තෙවෙනි කොටස
ඇගේ ආදරය ලැබීමත් සමගම ජීවිතය නව මගකට යොමු වූවා වැනිය.ඇය දිනෙන් දින ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් විය. අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් , හීනයක් නොතිබූ මා ඈ නිසා ජීවිතය ගැන අනාගතය ගැන හීන දැකීමට පුරුදු උනෙමි.
" ඉසුරු .... "
" හ් .. ම්...ම් "
" මම ඔයාට සුදු මහත්තයා කියන්නද ? "
" ඒ ඇයි ? "
" ආ...දරේටනෙ මෝඩයෝ ... "
" එතකොට මම ඔයාට මොකක්ද කියන්නේ.... "
" ඔයා කැමති එකක් කියන්න "
" හ්ම්.. එහෙනම් ඔයා සුදු මැණිකෙ හොඳයිද ? "
" ඒක ඔයාගෙ කැමැත්තක් ... "
කෙමෙන් කෙමෙන් උසස් පෙළ විභාගයට දින ලං වෙන්නට විය. මගේ පාඩම් වැඩ ගැන මට වඩා උනන්දු වූයේ ඈය. සෑම දිනකම පාන්දර 5ට ඇහෙරෙන ඇය ඒ වෙලාවට මාවත් අවදි කරවයි. විභාගය පටන් ගත් පලමු දිනයේම ඈ මා හමුවීමට පැමිනියේය.
" ඉසුරු මේ ටික තියාගන්න එක්සෑම් ලියන්න "
ඈ මා හට පෑනක් , පැන්සලයක් , මකනයක් හා පැන්සල් උල් කරනයක් තෑගි කලාය. පෑන හැරෙන්නට අනෙකුත් සියළු දෑ තවමත් මගේ අල්මාරියේ සුරැකිව ඇත.
" අපිට දැන් ඉස්සර වගේ හැමදාම හම්බෙන්න බැරිවෙයි .... "
" ඔයා එහෙනම් මට ලියුම් ලියන්න.මාත් ඔයාට එවන්නම් .... "
මෙලෙසින් අප අතර ලියුම් ගණුදෙනු කිරීම ආරම්භ විය. පංති යන කාලයේ මෙන් නිතරම හමුවීමට අවස්ථාවක් නොලද බැවින් දින දෙක තුනකට වතාවක් ලැබෙන ලියුම අප අතර ආදරය වර්ධනය කිරීමට සමත් විය. මේ අතර දිනක්.....
" ඉසුරු අපි කොහේ හරි යමුද දවසක "
" කොහෙද ? "
" කොහෙ හරි.. ඔයයි මමයි විතරක් ඉන්න තැනකට ... "
" කොහෙද ඉතින් එහෙම තැනක් තියෙන්නෙ .... "
" අනේ ඔයා හිතන්නකො. ඔයා ඉතින් මට වඩා දන්නවනෙ "
" එහෙනම් අපි බීච් යමු... "
" ම්ම්ම්ම් මට බයයි ... "
" බයවෙන්නෙපා අපි කලින් හිටියෙ ඉඳුරුවෙනෙ. අපි එහෙ යමු. මම දන්නවනෙ ඒ පැත්ත ගැන ..... "
එදා අපි මුහුදු වෙරලේදී හමු උන ඒ උදෑසන දෙදෙනාගේම (?) ජීවිතයට කිසිදා අමතක නොවන දිනයක් වූවාට සැකයක් නැත. පලමු වතාවට ඈ මගේ උණුහුමට තුරුළු විය. ඉන් අනතුරුව වෙනදා මෙන්ම තොර තෝරංචියක් නැතිව අප අතර ඇරඹෙන කතා බහ ආරම්භ විය.
" ඉසුරු අපි යන ගමන් කන්දෙවිහාරෙත් ගිහින් යමු.... "
" හ් ම් .. "
" ඔයා මොනවද බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලුවේ ". මම ඇගෙන් විමසුවෙමි.
" ඔයාව.. " ඈ සුරතල් තාලයකින් පැවසුවාය.
" ලෝකය කොච්චර විශාලද
මොනතරම් සංකීර්ණද
ඒත් මං පතන්නෙ ඔයාව විතරයි
ඒක මොනතරම් අහිංසක ප්‍රාර්ථනාවක්ද
ලෝකයක් අමතක කරලා මං ඔයාව පතනවා
ඇත්තටම ඔයා කියන්නෙ මගේ ලෝකය .... "