A part of sinhala translation of this. there are more to translate
මිනිසාගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානය සහ එය බිඳවැටීම | බෞද්ධ ධ්‍යාන භාවනාව පිළිබඳ EEG අධ්‍යයනයකින් ලැබුණු නිරීක්ෂණ
විඥානයේ ස්නායුක සහසම්බන්ධතා (Neural correlates of consciousness - NCC) යනු ස්නායු විද්‍යාව තුළ ප්‍රකට මාතෘකාවක් වන අතර, එය මොළයේ Default mode network පිළිබඳ පර්යේෂණ සමඟ ද බද්ධ වී පවතී. ස්වභාවයෙන්ම, කිසියම් කාර්යයක් පාදක කරගනිමින් NCC පිළිබඳව සිදුකරන අධ්‍යයනයන්හිදී සිදුවන්නේ මොළයේ බාහික ජාලයේ එක් කොටසක් උපයෝගී කරගනිමින් තවත් කොටසක් අධ්‍යයනය කිරීමයි. එබැවින්, විඥානය නමැති සමස්ත ක්‍රියාවලිය පිළිබඳව එවැනි පර්යේෂණ මඟින් හෙළිදරව් කරගත හැකි දේ සීමිත මෙන්ම අසම්පූර්ණ වේ. මෙවැනි පර්යේෂණ මඟින් ගවේෂණය කරනු ලබන විඥාන ස්වරූපය අප මිනිසාගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානය හෙවත් අප එදිනෙදා අවදිව සිටින සාමාන්‍ය සිහිය ලෙස හඳුන්වන්නෙමු.
මීට ප්‍රතිවිරුද්ධව, නිර්වින්දනය, කෝමා තත්ත්වයන්, තද නින්ද හෝ අපස්මාරය වැනි උග්‍ර රෝගී තත්ත්වයන් පිළිබඳව කෙරෙන අධ්‍යයනයන්ගෙන් හෙළිවන්නේ ඊට හාත්පසින්ම වෙනස් බාහික ක්‍රියාකාරිත්වයකි. මේ සියලු තත්ත්වයන් අත්‍යවශ්‍යයෙන්ම කෙනෙකුගේ පාලනයෙන් තොරව හෙවත් අකමැත්තෙන් සිදුවන ඒවා වන අතර, ඒවා සාමාන්‍යයෙන් සිහිය නැති තත්ත්වයන් ලෙස සැලකේ.
මෙසේ පාලනයකින් තොරව විඥානය බිඳවැටෙන තත්ත්වයන්ට ඇති එකම සුවිශේෂී අවස්ථාව වන්නේ බෞද්ධ ධ්‍යාන භාවනාවයි. එහි මූලික අරමුණ වන්නේ සිතාමතාම හෙවත් තමන්ගේ කැමැත්තෙන්ම සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානයෙන් හෙවත් සාමාන්‍ය සිහියෙන් මිදී, ප්‍රඥාව/විදර්ශනාව වර්ධනය කරගැනීමේ පදනම ලෙස ධ්‍යාන විඥානය නමින් හැඳින්වෙන, සිත ඇතුළටම යොමු වූ අතිශය නිශ්චල තත්ත්වයකට පත්වීමයි.
අපගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානයෙන් ක්‍රියා කරන්නේ පංච ඉන්ද්‍රියයන් කරගෙනයි. එහිදී බාහිර ලෝකය පිළිබඳ තොරතුරු සහ අප ලබන අත්දැකීම්, අපගේ පුද්ගලික සහ ශාරීරික අවශ්‍යතාවලට සාපේක්ෂව අගයනු ලබන අතර, එය අපගේ අඛණ්ඩ "මම" පිළිබඳ හැඟීමට පදනම සකසයි. මෙම අදහස බෞද්ධ ධර්ම ආකෘතිවලට මෙන්ම, මිනිසාගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානයේ සන්නිවේදන ජාල සමතුලිතතාව තීරණය කිරීමේදී සිදුවන සක්‍රීය අනුමාන සහ නිදහස් ශක්තිය අවම කිරීම පිළිබඳව වර්තමානයේ නැගී එන විද්‍යාත්මක සොයාගැනීම්වලට ද එකඟ වේ.
මෙම පර්යේෂණ පත්‍රිකාව ධ්‍යාන භාවනාව පිළිබඳව සිදුකළ ප්‍රථම සවිස්තරාත්මක EEG අධ්‍යයනය පිළිබඳ මූලික වාර්තාවක් වන අතර, මෙහි ප්‍රතිඵල අප සාමාන්‍යයෙන් දන්නා, එතරම් අවධානයක් නොයොදන වෙනත් භාවනා ක්‍රම පිළිබඳ අධ්‍යයනයන්ට වඩා හාත්පසින්ම වෙනස් වේ. පර්යේෂණයට බඳුන් වූ පුද්ගලයන් තමන්ගේ අත්දැකීම තුළ ඉතා ඉහළ අවධානයකින් සහ එළඹ සිටි සිහියෙන් සිටියද, ඔවුන්ගෙන් වැඩි ප්‍රතිශතයකගේ EEG සටහන්වලින් Spindle තරංග ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. එය මතුපිටින් බලන කල නින්දේ 2 වන පියවරේ දැකිය හැකි තරංගවලට සමාන වේ.
එමෙන්ම, වඩාත් පළපුරුදු භාවනායෝගීන්ගේ මොළයෙන් ඉහළ වෝල්ටීයතාවයකින් යුත් මන්දගාමී තරංග නිරීක්ෂණය විය. මෙය වඩාත් ගැඹුරු නින්දක් වන 4 වන පියවරේ මන්දගාමී තරංගවලට හෝ ඉහළ වෝල්ටීයතා ඩෙල්ටා කෝමා තත්ත්වයකට සමානකමක් දැක්වුවද, එයින් සැලකිය යුතු ලෙස වෙනස් විය. තවත් සමහරුන්ගේ මොළයේ පිටුපස කොටසින් Spike wave තරංග පිපිරීම් පෙන්නුම් කළ අතර, ඒවා ද ඇබ්සන්ස් අපස්මාර තත්ත්වයට සමාන වුවත් පැහැදිලි වෙනස්කම් සහිත විය.
තවද, සමහර භාවනායෝගීන්ට තමන්ගේ පූර්ණ පාලනය යටතේ, සිතාමතාම ශරීරය වෙව්ලන වලිප්පු තත්ත්වයකට සමාන ක්‍රියාවලියක් කැමැති හැමවිටම ඇති කරගැනීමේ හැකියාව පවා වර්ධනය වී තිබුණි. අප අනුමාන කරන්නේ, සිත තුළ ඇති පුද්ගලිකත්වය හෙවත් "මම" යන සාධකය ක්‍රමයෙන් ඉවත් කරගන්නා විට, මිනිසාගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානය මුළුමනින්ම බිඳවැටෙන ආකාරය මෙම සුවිශේෂී නිරීක්ෂණවලින් පිළිඹිබු වන බවයි.
හැඳින්වීම
Default Sensory Consciousness - DCs / මිනිසාගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානය
අප සෘජු ඉන්ද්‍රිය සංවේදනයන්ට (ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ට ලැබෙන බාහිර අරමුණුවලට) ප්‍රතිචාර දැක්වුවද, මතකයන් සිහිපත් කළද, සිතුවිලි හෝ අදහස් විශ්ලේෂණය කළද, නැතහොත් සිහින දැක්වුවද මේ සියල්ලම අත්දකින්නේ ඉන්ද්‍රියයන් පාදක කරගත් රාමුවක් තුළ බැවින්, අප මෙම සාමාන්‍ය විඥානය ඉන්ද්‍රියයන් මුල් කරගත් විඥානයක් ලෙස සලකන්නෙමු. බාහික සහ ජීව විද්‍යාත්මක මට්ටමින් ගත් කල, මෙම විඥානය නිරූපණය වන්නේ අනෙක් පුද්ගලයන් සහ බාහිර ලෝකය සමඟ අන්තර්ක්‍රියා කරමින් ජීවත්වන මිනිසුන් වන අපගේ ජීවිතවලට සහජයෙන්ම උරුම වූ, අඛණ්ඩව වෙනස් වන්නා වූ ගතික ක්‍රියාකාරී සංවිධානයක් ලෙසය. පර්යේෂකයන් විසින් කිසියම් පුද්ගලයකු ලවා විවිධ කාර්යයන් කරවීමේදී හෝ බාහිර උත්තේජනයන්ට ලක් කිරීමේදී මොළයේ බාහික ජාලයන් උත්තේජනය වන්නේ ද නැතහොත් යටපත් වන්නේ ද යන්න පරීක්ෂා කර බලන, විඥානයේ ස්නායුක සහසම්බන්ධතා පිළිබඳ සිදුකරන බොහෝ අන්තර්ගත අධ්‍යයනයන්හි ප්‍රධාන වස්තුව වන්නේ ද සැබවින්ම මෙම සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානයයි.
මිනිසාගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානය කේන්ද්‍ර කරගෙන පුද්ගල මූලික සාධකයක් පවතින අතර, බාහිර ලෝකයෙන් සහ අපගේ ශරීරයෙන් ලැබෙන උත්තේජන අතර පවතින ගතික ස්නායුක සමතුලිතතාව කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය වන්නේ ද එයම විය හැකිය. එහිදී එම උත්තේජන, මතකයේ තැන්පත් වී ඇති අතීත අත්දැකීම් සමඟ ප්‍රතිරාවය වන අතර, පසුව වර්තමාන අවශ්‍යතා හෝ ක්‍රියාවලට සාපේක්ෂව මම හෝ තමා යන හැඟීමට ඒවායින් ඇති වටිනාකම මත කිරා මැන බලනු ලැබේ.
විඥානය පිළිබඳ මෙම අවබෝධය මනෝ විශ්ලේෂණය තුළ ද අන්තර්ගතව පවතී. ෆ්‍රොයිඩ්ගේ (Freud - 1895) මුල් කාලීන කෘතියක් වන Project for a Scientific Psychology හි පටන්, මනෝචිකිත්සකයින් සහ මනෝ විශ්ලේෂකයින් ලබන සායනික අත්දැකීම් දක්වාම මෙය දැකගත හැකිය. එනම්, වර්තමාන අත්දැකීම් සහ මතකයේ ඇති අතීත අත්දැකීම් අතර අඛණ්ඩ ප්‍රතිරාවයක් පවතින බවයි. එමෙන්ම, එම මතකයන් තුළ තමාට අදාළව විවිධ සිදුවීම්වලින් ඇති වූ බලපෑම (දුක-සැප, කැමැත්ත-අකමැත්ත වැනි) පිළිබඳ තොරතුරු අන්තර්ගත වේ තවද, මෙම දෘෂ්ටිය ස්නායු විද්‍යාව තුළ වර්තමානයේ නැගී එන සක්‍රීය අනුමාන, අභ්‍යන්තර ඉන්ද්‍රිය අනුමාන සහ තමා පිළිබඳ හැඟීම සම්බන්ධ පර්යේෂණවලට ද මනාව එකඟ වේ.