රු.දහයෙන් මහා සිටුවරයකු වූ දාස මුදලාලි

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    රු.දහයෙන් මහා සිටුවරයකු වූ දාස මුදලාලි

    මවගෙන් ඉල්ලා ගත් රු.දහයෙන් මහා සිටුවරයකු වූ දාස මුදලාලි

    යස ඉසුරු සම්පත්, ඉහළ පෙළපතක උරුමය දෑතේ මිට මොළවාගෙන මෙළොව එළිය දැකීමට සියලු දෙනාටම හැකිවන්නේ නැත. මෙරට සමහර පාලකයන්, වියතුන්, දාර්ශනිකයන් පමණක්‍ නොව වාණිජ ලෝකයේ හිණිපෙත්තටම නැඟි බොහෝ දෙනෙකුගේ ජන්මය අගහිඟකමින්, කටුකොහොළින් පිරුණු දුෂ්කර එකකි. මේ අතරින් ව්‍යාපාරික ලෝකයේ නම් දැරූ බොහෝ දෙනෙක් අතීත ගමන් මඟ දුක්බර , රළු කටුකබව පිළිබඳ සටහන් තබන්නේය. පදිකවේදිකාවෙන්, පා පැදියෙන් හෝ පා ගමනින් ඇවිද වාණිජ්‍යයේ සිප්හලින් “අ” යනු කියවුවෝය.

    අභාවප්‍රාප්ත දේශබන්දු එස්. ඩී. ගුණදාස මැතිතුමාට (දාස මුදලාලි) ඇත්තේ ද එවැනි අතීත කතාවකි. පදිකවේදිකාවේ කපුරුබෝල, මේස් බැනියම් අලෙවිකරමින් දිවිගමන ජයගත් දිරිය මිනිසකුගේ සටහනකි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ පමණක් නොව මෙරට ප්‍රභූ පෙළපතක රාජ්‍ය නායිකා වූ සිරිමාවෝ මැතිනියට පවා උපදෙස් සැපයීම වැනි උසස් තලයකට පැමිණීම දෛවෝපගත කතා පුවතකි.

    දිවිමඟ වසර 83කට ආසන්න කාලයක් ආයු විඳ පසුගිය දිනක දිවංගත වූ “දාස මුදලාලි” අපට සුවිශේෂ පුද්ගලයෙකි. ඊට හේතුව ඔහුගේ ජීවිතයෙන් උකහාගත හැකි අපේ ජීවිතයට සමීපකර ගත හැකි වටිනා කියන බොහෝ දේ ඔහුගේ අතීත සිහිවටන පුරා විසිරී තිබෙන නිසාය.

    දාස මුදලාලි පිළිබඳව මුල්ම සටහන හමුවන්නේ 1931 වර්ෂයේ සැප්තැම්බර් 05 දිනය. දෙවිනුවර තලල්ල ප්‍රදේශයේ ගැමි පවුලක් සයවෙනි දරුවා ලෙසිනි. ඒ වනවිට ද අගහිඟකමින් පිරුණු දෙමාපියන්ට මෙම බිලිඳු කටහඬ ඇසුනේ මොළොව ජීවත්වීම පිළිබඳ සංඥාවක් ලෙස පමණි. එහෙත් පසු කලෙක ව්‍යාපාරික ලෝකයේ රැව් පිළිරැව් දෙන ඔහු‍ගේ හඬ පිළිබඳව හැඟීමක් එකල කිසිවෙකුට හෝ ඇතිවන්නට ඇතැයි සිතීමට නොහැකිය.

    ඔහුගේ අතීත සිහිවටන අතර ඉතා සංවේදී සිදුවීමක් වන්නේ සිව්වැනි ශ්‍රේණියේ දී පාසල් අධ්‍යාපනය අහිමි වීමයි. පාසලේ දී ඇති වූ යම් හිත් අමනාපකමක් හේතුවෙන් ඔහුට පාසල තවදුරටත් ඉතා කරදරකාරී තැනක් ලෙස හැඟී ඇත. මුලදී ගන්දර විද්‍යාලයටත් පසුව මරදාන මහා විද්‍යාලයටත් ඇතුළු වුව ද පාසල් ජීවිතයේ සිව් වසරකට වැඩි කාලයක් ගත කිරීමට ඔහුට හැකියාව ලැබී නැත.

    ගුණදාස නම් වූ පුංචි කොලුපැටියාට තිබුණේ කුඩා සිරුරකි. එහෙත් ඔහුට විශාල හදවතක් තිබිණි. ඒ තරමටම නොසැලෙන ආත්ම ‍ෙධෙර්යයක් ද තිබිණි. මවගෙන් ඉල්ලාගත් රුපියල් දහයක මුදලකින් ඔහු ජීවිතය පටත් ගන්නට සැලසුම් කළේය. එකල රුපියල් දහයක මුදලට ඉහළ වටිනාකමක් තිබිණි. පුංචි ගුණදාසට එය මහමෙරක් විය. ඔහු ආරම්භ කරන ව්‍යාපාරය ගැන සිතමින් සිහින දකින්නට විය.

    ගුණදාස කොළඹට පැමිණියේ පාසල් අධ්‍යාපනය පිළිබඳ කැමැත්තෙන් නොවේ. එම කාලයේ මරදානේ චීන ව්‍යාපාරිකයන්ගේ රෙදි සාප්පු කිහිපයක ගුණදාසගේ වැඩිමල් සොහෝයුරෝ සේවය කර ඇත. එම පරිසරයට ඇති කැමැත්ත නිසාම ඔහු කොළඹට පැමිණ ඇත.

    අනුන් යටතේ සේවය කරනවාට වඩා සුළුවෙන් හෝ ව්‍යාපාරයක් පටන් ගැනීමට සිතූ ගුණදාස මව දුන් මුදලින් කපුරුබෝල සහ මේස් බැනියම් කිහිපයක් මිලදී ගත්තේය. පදික වේදිකාවේද, කොළඹ මුඩුක්කු නිවාසවලද ගනුදෙනුකරුවන් සොයා දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කළේය.

    වට්ටියක් හිසමත තබාගෙන ගෙයින් ගෙට ඇවිද ගිය ඔහුගේ ගමන අත් කරත්තය දක්වා වෙනස්වීමට වැඩි කලක් ගත නොවීය. වසර දහයක කුඩා කොලු ගැටයෙක් වුව ද ඔහුගේ සිතේ ගතේ ධෛර්යයේ වැඩිවීමක් මිස අඩුපාඩුවක් නම් ඇති නොවීය.

    වසරින් වසර ගෙවී ගියේ ඔහුගේ ජීවිතයේ දියුණුව පිළිබඳව නව පරිච්ඡේද එක්කරමිණි. වසර දහයක් ඇතුළත ඇඟලුම් ආනයන ව්‍යාපාරිකයෙක් වීමට තරම් ඔහුගේ උත්සාහය මල්පල ගැන්වී තිබිණි. ඔරලෝසු ආනයනය ද ඔහුගේ ව්‍යාපාරවල තවත් අංගයක් විය.

    1958 වර්ෂය වන විට ගුණදාස ජීවන ගමනේ 28 වසරක් ගෙවා දමා තිබිණි. ව්‍යාපාරවල පමණක් නිරතවෙමින් එයින් වෙහෙසව සිටි ඔහු තනිකඩ ජීවිතයේ ද හෙම්බත්ව සිටියේය‍. තමාට හොඳින් ගැළපෙන තරුණියක සමඟ විවාහ දිවියට ඇතුළත් වී ඉදිරි ජීවිතය සරු කරගන්නට ඔහු සිහින මැව්වේය. ඒ අනුව 1958 මැයි මාසයේ ඔහු සිය සිහිනය සැබෑ කරමින් සිරිමතී එදිරිසිංහ නම් යුවතිය සමඟ සරණ බන්ධනයට ඇතුල්විය. ව්‍යාපාර ජීවිතය මෙන්ම ඔහුගේ විවාහ දිවිය ද සරුවිය. කාලයත් සමඟ ඔවුන් දරුවන් 10 දෙනෙකුගේ මවුපියන් වූහ.

    ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ පුරෝගාමියා වන්නේ ද ගුණදාස මුදලාලිය. ගුණදාස වෙනුවට ඔහුගේ නම ‘දාස’ ලෙසත් ඔහුගේ ඇඟලුම් ඩියුරෝ නමින් ද ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේය. ඩියුරෝ මදුරු දැල්වලට අදටත් වෙළෙඳපොළේ ඇත්තේ කීර්තිමත් නාමයකි. බොරුල්ලෙන් ඇරැඹි එම ව්‍යාපාර සමූහය දෙමටගොඩින් කැලණිය දළුගම දක්වා ව්‍යාප්තව ගියේය. දාස මුදලාලි යන නම පැවසූ සැණින් ඩියුරෝ නාමයත් දාස මුදලාලි සමඟ ඈඳුණු දේශපාලන සබඳතා පිළිබඳවත් රටේ බොහෝ දෙනෙකුට රහසක් නොවේ.

    1970 -77 කාලයේ මෙරට පාලනය කළ සිරිමා‍වෝ බණ්ඩාරනායක මැතිනිය දාස මුදලාලි සමඟ ඉතා කිට්ටු දේශපාලන සබඳතාවයක් පැවතිණි. රජය සම්බන්ධ සමහර තීන්දු තීරණ ගැනීමේ දී පවා ඔහුගේ මතය පිළිබඳ ඇහුම්කන් දීමට එතුමිය අමතක ‍කළේ නැත. එවකට පැවති රාජ්‍ය ප්‍රතිපත්ති අතර දේශීය කර්මාන්ත ඉහළ මට්ටමකට ගෙන ඒමට විවිධ ක්‍රියාමාර්ග ගැනිණි. ආනයන භාණ්ඩ සීමා කිරීම ද ඊට සමඟාමීව සිදුකෙරිණි. මෙම වෙළෙඳ ප්‍රතිපත්තිය නිසා ‘දාස මුදලාලිට’ අත්වූයේ විශාල සෙතකි. ඔහුගේ ව්‍යාපාර කෙතරම් ව්‍යාප්තව ගියේ දැයි පැවසුවහොත් වෙළෙඳ පොළ සැපයුම අබිබවා ඉල්ලුම කිහිප ගුණයකින් වැඩි වී තිබිණි.

    හැත්තෑ හතට පෙර මෙරට දේශීය කර්මාන්තයේ පුනර්ජීවන‍ය සමඟ ව්‍යාපාර ක්ෂේත්‍රයේ අංක එකේ ස්ථානය “දාස ව්‍යාපාර” හිමි කර ගත්තේය. ඒ වනවිට ඔහුගේ ව්‍යාපාර විවිධ අංශ අතරේ ද පැතිරි ගියේය. ඇඟලුම්, මැණික්, හෝටල්, ප්‍රවාහන හා කෘෂිකර්මාන්තය ආදී සියලුම අංශ ඔහුට සෞභාග්‍ය උදා කර දුන්නේය.

    මෙරටට නව අත්දැකීමක් වූ “සුපර්මාකට්” වෙළෙඳාම් ක්‍රමයේ පුරෝගාමියා වූයේ ද ඔහුය. බොරැල්ල මං සන්ධියේ ඉදි වූ “දාස” වෙ‍ෙළඳ සංකීර්ණය මෙරට බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ ස්ථානයකි. විශාල තට්ටු ගොඩනැගිල්ලක් ඉදිකොට එහි ව්‍යාපාර ආරම්භය එම යුගයේ ජීවත් වූවන් සැලැකුවේ සුරංගනා කතා සැබෑ වීමක් ලෙසය.

    හැත්තෑ හතෙන් පසු මෙරට ඇති වූ විවෘත ආර්ථිකයෙන් “දාස”ව්‍යාපාරවලට බොහෝ බලපෑම් එල්ල විය. නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය, විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා දේශිය කර්මාන්තවලට අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණදීමට සිදුවිය. එසේ - එම යුගයේ දාස මුදලාලිට එල්ල වූ දේශපාලනික බලපෑම්ද අඩුවක් නොවීය. ඔහුගේ ව්‍යාපාර විශාල ලෙස රජයට පවරා ගැනීම මෙන්ම ව්‍යාපාර කඩා දැමීමට එදා රජය වක්‍රව ක්‍රියා කළේය.

    එමඟින් ඔහුට පහරදීමට උත්සාහ කළ ද ඉන් පහර වැදුණේ දේශීය රෙදි පිළි කර්මාන්තයට බව ඒ මහතා මීට කලකට පෙර ප්‍රකාශ කර තිබුණි. “ලද විදිහට පුද” යැයි කියමනක් අපේ ව්‍යවහාරයේ පැවතිය ද ඔහු පිදුවේ ලද පමණින් නොවේ. සිංහල බෞද්ධයකු ලෙස ඒ මහතා බෞද්ධාගම නඟා සිටුවීමට විශාල මෙහෙවරක් කළ දානපතියෙකි.

    සැප්තැම්බර් 05 දාට යෙදෙන ජන්ම දිනය නිමිත්තෙන් බුද්ධගයාවේ ආගමික වතාවත් සිදු කිරීම ද ඒ මහතා නොපිරිහෙළා ඉටු කළ යුතුකමක් වේ. එහිදී ලක්ෂ පහකට පිරිසකට ආහාර සැපයීම ඔහුට මහත් සොම්නසක් ගෙන දෙන කරුණක් විය.

    ජීවිතය අනිත්‍ය බව පසක් කරමින් දාස මුදලාලි මහතා අප අතරින් සමුගත්තේය. එසේ සමුගත්ත ද ඔහුගේ නාමය සදා අමරණීය බව සටහන් තබන්නට අවශ්‍ය නැත.

    සටහන
    ලක්ෂ්මී වික්‍රමසිංහ
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    දාස මුදලාලි ගැනනම් දන්නේ නැහැ.දාස මුදලාලි නම් හොඳ කෙනෙක් වෙන්න ඇති.

    නමුත් හොඳ හිත ව්‍යාපාරයේ මුදලාලි ගැන නම් දන්නවා. මිහගේ ඔය හොඳ හිත නමට පමණක් සිමා වෙච්ච එකක් විතරයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    රාජ්‍ය අනුග්‍රහයෙන් ධනවත් උන මිනිහෙක් නිසා යූන්පි එක මේ යකාගේ ව්‍යාපාර ආන්ඩුවට ගන්න ඇති
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මනුස්සකම Brand එක කරගෙන මහත්තයා Duro ව්‍යාපාරය ඉහළම තැනට ගෙනාවා - දාස මුදලාලි ගේ කතාව

    Duro හදපු දාස මුදලාලි වෙනුවට අද සභාපති පුටුවෙ ඉන්නෙ ඔබ...

    ඔව්. මහත්තයා නැතිවුණාට පස්සෙ මගේ දරුවො ටික එකතු වෙලා මාව සමාගමේ සභාපති පුටුවට පත් කළා. ව්‍යාපාරයේ හුඟක් දේ, මහත්තයා බෙදාහදා ගත්තෙ මාත් එක්ක. මගේ අත්දැකීම් ඒ අයට වැදගත්. ඒකයි ඒ හැමෝම මෙහෙම කළේ.

    • හුඟක් අය හිතන්නෙ Duro කොම්පැණිය දැන් නැහැ කියලා...

    වැටීම් - නැගීම් කොයිකාටත් උරුමයි. අපේ ස්වර්ණමය යුගය පහුවෙලා ඉවරයි. අමාරු ම කාලෙත් පහුවෙලා ඉවරයි. වැඩි සද්දයක් නැති වුණාට කොම්පැණියෙ වැඩ කෙරෙනවා. යාපනේටත් අපේ නිෂ්පාදන යනවා. ෆැක්ටරියෙන් කෙළින් ම සාප්පුවට.

    • මොනවද දැන් වෙළෙඳපොළේ තිබෙන Duro නිෂ්පාදන...

    ඩියුරෝ මදුරු දැල්, ඩියුරෝ බැනියන් සරොන්... බෞද්ධ කොඩි. ළඟදීම Butterfly සාරි ආපහු පටන් ගන්නවා. තිබූ හැම නිෂ්පාදනයක් ම බොහෝ ම ඉක්මනට වෙළෙඳපොළට ඒවි.

    • ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ඔබ ගත් හොඳ ම තීන්දුව කුමක් ද...

    ඒ කාලෙ අපි දෙන්නා ව්‍යාපාරයේ අලුත් දේ ගැන කතා කරන්න ගන්නෙ පාන්දර තුනට. තුන හතරේ ඉඳන් ඒ කතා කරන දේවල් සමහර විට මං සටහන් කරනවා. ළමයි ඒවට කිව්වෙ අම්මගෙයි තාත්තගෙයි ‘Business Talks’ කියලා. ඊළඟට පැයක් බුදුන් වඳිනවා. ඊට පස්සෙ ඉතින් මුළු දවස ම ව්‍යාපාරෙට කැප වෙච්චි ගමන්. හැබැයි හරියට තරහා යනවා. සමහර වෙලාවට තද තීන්දු තීරණත් ගන්නවා. දරුවො හිටියට මහත්තයා නැතිව අද මං විත‍‍රනේ. ඒ නිසා දැන් මං එයැයි වෙනුවෙන් හොඳ තීන්දුවක් අරගෙන තියෙන්නේ.

    • කියන්න ඒ ගැන...

    ඒ කාලෙ කරපු හැම ඩියුරෝ නිෂ්පාදනයක් ම ආපහු කරන්න ගත්තා. ‘ඩියුරෝ ෆ්ලාස්ක්’ හදන්න එක දුවකට බාර දුන්නා. ඒ කාලෙ Thermos උණුවතුර බෝතල් තරමට ඩියුරෝ උණුවතුර බෝතල්වලට ඉල්ලුම තිබුණා. දුවලා හය දෙනාම බැනියන්, සරොන්, මදුරුදැල් වෙන වෙන ම බාර අරගෙන නිෂ්පාදන කටයුතු පුළුල්ව කරගෙන යනවා.

    • එත‍කොට අනෙක් පුතාලා...

    ලොකු පුතා තොම්සන් ළඟදි නැතිවුණා. ඊළඟ පුතාලා දෙන්නගෙන් කුසල, මූල්‍ය අධ්‍යක්ෂවරයා. අනෙක් පුතා පුණ්‍ය, අ‍ෙලවි අංශය භාර අධ්‍යක්ෂවරයා. කළමනාකාර අධ්‍යක්ෂ තමයි, බාලම පුතා ඉසුරු. එයා තමයි හැමෝම උනන්දු කරගෙන දැන් ව්‍යාපාරය වෙනස් මඟකට අරන් යන්නේ.



    හැම පරණ කොම්පැණියකට ම තියෙන චෝදනාව ඉස්සර තරම් දැන් බඩු කොලිටි නැහැයි කියන එක. ඩියුරෝත් එහෙමද...

    හැත්තෑ ගණන්වල ඉඳන් අපි නෙට් මැහුවේ ‘coolness yarn’ කියන සියයට සියයක් පොලියෙස්ටර් හොඳම නූලෙන්. ඒක ‘A’ Grade නූලක්. ඒ වගේ ම නෙට් හදන්න මිලියන තුන් සියයක් විතර වටින ‘කාල්මයර්’ මැෂින් එකක් ලංකාවේ පාවිච්චි කරන්නෙ අපි විතරයි. කොලිටිය අඩු කළා නම් ඩියුරෝ නම මේ තරම් මිනිස්සු අතර පවතින්නෙ නැහැ. අපිට අංක එක, කොලිටිය.

    • Business Management….. Business Style ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න...

    ඔය මහා බරපතළ වචන නැතුවට අපි දියුණු වුණේ ව්‍යාපාරයත් එක්ක මුහු වෙච්චි මනුස්සකම නිසා. හොඳ කළමනාකරණය මං ඉගෙන ගත්තෙ මහත්තයාගෙන්. සේවක‍යෝ කාටත් සාධාරණව සලකන ගුණය තමයි එයැයිගෙ Style එක. දලුගම ෆැක්ටරියෙ හත්දාහකට තුන්වේල කෑම දුන්නෙ. යුනිෆෝම් එක දුන්නෙ ඒකයි. ලෙඩට දුකට බෙහෙත් ටික දෙන්න දොස්තරලා, කොණ්ඩ කපන්න බාබර්ලා පවා ඒ ෆැක්ටරිය ඇතුළෙ හිටියා. අක්කර දෙකක ඒ භූමි භාගේ එදා පොඩි ජනපදයක් වගේ.

    • මේ තරම් දේපළ තියෙන එකේ දාස සමූහයට කොහොම නැඟිටින්න බැරිද... කාට හරි එහෙම හිතුණොත්...

    දළුගම අක්කර දෙකක ෆැක්ටරියෙ මහත්තයා හදපු බිල්ඩින් ඕනෙ තරම් තිබෙනවා. කොල්ලුපිටියෙත් බොරැල්ලෙත් ප්‍රදර්ශනාගාර තිබූ බිල්ඩින් තිබෙනවා. ඒවායේ ප්‍රයෝජනයත් අරන් දැන් දරුවො නව දෙනා ම වැඩට බැහැලා. එයාලට තාත්තා හදලා ගියපු නමක් තියෙනවා. ඉස්සර මිනිස්සු විඳපු, දැන් හුඟක් අය ඉල්ලන ඩියුරෝ නිෂ්පාදන එක හුස්මට හදන්නයි දැන් තියෙන්නේ.

    • ‍ෙද්ශීය ව්‍යාපාරිකාවක් විදියට අද ඔබ රජයට යෝජනා කරන්නෙ මොනවද...

    සියලු ම ආනයනික අමුද්‍රව්‍ය සඳහා බදු අහෝසි කළ යුතුයි. වංචා සහගත ලෙස මේ රටට එන ආනයනික නිෂ්පාදන පාලනය කළ යුතුයි. ඕනෑම රටකට තරගයක් දෙන්න එතකොට අපිට පුළුවන්. අපි වගේ දේශීය ව්‍යාපාරිකයෝ හැමෝට ම ඒක විශාල අත්වැලක්.

    • ඔබේ ව්‍යාපාර දැක්ම ගැන කියන්න...

    මට යි මහත්තයටයි කියලා දෙකක් තිබුණෙ නැහැ. එයැයි කරපු දේම තමයි තව දුරටත් ඉදිරියට යන්නේ. සල්ලිම හම්බ කරනවට වඩා විකුණන දේට ඉස්තරම් ම අගයක් එකතු කිරීමයි වැදගත්. මිනිස්සු තවමත් අපේ ගෙදරට කතා කරනවා. ඩියුරෝ නිෂ්පාදන ගැනම අහනවා. ඒවා ගන්න පුළුවන් තැන් අහනවා. පාරිභෝගිකයාට උසස් දේ දෙමින් තමනුත් දියුණු වීමයි, එයැයි කළේ. ඒකම තමයි අද පවුලක් හැටියට අපි හැමෝම කරන්නේ.

    • ලංකාවේ සුපර්මාකට් හදපු පළමු දේශීය ව්‍යාපාරිකයා දාස මුදලාලි කියන්නෙ ඇත්තද...
    ලංකාවේ සුපර්මාකට් හදපු පළමු දේශීය ව්‍යාපාරිකයා දාස මුදලාලි කියන්නෙ ඇත්තද...

    හැත්තෑවේ මුල් කාලයේ මායි මහත්තයයි සිංගප්පූරු ගියා. තට්ටු පහ හයේ බිල්ඩිමකට ලිෆ්ට් එකේ ගියේ. මං කිව්වා, මේ වගේ එකක් අපිත් ලංකාවේ හදමුකෝ...’ කියලා. ‘කාට බඩු විකුණන්නද...’ මහත්තයා මගෙන් ඇහුවා. ඒ වුණාට ලංකාවට ආවට පස්සෙ බොරැල්ලෙයි - කොල්ලුපිටියෙයි බිල්ඩින් දෙක ඒ විදියෙ ‘සුපර්මාකට්’ දෙකක් කළා. දේශීය ව්‍යාපාරිකයෙක් මං හිතන්නෙ එහෙම වැඩක් කළාමයි.

    • දාස සමූහය මිනිස්සු අතරට ගිය හොඳ ම ප්‍රචාරණ මාධ්‍ය කුමක් ද...

    ඒ කාලෙ දවල් දොළහට වෙළෙඳ සේවයේ ගිය ‘පිබිදෙන ගායක පරපුර’ වැඩසටහනින්. එඩ්වඩ් ජයකොඩි වැනි විශිෂ්ටයන් බිහිකළ ලංකාවේ පළමු සුපර් ස්ටාර් තරගයත් ඒකමයි. මහත්තයා ප්‍රචාරණේට කියලා බොරුවට සල්ලි නාස්ති කළේ නැහැ. වියදම් කරන දෙයින් රටේ තරුණ පරම්පරාවටත් යමක් වෙන්න ඕනෙයි කියලා තමයි හිතුවේ. ඒ කාලෙ ඉතින් ගුවන්විදුලිය තරම් දෙයක් තිබුණෙ නැහැනේ.

    • එතකොට Duro සමාගමේ වැටීම, විවෘත ආර්ථිකයේ පැමිණීමද...

    නැහැ. විවෘත ආර්ථිකය අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. අපිට තිබුණෙ දේශපාලන පළිගැනීමක්. හරියට මහා යෝධයෙක් බිම දැම්මා වගේ. අපිව ඒ තැනට ඇදලා දැම්මෙ එක්තරා දේශපාලකයෙක්.



    ආයතනයක පසුබෑමට, උද්ඝෝෂණයකට පුළුවන්ද ඔය තරම් ලොකු බලපෑමක් කරන්න...

    ඒ විතරක් නෙවෙයි, අ‍පේ කෝටා කැපුවා. ඒකෙන් අපේ Export Orders නැවතුණා. සියලු බැංකු පහසුකම් නැවැත්වුවා. හත්දාහකගේ පඩි ගෙවන්න, ETF, EPF ගෙවන්න මහා ප්‍රශ්න ගොඩකට අපි මැදිවුණා. හැබැයි අපි දෙන්නම එකම අධිෂ්ඨානෙක හිටියා, ලංකාව ඇතුළෙ විතරක් හරි බිස්නස් කරලා මේ අයට පඩි ගෙවනවා කියලා. අවුරුදු දහයක් විතර අමාරුවෙන් ඔය විදියට ඇදගෙන ගියා.

    • ඩියුරෝ නිෂ්පාදන අපනයනය දැන් සහමුලින් ම නතර වෙලා ද?....

    සීකා වෛරසය නිසා මේ දවස්වල ලොකුම මදුරු නෙට් ඕඩරය යන්නෙ බ්‍රසීලයට. රස්නය ඇතුළට නොඑන ආවේණික ගුණය නිසා අපේ මදුරු දැල්්වලටයි ජාත්‍යන්තරයේ ලොකු ම ඉල්ලුම.

    • Duro සමාගම හෙවත් දාස සමූහයේ ස්වර්ණමය යුගය මතකද...

    1977 ට කලින් යුගය. සිරිමාවෝ මැතිනියගේ දේශීය චින්තනය නිසා හුඟක් ව්‍යාපාර ඔළුව ඉස්සුවා. පිටරට ‍දේ නැති නිසා මිනිස්සු දේශීය දේට හුරු වුණා. ඩියුරෝ සාරි, සරොන්, ෂර්ට්, බැනියන්වලට දී ගන්න බැරි තරමෙ ඉල්ලුම. මිනිස්සු පෝළිම් ගැහිලා මේවා ගත්තෙ.

    • උත්සාහය සහ කැපවීමට ඩියුරෝ සමාගමේ තිබෙන හොඳම ආදර්ශය කුමක් ද...

    අම්මා එක්ක වෙළෙඳාමේ ගිය පුංචි පුතෙක් අවුරුදු නවයෙදි අම්මා දීපු රුපියල් දහයකුත් අතේ තියන් මාතරින් කොළඹ එනවා. ඒ වෙනකොට කොළඹ තිබූ ඩැනි බ්‍රදර්ස්..., සේන බ්‍රදර්ස්... ලොකු ව්‍යාපාර තමන්ගෙම අයියලගේ. ඒ වුණාට එයැයිට හිතුණෙ තනියම වෙළෙඳාමක් කරන්න. කපුරුබෝල, යතුරු කටු, බැනියම් කරත්තෙක තියාගෙන අර අයියලගෙ කඩ ඉස්සරහා විකුණනවා. ‘උඹ අපිට ලැජ්ජා කරන්න එපා...” අයියලා කියද්දි, කරත්තෙ අයින් කරගන්නවා. ‘මට එයාලගෙන් යැපෙන්න ඕනෙ නැහැ...’ එහෙම හිතාගෙන කරත්තෙත් තල්ලු කරන් බොරැල්ලට යනවා. ‘මං කවද හරි මෙතන ලෑල්ලක් දානවා...’ ඒ කාලෙ ලෑල්ල තමයි බඩු විකුණන ලොකුම තැන. එහෙම ලෑල්ලක් දාපු තැනම දවසක එයැයි, බොරැල්ලෙ දාස සුපර්මාකට් එක හැදුවා. කොල්ලුපිටියෙත් කැලණියෙත් එහෙමයි. පහේ කැලෑසියට විතරක් ඉස්කෝලෙ ගිය එයැයි ඔය සියලු දේ කළේ කැපවී නිසා. උත්සාහය නිසා.

    • ගමකින් ආවට ඔහු සිය සමාගමට තැබුවේ ඉංග්‍රිසි පන්නයේ නමක්...

    Duro නම ගත්තේ Durobility හෙවත් ‘කල්පවතිනවා’ ය කියන අර්ථයෙන්. එක සැරයක් මැෂින් ගන්න ජර්මනියට ගිහින් ආවට පස්සෙ තමයි නම දැම්මෙ. කොහොමටත් එයැයි රට රටවල ඇවිදපු කෙනෙක්. අලුත් සාප්පු සංකීර්ණ, මැෂින් සහ ප්‍රදර්ශන බලන්න හරියට ගියා.

    • විවෘත ආර්ථිකයේ නරක බලපෑමෙන් බොහෝ දේශීය ව්‍යවසායකයින් වැසී යද්දී, ඩියු‍රෝ වෙත පමණක් එය බලනොපෑවේ කොහොමද...

    මගේ මහත්තයට ‍‍හොඳ දැක්මක් තිබුණා. එයැයි හම්බන්තොට අක්කර දහයක කපු වගා කළා. මේ රට ඇතුළෙම නූල් නිෂ්පාදනය කරන්න පුළුවන්, ඒකට උදව් කරන්න කියලා රජයට යෝජනා කළා. කරලම පෙන්නුවා. නමුත් ඒ ඉල්ලීම ඔවුන් ගණන් ගත්තෙ නැහැ. හොඳ කොලිටිය සහ අඩු මිල නිසා කවදාවත් අපිට තරගයක් තිබුණෙ නැහැ. බඩු ‍හොඳ නම් මිනිස්සු කවදත් හොයාගෙන එනවා.

    ඒ දැක්ම තුළ දරුවන් ව්‍යාපාරයට සූදානම් කරන අදහසක් තිබුණෙ නැද්ද...

    අපි දෙන්නා හැම වෙලාවෙම හිතුවෙ දරුවො ගැන. එයැයිට ඕනෙ වුණා දරුවො දහ දෙනාට ම ‍‍හොඳ අධ්‍යාපනයක් දෙන්න. පුතාලා හතර දෙනාවම ඇරියෙ රෝයල් කොලිජියට. දුවලා හයදෙනාව සෙන්ට් බ්‍රිජට් එකට. හැම දරුවෙක් ම උසස් අධ්‍යාපනයට පිටරට යැව්වා. කැමැති අය උපාධි ගත්තා. බාල පුතා ඉසුරු තමයි Textile Technology ගැන උපාධිය ගත්තෙ. නූල් හදන තැන ඉඳලා නිෂ්පාදනයක් එළියට එනකල් තාක්ෂණය ගැන ඉසුරු පුතා දන්නවා. මැෂින් ගැන දන්නවා. Textile ගැන ලෝකෙ තියෙන හොඳ ම විශ්වවිද්‍යාලෙ වෙච්චි ලන්ඩන්වල university of Bolton වල තමයි පොඩි පුතා ඉගෙන ගත්තෙ.

    • ඔබ දරුවන්ට දුන්නෙ සැප සම්පත් විතරද...

    නැහැ. අපි පුළුවන් උපරිමයෙන් ගුණධර්ම කියා දුන්නා. මට මතකයි පොඩි පුතා උපාධිය අරන් ඇවිත් ඉස්සරවෙලා ම තාත්තා එක්ක ෆැක්ටරියට ගිය දවස. ‘පුතා ටයි එක ගලවන්නකෝ කියලා මහත්තයා පුතාට කොස්ස අතට දීලා කිව්වලු ‘පුතේ මේ Export බිල්ඩිමේ වර්ග අඩි විසිපන්දාහක් තියෙනවා. ‍මේක අතුගාන්න කියලා. පුතාගෙ මූණ හරිනැති වෙලා. ඒත් එයා ඒක කළා. ජීවිතේ පටන් ගැන්ම කියලා දෙන්නයි එහෙම කළේ.

    හැම දවසකම පාන්දර බුදුන් වඳින්න, මල් පීරිසි 30ක් කලින් දවසේ ලෑස්ති කරන්න පිරිමි දරුවන් හතරදෙනාට පැවරුවා. ඒ නිසා පුතාලට රස්තියාදු රෑ ගමන් බැරිවුණා. ආයේ පාන්දර පහ හය වෙද්දි මල් පීරිසි ටික බුදුන් වඳින තැන ඉඳන් තාත්තගෙ අතට දෙන්න මාරුවෙන් මාරුවට ළඟින් ඉන්න වුණා. මේවා තමයි ජීවිත පාඩම්.

    • එතකොට බිසනස් එකක් හදන්න තාත්තා විඳපු දුක...

    තාර පාර රත්වෙනකොට කකුල් පිච්චෙනවා. ඒකෙන් බේරෙන්න කම්බි ලේන්සුවක් සැරෙන් සැරේ පොඟවා පොඟවා ගෙනැත් යටිපතුල් තෙමනවා. ඒ තෙත රෙදි කෑල්ල උඩ හිටගෙන වෙළෙඳාම් කරනවා. කකුලට ‘කට්ටා’ කෑලි දෙකක්වත් නැහැ. පොලිසියෙන් පේව්මන්ට් වෙළෙන්දො පන්නනකොට කරත්තෙත් තල්ලුකරන් දුවනවා. ඊළඟට කරත්ත තල්ලු කරන් කොළඹ පුරාත් කළුතරටත් යනවා. ඒ එනකොටත් බරක් පටවාගෙන. ඒ තමයි දරුවන්ගේ තාත්තා දුක් විඳපු ජීවිතේ. එයැයි අපිට බිස්නස් එකක් හැදුවේ එහෙම දුක් විඳලා. එකම සතුට අවුරුදු 83 ක් ජීවත් වෙලා මිය ගියේ රජෙක් වගේ. දරුවන්ටත් රටටත් ආගමටත් පුළුවන් තරම් කරලා. මේ අතීතය දරුවො දන්නවා. එයාලට බිස්නස් එක ගැන හැඟීමක් තිබෙන්නේ ඒ නිසා.

    • මුදල් පාලනය ගැන ඔබට තිබෙන්නෙ කොහොම අදහසක් ද...

    කසාද බැඳලා ආවට පස්සෙ මට පැවරුණු පළමු රාජකාරිය තමයි සල්ලි ගණන් කරන එක. රැජිනගෙ නෝට්ටු. ලොකු ම ‍කොළේ රුපියල් සීයයි. මං සල්ලි මිටි හදලා වෙන වෙන ම තැබුවා. සේප්පුවට දැම්මෙ මහත්තයා. එහෙම රාජකාරි කළාට වියදම් කිරීමේදි මං සල්ලි අතපත ගාපු කෙනෙක් නෙවෙයි. හැමදේ ම කළේ මහත්තයා.

    • ඇයි එහෙම වුණේ...

    අඳින සාරියෙ ඉඳලා මටයි දරුවන්ටයි ඕනා කරන හැම දේම එයැයි ගෙනාවා. ඉතින් මට මොටද සල්ලි...

    Duro වෙනුවෙන් මොනවද ඔබේ ඉදිරි අරමුණු...

    තාත්තා හැදූ ව්‍යාපාරය තව පරම්පරා ගණනාවක් දරුවො ඉදිරියට ගෙනියන්න ඕනේ. මං දන්න දේ ඔවුන්ට කියා දෙනවා.

    මගේ පුංචි මුණුපුරු මිණිපිරියෝ ඒ අතීතය දැනගන්න කැමැතියි. මේ මහගෙදරට අදත් කෑම වේල් තුනට ම පුළු පුළුවන් විදියට දරුවොත් මුණුපුරනුත් හැමෝ ම එනවා. මහත්තයා, මේ ජාවත්තෙ අක්කර දෙකේ ඉඩමෙ ගෙවල් හයක් හැදුවෙත් ඒ වෙනුවෙන්මයි.

    කිසිම දුවෙක් කසාද බැඳලා ඈත ගියේ නැහැ. පවුලක් විදියට හැමෝම වැඩකරලා Duro නම තව පරම්පරා ගාණක් ඉදිරියට යන්නයි මං ප්‍රාර්ථනා කරන්නෙ.

    ඉනෝකා පෙරේරා බණ්ඩාර
    ඡායාරූප - විමල් කරුණාතිලක
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ව්‍යාපරිකයන් දේශපාලකයන් ලංකර ගැනීමෙන් ඉක්මනින් ධනවත් වෙන්න පුලුවන්.නමුත් ඒ වගේම දිනන පක්ෂෙට පැන්නේ නැත්නම් මිනිහගේ විනාසය.දාස සිරිමට උදව් කරන්න ගිය නිසා කඩාගෙන වැ‍ටුනා.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ව්‍යාපරිකයන් දේශපාලකයන් ලංකර ගැනීමෙන් ඉක්මනින් ධනවත් වෙන්න පුලුවන්.නමුත් ඒ වගේම දිනන පක්ෂෙට පැන්නේ නැත්නම් මිනිහගේ විනාසය.දාස සිරිමට උදව් කරන්න ගිය නිසා කඩාගෙන වැ‍ටුනා.

    :yes::yes::yes::yes::yes::yes: