ආණ්ඩුව රාජ්‍ය ආයතන ණය බර වැඩි කිරීමට පනතක් ගෙන එයි !
ආණ්ඩුව විසින් (2021.04.28) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (Fiscal management (responsibility) Bill) සඳහා සංශෝධනයක් ගෙනැවිත් ඇත.
ඒ අනුව රාජ්‍ය ආයතනවලට රජයේ ඇපකර යටතේ ලබාගත හැකි ණය ප්‍රමාණය ද.දේ.නි. සාපේක්ෂව 15% දක්වා වැඩිකර තිබේ. මෙහි අරමුණ රාජ්‍ය ආයතන හරහා තවත් ණය ප්‍රමාණයක් ගැනීමය.
2020 මහ බැංකු වාර්තාව අනුව පවත්නා මිල අනුව ද.දේ.නි. 2020 දී රුපියල් බිලියන 14,973 ක් (නොහොත් ඩොලර් බිලියන 84 ක්) විය. රජයේ නොපියවූ ණය රුපියල් බිලියන 15,117 ක් විය (මෙය අඩුකර පෙන්වූ අගයකි). රජයේ ඇපකර මත රුපියල් බිලියන 986.4 ක් ද ඇපකර නැතිව රුපියල් බිලියන 323.5 ක් ද ලෙස රාජ්‍ය ආයතන රුපියල් බිලියන 1,310 ක් ලෙස ආණ්ඩුවෙන් පිටත රජයේ ආයතන වලින් ණය ගෙන ඇත. මෙහි ද.දේ.නි. 8.75% කි. එනම් දැනට ඇති 10% සීමාවට ආසන්න වෙමින් ඇත. (2021). නව පනත මගින් තවත් ද.දේ.නි. 5% ක් දක්වා වූ ණය ප්‍රමාණයක් ගැනීමට ආණ්ඩුවට හැකිවේ.
දැනට ඇපකර සහිතව ණය බර ඇති ලොකුම ආයතන වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (බිලියන 345), මාර්ග සංවර්ධන අධිකාරිය (බිලියන 262), ජල සම්පාදන මණ්ඩලය (බිලියන 138), කොතලාවල ආරක්ෂක පීඨය (බිලියන 35) ලෙසය. ඇපකර රහිතව/සහිතව ණය ගෙන ඇත්තේ විදුලිබල මණ්ඩලය (බිලියන 207), වරාය අධිකාරිය (බිලියන 164), ගුවන් සේවා සමාගම (ඇපකර රහිත හා සහිත බිලියන 56) ආදී ලෙසය.
කහතුඩුව - ඉංගිරිය අධිවේගය සඳහා රුපියල් බිලියන 55 ක් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා මාගා ආයතනයට ලබාදීමට ද ක්‍රියාකර ගෙන යයි.
රට වැටී ඇති ඉතා අහිතකර මූල්‍ය තත්ත්වය යටපත් කළ යුත්තේ වියදම් කපාහැර රට බංකොළාත්වීම වළක්වාගැනීම මිස තවත් ණය බර වැඩිකර ගැනීම නම් නොවේ.
පාඨලී චම්පික රණවක