මාර්ක් 13 : 1-37
දේවමාළිගාවේ විනාශයද ස්වාමීන්වහන්සේගේ නැවත ඊමද ගැන කලින් කීම.
1උන්වහන්සේ දේවමාළිගාවෙන් පිටත්ව යද්දී උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්: ආචාරිනි, බැලුව මැනව, කොයි ආකාර ගල්ද, කොයි ආකාර ගොඩනැගිලිද! කියා උන්වහන්සේට කීයේය. 2යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹ මේ මහත් ගොඩනැගිලි දකින්නෙහිද? ගලක් පිට ගලක් ඉතුරු නොවන ලෙස ඒවා කඩාදමනු ලබන්නේයයි කීසේක. 3උන්වහන්සේ දේවමාළිගාව ඉදිරියෙහි ඔලීව කන්දේ වැඩහුන් කල පේත්‍රැස්ද යාකොබ්ද යොහන්ද අන්ද්රැද රහසින් උන්වහන්සේට කථාකොට: 4ඒ දේ කොයි කලක සිද්ධවන්නේද? ඒ සියල්ල සිද්ධවන්ට යන කල ඊට ලකුණ කිමෙක්ද කියා අපට කිව මැනවයි කීවෝය. 5යේසුස්වහන්සේ ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: කිසිවෙකු විසින් නුඹලා මුළා නොකරන හැටියට බලාගනිල්ලා. 6බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් ඇවිත්-මම ඒ තැනන්වහන්සේය කියා බොහෝ දෙනෙක් මුළාකරන්නෝය. 7යුද්ධ සහ යුද්ධ කථා ගැන නුඹලා අසන කල නොකැලඹෙල්ලා. මේ දේවල් සිදුවෙන්ට ඕනෑය; 8නුමුත් අන්තිමය එවකට නොවෙයි. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල පොළෝකම්පාවන්නේය; සාගත වන්නේය. මේවා ගාවිනාවල පටන්ගැනීමය. 9එහෙත් නුඹලා ප්‍රවේසම්වෙයල්ලා. මක්නිසාද ඔව්හු මන්ත්‍රණ සභාවලට නුඹලා පාවාදෙන්නෝය; සිනගෝගවලදී නුඹලා තළනු ලබන්නහුය; අධිපතීන්ද රජුන්ද ඉදිරියේ නුඹලා මා නිසා ඔවුන්ට සාක්ෂියක් පිණිස සිටිනවා ඇත. 10තවද ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු ලබන්ට ඕනෑය. 11ඔවුන් නුඹලා පාවාදෙන්ට ගෙනයන කල කුමක් කියන්නෙමුදැයි කලින් කනස්සලු නොවෙල්ලා. එහෙත් ඒ පැයේදී නුඹලාට යමක් දෙනු ලැබේද ඒක කියාපල්ලා. මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව ශුද්ධාත්මයාණන්වහන්සේය. 12තවද සහෝදරයා සහෝදරයාද පියා දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය; 13මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරකරන්නෝය. නුමුත් අන්තිමය දක්වාම ස්ථිරව සිටින්නා ගළවනු ලබන්නේය. 14තවද පාළුකරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා නුඹලා යම් කලක දකින්නහුද (කියවන්නා තේරුම්ගනීවා), එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා. 15ගෙය උඩ සිටින්නා බසින්ටවත් තමාගේ ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුල්වෙන්ටවත් නොයෙදේවා. 16කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට හැරී ආපසු නොයේවා. 17නුමුත් ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! 18ශීත කාලයේදී මේවා සිද්ධ නොවෙන පිණිස යාච්ඤාකරපල්ලා. 19මක්නිසාද දෙවියන්වහන්සේ මැවූ මැවිල්ලේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ මතු සිදු නොවන්නාවූ ආකාර පීඩා ඒ දවස්වලදී පැමිණෙන්නේය. 20ස්වාමීන්වහන්සේ ඒ දවස් ලුහුඬු නොකළසේක් නම් කිසිකෙනෙක් ගැළවෙන්නේ නැත. නුමුත් උන්වහන්සේ තමන් තෝරාගත්තවුන් උදෙසා ඒ දවස් ලුහුඬුකළසේක. 21එකල: මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙහිය; නොහොත්: අන්න එහියයි යමෙක් නුඹලාට කීවොත් විශ්වාස නොකරල්ලා. 22මක්නිසාද බොරු ක්‍රිස්තුස්වරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට, පුළුවන්නම් තෝරාගත්තවුන් මුළාකරන පිණිස ලකුණුද පුදුමද දක්වන්නෝය. 23නුමුත් නුඹලා ප්‍රවේසම්වෙයල්ලා. ඔන්න, කල් ඇතුව නුඹලාට සියල්ල කීයෙමි. 24ඒ දවස්වලදී ඒ පීඩාවෙන් පසු ඉර අඳුරුවන්නේය, සඳ එළිය නොදෙන්නේය, 25තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ ඇති බලපරාක්‍රමයෝද සොලවනු ලබන්නෝය. 26එකල මනුෂ්‍ය පුත්‍රයා මහත් බලයෙන්ද තේජසින්ද යුක්තව වලාකුල්වල එනවා ඔව්හු දකින්නෝය. 27එවිට උන්වහන්සේ තමන් දූතයන් යවා, පොළොවේ කෙළවර පටන් අහසේ කෙළවර දක්වා සතරදිගින් තමන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරවනවා ඇත.
කාලය නොදන්න නිසා අවදිව සිටිය යුතු බව.
28අත්තික්කා ගහේ උපමාව ඉගෙනගනිල්ලා. එහි අත්ත මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නහුය. 29එසේම මේ දේ සිද්ධවෙනවා නුඹලා දකින කල උන්වහන්සේ දොරටුව ළඟම බව දැනගනිල්ලා. 30සැබවක් නුඹලාට කියමි- මේ සියල්ල සිදුවන තෙක් මේ පරම්පරාව පහවනොයන්නේය. 31අහසත් පොළොවත් පහවන්නේය. නුමුත් මාගේ වචන පහනොවන්නේය. 32නුමුත් ඒ දවසවත් ඒ පැයවත් පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් දන්නේ නැත, ස්වර්ගයෙහි සිටින දූතයෝවත් පුත්‍රයාවත් නොදනිති. 33ඒ කාලය කවදා වේදැයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේසම්වී, අවදිව ඉඳ යාච්ඤාකරපල්ලා. 34ඒ වනාහි තමාගේ දාසයන්ට බලයද එකිනෙකාට තම තමාගේ වැඩද දී, අවදිව සිටින්නැයි දොරටුපාලයාට අණ දී, තමාගේ ගෙදරින් පිටත්ව ගොස් අන් රටක නැවතී සිටින මනුෂ්‍යයෙකුට සමානය. 35එබැවින් ගෙදර ස්වාමියා හදිසියෙන් ඇවිත් නුඹලා නිදාඉන්නවා නොදක්නා පිණිස අවදිව සිටපල්ලා. 36මක්නිසාද ඔහු එන්නේ කොයි වේලේද එනම් සවසද මධ්‍යම රාත්‍රියේද කුකුළා හඬලන වේලේද අලුයමදැයි නුඹලා නොදන්නහුය. 37මම නුඹලාට කියන දේ සියල්ලන්ටම කියමි-අවදිව සිටපල්ලායයි කීසේක.