කපුගේ - රත්නශ්රී සුසංයෝගයෙන් සිංහල සුභාවිත ගී කෙතේ අස්වැද්දූ සුන්දර ගී ප්රමාණය අප්රමාණයි. ඒ අතරින් පෞද්ගලිකව වඩාත්ම මා සිත් ගත් ගීයක් තමයි "මගෙ බිසවුනේ අසාපන්" කියන ගීතය. ගුණදාස කපුගේ ශූරීන් විසින්ම සංගීතවත් කෙරුණු මේ ගීතය "වෙස්සන්තර ජාතකය" තම පෞද්ගලික අත්දැකීමක් හා මුසුකර වර්තමාන සමාජයේ සුලබ අනුවේදනීය අත්දැකීමක් රසිකයාට සමීප කරවනවා.
රත්නශ්රී විජේසිංහ රාජකාරි ජීවිතයේ අනන්ත දේශපාලන කෙනෙහිලි කම් වලට ලක්වුණු තැනැත්තෙක්. ඔහු ගුරුවරයෙකු ලෙස සේවය කරන සමයේ ඉතා දුෂ්කර ප්රදේශයක් වන "හුලංදාව" ට ස්ථාන මාරුවක් ලබනවා. (මට මෙතැනදී රත්නශ්රී ගේ "වස්සානය" කවි පංතිය සිහිවෙනවා. එහි එක් තැනක තියෙනවා 'හුලංදා ඔය කිමද මල්වරව ඉල්මහට' කියලා) තම බිරිඳ හා දරුපැටව් තනිකර දමා තියෙන්නේ කොහේද වත් නොදන්නා පළාතක යන්නට සිදුවුණු පියෙකුගේ, ස්වාමිපුරුෂයකුගේ හැබෑ වේදනාත්මක හැඟීම් අපි මෙහිදී දකිනවා. සන්නිවේදනය එතරම් නොදියුණු ඒ කාලයේ මෙය තවත් දුෂ්කර අත්දැකීමක් වන්නට ඇති.
මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්රි දේවි නොවුනේ
ඔහු තම බිරිය අමතන්නේ මගෙ බිසවුනේ යනුවෙන්. ඇය වෙනුවෙන් හදේ නැගෙන ලයාර්ද ගෞරවනීය බව මෙහි හොඳින් අපට දැනෙනවා. 'නුඹ මන්ද්රි දේවි නොවුනේ' කියද්දී මම වෙස්සන්තර රජ්ජුරුවො නොවන බව ඔහු අපට පසක් කරනවා. එනම් මම මේ උත්සහා කරන්නේ දරු දන්දෙන්නට නොවෙයි. දරුවන් රැක ගන්නටයි.
නුඹ චන්ද්ර මඩල වැන්නේ
සාපැටව් එහි නිදන්නේ
මේ කොයිතරම් නම් ආදරණීය හැඳින්වීමක්ද? ඔබ චන්ද්ර මඩල වන්නේ එහි මගේ සාපැටවුන් නිදන නිසා. මගේ දරුවන් සාපැටවුන් වගේ. ඒ හිමයේ වගවලසුන්ට උන් ගොදුරු කරන්නට බැහැ. ඒනිසා උන් හාමතේ නොලා නගරේ නවතින්න. නමුත් මේ මහ හිමයට හීනෙන් ඇවිත් මගේ රිදෙන හිතේ සඳුන් තවරාපන්.
හිමවතට ඇවිත් හීනෙන්
හිත සඳුන් තවරපන්නේ
මේ ජීවිතේ දුෂ්කරයි. ඒත් නුඹ එතෙරට වහල්කමට දෙන්නටවත්, දරුවන් මෙහෙකාරකමට දන්දෙන්නටවත් මා සූදානම් නෑ. දිවි පුදා හෝ ඔබ රැක ගන්නම්. නමුත් ඒ බුදුබව පතා පෙරුම් පුරන්නට නම් නෙවෙයි.
දිවි පුදා ඔබ රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්
තම අඹුදරුවන් තනිකර පිටරටවල, දුෂ්කර ප්රදේශවල නැවතී රාජකාරියේ යෙදෙන කී දාහක් මේ සමාජයේ ඇතිද? ඒ කාගෙත් හදවත්වල බුර බුරා නැගෙන තනිකම වේදනාව මේ ගීයේ කැටිවී තිබෙනවා නොවේද?