ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා මයි ඒක නෑ කියන්නේ මොන බූරුවෙක් ද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,211
    102,053
    113
    ඔන්න ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා මයි ඒක නෑ කියන්නේ මොන බූරුවෙක් ද කියල හිතන ලංකාවේ එකෙක් හීනයක් දකිනවා. හීනෙන් නිවුටන් අයින්ස්ටයින් එක්ක බර කතාවක.

    අයින්ස්ටයින්: ගුරුත්වාකර්ෂණ බලයක් නෑ.

    නිවුටන්: යකෝ එතකොට ඇපල් ගෙඩිය උඩ යන්නේ නැතුව ත්වරණයකින් බිමට වැටෙන්නේ ඇයි?

    අයින්ස්ටයින්: වස්තුවකට බලයක් නැතිව ගමන් කළ නො හැකි ද?

    නිවුටන්: ඔව්. ඒකාකාර ප්‍රවේගයෙන් නම් යන්න පුළුවන්. (මගේ පළවෙනි නියමය)

    අයින්ස්ටයින්: බලයක් නැතුව ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කොහොම ද?

    නිවුටන්: ඒක තමා අවකාශයේ හැටි.

    අයින්ස්ටයින්: ඕයා දන්නේ කොහොම ද අවකාශයේ හැටි ඒකාකාර ප්‍රවේගයෙන් යන එක මයි වෙන විදිහක් නෙවේ කියලා.

    නිවුටන්: ආ.. ඒ... මං මේ නිකම් හිතුවා.

    අයින්ස්ටයින්: එතකොට මේ ඇපල් ගෙඩිය පහළට යන්නෙ ම අවකාශයේ හා කාලයේ සාමාන්‍ය ස්වභාවය නිසා වෙන්න බැරි ද?

    නිවුටන්: සිරාවට! මට ඒක කල්පනා වුණේ නෑනේ.

    දැන් හීනේ දකින ලංකාවේ එකාට ඉවසිල්ලක් නෑ. මිනිහා කඩන් පැන්නා සංවාදෙ මැද්දට

    ලං: ඒකාකාර වේගයෙන් වස්තු බලයක් නැති විට යන්නේ. පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා.

    නිවුටන්: සිරාවට! මම දන්නෙත් නෑනේ.

    අයින්ස්ටයින්: මොනවා ද ඒ පරීක්ෂණ.

    ලං: ආ.. ආ.. මේ... මේ..

    අයින්ස්ටයින්: බලයක් නැති විට වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කාට සාපේක්ෂව ද?

    ලං: පොළොවට. කියල නැත්නම් පොළොවට සාපේක්ෂව කියලා අපේ ටියුෂන් සරුත් කීවා.

    නිවුටන්: පොළොවට!! මිනිහෝ මං පොළොව වටේ ඉර යනවයි කීවා කියල ද කියන්නේ.

    ලං: නෑ නෑ. ඒ ඒ ගාණට ගැළපෙන රාමුවට සාපේක්ෂව ගන්න ඕනේ.

    අයින්ස්ටයින්: කොහොම ද ඒ හරියන රාමුව හොයන්නේ.

    ලං: අර... මේ...

    නිවුටන්: ප්‍රශ්නයක් ආපු ගමන් උඹේ සර්ගෙන් අහන්න කියල ද කියන්නේ මොකක් ද රාමුව කියලා.

    අයින්ස්ටයින්: ඇත්තට ම නිවුටන් කීවේ මොන රාමුවට සාපේක්ෂව ද ඕක.

    නිවුටන්: හිස් අවකාශයට සාපේක්ෂව.

    අයින්ස්ටයින්: එහෙම ද? එතකොට වස්තුවක් හිස් අවකාශයට සාපේක්ෂව චලනය වෙද්දී වස්තුවට සාපේක්ෂව හිස් අවකාශයට වෙන්නේ මොකක් ද?

    නිවුටන්: අනිත් අතට චලනය වෙනවා.

    අයින්ස්ටයින්: හිස් නම් චලනය වෙන්නේ මොකක් ද?

    නිවුටන්: (ඔළුව කසමින්) ඒක අවුලක් තමා. අදෘශ්‍යමාන ද්‍රව්‍යයක් ඊතරයක් අවකාශයේ තියෙනවා කියලා ගත්තොත් වැඩේ හරි වගේ නේ ද?

    අයින්ස්ටයින්: එතකොට ආලෝකය

    නිවුටන්: ඊතරයට සාපේක්ෂව තමයි යන්න ඕනේ.

    අයින්ස්ටයින්: එහෙනම් එක එක්කෙනාට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේග වෙනස් වෙන්න ඕනේ. ඒ වුණාට මැක්ස්වෙල් සමීකරණ අනුව ආලෝකයේ ප්‍රවේගය එක අගයක් වෙන්න ඕනේ. එහෙම නොගෙන පිහිටුම් හෝ කාල ගණනය කරන්නවත් විදිහක් නැහැ..

    නිවුටන්: එහෙනම් හිස් අවකාශය කතාව අවුලක් බව පිළිගන්නවා.

    අයින්ස්ටයින්: එහෙම රාමුවක් නැත්නම් හිස් අවකාශයේ වස්තු මෙහෙම යනවා කියලා නිශ්චිතව කියන්න ඔයාට කොහොමත් බෑනේ. පළවෙනි නියමය ම අවුල් ජාලාවක්. උඹට කියන්න තිබ්බේ බලයක් නැති සියලු වස්තු නිදහසේ වැටේ කියලා.

    ලං: ඒ වුණාට නිවුටන්ගේ සූත්‍ර හරි නේ ඒකෙන් හදපු පාලම් කඩන් වැටෙන්න එපැයි. හඳට රොකට් යන්නේ කොහොම ද? සූත්‍ර හරිනේ.

    අයින්ස්ටයින්: නෑ වැරදියි.

    නිවුටන්ගේ සූත්‍රයෙන් බුධ ග්‍රහයාගේ කක්ෂය ඉර වටේ කැරකීම තේරුම් ගන්න බෑ.

    ආලෝකය එක ම ප්‍රවේගයක් තියාගෙන ස්කන්ධ ආසන්නයෙ නැවෙන විදිහ තේරුම් ගන්නත් බෑ.

    ආලෝකය විශාල ස්කන්ධයකින් ඉවතට යද්දී ශක්තිය අඩුවෙන්නේ ඇයි සංඛ්‍යාතය අඩු වෙන්නේ කොහොම ද වගේ ඒවා කොහොමත් නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණයෙන් පැහැදිලි කරන්න ම බෑ.

    නිවුටන්: එතකොට අයින්ස්ටයින් ඔයත් සමහර තැන්වල ගුරුත්වය වචනය පාවිච්චි කළා නේ. ඉතින් අවකාශයේ කාලයේ සාමාන්‍ය ස්වභාවය තමයි වස්තු මෙහෙම වැටෙන එක කියලා කෙලින් ම ගත්ත නම් ආයෙ අර වචනෙ පාවිච්චි කළේ ඇයි? ගුරුත්වජ කාච, ගුරුත්වජ තරංග.

    අයින්ස්ටයින්: ඒ ඉතින් උඹ හදපු අවුල් තමා. උඹ කීවනේ බලයක් නැති වස්තු ඒකාකාර ප්‍රවේගවලින් මයි යන්නේ කියලා. මම කියන්නේ එහෙම් ම වෙන්න ඕනේ නෑ කියලා. ඔය උඹ කියන විදිහේ ස්වභාවයක් තියෙන අවකාශවලට පැතලි අවකාශකාල කියලා මම කිවුවා අවකාශකාලය පැතලි ස්වභාවය නොදක්වා වක්‍ර වෙන්න පුළුවන් කියලා. එහෙම පැතලි ස්වභාවය නො දැක්වීමට ගුරුත්වය වචනය නිකම් කීවට කමක් නෑ කියලා නම් මම කීවා. ඒ උඹ කියන අමුතු බලයක් හෝ අලුත් දෙයක් තියෙනවා කියන තේරුමක් නෙවේ.

    හරියට නිරුවත වගේ. මිනිස්සු ඇඳුම් නිර්මාණය කරලා හැමෝ ම අඳින්න ගත්තට පස්සෙයි නිරුවත කියලා එකක් ආවේ. එතකම් ඒක සාමාන්‍ය ස්වභාවය. ඇඳුම් තමා කෘත්‍රිම. නිරුවත් මුවෝ, ගෝන්නු කියලා එකක් නෑනෙ. ඒ සාමාන්‍ය ස්වභාවය. උඹ කෘත්‍රිමව ඒකාකාර ප්‍රවේගයක් අනිවාර්ය කරලා ගෙනල්ලා ඒක පේන්නේ නැති තැන්වලට බලයක් කියලා එකක් ගෙනවා. උඹේ ගුරුත්වාකර්ෂණය ඇඳුම අනිවාර්යයි කියලා මුවෝ ගෝන්නු ඇඳන් ඉන්න ඇඳුම ට්‍රාන්ස්පේරන්ට් කියනවා වගේ කතාවක්. මං කියන්නේ ඇඳුම කියන්නේ අනිවාර්ය එකක් නෙවේ කියලා. ඒක ඇඳීම නො ඇඳීම සාමාන්‍ය ස්වභාවය.

    ඉතින් මුවෝ ගෝන්නුන්ට නිරුවත් කියලා කීවට මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මම නිරුවත් කියන්නේ ට්‍රාන්ස්පේරන්‍ට් ඇඳුමකට නෙවේ.

    ලං: එහෙම කොහොම ද? මගේ සර්ගේ ඉන්ද්‍රියන්ටත් දැනෙනවා ගුරුත්වාකර්ෂණය. තොපි දෙන්නා මේ බැල්කනියෙන් පහළට පැනපියව් ගුරුත්වාකර්ෂණය තියෙනවා ද බලන්න.

    නිවුටන්: මගේ ප්‍රවාදය අනුවත් වැටෙන එකාට ගුරුත්වාකර්ෂණය තිබුණත් දැනෙන්න විදිහක් නෑ. ඉඳගෙන ගාණ හදන කෙනාට තමා ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵල තියෙන්නේ. උඹ පැනපන් අපි ගාණ හදන්නම්..

    ලං: ඔන්න මම පනිනවා එකායි දෙකායි තුනායි...

    ලං: පොළොවේ වැදුණෝ ගුරුත්වාකර්ෂණය තියෙනෝ රිදුණෝ..

    නිවුටන් හා අයින්ස්ටයින් (උඩ සිට) : ඔය ගුරුත්වාකර්ෂණය නෙවෙයි ඕයි, ආවේගය!

    ලං: අම්මෝ!!

    ලංකාවේ එකාගේ බිරිඳ:
    උඹ මොකෝ මේ කෑ මොර දෙන්නේ. මට ගුරුත්වාකර්ෂණය දැනුණා මං නැතෝ කියාගෙන.

    ලං: එතකොට මං ගුරුත්වාකර්ෂණය දැනුණා කියලා හිතං ඉඳලා තියෙන්නේ හීනෙන් ද??

     

    Similar threads