ලබන මාසයේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්නට අපහසු බවට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු නිල වශයෙන් ම ප්‍රකාශ කොට තිබෙනවා.
ඒ වගේ ම දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුවෙමින් පවතින සාකච්ඡා සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ සාකච්ඡා නිසා මුදල් අච්චු ගසා හෝ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නට පුළුවන්කමක් නැහැ.
වැටුප් ගෙවන්නට මුදල් සොයාගන්නට නොලැබුණොත් රජයේ සේවකයන්ට වැටුප් කප්පාදුවකට යන්නට සිදුවෙනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ වැටුපෙන් කොටසක් පමණක් ගෙවීමයි.
මෙවැනි ඉතා ම දරුණු ලෙස ජීවන වියදම ඉහළ යන කාලයක, අධික උද්ධමනයක් පවතින කාලයක, වැටුපෙන් කොටසක් අහිමි වීමත් සමග රජයේ සේවකයන් ගිනි ගොඩකට තල්ලු වන බව කුඩා දරුවෙකුට වුණත් තේරෙනවා.
මා හිතන්නේ මෙය කාලයක් තිස්සේ පුපුරන්නට නියමිතව පැවති ගිනිකන්දක්. ප්රශ්නය තිබුණේ එය පුපුරා යන්නේ කවදාද යන්න පමණයි. මා හිතන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුර මේ වන විට ලැබෙමින් පවතිනවා.
රාජ්‍ය සේවය මේ තරම් විශාල අර්බුදයකට ගමන් කරන්න බලපෑ එක ප්‍රබල හේතුවක් වන්නේ ජේ.ආර්. ජයවර්ධන ගේ සිට බලයට පැමිණි සෑම ආණ්ඩුවක් ම රජය ප්‍රමාණයෙන් කුඩා කරන්නට අසමත් වීමයි.
ඔවුන් විශාල රාජ්‍ය යන්ත්‍රණයක් නඩත්තු කරමින්, ඒ රාජ්‍ය යන්ත්‍රණය උලා කා යැපෙන්නට තම දේශපාලන හෙංචයියන්ට ඉඩ ලබා දෙමින්, එම හෙංචයියන් ලවා තම පක්ෂ සංවිධාන දුවවමින් ඔවුන් බලය සඳහා වන භයානක සූදුවක නියැලී සිටියා.
ඒත් පහුගිය අවුරුදු 20ක කාලය ඇතුළත මේ රාජ්‍ය සේවයේ ප්රශ්නය ඉතා ම දරුණු තැනකට ගෙන ගියේ මහින්ද රාජපක්ෂයි. බලයට පත්වෙන විට එනවාද, යනවාදැයි දන්නේ නැතිව සිටි මහින්දව ප්‍රතිපත්තිමය වශයෙන් මූලිකව ම එතැනට තල්ලු කලේ 2005/06 වන විට මහින්ද ගේ පාලනයේ ප්‍රධාන පංගුකාරයෙකු වශයෙන් සිටි ජනතා විමුක්ති පෙරමුණයි.
මහින්ද මේ අතාර්කික ආර්ථික පීල්ලට තල්ලු කළ ජවිපෙ 2007 වන විට හීන්සීරුවේ ඒ ආණ්ඩුවෙන් ලිස්සා ගියා.
මහින්ද ලංකාවේ රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.5 දක්වා ඉහළ නංවන විට සමාජයේ ඒ ගැන විශාල ප්‍රශ්නාර්ථයක් නිර්මාණය විය යුතුව තිබුණා.
එහෙත් ඒ වෙනුවට බහුතරයක් දෙනා කළේ ඒ සියලු අමනෝඥ පියවරවලට ඔල්වරසන් දී, අවසානයේ මහින්දට රජ ඇඳුමුත් ඇන්දවීමයි.
මහින්දගෙන් පසුව බලයට පැමිණි එජාප ප්රමුඛ යහපාලන ආණ්ඩුව සෑම රජයේ සේවකයෙකුට ම රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඒක එයින් මාස කිහිපයකට පසුව පැමිණි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ලබා දුන් ඡන්ද ගුණ්ඩුවක් බව තේරුම් ගන්න අයින්ස්ටයින් ගේ බුද්ධිය අවශ්‍ය නැහැ.
අඩු ම තරමේ ඒ තරම් විශාල වැටුප් වැඩිවීමකට යනවිට අඩු ම තරමේ රජයේ සේවකයන් සඳහා කාර්ය සාධන දර්ශක (KPI) හඳුන්වා දීම වැනි ඔවුන් ගේ ඵලදායීත්වය වැඩි කරන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න ඔවුන්ට වුවමනාවක් තිබුණේ නැහැ. ඔවුන්ට වුවමනාව තිබුණේ බලය ගැනීම වෙනුවෙන් කරන දේශපාලන සූදුව ගැන පමණයි.
මේ නිසා අද මේ තියෙන ප්රශ්නය පොහොට්ටුව, එජාපය, එජාපයේ ම දිගුවක් වුණු සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එකතු වී හැදූ කැඳ හැළියක් බව තේරුම් ගත යුතුයි.
මේ කැඳ හැළිය හැදූ කෝකියන්ට ම මේ ප්රශ්නය විසඳන්නට වුවමනාවක් තියෙනවා කියලා හිතන එක ඇතුළේ ම ලොකු අවුලක් තියෙනවා.
මේ ප්රශ්නය කොතරම් ඔඩු දුවලාද කියනවා නම් ඇතැම් රජයේ සේවකයන්ට සේවයට නොඇවිත් ගෙදර ඉන්නට කියා වැටුප ඔවුන් ගේ බැංකු ගිණුමට දැම්මත් එය පවා ලාභදායකයි. මේක එක පාරට ම විහිළුවක් වගේ පෙනුණත් ඉතා ම ඛේදනීය යථාර්ථයක්.
ලිබරල් ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරය විදියට අපි රාජ්‍ය සේවය ඉතා ම පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කොට ජනතාව මත පටවා ඇති මේ බර අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එයින් හැම රාජ්‍ය ආයතනයක් ම විකිණිය යුතුයි කියන තැන හෝ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා හැම ආයතනයට ම හරියන පොදු සූත්‍රයක් ඇතැයි කියන තැන අප නැහැ. එහෙත් ආණ්ඩු විසින් වාණිජ ව්‍යාපාර (commercial enterprises) නොකළ යුතුයි කියන තැන අප ඉන්නවා.
ආණ්ඩුවකට කරන්න තියෙන වැඩේ පාලනය මිස බිස්නස් කිරීම නෙවෙයි (The only business of a government is governance ) කියන ස්ථාවරයේ අප ඉන්නවා.
අප ඇත්තට ම විශ්වාස කරන්නේ මේ අවුල විසඳන්න නම් ඉතා ම අමාරු සැත්කමක් සිදු කළ යුතු බවයි. එම සැත්කම ඉතා ම වේදනාකාරී විය හැකියි. ඒත් ඒ සැත්කම නොකළොත් රෝගියා මියයාම අනිවාර්යයි.
රෝගියා මියගිය පසු අපට හෝ වෙනත් කිසිවෙකුට කරන්නට දේශපාලනයක් ඉතිරි වෙන්නේ නැහැ.
ඒ නිසා අප ගේ පළවෙනි සටන විය යුත්තේ රෝගියා කෙසේ හෝ ජීවත් කරවීමයි.
-
රසික ජයකොඩි
23 - 09 - 2022