ගමේ හොල්මං නුදුටු මේ මං මෙහේ හොල්මං දැකලා හොල්මං
බඩපොත්ත පිටපොත්තට ඇලිච්ච ක්රමයක අපි ජීවත් වෙන්නෙ බඩගින්නට පාරවල් කන්න පුළුවන් රටක. 'සංවර්ධන මිථ්‍යාව-කොමිස් ගිලින විජ්ජාව' කියන්නා වගේ මෙලෝ රහක් නැති ඇත්ත ඉදිරියෙ ප්‍රශ්න ගොඩ ගැහෙනවා. මුහුණෙ සතුටක් තියෙන එක මිනිහෙක්වත් අවංකව හොයාගන්න බැරි තරමටම මේ ප්‍රශ්න සරසවි දිවියටත් අදාළයි. මහපොළ වාරිකය රු. 2,500ක් වෙද්දී ඩෙනිමක් රු. 2,300යි. ප්ලේන්ටියක් බීලා, වඩයක් කාලා, බස් එකේ ගියාම ඉතුරු 200ත් ඉවරයි. මේ දුක කියන්න එක දෙයියෙක්වත් නැති හින්දා, දෙයියො වඩින්නෙත් මුහුණ බලලා හින්දා දුක්ඛප්‍රාප්ති දෑත කවි දෑසක් හොයනවා. මේ හැඟීම් සර්වකාලීනයි.
අයියෝ සරසවිය අයියෝ සරසවිය
කියන දෙයක් ඔළුවට ගන්නට බැරිය
තාත්තා ලෙඩ ඇඳේ මහපොළ තව නැතිය
අයියෝ අම්මෙ අයියෝ අනෙ මට බැරිය
(කොළඹ විශ්වවිද්‍යාලය)
කොච්චර අඩුපාඩු තිබුණත් මෙච්චර ප්‍රශ්න දැවුණත් සරසවියෙ ඇතුළෙ 'හොල්මං'වලින් අඩුවක් පාඩුවක් නැහැ. 'හොල්මං' විශ්වාස නොකරන බහුතර ශිෂ්‍ය ප්‍රජාවක මේ හොල්මන කෙල්ලෙක් වෙන්නත් පුළුවන්, නුහුරු නගරය වෙන්නත් පුළුවන්, දැනෙන දකින විකාර වෙන්නත් පුළුවන්...
ගමේ හොල්මං
නුදුරු මේ මං
මෙහේ හොල්මං
දැකල හොල්මං
(කොළඹ විශ්වවිද්‍යාලය)
මේවා දකින අපි හොල්මං වන තරමටම ඒ කුරුටු ගී ප්‍රබලයි. කඳුළ, සතුට, ප්‍රිය විප්ප්රයෝගය කැලතෙන හදවත් අතරේ සරසවි ප්‍රේමයට සුළු මොහොත පවා කප්පරක්. එළියෙ ඉන්න අර මල් මේ මල් සල්මල් බේබිලට වගේ රාත්‍රි සමාජ ශාලා, හෝටල් කාමර, සුපිරි නිකේතන නැති හින්දා ජෝඩු වෙන තැනකට ඇදෙනවා. මේ මිහිරෙ රසපහස දැනෙන්න නම් මේ දේ කොහොමහරි කරන්නම වෙනවා. එතැන තියෙන්නෙ වචන කීපයකට ලඝු කරන්න බැරි ආකාරයේ ලල් එකක්. ඒ කියන්නේ සරසවි ඇතුළාන්තයේ.
ජෝඩුවලට හාද වෙන්න, හෙමි හෙමින් නාද දෙන්න වෙනම ඉනධබ තියෙනවා. උදාහරණ තොගයක් නැතිව එකක් දෙකක් කියන්නම් රහ දැනෙන්න... ඔන්න ඔන්න පැණි බේරෙන මල්ලිලා කට වහගත්තොත් හොඳයි, නංගිලා ඇස් වහගන්න. මුලින්ම ගමුකො 'කොළඹ.' සමහර අයට හිතෙන්න පුළුවන් මෙහෙ සීතල නැහැනෙ, මහ ගස් වැල් නැහැනෙ, හැංගෙන්න තැන් නැහැනෙ... වගේ නැති එක එක දේවල්. ඒත් ඇත්ත කාරණේ ඒක නෙවෙයි මොන දේ නැති වුණත් නඟිනවා නම් නඟින්න ඕන තරම් තැන් තියෙනවා. වඳිනවා නම් වඳින්න, වඩින්න තැන් තියෙනවා. එක තැනක නම 'සිරිපාදේ.' මේ සිරිපාදෙට වාරෙ අවාරෙ කියලා නැහැ. ගමන් පහසුවට කුඩයක් වගේ දෙයක් තියාගත්තොත් හුඟක් හොඳයි. 'අවුල, අලිකණ' වගේ නම් දරන්නෙත් එහෙම තැන්. නම ඇහුන ගමන් ජෝඩු පිනායන තරම් 'පේරෙ' තියෙන නම රසයි, සැරයි. චුම්බනයක්, අංගනයක්, රංගනයක් තියෙනවා නම් දෙන්නා දෙමහල්ලෝ ද්විත්ව රූපසන්ධි ගළපනවා නම් ඒ ප්‍රදේශය මෙහිදී හැඳින්වෙන්නෙ 'රතී පීඨය' කියලා. රතී පීඨයෙ මොනතරම් පැති තිබුණත් ජෝඩුවලට හති හැදෙන් නැති එක පුදුමයක්! මොහොතක් ඉන්න... මෙහෙම ලියැවෙන්නෙ තවත් රසාන්විත මොහොතක්.
එම්බා පොත් ගොන්න
මා ඔබට කෘතඥ වන්නේ
මා දැනුම දියුණු කළාට නොව
ඇයත් මාත්
සිප වැලඳ ගන්නා විට
ලොව කුරිරු ඇසින්
අප මුවා කළාටය
(පේරාදෙණිය විශ්වවිද්‍යාලය)
පොදුවේ ගත්තම සරසවියෙදි උපදේශ පතන්න බලධාරීන්, දේශකවරුන් අවශ්‍ය වෙන්නෙ නැහැ. ශිෂ්‍ය ජීවිතවලට ඇඟිලි ගහන්න ඒ ඒ අයට ඉඩක්-අයිතියක් ලැබෙන්නෙත් නැහැ. සරසවි සගයන්ට අනාගත පරපුරට උපදේශ ලැබෙන්නෙ තමන්ගෙම සහෝදර-සහෝදරියන් අතින්. සමාජයීය උපහාසය, අනිත්‍ය යථාර්ථය හැමතැනදීම ඉස්මතු වෙනවා කියන්නෙ සරසවි ජීවිත ඒ තරමට අව්‍යාජයි. ව්‍යාජ ලෝකයක් වෙනුවෙන් උපාධි හිමිකර ගන්නවාට වඩා අව්‍යාජ මනසින්-හදවතින් සරසවියෙදි පරාජය උරුම කරගත්තත් සැපයි. පේරාදෙණියෙන් නිකන් දෙනවා මෙන්න මෙහෙම උපදේශයක්
ලෙඩෙක් වෙන්න පොත්වල කොළ කඩාපිය
ක්ලාස් ගන්න ජෙල හොඳ හැටි කරාපිය
එක්සෑම් එකෙන් ඒ බී ගොඩ දමාපිය
ලෙඩෙක්, ඩොකෙක් වී මිනිසුන් මරාපිය
ඉඩම් උකස් තියලා, කන්දෙක උකස් කරලා තමන්ගෙ එකම වස්තුව වෙච්ච දරුවො සරසවි එවලා අම්මලා තාත්තලා සුදු හීන දකිනවා. අතීතෙදීත් එහෙමයි-මේ මොහොතෙදීත් එහෙමයි-අනාගතයෙදීත් එහෙමයි.
"මොන දේ නොකළත් යුද්ධෙ ඉවර කොළානෙ..." කියන ගම්බද තාත්තෙක් එහෙව් පාලනයක තමන්ගෙ පුත්‍ර රත්නය රෑට සිකියුරිටි ජොබ් එකක් කරනවා කියලා දන්නෙ නැහැ.
'හිරුණිකා කෙලීගේ ලස්සන' කට වචනෙන් වස්සන අහිංසක අම්මෙක් තමන්ගෙ කෙලීට නේවාසිකාගාරෙ හරියකට වතුර ටික, වැසිකිළි කැසිකිළි පහසුකම් ටික නැතිව කෙළවෙන කෙළවිල්ල දන්නෙ නැහැ. අන්තිම අපේක්ෂාවත් සාංකාවෙන් සාංකාවට පත්වෙද්දී සරසවි මනස අම්මෙක්ගෙ හදවතට රූපාන්තරණය වෙනවා.
සරසවි බිමේ සත් වසරක් ගත කෙරුව
මගෙ ලොකු දුවේ ඇයි අද ඔබ මට බැරුව
කුමරෙක් සොයා දෙන්නට මා නිදි මැරුව
අත් දෙක වන වනා ආවේ කිම දරුව
(කොළඹ විශ්වවිද්‍යාලය)
සඳවන් මුහුණු වෙනුවට අව්වෙ රත්වෙන කළු ගැහිච්ච මුහුණු, පිරුණු ශරීර, පීන පයෝධර වෙනුවට කටු ගැහිච්ච ශරීර කූඩු, රථ රෝද මෙන් පුළුල් උකුළු වෙනුවට මැලවුණු හැකිළුණු උකුළු, සුරඟනන් වෙනුවට පොළොවෙ පය ගහපු මේ යුගයෙ කෙල්ලො සරසවියෙන් එළියට බහිනවා. පොෂ් ජීවිත ඇතුළෙ හමන හඬු පුස් ගඳට වඩා පුස් ජීවිත ඇතුළෙ දැනෙන යථාර්ථය ප්‍රබලයි. බයවෙන්න හරි දුක්වෙන්න හරි මේ හැම තැනදිම හිල් වෙවී වැක්කෙරෙන්නෙ දුප්පත්කම් විතරයි. මේ ආශ්චර්යවත් දේශයයි.
කුරුලෑ උවන කෙටි වරලස උඩ නැඟුණ
නොවැඩුණ දෙතන උල් රට බොඩියෙන් වැසුණ
විසිවන කෝටු දෙකකුල් යන එන ගමන
ඇසිපිය හෙළන පමණින් නොවෙති හොල්මන
කසුන් මහේන්ද්‍ර හීනටිගල