රාජිතට තියෙන ප්‍රශ්න ගෝඨාට නැත්තේ ඇයි ?
සිංහල බෞද්ධ සංවිධාන කීපයක නියෝජිතයෝ ඊයේ සෙනසුරාදා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමු වී සාකච්ඡා කර ඇතැයි මාධ්‍ය වාර්තා පළවී ඇත.
ඊට බොදු බල සේනා, සිහල රාවය සහ රාවනා බලය වැනි සංවිධාන සමඟ ත්‍රෛනිකාය නියෝජනය කරන සිවුරු ධාරීන් කණ්ඩායමක් එම සාකච්ඡාවට සහභාගී වී ඇත.
අපගේ අවබෝධය අනුව මේ නිල වශයෙන් කළ පළමු සාකච්ඡාව විනා ඔවුනොවු අතර පැවැති පළමු සාකච්ඡාව නොවේ. මේ සාකච්ඡාවල අරමුණ ගෝඨාභය හා මේ බොදු ත්‍රස්තයන් මිට පෙර දැන හඳුනන් නැති දෙපාර්ශ්වයක් බව පෙන්වා දීම හැර වෙන යමක් නොවිය හැකිය. මන්ද පසුගිය දින කිහිපයේදී මේ පාර්ශ්වයන් ඒ වෙනුවෙන් වුවමනාවටත් වඩා වැඩි වෙහෙසක් ගනු ලැබීමෙන්ම හොරා කාටත් කළියෙන් වැට පැන්න බව සිහි බුද්ධියක් ඇති කවරකුට වුව වැටහෙන නිසාය.
ඒ කෙසේ වූවද පසුගිය යුධ සමයේදී හා ඉන් පසුවත් එල්ටීටීඊ සංවිධානය සමඟ සබඳතා පැවැත්වූවකු සමඟ සිනා වූ බවට හෝ තොරතුරක් ලැබු අයෙකු වෙත් නම් කුදලාගෙන ගොස් අතුරුදන් කිරීම හෝ ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ මාස ගනන් රැඳවුම් බාරයේ තබා ගැනීම මෙරට ආරක්ෂක කටයුතු බාර වූවන්ගෙ සුපුරුදු කටයුත්තක් විය. දන්නා තරමින් තවමත් රැඳවුම් බාරයේ එවැන්නෝ සිටිති.( එසේ නොමැතිනම් ඔවුන් අතුරුදහන් ලේඛනයකට අනාගතයේදී ඇතුලත් වනු ඇත)
මෙරටේ ත්‍රස්තවාදය වැලැක්වීමට ආරක්ෂක ලේකම්වරයා යටතේ වන පිරිස පියවර ගත්තේ එසේය.
එමෙන්ම එල්ටීටීඊයේ ම කොටසක් ලෙස අර්ථකතනය කර තිබෙන දෙමළ ඩයස් පෝරාව මේ පාලකයන්ට නයාට අඳු කොළ මෙනි. ඊට අනුව වත්මන් පාලනය පෙරලන්නට මේ ඩයස් පොරාව තරම් වෙන කිසිවකුත් වලි කන්නේ නැත. රාජපක්ෂ ආණ්ඩුවට කවර මට්ටමෙන් හෝ විරෝධයක් එල්ල වූ විට ඒ දෙමල ඩයස්පොරාවේ මුදල් වලට යටවී සිදු කරන්නක් බවට වන චෝදනාව උදේ හවා රේඩියෝවෙන් ඇසෙන පිරිත් මෙන් සුපුරුදු කරුණකි.
මේ අතර ජාතික ගැටලුව සම්බන්ධයෙන් වෙනත් මතයක් දරන ආණ්ඩුවේම ඇමැතිවරයකුවන ධීවර ඇමැති බොදු බලය ගැන කියන්නේ වෙනත් කතාවකි,
"මා ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවන් හොඳට අඳුනනවා. යුද විරෝධී පෙරමුණේ රැස්‌වීම්වලට කඩාපැන ඒවා කඩාකප්පල් කරන්නට උන්වහන්සේ උත්සාහ කළා. මා දන්නා හඳුනන නෝර්වේ ජාතිකයකු සිටිනවා 1960 සිට ශ්‍රී ලංකාවේ පදිංචිකාරයකු වන. ඔහුගේ නම ආනි ෂොටොෆා යං. ඒෂියා ටෙලිවිෂන් ආයතනය පටන් ගත්තෙත් ඔහුයි. සිලෝන් - නෝර්වේ පදනම පටන්ගෙන ශ්‍රී ලංකාව තුළ ධීවර බෝට්‌ටු නිෂ්පාදනය කිරීමත් ඔහු කළා.
ඔහු දිනක් මට ඩිලන්ත විතානගේ නමැත්තකු හඳුන්වා දුන්නා. පසු කාලයේදී දේශපාලන ක්‍රියාකාරිකයකු වුණත් මට හමුවන දවස්‌වල ඩිලන්ත පරිගණක විශේෂඥයෙක්. ඔහු චන්ද්‍රිකා කුමාරතුංගගේ රෙජිමය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහන් ගණනාවකට ටාරා ද මෙල් සමග වැඩකර තිබෙනවා. දවසක් මගේ මිත්‍රයා වූ ආනි ෂොටොෆාට කියා තිබෙනවා නෝර්වේ රටට ගොස් දෙමළ ඩයස්‌පෝරාව හමුවෙන්නට කැමති බව.
ඉතින් මගේ මිත්‍රයා ඒ සඳහා අවශ්‍ය කටයුතු පිළියෙල කළා. ඥනසාර හාමුදුරුවන් සහ තවත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් නෝර්වේ බලා යන්නේ ඒ අනුවයි. මේ ගමනෙන් පස්‌සේ මගේ නෝර්වේ මිත්‍රයා මට කිව්වා ඥනසාර හාමුදුරුවන් වෙනස් වී සිටින බව. උන්වහන්සේ මා හමුවීමට කැමති බවත් ඔහු කිව්වා. මේ අනුව අප හමුවුණා. "අතීතයේ ඇතිවුණ මතභේද පැත්තකට දමමු. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැන් මට තියෙන්නෙත් ඔබට තිබෙන දැක්‌මමයි.
උන්වහන්සේට විරුද්ධව පෞද්ගලික එදිරිවාදිකමක් මා තුළ නැති බව මා ඥනසාර හාමුදුරුවන්ට කිව්වා. අප එකට වැඩ කරන බවට ගිවිස ගත්තා. දිගින් දිගටම සාකච්ඡා කළ අපි ජාතික සමගිය සහ සුළු ජාතීන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීම සඳහා භික්‍ෂූන් වහන්සේලා 1000 කගේ සහභාගිත්වයෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සමුළුවක් පැවැත්වීමට තීන්දුවක් ගත්තා. මට භාරවෙලා තිබුණේ සමුළු ශාලාව වෙන් කරගෙන ප්‍රවාහනය ඇතුළු සෙසු සියලු පහසුකම් සැපයීමටයි. භික්‍ෂූන් වහන්සේලා සංවිධානය කර ශාලාවට වැඩම කරවීම භාර වූයේ ඥනසාර හාමුදුරුවන්ටය. එහෙත් සමුළුව පැවැත්විය යුතුය කියන තීන්දුවෙන් මාසයකට විතර පස්‌සෙ ඥනසාර හාමුදුරුවන් හලාල් ප්‍රශ්නය මුස්‌ලිම් විරෝධී ව්‍යාපාරයක් පටන් ගත්තා.
උන්වහන්සේ තවදුරටත් දෙමළ විරෝධියකු නොවී මුස්‌ලිම් විරෝධියෙක් වුණා. මේ අතර චෙන්නායි නගරයේදී සිංහල බෞද්ධ භික්‍ෂූන් පිරිසකට දෙමළ අය පහර දෙනවා. ඥනසාර හාමුදුරුවන් කියනවා එසේ පහර දුන්නේ දෙමළ අය නොව මුස්‌ලිම් අය කියලා. උන්වහන්සේ තවදුරටත් දෙමළ විරෝධී නොවන්නේ ඇයි? එයට හේතුව නෝර්වේ රාජ්‍යය සමග ඇතිකරගත් අවබෝධතාවක් විය හැකියි.
එහෙත් සිංහල භික්‍ෂූන්ට පහර දුන්නේ දෙමළ අය බව ඥනසාර හාමුදුරුවන් ඉතා හොඳින් දැන සිටියා. මට ලැබුණ ආරංචිවලට අනුව බොදුබල සේනාව වෙනුවෙන් සල්ලි විසි කරන්නෙ ඩිලන්ත විතානගේ. මම විතානගේව දන්නවා. ඔහුගේ පරිගණක මධ්‍යස්‌ථානයේ උත්සවවල ප්‍රධාන අමුත්තා හැටියට සහභාගි වෙලත් තිබෙනවා. එහෙත් කිසියම් සංවිධානයක් නඩත්තුවට මුදල් වැය කරන්නට තරම් හැකියාවක් ඔහුට කවදාවත් තිබුණේ නැහැ. ඉතින් ප්‍රශ්නය වන්නේ මේ අයට සල්ලි කොහෙන්ද කියන එකයි."
රාජිත නිශ්චිතවම ප්‍රශ්නයක් අසයි. 'මේ අයට සල්ලි කොහෙන්ද?'
එන් ජී ඕ වලට ලැබෙන හැම සත පහක් ගැනම දිවා රෑ හොයන, ආරක්ෂක ලේකම්වරයා හෝ ඔහුගේ බුද්ධි අංශ මේ ගැන කියන්නේ මොනවා දැයි දැන ගැනීමට නැත.
මුදල් නොව, තමගේ ලියැවිල්ලක වචන දෙක තුනක් උතුරේ දමිළයාට පක්ෂපාතව යෙදවීම නිසා මාධ්‍යවේදී තිස්සනායගම්ව මාස හයක් තිස්සේ හිර කරගෙන වධ බන්ධනයට ලක් කර පසුව විසි වසරක් හිරගෙට නියම කරන්නට තරම් නීතිය ක්‍රියාවේ යොදවන්නට සැහැසි වූවන්, මේ ඇමැතිවරයා කරන හෙළිදරව්ව හා නඟන ප්‍රශ්නය ගැන වගේ වගක් නැතිව සිටී.
ශිෂ්‍ය සටන් සිදුවන විට, වෘත්තීය සටන් සිදුවන විට, වෙබ් අඩවි ආණ්ඩුව විවේචනය කරන විට, මානව හිමිකම් ගැන කතා කරන විට...., ඒ සියල්ල එල්ටීටීඊ ඩයස් පොරාවේ ඩොලර් කුට්ටි වලට යටවූ දේවල්ය කියන්න හදිසිවෙන ආණ්ඩුව තවදුරටත් නිහඬව සිටියත් තවත් මේවා හංඟාගෙන ඉන්න බැරි තැන මේ දේවල් ගැන ඥානසාර කියන්නේ...'අපි ෆෝටෝ ගත්ත තමයි, ඒ අය හොඳ ඩයස් පොරාවේ බබාලා..' යනුවෙනි.
දැන් අපිට කියන්න වන්නේ ඒ තරම්වත් දෙයක් නොදත් ගොඨාභය, තොත්ත බබා වී ඇති බවය. මේ නිසා රාජිතට තිබෙන ප්‍රශ්න ගෝඨාභයට ඇතිවන්නේ නැත.