බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවා කියන පෝස්ට් එකට මාව ටැග් කරලා තිබ්බා Akash Thilanka Jayawardena විසින්..
ඒකට ඌණ පූර්ණයක් විදියට මේ කාරණා එකතු කරනවා...
මෙහෙමයි,
බුද්ධ ධර්මය අහපු ගමන් හිටපු මිනිස්සු සෝවාන් වුණා කියන කතාව අසම්පූර්ණ කතාවක්.
ඒක භාශාව කියන කාරණය මත ලඝු කරන්නට බැහැ.
ඒකට මේ වගේ කාරණා කිහිපයකම බලපෑම තියනවා.
සෝවාන් වෙන්න තරම් පාරමිතා පූරණයක් කරලා තිබ්බ අය තමයි සෝවාන් වුණේ.
ඒ කියන්නෙ කර්ම ඵල අනුව ඒ ඒ පුද්ගලයාගෙ සන්තානයන් සෝවාන් ඵලය අවබෝධ කරගන්න සමත්වෙලා තිබුණා...
අනෙක් අතට බුදු කෙනෙක් පහලවන තුරු සංසාරයේ කුසල් රැස් කරමින් ඇවිද යන අය කර්මයේ බලපෑමෙන් බුද්ධෝත්පාද කාලයේම පහලවෙනවා...
සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න කලින් බලන පස්මහ බැලුම් වල කාලය, දීපය , දේශය කියන කරුණු තුන මෙතනදි වැදගත් වෙනවා...
ඒ වන විටත් ලෝකයේ තිබුණ පෙරදිග විද්‍යාවන්ගේ උපරිම තලයට දඹදිව ලඟාවෙලා තිබුණා..
අපි භවාග්‍රය කියලා සලකන , නේවසංඥානාසංඥායතනය කියන හතර වෙනි අසංඥ තලය වෙනකල් විමුක්තිය ලැබිය හැකි භාවනා ක්‍රම ඒ වෙද්දි දියුණු වෙලා තිබුණා...
උද්දක රාම පුත්‍රගේ ඉගැන්වීම් වලින් සිදුහත් තවුසා නේවසංඥානාසංඥායතනය තෙක් විමුක්තිය ඉගෙනගෙන, එතනට එහා යන විමුක්තියක් සොයමින් සිටියා...
ඔය අන්තිම අසංඥ තලයේ සුවය නිවනට ආසන්නයි කියලා සඳහන් වෙන්නෙ.
නමුත් එතන සංඥාවක පැවතීම අතිශය සියුම් නිසා බොහෝ දෙනා ඒක පරම විමුක්තිය ලෙස විශ්වාස කලා...
බුදුන් වහන්සේ තමයි ඒ තලයෙන් පසුවත් නැවත සංසාර චක්‍රයට වැටිය හැකි බව දැක්ක ශාස්තෲන්වහන්සේ.
ඒ නිසා බුදුන්වහන්සේ බුදු බව ලැබූ පළමුව ධර්මය දේශනා කරන්න හෙවුවෙ මේ ආළාරකාලාම සහ උද්දක රාම පුත්‍ර කියන ගුරුවරුන්ව...
ඒ ඇයි?
ඔවුන්ට එය අවබෝධ කිරීම පුහුදුන් පෘතග්ජනයාට වඩා ළඟ නිසා...
මේ වෙද්දි පැවතුන පෙරදිග විද්‍යාවන් විසින් මනස සම්බන්ධ ගණුදෙනුව ඉතාමත්ම ඉහළින් ප්‍රගුණ කරලා තිබුණා.
දෘශ්ඨිවාද ලෙස සෙසු දෘශ්ඨින් 62 ක් පැවතුන බව බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙනවා...
නමුත් මතක තියාගන්න මේ දෘශ්ඨිවාදයන් සහ ඔවුන් ලබා සිටි යථාර්ථයන්ගේ ප්‍රත්‍යක්ශ දැනීම් අද ලෝකයට වඩා විශාල වශයෙන් පුලුල්..
ඒ වගේම අවුරුදු දහස් ගණනක් පැරණි වෛදික දැනුම් සම්භාරයම ඔවුන් සතුව තිබුණා...
ඒ නිසාම නිර්වාණය , මෝක්ශය පිළිබඳ අදහස ග්‍රහණය කරගැනීමේ ශක්‍යතාව ඒ වනවිට භාරතීය සමාජයේ විශාල වශයෙන් පැවතුණා...
මීට අමතරව තවත් මූලික කාරණා තියනවා බුද්ධ කාලීන සමාජයේ සෝවාන් බවට පත්වුණ ශ්‍රාවකයන් වැඩි වීමට.
බුද්ධ දේශනා ප්‍රාතිහාර්ය ගැන විශාල විස්තරයක් කරන්න පුලුවන්. නමුත් මේ ලිපිය දිග වැඩිවෙන නිසා රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් විසින් රචිත සූවිසි මහා ගුණයේ බුදු ගුණ පරිච්චේදයන්හි මෙම බුදුන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය කොටස වැඩි දුර කියවන්න කියලා ඉල්ලා සිටිනවා...
ඒ වෙද්දි භාරතීය සමාජය විසින් භෞතික දියුණුවට වඩා ආධ්‍යාත්මික දියුණුවක් අත්පත්කරගෙන තිබුණා...
ආධ්‍යාත්මික දියුණුව නැත්නම් සුවය භෞතික සුවය ඉක්මවා සිටිනවා.
මේක විශ්වාස නැත්නම් භෞතික සියලුම සුවයන් අත් හැරලා මානසික සුවයක් පමණක් ලබන්න මත් ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක් ගැන සිතා බලන්න...
ඔහුට මත්වීමෙන් ලබන මානසික සුඛාස්වාදය හැරුණහම වෙනත් මිල මුදල්, යාන වාහන, ස්ත්‍රීන් , සුවපහසු සයනයන්, රාජ භෝජන කිසිවක් අදාල වෙන්නෙ නෑ..
නමුත් මත්ද්‍රව්‍ය හරහා ලබන අවිඥානික සුවයට වඩා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ලෙස භාවනාමය වශයෙන් සවිඥානිකව ලබන සුවයේ ස්වභාවය බලවත්.
ඒ නිසාම ඒ සමාජය මූලික අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව මානසිකව ලබන සුවයන් කෙරෙහි කේන්ද්‍රගතව පවතින සමාජයක් බිහිව තිබුණා...
ඔවුන්ගේ ජීවන ක්‍රමයේ වන ප්‍රශස්ථ ලෙස හඳුන්වන අවුරුදු 40 න් පසුව වනගතව ජීවත්වන කාලයක් තිබුණා...
බ්‍රාහ්මණ සමාජය සමාජ ස්ථරයේ ඉහලින් පැවතීම සහ ආගමික සංස්ථාව විසින් ආචාරධර්මයන්ගේ සීමා නිර්ණය කිරීම නිසා සමස්ථ සමාජයම භෞතික දියුණුවට වඩා මෙම ආධ්‍යාත්මය මූලික කරගත් ජීවන රටාවකට හුරුවී තිබුණා..
ඒ කාරණා අනුවත් සෝවාන් වීම දුලබ නොවීමට ඒ කාලයේ සමාජයේ ආර්ථික , සමාජීය සහ සංස්කෘතික බලපෑම සකස් වී තිබුණා...
භාශාව කියන කාරණය ගත්තොත්, ඔව් භාශාව කෙතරම් සමීපද කියන කාරණය ඕනෑම කාරණයක් ග්‍රහණය කරගන්න බලපානවා.
ඒ වගේම ලෝකෙ සමහර භාශාවන් තියනවා ඒ භාශාවේ වාග් විද්‍යාව (Linguistics) හරහා භෞතිකවාදී කරුණු තේරුම් ගන්න පහසුයි.
සමහර භාශාවන්ගෙන් භෞතිකය තුල නොපවත්නා මනෝභාවික ප්‍රපංචයන් ර්හේරුම් ගැනීම පහසුයි...
සාරාංශයක් විදියට කියනවා නම් බුද්ධ කාලීන සමයේ සෝවාන් වීමට දේශනාව සිදු කල භාශාව කියන්නෙ එක් කාරණයක් පමණයි.
කර්ම යාන්ත්‍රණයේ සැකැස්ම ,බුදුන්ගේ දේශනා ප්‍රාතිහාර්ය , සමාජ ආර්ථික පසුබිම, දේශපාලනික සංස්කෘතික කාරණා, සමකාලීන දැනුම් පද්ධති , ජීවන රටාවන් ආදිය සෝවාන් වූවන්ගේ ප්‍රමාණය වැඩිවීමට බලපානවා...
- තුෂිත් දිසානායක -
