නිල් නෙතු [Compete Story]

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    නිල් නෙතු [Complete Story]

    ගොඩක් අයගෙන් ඉල්ලීමක් තියෙනවා නිල් නෙතු කතාව සම්පූර්ණ එකක් විදියට අළුත් ත්‍රෙඩ් එකක දාන්න කියලා අරකේ හොයන්න බෑ කියලා. ඒ නිසා මම සම්පූර්ණ කතාව මෙතන දානවා. කියවන්න කැමති අය කියවන්න :yes::yes:

    ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක මම එළකිරි එකට දාන දෙවෙනි කතාව. පළවෙනි කතාව විදියට දැම්මේ 'ආගන්තුක රස්තියාදුකාරයා' කියන කෙටි කතාව.
    මේකත් කෙටි කතාවක් තමයි. කෙටි කතාවක් කිව්වට කෙටිමත් නෑ ඉතින් මම කතා ලියන්න තවමත් ආගන්තුක නිසා පොඩි පොඩි වැරදීම් එහෙම ඇති. ඒවා ගණන් ගන්න එපා.
    ඒ නිසා කියවලා බලලා කට්ටිය කමෙන්ට් එකකින් සහය වෙයි කියලා හිතනවා.


    “මල්ලී මල්ලි”
    එක්වරම කවුදෝ කවුදෝ උරහිසින් අල්ලලා හොලවපු නිසා මෙත්මට ඇහැරිණි.
    “මල්ලි මෙතනින් බහින්න. මෙතනින් එහාට බස් එක යන් නෑ”
    එක වරම සිද්ධ වී තිබෙන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට ඔහුට නොහැකි විය.ඔහු බස් එකෙන් බැස වට පිට බැලුවේය. අහල පහළ දැන්වීම් පුවරු වල කොළඹ යනුවෙන් සඳහන් වී තිබිණි. ඔහු මෙලෝ සිහියක් නැතිව බස් එකට නැඟුනු හැටි මතක් වූයේ එවිටය. කල්පනා කිරීම නිසා ඇති වූ මහන්සිය නිසාම නින්ද නින්ද යන්නට ඇත. සිදුවූ දේවල් ටික ටික මතක් වන්නට පටන් ගත්තේ එවිටය. අන්තිමට බඩට යමක් වැටුන වෙලාවක් මතක නැත. එහෙහෙයින් ඔහු කඩේකට ගොඩ විය.කන්නට ආසාවක් නොතිබුණද නොකා බැරි නිසා ඔහු කෑම කෑවේය. ඇඟට යම් කිසි පණක් ලද්දා සේය. නමුත් සිත තවමත් තිබූ පරිදිමය. මෙත්මගේ අතිජාත මිත්‍රයෙක් වන අයේශ් සිටින්නේ ලඟ පාතක නිසා ඇමතුමක් ගැනීම වඩා හොඳ යැයි ඔහුට සිතිනි.
    “හෙලෝ”
    “මචං අයේශ්, මං මෙත්ම කතා කරන්නේ”
    “කියපං මචං”
    “මචං මං දැන් කොටුවේ ඉන්නේ”
    “මොකක්? උඹ මොනවද මෙහෙ කරන්නේ?”
    “මං ලොකු ප්‍රශ්නෙක බං ඉන්නේ. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ”
    “ ඇයි මචං මොකක්ද උඹට ආව ප්‍රශ්නේ. උඹ සාමන්යෙන් ප්‍රශ්න ඇඟට ගන් නෑනේ”
    “මේක ඊට වඩා සීරියස් බං” මෙත්මට ඇඬෙන්නට මෙන් ඇස් වලින් කඳුලු පිරෙන්නට විය.
    “උඹ කොහෙද ඉන්නේ?”
    “බස් නවත්තන තැන අර ස්ටෙෆාන් කැෆේ එක ඉස්සරහා”
    “හරි, උඹ කොහෙවත් යන්න එපා. ඔතනම ඉඳපන් මං එනකං”
    “හරි මචං. ඉක්මනින් වරෙන්”
    කාලය ඕනෙවටත් වඩා සෙමින් යනවා යැයි ඔහුට සිතිනි. මන්ද යත් අයේශ් පැමිණිමට මඳක් වෙලා ගත් බැවිනි. කොළඹ පුරයේ කොහොමටත් රථවාහන තද බදය වැඩි නිසා මෙය සාමාන්‍යය දෙයකි. මද වේලාවකින් අයේශ් ඔහු කරා එනු දක්නට ලැබිනි.
    “මොකද කේස් එක. උඹ මොකද මේ කවදාවත් නැතිව අප්සට් එකෙන්?”
    “මචං උදේශනී ඇක්සිඩන්ට් වෙලා. කොලඹ ගෙනත්. ගොඩක් අමාරුයිලු බං. මට මොනවා කරන්නද කියලා තේරෙන් නෑ” ඔහුගේ දෑසින් කඳුලු වැගිරෙනු දුටු අයේශ්ට පුදුම සිතුනේ මෙත්ම මෙවන් අයෙක් නොවූ නිසාවෙනි.
    “ඉතින් තවත් බලන් ඉන් නැතිව යමන් හොස්පිටල් එකට.”
    “යන්න තමයි ආවේ බං. ආවම තමා උඹව මතක් වුනේ. යං ඉක්මනට එහෙනම්”
    ඔවුන් ලහි ලහියේ හදිසි අනතුරු ඒකකයට ගිය අතර වරින් වර අයේශ් විසින් ප්‍රශ්න ඇසුවේ ඔහුට මෙම සිදුවීම ගැන අවබෝධයක් නොමැති වූ හෙයිනි.
    “ඊයේ රෑ ඇක්සිඩන්ට් වෙලා ගෑණු ළමයෙක්ව ගෙනාවද?”
    “කීප දෙනෙක්ම ගෙනාවා. නම කියන්න පුලුවන්ද?”
    “උදේශනි මිහිරංගි සේනාරත්න”
    “ම්…… උදේශනී සේනාරත්න. ගෙනත් තියෙනවා, තවම අයි සී යූ එකේ ඉන්නේ”
    “බොහොම ස්තූතියි”
    ඔවුන් ඉක්මන් ගමනින් එතනට යන්නට පටන් ගත් අතර, මෙත්ම වුන්නේ ගිනියම් වූ සිතෙනි
    “මචං මොනවා හරි වෙලා ඇද්ද? මට බයයි බං”
    “පිස්සු නැතිව මෙහෙ වරෙන් යන්න”
    ඔවුන් එතනට යන විට උදේශනීගේ මව පියා සහ සහෝදරිය ඇතිලු කිහිපදෙනෙක්ම පැමිණ සිටියහ. උදේශනීගේ අක්කා මෙත්මව දුටු විගස අඬාගෙන විත් මෙත්මව බදා ගත්තාය.
    “අනේ මල්ලි. බලන්නකෝ නංගිට වුන දේ”
    මෙත්ම වචනයක්වත් පැසුවේ නැත. මන්ද යත් ඔහුටද ඇඬෙන බැවිනි. ඔවුන් එතනට වී කොතරම් වෙලාවක් සිටියද යන්න නිච්චියක් නොවීය.කාලය යන්නේ නැති තරම්ය. එක් වරම දොස්තර වරුන් කිහිප දෙනෙක්ම ඇතුළට ගිය නිසා මෙත්ම ටිකක් විපරම් කරන්නට විය. වටින් පිටින් අසන්නට ලැබුනේ අයි සී යූ එකේ ලෙඩෙකුට අසාධ්‍යය බවයි. මෙත්මගේ ඉහින් කනින් දාඩිය දමන්නට විය. පිටතට පැමිණි හෙදියකගෙන් කරුණු විමසන ලදියි
    “දෙවෙනි ඇඳේ ලෙඩාට ටිකක් අමාරුයි.”
    ඇය සිටින්නේ කුමන ඇඳේද යන්න ඔහු හට ගාණක් නොවීය. මද වේලාවකින් දොස්තරවරුන් එළියට පැමිණි අතර ඔවුනට පසු පසින් ට්‍රොලියක සුදු රෙද්දකින් මුලු මුනින්ම වැසූ සිරුරක් විය. මෙත්මගේ පපුව ගැහෙන්නට විය. එක්වරම සියුමැලි අතක් රෙද්දෙන් එලියට වැටුනු අතර මෙත්මට දැනුනේ ඇඟේ සියලුම ලේ නහර පුපුරා යන බවයි.
    “අනේ…..මගේ…මගේ…..!!!”
    මුලු ලෝකයම අඳුරු වී යන්නා සේ ඔහුට දැනුනි. අයේශ් පැන ඔහුව වත්තම් කිරීමට හැදුවද එය අසාර්ථක විය. ඉලංදාරියා සිහිසුන්ව පොලව මතට ඇද වැටුනු අතර ලේ දහරාවක් සෙමින් විසිරෙන්නට විය.

    **********

    “පුතා….. යන්න කලින් කෑම ටික කාලා යන්න” මෙත්ම ඇඳෙන් බිමට බැස්සේ මවගේ ශබ්දයෙනි. අම්මා කන්න කීවද ඔහු තවම පාසල් යාමට වත් සූදානමක් නැත.
    අද දින පාසලේ උසස් පෙළ කිරීමට අලුතින් ළමයි ගන්නා දවසයි. ඒ නිසා මෙත්මට පාසලට කලින් යාමට වුවමනාවක් වුයේ නැත. එ නිසා ඔහු ඇහැරුණ පසුද සෑහෙන්න වේලාවක් ඇඳට වී සිටියේය. සෙමින් සෙමින් මුහුණ සෝදා කෑම කා ඇඳගත් ඔහු පොත් බෑගය රැගෙන මවට සහ පියාට වැඳ පාසලට යාමට පිටත් විය. පාසල ලඟම වාගේ නිවස තිබූ හෙයින් ඔහුට පයින් යාම ප්‍රමාණවත් විය. වේලාව 7.20 පමණ වූ නිසා ඔහු පය ඉක්මන් කලේ පරක්කු වී ගියොත් ගේට්ටුව ලඟ සෑහෙන්න කට්ටක් කෑමට වන හෙයිනි. කහ ඉර ලඟින් පැණිමට ගියොත් එතන සෑහෙන වෙලා සිටගෙන සිටීමට වන නිසා ඔහු මගදීම පාර මාරුවීමට සිතුවේය. දෙපැත්ත බලා පාරට අඩිය තිබ්බා පමණි. වාහනයක බ්රේක් ශබ්දයක් දකුණු පසින් ඇසිනි.
    “මැරෙන්නද මල්ලි යන්නේ?” කවුදෝ පිරිමි කෙනෙක්ගේ හඬ ඇසිණි. එම වාහනය තමාගේ ඇස නොගැටුනේ කොහොමද යන්න ඔහුට ප්‍රෙහෙලිකාවක් විය. ඔහු මොකුත් නොකියා නැවත පසෙකට විය. එවිට කාරයේ පිටිපස අසුනේ සිටි ගැහැණු ළමුන් දෙදෙනෙකු ඇස ගැටින.
    “පිස්සෙක්” පැති වීදුරුව අසළට වී නොරුස්සන බැලමක් යොමාගෙන සිටි ඇගේ කට හඬ ඔහුට ඇසිණි. ඔහු එය ගණනකට ගත්තේ නැත.
    පසුව ඔහු පාසැල වෙත දිව ගියේය. පංති කාමරයට ගොඩ වැදුන ඔහු පළමුවෙන්ම කරේ යහළුවන් සමඟ සාකච්ඡාවට වැටීමයි. අලුතෙන් එන අයට පොඩි රැගක් දීමට ඔවුන් කලින් සිට සිතා සිටියහ. නමුත් මෙත්ම මේ අදහසට මදක් විරුද්ධව සිටියේය.
    “මචං ලොකු ලොකු රැගවල් දෙන්න බෑ. පොඩියට එකක් දෙමු. මොනවා වුනත් අපිත් එක්ක ඉන්න එන අයනේ” ඔහු ගත් කටටම පැවසීය.
    “හරි බං. අපි එච්චර චාටර් එවුන් නෙමෙයි කොහොමත්.” ජනියා මෙත්මව අස් වැසුවේය.
    “මොනවද කරන්න දෙන්නේ?” තව එකෙක් ඇසීය.
    “කොල්ලෙක්ට නම් ඩෙස්ක් එකක් උඩ නැගලා සිංදුවක් කියන්න දෙමු. තව ඕනේ නම් කන් දෙක අල්ලන් උඩ පනින්න කියමු”
    “එතකොට කෙල්ලන්ට?”
    “කෙල්ලන්ටත් බං ඔය මොන මොනවා හරි මඟුලක් කරන්න දෙමු. රඟපාන්න වගේ”
    “එළ. එහෙනම් අපි කස්ටියව සාදරයෙන් පිළිගනිමු”
    කට්ටිය අළුතෙන් පැමිණෙන අය පිළිගැනීමට ලක ලෑස්ති විය.කාලප්ඡේද කිහිපයක් ගත විය.

    “කෝ බං තාම නෑනේ.” ජනියාට ඉවසිල්ලක් නැත.
    “ඉවසලා ඉඳපං බං කට්ටිය එයිනේ”
    “ඉතින් කොයි වෙලාවටද අපි රැග දෙන්නේ?”
    “ඇයි බං ලයිබ්රි පීරියඩ් එකක් තියෙන්නේ ඇති වෙන්න”

    විවේක කාලයෙන් පසුව එළඹි කාල පරිච්ඡේදයේදී නවක සිසු සිසුවියන් පැමිණි අතර මෙත්මගේ පංතියටත් පිරිමි ළමුන් 4 දෙනෙක් සහ ගැහැණු ළමුන් දෙදෙනෙක් වශයෙන් අළුත් ළමෝ 6 දෙනෙකු ඇතුලත් විය. මෙත්මගේ දෑස් ඇදුනේ බිම බලාගෙන අවසානයටම පංතියට පැමිණි රුව දෙසටයි. පංතියේ බොහෝ දෙනාගේ දෑස් යොමු වී තිබුණේද ඇය දෙසටයි. දිගු කොන්ඩයකින් හා ලස්සන නෙතු යුගලකින් හෙබි වූ ඇය සිනාසෙන විට පංතියම මවිත වූවා සේ ඇය දෙස බලා සිටියහ. ඇය පංතිය දෙස සමස්ත බැල්මක් යොමන විටදී මෙත්මට ඒ රුවේ හුරු පුරුදු වගක් දැනිනි. ඇය ඔහු දෙස බලන විය ඇය කවුරුන්ද යන්න මතක් විය. උදෑසන තමාට ‘පිස්සෙක්’ යැයි පැවසුවේ ඇයයි. ඇයද මෙත්ම දෙස බලා සිටියේ ඔහුව හඳුනා ගත්තාක් මෙනි. මෙත්ම වහාම වෙන වැඩක යෙදුනේ අවශ්‍යය වේලාවේදී ඇයට රැගක් දිය හැකි නිසාය.

    පුස්තකාල කාල පරිච්ඡේදයේදී ඔවුන් කලේ නවක සිසු සිසුවියන්ව හඳුනා ගැනීම සහ ඔවුනට පොඩි රැගක් දීමය. පිරිමි ළමුන්ට කතිකා කරගත් පරිදි උඩ පැනීමටත් ඩෙස්ක් එක උඩ නැග ගීතයක් ගායනා කිරීමට සිදු විය. ගැහැණු ළමුන් දෙදෙනාට රැග් කරන විට මෙත්ම සිටියේ පසෙකට වී බලාගෙනය. ඔහු එයට අත දැම්මේ නැත. ඇයට නැටුමක් ඉදිරිපත් කරන්නට අණ ලැබිණි. නමුත් ඇය බලාගෙන සිටියා විනා නැටුවේ නම් නැත.
    “මොකද කන් ඇහෙන් නැද්ද? අනික් අය අපූරුවට කියපු දේවල් කරේ?”
    ඇය ශබ්ද නැත. නමුත් වටවූ සියල්ල විසින් එල්ල කරනු ලැබූ පීඩනය හමුවේ ඇගේ දෑසින් කඳුලු වැටෙන්නට විය. කඳුලු දුටු පසු කවුරුත් ඇයට කිසිවක් කිරිමට බල කලේද නැත.

    “ඔය අළුතෙන් ආව දිග කොන්ඩේ. මෙහෙට එනවා” මෙත්මගේ රළු හඬ අනෙක් හඬවල් පරයා ඇසිනි. තුශ්නිම්භූත වූ ඇය එතනම සිටගෙන සිටයාය
    “මං ආයේ පාරක් කියන් නෑ. මෙතෙනට එනවා. මාව ඔතෙනට එන්න වුනොත් නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි”
    මෙත්ම කොහොමත් මුරන්ඩු අයෙක් වූ නිසා අනෙක් ළමුන්ට මෙය ඒ හැටි අළුත් දෙයක් නොවීය. නමුත් ඇය සෑහෙන බය වී වුන්නාය.
    “නම මොකක්ද?”
    “උදේශනී”
    “උදේශනී විතරද නමේ තියෙන්නේ?”
    “උදේශනී මිහිරංගි සේනාරත්න”
    “කොහෙද ගෙවල්?”
    “කුණ්ඩසාලේ”
    “හ්ම්. නටමුකෝ බලන්න ටිකක්”
    ඇය සද්ද නැත.
    “මේ. තව එක පාරක්වත් මම කියන් නෑ. මෙහෙම නටනවද නැත්තම් ඩෙස්ක් එකක් උඩ නැගලා නටනවද?”
    ඇය බිය වී මෙත්ම දෙස බැලුවාය. මෙත්මගේ දෑසින් කිසිම අනුකම්පා ලකුණක් නොපෙනිණි.
    “හ්ම් හ්ම්. තවත් බලන් ඉන්න වෙලාව නෑ. නටනවා නටනවා.”
    ඇය මෙත්ම දෙස ස්ථාවර බැල්මක් දමා මදක් පසු පසට ගියාය. ඇය මෙලෙස නටාවි යැයි මෙත්මවත් සිතුවේ නැත. නමුත් සියල්ලෝම මවිත කරවමින් ඇය දක්ෂ ලෙස උඩරට නැටුමක් ඉදිරිපත් කලාය. නර්ථනය අවසන් කල පසුව මෙත්ම හරුණු කොට අන් සියල්ලගෙන්ම ඇයට අත්පොලසන්නාදයක් ලැබුණි. ඇය ආඩම්බරයෙන් මෙත්ම දෙස බැලුවාය. මෙත්ම ඒ බැල්ම තඹේකට සැලකුවේ නැත. ඔහු හිඳ සිටි ඩෙස්කයෙන් බැස ඔහු හිඳගන්නා ස්ථානයට ගියේය.
    උදේශනීගේ සහයට පැමිණියේ යොමාලිය. ඇය උදේශනීව කලින් සිට දැන සිටි තැනැත්තියකි. ඇය උදේශනීට පංතියේ අනෙක් ළමුන් ගැන සැකෙවින් ඇයට කියා දුන්නාය. ඇය මෙත්ම ගැන කුමුක් කීවාදැයි නොදැනියි. නමුත් උදේශනී මෙත්ම දෙස නුරුස්සන බැල්මක් හෙලුවාය.
    දිනෙන් දින අළුතෙන් පැමිණි අය පන්තියේ පරණ ළමුන් සමඟ එකතු විය. දැන් අළුත් පරණ භේදයක් කියා නැත. ඔවුන් එකා මෙන් සිටියි. පන්තියේ පිරිමි ළමුන් කීප දෙනෙක්ම උදේශනි ගැන උනන්දුවෙන් පසුවූහ. ඇය ඒ වග දැන්ගත්තද ඇය ඔවුනට විශේෂයක් පෙන් වුයේ නැත. ඇය ආඩම්බරකාරියක ලෙස ප්‍රසිද්ධ වූවේද මේ හේතුව නිසාමය.
    අඟහරුවාදා දින ඇයට සහ තවත් කිහිප දෙනෙකුගේ අතුගෑමට සිදුවන දිනයයි. ඇය අතුගාමින් සිටින විටදී එක් ඩෙස්කයක් එහාට කරන්න්ට හැදුව විට එය සෙලවුනේ වත් නැත. එසවී බලන විට මෙත්ම එය උඩ හිඳගෙන සිටියේය. ඇය ඔහු දෙස ලැජ්ජාවෙන් බැලුවාය
    “ටිකක් එහාට වෙන්න පුලුවන්ද ඩෙස්ක් එක අයින් කරන්න?”
    ඔහුගෙන් කිසිම පිලිතුරක් වුයේ නැත.
    ඇය තව වතාවක් ඇසුවද ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නැත. ඔහු ඇයව හිතා මතා අපහසුතාවට ලක් කරනවා යැයි ඇයට සිතුනි. එම නිසා ඇය වෙන ස්ථානයක් අතු ගෑමට ගියාය.
    පන්තියේදී සමහර වෙලාවට පිරිමි ළමයින් හුණු කොට්ටයෙන් එකිනෙකාට ගසා ගනියි. දිනක මෙත්ම සහ කෙමිල් විහිළුවට හුණු කොට්ටයෙන් ගහගන්නා විට මෙත්ම ගැසූ පහරක් ගොස් වැදුනේ උදේශනීගේ මුහුණ මතය. ඇගේ මුහුණ හුණු වලින් නෑවිනි. එය සිතා මතා කල දෙයක් බවට ඔහුගේ මුහුණේ හැඟීම් වලින් නම් පෙනෙන්නට තිබුණේ නැත. ඇය මෙත්ම දෙස රවා බලා මුහුණ සෝදා ගැනීමට දෝ පන්තියෙන් පිටතට ගියාය.
    විවේක කාලයෙන් පසුව මෙත්ම පැමුණ උදේශනීගේ ඩෙස්කය මත හිඳගත්තේය.
    ‘මෙයාට ඩෙස්ක් වල ඇරෙන්න වෙන තැන් වල ඉඳගන්න හිතෙන් නැද්ද දන්නෑ’ උදේශනී සිතෙන් සිතුවාය.
    “යොමාලි” උදේශනී සිතුවේ මෙත්ම පැමිණියේ ඇයට මොකක් හෝ වදයක් දෙන්නට යැයි සිතුවද ඔහු පැමිණ සිටියේ යොමාලි හමුවීමටය.
    “ම්..මොකද?”
    “පොඩි බඩ්ඩක් කියන්න.”
    “මොනවද පොඩි බඩ්ඩ?”
    “මේ මට හෙට ක්ලාස් එන්න වෙන් නෑ. හෙට ලියන නෝට් එක අනිද්දා ගේන්න මට ලියාගන්න.”
    “ඇයි ඉතින් ඔයාගේ පිරිවර ඉන්නේ ඒවාට”
    “දන්නවානේ උන්ගෙ අකුරු”
    “අපෝ. මං ගෙනත් දෙන්නම්. හැබැයි ඉක්මනට ඕනේ. මතකනේ කලින් පාර ක්ලාස් එක දවසේ ගෙනත් දුන්නේ. සර්ගෙනුත් බැනුම් ඇහුවා කලින් සතියේ ඒවා පාඩම් කරේ නැහැ කියලා”
    “මේ පාර එහෙම වෙන් නෑ. මං යනවා”
    ඔහු ගොස් නැවත හිඳ ගත්තේ තවකෙකුගේ ඩෙස්ක් එකක් මතයි. එය දැක උදේශනීට සිනා පහළ විය.
    “මොකද උඹ තනියම හිනා වෙන්නේ?”
    “නෑ අර මෙත්ම”
    “මෙත්ම මොකද?”
    “ඩෙස්ක් උඩමයි ජීවිතේ” එය ඇසූ යොමාලිටද සිනා පහළ විය.
    “ඒ එයාගේ හැටි”
    “ ඒ වුනාට මම කැමති නෑ එයාට”
    “ඒ මොකද?”
    “කිසි හිතක් පපුවක් නැති කෙනෙක්. පුදුම මුරන්ඩුයි.”
    “කලින් කිව්ව දේම තමා කියන්න තියෙන්නේ. ඒ මිනිහාගේ හැටි.”
    “පිස්සෙක් වගේ හැමතිස්සෙම ඉන්නේ. මං ඉස්සෙල්ලම ආව දවසේ මිනිහා අපේ කාරෙකට හැප්පෙන්න ගියා. අක්කගේ මහත්තයා බැන්නත් එක්ක මිනිහට. කොහෙද ඒ ගාණකුත් නෑ” උදේශනී එදා සිදුවූ දේ ගැණ ඇයට කෙටියෙන් පැවසුවාය. ඇය මෙත්ම දෙස බලන විට මෙත්ම සිටියේ ඇය දෙස බලාගෙනය. ඇය ඉක්මනින් ඇස් අහකට ගත්තාය.
    මෙත්මගේ සහ උදේශනීගේ ආරවුල ගැන යොමාලි හොඳින් දැන සිටියාය. ඇය වෙලාවකට ඔවුනට සිනාසුනේ ඔවුන් පොඩි එවුන් මෙන් හැසිරුණ බැවිනි.

    “අන්න දිග කොන්ඩේ එනවා කැන්ටිමට” ජනියා කැන්ටිමේ දොරකඩ සිට කෑගසන්නට විය.
    ටික වෙලාවකින් පසුව යොමාලිත් උදේශනීත් කැන්ටිමට ඇතුලු විය.කවදාවත් නැතුව මේ අයගේ කැන්ටින් පැමිණිම ගැන මෙත්ම කල්පනා කරන්නට විය.යොමාලි සාමාන්‍යයෙන් ගෙදරින් කෑම එකක් ගෙන එන නමුත් අද මේ ලෙස කැන්ටිමට ආවේ ඇයි දැයි ඔහු ඔහු සිතන්නට විය.නමුදු ඔහුට වැඩි වේලාවක් ඒ ගැන කල්පනා කරන්නට නොහැකි වූයේ පිටු පසින් පැමිණ ජනියා ඔහුගේ පිටට ගැසූ නිසාවෙනි.
    “මොකද පුතේ හීන ලෝකෙකට වෙලා? උදේශනී උඹව අතරමං කරාවත්ද?”
    “මේ ජනියෝ, උඹ මගෙන් කුනුහරුප අහගන් නැතුව යනවද? මම මේ කල්පනා කරේ දිග කොන්ඩේගෙ ගණන් ටිකක් බස්සනවද නැද්ද කියලා.”
    “අන්න මරු වැඩේ.ඕකිගෙ මාර ගණන්.දෙමුද වැඩක්?”
    “අනිවා දෙමු.මට හොඳ පොටක් පෑදෙනකන් ඉන්නේ”
    ඉනපසු මෙත්ම උදේශනී දෙසම බලා සිටියේ ඇයට වදයක් දීමට කරුණක් සෙවීමටයි. යොමාලි ටැප් එක ලඟට ගිය අතර උදේශනී කෑමට යමක් මිලට ගැනීමට කවුන්ටරය ලඟට ගියාය.
    “මට මාළු බනිස් එකක් දෙන්න ගෙනියන්න”
    එහෙනම් ඇය පැමිණ තිබෙන්නේ ඉන්ටවල් එකට කන්න ගෙනියන්න. මෙත්මට හොඳ අදහසක් පහල විය.
    ඔහු ඇය පැමිණෙන තුරු දොර ලඟ තිබූ මේසය උඩට ඉඳගත්තේ අනෙක් යාළුවනුත් වටේන් පිටෙන් රඳවා ගනිමිනි. ටික වේලාවකින් ඇය ටැප් තිබෙන පැත්තට යාමටට මෙන් දොරකොට දෙස බැලුවාය. මෙත්ම එහි සිටිනවා දුටු විට ඇය තිගැස්සුනද ඒ වගක් පිටතට පෙනුනේ නැත.
    “ඒයි දිග කොන්ඩේ, මෙහෙ එනවා” මෙත්ම කටහඬ ටිකක් රළු කර ඇයට අඬ ගැසීය.
    ඇය බියෙන් මෙන් ඒ දෙසට එන්නට වූවාය. ඇය මෙත්ම ලඟට ගියද ඇගේ දෙනෙත් තිබුනේ බිමට බරවය.ඒ මෙතමට තිබෙන බය නිසාද නැතහොත් වෙනත් හේතුවක් නිසාද කියා අප දන්නේ නැත.
    “මොනවද අතේ තියෙන්නේ?” නැවතත් මවාගත් රළු හඬින්ම ඔහු ඇසීය.ජනියා ඇතුලු පිරිස හොරෙන් සිනාසෙන්නට වූයේ මෙය විහිළුවක් වුවද ඇය ඇත්තටම බිය වී සිටිය නිසා විය යුතුය.
    “ඉන්ටවල් එකට කන්න කෑම”
    “ඉතින් දැන් තනියමද කන්න හදන්නේ?”
    ඇය කිසිත් කීවේ නැත. ඇයට යන්නටද නොහැකිය. මෙතෙක් වෙලා බිමට බරව තිබූ නිල් නෙතු යුගල මෙත්ම දෙසට හැරවීමට ඇයට දැඩි උත්සහයක් ගන්නට සිදු විය. අමරුවෙන් හෝ කල යුත්තේ ඒ දෙය යැයි සිතූ ඇය හෙමින් සීරුවේ මෙත්ම දෙස බැලුවේ අනුකම්පා සහගත බැල්මකිනි. ඒ බැල්මට මෙත්ම ලඟ සිටි ජනියාටද කර කියාගැනීමට දෙයක් නැති විය.ගැහැණු මායම් දෙසින් නම් ඇය බොහෝ ඉදිරියෙන් සිටියාය.නමුදු ඒ දරදඬු සිත සෙලවීමට නම් තිබෙන්නා වූ මායම් 64ත් මදි සේය.
    “ගන්නවා ඔය මල්ල මෙහාට” ලෙස කීවත් ඔහු බලෙන්ම ඇගෙන් එය උදුරගත්තේය.
    “ම්…මාළු බනිස්.හරි ෂෝක්. මීට පස්සේ කනකොට බෙදා හදන් කන්න පුරුදු වෙනවා හරි?”
    ඔහු බෑගයේ තිබුන බනිස් ගෙඩිය ගෙන කැබැල්ලක් කඩා යාළුවන් අතරේ බෙදා පොඩි කෑල්ලක් ඔහුද කටේ ඔබා ගත්තේය.ඉතිරිව ඇති කැබැල්ලේ කන්නට යැයි සිතෙනා කොටසක් නැත.ඔහු එය නැවත මල්ලට දමා ඇගේ අතටම නැවත බෑගය දුන්නේය. බෑගය ගත් පසු ඇය ඉක්මන් ගමනින් එතනින් පිට විය.
    ඇය ගිය පසු ලඟ සිටි මිතුරන් සමඟ සිනා සී, ජනියාට පහකුත් දැමුවේ වැඩේ හරි ගිය සතුට ඉහ වහ ගිය නිසා වෙනි.

    “ලැජ්ජ නැද්ද මෙත්ම බලු වැඩ කරන්න?”
    එක්වරම යොමාලිගේ කටහඬ පිටු පසින් ඇසින.මෙත්ම ඇයව ගණන් නොගෙන අත සේදීමට ටැප් එක ලඟට යන්නට විය. නමුත් යොමාලිගෙන් නම් බේරිමක් නැත.ඇය මගක් දුරවිත් මෙත්මගේ කමිස අතින් අල්ලා නැවත්වූවාය.
    “මෙත්ම, මම මේ තමුසෙගෙන් අහන්නේ. ඇයි අර අහිංසක ළමයගේ කෑම එක අර විදියට උදුර ගත්තේ?”
    “උදුර ගත්තේ නෑ අයිසේ. බෙදාගෙන කන්න පුරුදු කරා.”
    “හොඳ පුරුදු කිරිල්ල. මේ මෙත්ම බඩගින්නට කන්න ගත්තු දෙයක්වත් කෙනෙක්ට කන්න දෙනවා. ඒ ළමයා ඊයේ රෑ ඉඳලා කාලා නෑ. ගෙදර ප්රශ්නයක් නිසා. බඩගින්නේ ඉන්න බෑ කිය කිය හිටියේ උදේ ඉඳලා. එහෙව් ළමයා කන්න ගත්තු එකනේ තමුසේ අර ජරා විදියට උදුරගත්තේ.”
    මෙත්මට කිසිත් සිතා ගැනීමට නොහැකි විය.ඔහු හීනෙකින්වත් මෙවැනි තත්වයක් බලාපොරොත්තු වූවේ නැත.නමුත් දැන් ඉතින් සියල්ල සිදු වී හමාරය. දැන් පසු තැවී වැඩක් ද නැත.
    “ඉතින් මං දන් නෑනේ ඒ වගක්.”
    “ඒක හරි කතාවක්නේ.ඇයි තමුසේ කියන්නේ ඒ ළමයට පිටේ බෝඩ් ගහන් ඉන්න කියලද කෑවේ නෑ කියලා?”
    “මේ යොමාලි, බෝඩ් එල්ලගත්තත් නැතත් මට ප්‍රශ්නයක් නෑ.මම කරන්නේ මට කැමති දේ”
    “තමුසේ නම් මහ හිතක් පපුවක් නැති මිනිහෙක් මෙත්ම”
    යොමාලිගේ වචන කඩු කිණිසි මෙන් මෙත්මගේ සිතේ වදින්නට විය. එ වෙලේ ඔහුගේ සිතේ ඇති වු හැඟීම් මොනවා දැයි අප දන්නේ නැත. ඔහු ටික වෙලාවක් යොමාලි දෙස බලා හිඳ අනෙක් පසට හැරී යන්නට විය. බලාපොරොත්තු සුන් වුන මුහුණින් යුතුව යොමාලිද බලා සිටියාය. ‘මෙත්ම කෙතරම් නපුරුද’ එය ඇගේ සිතේ තිබූ එකම හැගීමයි. ඇය පන්තිය දෙසට යමින් ගමන් සිටියදී ඇගේ කොණ්ඩ කරල් දෙකෙන් කවුදෝ පිටුපසට ඇද්දාය.සාමාන්‍යයෙන් එලෙස කරන්නේ මෙත්ම පමණයි. ඇය පුදුමයෙන් මෙන් පිටුපසට හැරුනාය. ඇය සිතුවා සේම මෙත්ම ඇය ඉදිරියේ සිටගෙන සිටියේ කෑම පාර්සලයක් අතින් ගෙනයි.
    “ආ, මේක අරගෙන ගිහින් තමුසෙගේ අර බඩගින්නේ ඉන්න යාළුවට දෙනවා”
    “මෙත්ම හිතනවාද උදේශනී මේක ගනියි කියලා?”
    “ඔව්.එයා ඕක අනිවාර්යෙන් ගන්නවා.මොකද මම ඔයාට මේක දුන්නේ කියලා එයා දන් නැති නිසා. හැබැයි මම දුන්නේ කියලා එයාට කියලා තිබුනොත් මේ මෙත්ම මේ කපේදි නම් උඹත් එක්ක කතා නැතිවෙයි හරි?”

    යොමාලිගේ මුවගට සිනාවක් ආවේ හදිස්සියේම මෙත්මට මේ මොකද වුනේ යන්න සිතා ගැනීමට නොහැකි වූ නිසාය. ඇයව පොරොන්දු කරගත් මෙත්ම ඇයට යන්න කියා ටික වේලාවක් කොරිඩෝවේ රැඳුනේය. තවත් ඉවසීමටද නොහැකිය.හොරෙන් පන්තියට යාමද කරන්නට නොහැකිය. අමාරුවෙන් හෝ මේ මිනිත්තු කිහිපයත් මෙතන සිටිය යුතුය.

    පන්තියට ගිය යොමාලි උදේශනීට බත්පත දුන්නේ මෙත්මට දෝෂාරෝපනයක්ද නගමිනි. තමා විසින් මිලට ගන්නා ලද්දක් යැයි කීම නිසා උදේශනීද කිසි පැකිලීමකින් තොරව එය කන්නට විය. මිනිත්තු කිහිපයක් එලියේ සිට මෙත්ම පැමිණෙන විට උදේශනී බත්පතේ භාගයක් පමණ කා ඉවර වී තිබුනි. මෙත්මගේ පුටුව ලඟට යාමට තිබුනේ උදේශනී ඉඳගෙන සිටි තැනට ටිකක් ලඟින් නිසා මෙත්ම එන වග උදේශනී දැක්කාය.
    “මෙත්ම” ඒ ඇගේ කට හඬයි.
    “බෙදාගෙන කමු නේද ටිකක්?”
    ඇය මේ කියන්නේ කුමක්ද? යොමාලීද ඇය දෙස විමතියෙන් බැලුවාය. මෙත්මට නුපුරුදු ගතියක් දැනුනද ඇගේ ආරධනාව පිළි නොගෙන සිටිමට සිත දුන්නේ නැත. කෑමට වුවමනාවක් නැතත් ආසාවට මෙන් ඔහු ඇය ලඟින් වාඩි විය. එවිට ඇය එතනින් නැගිට්ටේ ඔහුවද පුදුම කරවමින.

    “ඇයි ඔයා කන් නැද්ද??”
    “මිනිස්සුයි තිරිසනුයි එකට කන් නෑනේ මෙත්ම”
    ඔහුගේ හිස ලඟාකුණක් පුපුරා ගියා වැනිය. මෙවැනි වදනකට නොව මීට වඩා සුළු වදනකට වුවද මෙත්මට තරහා යන බව කවුරුත් දන්නා දෙයකි.වැරෙන් ඩෙස්කයට පයින් ගසමින් නැගිටගත් ඔහු එහෙමම කාවීශාගේ උර හිසින් තල්ලු කර බිත්තියට හේත්තු කරගත්තේය. පන්තියම ගල් ගැසී කුමක් වේ දැයි බලා සිටියි.
    “මොකක්ද තමුසේ කිව්වේ?”
    ඇය කිසිත් කීවේ නැත,මන්ද ඇයවත් ඇය එසේ කීවේ මන්ද යන්න නොදන්නා නිසාවෙනි.මෙත්ම ඇයව තවත් තද කරගෙන සිටියේ ඇයව දවා අළු කර හැකි බැල්මක්ද සහිතවය. මුලදී හිතේ හයියට එලෙස කීවද උදේශනී සිටියේ අඬන්නට ඔන්න මෙන්න විලසිනි. ටික වේලාවකින් මෝදු වූ කඳුලක් ඇගේ වම් කම්මුල ඔස්සේ ගලා ගොස් මෙත්මගේ අතට වැටිනි.එක් වරම අනෙක් පසට හැරුනු ඉලංදාරියා, නැවතත් ලඟ තිබුන ඩෙස්කයකට පයින් ගසා පංතියෙන් පිටතට ගියේය.
    ටැප් එක ලඟට ගිය ඔහු කලේ තරහින් රතු වූ මුහුණ සෝදා ගැනීමයි. පසුව ලේන්සුවද රැගෙන පිට්ටනිය දිගේ ගමන් කල ඉලන්දාරියා පිට්ටනිය එහා කොනේ තිබෙන මාර ගස් සෙවන යට ඇති බංකුවේ වාඩි විය. වෙනදාට තම මිතුරන් සමඟ විහිලු තහලුවෙන් මේ බංකුව උඩ ගත කලත් දැන් නම් උදා වී ඇත්තේ හාත්පසින්ම වෙනස් දෙයකි. “මිනිස්සුයි තිරිසනුයි එකට කන් නෑනේ මෙත්ම” එය ඔහුගේ දෙසවන් පුරා රැව් පිලි රැව් දෙන්නට විය. ඔහු කිසි දිනක මෙලෙස නින්දාවට පත් වී නැත. ඇය මෙමෙ පාසලට පැමිණි පසු තමා ඇයට සැලකූ හැටි එතරම් ප්රිය මනාප නොවුනත් ඇය එලස කිරිම අකටයුතු යැයි ඔහු තරයේ සිතාගෙන සිටියේය. ඔහු නොසන්ඩාලයෙකු වන්නට පුළුවන්.නමුදු තිරිසනෙකු නොවේ.
    පිට්ටනියේ සෙල්ලම් කරන ළමුන්ගේ කෑකෝ මැද්දේම විවේක කාලය අවසන් කරන සීනුව නාද විය…ඉලංදාරියාට නැවත පංතියට යාමක් ගැන තැකීමක්වත් නැත.විනාඩි 5කට පමණ පසුව පාසල මීයට පිම්බාක් මෙන් නිෂ්ශබ්දය.ඉඳහිට යන වාහනයක ශබ්දය ඇසේ.මාර ගසේ කොල සුළගට ලතාවකට සෙලෙවෙන්නේ අමුතුම හැඟීමක් සිතට එකතු කරමිනි.මෙත්ම මොහොතකට ඔහුගේ ලෝකයේ නැවතිනි.





    උදේශනී කලදේට පිරිමි ළමුන්ගෙන් රැවුම් ගෙරවුම් ලැබුනද, ගැහැණු ළමුන්ගෙන් නම් ප්‍රසංශා ලැබිනි.
    “හොඳ වැඩේ බං උඹ කලේ. දැන් වත් ඕකා හැදෙයිනේ”
    ගීතිකා හැමෝටම ඇසෙන සේ උදේශනීට කිවාය. මේ දේවල් මෙලෙස සිදු වීම ගැන යොමාලී ගේ හිතට නම් හරි නැත. මන්ද ඇය මේ සිද්දිය ගැන අනෙක් අය නොදන්නා පැත්තක් ගැන දන්නා නිසාය. බත් එක අරගෙන දුන්නේ තමා නොව මෙත්ම බව පැවසීමට හතර පස් වතාවක් ඇයට සිතුනද ඇය අමාරුවෙන් එම සිතුවිල්ල මැඩ ගත්තාය.
    විවේක කාලයෙන් පසුව ඇති සංයුක්ත ගණිතය පාඩම කිරිමට විජේරත්න සර් පැමිණිම නිසා සියල්ලෝම එයට සූදානම් විය.පොත් ටික එළියට ගෙන උදේශනී වට පිට බැලුවේ මෙත්මගේ සේයාවක් නොපෙනුන නිසාය. ඔහුගේ හිස් අසුන දකින් විට ඇයට කලින් දවස් මතකයට එයි.මන්ද එලෙස බලන විට මෙත්මගෙන් විටෙක් දඟකාර, තව විටක රළු බැල්මවල් ඇයට ලැබෙන හෙයිනි.කුමක්දෝ හේතුවක් නිසා ඇයට පාළුවක් දැනිනි. නිකමට මෙත්මගේ පුටුව අසල ඇති ජනේලයෙන් එළිය බැලූ විට ඇයට පිට්ටනියෙන් එපිට දිගු කලිසමක් හැඳගත් ළමයෙකු සිටිනු පෙනේ. ඒ මෙත්මද? ඇය එදෙස බලා සිටින්නට විය.
    “කොහෙද බං උඹ ඔය බලන් ඉන්නේ?”
    “නෑ මොකුත් නෑ. මං නිකං එළිය බැලුවා.”
    “ආ… මං ඒත් බැලුවා උඹ මෙත්මයා නැත්තේ ඇයිවත් කියලා බලනවා ඇති කියලා”
    උදේශනී මදහසක් පා සටහන් පොත දිග අරින්නට විය. විනාඩියෙන් විනාඩිය පැය භාගයක්ම ගත විය. මෙත්ම තවමත් පන්තියට පැමිණ නැත. පිට්ටනියෙන් එපිට සිටින ළමයා මෙත්ම යැයි තහවුරු වුනේ තවමත් බංකුව උඩ තිබූ ඒ නිසල රුව නිසාවෙනි.
    මද වේලාවකින් මෙත්ම පන්තියට ඒමට පිටත් විය. තවමත් ඔහුගේ සිතට හරි මදිය. ඔහු පංතියේ දොරකඩ ලඟ සිටගෙන ගුරුතුමාගෙන් ඇතුළට ඒමට අවසර ගත්තේය.
    “එක්ස්කියුස් මී සර්”
    “ආ තමුසේ, මං ඒත් බැලුවා මොකද පේන්න නැත්තේ කියලා. කොහෙද ගියේ?”
    “කොහෙවත් නෑ සර්”
    “කොහෙවත් නෑ කිව්වේ?”
    “මම එලියට වෙලා හිටියේ සර්”
    “එලියට වෙලාද හිටියේ? එහෙනම් ඉතුරු ටිකත් එලියෙම ඉන්නවා”
    මෙත්ම දොරකඩ අසල සිටගෙන සිටින්නට විය. පන්තියේ එකා දෙන්නා කසු කුසු ගාමින් ඔහු දෙස බලයි.
    අවාසනවක මහත. එතැනින් යන්නට ආ අංශ ප්‍රධාන ගුරුවරයා මෙත්ම එලියේ සිටගෙන සිටිනු දුටුවේය. මෙත්ම ලඟට පැමිණ කරුණු විමසූ ඔහු මෙත්මගේ කණෙන් අදිමින්ම පන්තියට ගෙනාවේය.
    “ඇයි විජේරත්න සර් මූව එළියෙන් හිටෙව්වේ?”
    “නෑ සර්. මෙයා පන්තියට ආවේ පැය භාගෙකට විතර පස්සේ”
    “තමුසේ පැය භාගයක් මොකද කරේ එලියේ?”
    අංශ ප්‍රධාන ගිගිරීය.
    “මුකුත් කලේ නෑ සර්. නිකං හිටියේ”
    “නිකං ඉන්නද මිනිහෝ ඉස්කෝලේ එන්නේ?”
    අංශ ප්‍රධානගේ අත මෙත්මගේ මුහුණේ තුන් හතර වතාවක් වැදුනේ විදුලි වේගයෙනි. පංතියේ ළමුන්ට ඇසිපිය ගැසීමට පවා අමතක වී ඇත.
    “තමුසේ වගේ එවුන් නිසා අළුතෙන් එන අනික් එවුන්වත් මට හරියට හදා ගන්න නෑ”
    අංශ ප්‍රධාන දත්මිටි කමින් පංතියෙන් පිටවිනි.
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මෙත්මගේ මුහුණේ කිසිදු හැඟීමක් නොවිය. දරදඬු සිතකට හැඟීමක් එහෙමට එන්නේ නැත. ඔහු කිසිවක් නොවු ගාණට තමා ඉඳගන්නා තැනට ගොස් ඩෙස්කය මත තබා තිබූ පොත් ටික බෑගයට දැමුවේය. බෑගය වසා ජනේලයෙන් පිටත බලාගෙන සිටින්නට විය.
    “මෙත්ම” විජේරත්න සර් ඔහුගේ අවධානය වෙනතක ඇති නිසා නැවත කතා කලේය. මේ සිදුවීම නිසා මෙත්ම තවදු එම ගුරුවරයාව ගණන් නොගන්නා බව කවුරුත් දන්නා කරුණකි. ඉලංදාරියා අඩුම වශයෙන් හැරී බැලුවේ වත් නැත. මුරණ්ඩු කමේ හිණි පෙත්තටම නැගි ඔහු වැනි අයෙක්ව ලේසියෙන් හික්මීමට බැරි බව විජේරත්න සර් සක් සුදක් සේ දැන සිටි හෙයින් ඔහු ඊට වඩා මෙතමව අස්වසන්නට ගියේද නැත. කාල පරිච්ඡේද දෙක අවසන් විය. විජේරත්න සර් ගිය සැනින්ම වගේ මෙත්ම බෑගයේ කර පටි දමාගෙන සිටගත්තේ අන් සියල්ල මවිත කරමින්. කෙතරම් දඟ වැඩ කරත් ඔහු කවදාවත් ඉස්කෝලෙන් පැන නැත. ඔහුගේ හැටි දන්නා ජනියා සහ කෙමිල් පවා වචනයක් කීවේ නැත. වචනයක්වත් නොදෙඩූ ඔහු පඩි දෙක බැස සියල්ලන්ට නොපෙනී ගියේය.

    ඉන්පසුව පංතියේ සියල්ලගේම මාතෘකාව වූයේ මෙත්මගේ සිද්ධියයි. ඔහුගේ යාළුවන්ට පවා සිදුවූ දේ ගැන වැටහීමක් තිබුනේ නැත. මේ සියල්ල සන්සුන් වන විට විට එක් සිතක් පමණක් තවමත් යකාගේ කම්හල මෙන් විය. ඒ නම් උදේශනීයි. සියල්ල සිදු වූයේ තමා නිසා යන හැඟීම පළමු වරට ඇය තුළට පිවිසිනි. තමා අර වදන් කියූ විට මෙත්මගෙ දෑසේ බැල්ම, අංශ භාරගෙන් ගුටිකන විට ඔහුගේ දෑස ඇයට මැවි මැවී පෙනිනි. ඔහු පංතියේ දොරකඩින් පිට වු අයුරුද ඇයට නැවත් සිහි විය. මුලදී නම් පුංචි සතුටක් සිතට නො ආවාමත් නොවේ. නමුත් දැන් ඊට වඩා සිය දහස් වාරයක් දුකය. එවැනි දරදඬු සිතකට එලෙස සිදුවීම හොඳයැයි බලෙන්ම, ආයාසයෙන් හැඟීමක් ගෙන ඇය සටහනක් කියවන්නට විය. විෂයට අදාල ගුරුභවතා පැමිණ නැති බව කවුදෝ කෑ ගසා කියනු ඇසිනි. ඉන් පසුව පංතියේ එකම ගාල ගෝට්ටියකි. එක් එක් අය තම තමන්ට රිසි සේ කෑ ගසන්නට විය. බොහෝ දෙනා තවමත් මෙත්මගේ සිද්ධිය ගැන කතා බස් කරයි. උදේශනීටද ඒ ගැන කතා කරන්නට සිතුනත් යොමාලි මේ වනතුරුත් ඇය සමඟ වචනයක් වත් කතා නොකල නිසා, කතාව ආරම්භයට මුල පිරීමට අදි මදි කරමින් වුන්නාය. ඉවසීමට බැරිම තැන උදේශනී කතාවට මුල පිරුවාය.
    “මෙත්මට නම් පිස්සු නේද?”
    “හ්ම්”
    යොමාලි කෙටි පිළිතුරක් දී නිහඬ වූවාය.
    පිස්සෙක්. නිකරුනේ විහින් ගුටි කෑවා බොරු වැඩකට”
    “හ්ම්” නැවතත් ඇගෙන් එම පිළිතුරමය
    “මොකද යොමාලි අනේ වෙලා තියෙන්නේ? හැම එකටම හ්ම් හ්ම් කියන්නේ”
    “හ්ම් හ්ම් තමා මට කියන්න වෙලා තියෙන්නේ මේ වැඩ දැක්කම”
    ඇය මෙත්මට දුන් පොරොන්දුව නිසා කිසිවක් කීමට බැරිය.
    “මොකද අනේ වෙලා තියෙන්නේ. කොහෙවත් ඉන්න පිස්සෙක් නිසා ඇයි මේ ඔයා අප්සට් එකෙන් ඉන්නේ?”
    උදේශනීගේ කතාවට යොමාලිට ඉවසුම් නැති විය. තවත් මෙය හංඟා සිටීමෙන් මෙය දික් ගැසෙයි.
    “මේ අහන්න උදේශනී.මේක මම කියන් නෑ කියලා මෙත්මට පොරොන්දු වුනා. නමුත් මේ සිද්දිය මෙහෙම කෙලවර වෙයි කියලා දන්නවා නම් මං කීයටවත් මේක නොකිය ඉන්නෑ.”
    මොනවද යොමාලි මේ කියන්නේ? මට තේරෙන් නෑ කිසි දෙයක්”
    “ ඔයා දවාලේ කෑව බත් එක ගත්තේ මම නෙමෙයි මෙත්ම. උඹ බඩගින්නේ කියලා දැනගත්තු වෙලේම අරන් දුන්නා. මම ගත්ත එකක් කියලා කියන්න කිව්වේ උඹ නොකාවි කියලයි.”
    “බොරු කියන්න එපා යොමාලි”
    “බොරු නෙමෙයි.මට මේක නොකිය ඉන්න බැරි තැනටම ඔයා ගෙනාවා. මට මෙත්ම ගැන දුකයි. වැරද්දක් කරලා දඬුවමක් හම්බුනා වගේ නෙමෙයිනේ. මංදා. මාත් මේකට වැරදිකාරියක් කියලා හිතෙනවා”
    එය ඇසී උදේශනීගේ මුහුණ මලක් පරවී යන්නාක් මෙන් මුකුලිත විය. ඇයට මෙය අදහා ගැනීමට නොහැකිව පුටුවේ පසුපසට හේත්තු වී කල්පනා කරන්නට වූවාය.මඳ වේලාවකට පෙර සිදූ වූ සියල්ල ඇයට නැවත් සිහි විය.හිස්ව තිබෙන මෙත්මගේ පුටුව දුටු විට ඇගේ ගත නිකං හිරිවැටී ගිය කලෙක මෙන් දැනෙන්නට විය. අද දිනට දෙවන වතාවටත් කඳුලැල ඇගේ දෙකම්මුල් තෙත් කරන්නට විය.යොමාලි ඒ දෙස බලාගෙන සිටියා විනා වචනයකදු නොකිව්වාය.
    “අනේ දෙයියනේ , ඇයි මම එහෙම කලේ”
    ඇය ඩෙස්කය මත ඔලුව තබා ගත්තාය.

    ගෙදර ගිය මෙත්ම ඇඳ සිටි ඇදුම් පිටින්ම ඇඳට පැන සිදුවූ සියල්ල අමතක වීමට යයි සිතා නින්දක් දැම්මේය. ගණන් පංතිය ගැන මතක් වුයේ හවස් වී නැවත නැගිට්ට පසුවය. පංතිය පටන් ගන්නා වේලාවේ කෑලිත් දැන් සෙවිමට නැත. එහෙත් ඔහු කොහේදෝ යන්නට කඩි මුඩියේ ඇඳුමක් දාගන්නට විය. බයිසිකලයට නැගි ඔහු හෙල්මටයත් දමාගෙන හිස හැරුනු අතේ යන්නෙකු මෙන් ඔහේ යන්නට විය. අවසානයේදී නැවතුනේ ඔහුගේ ප්‍රියතම ස්ථානයකය. ඒ නම් නිවසට මද දුරකින් පිහිටි කුඩා කන්දයි. එයට ඔවුන් විසින්ම ගල්කන්ද යනුවෙන් නමක් පටබැඳ තිබිනි. මංද යත් කන්ද මුදුනේ විශාල ගල් පොත්තක් තිබුණු හෙයිනි. ඉලංදාරියා මෙයට ආසා කලේ කල්පනා කර සිත නිදහස් කර ගැනීමට අගනාම නිස්කලංක තැනක් නිසාමය. මුදුනට නැගි ඔහු ක්ෂිතිජය දෙස බලාගෙන වාඩි වුයේ සියලු ප්‍රශ්න අමතක කොට යන අදිටන් ඇතිවය. වෙන ගෑණු ළමයෙක් එය කීවා නම් මෙලස වද නොවන බව මෙත්ම දනියි. නමුත් එය ඇයගේ මුවින් පිටවීම ඔහුට දරාගත නොහැකි විය. අනිත් ගැහැණු ළමුන්ගේ නොදුටු සුන්දරත්වයක් සැම විටම මෙත්ම ඇය තුලින් දුටුවේය. ප්රසිද්ධියේ ඇයව අගය නොකලත් ඇගේ බොහෝ ලද බොලඳකම් වලට ඔහු ඇලුම් කලේය. ඔහුගේ සිතට තවමත් මෙය වද දෙන්නේ එ නිසා වන්නට ඇත.

    හවස පංති නොපැමිණිම පිලිබඳ මෙත්මගේ යහලුවන්ට තිබුනේ අවිනිශ්චිත හැඟීමකි. මොන වැඩ කරත් ඔහු පාඩම් වැඩ අත පසු කරන අයෙක් නොවේ. ඊටත් වඩා උදේශනී ඒ ගැන දුක් වෙමින් සිටියාය.
    “මෙත්ම ඇවිත් නෑ වගේ නේද?”
    “මට පේන්නෙත් ඒ වගේ තමා.”
    “අපි මේකට මොකද කරන්නේ යොමාලි. මං එහෙම දෙයක් කිව්වේ කිසි දෙයක් දැනගෙන නෙමෙයිනේ.”
    “දැන හෝ නොදැන හෝ දැන් කියලා ඉවරනේ. උඹටම තමා මේවා බේරගන්න වෙන්නේ”
    “මට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.”
    උදේශනී කල්පනා කරේ මෙත්මට පසුවදා මුහුණ දෙන්නේ කෙසේද කියාය. නිකමටවත් ඔහු දිහා බැලීමට බිය වන ඇය මෙවන් තත්වයකදී කෙසේ නම් එය කරාවිද යන්න ඇයටත් තිබූ ප්රෙහෙලිකාවකි.
    පසුවදා හිමිදිරියේම ඇය පාසලට ගියේ යොමාලි සමඟ නැවතත් කල යුත්තේ කුමක්ද යන්න කතාබස් කරගැනීමටය. නමුත් අවාසනාවකට යොමාලි වෙනදා මෙන් කලින් පැමිණ සිටියේද නැත. යොමාලි මෙන්ම මෙත්මගේද සේයාවක් නොවිය. ඔහු කොහොමත් උදේ කැන්ටිමේ හෝ පිට්ටනියේ කරක් ගසයි. එම නිසා පැමිණිම නිශ්චය කල නොහැක. ඇය තනිව හිඳ කල්පනා කරන්නට විය. පංතියේ එකා දෙන්න පිරෙන්නට විය. යොමාලිද පැමිණියාය. නමුත් ඒවන විටත් මෙත්මගේ වග තුගක්වත් නොවීය. මෙත්මගේ පුටුව දකින විට ඇයට පෙර සිද්දිය මතක් වෙයි. මෙත්ම පැමිණියේ සීනුව නාද කර ගාථා කීමට ඔන්න මෙන්න තිබියදීය. වට පිට නොබැලූ ඔහු කෙලින්ම ගොස් ඔහුගේ ඩෙස්කය මත බෑගය දමා ගාථා කීමට සූදානම් විය.
    ගාථා කියා කෙලින්ම වැඩ පටන් ගත් නිසා ඇයට මෙත්ම ලඟට යාමට හැකියාවක් තිබුනේ නැත. අවසානයේදී ගුරුවරයා පංතියෙන් පිටතට යනතුරු සිටීමට ඇයට සිදු විය. ඇය කෙමෙන් කෙමෙන් මෙත්ම ලඟට ගියාය. ඊයේ සිද්ධිය සමඟ ඇය දැන් මේ කරන්න යන දේ ගැන අන් අයට වැටහීමක් තිබුනේද නැත.
    “මෙත්ම”
    ඉලංදාරියා ඇයව මායිම් කලේ නැත.
    “මෙත්ම” ඇය නැවතත් කතා කලාය.
    පුටුවෙන් නැගිට සිටි ඉලංදාරියා කිසිවක් නොකියා පංතියෙන් පිටතට ගියේය. බලාපොරොත්තු සුන් වූ ඇය නැවත ඇගේ පුටුව ලඟට ගියාය. මෙත්මගේ ක්රියා කලාපය ගැන යොමාලිට නම් පුදුමයක් නොවිනි. මංද යත් ඇය මෙත්ම ගැන නියමාකාරයෙන් දැන සිටියාය. ඔහුට යමක් එපා නම් එය කුමක් වුවත් ඔහුට කම් නැත. එය ඔහුට එපාමය. එය අද ඊයේ පටන් ගත් දෙයක් නොව කුඩා කල සිටම ඔහුගෙන් පිළිබිඹු වූ දෙයක්ය.
    “කෙමිල් මෙහෙ වරෙන්.” මෙත්ම කෙමිල්ව ලං කර ගත්තේය
    “දිග කොන්ඩේගෙයි මගෙයි තියෙන ප්රශ්නෙට උඹලා ගෑවෙන්න එපා හරි. මං එක්ක ඒ ගැන ආයෙ කතා කරන්නත් එපා. ඒ ගැන උඹලා ඒකි එක්ක කතා කරන්න යන්නත් එපා” ඔහුගේ වචන ස්ථීර විය.
    දිනෙන් දින ගෙවිනි. මෙත්මගෙන් සමාවක් නැති බව ඇයට තේරුම් ගොස් තිබිනි. ඇය තවත් ඔහුගෙන් සමාව ගැනීමට ගියේද නැත. මේ අතර නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙලට ලහි ලහියේ කට්ටිය සූදානම් වෙමින් සිටියි. මෙත්ම ඇතුලු කණ්ඩායමද බරටම වැඩ භාරගෙන තිබූ නිසා පංතියේ සිටීමට ඔවුනට කාලයක් නොවීය. ඔවුන් තමන්ට අයත් නිවාස ගොඩ නැගීමට සියල්ල සුදානම් කරන ලදියි. ගැහැණු ළමුන්ට තිබුණේ ඒවාගේ සැරසිලි කටයුතු භාරවය. මෙත්ම සහ උදේශනී නිවාස දෙකක සිටි නිසා ඔවුන් දෙදෙනාට මහත් අස් වැසිල්ලක් විය. මංද යත් ඔහුව දකින දකින් වාරයක් පාසා ඇය අපහසුතාවට පත්වන් බැවිනි. ඇය තම නිවාසයේ කටයුතු වලට ගිය මුල්ම දිනයේදී ඇයට වෙනත් අපහසුතාවකට මුහුණ දීමට සිදු විය.
    “ආ…. මෙයත් අපේ හවුස් එකේද?” නාරද පැවසුවේය.
    “චූටි… ඔයා අපේ හවුස් එකේ කියලා දන්නවා නම් මං කලින්ම ඕඩර් කරනවානේ” තවත් කටකාර කොල්ලෙක් පැවසීය.
    ඇය මහත් අපහසුතාවකට පත වූවාය. ඇය ඔවුන්ව දන්නා අයද නොවේ. බොහො විට මොවුන් කලා හෝ වානිජ කරන සිසුන් වන්නට ඇත. ඇය ඉක්මනින් එතනින් ඈත් වීමට සැදුවාය.
    “ආ…කොහෙද චූටි යන්නේ? එහෙම ලේසියෙන් යන්න දෙන්න පුළුවන්ද?”
    “ප්ලීස්. මම ආවේ හවුස් එකේ ඩෙකරේටින් වැඩ වලට. මට ඒ වැඩ ටික කරන්න යන්න දෙන්න” ඇය මුහුණෙන් තරහක් පෙන්වා ඇසුවාය.
    “අප්පට සිරි, මේකිගේ සයිස් බලපල්ලකෝ. අළුතෙන් නේද ආවේ? වැඩිය සද්ද එපා හරි”
    “එක්ස් කියුස්මී” ඇය බලෙන් මෙන් ඔවුන්ගෙන් මිදී වෙනතකට ගියාය.
    “වෙන කිසි කෙල්ලෙක් දාපු නැති පාට් එකක් මේකි මට දැම්මා එහෙනම්.දෙන්නම්කෝ වැඩක්” නාරද දත්මිටි කමින් තමාට කියා ගත්තේය. කෙසේ හෝ නාරද ඇයට ලංවීමට උත්සහ කරත් සෑම අවස්ථාවකම ඇය ඔහුව මග හැර ගියාය. වෙනත් වැඩක් යෙදී ඇති බව පවසා ඔහුගෙන් ගැලවීය. ඔහුව තඹේකටවත් මායිම් නොකලාය. එ නිසාම ඔහු ඇයට පාඩමක් ඉගැන්වීමට තරයේ සිතාගෙන වුන්නේය.
    “පුතේ, පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?” ගුරුවරියකගේ කටහඬ ඇසී මෙත්ම පිටිපස්ස බැලුවේය.
    “මොකක්ද මිස්?”
    “අපේ දුවට අද සනීප නෑ. එයා බාර අරන් තිබ්බා ඕකිඩ් මල් වගයක් හවුස් එකට. කවුද මේ උදේශනී කියලා ගෑණු ළමයෙක්ට දෙන්න කියලා කිව්වා. මට හොය හොය ඉන්න වෙලාව නැති නිසයි මෙත්ම පුතාට දෙන්නේ. ඔන්න වරද්දන් නැතිව දෙන්න හොඳද?” මෙත්මගෙන් උත්තරයක් ලැබෙනතුරු වත් නොසිට ගුරුතුමිය යන්නට ගියාය. කුමක් කරම්ද කියා මෙත්ම වට පිට බැලුවද හරි හමන් මිතුරෙකු සොයා ගැනීමට නොවීය. වගකීමකින් පැවරූ දෙයක් නිසා වෙන කා අතේවත් යැවීමටත් නොහැක.
    “ශික්. මටම මේ බාල්දිය වැටුනනේ”
    අහල පහල කෙමිල් තියා ජනින්දවත් නැත. අමාරුවෙන් හෝ උදේශනී වෙත යාමට මෙත්මට සිදු විය. ඔහු යන විට ඇය සැරසිලි කටයුතු වල නියැලී වුන්නාය. ඔහු ලඟට ගියද ඇයට කතා කලේ නැත. ඇය සමඟ කතා නොකිරීමට ඔහු තරයේ සිතා වුන්නේය. ඔහු ඇය දෙස බලා සිටින්නට විය. ඇය ගොක් කොල වලින් සෑදු කුඩා සැරසිලි බිත්ත්යේ ගසමින් සිටියාය. සියුම් ඇඟිලි තුඩු වලින් ගෙන ලතාවකට ඒවා බිත්තියේ සවිකරයි. වරෙක මිටිය ඇගේ ඇඟිලි තුඩුවල වදින්නට ඇත. ඇය “ඌයි” කියමුන් ඇඟිල්ල සූප්පු කරන්නට වුවාය. ටික වෙලාවක් එලෙසම සිට නැවත වැඩේ කරන්නට පටන් ගත්තාය. ඔහු පුදුම විය. ඇයට වට පිට ගැන ගාණක්වත් නැත. සමහර විට ඇය වුවමනාවෙන්ම මේ දේ කරනවා වන්නට ඇත. ටික වෙලාවකින් ඇය කරමින් සිටි දේ පසෙකලා බිත්තිය දෙස බලා සිටියාය. පසුව ඇය මෙත්මව සූදානමෙන් සිටි අයෙක් මෙන් පසු පසට හැරුණාය. මෙත්ම කලේ ඇය දෙස බලා සිටීම පමණි. ඇයද එලෙසම සිටියාය. මෙත්ම ඇයට මල් ටික දිගු කලේය. ඇය අන්ද මන්ද වී බැලුවේ මෙත්ම ඇයට මල් දෙන්නේ මංද යැයි බලමිනි. කුමන හේතුවක් නිසා හෝ ඇය එය අතට ගත්තාය. කොහෙදෝ සිට නාරද එතැනට පැමිණියේ වාසනාවකට හෝ අවසනවකට දැයි කිව නොහැක.
    “ අපි එක්ක ටිකක් කතා කරන්න බැරි අය වෙන කට්ටියන්ගෙන් මලුත් ගන්නවා එහෙනම්”
    ඔහු උදේශනීට ඇනුම් පදයක් කීවේට. මෙත්ම කිසි ගාණක් නොගෙන නැවත් හැරී පිට්ටනිය දිගේ නොපෙනී ගියේය. ඇය මල් ටික අතට ගත්තාය. ප්ලාස්ටික් මල් නිසා කල් තබා ගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතු නැත.මල් ටික දිග හැරුණු පසුව වැටුනු කඩදාසිය කියවීමෙන් ඇයට මේ මල් වල තේරුම වැටහිනි. නමුත් මෙත්ම ඇය කරා පැමිණ එය බාර දීම ගැන ඇයට සිතා ගැනීමට නොහැකි විය.
    පසුදා තිබුනේ එහි තීන්ත ගෑම් සහ අනෙකුත් අලංකරණ කටයුතු විය.අනෙකුත් නිවාස වල මෙන්ම උදේශනීගේ නිවාසයේද වැඩ කටයුතු ලහි ලහියේම සිදු වෙමින් තිබිණ. නාරද ඇතුලු ඔහුගේ සඟයන් උඩ නැගගෙන තීන්ත ගෑම අරඹා තිබිනි. උදේශනී සහ ඇගේ යෙහෙලියන් කිහිප දෙනෙකු තවත් සැරසිලි කටයුතු වල නිරත වී සිටියහ. නාරද සිටියේ හරියටම උදේශනීට ඉහළිනි. ඔහුට කුරිරු අදහසක් පහළ විය. තීන්ත බාල්දියේ නිල් පැහැ තීන්ත ඉතිරි වී තිබිනි. එක්වරම උඩ ගිය තීන්ත බාල්දිය උදේශනීගේ ඇඟට වැටිනි. එක්වරම පසුපසින් පැමිණි අතකින් උදේශනීව පිටුපසට ඇද්ද නිසා තීන්ත බාල්දිය ඇගේ ඇඟට නොවැටී බිම වැටිනි. නමුත් බිම වැටීමේදී විසිරුණු තින්ත ඇගේ ගවුමේ තැවරිනි. ඇය එක්වරම බැලුවේ ඇයව ඇද්දේ කවුරුන්ද යන්නයි.දඩබ්බර දෑසින් බලා සිටියේ වෙන කවුරුත් නොව මෙත්මය. ඔහුගේ දෑත් කිටි කිටියේ තද වෙමින් තිබින.
    “අරූ වැඩේ කෑවනේ” නාරද ලඟ වුන් එකාට කීවේය.
    “මචං මොකද කියන්නේ, නෙලමුද අල්ලං. කොහොමත් මූ උඹේ එකටමනේ අර අදින්නෙත්”
    නාරද නැග සිටි තැනින් බිමට බැස මෙත්ම ලඟට පැමිණියේය.
    “මොකද උඹ දත්මිටි කන්නේ?” මෙත්ම රවාගෙන සිටි නිසා නාරද ඇසුවේය.
    “ලැජ්ජ නැති වැඩ කරන්න එපා යකෝ” මෙත්මද කිසිවක් ගණනකට නොගෙනම පැවසුවේය.
    “මොනවද ලැජ්ජ නැති වැඩ?”
    “කරපු එකා දන්නවනේ ලැජ්ජ නැති වැඩ මොනවද කියලා. මීට පස්සේ ඒවා බෑ හරි”
    “ඇයි තමුසේ මොනවා කරන්නද නැත්තම්”
    “කරන දේ ගැන මම කිය කිය ඉන් නෑ”
    “එහෙමද? හා එහෙනම් කරමුකෝ බලන්න” කියමින් ඔහු උදේශනීගේ අතකින් ඇද්දේය. මෙත්ම මොහොතකට නිසල විය. නාරදගෙන් අත මුදවා ගැනීමට ඇය වැරෙන් දැඟලුවාය. අවසානයේ ඇය කඳුලු පිරි දෙනෙතින් මෙත්ම දෙස බැලුවාය. මෙත්මගේ දෑස ගිනියම් විය. වේගයෙන් ගිය දකුණු කකුල නාරදගේ බඩ හරහා වැදිනි. පසු පසට විසික් වී ගිය ඔහු බිම වැටිනි. ඔහුගේ තව සඟගෙයෙක් සහයට පැමිණියද මෙත්මගේ රළු බැල්මෙන් ඔහු එතනම නැවතිනි.
    “ගහපන් යකෝ. තොපි ගෑණුද තවත් බලං ඉන්නේ.” නාරද බඩ අල්ලගෙනම ඔහුගේ නැවතුන මිතුරාට බැන වදින්නට විය.
    එක්වරම නාරදේ මිතුරන් දෙදෙනෙක්ම මෙත්මට ගැසීමට ලංවිය. මෙත්ම එක් අයෙකුට ගැසුවත් පසු පසින් ආ අනෙක් කෙනා දුන් පහරට සමබරතාව නැතිවී බිම වැටුනේය. එවිට නාරදද ඇවිත් පහර දෙන්නට විය. උදේශනී හඬමින් බලා සිටියා විනා ඇයට වෙන කල දෙයක් නොවීය. කෙසේ හෝ නැගිට සිටි මෙත්මද ගැටුම ඇතෑරියේම නැත. නැවට නාරදගේ බෙල්ලෙන් අල්ලගත් ඔහු අත මිට මොලවා නාරදගේ මුහුණට ගැසීය. කෙසේ හෝ තුන් දෙනෙක් සමඟ පොර බදන එක ඔහු හට ලේසි පහසු කාරණාවක් නොවූයේ නැවත් එකෙක් දුන් පහරක් නිසා ඔහු ගොස් සදමින් තිබූ නිවාසයේ වැදීම නිසා පැත්තක් කඩාගෙනම ඔහු උඩට වැටීමයි. සිදුවූයේ නාරදවත් එතන සිටි කවුරුන්වත් නොසිතූ දෙයකි. පුවක් කොට වලින් රාමුව ගසන නිසා ඔහු මතට පුවක් කොට කිහිපයක් වැටී තිබින. ඔහුට ටිකක් අමාරු යැයි තේරුන නිසා නාරද සහ පිරිස ඉක්මනින් ඒවා ඉවත් කර දැමීය. උදේශනී සැනින් මෙත්ම ලඟට දුව ගියාය.
    මෙත්ම අමාරුවෙන් නැගිටීමට හැදුවද එය කිරිමට ඔහුට අපහසු විය. ඔහුගේ ඔලුව පැලී ලේ ගලමින් තිබුනු අතර එය දුටු නාරදට හීන් දාඩිය දැම්මේය. ඔහුට නැගිටීමට නොහැකි බව දුටු උදේශනී ඔහුගේ හිස තම උකුල මත තබාගත්තාය.
    “අනේ, කාට හරි ඉක්මනින් එන්න කියන්න” ඇය කෑ ගැසුවද ඇගේ මුවින් වචන පිට වුනේ කැඩි කැඩීය. ඇය පුලුවන් වෙර යොදා කෑගැසුවද ඇගේ මුවින් ශබ්දය පිට වූයේ නැත. එකෙකු දිව යනු පෙනිනි. මුහුණ පුරාම ලේ තැවරී තිබුණ නිසා ඇය ඉක්මනින් ලේන්සුව ගෙන ඔහුගේ මුහුණ පිස දැම්මාය.
    “කාට හරි ඉක්මනින් එන්න කියන්න. ගොඩක් ලේ එනවා”
    ඇය අමාරුවෙන් වචන ගලපා එවිට කිව්වාය. නාරදද එවිට දිව යන්නට විය.
    “අනේ ඇයි දෙයියනේ ගහගත්තේ” ඇය හඬමින් මෙත්මගේ ඔලුව අතගෑවාය. අමාරුව තිබියදී හෝ මෙත්ම නැගිට ගැනීමට වෙර දැරුවේය. නමුදු එය හුදෙක්ම වෙර දැරීමකට පමණක් සීමා විය.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ටික වෙලාවකින් ගුරුවරුන් කිහිප දෙනෙක් සිසුන් සමඟ එතනට පැමිණියහ. මුලින්ම කරේ මෙත්මව එම ස්ථානයෙන් එළියට ගැනිමයි. ඔවුන් මෙත්මව උස්සා මඳක් එහායින් තැබීය. උදේශනිගේ ගවුම නිල්පාටින් සහ රතුපාටින් නෑවී තිබුණි. ඇයට ඒ ගැන වගක්වත් නොවිනි. ඇය බිය වී වුන්නේ මෙත්මගේ තත්වය ගැනයි.
    “පුතේ ඔයාට නැගිටින්න පුළුවන්ද?”
    ඔහු තවත් දෙදෙනෙකුට වාරු වී අමාරුවෙන් නැගී සිටියේය. ඔවුන් ඉක්මනටම ඔහුව පාසලේ තිබූ ගිලන් කාමරයට ගෙන ගියහ. පසුව ඇඳේ නිදිකරවා ඔහුගේ නළල පැලී තිබූ තැනට බෙහෙත් දමනු ලැබීය. මැහුම් දෙකක් දැමීමටද සිදුවිය. ගිලන් කාමරය භාර හෙදිය සිටි නිසා සියල්ල පහසු විය.
    “පුතේ අපි ටික එළියට යමු මෙයාට ටිකක් රෙස්ට් කරන්න”
    “මං ටිකක් ඉන්නම් මිසී” උදේශනී ඇයගෙන් මෙත්ම ලඟ සිටීමට අවසර පැතුවාය.
    “ඒත් පුතේ. මෙයාට රෙස්ට් කරන්න ඕනේ”
    “මං කරදර කරන්නේ නෑ මිසී”
    “එහෙනම් කරදර නොකර ඉන්න ඕනේ හරිද?”
    “හා මිස්”
    ඇය හෙදිය ගිය පසු මෙත්මගේ ඇඳ ලඟට ගියාය. ඔහු ඇය දෙස වරක් බලා බිත්තිය අත බලා ගත්තේය. ඇගේ සිතේ ඒවන විට තිබූ දෑ මේ මේ යන්න විස්තර කළ නොහැක. ඇය ටික වේලාවක් ඔහු සමඟ සිට පසුව කාමරයෙන් පිටතට ගියාය.

    සිදුවූ දේ පිළිබඳ සත්‍යය තොරතුරක් ගුරුවරුන්ට හෝ දෙමාපියන්ට දැන ගැනීමට නොහැකි විය. මෙත්ම, නාරද හා උදේශනී පවා ඒ ගැන වචනයක් පැවසූවේ නැත. සිදුවූයේ බුරුලට බැඳ තිබූ රාමුවක් කඩා වැටීම යන්න අවසාන නිගමනය විය. සිද්ධිය එතනින් නිම වීම ගැන නාරද සතුටු වුනේ අන් අයටත් වැඩියෙනි.
    “උඹ මොකටද ඇත්ත සිද්දිය වැහුවේ?”
    “නිකං බොරුවට ප්‍රශ්න ඇතිකරගන්න ඕනේ නෑනේ බං. ඊට පස්සේ ගෙවල් වලිනුත් බර බරේ දානවා”
    “පලයන් යන්න. උඹ උදේශනීව බේරගන්න ඕනේ නිසයි ඔය මඟුල ඇතෑරියේ. මොකද උඹ කවුද කියලා අපි දන්නවානේ බං. වෙන වෙලාවක නම් උඹ මේ වෙද්දිත් වැඩේ ඉවරයක් කරලනේ. ඒ නිසා අපිට බොරු කරන්න හදන්න එපා මචං”
    “බොරු නෙමෙයි බං. සිරාවටම කේස් වැටෙන් නිසයි මොකුත් කිව්වේ වත් නැත්තේ”
    “ගිහින් කියපන් ඕවා කොන්ඩේ බැඳපු චීන්නුන්ට. අපි විශ්වාස කරන් නෑ”
    මෙත්ම තවත් ජනින්දව අස්වසන්නට ගියේ නැත.

    ක්‍රීඩා උළෙල අවසන් වූ පසු සුපුරුදු පරිදි පන්ති ආරම්භ විය. මාසයක් දෙකක් පමණ ගත වුනද මෙත්ම උදේශනී සමඟ වචනයක් වත් කතා කලේ නැත. ඒ ප්‍රශ්නයට අත දමන්න එපා යැයි කීයූ නිසා ඔහුගේ යාළුවන් ඔහුගෙන් ඒ ගැන විමසුවේද නැත. යොමාලි ඒ ගැන විමසන විටදීත් ඔහු පැවසුවේ ඒ ගැන කතා නොකරන ලෙසයි.
    “ප්ලීස් යොමාලී, මං කැමති නෑ ඔය ගැන කතා කරන්න”
    “ප්‍රශ්නයක් තියෙනවා නම් මුහුණ දෙන්න. බයගුල්ලෙක් වගේ ඉන් නැතිව”
    යොමාලි කී කතාවට මෙත්මට සිනා පහළ විය.
    “යොමාලි, ප්‍රශ්නෙට මුහුණ දෙන්න හොඳම විදිය මං දන්නවා. ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා”
    “ඒත් මෙත්ම”
    “මේ අහන්න. ඔයා මගේ එක්ක කැමති දෙයක් කතා කරන්න එන්න. ඔය මාතෘකාව නැතිව. ආයේ ඕක ගැන කතා කරන්න එනවා නම් නෑවිදින් ඉන්න එක හොඳයි” මෙත්ම තරයේ කියා එතනින් පිටවිය.
    උදේශනි සෑමවිටම සිටියේ කරකියා ගැනීමට නොහැකිවය. එක් අතකින් පරණ සිද්ධිය තවම සිතට වදයකි. මෙත්ම ඇයට ඒ ගැන දොස් පැවරුවා නම් ඇයට මේ තරම් සිතට වදයක් නොවන බව ඇය දැන සිටියාය. මෙත්මගේ මුරණ්ඩුකම හමුවේ ඇයට තවත් බැගෑපත්වීමටත් නොහැක. එයට ඇය කැමතිද නැත.
    “ආහා… කට්ටිය මොකද සිහියක් පතක් නැතිව එක්කෙනෙක් දිහාම බලන් ඉන්නේ” යොමාලි පසු පසින් සිටි බව ඇයට දැණුනේ නැත.
    “නෑ නෑ… මොකුත් නෑ. ඇය ලැජ්ජාව සඟවා ගැනීමට පොත් බෑගය ඇද්දාය”
    “ඕක හරියන වැඩක්ද බං. මංම කී පාරක් දැන් උගෙන් බැනුම් ඇහුවද උඹේ ප්‍රශ්නෙ නිසා”
    “මට එක පාරක් බැන්නා නම් කමක් නෑ යොමාලි. අඩු ගානේ හිතට නිදහසක් ඒකත්”
    “අනේ මංදා. උඹලටම හරි යන ප්‍රශ්න. විසඳුම තියෙන්නෙත් උඹලා දෙන්නා ගාවමයි”
    “යමු යමු. අනික් අය ලයිබ්රි ගිහින්. අපි ටික විතරයි පරක්කු”
    ඔවුන් දෙදෙනා යන විට මාතෘකාව කරගත්තේද මෙම ප්රශ්නයයි.
    “ඉතින් මට තියෙන ප්‍රශ්නේ මෙත්ම කතා නොකරන එකනේ. වෙලාවකට බලාගෙන ඉන්නවා. ඒ වුනාට කතා කරන්නේ නෑ වචනයක්වත්”
    “අනේ මන්දා. මිනිහා එක විදියක කෙනෙක්. උගේ හිතේ තියෙන ඒවා දෙයියෝ තමා දන්නේ”
    “දෙයියෝ කියද්දි මතක් වුනේ මම ලයිබ්රි එකෙන් ගෙදර ගෙනිච්ච පොත් ටික බෑග් එකේ. අද දෙන්න ගෙනාවේ. මේ අවුල හින්දා ඒකා ගන්න බැරි වුනා. යොමාලි යන්න. මං අරන් එන්නම් ඉක්මනින්.”

    ඇය නැවත් පන්ති කාමරය දෙසට දුව ගියාය. වටෙන් ගියොත් සෑහෙන්න දුරක් දිව යාමට සිදුවන නිසා ඇය කෙටි පාරෙන් යාමට සිතා කැන්ටිම පිටිපස්සෙන් ඇති පාර දිගේ දිව ගියාය. එහි අළුතෙන් කාණු කපා පස් ගොඩ කර තිබූ නිසා අඩිය තිබිය යුත්තේ පරිස්සමිනි. ඇය සමබර කර ගැනීමට දෑතද මදක් දෙපසට කොට ඉක්මනින් කණ්ඩිය උඩින් දිව ගියාය. හදිසියේම ඇය ඉදිරියෙන් මතුවූ රුවක් නිසා ඇය කණ්ඩිය මත නැවතීමට සිදු විය. අනපේක්ෂිත නැවතීම නිසා සමබරතාවය ගිලිහී ඇය කෑ ගසාගෙනම කණ්ඩියෙන් පහළ වළට වැටිනි.

    වේදනාවක් ගෙන දුනද ඇය නැගිටීමට තැත්කලාය. වළලුකර අසලින් සෑහෙන්න වේදනාවක් දැනෙන්නට විය. ඇය වට පිට බැලුවේ එකපාරටම පැමිණි කෙනා කවුද යන්නයි. කණ්ඩිය උඩ සිට ඇය දෙස බලා සිටියේ මෙත්මයි. ටික වෙලාවක් එහෙමම සිට ඔහු යන්නට අඩියක් තබා මඳක් නැවතී කල්පනා කරේය. පසුව කණ්ඩියෙන් පහළට බැසගත් ඉලංදාරියා කෙලින්ම පැමිණියේ ඇය වෙතටයි. කිසි කතාවක් නොකල ඔහු ඇගේ උරහිසින් අල්ලා නැගිට්ටවන්නට තැත් කලේය.
    “මගේ වළලු කර උලුක්කු වෙලා වගේ” ඇය වේදනාවෙන් කීවාය.
    කිසිවක් නොදෙඩූ ඔහු එක්වරම පහතට නැමී දෑතින්ම ඇයව හරහට ඔසවා ගත්තේය.
    “ඒයි පිස්සුද? කට්ටිය දකියි” ඇය ලැජ්ජාවෙන් කීවාය. කිසිවක් ගණන් නොගත් ඉලංදාරියා ඇයව ඔසවාගෙන කණ්ඩිය වටෙන් නැවත පාරට ගොඩවිය.
    “ඔයාට නම් ඇත්තටම පිස්සු” ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වී තිබිණි.
    ඔහු ඉක්මනින් පන්තිකාමරයට ගොඩ වී පුටුවකින් ඇයව වාඩි කෙරෙව්වේය.
    “මගේ වතුර බෝතලේ අරන් දෙනවාද?”
    වතුර බෝතලය ඇගේ බෑගයෙන් ගෙන ඇය අතට දී එහෙමම පහත් වී ඇගේ උළුක්කු වී ඇති කකුළ සෙමින් අතට ගත්තේය.
    “ඒයි ඔය මොකද කරන්නේ?” ඇය බිය වන්නට ඇත.
    ඉලංදාරියා සද්දයක් වත් නැත.
    ඔහු කලේ ඇගේ කකුලේ සපත්තුව සහ මේස් ගලවා පසෙකින් තැබීමයි. මේ ඔහු හා හා පුරා කියා යුවතියකගේ කකුලක් ස්පර්ශ කල ප්රථම අවස්ථාවයි. ඇගේ යටි පතුල් පවා බොහෝ සිනිදු යැයි ඔහුට සිතිනි. ඔහු ඇගේ වළලුකරින් අල්ලා කකුල කැරකැවූයේ උළුක්කු වී ඇත්නම් එවිට රිදුම් දෙන නිසයි.
    “ඌයි”
    ඇයට රිදෙන්නට ඇත. ප්‍රවේසමෙන් ඇගේ කකුල බිම තැබූ ඔහු නැගිට ගියේ ඇයට ප්‍රශ්නාර්ථයක් ලබා දෙමිනි.
    ඇය වේදනාව නිසා එතනටම වී සිටියාය. ටික වේලාවකින් ඔහු පැමිණියේ බැන්ඩේජ් රෝලක් සහ වින්ටජිනෝ ක්රීම් එකක්ද රැගෙනයි. ලඟ තිබූ පත්තර කැබැල්ලක් බිමට දමා වාඩී වූ ඔහු කලේ ඇගේ කකුල ඔහුගේ කකුලක් මත තබා වින්ටජිනෝ ගෑමයි.
    සෙමින් සෙමින් ඇගේ වළලුකර පිරිමදිමින් සිටින ඔහු ගැන ඇයට මහා දුකක් දැනිනි. ඇගේ ඇස් වලින් කඳුලු වැටෙන්නට ඇත්තේ ඒ හෙතුව නිසා වන්නට ඇත.
    “ඇයි මෙහෙම කරන්නේ” ඇය කැඩුනු හඬින් ඇසුවද ඉලංදාරියා එම කාර්යයේම නියැලී සිටියේය.
    “ප්ලීස් ඔහොම කරන්න එපා. එක්කො බනින්න. ගහන්න ඕනේ නම් ගහන්න. ඒත් ඔය විදියට නම් ඉන්න එපා”
    ඇගේ හැඬුම් තුලින් අමාරුවෙන් පැවසුවාය. නමුත් ඉලංදාරියා වචනයක් වත් පැවසුවේ නැත.
    “මගේ එක්ක තරහා නම් මාව රකින්න එපා.මට වෙන දෙයක් වෙන්න දෙන්න. කොහොමද දෙයියනේ මං ඉවසන් ඉන්නේ මේවා” ඇය මෙතරම් හැඟුම් බර තැනත්තියක් යැයි මෙත්ම සිතාගෙන වුන්නේ නැත. ඔහු ඇය දෙස මදක් බැලුවේය. ඇය අත්දෙකෙන් මූණ වසාගෙන් හඬනු දක්නට ලැබිණි.

    “උදේශනී!!! මේ මොකද මේ”
    ඇසුනු හඬින් තිගැස්සුනු මෙත්ම හැරී බැලුවේ පැමිණ ඇත්තේ කවුරුන්ද කියායි. පැමිණ සිටියේ යොමාලියි.
    ඔහුගේ හදවතට මද සහනයක් ලැබුණේ එහෙයිනි. මන්ද යත් වෙන කවුරුන් හරි ආවා නම් සිතන්නේ වෙනමම දෙයකි. උදේශනී ඉක්මනින් ඇගේ දෑස් වල කඳුලු පිස දමා ගත්තාය. යොමාලිට මෙතන සිදුවන්නේ කුමක්ද යැයි අංශු මාත්‍රයක වැටහීමක් තිබුනේ නැත.
    “මෙත්ම. කොහොමද ඔයා මේ….??”
    “මගේ කකුල ටිකක් උළුක්කු වුනා” මෙත්ම වෙනුවට පිළිතුරු දුන්නේ උදේශනියි.
    “ඔයා ආවේ නැති නිසයි බැලුවේ මම මොකද කියලා”
    මෙත්ම තව ටික වෙලාවක් වළලුකර පිරිමැද සීරුවට බැන්ඩේජ් එක වළලුකර වටේ එතුවේය. පසුව සීරුවෙන් කකුල බිම තබා නැගිට එළියට ගියේය.
    “මොකද බං වුනේ?”
    “ අතන කැන්ටින් එක ගාව කණ්ඩිය දිගේ දුවන් ගියා. මෙත්ම ඉස්සරහට ආව. නවතින්න ගිහින් වැටුනා පහලට”
    “තුවාලද?”
    “තුවාල වුනේ නෑ. කකුල අප්සට් ගියා. නැගිටින්න බැරුව ඉද්දි මෙත්ම වඩාගෙන ගෙනාව මෙහාට” ඇය යොමාලිගෙන් දෑස් වසන් කර පැවසුවාය.
    “මොකක්?”
    “ඔව්. මට ලැජ්ජත් හිතුනා. එපා කියද්දි උස්සන් ආවේ. පස්සේ වින්ටජිනෝ එකක් ගෙනත් ගාද්දි තමා උඹ ආවේ”
    “මරු දේවල්නේ දැන් වෙන්නේ” යොමාලි කට කොනකට ගත් සිනාවකින්ම පැවසුවාය.
    “මට තේරෙන් නෑ. මගෙ එක්ක වචනයක්වත් කතා කරන් නෑ. ඒත් මාව රකිනවා හැම තිස්සෙම. ඇහුවට කියන්නෙත් නෑ”
    “ඒක නම් ඇත්ත තමයි. ඒත් ඉතින් කවුද දන්නේ හිතේ තියෙන දේවල් මොනවද කියලා?”
    “හ්ම්” උදේශනී හුස්මක් පාකර හැරියාය.

    කාලප්ඡේදය ඉවර වුන පසු මෙත්ම පන්තියට පිවිසියේය. ඇය යොමාලිගේ කනට මොන මොනවද මුමුණා ඔහුගේ පුටුවෙන් හිඳගත්තේය. උදේශනීට මේ ගැන මහත් ප්රශ්නයක් විය.
    “මොනවද රහසින් කිව්වේ?”
    “උඹට හවස් වෙද්දි ඇවිදින්න පුලුවන් වුනොත් බැන්ඩේජ් එක ඔෆිස් එකට ගෙනිහින් දෙන්න කිව්වා. නැත්තම් ගෙදර ගිහින් හෙටම ගෙනත් දෙන්න කියලා”
    “හවසම දෙන්න පුළුවන් වෙයි වගේ. දැන් රිදෙන එක ටිකක් අඩුයි වගේ”
    “අත තිබ්බත් හරි රිදිල්ල කොහෙ ගියාද නේ. අනේ උඹටත් ඉතින් මං කියන් නෑ” යොමාලි ඇයට විහිළු කලාය.
    දිනෙන් දින ගේවි ගිහින් නැවත සැවොම ප්‍රබෝධමත් වුනේ ක්ෂේත්‍ර චාරිකාව යාමට සූදානම් වන විටයි.
    පංති පංති තනි තනිවම යාමට තිබූ අතර මෙත්මලාගේ පංතියෙන් තීරණය කරනු ලැබුවේ අම්බුළුවාව කන්ද නැඟීම සහ අඹේවෙල කිරි නිෂ්පාදනාගාරය බැලීමටයි. ගුරුවරයෙක් හා ගුරුවරියක් නඩය මෙහයවීමට තීරණය කල අතර උදැසන 7ට පිටත් වීමට යොදා තිබු අතර සියල්ලෝම වාගේ එයට සහභාගී වන බවක් පෙනෙන්නට තිබුණි.

    පිටත් වුන වෙලාවේ සිටම පසු පස සිටි මෙත්ම ඇතුළු පිරිස සිංදු කියන්නට පටන් ගත්හ. විවිධ විවිධ සිංදු කියා ඇති වූ පසු ඔවුන් ගෑණු ළමයින්ට තරඟකට ආරාධනා කලේ ගීතයෙන් ගීතය රස විඳිමටයි. එතරම් දුරක් නුවර සිට නොතිබුනද ඔවුන් සියල්ල ඉතා සතුටින් වට පිට නරඹමින් ගමන් කල අතර පසුව උදෑසන ආහාරය සැවොම වාගේ ලබාගෙන තිබුණු හෙයින් සියල්ලම කන්ද නැගීමට ආරම්භ කලහ. ගැහැණු ළමුන් ඉස්සර වී ගමන් කල අතර පිරිමි ළමුන් කෑකෝ ගසමින් විහිලු කරමින් පසු පසින් එන්නට විය. මදක් දුරට කන්ද නගින විට ඔවුනොවුන් මිශ්‍ර වූ අතර දෙපිරිසම සහයෝගයෙන් කන්ද නැග්ගහ. කන්ද මුදුනට පැමිණි පසු තීරණය කලේ ටිකක් විවේක ගෙනම කුළුණ නැගීමටයි.
    හිඳ ගැනීමට තබා තිබූ සිමෙන්ති බංකු වල හිඳගත් අතර මෙත්ම සහ කෙමිල් කලේ පරිසරය රස විඳිමයි. ඒ අතරතුර සමහරු තමන් ගෙනා රස කැවිලි අනික් අය සමඟ බෙදාගනු ලැබීය. උදේශනීද කිරි ටොපි ගෙනවිත් තිබූ අතර ඇය මෙත්ම ලඟට ගොස් එය පිළිගන්වනු ලබීය.ඔහු සහ කෙමිල් කැබැල්ල බැගින් ගත් අතර කෙමිල් ‘තැන්ක් යූ’ කීවද මෙත්ම සුපුරුදු ලෙස නිහඬතාවය රැක්කේය.
    “මොකද බං උඹ. බලපන් අඩූ ගානේ ඒකිගෙන් ගත්තු එකේ තැන්ක් යූ කියලා වත් කියන්න එපයි බං. මැනර්ස් නෑ කියලා හිතයි ඒකි”
    “කොහොම හිතුවත් මට මොකෝ බං”
    ඔහු කීවේ එපමණකි.
    ඔවුන් ටික වේලාවකින් කුළුණ මුදුනට නැගීමට පටන් ගත් අතර උදේශනි යොමාලි මෙත්ම සහ කෙමිල් අවසාන වශයෙන් පඩි පෙල නගින්නට විය. මුලදි නගින පිරිස උඩට ගොස් බසින අතරතුර ඔවුනට මුදුනට කරදරයක් නැතිව නැගීමට පුළුවන් වන නිසා ඔවුන් හිතා මතා පරක්කු විය.
    “මචං දිග කොන්ඩේ උඹේ ඉස්සරහින් යන්නේ. ඔන්න වැටුනොත් අල්ලගනින්” කෙමිල් ඔහුට විහිලුවක් කලේය. ජනින්ද කලින් අය සමඟ ගිය නිසා කෙමිල්ට තනිවම මෙත්මට විහිළු කිරීමට නොහැකි විය. මැද හරියට නගින විට සීතල සුලඟ වේගයෙන් ඔවුන් ස්පර්ෂ කරනු ලැබීය. මෙත්මගේ ගතේ හිරිගඩුද පිපුණි. නගින්න නගින්න පඩිපෙල් පටු වූ අතර මුලින් නැග්ග පිරිස බැස එනු දක්නට ලැබිනි.
    “අපෝ මොනවද බං උඹලා නාකි එවුන් වගේ තාම ගාටනවද?” ජනියා සැවොම හිනස්සුවේය.
    මදක් දුර යන විට යොමාලි පය ලෙස්ස වැටෙන්න ගිය අතර ඇය වාරු ගත්තේ උදේශනීව අල්ලාගෙනය. එවිට උදේශනීගේ සමබරතාව නැතිව ඇයවද වැටෙන්නට ගියේය. යොමාලිව කෙමිල් අල්ලා ගත් අතර මෙත්මට අසු වුනේ උදේශනීගේ ඉඟටියයි.
    “සොරි” ඇය හීනියට කියනු ඇසිනි. මුදුනටම ගිය පසු යාමට හැක්කෙ එක්කෙනා පසු පස එක්කෙනා බැවින් ඔවුන් එකා පසු පස එකා බැගින් මුදුනටම නැග්ගහ. මෙත්ම හාත්පස ආසාවෙන් නැරඹුවේය. එකිනෙකාට මාරු වන ස්ථානයේදී වැටෙයි යැයි වූ බිය නිසා උදේශනී මෙත්මගේ අත තදින් අල්ලා ගත්තාය. මෙත්ම එයට කිසි හැඟීමක් පෙන් වුයේ නැත.
    මඳ වේලාවක් ගියද ඇය අත ඇතෑරියේ නැත.
    “යොමාලි යංකෝ ඉස්සර වෙලා” ඇය යොමාලිට පැසුව අතර යොමාලි පුදුම වුනේ ඇය එසේ පැවසුවේ ඇයිද කියායි. නමුත් පසුපස හැරී විපරම් කරන විට ඇය දුරුවේ මෙත්මගේ අතින් අල්ලාගෙන පඩි පෙල බසින බවයි. ඇය සිනාවක් යොමා කෙමිල් සමඟ කතා කරමින් පඩිපෙල් බසින්නට ගත්තාය
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඇය මාර්ගයේ පටු බව නැති වූ වහාම මෙත්මගේ බාහුවෙන් අත ඉවතට ගත්තාය. මඟක් යනවිටත් ඔවුන් අතර කතා බහක් සිදු වුනේ නැත. කට්ටිය පහළට වී ඔවුන් එනතෙක් බලා සිටියහ. පසුව සියල්ල ලහි ලහියෙම පල්ලම බසින්නට වූයේ ඊලඟට කෑම සඳහා ග්රෙගරි වැව්තාවුල්ලට යාමටයි. දහවල් 1 පමණ වන විට ඔවුන් ග්‍රෙගරි වැවට ආ අතර ඔවුනට කෑම ගැනීමට පැය භාගයක කාලයක් දී තිබුනි. සියල්ලෝම කෑම බෙදා හදාගෙන කෑවහ. පිරිමි ළමුන් තුන් හතර දෙනා එක මුලක් බැගින් කන හෙයින් ඔවුනට බෙදා හදා ගැනීමට අවශ්යතාවක් වූයේ නැත.
    කිරි නිෂ්පාදනාගාරය නැරඹීමේදී ඒ ගැන විස්තර කියා දීමට වෙනම කෙනෙක් පැමිණි අතර ඔවුනට පැහැදිලිව හා සිත්ගන්නාසුළු ලෙස ඒ ඒ ක්‍රියාකාරකම් විස්තර කලේය. පසුව ඔවුන් දෙනුන් ගාල් කර ඇති පෙදෙසට හා තණ බිම් පෙදස නැරඹීමේද නිරත විය. සවස් යාමය වන විට සියල්ලන්ටම මදක් තෙහෙට්ටු ගතිය දැනෙන්නට විය. නමුත් පාසලට එන තුරුම ඔවුන් ගීත ගායනා කිරීම නම් මදකට හෝ නැවත්තුවේ නැත. රාත්‍රී 7.30 පමණ වන විට පාසලට පැමිණි පසු ඔවුන් දුක්බරව විසිර ගියහ. නමුත් යොමාලි හා මෙත්ම තනි වූයේ යොමාලිගේ පියාට හදිසි ගමනක් යෙදී ඇති නිසා යොමාලි මෙත්ම සමඟ ගෙදර පැමිණෙන බව පැවසූ නිසාය. කට්ටියන්ටම යන්නම් කියා පවසා අනෙක් පස හැරෙන විට උදේශනී ඔහුට අත වනනු පෙනිනි. ඔහු එ දෙස බලා නොදැක්කා මෙන් කිසිත් නොකර නැවත යොමාලි ලඟට ගියේය.
    “අපේ ගෙදරට පයින් ගිහින් බයික් එකේ යමු ඕගොල්ලන්ගේ දිහාට”
    “එහෙම හොඳයි. මං හින්දා කරදරේ නේද?”
    “මේ වෙලාවට වත් උදව්වක් නොකරන යාළුවෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද?”
    ඔවුන් මදක් දුර වචනයක්වත් නොදොඩා ගියහ. නමුත් යොමාලිගේ හිතේ තිබූ ප්රශ්නයක් ඉදිරිපත් කරන්නට කලින් සිටම සිතා වුන්නාය.
    “මෙත්ම මෙහෙම ඇහුවට වැරදියට හිතන්න එපා”
    “කොහොමද?”
    “මෙත්ම ඇයි උදේශනී එක්ක වචනයක් වත් තාම කතා නොකරන්නේ?”
    “මං කියලා තියෙනවා නේද මගේ එක්ක ඕවා කතා කරන්න එපා කියලා?”
    “වඩාගෙන යන්න හොඳයි නම්,කකුල් මසාජ් කරන්න හොඳයි නම් කතා කරාම ඇයි මොකද ඒ ගැන?”
    “මේ අහන්න යොමාලී. ඔයත් දන්නවා මාත් දන්නවා සිද්ධ වුනේ මොකක්ද කියලා. මං හිතන්නේ ඔයයි මමයි විතරමයි දන්නවා ඇත්තෙ වුනේ මොකක්ද කියලා. ඔයා හොඳටම දන්නවා වැරද්දකට දඬුවම් විඳින්න මම පොඩ්ඩක්වත් බයක් අකැමත්තක් නෑ. නමුත් වැරද්දක් නොකර දඬුවමක් දෙද්දී මම ඒව ගැන හිතන්නෙත් කොහොමද කියලා දන්නවානේ. මොකද අපි අද ඊයේ ඉඳලා දන්න අය නෙමෙයිනේ. ඒක මගේ හැටියක්”
    “ඒත් මේක අස්වාභාවිකයි වගේ තේරෙන් නැද්ද?”
    “මොකක්ද අස්වාභාවික?”
    “ඒ ළමයව මඟ ඇරලා ඉන්නවා නම් ඒක එක දෙයක්.මෙත්ම එහෙම නෙමෙයිනේ”
    “දැන් යොමාලි කියන්නේ මට උදේශනීව මඟ අරින්න කියලද? හරි මං මග ඇරලා ඉන්නම්. ප්‍රශ්නයක් නෑ”
    “ඕකනේ ඉතින් ඔයත් එක්ක බැරි. පොඩ්ඩ ඇත්තම් යන්නේ වෙන කොහෙද. එහෙම නෙමෙයි. මම නම් කියන්නේ ඔය දේවල් අමතක කරලා කතා කරන්න කියලා”
    “අපි තිරිසන්නුනේ යොමාලී. තිරිසන්නු එක්ක කන්න, කතා කරන්න හොඳ නෑනේ”
    “පිස්සු අනේ ඔයාටත්. ඒ ළමයට තරහා ගිය නිසා එහෙම කියන්න ඇත්තේ.”
    “තමන්ගේ වගේම අනික් අයගෙත් තියෙන්නේ රිදෙන හිතක් කියලා ඇයි දන් නැද්ද ඔච්චරටම”
    “තරහා ගියාම ඕවා ඔලුවට එන් නෑ මෙත්ම. පේන් නැද්ද ඔයාට තරහා ගියාම. කල්පනා කරලා බලන්න”
    “බලමුකො. තිරිසන්නුයි මනුස්සයොයි එකට කන කාලෙක එයා එක්ක කතා කරයි සමහරවිට”
    “ඒක මේ කපේ වෙයි කියලා හිතනවද?”
    “වුනත් එකයි මට නැතත් එකයි.”
    එයින් පසු ඇය තවත් ඒ ගැන හාරාවුස්සන්නට ගියේ නැත, දැනටමත් බොහෝ දේ ඔහුගෙන් අසා ඇත. තවත් මානසිකව ඔහුට කරදර කිරීම නොමනාය.
    “බයික් එකේ හුළන් නැත්තම් අපේ දිහා තමා නවතින්න වෙන්නේ”
    “ආපෝ එහෙම බෑ. පයින් හරි යනවා”
    “ඉතින් මගේ කාමරේ ඉන්න පුළුවන්නේ”
    “මට බෑ එක ඇදේ නිදා ගන්න”
    “කවුද හලෝ ඔයාට නිදා ගන්න ඇඳ දෙන්නේ?? ඕනෙම නම් පැදුරක් දෙන්නම් බිම එලාගෙන නිදා ගන්න”
    “අනේ යනවා යන්න”
    ගෙදරට පැමිණ හෙල්මට් දෙකත් රැගෙන ඔහු යොමාලිට එකක් දී අනෙක ඔහු පැලඳගත්තේය.
    “හා හා. දැන් කට්ටිය අල්ලගන්න හයියෙන්”
    “අනේ මේ හයියෙන් නම් යන්න එපා ඔන්න”
    “පිස්සුද හලෝ මොන හයියෙන්ද? අනූවට වැඩියෙන් යන් නෑ”
    “අනේ මේ. මාව බස්සලා යන්න එහෙනම්”
    “යං යං පිස්සු නැතුව. මං හෙමින් යන්නම්”

    යොමාලිව ගෙදරට ඇරලුව ඔහු නැවත ගෙදර එන්නට පිටත් වුනේය. උදේශනීගේ නිවස පිහිටා තිබුනේද එම මාර්ගයේමය. ඇගේ නිවස අසලින් යන විට ඉබේටම වාගේ වේගය අඩු විය. ඔහු විපරම් කලේ ඇගේ චායාවක් වත් පෙනේද යන්නයි. නමුත් හැල හොල්මනක්වත් නැත. සමහර විට ගමන් මහන්සිය නිසා ඇය නින්දට යන්නට ඇත. ඔහු ගෙදර ඇවිත් ඉක්මනටම නින්දට ගියේ ඇඟේ තිබු තෙහෙට්ටු ගතිය නිසාවෙනි.
    පසුදා සෙනසුරාදා දවසක් වුවද උදෑසනම නැගිටින්නට වූයේ පන්ති යාමට තිබූ හෙයිනි. රත්‍රීයේ දැමු නින්ද නිසා ඇඟේ තෙහෙට්ටු ගතිය බොහෝ සෙයින් අඩුවී තිබිණි.

    “මචං ඊයේ මරු කපල් එකක් හිටියානේ අම්බුළුවාවේ” කෙමිල් මෙත්මට බයිටක් දීමට කට හදනා බව ජනින්දට වැටහිනි.
    “අම්මට සිරි. අපි දැක්කේ නෑනේ. කොයි හරියෙද?”
    “උඩම වගේ බං. බලන්න එපැයි. අතින් අල්ලගෙන. පිස්සු හැදෙන සඳ”
    “ශික්. මං කලින් ගියානේ බං. අපරාදේ හිටියා නම් බලා ගන්න තිබ්බා.”
    “උඹ කාටද හින්ට් ගහන්නේ?” මෙත්ම ඇසුවේය.
    “ගිය අය දන්නවා ඇතිනේ”
    “අල්ලගන්න දෙයක් නැතිව කෙනෙක්ගේ අතින් අල්ලපු පලියට කපල් එකක් කියන සිරිතක් තියෙනද බං. අනික උදේශනී එක්ක බලද්දි මං කවුද බං. ඒකිට දැනටත් කොල්ලෙක් ඇති. මෙහාට එන්න කලින් හිටපු පැත්තේ සිද්ධි අපි දන් නෑනේ.”
    “කොල්ලෙක් ඉන්නවා හෝ නැතා හෝ අපිට අදාල නෑ. අපි දැක්ක දේ කිව්වේ”
    “උඹලගේ මනස්ගාත බං. විකාර නැතිව මෙන්න මෙහෙන් ඉඳින්”
    “හරි හරි මස්සිනා. අපි ඉන්නෙත් මෙහෙමනේ”
    සඳුදා පාසලේදී කට්ටිය ගමන මතකවර්ජනය කරමින්, උසුළු විසුලු කරමින් සිටි අතර පන්තිභාර ගුරුවරයා ලිපියක්ද රැගෙන පන්ති කාමරයට පැමිණියේය.
    “ළමයි, පේරාදෙණිය විශ්ව විද්යාලෙන් පවත්වන තරඟයක් තියෙනවා.විද්‍යා දැනුම මිනුම තරඟයක්. අපේ විද්‍යා අංශෙ පන්ති 5න් එක පංතියකින් ගැහැණු ළමය පිරිමි ළමයා ගානේ දෙන්නෙක් තෝරලා 10 දෙනෙක් යවනවා. මේ පංතියෙන් තෝරන්න යන්නේ ඊලඟට දෙන ඇඟයීමෙන් ලකුණු වැඩියෙන්ම ගන්න ගෑණු ළමයටයි පිරිමි ළමයටයි.ඊලඟ මාසේ දෙවෙනිදා තියෙන්නේ.”
    “අනේ බං අපිට නම් ඕවට යන්න බෑ. මොන මඟුල් අහයිද දන් නෑනේ.” ජනියා ගත් කටටම පැවසීය
    “පොඩි ට්‍රයි එකක් හරි දීපන් බං. කොහොම වෙයිද දන් නෑනේ.”
    කෙසේ හෝ ඇගයීමට ළමුන්ගෙන් පිළිතුරු සැපයුන අතර වැඩිම ලකුණු ලබා සිටියේ පිරිමි ළමුන් දෙදෙනෙකි. නමුත් ගහැණු ළමයෙක් අනිවාර්ය කර ඇති නිසා වැඩිම ලකුණු ගත් ගැහැණු ළමයාට එම ස්ථානය හිමි විය. එම ස්ථාන දෙක අහඹුවෙන් හෝ මෙත්මට හා උදේශනීට හිමි වී තිබුණි.
    “ඔයාලට රැස්වීමකට කතා කරයි ලබන සතියේ. මතක ඇතුව සහභාගී වෙන්න.” පන්ති භාර ගුරුතුමා ඔවුනට පැවසීය.
    ඊලඟ මස දෙවෙනිදා වන විට ළමුන් 10 දෙනා සූදානම් වී සිටි අතර ඔවුනට උපදෙස් ඒ ඒ ආකරයට ලැබී තිබිණ.
    “මේක කණ්ඩායම් තරඟයක් විදියට තමයි පැවැත්වෙන්නේ. දෙන්නා දෙන්නා ඉන්න කණ්ඩායම්. හැම කණ්ඩායමකටම ප්‍රශ්න් පත්‍රයක් ලැබෙනවා. පැය 3ක එකක්. ඒක සාකච්ඡා කරලා විසඳන්න ඕනේ. කෑම ගෙදරින් ගේන්න. ත්‍යාග ප්‍රධාන උත්සවේ එදාම තියෙන නිසා එන්න හවස් වෙයි”

    සාකච්ඡා කර විසඳීම යන්න ඇසූ විට උදේශනීට තරු පෙණිනි. මෙත්ම සමඟ කෙසේ සාකච්ඡා කරන්නද? එන විදියකට මුහුණ දීමට ඇය සිතා ගත්තාය.
    සාකච්චා කර තිබූ පරිදි සියල්ලෝම 9 වන විට පාසල අසලට පැමිණ සිටි අතර මෙත්ම කිසිවක් නොමැතිව හිස් අතින් පැමිණ සිටීම උදේශනිට ප්රෙහෙලිකාවක් විය. නමුත් තවකෙකු ඇසූ ප්රශ්නයක් නිසා ඇයට එහි පිළිතුර ලැබිනි.
    “මොකද බං උඹ අත්දෙක වන වන ආවේ?”
    “ගේන්න විශේෂ දෙයක් නෑනේ බං. අයි ඩී එක පර්ස් එකේ. එච්චරනේ ඕනේ”
    “ඇයි යකෝ කෑම එකක්, වතුර බෝතලයක්?”
    “කැන්ටින් තියෙන්නේ බං එහෙ ඇති වෙන්න”
    “එහෙනම් ඉතින් අවුලක් නෑ”
    පේරාදෙණිය බසයට නැගි සියලු දෙනා හැකි හැකි අයුරින් ඉඳගත්හ. සියල්ල මෙහෙය වීමට රසායන විද්‍යාභාර ගුරුතුමා සිටි නිසා එය ළමුන්ට මහත් අස් වැසිල්ලක් විය. ළමුන් සියල්ල කණ්ඩායම් ලෙස හිඳ ගත් නිසා මෙත්මට සිදු වුනේද උදේශනී අසල හිඳ ගැනීමටයි. ඔහු මේ හාහා පුරා කියා තම වයසේ ගැහැණු ළමයෙක් සමඟ එක අසුනේ යන පළවෙනි අවස්ථාව විය. සබකෝලයක් ඇති නොවුනත් පැහැදිලි කිරීමට අමාරු සිතුවිල්ලකින් ඔහුගේ සිත පිරී ගොස් තිබිණි.
    ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සිතූ තරම් අමාරු නොවිනි. මන්ද යත් දෙදෙනාම සැලකිය යුතු ලෙස දැනුම තිබූ අය බැවින් සාකච්චා කිරිමට දෙයක් නොතිබුණ ගානය. පැය 3 කට කලින් ප්‍රශ්න පත්‍රය ඉවර කල නිසා ඔවුන් දෙදෙනාට යන්නට තැනක්ද නොවීය. නැගිට යන්නටද නොහැක, ඒත් බලා සිටීමටද නොහැක. කෙසේ හෝ විනාඩි කිහිපය ගෙවී ගියේ වෙනදාට වඩා හෙමින් යැයි මෙත්මට සිතුනි. කාල වේලාව ඉවර වූ වහාම මෙත්ම නැගිට එළියට ගියේය. උදේශනි කලේ බලා හිඳිම පමණි. ඔවුන් සමඟ ගිය අනෙක් අයද එළියට එන තෙක් ඇය සිටියාය. පසුව විවේක කාලයක් ලැබුණ හෙයින් ඔවුන් කෑම සඳහා කැමති කැමති තැන් වලට ගියහ. උදේශනීට මහා පාලුවක් දැනින. අනෙක් ළමුන් සියල්ල ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න ගැන කෑකෝ ගසමින් සිටියහ. ඇය පමණක් තනි වී සිටියාය.
    ඇය වෙනමම පාලු තැනක බංකුවක් ලඟට ගියේ බිඳුනු සිතෙනි. ඇයට කන්නට කැමැත්තක් තිබුනේද නැත. මවට අසනීප නිසා උදේ පාන්දර නැගිට කෑම ඉව්වේද ඇයයි. ඇය බංකුවේ හිඳගෙන ඉස්සරහා තිබූ පොකුණ දෙස බලා සිටියාය. ඉලංදාරියා ඒ දෙස බලා සිටින්නට ඇත. උදේශනී සිතුවේ ඔහු කැන්ටිමට යන්නට ඇති කියාමුත් ඔහුද උන්නේ කිසිත් කිරීමට කැමැත්තක් නැතිවමය. කුමක්දෝ හේතුවක් නිසා ඔහුද ගොස් ඇය ලඟින් වාඩි විය. ඔහු කැන්ටිමට ගොස් නැති බව ඇයට වැටහිනි. මන්ද යත් මෙතරම් ඉක්මනින් කෑම කා එන්නට නොහැකි බැවිනි.

    ඇය කිසි කතාවක් නොමැතිවම ඇගේ සහ මෙත්මගේ මැද්දෙ තිබෙන ඉඩ කඩෙහි බත් පත දිග හැරියාය. බත්පත් දිග හරින විට මෙත්මට මතක් වූයේ පරණ සිද්ධියයි.
    ‘මිනිස්සුයි තිරිසනුයි එකට කන් නෑනේ මෙත්ම’ ඔහුට ඒ වදන මතක් විය. ඔහු එතනින් නැගිට යන්නට හැදුවේය.ඔහුගේ හැටි දන්නා නිසා උදේශනි ඔහුගේ අතකින් අල්ලා ඔහු යන එක නැවැත්වූවාය.
    “ඉන්න”
    අත ගසා දමා යන්නට සිතුවත් එය නොහොඹිනා යැයි ඔහුට සිතිනි. එ නිසා ඔහු කුමක්හෝ වන්නට කියා සිටීමට තීරණය කලේය. ඇය වචනයක්වත් නොකියා බත්පත අනන්නට පටන් ගත්තාය. ඇත්තය. ඔහුට කීවත් කන්න කියා, ඔහු නොකන බව ඇය සක් සුදක් සේ දැන වුන්නාය. නමුත් කෑම ටික අනා පළමු කට ලං කලේ ඇය මෙත්මගේ මුවටයි. සිදුවන්නේ කුමක්දැයි කියා ඔහුට වැටහීමක් තිබ්බේ නැත. එහෙයින් ඔහු ගල් ගැසී මෙන් බලා වුන්නේය.
    “කන්න”
    ඔහු තවමත් ඇය දෙස බලා සිටියි.
    “මගේ අතින්මයි හැදුවේ. මං දන්නවා එදා අරම දෙයක් කියලා අද මෙහෙම දෙයක් කරන එක මෝඩකමක් කියලා. කමක් නෑ. කන්න. කෑවේ නැත්තම් මං කන්නෙත් නෑ”
    “කන්න ඉතින්” ඇය ඔහුගේ මුව ලඟටම අත ලං කළෙය. මොන හේතුවකටදෝ ඉලංදාරියා ඒ බත් කට මුවට දමා ගත්තේය. ඔහු බිම බලාගෙන බත්කට කන්නට විය.ඔහු සෑහෙන්න වෙලා කල්පනා කරමින් හප හප සිට පසුව එය ගිල්ලේය. ඔහු කුමක් හෝ පැවසීමට කට සාදන බව පෙනිනි
    “කෑම ටික රහයි”
    ඒ මාස ගණනකට පසු ඉලංදාරියා ඇයට කී පළමු වචන කිහිපය විය. ඇගේ නිල් නෙතු වලට කඳුලු ආවේ නිරායාසයෙනි. ඇයට එවෙලේ හඬන්නට සිතුනත් ඇය අමාරුවෙන් හෝ වාවාගෙන සිටියාය. ඇගේ දෙකම්මුල් හරහා කඳුලු බේරෙනු මෙත්ම බලා සිටියේය.
    “මාස කීයකට පස්සෙද මේ”
    “හරියටම කියනවා නම් මාස 5යි දවස් 22යි” මෙත්ම පැවසුවේය.
    ඔහු එය හරියටම මතක තබාගෙන වුන්නේ ඇයි දැයි කියා උදේශනී පුදුම වූවාය.
    “ඇයි එක පාරටම කතා කරන්න හිතුනේ?”
    “තිරිසන්නු එක්ක කන දවසට කතා කරන්න කියලා හිටියේ” මෙත්ම පැවසුවේ අහක බලාගෙනය.
    “ප්ලීස් ඔය කතාව අදින් පස්සේ කවදාවත් ආයේ මතක් කරන්න එපා. පොරොන්දු වෙන්න. මතක් කරන් නෑ කියලා”
    “ආයේ කියන් නෑ”
    ඇය බත් පතෙන් වැඩි හරියක් කැව්වේ මෙත්මටයි. ඇයට බඩගින්න කොහෙන් ගියාද නැත. මෙත්මද හිතුවාට වඩා කෑවේ ඇය කැවූ නිසා වන්නට ඇත. ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ඔවුන් දෙපළ තෙවන ස්ථානය හිමි කරගත් බවට කියවිනි. දෙදෙනාටම ලෝකඩ පදක්කම් දෙකකුත් සහතික පත් දෙකකුත් ලැබිණි. අනෙකුත් සාමාජිකයන්ගෙන් සුභ පැතුම්ද ලැබිණි.
    නැවත එන ගමනේදී ඔවුන් අතර කතා බහක් සිදු නොවුන ගාණය. ඔවුන් තම තමන්ගේ ලෝකවල තනිවී සිටියහ. උදේශනීගේ සිතට මාහ බරකින් නිදහස් වූවා සේ දැණිනි.

    “ඊයේ හරි වැඩේනේ වුනේ” යොමාලිව පාසලේදී හමු වූ විගස උදේශනී කලින් දින සිදුවීම කීමට උත්සුක වූවාය.
    “දෙන්නා කතා නැතිව ලියලා 3 වෙනි තැන ගත්තා”
    “ඒකත් එකක්. යොමාලි කොහොමද ඒක දන්නේ?”
    “ඊයේ මොකද වුනේ අහන්න මෙත්මට මම කතා කරා එතකොටයි කිව්වේ”
    “මොනවද කිව්වේ?”
    “ඕක තමා”
    “ඕක විතරද කිව්වේ?”
    “ඔව්”
    “වෙන මොකුත්ම කිව්වේ නැද්ද?”
    “ඊයේ මෙත්ම මං එක්ක කතා කලා”
    “මොකක්?”
    “ඔව්” ඇය ඊයේ දින සිදූ වූ දෙය අකුරක් නෑර යොමාලිට පැවසීය.
    “හරි හොරෙක් තමා. මට වචනයක්වත් කිව්වෙ නෑනේ මූ”
    ‘අරූ මූ කියන්න එපා එයාට”
    “අප්පා දැන් බලහල්ලකො තියෙන වෙනස”
    ඇය සිනාසුනා විනා කිසිත් කිව්වේ නැත.
    නොදැනිම සති කිහිපයක් පොත පත අතරේ සිරවිනි. සියල්ල යහ අතට හැරී තිබුණි. උදේශනි, මෙත්ම සතුටින් එදිනෙදා කටයුතු වල නියැලී උන්හ.
    “මට හෙට ඔයාව ටිකක් හම්බවෙන්න ඕනේ” මෙත්ම හදිසියේම පැමිණ උදේශනීට පැවසීය.
    “හෙට?”
    “ඔව්”
    “ ඇයි මේ හදිස්සියෙ?”
    “හදිස්සියක් නෑ”
    “ම්…… හෙට කීයටද?”
    “4ට විතර. ගෙදරින් අවුලක් නෑනේ?”
    “ගෙදරින් නම් අවුලක් නෑ”
    “4ට අතන ආපිකෝ එක ගාව ෆාමසි එක ඉස්සරහින් ඉන්න”
    “මොකටද?”
    “නිකමට”
    “නිකන් වෙන්න බෑ”
    “ඔයා එන්නකෝ”
    ඇය ප්‍රෙහෙලිකාවක් වුන්නේ මෙත්ම හදිසියේම එන්න කිව්වේ ඇයිද යන්නයි. නමුත් ඇය ඒ ගන නොසිතා ඔහු හමුවීමට ගියාය. පුදුමයකට ඔහු පැමිණියේ බයිසිකලයෙනි. හෙල්මට් එක උදේශනී අතට දෙන විට ඇය ඔහුට රැව්වාය.
    “දැන්වත් කියන්නකෝ යන්නේ කොහෙද කියලා?”
    “ගියාම බලමු”
    “කියන්න. මං අම්මව ශේප් කරන් ආවේ අමාරුවෙන්. අක්කා තමා බේරගන්න ඉන්නේ හැමදාම”
    “අක්ක මට සප් එක දෙනවා කොහොමත්” මෙත්ම කොලරය උස්සා පැවසීය.
    මෙත්ම සහ උදේශනී අතර කුමක් හෝ හුටපටයක් තිබෙන බව උදේශනීගේ අක්කා දැන සිටියාය. මෙත්ම ගැන දැනගත් පසු ඇය ඔහු ගැන පැහැදී සිටි නිසාඒ ගැන නැඟනියට කිසි දොසක් කීවේ නැත.
    ඔහු අරෙහෙන් මෙහෙන් දමා ගියේ ඔහුගේ අර ප්‍රියතම ස්ථානයටය. ගල් කන්දටය.
    “එන්නකෝ නගින්න මේක උඩට”
    “අම්මෝ එච්චර උඩ?”
    “නැග්ගම තේරෙයි එච්චර උස නෑ කියලා”
    ඔවුන් දෙදෙන එයට ගොඩ වුනහ. පළමු වර නිසා උදේශනී මදක් තිගැස්සී වුන්නාය.
    “ෂා. හරි ලස්සනයි මෙතන. අව්වත් නැති නිසා ශෝක්” ඇය හාත්පසට අත දිගු කර පැවසුවාය.
    “ඒකනේ කියන්නේ” ඔවුන් දෙපළ වාඩි විය.
    “ඉතින් දැන් ඇයි එන්න කිව්වේ?”
    “මෙන්න මේකට” යැයි පවසා මෙත්ම උදේශනීගේ උකුලේ හොවා හොඳට හරි බරි ගැහී බිම දිගාවිනි.
    “අපෝ. ඔච්චරටම ආසද?” ඇය ආදරයෙන් මෙත්මගේ හිස පිරිමදිමින් ඇසුවාය.
    “නැත්තම්. හැමදාම ඉන්න තිබ්බ නම් කියලා හිතෙනවා”
    “එහෙනම් ඉමු හැමදාම”
    “හොඳට හිටියි හැමදාම හිටියොත්”
    “ඇයි?”
    “ඇයි කියන්නේ විභාගයක් කියලා දෙයක් එනවා නේද?”
    “එනවා….. ඉතින්?”
    “ඉතින් කියන්නේ හැමදාම මෙහෙම හිටපුවම ඒකට ලියන්නේ මෙහෙම හිටපු ඒවා ගැනද?”
    “එහෙම ලියන්නත් හිතෙනවා දැන් නම්”
    ඔවුන් ඔවුන්ගේ ලෝකයේ බොහෝ වේලා තනිවී සිටියහ. උදේශනීව ගෙනත් ඇරලවා මෙත්ම කෙමිල්ට වහා දුරකථන ඇමතුමක් ගත්තේය.
    “හෙලෝ”
    “මචං මං මෙත්ම”
    “ඇයි මචෝ?”
    “නෑ බං. මං උදේශනීට මගේ හිතේ තියෙන දේ කියන්න කියලා බැලුවේ”
    “ගොනෝ. තව මොන හිතේ තියෙන මඟුල් කියන්නද? තොපි දෙන්නා දැනට ඉන්නෙත් බැඳපු උන් දෙන්නෙක් වගේනේ”
    “නෑ බං. මං තාම ඒකිට ආදරෙයි කියලාවත්, ඒකි මට තාම ආදරෙයි කියලාවත් නෑ”
    “හරියට ආදරේ කරනවා නම් කිය කිය ඉන් නෑ බං. වචන වල නෙමෙයිනේ ආදරේ තියෙන්නේ”
    “එහෙම නෙමෙයි බං. එක පාරක් හරි එහෙම කියනකන් හිතට අවුල් බං. උඹටත් තේරෙයි වුන දවසකට”
    “දැන් උඹ මොකක්ද කරන්න හදන්නේ?”
    “මගේ උපන්දිනේ බං අනිද්දා. එදාට කියන්න කියලා ඉන්නේ”
    “හරි. උඹට මගෙන් මොනා හරි උදව්වක් ඕනේ නම් කියපන්. මං කරන්නම්”
    “උදේශනිට තෑග්ගක් වගේ මොකක් හරි ගන්න ඕනේ. වරෙන් මං එක්ක ගන්න යන්න හෙට”
    “එළ. මං එන්නම්. ක්ලාස් ඇරිලා යමන් එහෙනම්”
    “තෑන්ක්ස් මචං”
    පසුදා ඔවුන් පංති ඇරී ගියේ රන් ආභරණ කඩයකටයි. මෙත්ම ඇයට තෑගි දීමට කරාඹූ යුගලක් ගැනීම නුවණට හුරු යැයි තීරණය කලේය. මුද්දක් දෙන්නට ඔවුන් තවම ලාබාල නිසා ඔහුට එය එතරම් සිතට ඇල්ලූ නැති නිසා කරාඹු යුගලය ගැනීම ගැන කෙමිල්ද සතුටු විය.
    පසුදා එය දෙන්නේ කෙසේද? දෙන විට කියන්නේ කුමක් ද යන්න ඔහු දහස් වරක් සිතෙන් කල්පනා කරේය. පසුව හොඳ විදියක් සිතට ආ පසු එය සිතෙන් සෑහෙන වරක් කියා නින්දට ගියේය. පසුදා උදෑසන යහළුවන්ගෙන් උපන්දින සුභ පැතුම් සෑහෙන ප්‍රමාණයක් තිබුණද ඇගේ සුභ පැතුම ඒ අතරේ තිබුණේ නැත.
    ‘හම්බ වුනාම කියන්න හිතන් ඇති’ ඔහු හිත සනසාගත්තේය.
    උදෑසන 8ට පමණ ජංගම දුරකථනය නාද වනු ඔහුට ඇසිණි.
    “හෙලෝ මල්ලි” කවුරුන්හෝ එහා පැත්තේ කතා කරන කෙනා හොඳටම අඬනු ඇසිනි.
    “හෙලෝ, කවුද මේ?”
    “මල්ලි, මම උදේශනීගේ අක්කා”
    “කියන්න අක්කේ, ඇයි මේ අඬන්නේ?”
    “අනේ මල්ලි කොහොම කියන්නද? ඊයේ රෑ උදේශනී ඇක්සිඩන්ට් වෙලා කොළඹ ගෙනාවා”
    එය ඇසූ මෙත්මගේ සර්වාංඟයම හිරිවැටී ගියේය.
    “අනේ අක්කේ මගේ කෙල්ලට මොකද?”
    “දන් නෑ මල්ලී. ඊයේ නුවරින් කොළඹට ඇඩ්මිට් කරා රෑම. අයි සී යූ එකේ”
    “මං දැන් එනවා අක්කේ”
    ඔහුට ඇඬෙන්නට විය. ‘අනේ මගෙ කෙල්ල’
    ඔහු අද ඇයට පවසන්නට හිටි දේවල් බොඳ වී යන්නාක් මෙන් ඔහුට දැනුනි. ඉබාගාතේ මෙන් පැමිණි ඔහු කොළඹ ඒසී බසයකට නැඟුනේ හොඳ සිහියකින් නොවේ. හිතේ තිබූ පීඩනය නිසා දෝ ඔහුට නින්ද යන්නට ඇත.


    *****************

    “ලෙඩාට සිහිය ඇවිත්. වට පිට බලනවා.”
    කැඩී කැඩී ඇසුනු වචන පෙළ සිහියට නඟන්න මෙත්ම උත්සහා කරේය. ඔහුගේ හිස පසුපසින් දෙසින් දැඩි කැක්කුමක් ගෙන දුනි. ඒ මදිවට උගුර වේලී කෙළ ගිලින්නට බැරි ගතියක් දැනුණි. දොස්තරවරයෙක් සහ හෙදියන් කිහිප දෙනෙක් සිටිනු පෙනිනි
    “වතුර” ඔහුට කියා ගැනීමට හැකි වුනේ එපමණකි.
    “එක පාර වතුර ගොඩක් බොන්න හොඳ නෑ පුතේ. මේ ටික බොන්න එතකන්”
    කරුණවන්ත කටහඬක් ඇසින. පසුව හැන්දකින් මෙත්මට වතුර ස්වල්පයක් ලැබුණි. සිදු වී ඇති දේ පිළිබඳ ඔහුට සිහි වූයේ ඉන් පසුවයි.
    “උදේශනී” ඔහු කෑ ගැසුවේය. නමුත් හඬ පිටවූයේ නැත. ඔහුගෙ දෙනෙතින් කඳුලු වැගිරෙන්නට විය..
    “කලබල වෙන්න එපා පුතේ.”
    “කලබල නොවී කොහොමද?” ඔහු හඬන්නට විය
    “පුතා එදා හදිස්සි වුනා වැඩියි. එදා ඒ ට්‍රොලියේ ගෙනාවේ උදේශනි නෙමෙයි”
    “ඒත් මං දැක්කනේ එයාගේ අත පහතට වැටෙනවා”
    “ඒ දැරිවි උදේශනී නෙමෙයි පුතේ.වෙන ගෑණු ළමයෙක්. පුතා කලබලා වුනේ නිකරුනේ ඒ වෙලාවේ. පුතා ඒ උදේශනී කියලා රැවටුන ගෑනු ළමයා බේරගන්න බැරිවුනා. නමුත් උදේශනීට ප්‍රශ්නයක් නෑ”
    “ඒ කියන්නේ උදේශනී ඉන්නවද තාම?”
    “ඒ ළමයට දැන් හොඳයි පුතේ. පුතා බය නොවී ඉන්න”
    “මට බලන්න ඕනේ එයාව”
    “දවස් තුනක් පුතාට සිහිය තිබ්බේ නෑ. වැටෙද්දී ඔලුව වැදුන නිසා අපි හැමෝම බයවෙලා හිටියේ. ඒ මදිවට පුතාට සිහිය ආවෙත් නෑ”
    “තව ටිකකින් අම්මලට ඔයාව බලන්න දෙනවා”
    පැය කිහිපයකට පසුව ඔහුව බැලීමට ඉඩ ලැබිනි. මුලින්ම දුවගෙන ආවේ ඔහුගේ මවයි. ඇගේ දෑස් වලින් කඳූලු කැට වැටෙනු පෙනිණි.
    “කොහොමද පුතේ දැන්?”
    “දැන් හොඳයි අම්මේ”
    “මං දවස් තුනක් සිහි නැතිව හිටියද?”
    “ඔව් පුතේ. අපි බයවෙලා හිටියේ. ඔලුව වැදිලා තිබ්බ විදියට. අනික පුතා කලබල වෙලා තිබුණෙත් නිකරුණෙ”
    “මං හිතුවේ ඒ එයාමයි කියලා අම්මේ. ඒ වෙලේ මොනවා වුනාද දන්නෑ”
    “ඉන්න දැන් එයි ඒ දැරිවිත්”
    “කෝ තාත්තා?”
    “තාත්තා ෆෝම්ස් වගයක් ෆිල් කරන්න ගියා ඩොක්ටර් එක්ක.”
    “මෙත්ම” ඔහුගේ නම ඒ ළයාන්විත කටහඬෙන් අසන්නට ඔහු ආසා කලේ අද ඊයේක නොවේ. ඔහු ඇය දෙස බලා සිටියා විනා කිසිවක් කීවේ නැත. ඇය පැමිණ සිටියේ ඇගේ අක්කා සමඟයි. උදේශනීගේ මව හා පියාද ඔවුන් සමඟ පැමිණ සිටියහ. ඔහුට ලැජ්ජා සිතුනේ එවිටයි.
    උදේශනීගේ මව පැමිණ මෙත්මගේ ඔලුව අත ගෑවාය.
    “පුතේ දැන් කොහොමද?”
    “හොඳයි ඇන්ටි” ඔහු සිනාසෙන්නට වෙර දරමින් පැවසුවේය.
    “කලබල වුනා නේද?”
    ඔහු එයට කිසිත් නොකියා ලැජ්ජාශීලී සිනාවක් පෑවේය.
    “අම්මේ” උදේශනී තම මවට කතා කලාය. පසුව කණට රහසින් කුමක්ද කී පසු ඇගේ මව, පියාව සහ අක්කාව රැගෙන එළියට ගියාය. ඇයට තනිවන්නට වුවමනා ඇත.
    මෙත්මගේ මවද එය තේරුම් ගන්නට ඇත. ඇය මෙත්ම දෙස බලා අමුතුවට සිනාසී උදේශනීගේද හිතා අතගාගෙන එළියට ගියාය.
    මෙත්ම ලඟට පැමිණි උදේශනී ඇගේ හිස ඔහුගේ පපුවේ හොවා හඬන්නට පටන් ගත්තාය. ඇය දුක සිර කරගෙන ඉන්නට ඇත. සෑහෙන්න වෙලාවක් යනතුරුම ඇය හැඬුවාය.
    “ඇති දැන්. මට මූණ බලන්න ඕනේ”
    ඇය කඳුලු පිසදා මෙත්ම දෙස බැලුවාය.
    "ඇයි මේ රෝද පුටුවේ?"
    "සතියක් යනකන් ඇවිදින්න එපා කිව්වා"
    “මම හිතුවා මම ජීවත් වෙන එකක් නෑ කියලා” මෙත්ම පැවසුවේය
    “මේ ඉන්නේ හොඳට ජීවත් වෙලා ඔයා”
    “මගේ ජීවිතේ ඔයා. ඒකෙන් තේරුම් ගන්න කිව්ව දේ”
    ඇගේ නිල් නෙතු යුවල හකුළුවා මුහුණ ඇල කර ලස්සනට සිනාසුනාය. පසුව ඇය නැවත ආදරයෙන් මෙත්මගේ පපුවේ හිස හොවා ගත්තාය.


    ~නිල් නෙතු නිමා විය~



    කතාව ලිවීමේදී මා දිරිගැන්වූ සියලු දෙනාටත්, පරක්කු වෙච්ච එකට බැන බැන මේක දාන්න මාව උනන්දු කල හැම දෙනාටත්, කමෙන්ටුවකින් සහයෝගය දුන් සියලු දෙනාටත්. එකී නොකී අන් හැම දෙනාටත් මාගෙ හද පිරි තුතු. තවත් කතාවකින් හමු වෙමු
     
    • Like
    Reactions: hodakolla

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    4.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    උබට කිව්වට මොකද මම තාම මේක කියෙවුවෙ නෑ
    අකුරක්වත්
    Chat කොර කොර හිටිය මිසක් :yes::yes:
    පල බොරු නොකියා. අර බනිස් කාලා ඇලෙන් වතුර බොන කතාව කිව්වේ කොහොමද එහෙනම් ??? :P:P