නිවසේ අයත්, අසල්වැසි ආශි‍්‍රතයනුත් නුරුස්සන්නට විය. හිතවතුන්ටත්, නිවසේ අයටත් අසිහියෙන් මෙන් පහර දෙන්නට විය. එය අන්තිමේ ඔහු ගේ දින චරියාව බවට පත් විය.
තමන් ගේ සිතට අමුතු අමුතු දේ දැනෙන බවත්, කවුදෝ කතා කරනවා මෙන් මුමුණන හඬ ඇසෙන බවත්, සුරංග ගෙදර අය සමඟ කීවේය. ඔහුට වැටහෙන දේවල් පවුලේ අයට කීවත් ඔවුන් ඒවා විශ්වාස කළේ නැත. මේ තත්ත්වය නිසා ඇති වූ හිසරදයෙන් පීඩා විඳින විට ආශි‍්‍රතයන් සමඟ නුරුස්නා ගති ඇති වී ගැටුම් හට ගන්නට විය. මේ ගැන සුරංග ගේ මව මහත් කම්පාවට පත් වූ නමුත් ඇයට ද කර කියා ගන්නට දෙයක් නොවීය. සමහරු කීවේ සුරංගට පිස්සු හැදීගෙන එන බව ය.
සිතට කිසි ම සහනයක් නොලැබුණු තැන සුරංග තෙල් මල් පහන් ගෙන ගමේ පන්සලේ බෝධීන් වහන්සේ වෙත ගොස් මල් පහන් පුදා බෝ මළුවේ හිඳගෙන කල්පනා කරන්නට වූයේය. ඒ සමඟ ම ඔහුගේ කණට යමෙක් කොඳුරන්නා සේ ඇසිණි. කිසිවකු පෙනෙන්නට ද නොවීය. සුරංගට ඒ ගැන විමසා බලන්නට සිතිණි.
“කව්ද? මේ කතා කරන්නේ” යි සුරංග ඇසීය.
“මේ මම සුරංග මම” පිළිතුරු ලැබිණි.
“කව්ද මම කියන්නේ?”
“මම යමුනා. ඔයාගේ යමුනා”
“මොනවා… යමුනා. ඔයා දැන් කොහේද ඉන්නේ?”
“මළවුන්ගෙ ලෝකයේ”
“ඔයාට මොනවද වුණේ?”
“අනේ! සුරංග මම කොළඹ දී බොන්න පුරුදු වුණා. දවසක් මගුල් ගෙදරදි බීල මත් වෙලා ඉන්දැද්දි එකෙක් මාව විනාශ කළා. මම පොලීසි යනවැයි කීවා ම උන් මට වස දුන්නා. මං උන්ගෙන් පළි ගත්තා. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ සුරංග.
“ඔයා දුකින් ඉන්නවා දැකලයි මම ආවේ. මම ඔයාට උදව් කරනවා. ඔයා ඔයාගෙ ජීවිතය සාර්ථක කරගන්නැ”යි ද භූතාත්මය සුරංගට කීවාය.
“ඉතින්! යමුනා ඔයාට මගෙන් මොනවාද කෙරෙන්න ඕනෑ” යි සුරංග ඇසීය.
“මට පිං ඕනෑ සුරංග. මේ දුකෙන් ගොඩ එන්න පිං ඕනෑ.”
ඒ අනුව සුරංග දානමානාදී පිංකම් කොට ඇයට පින් දුන්නේය. භූතාත්මය මෙසේ වරින් වර සුරංගට පණිවුඩ දෙන්නට වීය. ඒ පිළිබඳ සුරංග පවසන්නේ මෙසේ ය.
“දවසක් මේ භූතාත්මය මට අපේ ගමට අල්ලපු ගමේ ගැහැනු ළමයෙක් ගැන කීවා. ඇය ගුණ යහපත් කෙනෙක් නිසා ඇය විවාහ කැර ගන්නැයි මා උනන්දු කළා. මම ඒ කීමට එකඟ වෙලා ඒ ළමයා ගැන සොයා බැලුවා. පසුව දෙපාර්ශයේ ම නැදෑයින්ගේ ආශීර්වාද ඇතුව ඇය විවාහ කැර ගත්තා.
ඊට පසුව යමුනාගේ භූතාත්මය මගේ බිරියට පණිවුඩ දෙන්න හිටියා. ඇය කොළඹ ගිය හැටි, මත්පැන් බීමට පුරුදු වූ හැටි. මඟුල් ගෙදරදි කොල්ලෙක් අතින් දූෂණය වූ හැටි, ඇයට වස දුන් හැටි, මේ විස්තර කියන්න පටන් ගත්තා. කොහොම වුණත් මගේ බිරිය මට සමීපව ආදරයෙන් ඉන්නවා දකින කොට භූතාත්මය ටිකෙන් ටික වෙනස් වුණා. ඊර්ෂ්‍යාවට වගේ, පසුව මේ භූතාත්මය මගේ බිරිය සමඟ ගැටුම් ඇති කැර ගත්තා. මගේ බිරියත් ඒ තරම් කැමති වුණේ නෑ මේ මළ යක්ෂණිය මට ආදරය කරනවාට.
ඊට පස්සේ මට නැවතත් හිසරදය හැදෙන්න පටන් ගත්තා. ඒ වෙලාවට මම කරන දේ පසුව මට මතක නැහැ. මා ලවා මගේ බිරියට පහර දෙවන්නත් භූතාත්මය කටයුතු කළා.
බැරි ම තැන මේ යක්ෂණිය බෝධියකට බාර කරන්න උත්සාහ කළත් ඒක කොහොම හරි මඟ හරවනවා. පූජා පැවැත්තුවා. බාර හාර වුණා. ශාන්ති කර්ම කළා. ආහාර ඇඳුම් පූජා කර පින් දුන්නා. පහන් ටැඹක් පූජා කළා. යන්ත‍්‍ර දැම්මා. මොනවා කළත් යමුනාගෙ භූතාත්මය ඉවත් කරන්න බැරිවුණා. මෝදර කෝවිලටත් පුද පූජා දී බාර හාර වුණා.
අන්තිමට අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඤාණානන්ද නායක හාමුදුරුවන් ගැන ආරංචි වී මම උන් වහන්සේ සොයා ගෙන ඇවිත් සම්පූර්ණ විස්තරය කීවා. උන් වහන්සේ ගේ උපදෙස් පරිදි දින හතක් බෝධි පූජා පැවැත්තුවා. අට වැනි දවසේ දානයක් දී යමුනාට පින් දුන්නා. මට හරිම පුදුමයි. බුදු දහමට අනුව කටයුතු කළා ම ඇය උසස් තැනකට පත් වුණා. යමුනාගෙ ආත්මය අනුරාධපුරේ ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ළඟට යැව්වා.
ඇය එසේ ඉවත් ව යන්න කලින් මට අවවාද කළා. මේ නායක හාමුදුරුවන් ළඟට මාසයකට වරක් පැමිණ වැඳ පුදා කළගුණ දක්වන්න ය කියා. මම ඒක කාලයක් ම නොකඩවා සිදු කළා. කාලෙකට පස්සෙ නායක හාමුදුරුවන් බලන්න යන එක මඟ හැරුණා. නැවතත් මට අසනීප වුණා. ඇගේ ආත්මය නැවත ඇඟට එන්න පටන් ගත්තා. මම නැවතත් අතුරුගිරිය භාවනා මධ්‍යස්ථානයට ගියා. නායක හාමුදුරුවන් ළඟදි නැවත යමුනාගෙ භූතාත්මය මගේ ඇඟට ආවා.
“ඇයි මේ කරදර කරන්නේ, එන්නෙ නෑ කියල පොරොන්දු වෙලා නේද ඇඟෙන් ඉවත් වුණේ?” යි නායක හාමුදුරුවෝ ඇසූහ.
“එහෙමයි හාමුදුරුවනේ! මම පොරොන්දු වෙලයි ගියේ, මේ සුරංගත් පොරොන්දු වුණා මාසෙකට සැරයක් මේ ස්ථානයට ඇවිත් ඔබ වහන්සේට වැඳ පුදා යන්න. කෝ මෙයා දැන් ඒ පොරොන්දුව කඩ කරලා නේද. මම මේ එන්නේ මෙයාව පිනට දහමට යොමුකරන්න ඕනෑ නිසා” ය භූතාත්මය කීවා ය.
“ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ළඟට බාර කරන්නේ එතැන ඉඳගෙන පිනක් දහමක් කරන්න. ඇයි? මේ නැවත ආවේ” යි හාමුදුරුවෝ ඇසූහ.
“එහෙමයි හාමුදුරුවනේ! මම ආවෙ ශී‍්‍ර මහා බෝධින් වහන්සේ බාර කළු දේවතා බණ්ඩාර දෙවියන් ගෙන් අවසර අරගෙනයි. ඒ මේ සුරංගව යහමඟට යොමු කරන්න ඕන නිසා. මේ මිනිස්සුන්ට යුතුකම් ඉක්මනින් අමතක වෙන එක බොහෝම නරකයි නේද හාමුදුරුවනේ.”
“ඉතින් මේ ඇත්ති අපට කියන්නකෝ බලන්න ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ළඟ තියෙන අප නොදන්නා විස්තර” යැයි ඤාණානන්ද නාහිමියෝ පැවසූහ.
හාමුදුරුවනේ ශී‍්‍ර මහා බෝධිරාජයාණන් වහන්සේ ළඟත් ආරක්ෂක වළලු තුනක් තියෙනවා. මම මුලින් ම ගිය දවසෙ මට එතැන මහ දේවතාවුන් වහන්සේ ළඟට යන්න දුන්නෙ නෑ. මම ගහකට මුවා වෙලා හැංගිලා හිටියා හොඳ යක්ෂයෙක් ආරක්ෂක වළලු තුනෙන් පිටතට එනකම්. හොඳ කෙනෙක් එනකොට අඳුනාගන්න පුළුවන්. එතැන ඉන්න හුඟ දෙනෙක් බොහෝම සැරයි.
ඉතින් මම අර යහපත් යක්ෂයා දැකලා ළඟට ගිහින් කිව්වා “අනේ! පින් අයිති වෙයි මාව කළු දේවතා බණ්ඩාර දෙවියන් ළඟට එක්ක යන්න” කියා.
ඉතින් ඒ යක්ෂයා හොඳ වගේ ම බලගතු කෙනෙක්. කරුණාවන්ත යි. මා දිහා බලා ඉඳලා මාව එක්කර ගෙන ගියා. මම එතැනට ගියා ම තොරතුරු අහලා මට වැඩ පැවරුවා. අපට තියෙන්නෙ පූජාවට මල් නෙලන්න. (දිව්‍ය මල්) තේවාවට උදව් කරන්න. ඒ කටයුතු හොඳට කරන කොට මාව උසස් කළා. පූජාවට මල් කැඩීම වගේ දේවලට සම්බන්ධ කර ගත්තෙත් හොඳට පරීක්ෂාවෙන්.
හොඳ අය පමණයි. මම අද මේ අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයට එන කොට එහේ හිටිය තවත් පිරිසක් මා සමඟ මෙහෙට ආවා.
ඒ මෙහෙන් පින් දීලා සුවපත් කර අනුරාධපුරේට යවපු අය යැයි ද යමුනාගේ භූතාත්මය කීවාය.
කළගුණ සලකන්න අමතක කරන්න එපා යැයි නැවතත් සුරංගට අවවාද කළ භූතාත්මය නාහිමියන්ට වැඳ නමස්කාර කොට සුරංගගේ ඇඟෙන් ඉවත් ව ගියා ය.
www.silumina.lk
පියවි ඇසින් ඔබ්බට : 11
නාග දෂ්ටයෙන් කෙළවර වූ නොසන්සිඳුණු වෛරය
තමන් කැමැති දෙයට ආශාවෙන් තණ්හා වෙන්, උපාදානයෙන් හෙවත් ඇලීමෙන් මිය යන පුදගලයාත් තමන් අකැමැති දෙයට තරහවෙන්, ද්වේෂයෙන්, වෛරයෙන් , ක්‍රෝධයෙන් හෙවත් ගැටීමෙන් මිය යන පුද්ගලයාත් දුගතියෙහි ඉපැදීම අනිවාර්ය වේ.
ක‍්‍රමයෙන් දාන ,ශීල භාවනාදියෙහි නොයෙදෙන සිත දියුණු කැර නොගත් පුද්ගලයා ගේ සිතෙහි ඇලීම හා ගැටීම ඇතිවීම ස්වාභාවිකය. ඇත්ත ඇති සැටියෙන් නොදැනීම හෙවත් මෝහය ද මීට ඉවහල් වේ.
පල්ලේකැලේ, දෙවැනි පෑතිස් ජාත්‍යන්තර සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී අපට මුණ ගැසුණු ජා ඇල, මාකේවිට, පී, සමරසිංහ මහතා ද්වේෂයේ ආදීනවය පිළිබඳ පැවසූ කතාවකි මේ.
මෙය කන්ද උඩරය සුප‍්‍රසිද්ධ ගම්මානයක මෙයට අවුරුදු දහයකට පමණ පෙර සිදු වූ දෙයකි. මේ කතාව ලියැවෙන්නේ සමරසිංහ මහතාගෙන් කියැවුණූ තොරතුරු ඇසුරෙනි.
විමලාවතී ගුණරත්නගේත්, ජයසේනගේත් මෑණියෝය. පියාගේ මරණයෙන් පසු මේ දරු දෙදෙනා හදා වඩා ගත්තේ විමලාවතීගේ උත්සාහයෙනි.
චාම් ජීවිතය හා අරපරෙස්සම ඉක්මවාගිය දැඩි ලෝභකමකින් යුතු විමලාවතී මසුරු ගැහැනියක බව ගම ම දන්නා කාරණයකි.
නිසි වයස් එළැඹි වැඩි මහල් පුත් ගුණරත්නට සුදුසු පෙළවහක් කැරදීමට විමලාවතීට අවශ්‍ය වීය. ගුණරත්නට අවශ්‍ය වූයේ හුරුබුහුටි කරුණාවන්ත කෙල්ලකි.
විමලාවතීට අවශ්‍ය වුයේ ගෙදර දොරේ වැඩ පළෙහි දක්ෂකමත්, සියල්ලටම වඩා දායාදයන් ය. මනාලියන් විසි තිස් දෙනකු බලන්නට ගොස් අන්තිමේ විමලාවතීගේ සම්මුඛ පරීක්‍ෂණවලින් සමත් වූයේ චන්ද්‍රිකා ය.
ගුණරත්න ගේ බිරිය වශයෙන් මේ නිවසට පැමිණි දා සිටම පුතුන් දෙදෙනා සේම චන්ද්‍රිකා ද විමලාවතී ගේ පාලන අධිකාරියට යටත් විය යුතුවිය.
විවාහක තරුණ අඹු සැමි දෙදෙනකුට අවශ්‍ය වූ සතුට සොම්නස හා විනෝදය විමලාවතීගේ ඒකාධිකාරය විසින් දැඩි සේ පාලනයට යටත් කරනු ලැබිණි.
අධ්‍යාපනයෙන්, ගුණදහමෙන් හා සමාජ ආශ‍්‍රයෙන් හැදුණු වැඩුණු චන්ද්‍රිකා පවුලේ සමගියට බාධා නොවන ලෙසින්, අඬදබර ඇති නොවන ලෙසින් නුවණින් හා ප‍්‍රවේශමෙන් කටයුතු කළාය.
කෙසේ නමුත් මේ ඒකාධිපති නැන්දම්මා ගේ සීමාව ඉක්මවා ගිය පාලනයට යටි හිතින් අකැමැති වූ චන්ද්‍රිකා සිය ස්වාමි පුරුෂයා ද පොළඹවා ගෙන මේ නිවසට තරමක් ඈතින් ඉඩම් කොටසක් මිල දී ගත්තාය.
”දැන් ඉතින් මල්ලිටත් අනාගතයක් තියෙන්නෙට එපායැ.
නේද අම්මේ “ යි කියමින් අලුතින් ගත් ඉඩමේ නව නිවසක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළාය.
මේ හිර ගෙදරින් නිදහස් වී තමන්ගේ ස්වාමි පුරුෂයා සමඟ පී‍්‍රතියෙන් ජීවත්වීම ඇගේ එකම උවමනාව වීය.
ලොකු පුතාගේ අලුත් නිවසේ වැඩ අවසන් වන විට ජයසේනටත් විවාහයක් කැර දීමට විමලාවතී පියවර ගත්තාය.
ජයසේන ගේ භාර්යාව වශයෙන් විමලාවතීගේ තේරීම වූයේ රංජනීය .
රංජනී කැන්දා ගෙන ඇවිත් සතියක් පමණ ගත වනවිට ගුණරත්න, චන්ද්‍රිකා සමඟ අලුත් ගෙදර පදිංචියට ගියේය.
දැන් මහ ගෙදර ඉන්නේ විමලාවතීත් පොඩි පුතාත් ලේලියත්ය. රංජනී චන්ද්‍රිකා තරම්ම මටසිළිටි වූයේ නැත.
රංජනී ඇයට අවශ්‍ය පරිදි තමන් කැමති කෑම්බීම් උයා පිහාගෙන කෑවාය.
තමන් කැමති පරිදි ඇන්දාය. පැළැන්දාය. ජයසේන සමඟ නෑදෑ ගමන් ගියාය. චිත‍්‍රපට බලන්න ගියාය.
විය පැහැදම් කළාය. විමලාවතී මේවාට හරස් වන විට ඊට පිළිතුරු දෙන්නට ද පසු බට වූයේ නැත.
” ඒක හරි කෝළමක් නෙ. තරුණ කාලෙට හොඳට කාලබීල විනෝද වෙන්නෙ නැතුව. කුම්මැහිකමෙන් ජීවත්වෙලා මොන මඟªලටදැ”යි කියන්න තරම් රංජනී නිර්භීත වූවාය.
”මේවා හරිහම්බ කළේ මම , ගොඩ නැගුවේ මම. මේ ගෙදර මට ඕනෑ විදිහටයි වැඩ කෙරෙන්න ඕනෑ.
ජයසේන පුතේ! උඹ එහෙම නොවෙයි ඔය අලුත් පද වලට නටන්නේ . එහෙනං කො,” විමලාවතී ද යුද්ධ ප‍්‍රකාශ කළාය.
ඒවා ගණන් ගත්තේ රංජනී නොවේ. දැන් දැන් සතියකට කීප වතාවක් මේ බෙලිකටු මලු දෙකේ කච කචය නිවසින් පිටතට ද ඇහෙන්නට පටන් ගැනිණි.
”මේ සැරේ හම්බ වෙච්ච ලේලි නම් විමලාවතී උන්දැට තකට තක හරි. ඒකිත් අරින්නෙ නෑ. හොඳ වැඩේ මසුරු කමට කුණූ කං කර කර හිටියා “ යි අහල පහළ අයද කියන්නට වූහ.
මේ දෙන්නාගේ යුද්ධය පටන් ගත් සැණින් ජයසේන කළේ පාපැදියට නැඟී මඟ හැර අයියලාගේ නිවසට යෑමය.
”මොකද මල්ලී! මේ පැත්තට පැන ගත්තේ ඒ පැත්තේ යුද්දෙ පටන් අරගෙනද? හෙº හෙº “ යැයි ගුණරත්න සිය සොහොයුරාට විහිළුවක් කරමින් මහ ගෙදර තත්ත්වය විමසයි.
”අනේ ! ඔව් අය්යේ ! බට කැලේට ගිනි අර ගත්තා වගෙයි. කණක් ඇහිලා ඉන්න නෑ. මං මේ පැත්තට ආවා “ යි ජයසේන ද පිළිතුරු දෙයි.
”ආ ….මල්ලී, මං වගේ හැම ගෑනියෙක්ම ඉවසන්නේ නෑ. දෙන්නෙක් කසාද බැන්දහම ඒ දෙන්නටත් ටිකක් නිදහසේ සන්තෝසෙන් විනෝදෙන් ඉන්න එපායැ.
හැම දේටම ඇඟිලි ගගහා පාලනේ කරන්න ආවාම හැමෝම ඉවසන්නේ නෑ. ඉක්මනින්ම ගේ හදාගෙන අපි අයින් වෙලා ආවෙත් ඔය කට හින්දම තමයි.
කොයි දේක වුණත් සීමාවක් තියෙන්න එපැයැ “ යි චන්ද්‍රිකා දෙසොහොයුරන්ගේ කතාව ඌණ පූරණය කළාය.
හොඳට හොයා බලා තෝරා බේරා පිරිපහදු කොට තමන්ට ම උවමනා විදිහට කැන්දා ගෙන ආ ලේලිය තමන්ගේ අධිරාජ්‍යයේ බලය තහවුරු කැර ගැනීම විමලාවතීට නම් ඔරොත්තු දුන්නේ ම නැත.
”මේක තමයි දවසකටවත් බඩ්ඩ. අනේ! අර චන්ද්‍රිකා කෙල්ල නම් වාසනා කරන්න ඕනෑ. මේ පට්ට …..මේ ගෙදරට ආවත් හරි. ජයසේන කොලුවත් මේකි ගහන ගහන පදේට නටන්න පටන් ගත්තා. මේව පේන කොට තමයි මගේ ඇඟේ මාළු නටන්නෙ “ යි විමලාවතී කියවන්නට පටන් ගනී.
ඒ සමඟ ම “ ඔන්න පටන්ගත්තා. ඔන්න පටන් ගත්තා මළ වඳෙ කණක් ඇහිල ඉන්න නෑ”යි කියමින් ප‍්‍රලය වෙමින් කාමරයේ සිට සාලයට එන රංජනී ගුවන් විදුලි යන්ත‍්‍රය හෝ රූපවාහිනී යන්ත‍්‍රය ගමට ම ඇහෙන හඩින් කි‍්‍රයාත්මක කරන්නීය.
ඊට අමතරව “නොදෝකින් යස්සනී වගේ තු විතරක් “ යැයි කාරා කෙළ ගැසීමටද රංජනී බියක් නොදක්වයි.
ජයසේන රැකියාවට ගොස් හැන්දෑවට ගෙදර ආ හැටියේ විමලාවතී නැවතත් පටන් ගනී. එහෙත් ජයසේන ද සිය බිරියට වචනයකින්වත් දොසක් නොපැවරීම ගැන උදහස් වෙන විමලාවතී පුතාටත් ලේලියටත් දෙස් දෙවොල් තියන්නට පටන් ගනී.
ලේලි යටත් කැර ගන්නට බැරිම තැන විමලාවතී වෙන ම උයාගෙන කන්නට වූවා ය. මෙයින් මේ නැන්දා ලේලි දෙන්නා ගේ වෛරය තවත් දිග් ගැසිණි.
විමලාවතී ගේ සීමාව ඉක්මවා ගිය ලෝබ මසුරුකම නිසා ඇගේ ගමේ සහෝදර සහෝදරියෝද ඇය සමඟ අමනාපව පසුවූහ.
තමන්ට උරුමයෙන් අයිතිවූ ඉඩම් කොටස් සහෝදරියින්ට නොදී වැඩි මිලකට පිටස්තරයන්ට විකිණීම නිසා විමලාවතීගේ සහෝදරයන් ද සහෝදරකම් අතහැර දමා ඇත.
මේ දැඩි තණ්හාව නිසා ම මේ ගමේ අය ද ඇය සමඟ ඇසුරක් නැත. සාධාරණය අසාධාරණය කුමක් හෝ වේවා රංජනී ද හොස්සාගෙන් මැස්සා යන්න බැරිව කුපිත වන ජාතියේ වෙඩි බෙහෙත් කරලකි.
මේ දෙන්නාගේ සණ්ඩු සරුවල් බැණ ගැනීම් දෙස් දෙවොල් දැන් ගමේ අයට ද සාමාන්‍ය දෙයක් වී ඇත.
ඊර්ෂ්‍යාව,වෛරය හා ඔරොත්තු නොදෙන කෝපය නිසා විමලාවතී දියවැඩියා රෝගිණියක බවට පත් වූවාය.
ඉවසාගත නොහැකි කේන්තිය හා පීඩනය නිසා රංජනීට ද අධික රුධිර පීඩනය වැළඳුණි.
රැකියාව කරන තැන නිදහසේ දහවල් දවස ගෙවා, හැන්දෑවට අපායට යන සෙයින් ගෙදර එන ජයසේන ද හොර පොළෙන් දෙකක් දා ගෙන එන්නට ද පුරුදු වූයේය.
වෙනදා උදේ පාන්දර හතරට පහට අවදී වී රංජනී වෙනුවෙන් විමලාවතී ආරම්භ කරන යාතිකාව එදා ඇසුනේ නැත. රංජනීටත් ජයසේනටත් පුදුමයකි. උදේ හයට ද දෙස් දෙවොල් වැඩ සටහන ආරම්භ වුයේ නැත.
කාමරයට එබී බලන්නට ද ජයසේන ගේ හිත බියක් දනවයි. කිසිම හැලහොල්මනක් නැත. රැකියාවට යන්නට සූදානම් වී ජයසේන දොර රෙද්ද මෑත් කොට අම්මාගේ කාමරයට එබිකම් කොට බැලීය.
දෙයියනේ! මෙච්චර කාලයක් තණ්හාවෙන් අල්ලා ගෙන සියල්ල අත හැර දමා විමලාවතී අවසන් ගමන් ගොස් සිටියාය. ”ඒයි! රංජනී “ යි ජයසේන හඬ නඟා සිය බිරියට කතා කළේය.
ජයසේන ගේ හඩින්ම තිගැස්සුණු රංජනී මොකක් හෝ ලොකු අමුත්තක් වී ඇතැයි සිතා දුව ගෙන ආවාය.
”ඇස්ගෙඩි දෙකත් එළියට දාගෙන යස්සනියෙක් වගේ මැරිල තියෙන හැටි . තුº විතරක් “ යැයි කෙළ ගහන්නට තරම් රංජනී ද දරුණු වූවාය.
අම්මාගේ සීමාව ඉක්මවා ගිය අසාධාරණ කම් නිසා මෙතෙක් කල් ඉවසා සිටි ජයසේනට ද යක්ෂයා ආරූඩ වූයේය.
”පරට්ට බැල්ලියෙ, මොකා වුණත් මේ වදාපු අම්මා “ යැයි කියමින් රංජනීගේ බෙල්ලෙන් අල්ලා දත් ටික බඩට යවන්නට තරම් වේගයෙන් මිට මොළවා එසැවූ අත යළි ඉවසා පහත හෙළීය.
රංජනී ද නුදුසුදු අවස්ථාවකදීත් සීමාව ඉක්මවා යෑම පිළිබඳ උහුලා බිම බලාගෙන ගොස් චන්ද්‍රිකාට දුරකතන ඇමතුමක් දී සිද්ධිය සැළ කළාය.
ගුණරත්නත් ජයසේනත් තම අම්මාගේ අවසන් කටයුතු චාම් අන්දමින් ඉටු කළහ. රංජනී ද ඉඩක් ලැබුණු සැටියේ චන්ද්‍රිකා සමග කටු කුටු ගෑවත් ජයසේනට ඇහෙන්නට කට ඉස්සුවේ නැත. ලේලිලා දෙන්නාද සිය නැන්දණිය වෙනුවෙන් අවශ්‍ය සමාජ චාරිත‍්‍ර ඉටු කරන්නට වග බලා ගත්හ.
මහගෙදර පිටුපස කුරුඳු ඉඩමේ කෙළවරක විමලාවතීගේ දේහය මිහිදන් කළ අතර සත් දවසේ හා තුන් මාසයේ පින්කම්ද ඉටු කැරිණි. දැන් ඇගේ මරණයෙන් වසරක් ගතවීමටද ආසන්නය.
මේ කාලය පුරා දර ටිකක් සොයා ගැනීමට හෝ විමලාවතීගේ මිනීවළ අසලින් යන්නට සිදුවුවහොත් “තු“ යැයි කාරා කෙළ ගැසීම රංජනී කෙරෙන් නොවරදවා ම සිදුවීය.
අවුරුද්දේ පිංකමද සූදානම් කැරිණි. දානයේ අවශ්‍යතා සඳහා දර ටිකත් සොයා ගන්නට රංජනී චන්ද්‍රිකා සමඟ ඉඩම පිටුපස ඉඩමක ගියාය.
ඒ යන අවස්ථාවේ ද නැන්දණියගේ මිනීවළට “තුº” යැයි කාරා කෙළ ගැසුවාය.
”නැන්දම්මා නපුරු තමයි. ඒත් මැරුණු උන්දැ එක්කත් මේකිගෙ තියෙන පුදුම තරහක්” යැයි චන්ද්‍රිකා තනිවම කල්පනා කළාය.
දර බිඳගෙන ආපසසු එද්දී රංජනී චන්ද්‍රිකාට ඉදිරියෙන් ගමන් කළාය. නැන්දම්මාගේ මිනී වළ ළඟ දී රංජනී “ඌයි” කියා හිටි හැටියේ කෑ ගැසුවාය.
කුඩා නයි පැටවෙක් ඇයට දෂ්ට කළේය. ඇය කෑ ගසා ගෙන දුවද්දී නයි පැටවා ගේ ළඟටම පන්න පන්නා ඇයට දෂ්ට කළේය. ඇය දුවගෙන ගොස් ගේ දොරකඩ වැටුණා වැටුණාමය. රංජනී ද මෙලොවින් සමු ගත්තාය.
ද්වේෂයේ තරමක මහත!
සිද්ධිය කුමක් වුවත් එයින් පසු ඒ ගමට විශාල යහපතක් උදා වීය. එනම් ඒ ගමේ නැන්දම්මලා ලේලිලා කිරි පැණි මෙන් සමගියෙන් විසීමට වග බලා ගැනීම යැයි සමරසිංහ මහතා කතාව අවසන් කළෙය.
මතුගම මහින්ද විජේතිලක
www.silumina.lk
ගොඩක් හොදට ලියලා තියෙනවා. දිගටම කරගෙන යන්න. මගෙන් සුබ පැතුම්.
ගොඩක් හොදට ලියලා තියෙනවා. දිගටම කරගෙන යන්න. මගෙන් සුබ පැතුම්.
මම ලියපු එකක් නෙවෙයි මචන්


පියවි ඇසින් ඔබ්බට : 12
භූතයෙක් කනප්පුවක් හරහා තරහකාරයකුගෙන් පළිගනියි
තම තමන්ට තනි තනිව ඉටු කැර ගැනීමට නොහැකි අවශ්‍යතා අනුන් ලවා ඉටු කැර ගැනීම මිනිසුන්ගේ ස්වභාවය වේ. එහෙත් මිනිසුන් ලවා ද ඉටු කැර ගන්නට බැරි අවශ්‍යතා යන්ත‍්‍ර මන්ත‍්‍ර බලයෙන් දෙවියන් හෝ අමනුෂ්‍යයන් හෝ ලවා ඉටු කැර ගන්නට පියවර ගැනීම ද සිරිතකි.
මේ කටයුතුවලදී අමනුෂ්‍යයෝ ද යම් යම් මාධ්‍ය හරහා ඉදිරිපත් වනුයේ ‘දෙවියන්’ නමිනි. ඒ භූතයන්ගේ හැටියකි. භූතයන් ගේ කපටි සටකපට නිසා රැවටෙන්නෝ ද බොහෝය. මේ එවැනි කතාවකි.
මේ කෑගල්ල දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයක සිදුවූ ආදර්ශමත් සිද්ධියකි. ධනයෙන් හා බලයෙන් යම්කිසි මට්ටමකට ස්ථාවර වූ එක්තරා පවුලකි. ඉතාම සමීප ඥාති සම්බන්ධකමක් ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ද මේ අයට සිටී.
දිනක් මේ පවුලේ අය නිවසේ නැති අවස්ථාවක විශාල සොරකමක් සිදුවීය. වහලයෙන් නිවසට ඇතුළු වූ සොරුන් මුදල් හා ස්වර්ණාභරණ වැනි වටිනා දේ රැගෙන ගොස් තිබිණි..
සතියක් පමණ ගෙවී ගියද සොරකම පිළිබඳ කිසි ම හෝඩුවාවක් පවා සොයාගත නොහැකි වූයේය.
කනප්පුවට මතුරා කනප්පුව යවා සොරුන් අල්ලා ගත හැකි බවත්, මේ කනප්පුවේ ගුරුකමට දක්ෂ ඇදුරකු හොරණ ප‍්‍රදේශයේ සිටින බවත්, පවුලේ හිතවතකුගෙන් දැන ගන්නට ලැබී, ඒ ඇදුරා ගෙන්වා ගනු ලැබීය. මේ අවස්ථාවට පොලිස් නිලධාරීහු ද සහභාගි වූහ.
මේ කනප්පුව කකුල් තුනේ එකකි. යකඩ ඇණයක් පවා නොගසා ලී ඇණවලින් සාදන ලද්දකි. ඇදුරා මල් බුලත් තටුවක් සාදා මතුරා කනප්පුවට දුම් අල්ලයි.
ළමයින් දෙදෙනකු මේ කනප්පුව දෙපැත්තේ සිට බර නොවන සේ දෙපසින් අත තබා ගත යුතුයි. එයින් කනප්පුවේ සමබර තාවය රැකෙන අතර ජීවී ගතිය සම්බන්ධ වේ. ඇදුරා මතුරන ලද දුම්කුඩු අඟුරු කබලට දමා කනප්පුවට දුම් අල්ලයි.
”හා… දේවතාවුන් වහන්ස! දැන් ගමන් කරන්න. මේ ගෙදර බඩු සොරාගත් සොරා සෙයාගෙන යන්න. දැන් ගමන් කරන්න. ගමන් කරන්නැ’යි කීප වරක් ඇදුරා පවසන විට කනප්පුව කකුල් මාරු කරමින් ගමන් කරයි. ළමයි ;දදෙනා ද කනප්පුව සමඟ ගමන් කරති.
ඇදුරා අඟුරු කබලත් රැගෙන දුම් අල්ලමින් පසුපසින් ගමන් කරයි. කනප්පුවත් ගමන් කරමින් සොරුන් අල්ලා ගැනීමේ පුදුම සිද්ධිය බලන්නට ගම්වැසියෝ ද 20-30ක් පමණ පොලිස් නිලධාරීන්ට පසුපසින් ගමන් කරති.
මේ නිවස පිහිටියේ කුඩා කඳු ගැටයක් මුදුනේය. නිවසේ සිට පහළට ආ කනප්පුව අසල්වැසි නිවසකට ගමන් කළේය.
ඒ නිවස ඉදිරිපිට ඉස්තෝප්පුවේ වයස අවුරුදු 32ක පමණ තරුණයෙක්ද වීය. හේ පියදාස නම් වීය. නිවස ඉදිරියට ආ කනප්පුව නතර වූයේය. ඇදුරා යළිත් මතුරා දුම් අල්ලන්නට වීය.
”හා.. හා.. දේවතාවුන් වහන්ස, මේ ස්ථානයේ සොරා සිටී නම් අපට පෙන්වන්නැ”යි ආයාචනා කළේය. කනප්පුව නැවත ගමන් ආරම්භ කෙළේය. පියදාස අසලට ගොස් කනප්පු කකුලකින් පියදාසගේ කකුලකට තට්ටු කළේය.
ගම්වැසියෝ මුහුණට මුහුණ බලන්නට වූහ.
”අනේ! අහිංසක ඉලන්දාරියා. මෙයා හොරකම් කරන කෙනෙක් නොවෙයි.” මිනිස්සු මුමුණන්නට වූහ.
”කවුද? දන්නේ. දහයට ගණින්නට බැරුව හිමිජ්ජා වගේ හිටියට. අද කාවද විශ්වාස කරන්න පුළුවන්” යැයි තවත් සමහරු රහසේ කතා කරන්නට වූහ.
පොලීසිය ද පියදාස දෙස බැලුවේ සැකමුසුවය. නැවත ආපසු සොරකම සිදුවූ නිවසට කනප්පුව ගෙන ගොස් යළිත් කි‍්‍රයාත්මක කරන ලෙස පොලිස් නිලධාරීහු ඇදුරාට කීහ. ඇදුරා ද එසේ කළේය.
කනප්පුව නැවතත් පියදාස ළඟට ම ගමන් කළේය. වරක් නොව දෙවරක්ම ඉහළ ගෙදර සිට පහළ ගෙදර පියදාස ළඟට ම කනප්පුව ගමන් කිරීම නිසා පොලීසිය පියදාසගෙන් ප‍්‍රශ්න කළේය.
පියදාස මේ සොරකමට තමන් සම්බන්ධ නැති බව, තරයේ ම කියා සිටියේය.
”උඹ දැන්නෙ ඔය නැහැ කියන්නෙ. අපි උඹෙන් අහගන්න හැටි දන්නවා” යැයි කී පොලිස් පරීක්ෂකවරයා පියදාස සැකපිට අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන ගියේය. සොරකම සිදුවූ නිවසට ඥාති සම්බන්ධයක් ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයා ගේ ද උපදෙස් පරිදි පොලිසියේ ක‍්‍රම සහ විධි පාවිච්චි කරමින් පියදාසගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කළේය. පියදාස “නෑ.. නෑ.. නෑ..ම” යැයි කීවා මිස වෙනත් කිසිවක් කීවේ නැත.
දින තුන හතරක් පොලිසියේ ප‍්‍රශ්න කිරීම්වලට භාජනය වූ පියදාසගෙන් මේ සොරකම පිළිබඳ හරි තොරතුරක් ලබාගන්නට බැරි ම තැන පොලිසියෙන් ඔහු එළියට දැම්මේය.
ඒ වනවිට විවිධාකාරයෙන් තාඩන පීඩනවලට ලක්ව සිටි පියදාස රෝහල්ගත කිරීමට පවුලේ අයට සිදුවීය. දින කීපයක් ප‍්‍රතිකාර ලැබූ පියදාස ආපසු ;ගදර ආවේය. තමන් සොරෙක් බවට ගම පුරා ආරංචිය පැතිර යෑම නිසා ලජ්ජාවට පත් ඔහු නිවසට ම වී කල් ගෙව්වේය.
මේ හේතුවෙන් ඔහු ඇත්තටම කායිකවත් මානසිකවත් දුර්වල වී සිටියේය. එහෙත් ඔහු අහිංසක යහපත් පුද්ගලයකු බවට ගමේ මෙතෙක් පැවැති පිළිගැනීම ද අහිමි විය.
කාලය වේගයෙන් ඉක්ම ගියේය. වසර පහක් පමණ ගතවීය. ගමේ තේ කඩය අසලට හැන්දෑවට එකතු වන තුන්හතර දෙනා විවිධ දේ පිළිබඳ කතාබහේ යෙදීම සිරිතය. එදා කඩ පිලේ කතාබහට ලක්වූයේ පේර්තයන් භූතයන් පිළිබඳවය.
කසිප්පු ටිකකින් සප්පායම් වී සිටි එක් තරුණයෙක් “මොන යක්කු පෙරේතයෝ ද බං. මම නම් ඕවා පිළිගන්නේ් නෑ. ඕවා බොරු මනස්ගාත” යැයි කීවේය.
”උඹ කොහොමද යක්කු පෙරේතයෝ නැතෙයි කියන්නේ?” යි තව තරුණයෙක් ඔහුගෙන් ඇසීය.
”ඇයි? උඹලට මතක නැද්ද? අසවල් ගෙදර හොරකමක් වුණා. අවුරුදු හතර පහකට කලින්. උඹලට මතක ඇතිනෙ කනප්පුවක් යවලා අර පියදාස අල්ලා ගත්තා. ඉතින් පියදාස ද ඒ හොරකම කළේ.
යකෝ ඒක කළේ නිමල්ලා අපි. අපරාදෙ පියදාස ගුටි කෑවා”යි ඔහු පැරැණි සිද්ධිය ගැන අනාවරණය කළේය.
එයින් ද මාස කීපයකට පසු පියදාස ගේ ඥාතියකුගේ අසනීපයක් පිළිබඳ දේවාලයක දී පූජාවක් පැවැත්විණි. එතැන පියදාසත් පියදාසගේ අම්මාත් සිටියහ. මේ අවස්ථාවේදී රෝගී ඥාතියාට භූතයකු ආවිශ්ට වූයේය. ආවිශ්ට වූ ඥාතියා පියදාස දෙස බලා සිනාසෙන්නට වූයේය.
”හෙº .. හෙº.. හෙº… මූට පොලිසියෙන් හොඳට ගුටි ඇන්නා. ඇට තැළිලා බෙහෙත් බොන්නත් වුණා නේද?”
”එහෙමයි. එහෙමයි. මගේ පුතාව ඒ හොරකමට නිරපරාදෙ අහුවුණේ”යි පියදාසගේ මව පිළිතුරු දුන්නාය.
”ඔව්! ඔව්! මාත් දන්නවා මූ ඒ හොරකම නොකළ බව. ඒ වුණාට මට ඕනෑ වුණා මුගෙන් පළිගන්න. මමයි මූට ගුටි ඇන්නෙව්වේ. පොලීසියෙන් මූට ගහනකොට මම කොයිතරම් සතුටු වුණාද?”
”අනේ! ඇයි එහෙම කළේ?”
”ආ.. උඹලට අමතක වුණා. උඹල මට කරපු දේවල් නේද? මම එදා ඉඳල බුක්ති විඳපු ඉඩමට උඹලා නඩු දැම්මා මතකද? ඒ ඉඩම කට්ටි කැඩුවාම මම බුක්ති විඳපු කොටස මට අඩු වුණා.
උඹල මට කොච්චර ලොකු පාඩුවක් ද කළේ. ඒකට හිතේ අමාරුවෙන්මයි මම මැරුණෙත්. අන්න ඒකට පළිගන්නයි එහෙම කළේ.”
”ඒ කොහොමද? පළිගත්තේ”යි තව කෙනෙක් ඇසීය.
”හෙº.. හෙº.. හෙº.. පළිගත්තෙද? පළිගත්තෙ මෙහෙමයි. එදා අර කනප්පුවෙ ගුරුකම කරපු ඇදුරා මතුරන කොට ඒකට බැඳුණෙ මමයි. මටත් වෙලාව ආවා. මං මුගෙන් පළිගත්තා. ඉඩම් ආරාවුලේ පාඩුවට මම පළිගත්තා”යි ආවේශයෙන් පැවසුණි.
එදා ඉඩකඩම්වලට ආශාවෙන් පියදාස ගේ පවුලේ අය සමඟ අමනාපයෙන් මළ ගිය ඥාතියා, කනප්පුවේ ගුරුකමට දිෂ්ටි ගෙන්වන විට ඇවිත් ඊට සම්බන්ධ වී තමන්ගේ වෛරය පිරිමසා ගත්තේය.
හොරකම නොකළ පියදාස පොලිසියෙන් පහර කෑවේය. ගමේ මිනිසුන්ගේ අවඥාවට ද ලක්වූයේය. සමහර විට මේ පවුල්වලට ඥාති සම්බන්ධයක් නැති අමනුෂ්‍යයකු එදා කනප්පුවට බැඳුණා නම් නියම සොරා අල්ලා ගන්නටත් ඉඩ තිබිණි.
ඒ නිසා කනප්පුවේ ගුරුකම හෝ වේවා වෙනත් ගුරුකමක් හෝ වේවා භූතයන්ගේ කතා බහට නොරැවටී තමන්ගේ නුවණින්ම සොයා බලා කටයුතුª කළ යුතුය.
මේ වැනි සමහර භූතයන් තමන්ගේ අවශ්‍යතා පිරිමසා ගැනීමට මෙවැනි දේ සිදු කරති.
භූතයෝ ද අපේ ඇසට නොපෙනුණාට ඔවුන් ද තරහ මරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යාවන්ගෙන් පෙළි පෙළී තමන්ට වේලාවක් එනතුරු බලා සිටිති. පුද්ගලයකු දුර්වල වන තුරු බලා සිට පළි ගනිති.
ඒ නිසා මෙවැනි කටයුතුවලට සම්බන්ධ වන අය අමනුස්සයන්ගේ ස්වභාවය හොඳින් තේරුම් ගත යුතුª යැයි ගලිගමුවේ ඥානදීප හිමියෝ පැවසූහ.
මතුගම මහින්ද විජේතිලක
Last edited:
පියවි ඇසින් ඔබ්බට : 13
පෙර ආත්ම ගණනාවක තොරතුරු කියූ ජීවනී
“වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ…” යැයි සංසාර මඩ ගොහොරුවෙහි කරක් ගහන සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳ බුදු රජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයෙහි දේශනා කොට ඇත. ඇස, කණ, නාසය, දිව, ශරීරය හා මනස යන ආයතන හයට ස්පර්ශ වන අරමුණුවලින් ලබන වේදනාව හෙවත් වින්දනය නිසා ඇති වන කැමැත්ත හෝ අකැමැත්ත හෙවත් ඇලීම හෝ ගැටීම තණ්හාව උපදවයි.
මේ තණ්හාවට හේතුව වූ කැමැත්ත හෝ අකැමැත්ත දැඩි සේ සිතේ බැඳීම හෙවත් සිතේ අල්ලා ගැනීම උපාදාන ලෙස හඳුන්වයි. මේ උපාදානය ඊළඟ භාවයක් ඇති කිරීමට හේතු වෙයි. මරණාසන්න මොහොතේ පුද්ගලයා ගේ චුති චිත්තයට යොමු වන මෙවැනි උපාදානයක් ඊළඟ ප‍්‍රතිසන්ධියට හේතු වෙයි.
ජීවත්වන කාලය තුළ පෘතග්ජන වූ සෑම කෙනෙකුට උපාදානයන් බොහෝ ඇති වෙයි. දැඩි සේ සිතේ පැලපදියම් වූ ආශාවන් හා තරහ වෛර සිද්ධි බොහෝ ය. සම්මුති වශයෙන් ව්‍යවහාර කරන ආත්මය හෙවත් පුද්ගල අනන්‍යතාවය තුළ – චිත්ත සන්තානය තුළ පවතින උපාදානයත් ඊළඟ භවයට හේතු වන අතර අනිකුත් උපාදානයන් ද චිත්ත සන්තානය තුළ යටපත් ව පවතී.
මේ උපාදානයක් නොදැනුවත්ව ම වාගේ මතු වූ විට එය සංසාර පුරුද්දකැයි කියති. මෙවැනි උපාදානයක් කරා සිත අතීතයට ගොස් ඒ පිළිබඳ කතා කරන විට පෙර ආත්මය කියනවා යැයි හඳුන්වමු.
මේ භවයේ අරමුණුවලින් සිත මඳක් බැහැරව ඉතාමත් සංවේදී වූ සිතට කලාතුරකින් පැරණි අතීත භවවල සිදුවීම් මතක් වෙයි. ඒ මතකය දැඩි සේ සිතේ උපාදාන වූ මතකයන් ය.
මෙසේ පෙර ආත්ම කියන පුද්ගලයන් පිළිබඳ ඉඳහිට අසන්නට ලැබේ. මෝහනය මගින් ද පෙර ආත්ම සිද්ධීන් මතු කැර අනාවරණය කැර ගනිති.
පෙර ආත්ම කියන විට දීත් මෝහනයෙන් මතු කැර ගන්නා විටදීත් ඒ පුද්ගලයන්ට අමතක වූ බොහෝ දේවල් “මට මතක නෑ” යි කියයි. එසේ නම් මතකයේ රැඳී, ඇලී, පවතින්නේ දැඩි සේ අල්ලා ගත් සිද්ධීන් ය.
මෙසේ අතීත භව ගණනාවක සිද්ධි අනාවරණය කරන තරුණ කාන්තාවක් පසු ගිය දා අපට මුණ ගැසිණි. දුරකතනයෙන් පෙර ආත්මය කීවා යැයි (ප‍්‍රථමයෙන්) කීවොත් බොහෝ දෙනෙකු පුදුමයට පත් වෙනු ඇත.
“හෙලෝ”
“ආයුබෝවන්”
“මේ මහින්ද විජේතිලක මහත්මයා ද?”
“ඔව්”
“අනේ මහත්මයා මම හරිම අසරණ ගෑනියෙක්. මේ කතා කරන්නෙත් බඩ ගින්නේ. මගේ පෝන් එකේ රුපියල් දහයයි තියෙන්නේ. මහත්තයාට බුදු බව අත් වෙයි මගේ නොම්මරේට කෝල් එකක් ගන්නැ”යි කාන්තාවක් හඬමින් සානුකම්පිත ඉල්ලීමක් කළා ය.
ඇත්තට ම ඇය කතා කළ විලාසය අනුව ඈ කෙරෙහි මා තුළ අනුකම්පාවක් ඇති වීය. මගේ ජංගම දුරකතනයේ සටහන් වූ ඇගේ අංකයට මම ඇමතුමක් ගත්තෙමි.
“හලෝ”
“ආයුබෝවන්”
“අනේ මහත්මයා මම හරි ම අසරණ ගෑනියෙක්. මට ශාරීරිකව කිසි ම අඩුපාඩුවක් අසනීපයක් නෑ. ඒත් මගේ මනස හිටි හැටියේ අවුල් වෙනවා. අතීතයට දුවනවා. ඒ වෙලාවට බිම පෙරැළී විකාර වගේ දේවල් කියනවා කියා අම්මලා මා මානසික වෛද්‍යවරු ළඟට අරන් යනවා. පිස්සු බේත් පොවනවා. අනේ මට එහෙම පිස්සුවක් නෑ කියලා මට හිතෙනවා. මහත්තයා ලියන ‘සිළුමිණ’ පත්තරේ ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපි පෙළ කියවලා මට හිතුණා මහත්තයාට කතා කරන්න. අනේ! මහත්මයා මට උදව් කරන්න. මේ දුකින් මිදෙන්න මට පිහිට වෙන්න. ඉහි… ඉහි… ඉහි… ඇය අඬන්නට පටන් ගත්තා ය.
“හා… හා… දැන් ඔය ඇඩිල්ල නතර කරලා කතා කරන්න. අඬලා ප‍්‍රශ්න විසඳන්න පුළුවන් නම් අපි හැමෝ ම අඩනවානෙ.” මම කීවෙමි.
“අනේ!! මහත්තයා මට පිහිට වෙනවා ද?”
“ඔව්! අපි ඉපදිලා ඉන්නේ අනුන්ට උදව් කරන්න තමයි. දැන් ඒක තමයි අපේ රාජකාරිය වෙලා තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා කියන්න කෝ ඔයා කව්ද කියලා.
“මම ජීවනී”
“ගම?”
“ගම්පහ”
“වයස?”
“තිස් දෙකයි”
“විවාහක ද?”
“ඔව්! ඒකත් ඒ තරම් සාර්ථක නෑ. ඉතා ම අමාරුවෙන් ජීවත් වෙන්නෙ.”
“මොකක්ද? ජීවනීට තියෙන කරදරය. අසනීපය. මට කෙටියෙන් කියන්න.”
“අනේ මහින්ද මහත්තයා. මගේ හිත හිටි හැටියේ අතීතයට යනවා. ඊට පස්සේ මම කරන කියන දේවල් සමහරක් මට මතකයි. සමහරක් මතක නෑ. මට ඉතා ම පිරිසුදුවට, සන්තෝසෙන්, ඉන්න ඕනෑ. එහෙම නැති වුණා ම මට කේන්ති යනවා. ගෙදර අයටත් බණිනවා. මගේ දුප්පත් අම්මයි අක්කයි තමයි මාව බලා ගන්නේ. ඒ අයට බණින කොට… අනේ… පව්… මට පව්… ඉහි… ඉහි… මම දැන් ගෙදර අයටත් කරදරයක් වෙලා.”
“හොඳයි හොඳයි… දැන් මට කියන්න. ඔය ජීවනීගෙ හිත අතීතයට ගමන් කරන එක නිතර සිද්ධ වෙනවා ද? මේ දැනුත් එහෙම ද?”
“ම්… ම්… ඔව්! දැනුත් ඒ වගේ ගතියක් තියෙනවා වගෙයි. ම්… ම්… (ජීවනී වේගයෙන් හුස්ම ගන්නා බවක් ඇසෙයි) ම්… ම්… මට මේ පොළව මතක නෑ. මාව මෙහෙට ගෙනාවෙ බලෙන්. මට යන්න ඕනෑ. මං හිටපු තැනට යන්න ඕනෑ” යි ජීවනී කේන්තියෙන් ඉතා තද ස්වරයෙන් කීවාය.
“හරි… හරි… යන්න පුළුවන්. ඔයා කව්ද කියන්න” මම දුරකතනයෙන් ම ප‍්‍රශ්න කළෙමි.
“මම… මම… මම ද? මම සූස්… සූස්… සුසී. මගේ නම සුසී…”
“ආ… සුසී… සුසී හොඳ ළමයා වගේ සම්පූර්ණ නම කියන්න” මම කාරුණිකව ඇසුවෙමි.
“මට මගේ සීයා කතා කරන්නේ සුසී කියලා. සම්පූර්ණ නම… ම්… ම්… සූස්… සුස්… සුසේන් දේවි”
“සුසේන් දේවි නේද?” මම මට ඇසුණු පරිදි අසමි.
“නෑ නෑ දේවි නෙමෙයි. ඩේව්… ඩේව්… සූසේන් ඩේව් ලොරන්සෝ… ඔව් මගේ නම සුසේන් ඩේව් ලොරන්සෝ’… අනේ මට එහේ යන්න ඕනෑ.”
“හරි… හරි… සුසේන් ඔයා ඒ හිටියේ කොහේද?”
“ම්… ම්… හරි ම ලස්සනයි. ලස්සන මල්වතු… කඳු වළල්ල අතරෙන් මීදුම පාවෙනවා හරි ම ලස්සනයි. මම ජනේලය ළඟට වෙලා ඒ දිහා බලා ගෙන ඉන්නවා. මගේ ජනේලය ළඟිනුත් මීදුම් වළාකුළු පාවෙනවා. මමත් ලස්සනයි.
මගේ කොණ්ඩය ක්‍රේල්. ජනේලයෙන් එන සීතල සුළඟට මගේ කොණ්ඩයත් අවුල් වෙනවා. මට ලස්සන ඇඳුම් තියෙනවා. මම ඒවා ඇඳගෙන ජනේලය ළඟට වෙලා ඈත බලා ගෙන ඉන්නවා.”
“ඔව්… ඔයා හිටපු පරිසරය හරිම ලස්සනයි. ඒ කොහේද කියලා මොන රටේ ද මොන ගමේ ද කියලා කියන්න.
“මං දන්නෙ නෑ! මට මතක නෑ. ම්… ම්… ඊ… ඊ… ඉන්දියාවෙ. මගේ සීයා මං චූටි කාලෙ අශ්වයෝ පිට එක්ක ගෙනත් ගියා. සීයා අශ්වයන් පුහුණු කළා. සීය ගෙ නම හැමෝම දන්නවා.”
“ආ… මොකක්ද සුසී සීයගෙන නම?”
“(ඇය පොඩි දරුවෙකු මෙන් සිනාවෙයි) ම්… ම්… මගේ සීය ද? සීය හරිම ලස්සනයි. සුදුයි. ලස්සන ඇස් දෙකක් තියෙනවා.”
“සුසී… ඔයාගේ සීයා ලස්සනයි. හරි හොඳයි ඉතින් සීයගෙ නම මොකක්ද කියන්නකෝ.” මම නැවත ප‍්‍රශ්න කළෙමි.
“සීයගෙ නම ද? හැමෝ ම දන්නවා. ම්… ම්… ලොල්… ලොල්… ලොරන්සෝ රොඩි‍්‍රගෝ… ම්… ම්… නෑ… නෑ… රොඩි‍්‍රගෝ නෙමෙයි. ලොරන්සෝ පෙඩි‍්‍රක්. ඔව්… මගේ සීයා ලොරන්සෝ පෙඩි‍්‍රක්. ඔව්!! අනේ මගේ සීයගෙ ලොකු පොටෝ එකක් තියෙනවා. මගෙත් ලස්සන චිත‍්‍රයක් ඇඳලා තියෙනවා. මගේ ඇඳ හරි ම ලස්සනයි. මට ගොඩාක් ඇඳුම් තියෙනවා.
ඒවා මට ලස්සනට අන්දනවා. මගේ කොණ්ඩය ක්‍රේල්. සුළඟට යන කොට ලස්සනයි. කොණ්ඩය සුළඟට යන නිසා මං තොප්පියක් දා ගෙන ඉන්නේ. අශ්වයෝ ඉන්න රට… අනේ හරිම ලස්සනයි… මට එහේ යන්න ඕනෑ. මට යන්න ඕනෑ. මාව අරන් පලයල්ලා” යි ජීවනී කෑ ගසයි.
ඇගෙන් දුරකතනය උදුරා ගෙන ඇගේ මව කතා කරයි.
“අනේ! මහත්තයා මෙයා ගෙ කතා අහන්න ගියොත් මහත්තයා ගෙ ටෙලිෆෝන් බිල යනවා. මෙයා ඔය වගේ කතා ගණනාවක් කියනවා.
ආත්ම ගණනාවක් කියනවා. අපි දොස්තරලා ළඟටත් ගෙනිච්චා. ඒ අය පිස්සු බේත් දෙනවා. දැනුත් ඒ බෙහෙත් බොන්න දෙනවා. ඒවා බීවාම දූට නින්ද යනවා.
ඒත් දැන් අවුරුදු ගණනාවක් මේ පෙති ගිලිනවා මිසක් සනීප වෙන්නේ නෑ. අනේ! මහත්තයා මේ දරුවව සනීප කැරගන්න අපට උදව් කරන්නැ”යි ජීවනීගේ මව කීවාය.
“හොඳයි. එහෙනම් ලබන 23 දා ඔය ගොල්ලෝ අතුරුගිරියෙ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙ ගස්නාවේ ඤාණානන්ද හාමුදුරුවන් ළඟට හවස 2 ට විතර ජීවනීව එක්කර ගෙන එන්න.” මම ඇයට කීවෙමි.
“අපි මොනවද මහත්තයා එතනට එනකොට අරගෙන එන්න ඕනෑ” ජීවනීගේ මව ඇසුවාය.
“අපි බෞද්ධයෝනෙ. පන්සලකට එන කොට තෙල් මල් සුවඳ කූරු ටිකක් අරන් එන්න. හාමුදුරුවො මුදල් අය කරන්නෙ නෑ. කිසි දෙයක් ඉල්ලන්නෙ නෑ. ඒ වුණාට බුලත් හුරුල්ලක් ගිලන්පසට දෙයක් අරගෙන එන එක අපේ යුතුකමනෙ නේද?”
“හොඳයි මහත්මයා. එහෙම නම් 23 දා අපි ජීවනී දුවත් එක්ක එන්නම්. මහත්තයත් එදාට අතුරුගිරියෙ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට එනව ද?”
“හොඳයි. මමත් එන්න උත්සාහ කරන්නම්කො.”
23 දා හරියට ම පස්වරු 2 වන විට මේ පිරිස විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණියහ. ඤාණානන්ද හිමියෝ උන් වහන්සේ ගේ හිතවතකු වූ යන්ත‍්‍ර මන්ත‍්‍ර කටයුතු පිළිබඳ සම්බන්ධ කුරුප්පු මහතා සහ ඒ මහතාගේ බිරිය ද ඒ අවස්ථාවට ගෙන්වා තිබිණි.
මගේ හිත අතීතයට යනවා. එතකොට මං ඉන්නේ දෙලොවක් අතරේ
සංසාර ගමනේ නවාතැන් පොළවල් වන ආත්ම භවයන්හි දී සිදු කරන හා සිදු වන ඇතැම් කි‍්‍රයාකාරකම් චිත්ත සන්තානයේ දැඩි සේ සටහන් වී තදබල මතකයක් වී තිබීම නිසා ඒවා ඊ ළඟ භවයන් හිදී ඉඳ හිට හෝ මතුවන අවස්ථා ගැන අසන්නට දකින්නට ලැබේ.
ගම්පහ ජීවනී ගේ කතාවේ කොටසක් පසුගිය ලිපියෙන් අනාවරණය කළෙමු.
“මට මේ පොළව මතක නෑ. මාව මෙහාට ගෙනාවේ බලෙන්. මම හිටපු තැන හරී ම සුන්දරයි. අපේ ගෙය තිබුණේ කන්දක් මුදුණේ. වටේටත් කඳු. මීදුම් වලාව පා වී යන කොට හරී ම ලස්සනයි. අනේ මට ආයෙත් එහෙට යන්න ආසයි. මගේ නම සුසේන් ඩේව් ලෝරන්සෝ. සීයා ලෝරන්සෝ පෙඩි‍්‍රක්. සීයා මට සුසී කියලා කතා කරන්නේ හරී ම ආදරෙන්, “ජීවනී තම අතීත භවයක තොරතුරු අනාවරණය කරමින් කීවාය.
“සුසී… ඔයා සීයා ගැනමනෙ කියන්නේ. අපිට තාත්තා ගැනත් කියන්න. ඔයාගෙ තාත්තා ගෙ නම මොකක්ද? ඔයාගෙ තාත්තා මොනවාද කළේ” යි මම ඇගෙන් ප‍්‍රශ්න කළෙමි.
“මගේ තාත්ත ද? එයා ඩුෂුම්… ඩුෂුම්… වෙඩි තියනවා.”
“ඉතින් ඔයාගෙ තාත්තගෙ නම?”
“ලෝරන්සෝ ඇල්ෆ‍්‍රඩ්”
“ඔය කොයි කාලෙද? මොන අවුරුද්දෙ ද?”
“ම්… ම්… 1922 ඔක්තෝබර් මාසෙ 14 දා මා ඉපදුණේ. 1932 ජුලි මාසෙ 02 දා මැරුණා. ආයෙත් 1947 ඉන්දියාවෙ ඉපදුණා. දිනය මතක නෑ. මගේ නම… ම්… ම්… මං බබෙක්. අම්මා ගුජරාටි. තාත්තා හින්දුස්ථාන්. කුරුන්විල් නගර්වල. මගේ අම්මාට දිග කොණ්ඩයක් තිබුණා. සුදු සාරියක් ඇඳගෙන අඬනවා. ඊට පස්සෙ මං කැරකෙන ලෝකයකට ගියා. අහසෙ පාවෙනවා. හරී සනීපයි. අපි ගස් උඩත් ඉන්නවා. උඩට… උඩට… යනවා. එතකොට හරිම සන්තෝසයි. මට අශ්වයෙක් හිටියා. ඒ අශ්වයා පියාඹනවා. අපි ඉහළට ගිහින් අහසේ රවුමට හැදී කතා කර කර ඉන්නවා. කතා කරන්නෙ වචනවලින් නොවෙයි. හිතන කොට අනිත් අයට තේරෙනවා. ප‍්‍රශ්න අහන්නෙත් හිතෙන් ම යි. ඉහළ ඉඳල පහතට එන්න හිතන කොට ම පහතට එනවා. ගහකින් ගහකට හිතන කොට ම ටක් ගාලා යනවා.”
“ම්… ම්… මං වැදි ගමකත් හිටියා. මට ලස්සන මුවෙක් හිටියා. ඒ මුවා ගෙ නම බිංදු. බිංදු බිංදු… කෝ… මගෙ බිංදුවා. මගේ නම… ම්… ම්…. නම මතක නෑ. ඉහ මුදුණෙන් කොණ්ඩය ගැට ගහපු උත්තමයෙකුත් හිටියා ගල් ගුහාවක. ඒ උත්තමයා භාවනා කරනවා. මම ඒ උත්තමයාට දානෙ දුන්නා. පැන් පූජා කළා. චූටි අලි පැටියෙකුත් එහේ හිටියා. මම එතකොට පිරිමියෙක්. කවුදෝ ඊයකින් විද්දා. මට එච්චරයි මතක. අනේ මගේ බිංදුවා. බිංදුට මොකද වුණේ.”
“කලින් නියම කැර ගත් පරිදි 23 දා ජීවනීත් ඇගේ අම්මාත්, අක්කාත්, තවත් ළමයෙකුත් අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණියහ. ගස්නාවේ ඤාණානන්ද හිමියන් ඉදිරිපිට දී මේ මුණ ගැස්වීම සිදු වීය. ඤාණානන්ද හිමියන් ගේ හිතවතකු වූ යන්ත‍්‍ර මන්ත‍්‍රධරයකු වූ කුරුප්පු මහතා සහ ඔහුගේ බිරිය ද එහි පැමිණ සිටියහ.
ජීවනී ගේ අම්මාත් අක්කාත් සාමාන්‍ය ඇඳුමෙන් සැරසී සිටි අතර, ජීවනී ඇඟ හිර වෙන්නට දිග කලිසමක් හා අත් දිග හැට්ටයක් ඇඳ සිටියාය. ජීවනී ඤාණානන්ද හිමියන්ට වැඳ නමස්කාර කොට පළමුව ම කීවේ මෙයයි.
“අනේ! ස්වාමීන් වහන්ස! මං ගැන වරදවා තේරුම් ගන්න එපා. මට සමාවෙන්න මගේ මේ ඇඳුම පන්සලකට අඳින්න ඔබින්නේ නැති බව මං දන්නවා. මේක මගේ ඇඳුමකුත් නොවෙයි.
මගේ යාළුවෙකු ගෙන් ඉල්ලා ගෙන ඇඳ ගෙන ආවේ. මම මෙතැනදී අසිහියෙන් දඟලාවිය කියන සැකය හින්දයි මේ ඇඳුම ඇඳගෙන ආවේ. මට සමාවෙන්න හාමුදුරුවනේ වරදක් වුණා නම්.”
“නෑ නෑ ප‍්‍රශ්නයක් නෑ. චේතනාව යහපත් නම් වරදක් නෑ. මොකක්ද මේ ළමයාට තියෙන කරදරය අසනීපය කියන්න බලන්න.”
“හාමුදුරුවනේ මගේ හිත අතීතයට යනවා. හිටි හැටියේ හිත අතීතයේ ඈතට ඇදිලා යනවා. ඒ වෙලාවට මා තුළ ගෙදර ගැන කැමැත්තක් නෑ. ගෙදර අය ගැනත් කැමැත්තක් නෑ. සමහර වෙලාවට අසිහියෙන් වගේ කියවනවා.
සමහර දේවල් සම්පූර්ණයෙන් අමතකත් නෑ. එතකොට මං ඉන්නේ දෙලොවක් අතරේ, අම්මලා මට පිස්සු ය කියා වෛද්‍ය ප‍්‍රතිකාර කරනවා. ඒ අය මට පිස්සුවට බෙහෙත් දෙනවා.
අවුරුදු ගණනක් පිස්සු පෙති ගිලලා මට දැන් ජීවිතෙත් එපා වෙලා. කොච්චර පෙති බීවත් සනීපයකුත් නෑ.”
“මොනවද? ඔය අතීතයෙන් මතක් වෙන්නෙ, මතක් කර අපටත් කියන්න බලන්නැ”යි හාමුදුරුවෝ පැවසූහ.
ජීවනී වර්තමානයත් අතීතයත් මිශ‍්‍ර කරමින් තම පුද්ගල අනන්‍යතාවය හෙවත් ආත්ම ගත ගැටලු කියවන්නට වූවාය.
“අනේ හාමුදුරුවනේ! මගේ පවුලේ අය මට ආදරෙයි. මට ප‍්‍රතිකාර කරනවා. ඒත් මගේ අතීතයට සිත ගියාම දැනෙන සුඛදායක තත්ත්වයන් දැනෙන කොට මට මේ ගෙදරත් ගෙදර ඉන්නා අයත් රුස්සන්නේ නෑ. ඒ එදා අතීතයේත් අද මෙතන සිටින ජීවනීත් එක ම එක්කෙනා ‘මම’ මම ම යි. මේක මේ අයට වැටහෙන්නේ නෑ. දොස්තර මහත්තුරුන්ට වැටහෙන්නෙත් නෑ. මානසික අමාරුවක් ය කියා බෙහෙත් දෙනවා. ඒ බෙහෙත් බීවා ම නින්ද යනවා. මේ එක්කෙනෙකුටවත් මගේ අමාරුව වැටහෙන්නේ නෑ හාමුදුරුවනේ.”
“හරි මේ ළමයා බුද්ධ, ධම්ම, සංඝ රත්නයේ ගුණය, බලය, ආනුභාවය පිළිගන්නවා ද?” හාමුදුරුවෝ ඇසූහ.
“එහෙමයි එහෙමයි ඊට වඩා විමුක්තියක් මට නෑ.”
“මේ ළමයාට භාවනා කරන්න පුළුවන් ද?”
“මම භාවනා කරන්න ආසයි. හාමුදුරුවනේ! ඒත් හිත ඒ වේලාවට අතීතයට දුවනවා. අතීතයේ මට උදව් කරපු උත්තමයන් වහන්සේ නමක් සිටියා. උන් වහන්සේ රහත් ඵලය ලැබුවා. උන් වහන්සේගේ ආශිර්වාදය මට ලැබුණා. මට ඒ අතීතයට යන්නමයි හිතෙන්නේ. මම මේ ආත්මයේ ඉපදී පූර්ව කර්මයක් ගෙවනවා හාමුදුරුවනේ.”
“ඔව්! මේ ළමයා අතීතයට ගිහින් ඒ සිද්ධියක් දෙකක් කියන්න පුළුවන් ද?”
“ම්… ම්… සමහර ඒවා මතකයි. සමහර ඒවා මතක නෑ. මගේ මතකය අවුල් වෙනවා. සිතිවිලිවලින් පිරිලා එක අරමුණකට එන්න අමාරුයි.” ජීවනී තම සිතේ පවතින අවුල් බව පැය බාගයක් තිස්සේ ම කියනවා මිසක අවශ්‍ය තැනට එන්නේ ම නැත.
බැරි ම තැන මම ජීවනී ඇමතුවෙමි. ඇයට අතීතය සිහිපත් කරන්නට උත්සාහ කළෙමි.
“ජීවනී දැන් කියෙව්වා ඇති. බුද්ධ ධම්ම සංඝ යන රත්නත‍්‍රයේ බලය සිහිපත් කරන්න. දැන් නිශ්ශබ්ද වෙන්න. දෑස් පියා ගන්න. විසිරිලා තියෙන සිත එක තැනකට ගන්නැ”යි මම කීවෙමි.
අප සාකච්ඡා කළේ ආවාස ගෙයි ඉස්තෝප්පුවේ ය. ඤාණානන්ද හිමියන් හා අප ඉදිරිපිට කය සෘජුව තබා පැදුරක හිඳගෙන සිටි ජීවනී ඇය පිටුපස තිබු කණුවකට පිට දී හේත්තු වූවාය. දෑස් පියා ගත්තාය. දැන් හැම දෙනා ම නිශ්ශබ්දය. මම කතා කළෙමි.
“ජීවනී දැන් ඔයා ජීවනී නොවෙයි යන්න අතීතයට. ඔව්! දැන් ඉන්නේ අතීතයේ. ඔයා සුසේන්. සුසී… සුසී… කතා කරන්න සුසේන්, මතකය අවදි කරන්න. සුසේන්… සුසේන් හරිම ලස්සනයි. සුසේන් ඔයා සුසේන් ලෝරන්සෝ සුසේන් ලෝරන්සෝ… සුසේන් ලෝරන්සෝ…”
ජීවනී හරිබරි ගැහී දිග ඇදුණාය. හාමුදුරුවන් සිටින පැතට හිස සිටින සේ බිම දිග ඇදුණා ය. මම යළි යළිත් ඇමතුවෙමි. “මීදුම ගලා යන පරිසරයක්. සුසේන්… සුසේන්…”
“හº… හº… හා… හº… හº… හා මම සුසේන් නොවෙයි. මම මේඝ… මම මේඝ නාථ ඔව්… මම මේඝ නාථ” යි කියමින් මහා ප්‍රෞඪත්වයක් අභිනය කරමින් දෑත් මිට මොළවා දෙපසට දිගු කරමින් කතා කරන්නට වූවාය.
“හº… හº… හා… කෝ මගේ ආයුධ. මගේ ආයුධ මට දියව්… පරසතුරු හැතිකරය… (දත් සපමින් කතා කරයි) කෝ මගේ ආයුධ… මහේල… මහේල… කෝ මගේ ආයුධ…”
“ඔව්… ඔබ මේඝ නාථ… මේඝ නාථ කොහේද හිටියේ. කොහේද ජීවත් වුණේ?” මම ඇසීමි.
“මම හිටියේ දීගල්ලෙනේ… ලංකා පුරයේ හිරිගල් ලෙනට ඔබ්බෙන් දීගල්ලෙනේ. අසපුවට හූවක් දෙකක් එහා මම හිටියේ.
“මොකක් ද ඒ අසපුව?”
“මට උදව් කළ උත්තමයන් වහන්සේ හිටියේ එතැන. උන් වහන්සේ බෝධියක් මුල සිට රහත් වුණා. උන් වහන්සේගේ ආශීර්වාදය එදා මට තිබුණා. මේඝ නාථ… නුඹට හැම දෙයක් ම ලැබේවි කියලා උන්වහන්සේ මට කීවා. ඔව්! උන් වහන්සේ හිටියේ ආරණ්‍යයේ. උඩ ගල්ලෙනේ. ඔව්… උන් වහන්සේ මට කිව්වා මේඝ නාථ නුඹට කරන්න බැරි දෙයක් නෑ කියලා. කෝ මගේ ආයුධ… මට දියල්ලා මගේ ආයුධ… කෝ මගේ මහේල… මහේ… ල…”
“මහේල… මහේල… කව්ද මේ මහේල කියන්නේ.”
“මහේල කියන්නේ මගේ මිත‍්‍රයා. මහේල තමයි මට උදව් කළේ. මහේල තමයි මට ආරංචි ගෙනැත් දුන්නේ. මම මහේලව ඔත්තු ගේන්න යැව්වා. ඔව්… ඒ වෙලාවේ මුං මා මරන්න කුමන්ත‍්‍රණය කළා. මාව මැරුවා. මේ පර හතුරෝ… කෝ මගේ ආයුධ… මගේ අතට මගේ ආයුධ දියල්ලා…”
ඤාණානන්ද හිමියෝ කතා කළහ.
“ඔව් දැන් මේ ඇත්තා ඉන්නේ සතුරන් ගැන වෛරයෙන්. හිතන්න, බුදු දහම පිළිගන්නවා නම් වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ. ඒ වෛරය හිතේ අල්ලගෙන. ඒක අතහරින්න. දැන් ඒ යුගය හමාරයි. දැන් ඉන්නේ වෙන ආත්මයක. වෛරය අතහරින තුරු සැනසුමක් නෑ. නහී වේරේන වේරානි…” වෛරයෙන් වෛරය කවදාවත් සංසිදෙන්නේ නෑ. ඒ නිසා වෛරය අත හරින්න. සිත නිදහස් කැර ගන්න.”
මම යළිත් කතා කළෙමි. “ඔව්… මේඝ නාථ… දැන් ඔයා මේඝ නාථ… නොවෙයි. මේඝ නාථ මළා. දැන් ජීවනී. ජීවනී… අවදි වෙන්න…”
විනාඩි කීපයක් නිහඬව සිටි ජීවනී එක්වරම නැගිට එක පිම්මට හාමුදුරුවන් ඉදිරියට පැන වැඳ කය සෘජු කොට ගෙන පද්මාසනයෙන් හිඳ ගත්තා ය. හාමුදුරුවන් අත තිබු වටා පත රැගෙන මුහුණට තබා සිපගෙන ආපසු දුන්නා ය.
“ඇයි අර බිම දිග ඇදිලා කතා කළේ. නැගිටලා කතා නොකළේ මොකද? දුර්වල පේ‍්‍රත ආත්මයක් නේදැ” යි කුරුප්පු මහතා ඇසුවේය.
“ඔන්න හාමුදුරුවනේ මට කේන්ති යනවා (කුරුප්පු මහතා දෙස බලා) තරහ වෙන්න එපා. ඔය කතා මට හරියන්නේ නෑ. දොස්තරුන්ටත් වැරදුණා. ඇදුරන්ටත් වැරදුණා. හාමුදුරුවනේ මේඝ නාථත් මම. ජීවනීත් මම. (දෑතින් පපුවට ගසාගනී) මේ මම ම යි. වෙන කෙනෙක් නෙවෙයි. මෙන්න මේ ටික කාටවත් තේරෙන්නේ නෑ හාමුදුරුවනේ.”
“හරි හරි…” යි හාමුදුරුවෝ පිරිත් පාඨයක් කියමින් ඇගේ අතේ පිරිත් නූලක් ගැට ගැසූහ. “මේ එදා ඉඳලා එන එක ම සිතුවිලි පරම්පරාව. එක ම පුද්ගල අනන්‍යතාවය. ඒ නිසා දැන් ඉඳලා අතීතයට යන්න හිතන්න එපා. අතීතය මතක් වෙන කොට බුදු ගුණ සිහි කරන්න. භාවනා කරන්න ඉගෙන ගන්නැ” යි උපදෙස් දුන්හ.
ඇය තරුණ කාන්තාවක් බැවින් මෙම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ භාවනා කරන්නට ඇයට නොහැකි නිසා ඊට සුදුසු, අත්දැකීම් ඇති භාවනා යෝගී මෙහෙණින් වහන්සේ නමක් වෙත ඇය යොමු කළෙමු. උන් වහන්සේ හමු වී තමන්ට සුදුසු භාවනාවකට කමටහන් ගන්නැයි උපදෙස් දුනිමු.






Last edited:
bump


Very Good thread...
bookmarked..
rep+++
Very Good thread...
bookmarked..
rep+++
ela
thnx mchn


bump
