
ලිපිය සැකසුම: @Stimulus mind 
තම පවුලේ සාමාජිකයන් ඝාතනය කොට තමා වහල්භාවයට යැවූ දූෂිත අධිරාජ්‍යයාට එරෙහිව පළිගැනීමට සැරසෙන හිටපු රෝමානු ජෙනරාල්වරයෙකුගේ කතා තේමාවක්, ප්‍රවීණ හොලිවුඩ් සිනමා අධ්යක්ෂවරයෙක් වන "Ridley Scott" විසින් නිර්මාණය කළ, 2000 වසරේදී ලොව පුරා තිරගත කළ 'Gladiator' නම් සිනමාපටයෙහි අන්තර්ගත වනවා. ඉතිහාස කතා ඇසුරෙන් නිර්මාණය කළ සිනමාපට අතරින් ලොව පුරා සිටින සිනමා ප්‍රේක්ෂකයන්ගේ නොමද ආකර්ෂණයට පාත්‍ර වෙමින් හොලිවුඩ් සිනමා වංශ කතාවෙහි සුවිශේෂී සලකුණක් තැබූ 'Gladiator' සිනමාපටය, 2001 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත් වූ 73 වැනි ඔස්කාර් සම්මාන උළලේදී, එම වසරේ සිනමාපටයක් හිමි කරගත් වැඩිම නිර්දේෂිත නාම ප්‍රමාණයට ද හිමිකම් කීමට සමත් වුණා. එහිදී වසරේ හොදම සිනමාපටය (Best Picture), වසරේ හොදම නළුවා ලෙස "Russell Crowe" ද, හොදම දෘෂ්‍ය ප්‍රයෝග (Best Visual Effects), හොදම ශබ්ද සංකලනය / සංස්කරණය (Best Sound) සහ, හොඳම ඇඳුම් නිර්මාණයට (Best Costume Design) හිමි ඔස්කාර් සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට ද 'Gladiator' සිනමාපටය සමත් වුණා.
"Russel Crowe", "Gladiator' සිනමාපටයේ රංගනය වෙනුවෙන් හිමි කරගත් "වසරේ හොදම නළුවාට" හිමි ඔස්කාර් සම්මානය අතැතිව
මෙවැනි ඉහළ විචාරක සහ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගත් 'Gladiator' සිනමාපටයේ දෙවැනි කොටස (Sequel) වන "Gladiator II" සිනමාපටය මේ වසරේ නොවැම්බර් මස 15 වනදා සිට ලොව පුරා තිරගත කිරීමට මේ වනවිට සැලසුම කොට තිබෙනවා. පළමු සිනමාපටය අධ්‍යක්ෂණය කළ "Ridley Scott" මෙම සිනමාපටයට ද අධ්යක්ෂණ කාර්යයෙන් දායක වී ඇති අතර සිනමාපටය නිර්මාණය කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 350 කට ආසන්න අති දැවැන්ත නිෂ්පාදන වියදමක් ද වැය කොට තිබෙනවා. පළමු සිනමාපටයේ ප්‍රධාන චරිතයන්ට රංගනයෙන් දායක වූ "Russell Crowe" සහ "Joaquin Phoenix" මෙම සිනමාපටය සදහා රංගනයෙන් දායක නොවන අතර මෙහි ප්‍රධාන චරිතයන් සදහා Paul Mescal, Denzel Washington, Pedro Pascal, Joseph Quinn, Fred Hechinger, Connie Nielsen ("Connie Nielsen" පළමු "Gladiater" සිනමාපටය සදහා ද රංගනයෙන් දායක විය) , සහ Derek Jacobi යන රංගන ශිල්පීන් සහ ශිලිපිනියන් රංගනයෙන් දායක වනවා. සිනමාපටයේ ධාවන කාලය (Run time) ලෙස සටහන් වන්නේ පැය 2 කුත් මිනිත්තු 36 ක කාලයකුයි.
පළමු සිනමාපටයේ ඇතුළත් වූ කතාංගයෙන් වසර 25 ත් 30 අතර කාල පරිච්ඡේදයකට අනතුරුව සිදුවන සිද්ධි මාලාවක්, "Gladiator II" සිනමාපටයෙන් නිරූපණය කරනු ලබන අතර සිනමාපටයේ තිර පිටපත රචනා කරනු ලැබුවේ "David Scarpa" විසිනුයි. කෙසේ වෙතත් මෙම "Gladiator II" සිනමාපටය නිර්මාණය කිරීමට වැය වූ ඇමරිකානු ඩොලර් මිලියන 350 කට ආසන්න වූ අති දැවැන්ත පිරිවැය සහ මෙම සිනමාපටය, පළමු සිනමාපටයෙන් වසර 24 කට පසුව නිර්මාණය වූවක් වීම හේතුවෙන් සිනමා ශාලා වෙත ගොස් තවත් 'Gladiator' සිනමාපටයක් නැරඹීමට තරම් ආකර්ෂණයක් සිනමා ප්‍රේක්ෂකයන් තුළ තවමත් පවතිනවා ද යන කරුණු හේතුවෙන් මෙම සිනමාපටයට මූල්‍යමය වශයෙන් සාර්ථක බවක් අත් කර ගැනීමට හැකියාව පවතී ද යන්න පිළිබදව හොලිවුඩය තුළ මේ වන විට විවාදයට තුඩු දී තිබෙනවා.
"Hans Zimmer", "Gladiator II" සිනමාපටය සදහා මෙවර සංගීත අධ්‍යක්ෂණයෙන් දායක නොවන අතර "Ridley Scott" ගේ Prometheus, The Martian Alien: Covenant සහ House of Gucci යන සිනමාපට සදහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ බ්‍රිතාන්‍ය ජාතික වන "Harry Gregson-Williams" තම දායකත්වය සපයනු ලබනවා. කැමරා අධ්‍යක්ෂණයෙන් දායකත්වය සපයනු ලබන්නේ පළමු 'Gladiator' සිනමාපටයේ කැමරා අධ්යක්ෂවරයා ද ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික කැමරා අධ්යක්ෂවරයෙක් වන "John Mathieson" විසිනුයි.
"Hans Zimmer" විසින් නිර්මාණය කළ "Gladiator' සිනමාපටයේ සුපක්‍රට තේමා සංගීතය
"Gladiator II" සිනමාපටයේ ප්‍රථම නිල ඡායාරූප
සිනමාපටයේ ප්‍රධාන චරිතය වන "Lucius Verus" ට පණ පොවන "Paul Mescal"
වහල්භාවයෙන් මිදී ධනවත් වෙළෙන්දෙකු බවට පත් වූ 'Macrinus' නම් චරිතයට පණ පොවන ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Denzel Washington"
පළමු 'Gladiator' සිනමාපටයේදී "Marcus Aurelius" නම් රෝමානු අධිරාජ්යයයාගේ දෙවැනි දියණියගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පිනී "Connie Nielsen", "Gladiator II" සිනමාපටයේදී නැවතත් එම චරිතය ප්‍රති නිර්මාණය කරමින්
රෝමානු හමුදා ජෙනරාල්වරයෙකුව සිට අධිරාජ්‍යාගේ අණට පිටු පෑම හේතුවෙන ග්ලැඩියේටරවරයෙකු බවට පත් වීමට සිදු වූ "Marcus Acacius" ගේ චරිතයට පණ පොවන "Pedro Pascal"
ප්‍රවීණ සිනමා අධ්යක්ෂ "Ridley Scott", සිනමාපටයේ අධ්යක්ෂණ කටයුතු අතරතුර






