බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව මීවලපානේ හිමියන් විසින් මුලිින්ම ප්‍රකාශ කරන සමයේ මට සිතුනේ මේ කුමන විහිලුවක්ද යන්නයි. ඒ නිසාම එතුමන්ගේ පොත් ද්වය මවිසින් පරිශීලනය නොකරන්නට යෙදුන නමුත් මේ කරුණ සම්බන්ධව පුවත්පත් වල පළවූ තර්කයන් දිගින් දිගටම කියවූයෙමි. එහිදී මට වැටහුන කරුණ වූයේ මීවලපානේ හිමියන් විසින් කියනු ලබන කරුණේ යම් තාර්කක පසුබිමක් පවතින බවයි. ඒ නිසාම මීට ටිකකලකට පෙර එතුමන් විසින් රචිත පොත් ද්වය මවිසින්ද කියවන්නට යෙදුනි.
එම කරුණු එතුමන් අවබෝධකරගත් ආකාරය පිළිබඳව යම් යම් ගැටළු පැවතියද එතුමන් විසින් දක්වන කරුණු පිළිබඳව උසස් ශ්‍රාස්ත්‍රීය පර්යේශණයක් කිරීම උචිත බව මගේ හැඟීමයි. මක් නිසාද එතුමන් විසින් නගා ඇති තර්ක එකහෙලාම ප්‍රතික්ශේප කිරීම අපහසු වන බැවිනි.
මෙම නූල මුලසිට කියවාගෙන එද්දී මට වැටහුණ කරුණ වූයේ ඇතැයි කියන පාර්ශවය මෙන්ම නැතැයි කියන පාර්ශවයද ප්‍රමාණවත් තරම් දැනුමෙන් සන්නද්ධ නොවන බවයි. එය අප කිසිවෙකුගේ වරදක් නොවේ. එයට හේතුව මේ සම්බන්ධව නිසි පර්යේශණ සිදුව නැති බැවින් අප කවුරුත් අප දන්නා දැනුම තුල සිට සාකච්ඡා කිරීමයි.
ඉන්දියාව, යුරෝපය වැනි වෙනත් රටවල ජනශ්රැති පුරාවිද්‍යාව නැමති අංශයක් වර්ධනය වී ඇති අතර පුරාණ පොතපත, ජනකථා, කවි ආදිය මූලාශ්‍ර කරගෙන ඉතිහාසය සොයා යාම එහිදී සිදුකෙරේ. රාමායනය, මහාභාරතය මූලික කරගනිමින් ඉන්දියාව පර්යේශණ දියත් කරන අතර හෝමර්ගේ ඔඩිසි, ඉලියඩ් මෙන්ම ටොලමිගේ අත්ලාන්තිස් පිළිබඳ වාර්තා මූලික කරගෙන යුරෝපය පරීක්ෂණ පවත්වයි. ලොව අනෙක් සෑම රටකටම සාපේක්ෂව විශාල ජනශ්රැති ප්‍රමාණයක් පවතින අප වැනි රටකට මෙවැනි අංශයක් අත්‍යවශ්‍ය අතර එවැන්නක් හරහා මෙවැනි මත සේම රාවණා පිළිබඳ සැබෑ තත්ත්වයද හෙළිකරගත හැකි වනු ඇත.
බුදුරදුන් ශ්‍රී ලංකාවේ උපන්නේද? යන කරුණ සම්බන්ධව මගේ පෞද්ගලික මතය වන්නේ එසේ වන්නටද හැකියාවක් ඇත යන්නයි. කෙසේ නමුත් මේ පිළිබඳව මවිසින් ද තවමත් අධ්‍යයනය කරන බැවින් මා සොයාගන්නා යම් නව කරුණක් වෙතොත් මෙහි සඳහන් කරන්නෙමි...