හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට නිදහස ලැබීම සුභාරංචියකි. අංගසම්පූර්ණ හමුදා චරිතයක් වූ ඔහු යුද ජයග්‍රහණයේ උපරිම කොටස්කාරයෙක් විය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ විසින් කරවන ලද ත්රස්තවාදයට එරෙහි යුද්ධයේ ප්රමුඛ සොල්දාදුවා වූයේ සරත් ෆොන්සේකාය. එහෙත් යුද්ධයේ අවසන් විනාඩි කිහිපයේදී දෛවය විසින් ඔහුගේ අනාගත පරිහානිය කරා ඔහු යොමු කරවන ලදි. දේශපාලනඥයාට අයත් භුමිකාව එකක් වන අතර සොල්දාදුවාට අයත් භූමිකාව තවත් එකකි. සොල්දාදුවකුට දේශපාලනඥයකු වීමට කිසිදු බාධාවක් නැත. සොල්දාදුවන් දේශපාලනඥයන් වූ අවස්ථා බොහෝමයක් ලෝක ඉතිහාසයේද තිබේ. එහෙත් යුද පිටියේ සිට කෙළින්ම විත් රාජ්‍ය නායක පුටුවේ වාඩිවීම මෙකල ප්‍රායෝගික ඇත. ඒ සඳහා ප්රජාතන්ත්රවාදී ගමන් මාර්ගයක් තිබේ. එසේම ගත කළ යුතු කාලවකවානුවක්ද තිබේ. 2009 මැයි මාසයේදී යෙදුනු යුද ජයග්රහණයෙන් මාස කිහිපයකට පසු දේශපාලනය ගැන කිසිදු පළපුරුද්දක් නැතිව ජනතා විමුක්ති පෙරමුණේ සහ එජාපයේ උවමනාව මත ජනාධිපතිවරණයට ඉදිරිපත්a වීමට මේ කීර්තිමත් රණවිරුවාට සිදු විය. එජාපය ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට උදව් කළේ පරදින බව දැන දැනමය. සරත් ෆොන්සේකාගේ පරාජය ඉතා හොඳින් පැහැදිලි කරගෙන සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යනුවෙන් පක්ෂය තුළින් නැඟුණු ඉල්ලීමට කන් දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණ හිටපු යුද හමුදාපතිට උදව් කළේ ස්ථිර වශයෙන්ම ජය ගන්නා බව සිතාගෙනය.
එතැන් සිට සිදුවූ සියලු විපත් අපගේ පාඨකයා දනී. තරු පටි ගලවා හිරේ දැමූ හිටපු හමුදාපති බැලීමට මුලදී නිතර ගිය ජනතා විමුක්ති පෙරමුණ පසුව එම ගමන සම්පූර්ණයෙන්ම අත්හැර දැමීය. එහෙත් එ.ජා.ප ය, සජිත් - කරු ජයසූරිය එක් පාර්ශ්වයක් වශයෙන් ද රනිල්, තිස්ස අත්තනායක වෙනම පාර්ශ්වයක් වශයෙන් ද වෙන වෙනම ශ්‍රී ලංකාවේ "ප්‍රමුඛතම සිරකරු" බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගියේය. ඔහු බැලීමට දේශපාලන කණ්ඩායම් සිරගෙදරට ගිය ගමන්වලින් පෙනී ගියේ මේ රටේ දේශපාලන සංයුතිය තව බොහෝ කලකට එක්විය නොහැකි තරමට භේද භින්න වී තිබූ බවය. එ.ජා.ප.යේ කොටස් දෙක සරත් ෆොන්සේකා බැලීමට ගියේ ඉන් ලැබුණු ප්‍රචාරය සලකාය. ජනතා විමුක්ති පෙරමුණ ඔහු බැලීමට යාම නතර කළේ තවදුරටත් ඔහුගෙන් ප්‍රයෝජනයක් නැති බව සලකාය. අද වනවිට ජ.වි.පෙ. ඔහු ගැන පුවත්පත් නිවේදනයක් පවා නිකුත් කරන්නේ නැත. සරත් ෆොන්සේකා ජනාධිපති බවට පත් කිරීමේ ව්‍යාපාරයේ ප්‍රමුඛයකු බවට පත්ව සිටි මංගල සමරවීර අද වන විට ඔහු ගැන වචනයක්වත් කතා කරන්නේ නැත.
යුද හමුදාපතිව සිටියදී "මෙය සිංහල මිනිසුන්ගේ රට" යෑයි කීම නිසා පිටරටවල බරපතළ දෝෂ දර්ශනයට ලක් වූ සරත් ෆොන්සේකා පසු කාලයේදී එකී රටවලම අනුකම්පාවට පාත්‍ර විය. එය සරත් ෆොන්සේකාට ඇති ආදරයක් නිසා හටගත් අනුකම්පාවක් නොව මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති වූ ද්වේෂය නිසා හටගත් ආදරයකි. ඔහුට අදාළ නඩු අසනු බැලීමට තානාපති කාර්යාලවල ඉහළ නිලධාරීහු උසාවියට පැමිණියහ. හෙට සිට මේ නිලධාරීන් ඔහු බැලීමට ගෙදරට පවා ඒමට ඉඩ තිබේ. ඒ ඔහු කෙරෙහි ඇති ආදරය නිසාද?
යුද්ධය වෙනුවෙන් බොහෝ දේ කැප කළ හිටපු හමුදාපතිතුමා තේරුම් ගත යුතු වැදගත් දෙයක් තිබේ. එනම්, දේශපාලනය යනු ඉතා කැත සෙල්ලමක් බවය. මේ සෙල්ලමේදී "ඉත්තකු" වශයෙන් සරත් ෆොන්සේකා පාවිච්චි කිරීමේ හැකියාව ජවිපෙ සහ එ.ජා.ප. ය කැත නැතිවම උරගා බැලීය. එහි ප්‍රතිඵලය වූයේ යුද හමුදාපති ලෙස කීර්තිමත් ලෙස විශ්‍රාම ගොස් ගෞරවයට ලක් වීමට සිටි මිනිසකු හිරේ යැමය. හිරේ ගියේ සරත් ෆොන්සේකා පමණි. ඔහුට හිරේ යැමට උදව් කළ සියලුදෙනා අදටත් සැපසේ එළියේ ය.