කොරෝනා වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කෙරේ
කොරෝනා වෛරස් ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත.
අද වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ දහනව දහස ඉක්මවා තිබෙන්නේ සමස්ත මරණ ගණන 4300 දක්වා ඉහළ නංවමින්.
ආසාදිත ලැයිස්තුවට අලුතින් එක්වූ රටවල් වන්නේ, බොලිවියාව,කොංගෝ ජනරජය,ජැමෙයිකාව හා තුර්කියයි.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ චීනයෙන් ගතවූ පැය 24 තුළ වාර්තා වන්නේ, නව ආසාදිතයින් 24 ක් සහ මරණ 22ක් පමණයි.
මෙවැනි පසුබිමක වූහාන් නගරයේ ස්ථාපිත කළ තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලම සම්පූර්ණයෙන් වසාදැමීමට චීන රජය පියවර ගෙන ඇත.
මේ අතර නිරෝධායනය කටයුතු හේතුවෙන් අක්‍රීය වී ඇති සමස්ත ඉතාලියේ අසාදිතයින් ගණන 10,000 ඉක්මවා තිබෙන්නේ මරණ ගණන 631 දක්වා ඉහළ නංවමින්.
වෛරසය ආසාදිත වූ ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාව මේ වනවිට සුවය ලබමින් සිටින නමුත් ඇයට රෝහලෙන් පිටව යාමට තවමත් අවසර හිමිවී නැතැයි වාර්තා වුණි.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
මේ අතර බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 382 දක්වා ඉහළ ගොස් ඇත්තේ මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවමින්.
එරට වෛරසය ආසාදිතවූවන් අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරිය වන නඩීන් ඩොරිස් ද වෙයි.
දකුණු කොරියාවේ ගතවූ පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයින් 242 දෙනෙකු සමග සමස්ත ආසාදිතයින් ගණන 7755 දක්වා ඉහළ ගොස් ඇත.
එරටින් වාර්තා වන මරණ ගණන 60ක්.
මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව දැල්වීම ප්‍රේක්ෂකයන් නොමැතිව සිදුකිරීමට තීරණය කර තිබේ.
මෙලෙස ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරව ඔලිම්පික් ගිනිසිළුව දල්වනු ලබන්නේ වසර 35කට පසුව වීම විශේෂත්වයක්.
මේ අතර නව කොරෝනා ව්‍යාප්තියෙන් ජර්මනියේ සමස්ත ප්‍රජාවෙන් සියයට 60ත් 70ත් අතර පිරිසක් ආසාදිතයන් බවට පත්විය හැකි බව ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කේල් පවසයි.
ඇය මේ බව සඳහන් කළේ වෛරස ව්‍යාප්තියෙන් අනතුරුව පළමුවරට බර්ලිනයේදී මාධ්‍ය හමුවීමෙන් අනතුරුවයි.