
ලිපිය සැකසුම: @Stimulus mind 
ලබන අවුරුද්දේ තිරගත කිරීමට නියමිතව තිබෙන "Mission: Impossible" සිනමාපට මාලාවේ අටවන දිග හැරුම වන "Mission: Impossible 8" හි (මීට පෙර මෙම සිනමාපටය "Mission: Impossible - Dead Reckoning - Part 2" ලෙස නම් කර තිබුණ ද මේ වන විට ඒ සදහා වෙනත් නාමයක් යොදාගැනීමට සැලසුම් කර තිබෙනවා) රූපගත කිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා. "Mission: Impossible" සිනමාපට මාලාවට අයත් අවසන්වරට තිරගත වූ සිනමාපටය වන "Mission: Impossible - Dead Reckoning - Part 1" බොක්ස් ඔෆිස් වශයෙන් බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් අතකර ගැනීමට අපොහොසත් වූ අතර නිෂ්පාදන වියදම (production budget) ලෙස පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 291 කට ආසන්න මුදලක් වැය කළ ද එම සිනමාපටයට, ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායම ලෙස උපයාගනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 567.5 ක් පමණක්. එම ආදායම ඊට පෙර තිරගත වූ "Mission: Impossible" සිනමාපටය වූ "Mission: Impossible – Fallout" ඉපැයූ බොක්ස් ඔෆිස් ආදායමට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 225 කින් අඩු අගයක් තමයි ගනු ලැබුවේ.
පසුගිය වසරේ මාර්තු මාසයේදී, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් "USS George H.W. Bush" නම් "Nimitz-class aircraft carrier" ගනයේ යුධ නෞකාවෙහි සිදුකළ "Mission: Impossible 8" සිනමාපටයේ රූපගත කිරීම් අතරතුර නෞකාවේ කාර්ය මණ්ඩලය සහ නාවිකා හමුදා නිලධාරීන් සමග ඡායාරූපවලට පෙනී සිටි "ටොම් කෲස්"
ටොම් කෲස්, සිනමාපටයේ අධ්යක්ෂ සහ තිර රචක "Christopher McQuarrie" සහ තවත් නාවික හමුදා නිලධාරියෙකු සමග
කොරෝනා වසංගතය හේතුවෙන් කීපවරක්ම රූපගත කිරීම් අතරමග නතර කිරීමටත්, කල් දැමීමටත් සිදුවීම, "Mission: Impossible - Dead Reckoning - Part 1" සහ ""Mission: Impossible 8" යන සිනමාපටයන් ද්විත්වයේම නිෂ්පාදන වියදම් අධික ලෙස ඉහළ යාමට මූලික වශයෙන් හේතු වුණා. ඊට අමතරව පසුගිය වසරේදී, හොලිවුඩ් රංගන ශිල්පීන්ගේ වෘත්තීය සංගමය වන 'SAG-AFTRA' (Screen Actors Guild and American Federation of Television and Radio Artists) සංවිධානයත්, තිර පිටපත් රචකයන්ගෙ වෘත්තීය සංගමය වන 'WGA (Writers Guild of America)" නම් සංවිධානයත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මාස ගණනාවක් මුළුල්ලේ සිදුකළ අඛණ්ඩ වැඩවර්ජනය ද "Mission: Impossible 8" සිනමාපටයේ රූගත කිරීම අතරමග නතර කර දැමීමට ප්‍රධාන වශයෙන් හේතු වුණා.
කෙසේ වෙතත් හොලිවුඩයෙන් ලැබෙන නවතම වාර්තාවලට අනුව "Mission: Impossible 8" සිනමාපටය පිළිබදව ද මේ වන විට අසන්න ලැබෙන්නෙ එතරම් හොද ආරංචීන් නොවේ. මේ නවතම ආරංචිවලට අනුව සිනමාපටයේ රූපගත කිරීම් සදහා යොදාගත් ඇමරිකානු ඩොලර් මිලියන 29 කට අධික සබ්මැරීනයක් රදවා තිබූ 'gimbal' එකක් (මෙය සිනමාපටවල යොදාගන්න දැවැන්ත පසුතල රදවා තැබිය හැකි සහ ඒවා අවශ්‍ය පරිදි චලනය කිරීමට භාවිතා කරන දැවැන්ත ආධාරක හෝ වේදිකාවන් ලෙස හැදින්වීමට පුළුවන්) පහළට එන ආකාරයෙන් ක්‍රියාකරවන අවස්ථාවක සබ්මැරීනයේ බර හේතුවෙන් එම 'gimbal' එක සිරවී ගොස් තිබෙනවා. මේ සිදුවීම නිසා සබ්මැරීනය රදවා තිබූ මෙම gimbal' එක සම්පූර්ණයෙන්ම පාහේ අලුත්වැඩියා කිරීමට සිදුවී තිබෙන අතර මෙම අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට සදහා තවත් සති කීපයක් වැයවෙතැයි ද පැවසෙනවා.
"Gimbal' එකක් සදහා නිදසුන්
"Interstellar" සිනමාපටයේ ඇතුළත් වූ "Ranger' නම් ෂටල යානය හැසිරවීමට භාවිතා කළ "Gimbal' එක.
"The Hunt for Red October" සිනමාපටයේදී යොදාගත් 'gimbal' එකක් මත ඉදිකළ, චලනය කළ හැකි දැවැන්ත පසුතලය
මේ හේතුවෙන් මෙම සබ්මැරීනයට අදාළ ජවනිකාවෙහි දර්ශනයන් සැලසුම්ගත කර තිබූ ආකාරයෙන් රූපගත කිරීමට නොහැකි වී යාම නිසා අලුත්වැඩියා කටයුතු සහ ඒ සදහා වැයවන අමතර දිනයක් පාසාම නළු නිළියන්, සිනමාපටයේ තාක්ෂණික සහ අනෙකුත් කාර්ය මණ්ඩලයන් මෙන්ම වෙන්කර ගත පසුතලයන් සදහා ඩොලර් මිලියන ගණනක අමතර වියදමක් දැරීමට ද "Paramount' සමාගමට මේ වනවිට සිදු වී තිබෙනවා. කාරණාවන් මෙසේ සිදු වීම නිසා "Mission: Impossible 8" සිනමාපටයේ නිෂ්පාදන වියදම පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 400 කට ආසන්න අගයකට මේ වන විට ළගා වී තිබෙනවා. මෙතෙක් ලොව වැඩිම වියදමක් දරා නිපදවූ සිනමාපටයට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ 2015 වසරේ තිරගත කළ "Star Wars: The Force Awakens" සිනමාපටයයි.
2015 වසරේ ඇමරිකානු ඩොලරයේ අගයට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 447 ක මුදලක් (2024 වසරේ ඇමරිකානු ඩොලරයේ අගයට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 575 කි) මේ සිනමාපටයේ නිෂ්පාදන වියදම ලෙස වැය වී තිබෙනවා. ඉදිරියේදී "Mission: Impossible 8" සිනමාපටය ද ලොව වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කළ සිනමාපටයන් ගොන්න අතරට එක් වේවි. කෙසේ වෙතත් මේ වන විට පැන නැගී ඇති විශාලතම පැනය වන්නේ මේ සා විශාල නිෂ්පාදන වියදමක් දරා නිපදවූව ද "Mission: Impossible 8" සිනමාපටයට බොක්ස් ඔෆිස් වශයෙන් ලාභයක් ඉපැයීමට හැකියාවක් තිබේ ද? යන්නයි.
වැඩිදුර තොරතුරු
"Mission: Impossible 8" පිළිබදව මීට පෙර පළ කළ ලිපිය

ලිපිය සැකසුම: @Stimulus mind
✍
Last edited:

