kingdewi~ගේ~මතකයන්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයාලා කවුරුත් දන්නවා kingdewi ගැන. kingdewi කියන්නේ අපේ එලකිරි පවුලේ ඉන්න පැරණිම සාමාජිකයෙක්. ඕනෑම අවස්ථාවක එලකිරි එකේ කාටහරි උදවුවක් එහෙම ඕනෑ වෙච්ච වෙලාවට කිසි පැකිලීමක් නැතුව තමන්ට පුළුවන් උපරිමෙන් උදවු කරපු අපේම අයියා කෙනෙක්. kingdewi මගේ යාලුවෙක් උනේ අහම්බෙන්. මට ජීවිත කාලෙටම අමතක නොවෙන උදවුවක් kingdewi අයියා මට කලා. කලිනුත් මගේ ත්‍රෙඩ්ස් වල මම එයාට ස්තුතියි කළා. kingdewi අයියා දැන් මගේ හොඳම යාලුවෙක්. ඒවගේ කෙනෙක් මට එලකිරි එකෙන් හම්බවෙච්ච එක ගැන මම ගොඩක් සන්තෝස වෙනවා.

    කට්ටිය බලනවා ඇති මම මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා.
    kingdewi කියන්නේ බොහෝම පළපුරුදු හෙද නිළධාරියෙක්. රජයේ ලොකු රෝහලක තමයි අයියා සේවය කරන්නේ. දවසක් මම ඇහුවා kingdewi අයියාගේ උසස්පෙල ප්‍රතිඵල. මටම පුදුමයි එයාට එයාගේ දිස්ත්‍රික්කය අනුව වෛද්‍ය විද්‍යාලයට යන්නට පුළුවන් තරමේ ප්‍රතිඵල තිබුනා. මම ඇහුවා ඇයි මචං මෙඩිකල් කොලේජ් යන්න පුලුවන් කම තියාගෙනත් නොගියේ කියලා. එය දුන්නේ සරළ උත්තරයක්. "උඹට කෝච්චි වගේ තමයි මට නර්සින්. මට පොඩි කාලේ ඉඳලා ඕන උනේ ලෙඩ්ඩුන්ට සාත්තු කරන්නයි"

    kingdewi අයියාට හොඳට ලියන්න පුලුවන්. ගොඩක් වෙලාවට එයා ලියන කවි වගේ දේවල් ඔයලා දැකලා ඇති. ඒත් අද මම පෙන්නන්න යන්නේ එයාගේ සත්‍ය ජීවිතයේ අත්දැකීම්. මේවා එයාම ලියපුවා. මේ කතා එකින් එක කියවන්න. කියවගෙන යනකොට තේරෙනවා එයාගේ රස්සාවේ තියන බරපතලකම. කොච්චර අමාරු රස්සවක්ද එයා කරන්නේ කියලා මට හොදින් තේරුම් ගියා. ඒවගේම එයා තමන්ගේ වෘත්තිය රාජකාරි අකුරටම ඉටුකරන විශිෂ්ඨ හෙද නිළධාරියෙක්.

    තව දෙයක් කියන්න ඕනෑ. මේ හැම කතාවකින්ම ඔයාලාගේ ජීවිත වලටත් එකතු කරගන්නට යමක් තියනවා. ඒක තමයි වටිනාම දේ. හිතට වදින විදියට කතා එකින් එක kingdewi අයියා ලියලා තියනවා. ඒ එයාගේ ලිවීමේ හැකියාව.

    ත්‍රෙඩ් එක කියවලා බලන්න. මේ කතා වල සම්පූර්ණ හිමිකාරයා kingdewi අයියා. සම්පූර්ණ ගෞරවය එයාට හිමි වෙන්න ඕනා. ඔයාලාගේ අදහස් දැන ගන්නට කැමතියි.

    මේ දේවල් ඔක්කොම එයාගේ පුද්ගලික අත්දැකීම්
    කියවලා බලන්න. දිගයි වගේ තේරෙයි. ඒත් පාඩුවක් වෙන්නේ නෑ කියලා මට විශ්වාසයි. එච්චරටම අපූරු හිතට වදින කතා ටිකක්
    ..............................................................................
    Reply From kingdewi

    ඔන්න මම දැනුයි වැඩ ඇරිල ආවෙ..

    මේ සේරම පෝස්ට් මගෙ බ්ලොග් එකේ ඒව..පෙරේරා මල්ලි නොහොත් අපේ Mr Perera මගේ සම්පූර්ණ අවසරය ඇතුව තමයි මේව එළකිරියෙ දැම්මේ.
    බ්ලොග් ලින්ක් එක දැම්මෙ නැත්තෙ එළකිරියෙන් ට්‍රැෆික් අද්දගන්න\ස්පෑම් කරන්න අවශ්‍ය නැති හින්දයි.

    ඔයාල ඔක්කොගෙම කමෙන්ට්ස් මට ලොකු හයියක්.. ශක්තියක්..!!

    මගේ කතාවලින් ඔයාලට යමක් ගන්න තියෙයි නම් ඒක තමයි මගේ එකම සතුට

    හැමෝටම ජයවේවා..!!!


    ..............................................................................


    ආදරයක මහිම.....


    මේ සිද්දිය වෙලා දැනට අවුරුදු හතරක් විතර ඇති. එදා වාට්ටුව ටිකක් නිදහස්. දවල් දෙක හමාරට තුනට විතර ඇති, ඔන්න වේගෙන් ආපු ත්‍රී විලර් එකක් අපේ වාට්ටුව ලඟ නැවැත්තුව. ඒකෙ ඇරන් ඇවිත් හිටියෙ අවුරුදු දාසයක් දාහතක් විතර වයස කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. මුන් දෙන්න මොකක්ද ආදර හුටපටයකට වහ බීල. කෙල්ලව ගෑණු වාට්ටුවට යවල, කොල්ලව ඇඳකට අරන් අපි ලහි ලහියෙ මුගෙ ජීවිතේ බේරගන්න දැඟලුව. මිනිහ අවසිහියෙන් වගේ හිටපු හින්ද කටින් ලොකු බටයක් ආමාශයට දාල වතුරෙන් බඩ සෝදල දාන්න සිද්දවුනා ( Gastric Lavage ). ඒ අතරෙ මෙයාලව එක්කන් ආපු රන්චුව මුන් දෙන්න බීපු වහ බෝතලේ හොයාගෙන ආව. හ්ම්..නරක නෑ බීල තියෙන්නෙ "පැ******", ඒව බීපු කිසිම කෙනෙක් මෙතෙක් මේ ලෝකෙ බත් කන්න ඉතුරුවෙලා නම් නෑ. තේ හැන්දකින් තුනෙන් එකක් ඇති වැඩිහිටි පිරිමි කෙනෙක්ගෙ ජීවිතේ නැතිවෙන්න.

    මේව බීවම බඩේ ආන්ත්‍රික යුෂත් එක්ක එකතුවෙලා කොළ පාටක් ගන්නව. කොල්ලගෙ බඩෙන් සෝදල දාපු වතුරත් කොළ පාටයි..ම්..ම්..ඒත් මගෙ අත්දැකීමෙන් මට නිකන් සැකයක් වාගෙ හිතුන මොකද ඒව කොළ පාටට තෙල් වගේ ඇදෙන සුලු ගතියකුත් තිබුන නිසා. ඒත් සමහර විට ආමාශයෙ සෙවෙල( ශ්ලේශ්මල/ Mucus )ගතිය පිටට ඇවිත්ද කියලත් හිතුන.කොහොම හරි පැයකට විතර පස්සෙ කොලුවට හොඳට සිහිය ආව. අපි අනුමාන කළා මූ නම් බීල තියෙන්නෙ පැ****** නෙවෙයි කියල.
    ඔය අතරෙ මම ගැහැණු වාට්ටුව පැත්තෙ ගියා වහ කේස් එකේ අනික් පුරුක බලන්න. මම යනකොට ඒ අසරණ ළමයගෙ හුස්ම ටික ගිහින්, දරඳඩු වෙච්ච සිරුර පරවුන මලක් වගේ ඇඳක් උඩ දාල තිබුන. ජීවිතය බේරගන්න දඟලපු කාර්ය මණ්ඩලයෙත් මූණු මැළවෙලා ගිහින්...ඇත්ත පැ****** හරිම දරුණුයි, ඉස්සෙල්ල කීව වගේ චුට්ටක් ඇඟට ගියොත් ඉවරයි.
    දැන් ඔයාලට ඇතිවෙච්චි ප්‍රශ්නෙ මටත් ආව..කොල්ල බේරිල කෙල්ල මැරුනෙ කොහොමද? මම අපේ වාට්ටුවට ආපහු එනකොට මෙන්න අපේ කොලුව ඇඳ උඩ ඉඳගෙන හෙම ඉන්නව. මම ගිහාම මිනිහ අහනව "අරයට කොහොමද?" කියල..මම ඒකට උත්තර නොදී
    "තමුසෙල මොනවද බීවෙ?" කියල ඇහුව..
    මනුස්සය කියනව "වල් බෙහෙත් බිවුව" කියල....මම ටිකක් සැරවෙලා ඇත්ත නොකීවොත් පොළීසි දානව කියල මූව බය කළා.
    මූ කීවෙ මොකක්ද දන්නවද?...කඩෙන් වස බෝතලෙත් එක්ක මේකා ත්‍රී වීලර් වලට දාන ටූ-ටී ඔයිල් බෝතලේකුත් ගෙනල්ල. දෙකම කොළපාටනෙ, මේ නරිය මේ දෙක වෙන වෙනම වීදුරු දෙකකට දාල කෙල්ලට වස පොවුවල, මූ ටූ-ටී බීල. ඒකයි අර අහින්සකී මැරිල මූ ඉතිරි වෙලා තියෙන්නෙ.
    ඔන්න පිවිතුරු ආදරේ........මම නම් හිතන්නෙ මේ වගේ පාහරයෙක් එක්ක ජීවත් වෙන්න අර අහින්සක මෝඩ කෙල්ල ජීවත් නොවුණු එකම වාසනාවක් කියල.


    ( වස වර්ගයේ නම ලිවුවෙ නැත්තෙ..නරක ආදර්ශයක් යන්න පුලුවන් නිසයි.)
     
    Last edited:
    • Like
    Reactions: Rovin

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුත්‍ර රත්නය....

    මේකත් ටික කාලෙකට කලින් වෙච්ච සිද්ධියක්.අවුරුදු අසූවකවිතර වයසක මනුස්සයෙක් පාරෙ වැටිල ඉඳල පොලීසියෙන් ගෙනාව ඉස්පිරිතාලෙට.ඉතින් අපේ වාට්ටුවටම ඇඩ්මිට් කොළැයි කියමුකො.
    ගෙනාපු ගමන් මේ මනුස්සය මැරිල වගේ, සිහියක් පතක් නෑ.කිසිම හාවක් හූවක් නෑ...ටක් ගාල Blood Sugar (Random Blood Sugar-R.B.S.) එකක් බැලුවම මෙන්න බොලේ සීයගෙ ලේ වල සීනි මට්ටම හොඳටෝම බැහැල.
    ඉක්මනට 5% Dextrose (සීනි තියන සේලයින් වර්ගයක්) දාල අනෙක් ප්‍රතිකාර ටිකත් කලාම සීයට සිහිය ආව.අපිටත් හරිම සතුටුයි,අර මැරිල වගේ හිටපු මනුස්සය කතා කරන කොට.
    මේ අහින්සක මනුස්සය ඉන්නෙ තනියෙන්ලු. ආච්චි මැරිලලු. කෑම වේල් දෙක තුනක්ම කාල නැතුව තමයි කලන්තෙ හැදිල වැටිල තියෙන්නෙ.ඉතින් මම ඇහුව..
    "සීයට දරුවෝ හෙම නැද්ද?" කියල,
    "ඉන්නව පුතේ..උන් දැන් කසාද බැඳල දරු මල්ලොත් එක්ක දුර තමයි ඉන්නෙ" සීය කියනව...
    කොහොම හරි සීයට ඉස්පිරිතාලෙ කෑම වේල ලැබෙන විදියට වැඩකටයුතු සලස්සල මම මගේ අනිත් වැඩ වලට බැස්ස.
    ලෙඩ්ඩු බලන වෙලාවෙදි, හොඳට ඇඳ පැළඳ ගත්ත මහත්තයෙක්(? ) ඇවිත් මගෙන් අහනවා..
    "මහත්තයා...අර ඇඳ 21 ලෙඩාට අමාරුයි නේද?" කියල...ඒ ඇඳ අර සීයගෙ ඇඳ.මට ඒ ප්‍රශ්නෙට පුදුම හිතුන, මොකද කෙනෙක් අහන්නෙ ලෙඩාට අමාරුද කියල මිසක්, අමාරුයි නේද කියල නෙවේනෙ! සාමාන්‍යයෙන්. කෝකටත් ඒ ප්‍රශ්නෙට උත්තර නොදී මම ඇහුව
    "ඒ සීය ඔයාගෙ කවුද ?"කියල...
    "ඒ මගෙ ගෙදර වැඩ කරන එක්කෙනා කියල " මිනිහ ගොත ගගහ කියපි.
    මම ඇහුව " ඔයා වැඩ කාරයන්ට කන්න දෙන්නෙ නැද්ද "කියල...මිනිහ බොරු ටිකක් ඇද බාල ශේප් වුනා..
    මම පස්සෙ කිවුවා " නෑ ලෙඩාට දැන් හොඳයි..හෙට ටිකට් කපාවි.." කියල
    ඒක ඇහුව විතරයි මුගෙ කට නිකන් කරත්තෙට අහුවෙච්චි කජුලෙල්ල වගේ වුනා...මිනිහ තෑන්ක්ස් පාරක් දාල මාරුවෙලා ගියා.
    ටිකකින් මම සීය ළඟට ගියාම සීය කියනවා..
    " පුතේ, අර ආවෙ මගෙ පුතා..පොළීසියෙන් මගෙ සාක්කුවෙ තිබ්බ ඇඩ්‍රස් එක ඇරන් පුතාට පනිවිඩයක් දෙන්න ඇති..දැන් ඔය ආවෙ මම මැරිලද බලන්න." කියල
    මම ඇහුව " ඉතින් සීය කතාකලේ නැද්ද?" කියල...
    " නෑ පුතේ...මම නිදි වාගෙ හිටිය..එයා මට කතා කරල බැරි තැන ළඟ ලෙඩාගෙන් ඇහුව, තාත්තට හුඟක් අමාරුයි වගේ නේද?,නැතිවෙයිද දන්නෙ නෑ " කියල..ඒ මනුස්සය කිවුව.." නෑ නෑ දැන් හොඳටම හොඳයි..ඔය නින්ද ගිහින් ඉන්නෙ.." කියල,..... "මෙන්න පුතන්ඩිය යන්න ගියා......" සීය කියපි..
    සීයට ඉඩම් අක්කර දෙක තුනක් තියනවලු...බොහොම සතුටෙන් අර පුත්‍ර රත්නය ඇවිත් තියෙන්නෙ තාත්ත ඉක්මනට වල පල්ලට යයි කියල..මොකද, මේ ටික අයිති කර ගන්න..
    අනේ සීයෙ උඹ පුතා මැරෙනකල් ජීවත් වෙයන්...මට කියන්න තියෙන්නෙ එච්චරයි....!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාමගේ කරුණාව..

    මේක දැනට මාස පහ හයකට කළින් වෙච්චි සිද්දියක්. එදත් මගෙ නයිට් ඩියුටි දවසක්. ඩියුටි පටන් ගන්න කළින් වාට්ටුවෙ මුළ ඉඳලම ලෙඩ්ඩුන්ව බලාගෙන, වචනයක් දෙකක් එහෙමත් නැත්නම් හිනාවක් හරි දාල වැඩට බහින එක මගෙ පුරුද්ද. එහෙම කරන්නෙ වාට්ටුවෙ ඉන්න, අමාරු වැඩිපුර අවධානය යොමුකරන්න ඕන ලෙඩ්ඩුන්ව අඳුන ගන්නත් එක්කයි.
    ඉතින් ඔන්න ඔය රාජකාරිය පටන් ගන්න කොටම, ඉස්සෙල්ලම ඇඳේ ඉන්නව පුන්චි ලස්සන කොලු පැටියෙක්. අවුරුදු දොලහද කොහෙද, මට මතක හැටියට. මම ඉතින් ටිකට් එක බැලුව. බඩේ අමාරුවකට ඇවිත් තියෙන්නෙ. උදේ ඉස්කෝලෙ යද්දි මොනවද ජරාවක් දෙසාබාල. මම පුන්චි කතාවක් දැම්ම මෙයත් එක්ක. වැඩේ කියන්නෙ මිනිහගෙ තාත්තවත්, වෙන කවුරුත් වැඩිහිටියෙක් වත් මෙයා ළඟ නෑ. ඒකත් පුදුම වැඩක් තමයි, මොකද අවුරුදු දහඅටට අඩු අයට අපි අනිවාර්යයෙන් වැඩිහිටියෙක් ළඟ ඉන්න කියනව. මොකද ඒ ගොල්ල "ළමයි" හින්ද. ළමයි කිවුවට දැන් ඉන්නෙ කොළු තාත්තලනෙ, ඉතින් මූ කිවුවද දන්නෙ නෑ තාත්ත ගිහින් වැඩක් බලාගන්න , මම තනියම ඉන්නම් කියල..! මම ඉතින් මෙයාව ඇඩ්මිට් කරන වෙලාවෙ ඩියුටි කරපු අපේ සෙට් එකට හිතින් බැන බැන හිටිය මොකෙක්වත් ළඟ තියාගන්න බැරි වුනානෙ කියල.
    කොහොමින් කොහොම හරි එදා ටිකක් වැඩ වැඩි දවසක්. පාන්දර එක විතර වෙනකල් එක දිගටම වාගෙ වැඩ තිබුන. ලෙඩ්ඩුන්ගෙ ඇඳවල් ගැන රෑට පොඩ්ඩක් විපරමෙන් ඉන්න එක අපේ සිරිතක්, මොකද සමහරු නින්ද ගියාම ඇඳෙන් බිමට දෙරිගැහෙන නිසා.
    මමත් ඕන්න ගියයි කියමුකෝ ඒ රාජකාරියට. ඉතින් අර අපේ කොලුපැටිය ළඟත් තව ලෙඩෙක් ඉන්නව. මම යනකොට මනුස්සය කිරි වීදුරුවක් හදල ළමයට දීල. මම ළඟට ගිහින් ඇහුව, "පුතා මෙයාව දන්නවද?" කියල
    මෙන්න අර මිනිහ පැනල උත්තරදෙනව "මේ මගෙ යාලුවෙකුගෙ පුතෙක්...මට පොඩ්ඩක් බලාගන්න කිවුව.." කියල. ඒ ගමන්ම මෙයා දරුවට කියනවා, "පුතානම් මාව දැකල නැතුව ඇති..මම තාත්තගෙ හොඳ යාලුවෙක් නෙ" කියල.
    කෝකටත්, මට මිනිහ ගැන පොඩි සැකයක් ආව හින්ද මම මනුස්සයට කිවුව, "හා ..හා..දැන් ඔය කිරි එක දීල, ඔයා ඇඳට ගිහින් නිදාගන්න." කියල. මිනිහත් හිනාවක් එහෙම දාල, ගිහින්නිදාගත්ත. ගිය ගමන්ම පොඩිඑකාගෙ කිරි එක බොන්න එපා කියල ෂේප් එකේ ඒක වීසි කෙරෙවුව.
    පස්සෙ, ඒ කිවුවෙ පැයකට හමාරකට පස්සෙ, මම දැක්ක පොඩිඑකා ඇහැරල යනව. මම කොහෙද යන්නෙ ඇහුවම, ටොයිලට් යනව කිවුව. මෙන්න බොලේ අරමිනිහත් පොඩි එකා පස්සෙන් ටොයිලට් යනව. මට වැඩේ ඇල්ලුවෙ නැතිහින්ද මම අපේ ඇටෙන්ඩන්ට්ව යැවුව අර මිනිහ පස්සෙන් හොරෙන්ම.
    ආහ්..මෙන්න වැසිකිළිය පැත්තෙන් ගෝෂාවක් ඇහෙනව.අර යකා පොඩි එකා ගිය ටොයිලට් එකට රින්ගල. එතකොටම අපේ මෑන් මිනිහව කනෙන්ම අල්ලගෙන.
    මම පොඩිඑකා ළඟට ගෙන්න ගත්ත. ඌ හොඳටම බයවෙලා, කියනව "අර මාමා මගෙ චූව ඇල්ලුව" කියල. මටත් මේක ඇහුවම අසූහාරදාස් එකට නැග්ග. අරූගෙ හත්මුතු පරම්පරාවෙම නෑදෑයො මතක් කරල ඇමතුව.වටේ හිටපු ලෙඩ්ඩු නම් මූට දෙකතුනක් ඇනගන්න නෑනෙ කියල බොහොම විස්සෝපෙනුයි හිටියෙ. මූත් ලෙඩෙක්නෙ, ගහන්නයැ ඉතින්. මම එවෙලෙම නෝට් එකක් දැම්ම,මුගෙ හපන්කම උදේට පොලිසියට දන්නන්න කියල.එහෙදි ලැබෙයිනෙ පොළියටත් බෝනස් එකක් එක්කම.
    කොහොම හරි මට මීටර් වුනේ නැත්නම් අර මිනිහ පොඩිඑකාව අපයෝජනය කරනව...........ඒ කතාවනම් එච්චරයි..
    ඒත්.....ආදරණීය අම්මෙ, තාත්තෙ..පොඩි එවුන්ව තනියෙන් ඉස්පිරිතාල වල නවත්තල යන්න එපා..ඒවයෙ මම කිවුව වගේ හරී කරුණාවන්ත මාමල ඉන්න පුලුවන්.ඒ හින්ද ආරක්ෂාවට කෙනෙක් දරුව ළඟ නවත්තන්න හැම වෙලාවකම. අඩුගානෙ රෑට වත්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මල්ලිගෙ ෆුල් බොඩි චෙකප් එක...

    අද කියන්න යන්නෙ ටිකක් වෙනස් කතාවක්. මේක වුනේ මගෙ නෑදෑවෙන මල්ලි කෙනෙකුට. මේ කතාවෙ කියවෙන්නේ හරිම ප්‍රසිද්ධ, නම කීව ගමන් කවුරුත් පාහෙ දන්න ප්‍රයිවෙට් හොස්පිටල් එකක් ගැන. මේකයි කතාව,
    ඔය මල්ලිට කැස්සක් හැදිල ඒක මාස දෙක තුනක්ම තිබිල තියනව. ඉතින් මනුස්සයත් ටිකක් කල් මේක ගනන් ගන්නෙ නැතුව ඉඳල, බැරිම තැන වෙන්ඩ ඇති බෙහෙත් අරන් තියනව. ඒව බීලත් මේ කැස්ස අඩුවෙලා නෑ. ඊට පස්සෙ සුපුරුදු විදියට තව දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ඇරන්..ඒත් අඩු වෙච්චිනැති හින්ද, මිනිහ මට මේක කිවුව. මම ඉතින් මලයගෙ කැරැට්ටුව දන්න නිසා ගත්කටටම කිවුව
    "මල්ලි සිගරට් බොන එක නතර කරන්න වෙයි..ඛ්‍රොන්කයිටිස් ( පෙනහලු නාල වල ඇතිවෙන ඉදිමුමක්/ආසාදනයක් ) වලට වගේ ඇවිත් ඇති ඒකයි අඩුවෙන්නෙ නැත්තෙ, කෝකටත් මාව හම්බෙන්න එන්නකො" කියල. මොකද මනුස්සය හරියට සිගරට් බොනව කියල මම දන්නව. මිනිහත් ඒක පිළිගත්ත. කොහොම කොහොම හරි සතියක් විතර ගියා..මෙන්න දවසක් උදේම මට මනුස්සය කෝල් කරල කියනව, "අයිය, මම දැන් ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න යන්න ලෑස්ති වෙලා ඉන්නෙ". කියල.
    මට පුදුම හිතුන, ඇයි යකඩො කැස්සට කවුද ෆුල් බොඩි චෙකප් කරන්නෙ කියල. මම මුකුත් කිවුවෙ නෑ..ඇයි ඉතින් මෙයා යන්න එළියටත් බැහැලනෙ මට කිවුවෙ. දැන් එපා කියන්නෙ කොහොමද?.
    කෝකටත් මම ඇහුව යන්නෙ මොන හොස්පිටල් එකටද කියල, සු**** ටලු. හ්ම්....ඒවට ගෙවන්නෙ එයාගෙ කොම්පැණියෙන්ලු. ආ..මට කියන්න බැරි වුනානෙ මලය වැඩකරන්නෙ ප්‍රයිවෙට් කොම්පැණියක, පාරිභෝගික සේවා අන්ශෙ.
    ඔන්න ඉතින් මනුස්සය හොස්පිටල් ගියා..මාත් ඉතින් වැඩට ආව. හවස් ජාමෙ ඔන්න ආයෙ කෝල් එකක්. මිනිහ අඬ අඬා වගේ මට කියනව,
    "අයිය මගෙ ලේ වල සීනි වැඩියිලු..අද නවතින්න කිවුව.: කියල. මමත් මනුස්සයගෙ හිත හදල, ආව එකේ ඉඳල ඉතිරි පරීක්ෂනත් කරගෙනම එන්න කීව.
    ඔන්න එදා දවස ඉවරයි.........පහුවදා..මල්ලි කියනව..අනේ අයිය මගෙ ඊ.සී.ජී (E.C.G.)එක හොඳ නෑලු. අදත් ඉන්න කිවුව, හෙටලු Cardiologist එන්නෙ.
    මට මේ සිද්දිය එච්චර ඇල්ලුවෙ නෑ. මොකද අවුරුදු විස්සක විතර මෙයාට, අනික මේ හොඳට මහන්සිවෙලා දුවල පැනල ඉන්න කොල්ලට මේ මොනාද තියනව කියන ලෙඩ..!
    මම සු**** හොස්පිටල් එකට කෝල් එකක් ගත්ත. ඇහුව ලෙඩාගෙ තත්වෙ. එතෙන්දි..එහෙන් කියනව
    "සර්..මේ ලෙඩාට Diabetic තියනව, ටිකක් සීරියස් පපුවෙ අමාරුවකුත් තියනව.හෙට Cardiologist ට පෙන්නන්න දාල තියෙන්නෙ. Echo Cardiogram (හාට් එක බලන්න කරන පරීක්ෂණයක්) එකකුත් කරනව හෙට.." කියල..
    මම මාව අඳුන්වල දීල, රිපෝට්ස් වල තත්වෙ ඇහුව. ඒව ටිකක් යන්තමින් කිවුවට මට තේරුනා කතාකරපු ගෑනිට, ඒවයෙ මෙලෝ හසරක තේරුමක් නෑ කියල.
    මට තේරුණා මෙතන මොකක් හරි ගැටයක් යන විත්තිය. මම මල්ලිගෙ ගෙදර අයත් එක්ක කතා කරල, තීරණයක් ගත්ත, බලෙන් ටිකට් කපවගෙන එන්න. මොකද ඒ වෙද්දි මල්ලි හොඳටම මානසිකව වැටිලයි හිටියෙ. මට ඇත්තටම බයත් හිතුන මෙයාට Depression (මානසික රෝගයක්)හැදෙයි කියල. ඇයි අප්ප මේ හොඳට හිටිය එකාට මෙච්චර ලෙඩ ගොඩක් කියනකොට.
    ටිකට් කපාගන්න යනකොටත් එයාල කැමති වෙලා නෑ. අන්තිමට බලෙන්ම බිල ගෙවල ඇවිත්..වැඩිය නෑලු 25000 යි. ටෙස්ට් දෙක තුනකට..!පුහ්..!
    ගෙදර ආවට පස්සෙ මිනිහ ඔන්න මාව හම්බවෙන්න එනව, හොස්පිටල් එකට...මෙච්චර කල් කට කැඩෙනකල් කීවත් ආවෙ නෑ..ඔන්න දැන් තමා දුප්පත් අපේ රෝහල මතක් වුනේ.
    ආව ගමන් මම ලේ වල සීනි (R.B.S.) එකක් බැලුව..අනේ කිසි අවුලක් නෑ. ඊ.සී.ජී (E.C.G.)එකකුත් ඇරන් ඩොක්ටර්ට පෙන්නගත්ත..ඉහෙන් බහින හෙනයක් නෑ මූට.
    ඕන්න තත්වෙ...ඒක නෙවෙයි හොඳම කතාව, මල්ලි ගියෙ කැස්සට බේත් ගන්නනෙ. ඒත් තාම කැස්ස අඩු නෑ. අඩු තරමෙ කැස්සට කරන එක පරීක්ෂනයක් වත් කරලත් නෑ. හෙන ගහන්න එපාද මුන්ට..!
    ඊට පස්සෙ අපේ හොස්පිටල් එකෙන්ම කැස්සටත් බෙහෙත් ඇරන් දුන්න.
    යාලුවනේ ඔන්න ඕකයි අපේ රටේ රෝහල් මුදලාලිලාගෙ තත්වෙ. කඩාගන්න පුලුවන් තැනින් කුට්ටිය කඩාගන්නව ලෙඩ දාහක් විතර පටවල. හැකි හැම වෙලාවකම අපේ රජයෙ රෝහලකට යන්න. එහෙම නැත්නම් නිකම් ලෙඩ්ඩු වෙලා..මුදලාලිල පෝසත් කරන්න තමයි වෙන්නෙ.කොහොමත් නැති ලෙඩට බෙහෙත් බොනකොට නිකම්ම ලෙඩ්ඩු වෙනවනෙ.
    ඉතින් බයටම මලයා සිගරට් බොන එකත් නවත්තල, දැන් කැස්සත් නෑ..ආයෙ අර හොස්පිටල් එක පැත්ත බලාගෙන නිදියන්නෙවත් නෑලු....!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එස්.අයි මහත්තයා..

    ඕන්න දවසක් රෑ අටට විතර හොඳට හැඩි දැඩි පිරිමි කෙනෙක් අපේ වාට්ටුවට ඇඩ්මිට් වුනා. ඒ දවස් දෙක තුනක ඉඳන් බඩ රිදෙනව, බඩඑළියෙ යනවා කියාගෙන. මම ඇහුව..
    "දවසට කී සැරයක් විතර යනවද?" කියල.
    මනුස්සය කියනව "දහ වතාවටත් වැඩිය යනව" කියල..ඒක ටිකක් බරපතලයිනෙ
    මම මෙයාව ඇඩ්මිට් කරගෙන ටිකක් වැසිකිළිය ළඟට වෙන්න තියෙන ඇඳක් පෙන්නල ඒකට යන්න කිවුව. මොකද බෝවෙන ලෙඩ තියන ලෙඩ්ඩුන්ව වෙන්කරන්නෙ ඒ පැත්තෙ තියන වාට්ටු කොටසෙ නිසා.ඇයි ඊටත් වඩා රෑ තිස්සෙ මෙයාට වැසිකිළි යන්නත් එපායැ කීප සැරයක්ම. ඉතින් මනුස්සය ටිකක් කල්පනා කරල අහනව,"ඉස්සරහ ඇඳක් දෙන්න බැරිද?" කියල. ඒ මහත්තය වැඩකොරන්නෙ පොලීසියෙලු.එස්.අයි.කෙනෙක්ලු.අනේ ඉතින් කොයිහැටි වෙතත් මම කාරනා කටයුතු පැහැදිලි කළාට පස්සෙ මම පෙන්නපු ඇඳටම යන්න මෙයා කැමැති වුනා.
    ඊට පස්සෙ බඩේ අමාරුව අඩුවෙන්න දෙන රෑ බෙහෙත් වේල දුන්නම මෙයා ඒකත් බිවුව. බොනකල් මම ළඟත් හිටිය මොකද ලෙඩ්ඩුන්ට හරියට බෙහෙත් ටික දෙන එක අපේ වගකීමක් නිසා.මිනිහ මගෙ මූන දිහා කීප සැරයක් බලල තමයි බෙහෙත් ටික කටට දාගත්තෙ.මමත් ඉතින් කිවුව "බය වෙන්නෙපා,ඕය බෙහෙත් වලට අඩුවෙලා යයි" කියල.
    එදා රෑට කතාව ඔච්චරයි..ආ රෑ එස් අයි මහත්තය හොඳට නිදාගත්තනෙ,ඒක කියන්න අමතක වුනා. ඕන්න උදෙන්ම මෙයා ඇවිත් කියනව..
    "මහත්තය,මට මෙඩිකල් එකක් ගන්න ඕන..මාව කිළිනොච්චියට මාරුකරල..!"කියල. ඒ යුද්දෙ දරුණුවටම තිබ්බ කාලෙ.
    මම ඇහුව "එතකොට ඔයා බඩේ අමාරුව කිවුවෙ බොරුවටද?"කියල.මනුස්සය "ඕවු" කියපි.......!
    මට දෙලෝ රත් වුනා..හොඳවෙලාවට මෙයා බඩේ අමාරුව කියල කිවුවෙ,වැරදිලාවත් පපුවෙ අමාරුව කියල හෙම කීවනම් දෙන බෙහෙත් බීල මේ මනුස්සයට වෙන දරුණු ලෙඩක් හැදෙන්නත් ඉඩ තිබුන.මැරෙන්නත් ඉඩ තිබුන සමහර විට.
    එස්.අයි මහත්තය මෙඩිකල් එකත් ඇරගෙන ස්තූති කරල ගියා.හැබැයි පස්සෙ සෑහෙන වෙලාවක් මගෙ නාහෙ දෑව.මොකද මුන්නැහෙ වැසිකිළි යන යන සැරේට මාව මතක් වෙන්න ඇති.ඇයි දෙයියනේ බෙහෙත් දුන්නෙ බඩ වේලන්නනේ..හනේ අපොයි බොරු කියල කොරගත්තු දෙයක්...!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආරක්ෂාව පළමුව...

    මම අද මේ කියන්න යන්නේ අලුතෙන්ම මට ලැබුන අත්දැකීමක්, ඔයාලට මතකද යාලුවනේ දැනට සති තුනකට විතර ඉස්සර මුලු ලංකාවටම සිදුවෙච්චි විදුලිය බිඳ වැටීම?. අන්න එදාට පහුවෙනිද තමයි මේ කතාව සිද්දවුනේ.
    රුවන් බොහොම කඩවසම් කොලුවෙක්. තාම වයස අවුරුදු දහඅටයි. ඉස්කෝලෙ ගමන නතර කරල දාපු රුවන්ට රස්සාවක් ලැබුන. ඒ විදුලි බල මණ්ඩලයෙ සේවා සැපයුම් කොන්ත්‍රාත් ආයතනයක කම්කරුවෙක් විදියට.
    රුවන් රස්සාවට ගිහින් ටික දවසකින් තමා අර ඉස්සෙල්ල කියපු පවර් කට් එක ආවෙ.
    පහුවදා උදේ රුවන් ඇතුලු කන්ඩායමට පැවරුනා නගරයෙන් ටිකක් දුර පැත්තක සේවා කටයුත්තක්. බිම වැටිල තිබුන ඇලුමිනියම් වයර් එකක් ආපහු ස්ථානගත කරන එක තමා ඒ රාජකාරිය. මේ වෙනකොටත් විදුලි සැපයුම නොතිබුන හින්ද මේ අයට වැඩේ තවත් පහසු වුනා. රුවන් ලයිට් කනුවට නැගල ආරක්ෂිත බඳ පටිය දාගත්ත. මේක පාවෙච්චි කරන්නෙ අත් දෙකම නිදහස් කරගෙන ආරක්ෂිතව තමන්ගෙ වැඩේ නිම කරන්න කියල කවුරුත් දන්නවනේ. එයාට උදවුවට තව දෙන්නෙකුත් නැග්ග කනුවට. කැඩිල තිබුන කම්බිය පිළිසකර කරල තුන්දෙනාම අල්ලගෙන කනුව උඩ ස්ථානගත කරනකොටම කවුරුත් නොහොතපු අනපේක්ෂිත දෙයක් සිදුවුනා. හිතාගන්න පුලුවන්ද? කරන්ට් ආව.
    යට හිටපු දෙන්න විසිවෙලා වැටුන. පහල කැලෑ රොදවල් පඳුරු නිසා ලොකු ප්‍රශ්නයක් නෑ.
    කෝ එතකොට රුවන්? කම්බි දෙක අල්ලගත්තු රුවන් බඳ පටිය නිසා විසිවුනේ නෑ. එයා තාමත් හිටපු ඉරියවුවෙමයි..! වහාම ක්‍රියාත්මක වුන අනිත් සගයො රුවන්ගෙ අත් වලට ඒගොල්ල ගාව තියන ඉන්සුලේටර් බටයෙන් ගහල කම්බියෙන් ගලවගෙන බිමට ගත්ත.........
    වේගයෙන් ආපු විදුලි බල මණ්ඩලයෙ වාහනය රෝහල ඇතුලට ආව. දරඳඩු වෙච්ච මනුස්සයෙක් ට්‍රොලියට ගත්තෙ..........ඒ.රුවන්..!! වාට්ටුවට වේගයෙන් ගිය ට්‍රොලිය වට කරගත්තු කාර්ය මංඩලය ඉක්මනින් හර්ද සම්බාහනය (Heart Massage ) පටන් ගත්ත. ඔක්සිජන් සමඟ කෘතිම ශ්වසනය දෙන්න තව දෙන්නෙක් දඟලනව. රුවන්ගෙ නිසල සිරුරට ජීවය දෙන්න ඒ වෙද්දිත් කාලය කියන නපුරා ඉඩදීල තිබුනෙ නෑ.
    විනාඩි හතලිස්පහකට පස්සෙ හිසේ ඉඳල දෙපතුල ගාවටම සුදු රෙද්දක් පොරවගෙන රුවන් නිශ්චලව හිටිය. රුවන්ගෙ යාලුවො ටික තර්ක කරමින් හිටිය.
    "ඌ අලුත් එකා..අපරාදෙ අපිට යන්නයි තිබුනෙ"
    " නෑ බං ඌ දැනගන්න එපායැ පේස් එක අතාරින්න.."
    වැරැද්ද කාගෙ අතේ වුනත් අසරන තරුණ ජීවිතයක් අහිමි වෙලා ඉවරයි. මේ සිද්දිය ඉවරවෙලා, මම වාට්ටුවෙන් එළියට බැස්ස මගේ යුනිට් එකට යන්න. රුවන්ව ගෙනාපු විදුලිබල මණ්ඩලයෙ නිල් පාට වාහනේ ගහල තියන වැකියකට මගේ දෑස යොමුවුනේ නිරායාසයෙන්මයි.
    Safety First..!
    ආරක්ෂාව පළමුව...
    සියල්ල වචනයට, ස්ටිකරයට පමණක් සීමාවී ඇති සැටි....ඉතිරිය ඔබට හිතන්නට ඉතිරි කරමි..!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පත්තුවේ කතාව...

    දැං ඡන්ද කාලේකියනවනේ. ඉතිං කාල බීල..කනවටත් වඩා බීල ,පොරවල් වෙච්චි අයියල හැමතැනම නිදහසේ සැරිසරනව නෙව. මේ දවස් වල රාත්‍රියට අපේ ශල්‍යවාට්ටුවෙ කාර්ය මණ්ඩලයටත් ඉස්පාසුවක් නෑ. මොකද කාල බීල , කළගුණ-කළ අගුණ හෙම සලකල පාරෙතොටේ වැටිල ඉන්න "පොරවල්", අඬු පඬු කෑලි නැතුව හූ කිය කියා අපිව බලන්න එන නිසා..
    උදේට හිනාවේගෙන ඇමැටිල(ගරු ඇමතිතුමන්ල)එනව..හවසට අඬාගෙන ගෝලයො එනව..
    අපිත් ඉතිං තැලිච්ච පොඩිවෙච්චට බේත් දාල..වැඩිපුර තැලිච්ච අහක් කරල දාල එහෙම ඊලඟ ඡන්දෙට වැඩකරන්න සුදුසු විදියට රෙපෙයාර් කරල දෙනව..
    වැල් වටාරම් මදෑ..ඕං එහෙනම් කතාව..
    ළඟදි දවසක අපේ ඉස්පිරිතාලෙ ශල්‍යවාට්ටුවට ආව තරුණ කොලුවෙක්..ආවෙ රෝද පුටුවක
    නිකම්මත් නෙවේ සෑහෙන පිරිසකුත් පිරිවරාගෙන. කකුලකුත් බැන්ඩේජ් කරල..
    " මේ අපේ අර ඇමැතිතුමාගෙ විශ්වාසවන්ත හිතවතෙක්..මේ කකුල පොඩ්ඩක් අප්සෙට් වෙලා"
    ආපු මනුස්සයෙක් කිවුව.
    මමත් ඉතින් පිරිවර සේනාව පොඩ්ඩක් එළියට යවල කොලුවව ඇඩ්මිට් කර ගත්ත. මිනිහගෙන් තුවාලෙ ගැන විස්තර ඇහුව.
    " මම අර අහවල් ඇමැතිතුමාගෙ අහවලා..මම ගියපාර ඡන්දෙදි පෝස්ටර් අලව අලව ඉන්නැද්දි..........."
    දැං ඉතිං ඉතුරු විස්තරේ අහන්න ඕනෙ නෑනෙ..මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් කියල ඇඳ ඉහලින් ගහන්නම් කියල මම කොලුවට කිවුව.
    මෙයා පෝස්ටර් අලවද්දි තවත් කට්ටියක් පොල්ලකින් කකුල් වලට ගහලයි මේක වෙලා තියෙන්නෙ. රජයෙ රෝහලකින් ‍‍ x-ray කරල බලල, කකුලෙ දිග අස්ථියක පිපිරුමක් තියනව කියල ක්‍රේප් බැන්ඩේජ් එකක් දාලයි තිබුනෙ.
    ඒ ඔක්කොම විස්තර මෙයාට දීල තිබුන Diagnosis Card එකේ ලියල තිබුන.
    මනුස්සයව ඇඩ්මිශන් බෙඩ් එකට දාල, ඩොක්ටර්වත් ගෙන්නගෙන අපි දැන් ලෑස්තිය තුවාලෙ තත්වෙ බලන්නයි..
    හරි ලස්සනට තුවාලෙ ඔතල තිබ්බ,හැබැයි කොලපාටට මොනවද මන්ද කකුල පිට පැත්තටත් ලීක් වෙලයි තිබුනෙ.
    ඉස්පිරිතාලෙ කොල පාට බෙහෙතක් පාවෙච්චි නොකරන හින්ද, අපි ඇහුව
    "මොනවද මේ කොළපාට ?" කියල
    "ඔය අර .......වෙද මහත්තය බැඳපු පත්තුවනේ සර්..." කොලුව කිවුව.
    පත්තුව කෙසේ වෙතත් ඉතින් තුවාලෙ අල්ලනකොට නම් මනුස්සය බෙරිහන් දෙනව.
    එතකොටම අපිට තේරුනා වැඩේ කුරුවල් වෙලා තමයි කියල
    ඔන්න ඉතින් සේලයින් වලින් පොඟවල හෙම බැන්ඩේජ් එක ගැලෙව්ව...කොලුව මරහඬ තලද්දිම.බොහොම හොඳ සුවඳක් හෙමත් පැතිරුනා
    හපොයි..මෙන්න බැන්ඩේජ් එකත් එක්කම කකුලෙ හමත් ගැලවෙනව.
    දනිස්ස ළඟ ඉඳන් පල්ලෙහාටම දාල තිබුන පත්තුවට යටින් හම සේරම නරක් වෙලා!!!!!
    දැං මුලු කකුලම සම්පූරන තුවාලයක්!!!!!
    මේක වාට්ටුවක් ඇතුලෙ සුද්ද කරන්න පුලුවන් තුවාලයක් නෙවේ කියල තීරනය වෙච්චි නිසා මෙයාව ශල්‍යාගාරයට යවන්නයි තීරනය වුනේ.
    පැයක හමාරක යුද්දෙකින් පස්සෙ පත්තුවයි කකුලයි සුද්දකරල කොලුවව ආපහු වාට්ටුවට ගෙනාව..හැබැයි අති විශාල තුවාලෙකුත් එක්ක.
    දැං ඉතින් තුවාලෙ වේලෙන්න බෙහෙත් විදිනව දවසට හය සැරයක්!
    තිබුනෙ කකුලෙ අස්ථියක බොහොම පොඩි පිපිරුමක් විතරයිනෙ. ඔන්න ඉතින් දැං බෝනස් තුවාලෙකුත් තියනව.
    ඕකයි කතාව..හිතන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයයි..අපි මොන වෛද්‍යවරයෙකුගෙන්, බටහිර හෝ දේශීය
    මොන වෛද්‍ය ක්‍රමයක් විශ්වාස කළත් නියම සුදුසුකම් ලබපු කෙනෙකුගෙන් ප්‍රතිකාර ගන්නවනම් මේවගෙ දේවල් වෙන එක
    වලක්ව ගන්න පුලුවන්.. එහෙම නේද යාලුවනේ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජීවක ගුලිය....

    සෙවුවන්දි පුංචි දඟකාර සමනළියක්. වයස යාන්තම් අවුරුදු හතරයි. ගමේ ගොඩේ හැදිච්ච වැඩිච්ච හින්දම, වෙල් එළියෙ බඩවැටියෙ ඇලේ දොලේ කෙළිදෙළෙන් හිත පිරෙනකල් පියාඹන්න , දඟ කරන්න මේ සමනළ පැටික්කිට කවුරුවත් බාදාවක් කලේ නෑ. පුංචි සෙවුවන්දි එයාගෙ අම්මටයි තාත්තටයි හිටිය එකම දරුව හින්ද ඒ ගොල්ලො මෙයාට හරියට ආදරෙයි.
    ඒත් එක දවසක් පාන්දර පුංචි සෙව්වන්දි සෙල්ලම් කර කර ඉඳල අම්ම ගාවට ආවම එයාගෙ පපුවෙන් සද්දයක් ඇහෙනව වගේ නේද කියල අම්මට හිතුන. ඒත් අම්ම ඒක එච්චර ගනනකට ගත්තෙ නෑ. සතියක් දෙකක් යනකොට පපුවෙන් ඇහිච්චි පුංචි රාන් රූන් සද්දෙ වැඩිවුනා, ඒවගේම පුංචි සෙවුවන්දිට පඩිපෙලක් කන්දක් නගිනකොට හුස්ම ගන්න අමාරුවෙන තරමටම ලෙඩේ ටිකෙන් ටික වැඩිවුනා. හොඳටම බයවෙච්චි අම්මයි තාත්තයි සෙවුවන්දිව ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නුව. බෙහෙත් වේල් දෙකතුනකට පස්සෙ ඩොක්ටර් පුංචි දුවටයි අම්ම තාත්තටයි උපදෙස් මාලාවක්ම දුන්න.
    උදේ පින්නෙන්, දූවිලි වලින්, මල් පරාග වලින්, අන්නාසි ,තක්කාලි, බලමාලු, බල කරවල වගේ කෑම වලින් පරෙස්සම් වෙන්න කිවුව. නාහෙට අදින්නයි, බොන්නයි බෙහෙත් ජාති මහ ගොඩකුත් දුන්න.
    මේ පුංචි දරුවට හැදිල තිබුනෙ ක්ලෝම/පෙනහලු ඇදුම( Asthma ) කියන ලෙඩේ. මේකෙදි පිටතින් එන අසාත්මිකතාවයක්( Allergy ) හින්ද පෙනහලු වලට වාතය ගෙනියන නාළ පුංචිවෙලා හුස්ම ගන්න අමාරු වෙනව. ඉතින් ඔය අසාත්මිකතාව සමහරුන්ට පින්නට, මල්පරාග වලට, දූවිල්ලට, ශීත කෑම වලට, සමහර බෙහෙත් වර්ග වලට ආදී විවිධ දේවල් වලට ඇතිවෙන්න පුලුවන්. මේවට කියනව අසාත්මික කාරක ( Allergen ) කියල. මොනව කිවුවත් තමුන් අසාත්මික වෙන්නෙ මොන මොන දේවල් වලටද කියල හොයාගන්න පුලුවන් වෙන්නෙත් තමුන්ටම තමයි.
    ඔන්න ඉතින් දැන් පුංචි සමනළී බෙහෙත් වේල නොවරදවාම ගන්නව. දැන් ආයෙත් දුවන්න පනින්න පුලුවන්. හැබැයි ඉතින් දූවිලි ටිකක් වැඩියෙන් ඇනුවොත්, බල මාලු ටිකක් කෑවොත් හෙම ආපහු ලෙඩේ පොඩ්ඩක් විතර මතුවෙනව. හැබැයි ඉස්සර තරම් දරුණුවට හෙම නෙවේ.
    ඔන්න ඔය අතරෙ සෙවුවන්දිගෙ තාත්තට පත්තරේ තිබිල දැන්වීමක් බලන්න හම්බවෙනව.
    " ජීවක වෙද මහතා..ඇදුම රෝගය සති හතරකින් නිට්ටාවටම සුවය. එක් ප්‍රතිකාරයක් පමණි.."
    ඔන්න ඕකයි දැන්වීම..ගෙවල් වලට ළඟපාත නොවුනත් තාත්‍තයි අම්මයි තීරනය කරනව පුංචි කෙළි පැටික්කිව මේ ජීවක වෙදමහත්තය ළඟට එක්කන් යන්න. ඒ වෙන මොකටවත් නෙමේ විටින් විට මතුවෙලා පුංචි පැටික්කිට කරදර කරන ලෙඩේ නිට්ටාවටම හොඳකර ගන්න.
    දුරු කතර ගෙවාගෙන ජීවක වෙද මහත්තයව හම්බවෙන සෙවුවන්දිලට එයා පොරොන්දු වෙනව මාසෙකින් ලෙඩේ නිට්ටාවටම හොඳකරල දෙන්න. ප්‍රතිකාරයත් හරිම ලේසියි. සියඹලා ඇටයක් විතර ගුලි දෙකක් ගානෙ දවසට තුන් සැරයක් මීපැණිත් එක්ක බොන්න විතරමයි තියෙන්නෙ. හැබැයි ඉතින් වෙදමහත්තයගෙ ගාස්තුව නම් ටිකක් වැඩියි. ඒත් ඉතින් එකම දරුව වෙනුවෙන්නෙ කියල මෙයාල මේ වියදම දරාගත්ත.
    දවස් දෙක තුනෙන්ම සෙවුවන්දිට ගුණයක් දැනුන. අනිත් බෙහෙත් ඔක්කොම නවත්තල අම්ම කොහොම හරි සෙවුවන්දිට මේ ගුලි පොවුවනව. ලෙඩේත් ඉක්මනින් අඩුවෙනව.
    සති තුනක් විතර ගියාට පස්සෙ පුංචි සෙවුවන්දිගෙ මූනෙ මොකක්දෝ වෙනසක් අම්මට දැනුන. ටිකක් ඉදිමිලාද කියලත් හිතුන. ඔය අතරෙ තමයි සෙවුවන්දිට මුත්‍රා දැවිල්ලක් හැදුනෙ. හරිම තද උණකුත් එක්ක.
    ඉතින් ආයෙම පුංචි පැටික්කිව ළමා රෝග වෛද්‍යවරය ළඟට එක්කන් යන්න අම්මලට සිද්දවුනා. එතෙනදි පරීක්ෂාකරපු මුත්‍රා සාම්පලයෙ ලොකු වෙනසක් තිබ්බ හින්ද, ලේ පරීක්ෂණ වගයකුත් කරන්න සිද්දවුනා. අන්තිමේදි ඩොක්ටර් තීරණය කළා සෙවුවන්දිව රෝහලේ නවත්තන්න.
    ඔන්න ඔය විදියට තමයි රෝහලේ ළමාවාට්ටුවට සෙවුවන්දි ආවෙ. පරීෂණ මහ ගොඩකට පස්සෙ තීරණය වුනේ මොකක්ද දන්නවද? පුංචි දරුවට දියවැඩියාව තියන බව....!
    උපතින් දියවැඩියාව අරගෙන ආපු නැති මේ මල් කැකුළට මේක හැදුනෙ කොහොමද?. තව තව පරීක්ෂන කෙරුන. වෛද්‍යවරු පුංචි සමනලීව පරීක්ෂා කලා..මූන ඉදිමුන තත්වය Moon Face කියන රෝග ලක්ෂනය කියල තීරනය වුනා.(පින්තූරෙ තියෙන්නෙ ඒ ලක්ෂනේ) මෙහෙම වෙන්න පුලුවන් ස්ටීරොයිඩ ගනයෙ බෙහෙත් වැඩි මාත්‍රාවක් දිගුකාළයක් තිස්සෙ ශරීරගතවුනාම.
    ඉතින් මේක ගැන ඩොක්ටර්ස්ල තාත්තගෙන් අම්මගෙන් කරුනු ඇහුව. බෙහෙත් ගත්තෙ කාගෙන්ද කොහෙන්ද කියල. ඔන්න ඔතෙන්දි ජිවක වෙද මහත්තයගෙ ගුලි සෙල්ලම ගැන එළිකරන්න තාත්තට සිද්දවුනා.
    අවසාන නිගමනය වුනේ මේකයි..අර ගුලිවල තිබිල තියෙන්නෙ ස්ටීරොයිඩ ගනයෙ බෙහෙත් කුඩු, බොහොම වැඩි මාත්‍රාවකින්.ඒකනෙ එකපාරටම ලෙඩේ හොඳ වුනා වගේ දැනුනෙ. මේ හොර වෙදා ෆාමසියෙන් ගත්තු Prednisolone වගේ බෙහෙතක් කුඩු කරල අර ගුලි හදන්න ඇති.
    තාත්ත මේ වෙදාව හොයාගෙන ගියා..ඒත් ඒ වෙනකොට මනුස්සය ආගිය අතක් නැහැලු..බේත් ශාලාවත් වහලලු.
    කොහොම හරි අන්තිමේදි පුංචි සෙවුවන්දි සදාකාලික ලෙඩෙක් වුනා. දරුනු ආපහු යථා තත්වයට පත්කරන්න බැරි හානි ගොඩක් එයාගෙ පුංචි ඇඟ ඇතුලෙ වෙලයි කියල දැනගත්ත. කතාව ඔච්චරයි
    ඒත්....හිතන්න දේවල් නම් බොහොම ගොඩයි..තවත් මේවගේ හොර ජීවකයො මුලු බටහිර, දේශීය සහ අනෙක් හැම වෛද්‍ය සාශ්ත්‍රයන්ටම නිගා දෙමින් නිදහසේ ගොදුරු දඩයම් කරනව. අපි බෙහෙත් ගන්නෙ කාගෙන්ද? තීරණය ඔබ අතේ..!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලේ කැටිය...

    මේ සිද්දිය වුනේ මහ රෝහලක දැඩි සත්කාර ඒකකයෙ(I.C.U.). මගෙ යාලුවෙක්ගෙ අත්දැකීමක් තමයි මේකත්. මේ කතාවට සම්බන්ධ වෙන්නෙ තරුණ ගෑණු ළමයෙක්, අවුරුදු 25 ක විතර.
    මේ ළමය රස්සාව විදියට කරල තියෙන්නෙ ගාර්මන්ට් එකක ඇඳුම් මහන එකලු. ඉතිං දවසක් මෙයා රැකියාව කරකර ඉන්නකොට හිටපු ගමන් සිහි නැතිවෙලා බිම ඇදගෙන වැටිල. වැඩපලේ අය මෙයාව ඉස්පිරිතාලෙ ඇරන් ඇවිත්. විවිධාකාර පරීක්ෂණ ගොඩක් කරල මෙයා සිහිනැතිවෙච්ච හේතුව හොයන්න වෛද්‍යවරු උත්සාහ කරල. කොහොමහරි අන්තිමේදි ඔලුවෙ CT Scan පරීක්ෂණයෙන් හොයාගන්න පුලුවන් වුනාලු මෙයාගෙ මොළයෙ ලේ ගැලීමක් වෙලා තියනව කියල. හිටි ගමන් අසිහි වෙලා තියෙන්නෙ මෙන්න මේ හෙතුවෙන් තමයි.
    ඉතින් මුලින්ම මේ ලෙඩාව යොමුකරල තියෙන්නෙ වාට්ටුවකට. වාට්ටුවෙ දවස් දෙක තුනක ප්‍රතිකාර වලිනුත් කිසිම අඩුවක් නැති හින්ද තමයි, දැඩි සත්කාර ඒකකයට මාරු කරල තියෙන්නෙ.
    I.C.U. එකේදි මේ ළමයට තවත් අමාරු වෙලා. හුස්ම ගැනීම නතර කරල මැෂින් එකකින් තමයි හුස්ම දීල තියෙන්නෙ ( I.P.P.V / Intermittent positive Pressure Ventilation ) . මූත්‍රා යන්නත් බට හයිකරල ( Urine Catheter )
    මේ විදියට මෙයාව තියාගෙන ඉඳල තියෙන්නෙ සැත්කමක් කරල මොලයට ගලපු ලේ වලින් ඇතිවුන හානිය නිවැරදි කරන්න පුලුවන් වෙයිද කියල බලන්නලු.
    දිනපතාම මේ ලෙඩා විශේෂ අවධානයකින් බලපු ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරු අවසානයෙදි තීරනය කරල තියනව සැත්කම නොකරන්න. මොකද ඔපරේෂන් එකකට ගන්න තරම් සුදුසු තත්වයක රෝගියා නැති නිසා. මේවගේ තීරණ වලදි විශේෂ‍ඥ වෛද්‍ය කණ්ඩායමක් එකතු වෙලා සාකච්චා කරනව සැත්කමේ වාසි අවාසි ගැන. වාසි වලට වඩා අවාසි පැත්ත ගොඩක් වැඩි නම් තීරණය වෙන්නෙ සැත්කම නොකර ඉන්නයි.
    ඉතින් ලෙඩාගෙ භාරකාරයන්ට, ගෑණු ළමයගෙ අම්මටයි තාත්තටයි මේ තීරනේ දැනුම් දීල තියනව. ඒත් එක්කම ලෙඩාගෙ තත්වය බරපතලයි කියලත් මෙයාලට කියල දුන්නලු.
    ඔය විදියට සතියක් දෙකක් විතර I.C.U. එකේ මේ ලෙඩා හිටියලු. මැෂින් වල පිහිටෙන්. එක දවසක් දවල් වරුවෙ මේ අසරන ගෑනු ළමය මියගිහින් තියනව. මේ කනගාටුදායක ආරංචිය දන්වල මෙයාගෙ ලිපිනයට විදුලි පුවතක් යවල.
    ඉතිං කළබලෙන් ඒවගේම දුකෙන් අර නැතිවෙච්චි ළමයගෙ අහිංසක අම්මයි තාත්තයි ඉස්පිරිතාලෙට දුවගෙන ආවලු. මගෙ කතාවෙ වැදගත්ම කොටස පටන් ගන්නෙ මෙතනින්. ඉතින් අර තාත්ත තමන්ගෙ දුව නැතිවෙන්න හේතුව අහල තියෙනව. කාගෙන්ද දන්නවද? රෝහල් උපස්ථායක මහත්තයෙකුගෙන්.! ඒ මනුස්සය මේ තාත්තව ඩොක්ටර් කෙනෙකුට හරි හෙද නිළධාරියෙකුට හරි යොමු කරන්නෙ නැතුව කියල තියෙනව,
    "ලේ කැටියක් හිරවෙලානෙ ළමය මැරුනෙ " කියල.
    මොකද උපස්ථායකවරුන්ට මේවගෙ රෝග ගැන තියන දැනුම, අවබෝධය අඩුයිනෙ. ඉතිං කටට ආපු දෙයක් කියල දාල.
    පස්සෙ ලෙඩාගෙ මිනිය බාර දෙන වෙලාවෙ ලෙඩාට වුනේ මොකද කියල තාත්තට පැහැදිළි කරල දෙනකොට, මෙන්න මේ මනුස්සය කෑ ගහනවලු, මගෙ දුවව මරාගෙන දැන් බොරු කියනව. මම මේක ලේසියෙන් අතාරින්නෙ නෑ..කියකියා. ඇයි කළින් අර මනුස්සය කීවෙ වෙන කතාවක්නෙ.
    පස්සෙ නර්ස්ලයි ඩොක්ටර්ස්ලයි මෙයාගෙන් අහල තියනව
    "දැන් ඔයා හිතන්නෙ මොනව වෙලා ඔයාගෙ දුව නැතිවුනා කියලද?"
    මනුස්සය කිවුවලු " ලේ කැටියක් උගුරෙ හිරවෙලා තමයි මගෙ දුව නැතිවෙලා තියෙන්නෙ කියල."
    අර උපස්ථායක කියපු දේ මේ තාත්තට අවබෝධ වෙලා තියෙන්නෙ ඔන්න ඔය විදියටයි. ඇයි අර මනුස්සය කිවුවෙ ලේ කැටියක් හිරවෙල කියලනෙ..මේ තාත්ත හිතුවෙ උගුරෙ හිරවෙන්න ඇති කියල.
    කොහොම කොහොම හරි අන්තිමට අර උපස්ථායක මහත්තයවත් තාත්ත ළඟට ගෙන්නල, සිදුවෙච්චි වරද නිවැරදි කරල මෙයාලව ආපහු යවල තියනව..බොහොම අමාරුවෙන්.
    ඇත්තටම මේ ගෑණු ළමය නැතිවෙලා තියෙන්නෙ මොළේට ඇතිවෙච්චි ලේ ගැලීම තවත් වැඩිවෙලා මොළයට ඇතිවෙච්චි තෙරපුම හින්දයි.
    පස්සෙ අර උපස්ථායක මහත්තයට අවවාද කරල තියනව ආපහු තමන්ට අයිති නැති, තමන් නොදන්න දේවල් වලට උත්තර නොදී ඉන්න ඒවඅදාල අයට යොමුකරන්න කියල.
    මේ කතාවෙන් මම කියන්න උත්සාහ කලේ මෙන්න මේ පුංචි කාරනේ. රෝහලකදි මොනවහරි දෙයක් අහනවනම් ඒකට සුදුසු කෙනෙකුගෙන් අහන්න හැමෝම දැනුවත් වෙන්න ඕන. ඒ කිවුවෙ ලෙඩෙකුගෙ රෝග තත්වයක් ගැන , කන්න බොන්න සුදුසු දේවල් ගැන, ලෙඩෙක් සම්බන්ධව වගේ අහනවනම් නර්ස් කෙනෙකුගෙන් අහන්න. වැඩිදුර කරුණු දැනගන්න ඕනෙ නම් එයා ඔයාව වෛද්‍යවරයාට යොමුකරාවි.ඕනම කෙනෙක් නීතියෙන්ම බැඳිල ඉන්නව ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මොකද ඒකත් අපේ රාජකාරියෙම කොටසක් හින්ද.
    මේවගෙ වැරදීම් වලක්ව ගන්න පුලුවන් ඒ ගැනත් පොඩ්ඩක් හිතුවොත්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන්තර නූල...

    වෙලාව හවස හයට විතර ඇති.ගොම්මන් කලුවරත් වැටීගෙන එනව. වාට්ටුවත් ටිකක් කාර්යබහුල වෙලයි තිබුනෙ. ඔන්න අවුරුදු පහලොවක විතර කොලුවෙක් එක්ක දෙතුන්දෙනෙක් කඩා බිඳගෙන වාට්ටුවට ආව. කොලුපැටියගෙ අත ලේන්සු කඩමාල්ලකින් වහල තිබුන.
    " මොකද උනේ " කියල මම ඇහුව
    " සර්පයෙක් ගැහුව මහත්තයෝ " කියල එතන හිටපු ගෑණු මනුස්සය කිවුව, මයෙ හිතේ අර කොලුවගෙ අම්ම වෙන්ටෝනෙ.
    මම ඉක්මනට මෙයාව ටැප් එක ළඟට යැවුව හොඳට සබන් දාල අත සෝදගෙන එන්න කියල. මොකද ගොඩක් අය මේවගෙ දෙයක් වුනාම කළබලේට ඉස්පිරිතාලෙ දුවන් එනව විතරයි , කරන්න තියන මූලික ප්‍රථමාධාර ටිකවත් කරන්නෙ නැතිබව දන්න හින්ද.
    සර්පයෙක් දෂ්ට කලොත් ඉස්සෙල්ලම හොඳින් සබන් දාල හෝදන්න, දෂ්ටනයට ලක්වුන අවයවය හැකිතාක් නොසොල්වා තියාගන්න, මත්පැන්, තේ, කෝපි, වගේ උත්තේජක පාන වර්ග නොදෙන්න අපි හැමෝම දැනුවත් වෙලා ඉන්න ඕනෙ.
    හරි හරි..අපි කතාවට එමුකෝ..ඉතිං මේ ගොල්ල කොලුවගෙ කාපු සර්පයව ගෙනල්ල තිබුන, ජෑම් බෝතලේකට දාල. සර්පයව නම් තලල තලල ජෑම් කරල තමයි තිබුනෙ. වෙලාවට සර්පය ඔලුව බේරගෙන තිබ්බ හින්ද කවුද කියල අදුරගන්න පුලුවන් වුනා. ඒක කුණකටුවෙක් (Hump nosed viper) ඔලුවෙ තුන්හුලස් හැඩේ නිසා මෙයාව වෙන්කරල අඳුරගන්න ලේසියි.
    මම කොලු පැටියව වාට්ටුවට ඇඩ්මිට් කරල ඩොක්ටර්ට කතාකරල මෙයාව පෙන්නුව. පිටගැස්ම බෙහෙත විද්ද. ඉක්මනින් කරන්න තියන පරීක්ෂන ටිකට ලේ, මූත්‍රා හෙමත් යවල මෙයාට ඇඳකට යන්න කිවුව.
    ලෙඩාගෙ දකුණු අතේ මහපටැඟිල්ලෙ තමා කුණකටුව කාල තිබ්බෙ. ගොම්මන් වෙලාවෙ පොල්ලෙලි ගොඩක් අස්සට අතදාල තමයි මූව කවාගෙන තියෙන්නෙ.
    කුණකටුව කෑවම හරිම වේදනයි, ඊට අමතරව ගොඩක් ඉදිමුමත් එනව. ඒක ලෙඩාට පැහැදිළි කරල දුන්න. මිනිහගෙ අතේ බැඳල තිබ්බ කඹයක් විතර මහත නූලක්. ඒකත් කප්පවල දැම්ම, ඒකට නම් මනුස්සයට සර්පය කෑවට වඩා දුකයිද කොහෙද....
    ඊළඟ දවසෙ උදේ , මෙන්න මෙයා අතත් එල්ලගෙන එනව. බැලින්නම් අත බෙර කොටේ වාගෙ ඉදිමිලා, නිල් පාට වෙලා, සීතල වෙලා..මේක දැකපු ගමන් මට හොඳටම බය හිතුන අත ඉවරයි තමා කියල. ඉතින් දඩි බිඩි ගාල බැලුව මොකද මෙහෙම වුනේ කියල.
    බැලින්නම් මෙන්න අතේ මැණික්කටුව ළඟ තව මොකක්ද නූලක් බැඳල..!. ඒක නිසා තමයි මේ අත ඉදිමිල ලේ ගමන නැවතිල නිල්වෙලා තියෙන්නෙ. තව ටිකවෙලාවක් තිබ්බ නම් අත කපන්න වෙනව.
    මට හොඳටම තරහ ගියා මේ වැඩේට නම්, ඇයි මම අතේ තිබ්බ සේරම නූල් කපල, ඒක කපපු හේතුවත් මූට කියල දීලනේ ගියෙ.
    මිනිහ කෙඳිරි ගගා සමාව ඉල්ලනව. වෙලා තියෙන්නෙ මේකයි.., රෑ වෙලා සිකියුරිටි කාරයටත් ජරාවක් දීලද කොහෙද මිනිහ බලන්න එකෙක් ඇවිත් තියනව. එනකොට කොහෙද මිනිහෙක්ගෙන් මන්තර ජප කරපු (?) නූලක් ඇරන් ඇවිත්. මන්තර කාරය කිවුවලු මේක සර්පයා කාපු අතේම බඳින්න කියල. ඉතින් අර ගොන් වහන්සෙත් හැමෝටම හොරෙන් අර නූල අතේ බැඳගෙන තමයි නිදාගෙන තියෙන්නෙ. අපි නූල් බඳින්න එපා කියපු හින්ද කාටවත් පෙන්නුවෙ නැතිලු අත ඉදිමෙන කොටත්...උදේ මිනිහ ට්‍රයි කළාලු නූල කපල දාන්න..ඒත් එතකොටත් අතේ ඉදිමුම වැඩි හින්ද නූල පේන්නෙ නැතිතරමටම වැහිල තිබුන නිසාලු..මට ඇවිත් කිවුවෙ.
    මොනව කියන්නද ඉතින්..ගහන්නයැ..මූට? අමාරුවෙන් නූල කපල දාල අත බේරගත්ත.
    මේකෙන් අපිට පුංචි දෙයක් තියනව මතක තියාගන්න. සර්ප දෂ්ටනයකදි අතක නම් ඇඟිලි වල දාල තියන මුදු, අතේ බැඳන් ඉන්න නූල්, ඛ්‍රේස්ලට්, වලලු වගේ දේවල්, වෙන තැනක කෑව නම් තදවෙන්න පුලුවන් ඇදුම් ආදිය අනිවාර්යෙන්ම අහක් කරන්න ඕනෙ නැත්නම් ඉදිමුමත් එක්ක මේවට හිර වෙලා අත්, ඇඟිලි කපන්නත් වෙන්න පුලුවන්..ආ තව දෙයක් මතක තියාගන්න..අර තිරිංග දානව කියල සර්පය කාපු තැනට උඩින්, යටින් රෙදිපටි බඳින එකත් හරිම භයානකයි යාලුවනේ..!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තම තම නැණ පමණින් රැක ගතයුතු...

    රංග ජායාරූ ශිල්පියෙක්. වයස විස්සක විතර හොඳ කඩවසම් කොල්ලෙක්. මේ කියන දවසෙ එයාට මඟුල්ගෙදරක ජායාරූප ගන්න පැවරිල තිබුන. සීතල කඳුකරයෙ හෝටලයක තමයි මේ උත්සවය තිබුනෙ. දවසම එහෙට මෙහෙට දුවල පැනල තමන්ගෙ වෙහෙසකර රාජකාරිය නිමා කළාට පස්සෙ කෑමත් එක්ක පුංචි මධුවිත උගුරකින් සප්පායම් වෙන්නත් රංගට අවස්ථාව ලැබුන.
    ඒවයින් මේවයින් පස්සෙ රංග සුඛෝපභෝගී බස් රථයක අසුනකට බර දුන්නෙ ඉක්මනින් ගෙදර යන්න හිතාගෙන. ජංගම දුරකථනය අතට ගත්තු රංග මීළඟට නිමන්තිට ඇමතුමක් ගත්ත. නිමන්ති තමයි රංගගෙ පෙම්වතිය. මේ දෙන්න ලබන මාසෙ විවාහ වෙන්නයි ඉන්නෙ. ඇමතුම නිමාකරපු රංග නිමන්තිගෙ ලස්සන රූපය නෙතුපියන් යට තියාගෙනම පුංචි නින්දකට වැටුන.
    එයාට හදිස්සියෙම ඇහැරුනේ කර උඩ කවුරුහරි නිදාගෙන ඉන්නව වගේ දැනුන හින්ද. ආ...කවුද මේ...? ලස්සන ගෑණු ළමයෙක්..හැබැයි ටිකක් විතර රංගට වඩා වයස පාටයි. ඒත් එයා හිනාවෙනකොට හරිම ලස්සනයි කියල රංගට හිතුන.
    හාත්පස තිබුන සුවදායී හීතලත් එක්ක රංගගේ හිතට පුංචි උණුසුමක් මෝදුවෙන්න පටන් ගත්ත. සුහද වචන කීපයක් දෙපසට හුවමාරු වෙද්දි දෙන්නටම හිතුනෙ කාළයක් අඳුරගෙන හිටිය වගේ කියල. බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙද්දි රංගයි අර ගෑණුළමයයි දෙන්නත් සෑහෙන දුරක් බොහොම වේගයෙන් ගිහින් තිබුන. සෙනඟ වැඩිපුර නැති බස් එකේ නිදහස් සුවදායී පරිසරය මේ දෙන්නට අලුත් ලෝකයක් හදල දීල තිබුන. මෙයාලගෙ ක්ෂනික ප්‍රේමය මේ විදියට ගලාගෙන යද්දි............................................................................
    .................................................. වේගයෙන් ආපු බස් එකක් මහ රෝහලේ ගේට්ටුවෙන් ඇතුලට ආව. සිහි මද ගතියකින් හිටපු තරුණ ගෑණුළමයෙකුයි, වේදනාවෙන් මරහඬ තලන තරුණ පිරිමි ළමයෙකුයි රෝහලට ඇතුලත් කලේ බස් එකේ කොන්දොස්තර මල්ලි. පිරිමි ළමය ඇඳන් හිටපු ක්‍රීම් පාට කළිසම ලේ වලින් පෙඟිල තිබුණ. මෙයා ශල්‍ය වාට්ටුවටයි, ගෑණු ළමය වෛද්‍ය වාට්ටුවටයි ඉක්මනින්ම මාරුකරල යැවුන.
    අපේ පිරිමි ළමය ඒ කිවුවෙ රංගගෙ ඇඳුම් ඉවත් කරපු ඩොක්ටර්ස්ල එයාට මොකද වෙලා තියෙන්නෙ කියල බැලුව.......හ්ම්..මෙයාගෙ ලිංගේන්ද්‍රිය සම්පූරනයෙන්ම වාගෙ කැපිල, වෙන්වෙන්න ආසන්නයටම.පුංච් හම් කෑල්ලකින් තමා එල්ලිල තිබුනෙ. හරියට ලේ යනව. මෙයාව ඉක්මනින් ශල්‍යාගාරයට යැවුන. පැය දෙක තුනක සැත්කමකින් පස්සෙ ජීවිතේ බේරල, රංගව වාට්ටුවට එවුව. ඒත්...බොහොම දුක හිතෙන දෙයක් එක්ක....මොකක්ද දන්නවද?.......එයාගෙ ලිංගේන්ද්‍රිය නම් බේරගන්න බැරිවෙලා තිබුන. ඒ කිවුවෙ ඒක කපල ඉවත්කරල තමයි ලේ ගැලීම නතර කරල ජීවිතේ බේරගන්න සිද්දවෙලා තිබුනෙ.
    එතකොට බස් එකේදි මොකද මෙයාලට වෙලා තිබුනෙ. ඒක කොන්දොස්තර මල්ලිගෙන් දැනගත්තෙ.
    බස් එක ගමනාන්තෙට කිට්ටුවෙද්දි පිටිපස්සෙ ශීට් එක පැත්තෙන් ලොකු කෑ ගැහිල්ලක් ඇහිල තියනව. ඉක්මනින් ගිහින් බැලුවම ගෑණු ළමයෙක් දත කට පූට්ටුවෙලා කටින් සෙම දාගෙන අපස්මාරෙ හැදිල වෙවුලනවලු. පිරිමි ළමයගෙ ලිංගේන්ද්‍රිය මෙයාගෙ තදින් පියවෙච්චි කට ඇතුලෙ හිරවෙලා තමයි තිබිල තියෙන්නෙ. ඉතින් ගොඩක් අමාරුවෙන් තමයි කට ඇරවල තියෙන්නෙත්.පස්සෙ තමයි රෝහලට ගෙනත් තියෙන්නෙ.
    ඔය අපස්මාරෙ, නැත්නම් මීමැස්මොරේ තියන අයට එකපාරටම බය වුනාම , නැත්නම් දැඩි හැඟීමක් දැනෙන වෙලාවක වගේ මානසික තත්වයකදි එයාළගෙ රෝගය උත්සන්න වෙන්න හැකියාවක් තියනව.
    වෛද්‍ය වාට්ටුවට දාපු අර ගෑණු ළමයනම් කාලෙක ඉඳන් අපස්මාරෙට බෙහෙත් ගන්න කෙනෙක්. ඒත් අමතක වීමකින් එදා දවසෙ එයා බෙහෙත් බීල ඉඳල නෑ. ඒකයි ලෙඩේ මතුවෙලා තියෙන්නෙ.
    කතාව ඉවරයි..රංග ඇඬූ කඳුලෙන් අප හමුවේ තිබ්බ කතාව තමයි මම ඔයාලට කිවුවෙ.
    ඉතින් මේවගෙ දේවල් කරන්න එපා කියල අපට කියන්න අයිතියක් නැහැනෙ. ඒක තමුන්ගෙ පෞද්ගලිකත්වයනෙ. ඒකයි මම කිවුවෙ තමන්ගෙ චරිතය, කල්ක්‍රියාව තම තම නැණ පමනින් රැක ගත යුතුයි කියල.
    (පුද්ගල නාමයන් මනඃකල්පිතයි..අද කතාව පොඩ්ඩක් වෙනස් විදියට ලියන්න උත්සහ කළා..ඒ ගැනත් ඔයාලගෙ අදහස් කියන්න..)

     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දැන් නම් කියවන්න වෙලාවක් නෑ මචන් ඒත් පුලුවන් උනගමන් ඇවිත් කියවනවා මෙන්න මගෙන් බම්ප් පාරක්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සැඟවුන මාරයා..

    මේ සිද්දිය මට කිවුවෙ මගෙ හිතවත් වෛද්‍යවරියක්. මේකත් මහරෝහලක වෛද්‍ය වාට්ටුවෙ වෙච්චි සිදුවීමක්, දැනට අවුරුදු දහයකට විතර ඉස්සර. මේ කතාව කියපු ඩොක්ටර් ඒ කාලෙ ඔය වාට්ටුවෙ කනිෂ්ට වෛද්‍යවරියක්ලු. ඔන්න දවසක් අවුරුදු විස්සක් විතර වුන තරුණ පිරිමි ළමයෙක් යටිබඩ කොරවෙලා කියල ඔය වාට්ටුවට ඇතුල් කරල තියනව. ඉතින් මෙයාව බලල, මූත්‍රා අමාරුවක් කියල හිතල, ඒකට කරන්න තියන පරීක්ෂණ හෙම කළාලු. බෙහෙත් වර්ග කීපයකුත් පටන් ගත්තලු. පස්සෙ පරීක්ෂණ වාර්තා බැලුවම ඒවයෙ මුකුත් වෙනසක් තිබුනෙ නැතිලු.
    ඉතින් මේ වාගෙ වෙලාවල් වලට කරන්නෙ රෝගියාගෙ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන එක තමයි. කොහොම වුනත් ඊළඟ දවසෙත් මෙයාගෙ යටිබඩ කොරවීම අඩුවෙලා නෑ.
    පස්සෙ ඩොක්ටර් මෙයාගැන විශේෂ වෛද්‍යවරයාට කියල එයාගෙන් උපදෙස් අරන් තියනව. එයාත් ලෙඩා බලල බෙහෙත් වර්ග කීපයක් අලුතෙන් එකතුකලාලු. නමුත් මේ කිසිම බෙහෙතකට ලෙඩාගෙ අමාරුව අඩුවෙච්චි පාටක් නම් පෙනුනෙ නැහැලු.
    මෙයාට තිබ්බ එකම අමාරුව මේ බඩේ කොරය විතරලු. කිසිම උණක්, ඇඟපත අමාරුවක් වත් තිබුනෙ නැහැලු.
    හතර වෙනි දවස වෙද්දි ලෙඩාගෙ අමාරුව හොඳටම වැඩිවෙලා..ඩොක්ටර් ලෙඩ්ඩු බලන මේසෙ ළඟට මෙයා ඇවිත් " අනේ මගෙ බඩ කොරවෙලා " කියල කෑගහල, හරිම නොසන්සුන් විදියට වාට්ටුවෙ දුවන්න පටන් ගත්තලු. ඉතින් මෙවේලෙත් විශේෂ වෛද්‍යවරයා ලෙඩාව බැලුවලු. අන්තිමට කිසිම දෙයක් හොයාගන්න බැරිවෙච්චි හින්ද ස්කෑන් පරීක්ෂනයක් කළාලු. ඒත් මොන ලෙඩක් වත්, ලෙඩක හෝඩුවාවක් වත් හොයාගන්න බැරි වෙලා. අන්තිමට ඩොක්ටර්ස්ල කතාවෙලා තීරණය කළාලු මෙයා මානසික වෛද්‍යවරයෙකුට පෙන්නමු කියල. ඊළඟ දවසෙ උදේට ඒක කරන්නලු හිතන් හිටියෙ.
    කොහොම හරි එදා දවසෙ රෑ Oncall Room එකේ ඉන්නැද්දි ඩොක්ටර්ට වාට්ටුවෙන් කෝල් එකක් ආවලු ඉක්මනට එන්න කියල.මෙයා වාට්ටුවට යනකොට අර ලෙඩා කටින් සෙම දාගෙන , උගුරෙන් සද්ද කර කර , සිහි නැතිව හිටියලු. විනාඩි ගනනකින් අසරණ ළමයගෙ පණ ගියාලු. මේ දේ වෙලා තියෙන්නෙත් එක පාරටමලු. ලෙඩා බාත්රූම් ගිහින් ඇඳට ආව විතරයි කියල ළඟ හිටපු ලෙඩ්ඩු කීවලු.
    මේ අවාසනාවන්ත සිදුවීමෙ හේතුව හොයන්න මෙයාට පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්න තීරණය වුනාලු. ඒකෙදි මිනිය කපල බලල, ලබාගත්තු කොටස් වැඩිදුර පරීක්ෂණ වලට යවනව. අන්තිමට හොයාගත්තු විදියට තිබිල තියෙන්නෙ මොකක්ද දන්නවද? ජලභීතිකාව ! ඒ කිවුවෙ පිස්සු බලු රෝගෙ.
    ඊට පස්සෙ මෙයාගෙ නෑදෑයින්ගෙන් අහල තිබුන බල්ලෙක් හෙම හැපුව කියල මේ ලෙඩා කිවුවද කියල. මේ මිනිස්සු කිවුවලු මාස අට නවයකට කළින් එහෙම කතාවක් කිවුව වගේ යන්තමට මතකයි කියල. ඒකට බෙහෙත් විදින්න තියා ඒක ගැන හිතලවත් තිබිල නැහැලු.
    ඉස්පිරිතාලෙට ඇතුල් වෙද්දි බල්ලෙක් කාපු බව මේ ළමයට මතකවත් තියෙන්න නැතුව ඇති.මැරෙන වෙලාවෙ වෙද්දි කිසිම බාහිර තුවාලයක් ඇඟේ තිබුනෙත් නැහැලු.
    වාට්ටුවෙ අයත් කොටින්ම විශේෂ වෛද්‍යවරය පවා මේ ළමයට ජලභීතිකාව ඇතිකියල හිතලවත් නෑ. මොකද එහෙම රෝග ලක්ෂණයක් වත්, ඉතිහාසයක් වත් මෙයාගෙන් නොපෙනිච්ච හින්ද.
    මේවගෙ සමහර ලෙඩ්ඩුන්ට රෝග ලක්ෂණ එළියට පෙන්නන්නෙ නැතිව (Asymptomatic) බොහොම දරුණු රෝග පවා හැදෙනව. සාමාන්‍යයෙන් පිස්සු බල්ලෙක් කාල ඔච්චර කාලයක් යන්නෙ නෑ මනුස්සයෙකුට ලෙඩේ හැදෙන්න. ඒත් ඉතින් අවාසනාව මේ ලෙඩාට උපරිම විදියට බලපාල තිබිල කියලයි මටනම් හිතෙන්නෙ.
    ඉතින් මේ මරණෙ කාගෙ වරදින් වුනාද කියල කියන්න නම් මට දැනෙන්නෙ නෑ. නමුත් සෞඛ්‍ය සේවකයෙක් විදිහට මේ අත්දැකීම තවත් ජීවිතයක් බේර ගන්නට, මටනම් හරිම වැදගත්.
    මේ කතාවෙන් මම ඔයාලට කියන්නෙ මෙන්න මේ ටික : බල්ලෙක්, පූසෙක්, ලේනෙක් මීයෙක් වගේ මොන ක්ෂීරපායී සතෙක් හරි හැපුවොත්, සීරුවොත්, තුවාල වෙච්චි හීරිච්චි තැනක් ලෙව කෑවොත් හරි ඉක්මනට රෝහලකට ගිහින් වෛද්‍යවරයෙකුට පෙන්නගන්න. බෙහෙත් විදින්න ඕනෙද නැද්ද කියන තීරනය වෛද්‍යවරයට ගන්න ඉඩ දෙන්න. ඒ අපේ වටිනා ජීවිතය වෙනුවෙන්.....!
     
    • Like
    Reactions: vis2free

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Great post macho,
    mata rep denna belu neti nam hema post ekatama hari rep denawa,

    tawath thread eka continue karapan api kiyawanawa.
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Great post macho,
    mata rep denna belu neti nam hema post ekatama hari rep denawa,

    tawath thread eka continue karapan api kiyawanawa.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    mee suduwiim tika nam kiyawapuwama mehema lokeka ne api jivat wenne kiyala duka hitenawaaaa...

    Thankz For Sharing Bro ~ !