කි්රයාවෙහි අගය පෙන්වූ බුදුදහමේ කර්ම සංකල්පය
ලෝකයේ ඇති වටිනාම ආගම් අතුරින් බුදු දහමට ප්රමුඛස්ථානයක් හිමි වී ඇත්තේ එහි පවත්නා දාර්ශනික ඉගැන්වීම් නිසාවෙනි. බුදු දහමෙහි එන වටිනා ඉගැන්වීම් අතුරින්ද කර්මය, පුනර්භවය, චතුරාර්ය සත්‍යය, ත්රිලක්ෂණය, පටිච්චි සමුප්පාදය වැනි ඉගැන්වීම් ඉතා වටිනා දහම් කොට්ඨාසයන් සේ හැඳින්විය හැකිය. බුදු දහමෙහි සඳහන් කර්ම සංකල්පය වැදගත්ම ඉගැන්වීමක් ලෙසින් හඳුන්වාලිය හැකිය. මෙහි දී අප විසින් බුදුරජාණන් වහන්සේ කර්ම යනුවෙන් වදාළේ කුමකටදැයි තේරුම් ගත යුතුය.
අංගුත්තර නිකායෙහි එන සඳහනකට අනුව චේතනාව කර්ම ගණයට ගැණෙන බව දේශනා කර තිබේ.-චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති, කායේන වාචාය මනසා”මේ අනුව බුදුරජාණන් වහන්සේ කර්ම යනුවෙන් හඳුන්වා ඇත්තේ චේතනාවයි. යම් කිසි කෙනෙකු සිතින් කල්පනා කොට කයින් හා වචනයෙන් එය කි‍්‍රයාවට නංවන විට එය කර්ම නමින් හඳුන්වයි. මේ කරුණු අනුව අප තේරුම් ගත යුත්තේ අචේතනිකව කරන කි‍්‍රයා අනුව කුසලාකුසල විපාක නොලැබෙන බවයි. බුදු දහමෙහි එන කර්ම සංකල්පයේ දී වඩා වැදගත් ලෙස සැලකෙන්නේ මනෝ කර්මයයි. කාය කර්ම හා වාග් කර්ම තිබිය දී මනෝ කර්ම වඩා වැදගත් වන්නේ ඇයි ද? යන්න බොහෝ දෙනාට පැන නගින ප්රශ්නයකි. මෙයට නිදසුන් මජ්ජිම නිකායෙහි ගහපති වග්ගයේ එන උපාලි සූත්‍රයේ දී පෙන්වා දී ඇත. උපාලි ගෘහපතියා හා බුදුරදුන් අතර පැවති වාදයේ දී බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපතියාගෙන් ප්‍රශ්නයක් විමසයි.“ගෘහපතිය, සතර සංවරයෙන් යුක්තව, සියලු පවින් වෙන්ව වසන නිගණ්ඨයකු අතින් නොදැනුවත්ව පෑගී සතෙකු මළොත් එයට සිදුවන විපාකය කුමක්ද?”එයට උපාලි ගෘහපති දෙන පිළිතුර වන්නේ නොදැන කළ දෙයට විපාක නැත යන්නයි.
එවිට බුදුරජාණන් වහන්සේ එසේ නම් ගෘහපතියා සිතාම සතෙකු මැරුවොත් එහි විපාකය කුමක්දැයි විමසයි. “ස්වාමීනි, එය බරපතල වරදකි.” මේ අනුව මනෝ කර්මවල බරපතලතාව අපට තේරුම් ගත හැකිය. අපගේ බෞද්ධ පිරිස් නොසිතා කරන ලද ඇතැම් වැරදි වැඩ ගැන සිතා පසුතැවිලි බවට පත්වෙයි. මේ කරුණු වලින් අප එසේ පසුතැවිලි නොවිය යුතු බව තේරුම් ගැනීම කළ යුතු වෙයි. වඩා වැදගත් වන්නේ යම් කිසි කි්රයාවක් සිදු කිරීමට කලින් ඒ පිළිබඳ සිතා බැලීමය. බුදුරජාණන් වහන්සේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ නැවත නැවත සිතා මෙයින් මට යහපතක් වන්නේද? අනුන්ට යහපතත් වන්නේද? තමන් හා අනුන් යන දෙපිරිසටම වැදගත් දැයි සිතා සිතින්, වචනයෙන්, කයින් කි‍්‍රයා කළ යුතු බවකි.
එසේ සිතන පින්වතුන් කෙදිනකවත් ප්‍රාණඝාතාදී පාපී කි්රයාවන් සිදු කරන්නේ ද නැත. සියලු අයුරින්ම යහපත් ජීවිතයක් ගත කරන්නකු වන අතර ම සමාජයෙහි සෙසු අයට මනා ආදර්ශයක් සපයයි.බුදු දහමෙහි ඉගැන්වෙන කර්ම සංකල්පයෙහි නිවැරදි භාවය මැනවින් ප්‍රකට කෙරෙන සූත්‍රයක් ලෙසින් මජ්ජිම නිකායෙහි එන චුල්ලකම්මවිභංග සූත්‍රය හඳුන්වා ලිය හැකිය. සමාජයෙහි පවතින විෂමතාවයන්ට හේතුව කුමක්දැයි සුභ තරුණයා විමසූ පැනයට බුදුන් වහන්සේ කදිම නිදසුනක් සපයයි. එනම් සත්වයන්ගේ උස් පහත් භාවයට හේතුව සත්වයා විසින් සිදු කරන ලද කුශලාකුශල කර්මයන් බවයි.“කම්මස්සකා මානව සත්තා, කම්මදායාද කම්ම යෝනී කම්මබන්ධු කම්මපටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හිනප්පණීතතාය”සත්වයා සතු දායාදය, ඉඩකඩම්, යාන වාහන නොව කුශලාකුශල කර්මයන්ය. සත්වයාගේ භවය තීරණය කරන්නේ ද කර්මය අනුවය.
එබැවින් කර්මය ඥාතියකු බඳුය. කර්මය සත්වයාගේ පිහිටට පිළිසරණට හේතු වන්නකි. සත්වයාගේ මෙම උස් පහත් භාවය බෙදන මූලික කාරණය කර්මය බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. කර්මය පිළිබඳ මෙම ඉගැන්වීම විද්‍යාඥයන් හෙළි දරව් කරන්නේ ආරය හා පරිසරය මත සිදුවන්නක් ලෙසය. Reincarnation නම් කෘතියෙහි මෙවැනි සඳහනක් කරයි.-ආරය පිළිබඳ ගැටලුවෙහි ලා බීජය විසින් ඉටු කරනු ‘ලබන කාර්යය සම්බන්ධයෙන් නැවතත් කිව යුත්තේ එම භෞතික බීජය ඇසුරෙන් විවරණය කළ හැක්කේ මිනිසාගේ අඩක් පමණ බවය.
ආරයෙහි භෞතික අංශය පිළිබඳව එයින් ආලෝකයක් සැපයෙන නමුත් චර්යාව බුද්ධිය සම්බන්ධයෙන් එය අප අඳුරේම තබයි. එමගින් මුලු මිනිසාම නියෝජනය වන්නේ නම් ඕනෑම පුද්ගලයකු වෙතින් නිරූපණය විය යුත්තේ ඔහුගේ දෙමාපියන්ගේ ගති ලක්ෂණ පමණයි” මෙම ප්‍රකාශයෙහි විද්‍යාවට ගෝචරය නොවන පැතිකඩ නම් බුදු සමයෙහි ඉගැන්වෙන කර්ම සංකල්පයයි. පුද්ගලයෙකුට ඕනෑම මොහොතක යහපත් පුද්ගලයෙකු බවට පත්විය හැකි බව බෞද්ධ කර්ම සංකල්පයෙහි ඉගැන්වෙයි. ඔහු වළාකුලෙන් මිදුණු පුන් සඳකට සමානය. මේ අනුව සැළකිය හැක්කේ බෞද්ධ කර්ම සංකල්පය ඉතා වැදගත් දාර්ශනික ඉගැන්වීමක් බවය.
අන්තර්ජාලය ඇසුරිණි

