එළිදරව්ව 21 : 1-27 (Revelation)
අලුත් අහස සහ අලුත් පොළොව.
1අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය; මුහුදද තවත් නොවීය. 2තවද තමාගේ පුරුෂයාට සරසනලද මනමාලියෙකු මෙන් සූදානම්කරනු ලැබූ ශුද්ධ නුවර, එනම් අලුත් යෙරුසලම, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි. 3තවද: මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමගය, උන්වහන්සේ ඔවුන් සමග වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමග සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. 4උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය. 5සිංහාසනය පිට වැඩහුන් තැනන්වහන්සේ කථාකොට: බලව, සියල්ල අලුත්කරමියි කීසේක. තවද උන්වහන්සේ කථාකොට: ලියාපන්න. මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑයයි කීසේක. 6උන්වහන්සේ මට කථාකොට: ඒවා ඉෂ්ටවුණේය. මම අල්ඵා සහ ඕමෙගාය, පටන්ගැන්ම හා අන්තිමය. පිපාසාය ඇත්තාට මම ජීවන-වතුර-උල්පතෙන් නොමිලයේ බොන්ට දෙන්නෙමි. 7ජයගන්නා මේ දේවල් උරුමකරගන්නේය; මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔහු මාගේ පුත්‍රයා වන්නේය. 8නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.
ස්වර්ගීය යෙරුසලම.
9අන්තිම පීඩා සත සහ පාත්‍රා සත දැරූ දේවදූතයන් සත්දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමග කථාකොට: මෙහි වරෙන්න, බැටළුපැටවාණන්ගේ භාර්යාව වන මනමාලී නුඹට පෙන්වන්නෙමියි කීවේය. 10ඔහු මහත්වූ උස්වූ කන්දකට ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මා ගෙනගොස්, ශුද්ධ නුවරවූ යෙරුසලම දෙවියන්වහන්සේගේ තේජස ඇතුව දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේය. 11ඇගේ ආලෝකය ඉතා අනර්ඝවූ මාණික්‍යයකට සමානය; එනම් පළිඟු මෙන් පැහැදිලිවූ සූර්යකාන්ති ගලක් වාගේය. 12මහත්වූ උස්වූ පවුරක්ද දොරටු දොළොසක්ද ඊට තිබුණේය, දොරටු ළඟ දේවදූතයෝ දොළොස්දෙනෙක් සිටියෝය; ඒ පිට නාම ලියා තිබුණේය, ඒ නාම වනාහි ඉශ්රායෙල් පුත්‍රයන්ගේ දොළොස් ගෝත්‍රයන්ගේ නාමවල්ය. 13නැගෙනහිරින් දොරටු තුනක්ද, උතුරෙන් දොරටු තුනක්ද, දකුණෙන් දොරටු තුනක්ද, බස්නාහිරින් දොරටු තුනක්ද තිබුණේය. 14නුවර පවුරට අත්තිවාරම් දොළොසක් තිබුණේය, ඒවා පිට බැටළු පැටවාණන්ගේ ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නාම දොළොස ලියා තිබුණේය. 15මා සමග කථාකළ තැනැත්තාට නුවරද එහි දොරටුද එහි පවුරද මනින පිණිස මිම්මක් කොට රන් දණ්ඩක් තිබුණේය. 16නුවර සතරැස්ව පිහිටා තිබේ, එහි දිගද පළලේ ප්‍රමාණයට තිබේ. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේය. එය පර්ලොං දොළොස් දහසක්ය. එහි දිගත් පළලත් උසත් එක සමානය. 17ඔහු එහි පවුර මැන්නේය, ඒක මිනිහෙකුගේ එනම් දේවදූතයෙකුගේ මිම්මෙන් එකසිය හතළිස්හතර රියනක්ය. 18එහි පවුර සූර්යකාන්තිවලින් ගොඩනගා තිබුණේය. නුවරද පවිත්‍ර වීදුරුවලට සමානවූ පවිත්‍ර රන්ය. 19නුවර පවුරේ අත්තිවාරම් සියලු ආකාර අනර්ඝ ගල්වලින් සරසා තිබුණේය. පළමුවෙනි අත්තිවාරම සූර්යකාන්තියය; දෙවෙනි එක නීලකාන්තියය; තුන්වෙනි එක වර්ණකාන්තියය; සතරවෙනි එක මරකතයය; 20පස්වෙනි එක නාඛමාණික්‍යය; සවෙනි එක ලෝහිතංකයය; සත්වෙනි එක රන්කාන්තියය; අටවෙනි එක වෛදූර්යය; නවවෙනි එක පුෂ්පරාගයය; දසවෙනි එක ගෝමේදයය; එකළොස්වෙනි එක පද්මරාගයය; දොළොස්වෙනි එක අඹතෙස්ය. 21දොරටු දොළොස මුතු දොළොසක්ය; එක එක දොරටුව එක එක මුතු ඇටයකින් සාදා තිබුණේය. නුවර වීථිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පවිත්‍ර රන්ය. 22මම එහි දේවමාළිගාවක් නුදුටිමි. මක්නිසාද සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේද බැටළුපැටවාණෝද එහි දේවමාළිගාවය. 23දෙවියන්වහන්සේගේ තේජසින් නුවර ආලෝකවූ බැවින්ද බැටළුපැටවාණන් එහි පහන වන බැවින්ද එහි බැබළීමට සූර්යයාවත් චන්ද්‍රයාවත් ඕනෑ නැත. 24ජාතීහු එහි එළියෙහි ඇවිදිති. පොළොවේ රජවරු තමුන්ගේ තේජස ඊට ගෙනෙති. 25එහි දොරටු දවාලේ කිසිසේත් වසනු නොලබන්නේය. මක්නිසාද එහි රාත්‍රීයක් නොවන්නේය. 26ඔව්හු ජාතීන්ගේ තේජසත් ගෞරවයත් ඊට ගෙනෙනවා ඇත. 27බැටළුපැටවාණන්ගේ ජීවන-පොතෙහි ලියනලද්දවුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල්වූ බොරුවූ දෙයක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුල් නොවන්නේය.