ඉන්දියාව ගුවනින් පරිප්පු දාලා දවස් 3කට පස්සේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1987 ජුනි 7 වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලාන ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයට කඩා වැදුණා. ටී 56 ප්‍රහාරක රයිෆල් 14ක්, උප යාන්ත්‍රික තුවක්කු 53ක්, සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු 2ක්, පිස්තෝල 6ක්, වෙඩි උණ්ඩ 3,300ක් ඒවායින් පැහැර ගත්තා. 1987 ජුනි 7 වැනිදා ප්‍රහාරයේ වගකීම භාරගනිමින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියා සිටියේ ඉන්දිය ගුවන් ආක්රමණිකයා හමුවේ මව්බිමේ ආරක්ෂාවට එජාප ආණ්ඩුව නොයෙදූ ගුවන් ප්‍රහාරක අවි පැහැරගත් බවයි.ආයෙමත් 1987 අප්‍රේල් 15වැනිදා පල්ලකැලේ හමුදා කඳවුරට පහරදි අවි පැහැර ගත්තා.
1987 ජුලි 25වැනිදා ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්ෂකයින් අමතමින් පානදුරේදී ජනාධිපති ජයවර්ධන කව්රු විරුද්ධ වුනත් තමා ගිවිසුම අත්සන් කරන බව ප්‍රසිද්ධියේ කිව්වා. ඒ තමයි ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමක් ගැන ජේ. ආර්. ප්‍රසිද්ධියේ කිව්ව පලවෙනි අවස්ථාව.
මේ ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28වෙනිදා කොටුව බෝගහ ළඟ විරෝධතා ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ එදා උදේ 8ට.
විරෝධතා ව්‍යාපාරයට මව්බිම සුරකිමේ සංවිධානය වෙනුවෙන් හැඩිගල්ලේ පඥ්ඤාතිස්ස හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ප්‍රින්ස් ගුණසේකර යන අය උන්නා. ඒ අය තමයි මේකේ කැඳවුම්කරුවෝ. සිරිමා බණ්ඩාරනායක, ජිනදාස නියතපාල, බෙංගමුවේ නාලක හිමි, ගාමිණී ඊරියගොල්ල, අනුර බණ්ඩාරනායක ඇතුළු ශ්‍රිලනිප අය හුඟ දෙනෙක් උන්නා.
ඔය කියන 1987 ජුලි 28වැනිදා උදේ 11.30 වෙද්දී විසි තිස් දාහකට ආසන්න පිරිසක් කොටුව බෝගහ ලඟට එක් වුණා. පොලිසිය කඳුළු ගෑස් ගැහැව්වේ බැටන් පාරත් එක්ක. ඊළඟට වෙඩි තිබ්බා. ඉලක්කයක් නැතුව හතර අතේ.
ඉන්දු ලංකා ගිවිසුම් විරෝධී අරගලයේදී වෙඩි වැදිලා මැරුණේ ශිෂ්‍යයෙක්. ඒ මොරටුව විශ්ව ඉංජිනේරු ශිෂ්‍ය ක්ලිෆඩ් පෙරේරාය අයියා. එදා කොටුවේ බෝ ගහ ළඟ වෙඩි තියලා 21 දෙනෙක් මරුවා.
1987 ජුලි 29වැනිදා උදේ 10.30ට ඉන්දියා අගමැති රජීව් ගාන්ධියි බිරිඳ සෝනියායි කටුනායකට ආවා. ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වන නරසිංහ රාවෝ, එන්.ඩී තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්වාර් සිං යන අයයි කේ. පී. එස්. මෙනන්, රොහාන් සෙන් යන නිලධාරීන් ලංකාවට ආවා.
ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හමුවුනු ඒ උදවිය රට පුරා පැනවුණු ඇදිරිනීතිය මැද්දේ 1987 ජුලි 29 වැනිදා පස්වරු 3.37ට ඉන්දු – ලංකා ගිවිසුමට අත්සන් කළා.
ඒ වසර අවසානයේ වෛද්‍ය විද්‍යාල වසර අවසන් විභාගය යෙදී තිබුණේ 1987 ජූලි 30 දා.
ඒක අභියෝගයක්. හැබැයි ඊට මුහුණ දෙන්න අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව තීරණය කළා. ඒ අනුව කෙටි කළකින් බොහෝ දේ සංවිධානය කිරීමට ඔවුන්ට පුළුවන් වුණා. අද වගේ ආන්දුගති නොවුණු රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහයෝගය අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට ලැබුණා. රට පුරා විසිරී සිටින සියළු වෛද්‍යවරුන් හමු වී කරුණු පැහැදිළි කර වෛද්‍ය වැඩ වර්ජනයට ඔවුන් කැමති කරවා ගන්න ශිෂ්‍යයන්ට පුළුවන් වුණා. 1987 ජූලි මාසය රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධතා මාසය ලෙස නම් කෙරුණේ 1987 ජූලි 13 දින වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයකින්.
ජේ. ආර්. ගේ ආණ්ඩුව ප්රශ්නය විසදීම පැත්තක් තියලා වෛද්‍යවරුන් මර්දනය කරලා වර්ජනය නතර කරන්න බැලුවා. අත්‍යවශ්‍ය සේවා නියෝග දැම්මා. වෛද්‍යවරුන් රජයේ සේවය අතහැර ගියා සේ සළකා දේපළ රාජසන්තක කරන බවට තර්ජනය කළා. මේ සියල්ලටම එරෙහිව වෛද්‍ය පීඨයේ සිසුන් රටපුරා ඇවිදිමින් වෛද්‍යවරුන් සංවිධානය කළ නිසා ජේ. ආර්. ගේ ආණ්ඩුවේ තර්ජන වෛද්‍ය වැඩ වර්ජනය නතර කිරීමට ප්‍රමාණවත් වුණේ නැහැ.
මේ රටේ ඉතිහාසයේ දීර්ඝතම වැඩවර්ජනය දින 27 කට පස්සේ ජයග්‍රහණය පෙනි පෙනී අතහැර දැම්මා. වෛද්‍ය වැඩ වර්ජනය ආරම්භ වුණේ වෛද්‍ය ශිෂ්‍ය අරගලය ඉතා පටු සීමාවන්ට කොටු කරමින්. නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණ කිරීම වැළක්වීමේ දිගුදුර ඉලක්කය වෙනුවට සටන එල්ල වුණේ කොළඹ වෛද්‍ය පීඨයේ ගෞරවණීය උපාධිය පෞද්ගලික වෛද්‍ය සිසුන්ට ලබා නොදීමට විතරයි. පළමු වටයේදීම ඒ හුදෙකලා සටන වෛද්‍ය වැඩ වර්ජනය පරාජය වීමෙන් පස්සේ වෙන් වෙන්න පටන් ගත්තා. සටන නිදහස් අධ්‍යාපනය රක ගැනීම දක්වා පුළුල් වියයුතු බව වැටහුනා. ඒ හුදෙකලා සටන එතැන් පටන් “පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” දක්වා අර්ථාන්විතව පුළුල් වුණා.
1988 ඔක්තෝම්බර් 22 වැනිදා පැහැරගෙන ගොස් හිසට පරාල ඇණ ගසා මරා දමන තුරු ත්‍රිමා අය්යා, පද්මසිරි ත්‍රිමාවිතාන ඒ සටනේ ධෛර්යය පිරි යෞවනයෙක් වුණා.
ත්‍රිමා අය්යා දකුණේ අම්බලන්ගොඩ කහව ගල්දූව ගමේ උපන්නේ 1964 මාර්තු මස 01 දා. එයාගේ තාත්තා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙක්. ත්‍රිමා යයට මල්ලිලා තුන් දෙනයි. එක නංගී කෙනයි. එයා තමයි පවුලේ වැඩිමලා. අම්බලන්ගොඩ කහව පාසලෙන් උසස් පෙළ ලියලා 1985 දී කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ආපු කෙනෙක්. එයාගේ හොස්ටල් එක බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරය.
පද්මසිරි ත්රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ ඇතුලූ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටතේ 40 ලක්ෂයක ශිෂ්‍ය ප්‍රජාවගේ අයිතිය වෙනුවෙන් සටන් කළා. ඒ කාලයේ අපි උසස් පෙළට ජීව විද්‍යාව කරපු ශිෂ්‍යයෝ.
අපි යන්න හිතන් හිටපු වෛද්‍ය පීඨ වහලා සටන් ඇවිලුණු යුගයක රත්නපුර ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානියෙක් වුණ ත්‍රිමා අය්යා මට මුන ගැහුණේ 1987 වගේ කාලයේ එකම එක දවසක්. හමුවුණු දවසේ අපි දැනන් උන්නේ නැහැ එයාගේ නම පද්මසිරි ත්‍රිමාවිතාන කියලා. මරාදැම්මට පස්සේ තමයි ඒ අය්යගේ නම ත්‍රිමා කියලා දන ගත්තේ. දන්නා විදිහට ත්‍රිමා අය්යා හික්කඩුවේ ඉදලා රත්නපුරයට ගිහින් තිබුණේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ප්රශ්නය ගැන මිනිස්සුන්ට කියන්න. ඒ විතරක් නෙමෙයි රටේ තත්වයත් ගැන මිනිස්සුන්ට කියන්න.
පද්මසිරි ත්රීමා විතාන, රංජිත් පෙරේරා, ඩී. ඩී. බන්දුවර්ධන යන තුන් දෙනා රත්නපුර බස්නැවතුම් පොලේදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගත්තා. වද බන්ධනයට ලක් කරපු මේ තුන්දෙනා එදාම රෑ මරාදාලා, පුච්චලා වැල්ලවාය, කොස්ලන්ද පාරේ දාලා ගිහින් තිබුණා. සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවලා, යටිපතුල් පලලා, ඇස් උගුල්ලලා, ඔලුව දෙපැත්තට පරාල ඇණ ගහලා ඒ එන වලට ලණු බැඳලා ජීප් එකක මහා පාරේ ඇදගෙන ගිහින් තමයි මේ ය ඝාතනය කරලා තිබුණේ.
මෙම ඝාතනයේ චෝදනා එල්ල වුණේ ඒ කාලේ සබරගමුව මහ ඇමතිගේ පුතා සුසන්ත පුංචිනිලමේට. නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග වුණා. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට අධිචෝදනා 13 ක් පවරා තිබුණා. අන්තිමට චෝදනා ඔප්පු කරන්න බැරි වුන නිසා ඒ උන්දලා නිදහස් වුණා.
ජේ. ආර්. ගේ ආණ්ඩුව මරාදාපු ත්‍රිමා අයගේ මළසිරුරටත් බය වුණා. ආණ්ඩුව හැදුවේ හොර රහසේම දේහය ගෙදර අයට බාරදීලා අවසන් කටයුතු කරන්න. හැබැයි වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඒකට එකඟ වුණේ නැහැ.
කොළඹ මහ රෝහලේ වහල මතට නැගුණු වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ත්රිමාගේ මළසිරුර ඉල්ලලා මාරාන්තික උපවාසයක් පටන් ගත්තා. ජේ. ආර්. ගේ ආණ්ඩුව ඒවා ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ ඒ ය තමන්ගේ සහෝදර ත්රිමාගේ දේහය ඉල්ලලා පෙට්‍රල් වත්කර සිය දිවි හානි කර ගන්න හැදුවා. අන්තිමට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබ්බ, විධායක ජනාධිපති ජේ. ආර්. ගේ ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ දණ ගැහැව්වා. තමන්ගේ හෙන්චයියන් විසින් අමානුෂික වැඩ බන්ධනයන්ට ලක් කරලා මරපු පද්මසිරි ත්‍රිමාවිතාන නම් තුරුණු ශිෂ්‍යයාගේ දේහය කුඩා පෙට්ටියක දාලා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට දුන්නා.
ඒ දේහයට අවසන් ගෞරවය දක්වන්න පද්මසිරි ත්‍රිමාවිතාන දැන සිටි නොසිටි ලක්ෂ සංඛ්‍යාත මිනිස් ගඟක් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ගොඩනැගිල්ලට ගැලුවා. ඒ ආපු මිනිස් ගඟ මුලින් කී විදුරු ආවරණය යට හුන් පුංචි යෞවනයාට දණ ගහලා වැන්දා. කඳුළු පෙර පෙරා ඒ දේහයට ගෞරව කළා. කාලකන්නි මිනීමරුවන්ට උස් හඬින් සාප කළා.
දන්නා පරිදි ලක්ෂ තුනකට වඩා එතැනට ඇදී ආ මිනිස් ගඟ අවසන් දිනය දා ආදාහන පෙළහර කොළඹ තුන්මුල්ල හරහා දිගු ගමනකින් පසු බොරැල්ල කනත්තට ලඟා වුණා. එය ලාංකීය ඉතිහාසයේ විශාලතම ජන සංඛ්‍යාවක් සහභාගීත්වයෙන් පැවැති අවමඟුල් උත්සවය.
වට රවුමක් ගසා බොරැල්ලේ කනත්තට ඇදී ආ ඒ ජන ගඟ සටන් පාඨ කියමින් මිනිස් ධෛර්යය අවුලුවමින් අවට ජනයාගේ නොමඳ සහය ලද අතිශය සාමකාමී විරෝධතාවයක් වුනා. බොරැල්ල කනත්තට එන අතර මග රැකවල්ලා ල සිටි තරුණ හමුදා සෙබලෙකු ඉදිරිපිට විරෝධතාවය දැක්වූ අවස්තාවක් මට තාමත් අමතක කළ නොහැකියි.
තරුණියන් තුන් දෙනෙක් ඒ හමුදා සේමලා ඉදිරිපිට ‘සෙබල සොයුර මේ අහන්න – ඔය ගිනි අවි අපිට දෙන්න’ කියා සටන් පාඨ කිව්වා. එක් වරම ඒ හමුදා සෙබලා තමන්ගේ අතේ තිබුණ ටී. 56 ගිනි අවිය අර තරුණියන්ට දුන්න. ඒ තමයි මගේ ජීවිතයේ මම දැක්ක හෘදය සාක්ෂියේ අවස්ථාවක්.
වෛද්‍ය ශිෂ්‍ය පද්මසිරි ත්‍රිමාවිතාන ගේ ඒ ඝාතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ සංධිස්ථානයක්. එම අරගලයේ අනෙක් නියමුවෝ සිය ආදරණීය ශිෂ්‍ය නායකයාට ඔහු ගෙන ගිය අරගලය ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යන බවට විදුලිය පවා ලබා නොදුන් බොරැල්ල කනත්තේදී දිව්රා පොරොන්දු වුණා. කනත්තෙන් එළියේ හිටපු ලක්ෂ ගණනක මිනිස් සමූහය මැද හුන් මමත් ඒ දිව්රුම දුන්නා. එදා එතන උන්න වෙනුර එදිරිසිංහ, සිසිර කීර්ති ජයවර්ධන, කුමාර කුලතුංග, ලීල් සමරනාත්, සරත් කොල්ලූරේ, නිශාන්ත එදිරිවික්රම, අතුල සේනාරත්න, සුගත් අශෝකා ද සිල්වා යන කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් පසු කලෙක පැහැරගෙන ගොස් මරා දැම්මා.
මරන්න මරන්න ජේ. ආර්. – ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව ඒ අය ගොඩනැගූ අරගලය රට පුරාම පැතිරුනා. මරලා මරලා කොච්චර ගොඩ ගැහැව්වත් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා නොගෙන ඉන්න බැරිබව ආණ්ඩුව තේරුම් ගත්තා. ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් වෛද්‍ය ශිෂ්‍ය ප්රශ්නය විසදිය යුතු වුණා.
අන්තිමට හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් තිබ්බ, විධායක ජනාධිපති බලයක් තිබ්බ ජේ. ආර්. ගේ ආණ්ඩුව තමන්ගේ හිතුවක්කාරී පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය අකුලාගෙන රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කළා.
ඒ තමයි ඉතිහාසය.
ඒ කාලේ නිරෝධායන නීති, අණ පනත් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ තිබුණේ තුනෙන් දෙකක බලය වෙනුවට හයෙන් පහක බලයක්. ඒත් දේශපාලන දැනුමින් වැඩුණු ශිෂ්‍ය සමුහයක් සමාජයේ සෙසු සමාජ කණ්ඩායම් එක්ක එකතු වෙලා මුළු ආණ්ඩුවම දණ ගැස්සුවා.
ඒ තමයි ඉතිහාසය.
ඒ ඉතිහාසයේ එක් දීප්තිමත් මතකයක් තමයි මගේ ජීවිතයේ එකම එක දවසක් මුණ ගැහුණු පද්මසිරි ත්‍රිමාවිතාන කියන රටම දන්නා ත්‍රිමා අය්යා.
1988 ඔක්තෝම්බර් 22 වෙනිදා ත්‍රිමා අය්යව පැහැරගෙන ගිහින් මරලාදාපු උන්න්ගේ නම්, ගම් අපි කව්රුවත් දන්නේ නැහැ. එකම එක කාලකන්නියෙක්ගේ නම විතරයි අපි දන්නේ. හැබැයි අවුරුදු 33කට පස්සෙත් අපි ඒ ආදරණීය යෞවනයාගේ නම මුමුණනවා. ගෞරවයෙන් සිහිකරනවා. අපේ දරුවන්ට එයා ගැන කියා දෙනවා.
ත්‍රිමා අය්යා මරලා අවුරුදු 33කට පස්සේ අදත් ඒ වගේමයි. අධ්‍යාපනය නිදහස් කරගන්න මිනිස්සු සටන් කරනවා. රාගම මොකද කොතලාවල මොකද, වෙනස නම් වල විතරයි. සටන සටනමයි.
තවත් අවුරුදු 33ක් ගිය තැන අද සටන ගැන මිනිස්සු කතා කරයි. ඒ ජයග්‍රාහී දවසටත් ත්‍රිමා වගේ නමක් මිසක් වයසක සටන්කාමීන්ට පහරදුන් පොලිස් බටයන්ගේ නම්, ගම, වගවාසගම් හොයාගන්නවත් බැරි වෙන එකනම් සහතිකයි.
ඒ තමයි ඉතිහාසය.
-සිසිර යාපා (fb)