ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව පැවසෙන සිද්ධියට අදාළව කැඳවන ලද සමථ මණ්ඩල වාර්තාවට අනුව හේමාල් රණසිංහ මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද (සැප්: 10) නියෝග කළා ය.
නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට සමථ මණ්ඩල වාර්තාව ඉදිරිපත් කළ අතර සමථ මණ්ඩල වාර්තාවෙහි කොන්දේසි හතරක් සඳහන්ව තිබිණි.
කොන්දේසි 4 මොනවා ද?
එහි පළමු වන කොන්දේසිය වූයේ, හේමාල් රණසිංහ විසින් පහර දෙනු ලැබූ බවට වරද පිළිගෙන පහර කෑමට ලක්වූ සිනමා විචාරක ලක්මිණ රණසිංහ යන අයගෙන් සමාව ගැනීම ය.
දෙවන කොන්දේසිය වූයේ අගතියට පත් ලක්මිණ රණසිංහ යන අය හේමාල් රණසිංහට සමාව දීම ය.
තුන් වන කොන්දේසිය පහර කෑමට ලක්වූ සිනමා විචාරකයාට මාධ්‍යවලින් හෝ සමාජ මාධ්‍යවලින් හෝ කිසිදු ආකාරයක නින්දා අපහාසයක් සිදු නොකිරීමට එකඟ වීම ය.
හතර වන කොන්දේසිය වූයේ තමන් කළ වරදට හේමාල් රණසිංහ රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් අගතියට පත් ලක්මිණ රණසිංහට ලබාදීමට එකඟ වීම ය.
නැවත මින් ඉදිරියට මෙලෙස අගතියට පත් පාර්ශවයට නින්දා අපහාස සිදු නොකිරීමට වග බලා ගත යුතු බවටත්, පහරදීම් සිනමාවේදී හා නාට්‍යවලදී පමණක් සිදු විය යුතු බවත් සැබෑ ජීවිතයේදී එයට නීතියෙන් අවසර නොමැති බවටත් පවසමින් මහේස්ත්‍රාත්වරිය ජනප්‍රිය නළු හේමාල් රණසිංහට අවවාද කළා ය.
ඒ අනුව සමථ මණ්ඩල වාර්තාව පරිදි ජනප්‍රිය නළු හේමාල් රණසිංහ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
පසුගිය ජනවාරි මස 8 වන දින හැව්ලොක් සිටි සිනමා ශාලාවේදී ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරකයෙකු වන ලක්මිණ රණසිංහ යන අයට මරණීය තර්ජනයක් කරමින් සාපරාධී බිය ගැන්වීමක් සිදු කර, පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මැයි මස 14 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය ම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබිණි.
