චක්ඛායතනය හා එහි අරමුණ වන රූපයන්ම උදාහරණයට ගතහොත්. ඇස රූපයක් හා ගැටුන පසු ඔබට “පෙනෙනවා” යන දැනීම එසේත් නැතහොත් පෙනීම යන සංවේදනය ඇතිනොවූයේ නමි පෙනීමක් ද ඇති විය නොහැක. අන්ධ පුද්ගලයන්ට ඇස් පවතින නමුත් ඔවුන්ට නොපෙනෙනුයේ, චක්ඛායතනය රූප නැමති අරමුණෙහි ගැටීම තුලින් “පෙනීම” යන දැනීම ඔවුන්ට ඇතිනොවන බැවිනි. මෙසේ පෙනීම ඇති කර දෙන්නාවූ මෙම “දැනීම” යන්න හැදින්වීමට විඥානය යන පදය භාවිතා කරනු ලබනවා. මේ ආකාරයෙන්ම චක්ඛායතනයෙන් රූප අරමුණු කර ගනිමින් උපදින දැනීම චක්ඛු විඥානය ලෙසත්, සෝතායතනයෙන් ශබිද අරමුණු කරගනිමින් උපදින දැනීම සෝතවිඥානය වශයෙනුත්, මෙසේම නාසය, දිව, ශරිරය, මනස ඒ ඒ අරමුණු ලබමින් උපදින් විඥාන පිළිවලින්, ඝාන විඥාන, ජිව්හා විඥාන, කාය විඥාන සහ මනෝ විඥාන යන වදන් භාවිතා කරමින් හදුන්වනු ලබනවා. මේ ආකාරයෙන් ඇසට යමි රූපයක් පෙනෙනා විට දී, කණට ශබ්දයක් ඇසෙනාවිට දී, නාසයට ගඳක් සුවඳක් දැනෙනා විට දී, දිවට රසයක් දැනෙනාවිට දී, කයට යමක් ස්පර්ශ වන විට දී හා මනසට විවිධ අරමුණු හමුවන විට දී විඥාන පහළවනවා. ජීවිත කාලයක් තුල මෙවැනි විඥාන අනන්ත ප්රමාණයක් ඇතිවන නිසා මෙසේ අතීතයේ ඇතිවූ විඥානත්, අනාගතයේ ඇතිවන විඥාන හා මේ මොහොතේ ඇතිවන විඥාන යන සියල්ලම එකරාශි කර විඥාන ස්කන්ධය වශයෙන් හදුන්වනු ලබනවා.
සංඛාර ස්කන්ධය
මෙසේ රූපාදී අරමුණු ගනිමින් විඥාන, සංඥා සහ වේදනා යන ස්කන්ධයන්ගේ පැවැත්ම ඇති විට දී, අරමුණු පිළිබඳව සිතුවිලි ඇතිවීම සිදුවනවා. මෙම සිතුවිලි සංඛාර යනුවෙන් හදුනුවනු ලබනවා. මෙසේ ඇතිවන්නාවූ සිතුවිලි රූප පිළිබඳ සිතුවිලි, ශබ්ද පිළිබඳ සිතුවිලි, ගන්ධ පිළිබඳ සිතුවිලි, රස පිළිබඳ සිතුවිලි, කායික ස්පර්ශිත දේ පිළිබඳ සිතුවිලි හා සිතට දැනෙන අරමුණු පිළිබඳ සිතුවිලි වශයෙන් සආකාර වීමට හැක.