සොඳුරු මැද පාංතික නිවෙසකි. සැමියා හා බිරිද මැදිවියේය. දරුඵල ඔවුනට අහිමිය. ඔවුනතර යම් අමනාපයක් තිබුණේ යැයි සිතේ. දැන් එය නිමාවන්නට ආසන්නය. බිරියගේ ආදරණීය බැල්ම ඇයව තුරුලු කර ගනු පිණිස සැමියාට ලබාදෙන අනුබලයකි. ඔහු ඇයව ආදරයෙන් තුරුළු කරගනියි. එහෙත් බිරිය සිය ආදරණීය බැල්ම හෙළන්නේ සැමියාට පිටුපසින් ඔහුගේ සෙවණැල්ලට මුවා වී සිටින ළාබාල පෙම්බරාටය. සැමියාට රහසින් ඇය පෙම්බරාගෙ දෙතොල් සිපගනියි.
ප්‍රකට දකුණු කොරියානු සිනමාකරු කිම් කී දුක් ගේ ත්‍රී අයන් සිනමා පටය වැදගත්ම ජවනිකාව එය විය යුතුය. නිස්සාර හා ඒකාකාර එමෙන්ම කටුක නාගරික මැද පාංතික විවාහ දිවිය පිළිබද අපූරු විවරණයකින් ත්‍රී අයන් සමන්විතය. ඇත්තෙන්ම මේ ත්‍රී අයන් හී දෘශ්‍යමානයයි. දෘශ්‍යමානය සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නොවන බව පැවසුවේ බොහෝ කලකට පෙරාතුවය. එය අදටත් වලංගු කාරණයකි. කිම් කී දුක් ප්‍රිය කරන්නේ තථ්‍ය ලෝකයෙන් මිදෙන්නටය. ඔහු අතින් නිර්මාණය වන්නේ තථ්‍ය ලෝකයේ චරිතය. තථ්‍ය ලෝකයේ පරිසරයය. තථ්‍ය ලෝකයේ සිදුවීම්ය. ඒ සියල්ල ගැට ගැසෙන්නේ කල්පිත ලෝකයක් සමගිනි. මේ කල්පිත ලෝකය තථ්‍ය ලෝකයේම පිළිබිඹුවක් බවට පත් කරලනු සදහා කිම් කී දුක් වෙහෙසෙන්නේ ත්‍රී අයන් හිදී පමණක්ම නොවේ ඔහුගේ බොහෝ සිනමාපට මේ අදහස සූක්ෂමව ඉස්මතු කරයි.
Source - Mawubima News Paper





