අතීතයේ රා කර්මාන්ත හා සැබැඳි රස කතා

  • Jan 25, 2019
    154
    131
    43
    සිරි ලංකා
    අතීතයේ රා කර්මාන්ත හා සැබැඳි රස කතා

    නන්දිරිස් මුදලාලිගේ පොල් ගස් තුන්දාහේ රේන්දය

    picture.php



    මේ ගමෙහි පොල් රුප්පා අතරින් ඓතිහාසික මාවත් වැටී තිබුණේය. එහි අස් රිය, ගොන් කරත්ත, බර කරත්තද මෙහි ගමන් ගත්තේය. මඟ දෙපස වූයේ පොල් රුප්පාවන්ය. ගමෙහි එක් මායිමක් මහා සාගරය විසින් ලකුණු කරනු ලැබ තිබුණි. එකල්හිද රා කර්මාන්ත මෙගමෙහි ඇරඹී තිබුණි. රේන්ද රාළ එකල ගම්මානයේ රා කර්මාන්තයේ මූලිකයාය. රා කර්මාන්තය සඳහා වූ රජයේ කොන්ත්‍රාත්තුව ඔහුට හිමිවිය. එම නිසා රේන්ද ගස් මැද්දෙව්වේ ඔහු විසිනි.

    මෙකල ස්කාගාරයක් අවට ප්‍රදේශයේ නොවූයෙන් කල්දේරම් මඩුවල අරක්කු නිෂ්පාදනය සිදුවිය. එය රජයේ අවසර බලපත්‍ර සහිතව සිදුවිය. එම අරක්කු රජය විසින් මිලදී ගනු ලැබුවේය. ස්ප්‍රීතු තැනීමට ගනු ලැබුවේ ඉතා පැරැණිම මෙවලම්ය. ගම්මානයේ කල්දේරම් මඩුව තිබූ තැන අත්තිවාරමේ නටබුන්, ගොඩැල්ලේ කන්ද පහළ නන්දිරිස් මුදලාලිගේ වත්තක මෑතක් වනතුරුම ඉතිරිව තිබුණි. එනමුදු රෙන්දරාළ පිළිබඳව හා කල්දේරම් මඩුව පිළිබඳව මතකයන් අටසිය ගණන්වල අග්ගිස්සටත් නවසිය ගණන්වල මුල්භාගයටත් දිවයන බැවින් පැරැන්නන්ගේ මතක පොතින්ද ඒ තතු වියැකී ගොසිණි.

    එක්දහස් නමසිය පනහ දශකය මේ ප්‍රදේශයේ රා කර්මාන්තයට තීරණාත්මක වසරක් විය. එදා රා කර්මාන්තට චිරප්‍රසිද්ධව සිටි නන්දිරිස් මුදලාලි මහතා මෙම කර්මාන්ත අත ගැසුවේ එම වකවානුවේය. කර්මාන්තය ඔහුගේ පවුලේ උරැමයක් විය. අද ගම්මානයේ රා කර්මාන්ත වෙනුවෙන් භාවිත වන එකදු පොල්ගසක් හෝ නැතත් එකල පොල්ගස් තුන්දහසක් පමණ ඈඳා රා කර්මාන්ත යහමින් කරගෙන ගිය අයුරු ඔහු අපට කියයි. අද ගාලුපාරට මායිම්ව ඇති මොරගල්ල ස්කාගාරයක් ඇඹුණේද මේ වකවානුවේය. එකල ප්‍රකට ව්‍යාපාරිකයකු වූ සේන ජයසූරිය මහතා මෙම ව්‍යාපාරයේ හිමිකරුවා විය. බේරැවල පටන් බෙන්තර ඉඳුරුව දක්වා තිබුණු එකම ස්කාගාරයත් මෙයය. අප කියන මුදලාලි මහතා මේ ස්කාගාරයේ ප්‍රමුතම කොන්ත්‍රාත්කරු විය.


    picture.php




    ගම්මානයම එකල පොල් යායකි. වැට කොටු මායිම් සීමාසහිත විය. එකින් එකට ඈඳා තිබූ පොල් ගස් ගම පුරා විය. මේ කර්මාන්තයෙන් ගම්මු බොහෝ දෙනෙක් යැපුණෝය. රා පීප්ප පටවාගත් ගොන් කරත්ත සුදුවැල්ලෙන් හා මැටියෙන් තැනුණු ගමේ අතුරු මාවත් පුරා ගමන් ගත්තේය. සරම කැහැපට ගසා මන්නා පෙට්ටිය ඉන බැඳ ලබුකැටය එල්ලාගෙන නිරුවත් උඩු කයින් රාජකාරියට යන රා මදින්නන්ද සැමට හුරුපුරුදු දසුනක් විය. රා පීප්පද ගමේ තැන තැන විය. රා වැක්කෙරුවේ ගැටවරයෝය. ගමේ වැඩිහිටි ඇත්තෝ දවසේ රාජකාරිය නිමවා රා පීප්පයක් අසලදී රහසේම රා පොල්කටුවල රස බැලූහ.

    සේවකයන් තිස් දෙනෙක් පමණ මුදලාලි මහතා යටතේ සේවය කළහ. මදින්නෝ රා වක්කරන්නෝ සහ කරත්තකරුවෝ ඒ අතර වූහ. කරත්ත හතක් පමණද රාජකාරියට යොදවා තිබුණි. එම නිසාම සියලු සේවකයන් සඳහා කෑම බීම පහසුකම් සලසනු ලැබීය. රා මදින්නන් අතරින් දක්ෂයන් සොයාගැනීම පහසු වූයේ නැත. හොඳ මදින්නන් රැගෙන ඒමට මීගමුව, හලාවත වැනි ප්‍රදේශවලට පවා යාමට සිදුවිය. එමෙන්ම එකල අලුත්ගම බොන්දුපිට නම් ගම්මානයේද දක්ෂ මදින්නන් සිටි ගමක් බව කියැවේ. පොල් රුප්පාවල තැන තැන වාඩි ගසා තිබුණි. ගමේ මෙන්ම අවට ගම්මානවලද ගස් ඈඳීම නන්දිරිස් මුදලාලිගේ ව්‍යාපාරයේ කොටසක් විය.

    අතීතයේ රා කර්මාන්ත හා සැබැඳි රසබර පුවත් අද කතාබහේදී මතුව ආවේය. ගාල්ලෙන් බිහිවූ මෙරට ප්‍රකට විප්ලවකාරී දේශපාලනඥයකු මෙන්ම අගමැතිවරයකු වූ විජයානන්ද දහනායක මහතා පාර්ලිමේන්තු ගොස් බසයෙන් ගම රට යන ගමනේදී මොරගල්ලෙන් බසින බව ගමේ පැරැන්නෝ කියති. ඒ රා වීදුරුවක රස බැලීමටය. එනිසාම අව්‍යාජ ගැමියකු ලෙස ප්‍රකට දහනායක මහතා පිළිබඳව මතක තවමත් ගම්මානයේ පැරැන්නන් සතුව තිබේ. අද දේශපාලන සිටින ඇතැම් පරිණත දේශපාලන චරිත නන්දිරිස් මුදලාලිලා මහතාගේ හමුවී ගල් ඉස්සන් සමඟ රා බී ගිය අවස්ථා ගැනද මතක ඉතිරිව තිබේ.

    ගස් ඈඳීම පිළිබඳව මතකය මීළඟට අවදි කරමු. එක යායට පොල් ගස් සිය ගණන් වන පොල්වතුවල ගස් මැදීමට එකින් එක ගස්වල නැගීම කිසිසේත්ම කළ නොහැක්කකි. එබැවින් එකින් එක ගස් ඈඳීම සිදුකළ යුතුවෙයි. ගස් දෙකකට නගින දෙදෙනෙකු විසින් ලණුවලින් එකින් එක ගස් ඈඳනු ලබයි. එය සුළුපටු රාජකාරියක් නොවීය ගස් යට සිටින පිරිසද ඊට සහාය දැක්වූහ. ඒ ලණුවලට බුරුල ලබාදෙමිනි. මෙසේ එකින් එක ඈඳා අතුරු මග සකසා ගන්නා පොල් කට්ටියක දෙපසින් ගස් දෙකක හැර බැඳීම සිදුවිය. හැර බැඳීම යනු පොල්ගසට නැගීම පහසු වීමට පොල් ලෙලි ගසට තබා ඉනි මඟක් සේ බැඳීමයි. මෙසේ ගස් ඈඳා ගැනීමෙන් පසු ගස් මැදීමේ රාජකාරි පහසුවෙයි. එක් ගසකින් ගොඩ වූ පසු අතුරු මග ඔස්සේ අනෙක් ගස්වලටත් ගොඩවීමට ගැකිය. මල තැලූ පසු පසු මුට්ටියට පිරෙන රා ගස් කට්ටිය මදින පුද්ගලයා තම ඉනෙහි ඇති ලබු කැටයට දමා යොතක් මගින් පහළට බානු ලබයි. එවිට පහළ සිටින තැනත්තා එම රා එකතු කරගනී. මෙසේ ගසින් ගසට අතුරැ මග ඔස්සේ ගමන් කරමින් රාජකාරි කරගත හැකිය.

    මෙසේ ඈඳනු ලැබූ පොල් කොටු රාශියක් මේ ගම්මානයේ එකල විය. ඒවා එක් එක් මදින්නන්ට භාර දී තිබුණි. එක්දහස් නමසිය පනස් ගණන්වල රා කර්මාන්ත පුවත් මෙසේ විය. එකල රා කර්මාන්තය හා සැබැඳි තවත් කතන්දර බොහෝය.



    මන්න පෙට්ටියත් ඉනේ බැඳගෙන මල තැලීමට යන කඹේ ගමන

    picture.php



    එදවස මේ වෙරළ ගම්මානයේ ඕනෑම තැනක සිට ඉහනිකට උස්සා ඉහළ බැලූ කළ එකින් එක ඈඳන ලද පොල් ගස් නෙත් මානයේ විය. පොල් රුප්පාවන් යා කළ අතුරැ මං ගමෙහි වූ මංමාවත් පමණට වඩා විසල් සංඛ්‍යාවක් විය. පොල් රුප්පාවල බිම තැන්නේ තණකොළ වැවී තිබිණි. තැනක පොල් ගස්වල ගවයන් බඳිනු ලැබීය. තවත් තැනක වැල්ලේ බිම්තඹරු වැල් යායේ පිපුණු මල් ගම්මානයට ගෙන ආවේ අපූරු චමත්කාරයකි. නන්දිරිස් මුදලාලි මහතාගේ මතක අතරින් අප ඒ අතීතය වෙත ඇවිද යමු.

    අද රා ගස්මදින්නෝද රා කර්මාන්තකරුවෝද සිරිලකෙහි ශේෂව සිටින බව සැබෑවකි. එහෙත් වසර පනහකට හැටකට ඉහතදී රා කර්මාන්තයේදී භාවිත කළ විධි හා දෑ අදට වඩා බොහෝ සෙයින් වෙනස්ය. පෙරදී අප අතුරු මං සාදාගෙන මල් තැලීම අරඹන්නට ගස් මදින මිනිසුන් සූදානම් වූ අයුරු ක‍තාබහ කළෙමු. දැන් කියන්නට යන්නේ අලුතින් මලක් තැලීමේ සිට රා වෑස්සීම දක්වා කතන්දරයයි. ඉදින් අපි නැවත අතීතය වෙත යාත්‍රා කරමු.

    එකල සිටියේ ආරෝහපරිණාහ දේහධාරී මදින්නෝය. සරම කැහැපට ගසා තදකොට ගැටගසා මන්නා පෙට්ටිය ඉන බැඳ සිටි එවන් අයෙක් වාඩියේ සිට පොල් කට්ටියේ හැර ගසක් ළඟට පැමිණියේය. ඔහුගේ මන්නා පෙට්ටියේ පිහි දෙකකි. ඉන් එකක් මල් මන්නයයි. අනෙක තරමක් කුඩා පිහියකි. සියඹලා ලීයෙන් තැනූ මල් තැලුමක්ද ඔහු සතුවූයේය.


    picture.php

    මල තලන්නට හැර ගසින් අතුරු මගට ගොඩවන්නට පෙර හේ පොල් ගසට වඳී. එය රා කර්මාන්තයේ නියතු ගස් මදින පැරැන්නන්ගේ චාරිත්‍රයක් වූයේය. තවද ඔවුහු කිසිවිටක සිය රාජකාරිය අහවර වනතුරු රහ මෙර පානය නොකළෝය. පරිස්සම මෙන්ම ගෞරවය මේ පිළිවෙත් තුළ මුහුව තිබුණේය. පොල් ලෙලි තබා හැර බැඳ ඇති ගස දිගේ අතුරු මඟට පිවිසි ඔහු පය පරිස්සමට අඩි තබා අතුරේ ඇවිද ගියේය.

    ඒ අනුව මේ මිනිසා අලුත් මල් තැලීමට ඇති ගසට ගොඩවිය. ගස උඩ හරිබරි ගැසී මහ පොළොවට බඹ ගණනක් ඉහළින් ඔහු සිය රාජකාරියට සැරුසෙයි. මල් තැලුම ගෙන යම් රිද්මයකට අනුව ඔහු පොල්මල තැලුවේය. එය සාමාන්‍යයෙන් හීන්සීරුවේ කරන තට්ටුවකි. මේ විසල් රා කර්මාන්තයේ පළමු ප්‍රයාමයයි. මලක් තැලීම යන්න ජනවහරට එකතුවන්නේ මේ කටයුත්ත නිමිත්තක් කොට ගෙනය.


    ඉදින් මෙසේ මල් තලන්නේ රා ලබාගැනීමට උචිත වන පරිදි පොල්මල සකසා ගැනීමේ අරමුණෙනි. ඒ අනුව ඇරඹුමේ සිට දින හතක් පමණ මල තැලීම සිදුකළ යුතුවේ. අවසානයේ මලේ මොහොට්ටුව හෙවත් ඉහළ කොටස යම් පමණකට තලයි. මෙසමයේ කරන රාජකාරි අතිශයින් වැදගත්ය. ඉදිරි මාස කිහිපයක කර්මාන්තයෙන් යමක් උපයන්න වාසනාව හා වරම් ලැබෙන්නේ මේ කටයුත්තේදී ගස් මදින්නෙකු දක්වන දක්ෂතාවය මතය. එහෙයින් දිනපතා මෙම ගස් කට්ටිය මදින තැනැත්තා එම රාජකාරි අකුරටම ඉටුකරයි. සතියක හමාරක ඇවෑමෙන් රා ගැනීමට සුදුසුවන තත්ත්වයට පොල්මල පදම්වීම් සිදුවේ.

    මින් අනතුරුව සිදුකිරීමට ඇත්තේ මලට බැමි දැමීමයි. මල කැපීමට පෙර මල වෙලීමක් මෙහිදී සිදුකරනු ලබයි. එකල පොල්අත්තේ පිට පැත්තේ පට්ටයක් ගසා එම පට්ටය ආධාරයෙන් මල වෙලීම සිදුකර තිබේ. පසුකලෙක බොහෝදෙනා ඊට ලණු යොදා ගත්තේ පහසුව තකාය. නමුත් ස්වාභාවික මෙන්ම සාර්ථකම ක්‍රමවේදය වූයේ පැරණි ක්‍රමයයි. කෙසේ හෝ රා ලබාගන්නා තෙක් මල ආරක්ෂා වුණේ මේ බැමි යෙදීම හරහාය.



    picture.php


    මල කැපීම රා කර්මාන්තය විෂයෙහි අතිශය වැදගත්ම රාජකාරිය වූයේය. එයට ද අත්දැකීම් මෙන්ම දක්ෂතාවය ද ඉතා වැදගත් විය. මෙහිදී පොල් මලේ අගිස්සෙන් මල කැපීම සිදුකරනු ලබයි. එසේ කපනු ලබන මල පහළට නවා පොල් කොළ හතරක් ආධාරයෙන් ගසේ යට පිත්තකට තබා බැඳීම එකල සම්ප්‍රදාය විය. මුට්ටිය එල්ලීම සිදුවන්නේ එලෙස නවා බඳින ලද පොල් මලටය. සතියක හමාරක රාජකාරි කටයුතුවලින් අනතුරුව මලේ කඳුළ වෑහෙන්නට පටන් ගන්නේ එවිටය. මලේ කඳුළ වෑස්සීම යනු අලුතින් මදින මලකින් රා බිංදු මුට්ටියට වැටීම ආරම්භ වීම හැඳින්වීමට පැරුන්නන් භාවිතා කළ වදනකි.

    දැන් පොල් මලෙන් රා වෑහෙන්නට පටන්ගෙන තිබේ. මුට්ටියට එක්කාසු වන රා ගස මුදුනේ සිට බෑම දිනපතා සිදුකළ යුතුය. එමෙන්ම මල කැපීම ද නැවත නැවත සිදුකළ යුතුවේ. මලේ රා වෑස්සෙන මුහුණත පිහියෙන් යන්තමට කපා දමා දැමීම මෙහිදී සිදුවෙයි. මල මෝරනවිට කුඩා පිහිය වෙනුවට මන්නය භාවිතයට ගනී. මුට්ටියට වෑස්සෙන රා ලබු කැටයට දමා යොතක් ආධාරයෙන් ගස මුලට බෑම සිදුකරයි. මෙහිදී පෙර කීවා සේම එම රා පහළ සිටින අය විසින් එකතුකර ගැනීම සිදුකරනු ලබයි.

    මෙකල මොරගල්ල ස්කාගාරයේ සිටි පීප්ප බාස් ලවා රා එකතු කිරීමට අවශ්‍ය ලී බාල්දි සකසා ගැනීමට නන්දිරිස් මුදලාලි මහතා කටයුතු කරගෙන ගොස් ඇත. පසු කලෙක මෙම කාර්ය මිල අධික මෙන්ම වෙහෙසකර වූවක් විය. කොළඹින් ලීටර් විස්සේ ලොකු බාල්දි ගෙන්වා ගැනීමට පසුකලෙක ඔහු කටයුතු කර ඇත්තේ ඒ අනුවයි.


    picture.php

    කෙසේ නමුත් අලුත මලක් තැලූ පසු පළමුව වැස්සෙන්නේ මී රාය. ඒවා පැණි රසයෙන් යුතුය. එමනිසා මල තලා ලැබෙන රාවලින් පළමු පංගුව වෙන්වන්නේ පොල් පැණි සෑදීමටයි. මුලින්ම මලෙන් ලැබෙන මී රා වළඳේ දමා ලිප තබා උණු කරමින් පොල් පැණි සකසාගනී. එම කර්මාන්තයද මුදලාලි මහතා තම නිවස ඇසුරේ පවත්වාගෙන ගොස් තිබේ. ඒ සමයේ ගම්මුන්ගේ රස නහර පිනාගිය බොහෝ රසකැවිලි සැදුණේ මේ පොල්පැණි වලින්ය. පැණි මෙන්ම විනාකිරිද නිර්මාණය වූයේ රා කර්මාන්ත ඇසුරිනි. එකදහස් නවසිය පනස් ගණන්වලදී රා කර්මාන්තයට අතගසා බේරුවල පුරයේ ප්‍රකට ව්‍යාපාරිකු පවුලක සිටින අප කතානායක නන්දිරිස් මුදලාලි මහතා මෙම කර්මාන්තයේ සියලු අංශවලට දායකත්වයක් ලබා දී තිබේ.

    රා කර්මාන්ත දිවයිනේ බටහිර වෙරළකරයෙන් ක්‍රමයෙන් ඈත්වී ගියද සිත මත් කරවන රසවත් කතා මේ ගම්ගොඩැලිවල තවමත් ශේෂව තිබේ.



    ගම පුරා රා පීප්ප බැඳගත් කරත්ත සැරිසැරූ කාලේ

    picture.php



    මහසයුරේ යාත්‍රා කළ විසල් නෞකාවන් රැවන් බා ලැගුම්ගත් (රැවල් බෑ) බේරැවල පසුකර යනවිට ගාලුපාරේ සැතපුම් එකහමාරක පමණ දුරින් මෙම ගම්මානය පිහිටියේය. ගම්මානයේ අතීත පුවතෙහි රා කර්මාන්තට හිමිවූයේ ප්‍රමුඛතම ස්ථානයකි. එය වෙරළ අසබඩ ගම්මානයක් වූ බැවින් සරැවට වැවුණු පොල්ගස් දහස් ගණනක් විය. එහි මැදින් වූ සුප්‍රකට ගාලුපාරේ දෙපස අතීතයේ දී පොල්ගස් සිය ගණනින් තිබිණි. එනිසාම එකදහස් අටසිය ගණන්වල පටන් රා කර්මාන්තය පිළිබඳ තතු විත්ති අපහට අතීත චාරිකාවේ දී හමුවිය. අප ඔබට විටින් විට ඒ තතු කීවෙමු.

    අතීතයේ දවසකින් අප එම කතාව අරඹමු. එක් අතුරක ගස් මැදීමෙන් එකතු කර ගන්නා රා බාල්දිවල පුරවා කදක් ආකාරයෙන් සකසා මිනිසෙකු කර තබාගෙන යයි. ඔහු යන්නේ පීප්පය අසලටය. එකල රා පීප්පය එක ප්‍රමාණයෙන් තිබිණි. ගැලුම් එකසිය පහ පීප්පය සහ ගැලුම් අසූවේ පීප්පය ඒ අතර විය. පොල්ගස් කට්ටියේ යම් තැනක මුක්කු ගසා පීප්පය තබා ඇත. නැතිනම් පීප්ප පොල් කට්ටියට රැගෙන එන්නේ කරත්තවලිනි. රා බාල්දි කද බැඳ රැගෙන එන්නෝ රා පීප්පය වක්කරනු ලබයි. ඉන් අනතුරුව රා පීප්පය කරත්තවලින් රැගෙන යයි. එක කරත්තයකට ගැලුම් එකසිය පහේ පීප්පයක් සහ අසූවේ පීප්පයක් පටවනු ලබයි.

    එකල අප කතානායක නන්දිරිස් මුදලාලි මහතා සතුව ගොනුන් සහිත කරත්ත හතක් පමණ තිබී ඇත. සියලුම අතුරු සඳහා එක් එක් කරත්ත වෙන් වෙන්ව යොදවා තිබුණි. ඒ අනුව පීප්පය පැටවූ පසුව ඒවා ගම් ගොඩැල්ල පාමුල වූ මුදලාලි මහතාගේ වත්තට රැගෙන යනු ලබයි. එහිදී ප්‍රමාණය නිවැරැදි ගණන් බැලීම සිදුකරනු ලබයි. පීප්පය තුළ වන රා ප්‍රමාණය දැනගැනීම භාවිතා කරනු ලැබුවේ බැල්ටුවය. එය කට්ට කපා තිබුණු ලීයකි. ඉන් එක කට්ටකට ගැලුම් හතරක ප්‍රමාණය සලකුණු වෙයි. මෙම මිනුම් හරහා එකතු වූ රා ප්‍රමාණය දැනගැනීමට මුදලාලි මහතාට හැකිවිය. ඉන්පසුව පීප්පය පටවාගත් කරත්ත ස්කාගාරය වෙත රැගෙන යාම සිදුවේ.

    ගම්මානය පුරා වූ කරත්ත පාරවල් ඔස්සේ ගමන් කරන රා කරත්ත එකල සුලබ දසුනක් විය. කරත්ත දක්කන්නෝ රා වක්කරන්නෝ මදින්නෝ ගම්මානයේ කාර්යබහුල මිනිසුන් වූහ. ගැටවරයෝ රා කිරීම ආදී රා කර්මාන්ත හා සැබැඳි රාජකාරිවල නිරත වූහ. කොටින් කර්මාන්තක් ලෙසින් ගම්මානයේ යහමින් කෙරුණු ප්‍රමුඛ රාජකාරි රා කර්මාන්තය විය. එනිසාම බැලූ බැලූ අත ගම්මානයේ දසත අතුරු බැඳි පොල්ගස් දක්නට ලැබුණි.


    picture.php

    මෙසේ ස්කාගාරය වෙත රා ගෙනගිය පසු එකල බේරුවල ප්‍රමුඛ රා කර්මාන්තකරුවා වූ නන්දිරිස් මුදලාලි මහතා වෙනුවෙන් ස්කාගාරයේ වෙනම විශාල පීප්පයයක් විය. සියලු රා ඊට වැක්කිරීම සිදුකරනු ලබයි. ඉන්පසු ස්කාගාරයේ මනින බැල්ටුවෙන් රා කොතරම් තිබේදැයි මනිනු ලබයි. එකදහස් නවසීය පනස් ගණන්වල රා කර්මාන්තට අතගැසූ නන්දිරිස් මුදලාලි මහතාට රා ගැලුමක් වෙනුවෙන් එකල මොරගල්ල ස්කාගාරයෙන් ගෙවා ඇත්තේ සත තිස් හතක්ය.

    රා කර්මාන්ත සමඟ සබඳ රා බීම පිළිබඳ පුවත රසවත්ය. ඇඟපත කාන්සිය විඩාව නිවාගනු රිසියෙන් ගම්මුන්ගෙන් ඇතැමෙක් රා බීමට හුරුව සිටියෝය. අද රා කඳුළක්වත් නැති ගමක් වී නමුත් එදවස අතුරු යට එන අයට බීමට ඇති පදම රා තිබිණි. රා බීම සඳහා විකිණීම නීති විරෝධී නමුත් එයද කෙරීගෙන ගියේය. රට අරක්කු බීමට තරම් කාසි පනම්ද මිනිසුන් අත නොවීය. එම නිසාම ස්වාභාවික රා බීම සාපේක්ෂව හිතකර දෙයක් විය. පොල් රා රසය ගම්මානයේ බෙහෝ දෙනා දැන සිටියේ එබැවිනි. උදෑසන රා බීමට ඇත්නම් කදිමය. එවිට රා පැසී නැත. ඇතැමෙක් උදෑසන රා බෝතලය රැගෙන ගොස් ඊට ගම්මිරිස් ඇටද රතු ලූනුද දමා පසුව බොයි.

    එකල රා කර්මාන්ත හාරව තිබුණේ කතරගම දෙවියන්ට බව නන්දිරිස් මුදලාලි මහතා සිහිපත් කරයි. එම නිසාම සෑම වසරකම දෙතුන් විඩක කතරගම යාම අනිවාර්ය චාරිත්‍රය විය. හකුරු, මුං ඇට, කැකුළු හාල් ආදීය රැගෙන ගොස් මුං කිරිබත් පිසීම වෙනුවෙන් දේවාල ලබාදුන් අයුරු මුදලාලි මහතා සිහිගන්වයි. රා කර්මාන්ත හා සැබැඳි මෙවන් චාරිකාව විධි රාශියක්ද එකල තිබී ඇත.

    කාලයාගේ ඇවෑමෙන් රා කර්මාන්ත ගම් රටවල්වලින් ඈත් වී ගිය අයුරු පිළිබඳ කිව යුතුය. හැත්තෑව දශකයෙන් පසු සංචාරක කර්මාන්තය මෙම ගම්මානය ඇතුළු වෙරළකරය ක්‍රමයෙන් ආක්‍රමණය කරන්නට පටන් ගත්තේය. වෙරළ අයිනේ වූ පොල් රුප්පාවල විසල් හෝටල් තැනිණි. ගාලුපාර දෙපසේ ඉඩකඩම්වල වටිනාකම ඉහළ ගියෙන් ඒ වටා බොහෝ නිවෙස් ඉදිවිය. වෙහෙසකර රා කර්මාන්තයට වඩා විසල් ආදායමක් සංචාරක කර්මාන්ත හරහා ක්‍රමයෙන් ගම්මුන් අතට ලැබුණි. තවදුරටත් රා මදින්නන් රා වක් කරන්නන් විරල විය. තැන තැන සිය ගණනින් නිවාස ඉදිවෙන විට පොල්ගස් පරාල වෙනුවෙන් බිලිවිය. අවසානයේ විසිවැනි සියවසේ අග්ගිස්සේ රා කර්මාන්ත ගම්මානයේ රා කර්මාන්තය කඩා වැටුණෝය.

    විසි එක්වැනි සියවසේ පොල් රා වෙනුවට කෘත්‍රිම රා නිෂ්පාදනය ආරම්භ විය. රා කර්මාන්තය ශේෂව ඇති පෙදෙස්වලත් ස්වාභාවික රා භාවිතය වෙනුවට කෘත්‍රිම රා නිෂ්පාදනය අද වනවිට සිදුවෙයි. ස්කාගාරය සඳහා එම රා භාරගැනීමද සිදුවෙයි. එහි කිසිදු වෙනසක් නොපෙනෙන බවද කියවේ. නමුත් කෘත්‍රිමව නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යූරියා හා බැර ලෝහවර්ග යොදාගන්නා බව පැවසේ. ඒ අනුව රා වල අධික විෂ සහිත ඇමෝනියා නමැති රසායනය ඇතිවන බව බොහෝ දෙනාගේ මතයය. එය එසේ නම් මෙම රා ද එයින් නිෂ්පාදනය වන අරක්කුද ශරීරයට අතිශයින් අහිතකරය. තවද විනාකිරි නිෂ්පාදනයට ලබාගන්න බලපත්‍ර හරහා මෙම කෘත්‍රිම රා නිෂ්පාදනය කිරීම සිදුකෙරෙයි. එය එක්තරා ආකාරයකට නීති විරෝධී ජාවාරමකි. අද රා කර්මාන්තයේ අක්මුල් සොයායාම වෙනම කතන්දරයක් බව කිවයුත්තක් වෙයි.

    අතීතයේ රා කර්මාන්තයේ අසිරියද රා පොල් කටුවක වූ රසවත් බවද අද නැත. එහෙත් අපට තතු කියූ නන්දිරිස් මුදලාලි මහතා වැනි පැරැන්නන් තුළ ඒ අතීතයේ රසවත් මතක ඉතිරිව තිබේ.


    -චමිඳු නිසල් ද සිල්වා
    විශේෂ ස්තුතිය- සෙනේරියා රණසිංහ නන්දිරිස් සිල්වා මහතා/ රාණි අබේලතා මහත්මිය
     
  • Jan 25, 2019
    154
    131
    43
    සිරි ලංකා

    issara suddo tabarun arala arakku sinhalunta nikan dunnalu

    great post



    B|U|M|P|S

    නියමයි මල්ලි.....
    හොද බෙදා ගැනීමක්......
    දුන්න ඔන්‍න‍ 28ක්




    :):):):):):)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    22.gif


    පට්ට...!!. තොරතුරු ටික...!!
    You must spread some Reputation around before giving it to Asiri Asanka Alagiyawanna again.