- රතු රසදිය -
වල්ලාපට්ට, කිඹුල් හූනො සහ පරණ අකුණු සන්නායක වල භූගත සන්නායක ටිකට වැඩේ දුන්නට පස්සෙ දැන් ආපහු කතාවක් කරළියට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි පරණ වෑර්ලස් රේඩියෝ වල තියෙනවාය කියන රතු රසදිය කියලා ජාතියක් ගැන. අර අකුණු සන්නායක කතාවෙ තැන් තැන් වල වගේම මේකෙත් න්‍යෂ්ටික ආයුධ වගේ දේවල් ගෑවිලා තියෙන නිසා එහෙන් මෙහෙන් මගේ රස්සාව පැත්තටත් ප්රශ්නය කැරකෙනවා. ඒ කාලේ අකුණු සන්නායක ගැන අහන අයට උත්තර දීලා හෙම්බත් වෙලා හිටිය නිසා ම මේ පාර කතාව එතනට එන්න කළින්ම මේක ගැන යමක් ලියන්න ඕනෙ කියලා හිතාගෙනයි හිටියෙ.
පළවෙනි දේ තමයි "රතු රසදිය" ගැන. රසදිය කියන්නෙ ද්‍රව අවස්ථාවෙ තියෙන ලෝහයක්. ඒකෙ පෙනුම හැමෝම දන්නවා ඇති. නොදන්නවා නම් ඇලුමිනියම් තහඩුවක, රිදී මාලෙක තියෙන දිලිසෙන සුදු පාට තමයි තියෙන්නෙ. ඒ හැර පිරිසිදු රසදිය කිසිම වෙලාවක රතු පාටට තියෙන්නෙ නෑ. රසදිය වල සල්ෆයිඩය (මර්කියුරික් සල්ෆයිඩ්) කියලා විද්‍යාවෙදි හඳුන්වන සහ එදිනෙදා භාවිතයේ දි සිනබාර් එහෙම නැත්තම් සාදිලිංගම් කියලා හඳුන්වන සංයෝගයට තියෙනවා තද ලෝහමය රතු පාටක් (පළමු රූපය). මේක තලාතු මිනිරන් වල ස්වභාවය තියෙන ඝන ද්‍රව්‍යයක් මිසක් ද්‍රවයක් නෙමෙයි. එහෙනම් මුල්ම දේ තමයි රතු රසදිය කියලා ජාතියක් ගැන බටහිර විද්‍යාවේ හෝ වෙනත් පෙර-අපරදිග දැනුම් ක්රමයක සඳහන් වෙන යමක් නැති බව.
දෙවෙනි කාරණය ඔය වැර්ලස් වල තියෙනවාය කියන රතු රසදිය අඩංගු පුංචි වීදුරු මංජුසාව ගැන. මේ රතු රසදිය ගවේෂකයො පෙන්නන ගොඩක් රූප වල (දෙවන රූපය) තියෙන්නෙ ඇත්තටම රික්තක කපාටයක් (Vacuum Valve) එහෙමත් නැත්තම් තර්මයන කපාටයක් (තෙවන රූපය) තර්මයන කපාට කියන්නෙ ඔය ට්‍රාන්සිස්ටර් වගේ අර්ධ-සන්නායක වලින් හදන ඉලෙක්ට්‍රොනික උපාංග වාණිජ මට්ටමෙන් ජනප්‍රිය වෙන්න කලින් ඒ කාර්යයන් කිරීම සඳහා යොදාගත් උපාංගයක්. හිස් (රික්තයක) වීදුරු බල්බයක් තුල සකස් කළ සූත්‍රිකා සහ ඉලෙක්ට්‍රෝඩ නිශ්චිත සංඛ්‍යාවක් සහිත සැකසුමක්. මේකෙ තියෙන ඉලෙක්ට්‍රෝඩ (මෙහෙම රික්තයක තියෙන ඉලෙක්ට්‍රෝඩයකට අපි ඩයිනෝඩයක් (dynode) කියලා කියනවා) ගණන අනුව නම් කිරීම කෙරෙනවා. ඩයිනෝඩ 3යි නම් ට්‍රයෝඩ, පහයි නම් පෙන්ටෝඩ, දෙකයි නම් ඩයෝඩ (අද අපි දියෝඩ/diode ලෙස හඳුන්වන උපාංගයේ ආදිතමයා) ආදී වශයෙන්. මේ රික්තක කපාට තුළ ඇත්තටම කිසිදු ද්‍රවයක් අඩංගු වෙන්නෙ නෑ. මේ ඉලෙක්ට්‍රෝඩ සියල්ල නිකල් ආලේපිත තඹ හෝ මළ නොබැඳෙන වානේ වගේ ලෝහයකින්.
මේ තර්මයන කපාට වල තියෙන විවිධාකාර දුර්වලතා නිසා 1960 දශකයෙන් පස්සෙ අර්ධ-සන්නායක වලින් සකස් කළ වඩාත් කාර්යක්ෂම, ලාභදායි සහ කුඩා දියෝඩ සහ ට්‍රාන්සිස්ටර් වලට තාක්ෂණය මාරු වෙනවා. අද වෙනකොට ඉතා සුළුයෙදීම් සංඛ්‍යාවක පමණක් මේ ක්‍රමය භාවිතා වෙනවා. සාමාන්‍යයෙන් වීදුරු බල්බයක පෙනුම තියෙන මේ තර්මයන කපාට වල කළාතුරකින් රතු පාට ආලේප කළ නිෂ්පාදනයක් තියෙන්න පුළුවන්. නැත්තං ඉතිං හදන්න පුළුවන් සායම් ටිකකින්. ඒක තමයි මේ අය රතු රසදිය බල්බයක් කියලා පෙන්නන්නෙ. අනිත් දේ තමයි මේ ඡායාරූප වල බහුතරය (මේ මම අමුණලා තියෙන එක ඇතුලත්ව) ව්‍යාජ ලෙස සකස් කළ ඒවා වීම. මේ පරිපථයේ මෙතන තියෙන්න ඕනෙ ධාරිත්‍රකයක් (ඔය C අංක වලින් සටහන් කරන්නෙ ධාරිත්‍රකයක් කියන එක).
ඉතිං මෙව්වා වටිනවා ද? මේවා දැන් භාවිතයේ අඩු නිසා තරමක් දුර්ලභ උපාංගයක් විදියට ඒවා එකතු කරන්නන් අතර කිසියම් අගයක් තියන්න පුළුවන්. ඒත් ඒක ඔය කියන තරම් ලොකු මිලක් නම් නෙමෙයි. ඔය ඊබේ වගේ විද්‍යුත් වෙළඳපොළ වල් වල ඕවා ඕනෑ තරං ඩොලර් 2, 3 ඉඳලා මිලට ගන්න තියෙනවා. ඉතිං කවුරුහරි ඔය කියන මිල මට ගෙවන්න කැමති නම් මම ඕනෑ තරම් සපයලා දෙන්නම්.
ඊළඟ දේ ඔය රතු රසදිය ගැන පෙන්නන සාක්ෂි. ඕක ගැන හැමෝම පෙන්නන්න යොදාගන්නෙ විකිපීඩියා වෙබ් අඩවියේ තියන ලිපියක්. ඉතාම ප්‍රාථමික විදියට මූලාශ්‍ර වලින් තොරව ලියලා තියෙන මේ ලිපිය ව්‍යාජ එකක් බව අමුතුවෙන් කියන්නත් අවශ්‍ය නෑ. විකිපීඩියා කියන්නෙ ඕනෑම කෙනෙක්ට පහසුවෙන් වෙනස් කළ හැකි තොරතුරු සහිත තැනක් බව සිහියේ තබාගැනීම වැදගත්. ඔය ලිපියෙම උනත් දෙවෙනි ඡේදයට යනකොට ඒක මිත්‍යාවක් බව කියලා තියෙනවා. ඒත් කවුරුත් ඒ කොටස පෙන්නන්නෙ නෑ.
අන්තිම කාරණය න්‍යෂ්ටික ආයුධ සම්බන්ධයෙන්. න්‍යෂ්ටික ආයුධ හදන සූත්‍රය ඔය හිතන තරම් රහස්, සැඟවුනු වට්ටෝරුවක් නෙමෙයි. කාට හරි ඕනෙ නම් මං අවශ්‍ය බඩු ලැයිස්තුව කියලා දෙන්නම්.

න්‍යෂ්ටික අවි හදන එකේ අභියෝගය තියෙන්නෙ ඒ සඳහා අවශ්‍ය ඉතා ඉහළ තාක්ෂණික/මිනුම් සහ සැකසීමෙ පහසුකම් වගේම අදාළ ගණනය කිරීම් සඳහා අවශ්‍ය දැනුම පමණයි. ඒවා සපයාගන්න තියෙන දුෂ්කරතාවය සහ ඒ ද්‍රව්‍ය සහ මෙවලම් සඳහා ඇති දැඩි ජාත්‍යන්තර නීති නිසා තමයි ගෙදර ගරාජ් එකේ න්‍යෂ්ටික අවියක් හදන්න බැරි. අද වෙනකම් ලෝකයේ දියුණු කරලා තියෙන කිසිම න්‍යෂ්ටික අවියක "රතු රසදිය" කියලා ජාතියක් යොදාගත් බවට කිසිම සාක්ෂියකුත් නෑ. ඇත්තටම නම් එහෙම අවශ්‍යත් නෑ.
ඉතිං මේ කරුණු එක්ක අන්තිමට කියන්න තියෙන්නෙ එක එක ලෝක වෙද්දුන්ගෙ ගැට වලට අහු වෙලා ගෙදර තියෙන පරණ රේඩියෝ කෑලි කරන්න එපා. ඒවා ඒ විදියටම තියෙන එකෙන් ඇත්තම කෞතුක වටිනාකමක් සහ මිලක් ලබාගන්න පුළුවනි. සල්ලි උපයන්න කෙටි පාරවල් හොයන්නෙ නැතුව ටිකක් මහන්සි වෙලා යමක් කරනවා නම් පසුතැවෙන්න අවශ්‍ය නොවේවි.
සේයා:
1. සිනබාර් හෙවත් සාදිලිංගම් (
www.minerals.net)
2. රතු රසදිය ඇතැයි කියන උපාංගය (
www.youtube.com)
3. තර්මයන කපාට (
www.hackaday.com)