අද_කාලෙට_වටිනාම_ලිපියක්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
අද_කාලෙට_වටිනාම_ලිපියක්

අපි දැනටමත් දන්නවනේ , අපි හිතන් හිටියට අපිට මේ පේන ලෝකෙ තමයි ඇත්ත කියල ... නැහැ , එහි ඊට ඇතුලතින් අපිට නොපෙන ලොවක් තියෙනවා , ඒ කීවේ අපේ පියවි ඇසට නොපෙනෙන ජීවීන් , ක්‍රියාකාරකම් ගණනාවක් අපි වටා , අපේ ළඟ , අපේ මත සහ අප ඇතුලෙත් සිද්ධ වෙනවා. ඒත් අපේ ඇස ඒ තරම් සුක්ෂම නැති නිසා අපිට ඒ ගැන වගක් නෑ , මෙන්න මේ පියවි ඇසට නොපෙනෙන ජීවීන් හෝ ක්‍රියාකාරකම් කණ්ඩායම් ගණනාවක් ඇති , ඒත් අපි වෛද්‍ය විද්‍යාත්මක පදනමක් අනුව කතා කරන්න යන නිසා අපිට වැදගත් , ක්ෂුද්‍රජීවීන් Micro organism කියන කණ්ඩායම . පොදුවේ මීට අයත් කණ්ඩායම් කිහිපයක් ඉන්නවා ,


images
රස නැති වයි රස මුලින්ම වයිරස් Virus , මෙයාලා එකවෙලාකට පණ තියෙනවා වගේ වැඩ කරන අතරේ සමහර වෙලාවට පණ නැති වේලිච්ච දර කෑළි වගේ ඉඳළ , හිටපු ගමන් නැගිටල වැඩ කරන “අමුතුම කට්ටියක්“ . හරි ඉක්මණට “mood “ එක වෙනස් කරගන්න නිසා මෙයාලව තේරුම් ගන්න හරි අමාරුයි , ඒ අමාරුව තේරුම් ගන්න පුළුවන් , මේ පොඩි හෙම්බිරිසාවට තවම ලෝකේ කොහේවත් බෙහෙතක් හොයාගෙන නැහැ කීවම , මොකද හෙම්බිරිසාව ඇති කරන්නේත් මේ වගේ වයිරසයකින් , ඒ විතරක් නෙවි AIDS, Hepatitis B , වගේ ලෙඩ අපිට දෙන්නේ වයිරස් , ඒ වගේම බොහෝම නියුමෝනියා තත්ත්ව , මොළයේ උණ තත්ත්ව ඇති කරන්නත් වයිරස්ලා දායක වෙනවා. හැබැයි ඉතින් කියන්න ඕන , මේ අපි වටේ ඉන්න හැම වයිරසයම අපිට කරදර කරන්නේ නැහැ , තියෙන වයිරස් සංඛ්‍යාව ගත්තොත් බොහොම ටික දෙනයි කරදරකාර තත්ත්වයට පත්වෙන්නේ , හැබැයි මෙයාගේ තියෙන “මූඩ් එක වෙනස්වන සුළු ස්වභාවය “ නිසා මොන වයිරස් එක මොන වෙලාවට අපිට අළුත් ලෙඩක් දායිද කියන්න නම් බැහැ.


බැක්ටීරියා හැඩකාරයෝ ඊළග කට්ටිය “බැක්ටීරියා“ ... අන්වීක්ෂීය ලොකේ බොහොම සුන්දර හැඩ රටා මවන මේ අයත් හැමෝම නරක නැහැ , අපිට උදව් කරන අයත් ඉන්නවා , අපේ කිරි හට්ටිය මුදවල දෙන්නේ , ඒ විතරක් නෙවි සමහර ඖෂධ වර්ග නිපදවා ගන්නත් , අපිට නොමිලේ විටමින් වර්ග හදල දෙන්නත් බැක්ටීරියාවෝ උදව් වෙනවා. අපේ හමේ , කටේ , අත්වල හැම තැනම මෙයාල ඉන්නවා , කරදරයක් නැහැ , හැබැයි ඉන් නරක කට්ටිය Pathogenic bacteria තමයි අපිට කරදර කරන්නේ, ඒකටත් බැක්ටීරියාව ඉන්න තැන , අපේ ඇඟේ ලේ තියෙන ප්‍රතිශක්ති හමුදාවේ බල පුළුවන්කාරකම් වගේ සාධක ගණනාවක් බලපානවා. උදාහරණයක් කිව්වොත් , අපේ බඩවැලේ ඕන තරම් E.Coli කියන බැක්ටීරියාව ඉන්න පුළුවන් , එහෙම ඉන්න එකත් හොඳයි , මොකද එයා අපිට නොමිලේ විටමින් වර්ග හදල දෙනවා , හැබැයි මෙයා බඩවැලෙන් මුත්‍රාශය තුලට රංග ගත්තොත් වැඩේ සුන් , ඔන්න දැන් මුත්‍රා අමාරු හදනවා Urinary Tract Infection , දැන් නම් මෙයාට පුළුවන් අපිව මරන්න වුනත් , බය වෙන්න එපා , මළපහ කරල පිරිසිදු කරගනිත්දි මුත්‍රමාර්ගය පැත්තට නොඑන විදියට පිරිසිදු කරගත්තා නම් මෙයා ගැන බය වෙන්න දෙයක් නැහැ , මොකද බොහොම වෙලාවට E.coli ගෙන් මුත්‍රා ආසාදන එන්නේ , වැරදි විදියට පිරිසිදු කිරීම් කරලා , මළපහ කොටස් මුත්‍රා මාර්ගය පැත්තට දාගන්න නිසා, විශේෂයෙන්ම ගැහැණූ දරුවන්ගේ පිරිසිදු කිරීම් කරත්දි මේ ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕන , හේතුව කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටි නිසා ඉක්මණින් මෙයාට ඇතුලට පැනගන්න පුළුවන් වීම . කතාව දුර ගියා ,

අනෙක් පිරිස Fungi ල නැත්නම් දිලීර , අපේ ඇඟේ හැදෙන අළුහම් වල ඉදළ මාරාන්තික වන තරමේ මොළයේ ආසාදන ඇති කරන්නටත් පුළුවන් කමක් තියෙන Fungi වල තවත් අවස්ථාවක් තමයි අපි කෑමට ගන්න හතු කියන්නෙත් , මේ කණ්ඩායමෙත් රෝග කාරක වන යම් පිරිසක් පමණයි ඉන්නේ ,

තව ක්ෂුද්‍රජීවි කණ්ඩායම් කිහිපයක් අතරේ මේ දවස් වල කතාවෙන මයිටාවන් , උකුණු විශේෂ , වගේම බඩවැලේ ඉන්න ඉතාම කුඩා පණු විශේෂත් අයිතියි , මෙයාලා ඔක්කොම Parasites නැත්නම් පරපෝෂිතයන් නිසා මේ හැම කෙනෙක්ම වගේ අපේ ඇඟේ ලේ උරා බොන , ඒ බොන ගමන් තවත් රෝග කාරකයින් ඇඟට ඇතුලු කරන්නට පුළුවන් කමක් තියෙන කට්ටිය .


එක්දහස් නවසිය අනූ ගණන් වල අන්තිම කාළේ පර්යේෂකයින් තවත් ක්ෂුද්‍රජීව කණ්ඩාමක් ගැන සොයන්න ගත්ත , ඇත්තටම මෙයාලටත් “ජීව කියන‘‘ පදය යොදන්න අමාරුයි මොකද මේ අය නිකම් ප්‍රෝටීන කෑළි ටිකක් විතරයි , හැබැයි ඒවට පුළුවන් සමහර ලෙඩ රෝග ඇති කරන්නට , Prions කියල නම් කෙරන මේ අවස්ථාව ගැන තවමත් පර්යේෂණ කෙරෙන නිසා ලොකු විස්තර ලියන්න යන්නේ නැහැ , මොකද දැන් තියෙන විස්තර තව ටික දවසක් යත්දි වෙනස් වෙන්න පුළුවන් . කෙසේ වෙතත් මේ අයත් පරිසරයේ පුරාවට ඉන්න පුළුවන් අවදානමක් ....

කියාගෙන කියාගෙන ගියා , දැන් පොඩි අදහසක් ගන්න පුළුවන් අපි හිතුවත් අනේ අපි තනිවෙලා කියලා ..නැහැ , ඔයා තනිවෙලා නැහැ කියල බය නැතිව කියන්න පුළුවන් , මොකද ඔයාගෙ වටේ ඕන තරම් ක්ෂූද්‍රජීවින් ඉන්නවා , එයින් අපිට රෝග හදන අයට කියන්නේ Pathogenic micro organism කියලනේ , දන්න සිංහලෙන් කිව්වොත් “විෂබීජ “ කියන පදය යොදන්න පුළුවන් ඒ අයට තමයි .


ඔබ දන්නවද ? ඔබට රෝග ඇති කරන රෝග කාරක විෂබීජ බොහොමයක් , ඔබේ ඇඟට ඇතුළු කරගත්තේ ඔබම කියල , නැත්නම් අපිම කියල , ඒ බොහෝ විට අපේ වැරදි පුරුදු නිසා , නැත්නම් අපේ නොසැලකිළිමත් බව නිසා , සමහර අවස්ථා වල නොවැලැක්විය හැකි හේතු නිසා .....මොකද මේ කියන විෂබීජ , එයාලම බලෙන් අපේ ඇඟට ඒන්නේ නැති තරම් , එයාල අපේ ඇඟට එන්නේ හුඟක් වෙලාවට අපේ “අත්“ මඟින්මයි ,


මේ රෝග කාරකයන් අපිට එන මූලික ක්‍රම දෙකක් හඳුන ගන්න පුළුවන් , ඒ Contact ස්පර්ශයානු බද්ධ , Non contact ස්ඵර්ශානුබද්ධ නොවන ...බර වැඩියිනේ ..කෙටියෙන් කිව්වොත් , විෂබීජ කෙළින්ම ඇඟේ ගාගන්න , නැත්නම් ඇතුලට දාගන්න එක , අනෙක වෙනත් මාර්ගයක් ඔස්සේ වැඩේ කරගන්න එක.


අපි දැන ටිකක් මේ ක්‍රම දෙක විස්තර කරමු , මොකද ඒ ටික දැන ගත්තම තමයි අපේ වැරදි අපටම හොයාගන්න පුළුවන් .මුලින්ම අර Contact ක්‍රමේ ගැන බලමුකෝ ..මේකත් අපිට ලේසියට තවත් අවස්ථා කිහිපයකට බෙදා ගන්න පුළුවන් ..කතාව රබර් වගේද මන්ද ? ඒත් වෙන කතාවගේ නෙවි මේ කතාව නම් පුළුවන් ඔක්කොම දේවල් කතා කරන්න වෙනවා , මොකද අපේ වැරැද්ද හදාගන්න ඕන නිසාම...මේ විදියට කෙටස් කරල බලමු ,

1.Direct contact , සුද්ධ සිංහලෙන් කිව්වාත් සෘජු ස්පර්ශය ...මේ තමයි අපිට වැඩියෙන්ම ලෙඩ දාන ක්‍රෙම් , මොකක්ද මේ , මෙතැනදි වෙන්නේ ලෙඩ වෙච්ච කෙනාගෙ ඉන්න රෝග කාරක විසබීජ , එයාගෙන් ඉල්ලගෙන “බොහොම පරිස්සමෙන් අපේ ඇඟට දාගන්න එක“ ....අපි මෙහෙම හිතමු , ඔන්න මේ මහත්තයට හොඳටම කැස්ස , එයා බොහොම විනීත විදියට අත ගුළි කරල තියල තමයි කහින්නේ ...දැන් මේ කැස්සත් එක්ක එළියට විසි වෙලා එන රෝග කාරක ජීවින් , මහත්තයගේ අතේ ගෑවිලා රැඳිල ඉන්නවා ....ඊට පස්සේ මේ මහත්තය ඔෆීසියට යන ගමන් යාළුවෙක් හම්බවෙනව ..“ආ ...කොහොමද සමරේ ....කාළෙකින් ....“ යාළුවෝ දෙන්න අතින් අල්ලගෙනම කතාව ...ඔය අතරේ අපේ විෂබීජ ටික ,අර මහත්තයගේ අතේ ඉඳල හිමින් සැරේ යාළුවගේ අතට එනවා , ගෑවෙනවා ..ටික වෙලාවකින් කතාව ඉවර වෙලා ඔෆීසියට ගිහින් වාඩි වුනු යාළුව මෙන්න මූණ අතගානවා , නැත්තම් උණු උණුවේ රෝල් එකක් කනවා අත හෝදන්නේ නැතිව ...දැන් අරයට නියම චාන්ස් එක ..කාටද ..විෂබීජෙට ...මෙන්න එයා කිසි කරදරයක් නැතිව යොළුවගේ ඇඟ ඇතුලට යනවා ..දැන් ඉතින් යාළුවටත් අර මහත්තයගේ ලෙඩේම හැදෙන්න ලොකු අවදානමක් තියෙනවා , විශේෂයෙන්ම උදරාබාධ , සෙම්ප්‍රතිශ්‍යාව , ඇස් අමාරු විතරක් නොවෙයි , ඒඩ්ස් , හෙපටයිටිස් බී වගේ ලිංගාශ්‍රිත සම්ප්‍රේෂණ S.T.D. ත් මේ ක්‍රමයෙන් තමයි බෝකර ගන්නේ ...දැන් ඉතින් S.T.D එන්නේ අතින් අල්ලන නිසාද කියල අහන්න එපා ..ඒව බෝවෙන්නෙත් රෝගී කෙනාගේ විෂබීජ සහිත තරලය සෘජුවම දෙවැන්නට ඇතුළු වීමෙන්


මේ යටතේ එන දෙවැනි ක්‍රමේ තමයි වක්‍රානූකූල ස්පර්ශය ...කෙටියෙන්ම කිව්වොත් වටෙන් අල්ල ගැනීම ....හපොයි ඒ මොකක්ද කිව්වේ :) .ඊට වඩා තේරේවි Indirect contact කියල කිව්වම ..නේද ? මෙතැනදි වෙන්නේ , අර මුලින් කතාවේ හිටි මහත්තයා , එයාගේ කැහි විෂබීජ ගැවිච්ච අතින් ඔෆීස් කාමරේ දොර ඇරගෙන ඔෆිස් කාමරේට යනවා , ගිහින් අද දවසේ වැඩ කටයුතු වලට අදාල ෆයිල් ටික උඩින් පල්ලෙන් පෙරලල බලනවා , මොකද සමරේ තමයි ඔෆීසියේ ලොක්ක ..දැන් තව ටික වෙලාවකින් , කාර්යාල කාර්ය සහායක මහත්තය දන්න විදියට කිව්වොත් පියන් මහත්තය , ලොකු මහත්තයගේ කාමරේට එනවා , එන්නේ අර දොර ඇරගෙන නේ , එතකොට , එතැන ලොකු මහත්තය නොදැන ගාල තියෙන රෝග කාරක විෂබීජ පියන් මහත්තයගේ අතේ ගෑවෙනවා , ඊට පස්සේ පියන් මහත්තයා අර ෆයිල් ටික අරගෙන ගිහින් , අංශභාර මිස්ලට දෙනවා .. නිකංද දෙන්නේ ..නෑ ලොකු මහත්තයගේ විෂබීජත් එක්කම ...ඒ නෝනලත් හරියට අ.නොසෝදන නෝනල ටිකක් නම් , එයාලට පුළුවන් ඒ ලෙඩේ ගෙදර ගිහින් දරුවන්ටත් දෙන්න ..යන ගමන් බස් එකේ නම් යන්නේ , බස් එකේ පොල්ලේ අරවයින් ටිකක් ගෑවනම් (ඒ කිව්වේ රෝග කාරක විෂබීජ ටිකක්) ඒකම ඇති පළාතටම ලෙඩේ බෙදා දෙන දානමය පුණ්‍යකර්මේ කර ගන්න ... තව උදාහරණයක් , දන්නවනේ පොඩ්ඩො ඉස්කෝලේ යන්න පටන් ගත් මුල් දවස් වල හැමදාම ලෙඩ ලෙඩ ලෙඩ ...ඒකටත් මෙන්න මේ හේතු තමයි ප්‍රධාන ..



මේ යටතේ ගන්න පුළුවන් ඊළඟ අවස්ථාව තමයි Droplet method ..ඒ කිව්වේ කෙළ බිංදු මඟින් බෝවෙන ක්‍රෙම් ....ආයේ කියන්න දෙයක්ද මේක ..කට්ටිය එක්ක ටී බ්‍රේක් එකේ චැට් එකක් දාගෙන ඉඳිත්දි නෝන කෙනෙක් යැව්වනේද හාච්චිං එක්ක , පළාතම නෑවෙන්න , ඊළඟට මෙන්න නෝනගෙන කැහි පෝලිමක් , කිසිම පරිස්සමක් නැතිවම ...කොහොමද කෑම නේද ..දැන් ඉතින් අර නෝනගේ කෙළ බිංදු වල ඉන්න බැක්ටීරියා , වයිරස ...අනෙක් අයගේ නාහෙ , කට ඇතුලටම යනවා , ආයේ ඉතින් කියන්න දෙයක් නෑ , අනෙක් නෝනලටත් ලෙඩේම තමා . දන්නවද මේ විදියට මොළයේ උණ , ක්ෂයරෝගය , නියුමෝනියාව වගේ දරුණු රෝගත් බෙදා හදා ගන්න පුළුවන් ,


මේ වෙනකම් අපි කතා කළේ , රෝග කාරකයන් contact වෙන විදිය , දැන් අපි කතා කරන්න හදන්නේ , මෙහෙම නොවී , සෘජු ස්පර්ශයක් නැතිව ලෙඩ ගේන විදිය ගැනත් දැන් කතා කරමු . අපි ඒ ක්‍රම ඔක්කොටම කියන්නේ Non-Contact methods කියලා , ඒ යටතේ , වාතය ඔස්සේ පාවෙලා එන ඉතාම කුඩා බිඳිති , වයිසර අඩංගු දුහුවිලි අංශු වගේ දේවල් මඟින් ලෙඩ බෝවෙන ක්‍රමය අපි නම් කරන්නේ air borne method කියල , සමහර කාළෙට පරිස්සම් වෙන්නම අමාරු ලෙස මේ විදියට මුළු පළාතම ලෙඩ කරනවා මතක ඇති , පැපොල හොඳ උදාහරණයක් , ඉස්කෝළෙ එක ළමයෙක් හිටියොත් ඇති වටේටම බෙදන්න , මෙතැනදි ප්‍රධාන ක්‍රමය ඒ වයිරස , ඉතාම කුඩා බිදිති එක්ක හරි දුහුවිලි එක්ක හරි එකතු වෙලා හුළගේ පාවෙල අනෙක් අයගේ ඇඟට ඇතුළු වීම ..මේ කට්ටියගෙන් පරිස්සම් වෙන එකනම් ටිකක් අමාරුයි , මොකද අපි හුස්ම ගනිත්දි නොදැනිම මේ අයට පුළුවන් ඇඟට ඇතුළු වෙන්න .කරන්න තියෙන එක දෙයක් තමයි ඒ වගේ කාළෙට හුඟක් සෙනඟ ගැවසෙන තැන්වල රස්තියාදු නොගහ ගෙදර ඉන්න එක ..ඒකත් ඉතින් ප්‍රායෝගික නැහැ වගේ , රෝහලේ දි නම් පුළුවන් මාස්ක් එකක් දාගන්න , ඒ සඳහා විශේෂිත මාස්ක් (මුව වැසුම්) වර්ග තිබෙනවා , අපිත් කරාපිටියේ ඒකළන ඒකකයේ ඉන්න කාළෙ මේ ඔක්කොම දාගෙන හිටි හැටි මතක් වෙනවා.



මේ යටතේ තවත් අවස්ථාවක් විදියට , ඔය මදුරුවන්ගෙන් බෝවෙන රෝග , මැස්සන්ගෙන් බෝවන රෝග ගන්නටත් පුළුවන් , ඒ කියන්නේ Vector borne diseases විදියට , ඒවයින් පරිස්සම් වෙන විදියනම් දැනටමත් සෑහෙන තරමකට දැනුවත් ඇති , මීට අමතරව කෑම බීම ඔස්සේ බෝවන ලෙඩත් තියෙනවා , එයින් පරිස්සම් වෙන්න , කෑම බීම නියමිත උණුසුමට පිස ගැනීම වගේම ඒවා හොඳින් වසා තැබීම වගේ උපක්‍රම ගන්නට පුළුවන් , ඔබ දන්නවද ඔය බඩේ අමාරු ඇති වන බොහොමයක් අවස්ථාවල ලෙඩේ බෙදා දීමේ මධ්‍යස්ථානය වෙලා තියෙන්නේ කුස්සයි , සමහර විට නොදැනුවත්වම මේ වෂබීජ කෑම බීම වලට එක් වෙනවා ..

මෙච්චර වෙලා අපි කතා කළේ රෝග කාරකයෝ සහ ඒවා පැතිරිලා යන විදිය , විශේෂයෙන්ම කියන්න ඕන මේ ලිව්වේ මහා සංකීර්ණ කාරණා නොවෙයි , පුළුවන් තරම් සරළ , දැන ගත යුතු දේ , මොකද සංකීර්ණ කාරණා , ප්‍රෝටීන් සංයුතික වෙනස්විම වගේ බර දේවල් දාන්න ගියොත් “ලෙඩ හැදුනත් කමක් නෑ මේක නම් කියවන්නේ නැහැ “ කියල හිතෙන්න පුළුවන් ...

දැන් අපි බලමු මේ කිව කාරණා අතරේ අපේ අතින් වන වැරදි මොනවද කියලා , ලොකුම වැරැද්ද , හරියට අත නොසේදීම ...මොකද ඔබ නිවැරදිව අත් සෝදනවා නම් බොහොමයක් රෝගයන්ගෙන් වැළකිලා ඉන්න පුළුවන් , මොකක්ද මේ හරියට අත් සේදීම කියන්නේ , මෙතැනදි කියන්නම ඕන , අත හෝදනවා කියන්නේ ,ටැප් එකට අත අල්ලලා , නිකං එහෙට මෙහෙට කරලා , “කුණු පොඟවාගෙන " එන එක නොවෙයි , ඒකටත් ක්‍රමයක් තියෙනවා , හරි ක්‍රෙම්ට කර ගත්තොත් තමයි පරිස්සම .


හරියට අතසෝදන්න නම් , අපිට මෙන්න මේ අය ඕන , Sසබන් , Wගලායන ජලය , Fඅතේ මුහුණත් අතර ඇති වන ඇතිල්ලීම් නැත්නම් ඝර්ෂණය , සහ Tකාළය සහ Dවියලා ගැනීමේ උපක්‍රමයක් . සබන් ගැන කියත්දි විෂබීජ නාශක සබන් වර්ගයක් නම් වඩාත් හොඳයි , එහෙම නැතත් සාමාන්‍ය සබන් නරක නැහැ , හැබැයි අතසෝදන තැනට ඉහළින් බෝතලයක් වගේ සවි කරල තියන්න පුළුවන් , පොඩ්ඩක් ප්‍රෙස් කළාම අතට සබන් බිංදු වැටෙන විදියට තියෙන දියරමය සබන් තිබුණොත් වඩාත් ආරක්ෂාකාරීයි , නිංක සබන් කෑටේ අතුල්ල ගන්නවාට වඩා . හේතුව ඔය සබන් කැටේ පියන ඇතුලේ වතුරත් එක්ක එකතු වෙලා දියවි දියවි තියෙන අවස්ථාව , තවත් බැක්ටීරියාවන්ට වැඩෙන්න හොඳ මාධ්‍යයක් , ඒ කිව්වේ ඒ විදියට පල් වෙවි තියෙන සබන් කෑල්ලක් අතේ අතුල්ලත්දි , තව විෂබීජ ගාගන්නවා විතරයි . ඒ වගේ අවස්ථා වල , සබන් කෑල්ලේ පියන ස්පර්ෂ නොකරීම සහ , අතේ ගාගන්නට ඉස්සර වෙලා සබන් කෑල්ල පොඩ්ඩක් සෝදා හැරීම වටිනවා .


හරි දැන් ජලය , හොඳම ක්‍රෙම් මද උණූසුම ගලා යන වතුර , බේසමක දාගෙන අතසෝදනවාට වඩා හොඳ ටැප් එකකට අල්ලලා හරි කාට හරි කියල වතුර ටිකක් අතට වත්කරවා ගැනීම හරි තමයි , මොකද බේසමේ දාගෙන ‘බස බස ගාල ‘ හේදුවට , වැඩේ හරියට කෙරෙන්නනේ නැහැ , මොකද දැන් බේසම ඇතුලේ තියෙන්නේ විෂබීජ වලින් හැදිච්ච “සුප් එකක්“ ...


ඊළඟට වතුරත් , සබනුත් ගැවුනු අතේ මතුපිට , එකිනෙකට හොඳින් ඇතිල්ලෙන්න ඕන , විශේෂයෙන් විෂබීජ රැඳිලා ඉන්න , ඒ වගේම අපිට මගහැරෙන කොටස් , මෙන්න මේ පහල රෑපයේ පෙන්වන ප්‍රෙද්ශ ගැන වැඩි සැළකිල්ලක් දක්වන්නම ඕන , ඇඟිළි කරු අතර , නියපොතු , පිට අත්ල , පැති හොඳින් ඇතිල්ලෙන්නට ඕන ,

ඊළඟට කාළය ගැන , කොච්චර කාළයක් මේ විදියට අතුල්ලල හෝදන්න ඕනද ? ...සාමාන්‍ය අවස්ථා වලදි අවම වශයෙන් තත්ත්පර 20-30ක් වත් ,

දැන් හේදුවා , ඊට පස්සේ ආයෙත් අර වතුර කරාමේ අල්ලලා වහන්න ගියොත් මොකද වෙන්නේ , මුලින් ඒකේ ගැවිච්ච විෂබීජ ආයෙත් අතේ ගෑවෙනවා , ඒ නිසා පහසුකම් තිබේනම් වියළි කඩදාසි ටිෂ්‍යූ එකක් පාවිච්චි කරල අත් හොඳින් වියලා ගන්න , එහෙම නැත්නම් තමන්ගේ පිරිසිදු වියළි ලේන්සුව ඒ සඳහා යොදා ගන්න , දැන් ඉතින් හොඳට හොටු හූරපු , ඒ වේලිච්ච හොටු තට්ටු තියෙන ලේන්සුව මේ වැඩේට ගන්නවද ? ...



මේ අත සේදීමේ ක්‍රමය කරගන්න බැරි වෙලාවට , අපි හිතමු බස් එකේ යන ගමන් , නැත්නම් ඔෆිස් කාමරේ ඇතුලෙ ඉන්න ගමන් ඕන කමකට කියල , ඒ වෙලාවට ප්‍ර යෝජනයට ගන්න පුළුවන් , අත් සේදීම් දියර වෙළඳ පොලේ තිබෙනවා , වාෂ්පශීලී රසායනික සමඟ විෂබීජ නාශක අඩංගු මේ දියර අතට දාල , සාමාන්‍යෙයන් අත සෝදන විදියටම අතේ හැම තැනකම ගෑවෙන විදියට ආලේප කරගත්තා නම් යම් තරමක ආරක්ෂාවක් ලැබෙනවා . පොඩි වියදමක් යාවි , ඒත් ඔබේ ආරක්ෂාවට යන ඔය සුළු මුදලට වඩා , ලෙඩක් වුනොත් වියදම් කරන්න වෙන බව මතකේ තියා ගන්න එක වටිනවා .



මේ එක්ක , තව පොඩි කරුණූ ටිකක් කෙටියෙන් කියන්න තියෙනවා , එකක් තමයි ලේන්සුව ගැන , අපි ලේන්සුව පාවිච්චි කරන විදියෙන්ම අපිට ලෙඩ ගෙන්ව ගන්නවා , හිතල බලන්න , ඔකෙන් තමයි හොටු හුරල හංග ගන්නෙත් , ඊට පස්සේ වෙලුනාම හොටු පේනනෙ නැහැනේ ඒකෙන්ම තමයි දාඩිය දාත්දි මුහුන පිහදාන්නේ , ඒ විතරද බස් එකේ යත්දි පොල්ල අල්ලගන්නෙත් ලේන්සුව තියලනේ , ..හිතල බලන්න ..නොපෙනුනාට මේ ලේන්සුවේ කොයි තරම් නම් විෂබීජ හැංගිලා ඇත්ද ?...ඒ නිසා ලේන්සුව තියා ගන්න හදිසියකට දහදිය පිහදාගන්න වගේ වැඩකට , හෙම්බිරිසාව තියෙන දවසට හොටු හුරන්න ඒක ගන්න එපා , ඒකට ටිෂ්‍යු එකක් පාවිච්චි කරන එකතමා සෞඛ්‍ය පැත්තෙන් බැලුවම ලාබම , දැන් හොටු හූරපු ටිෂ්‍යු එක , නිසි තැනකට , ඒ කිව්වේ සුදුසු කසල බඳුනකට දාන්න , එහෙම පහසුකමක් නැත්නම් , ඔය හැන්ඩ්බෑග් එකේ හරි කළිසම් සාක්කුවේ හරි පොඩි සෙලෝෆේන් බෑග් එකක් දාගෙන තියා ගන්න , අර හොටු පිරිච්ච ටිෂ්‍යු ඒ සොලෝෆේන් බෑග් එකට දාල නිසි තැනදි හරි විදියට බැහැර ලන්න . දැන් කියාවි මේ දැන් යන වියදං වල හැටියට මේව කරන්න පුළුවන්ද කියල ? ....ඒත් ලෙඩවුනාම , වැඩට එන්න වෙන්නේ නැහැ , පඩි අඩුවෙනවා , නිවාඩු අඩුවෙනවා , දොස්තර මහත්තය චැනල් කරගන්න වියදම් යනවා , බෙහෙත් වලට වියදම් යනවා , ඒ විතරද ගෙරද එක්කෙනෙක්ට එන ලෙඩේ පවුලේ අනෙක් අයත් එක්කත් බෙදා ගත්තම මේ වියදම කොහොමට නගිනවද ...ටිකක් දුරට හිතල බලත්දි මේ දේවල් වලට යන වියදම් , තැන්පතුවක් වගේ තමයි .


ඊළඟට කහින , කිවිසන හැටි , අපි කහින්නේ කිවිසන්නේ බොහාම වැදගත් විදියට අත කටට තියල වහගෙන නේ , ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මොකද ඒ ක්‍රෙම්දි වෙන්නේ අපෙන් පිටවන බිදිති , විසබීජ අපේ අතේ ගෑවෙන එක , පස්සේ හරියට අත නොසෝදා කරන අනෙක් හැම වැඩේදිම ඔබ කරන්නේ මේ විෂබීජය බෙදා දීමේ කටයුත්ත , ඒ නිසා දැන් පර්යේෂකයන් හඳුන්වා දෙනවා “කහින කිවිසන“ නිවැරදි යයි කියන ක්‍රමයක් ,අතේ ටිෂ්‍යු එකක් තිබේ නම් වැඩේ කරල මුලින් කී විදියට විසි කරල දාන්න පුළුවන් , එහෙම නැති සහ හදිසි වෙලාවට ලේන්සු අල්ලනවාට වඩා , නැත්නම් අතින් වහගන්නවාට වඩා හොඳ විදිය තමයි මේ තියෙන්නේ ,

images
එහෙම නැති වෙලාවට තමන්ගේ ඇඳුමේ ඇතුළු පැත්තට මේ වෙනුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන් , මේ අවස්ථා දෙකේදිම , අත නැත්නම් ලේන්සුවට වඩා පරිස්සම් , විශේෂයෙන්ම විෂබීජ අතේ , අත්ලේ ගෑවෙන්නට තිබෙන ඉඩ අඩුවන නිසා .

අනිත් වැදගත් කරුණ තමයි ඔය හුඟක් දෙනෙක් නිකරුනේ මුහුණ අතගාල ස්වයං වින්දනයක් ගන්නවනේ , ටිකක් කල්පනාවෙන් බලන්න , කීදෙනෙක් නම් කල්පනාවක් නැතිව හැම තිස්සෙම මූණ අතගානවද , කුරුලෑ වගේ මිරිකනවාද , ඇස් පොඩි කරනවද , නාහේ තුඩ මිරික මිරික සැප ගන්නවද ...මේ හැම දේකින්ම කරන්නේ රෝග කාරකයන් අපේ ඇඟ ඇතුලට දාගන්න එක ...පහුගිය දවසක අපට තිබුණු වැඩමුළුවකදි , විෂබීජ විදියකට ක්‍රියාත්මක , U.V කිරණ මඟින් පමණක් හඳුනාගත
හැකි වන එක්තරා රසායනිකයක් භාවිත කරමින් කළ පරික්ෂණයේ ප්‍රතිපල දුටු අපේ සමහර සෞඛ්‍ය වෘත්තිකයන්ම පුදුමයට පත්වුනා ,

images
ස්වයං වින්දනේ ... කෙරුනෙ මෙහෙම දෙයක් , දේශනේ ආරම්භයේම අපේ අත් සෝදගන්න කීවා , ඉතින් අපිත් වෙනද වගේම , කෑමකුත් ලැබෙන්නද දන්නේ නැති නිසා හොඳට අත් සෝදගෙන දේශනේට ආවා , පැය තුනකට පස්සේ , දේශන ශාලාවේ සියළුම විදුළි ආලෝකය නැති කරල , විශේෂීත U.V lamp එකක් දල්වලා එකිනෙකා දිහා බලන්න කීවා ,බලන්න ලස්සනයි , අපේ කට්ටියගේ මූණූ වල , නාහේ , කොන්ඩේ විතරක් නෙවි කන් ඇතුලෙනුත් එළි මතු වෙනවා . සිද්ද වෙලා තියෙන්නේ , අපිට මුලින්ම අත හොදන්න කියල දීපු ජල නලයත් එක්ක , අර මුලින් කී රාසයනිකය කවලම් කරලා , දැන් ඉතින් අත හෝදගෙන ඇවිත් දේශනේ අහන ගමන් නොහිත , අතගාපු හැම තැනම රසායනිකය ගෑවිලා , නිකං ආලෝකයට පෙනුනේ නැතත් පාරජම්බුල කිරණ වලදි තමයි පේන්නේ , දේශකයා දැන් අහනවා , ඔබට වැළදෙන රෝග වලින් කොයිතරම් තොටසකට ඔබම දායක වෙනවාද කියල ? ....ඒ කියන්නේ , අපේ අතේ යම් විෂබීජයක් ගැවුනා නම් , මේ “ස්වයං වින්දන අතපත ගෑවිල්ලත්“ එක්ක , ඒ විෂබීජ පහසුවෙන්ම අපේ ඇඟට ඇතුළු වන බව ...

තව වැදගත් දෙයක් පුළුවන් නම් දවසකට වතාවක් වත් ඔබේ පරිගණකයේ යතුරු පුවරුව , මවුසය මතුපිට දුරකථනය පිරිසිදු කරන්න , ඒ වෙනුවෙන්ම වාෂ්පෂීලී දියරයක් අඩංගු Cleaning wipes තිබෙනවා , නැතත් ගැලපෙන විදියකින් පිරිසිදු කරගන්න එක වැදගත් , විශේෂයෙන්ම එම උපකරණ පොදුවේ පාවිච්චි වෙනවා නම් , ඒ එක්කම ඔෆිස් කාමරේ දොරවල් , door nobs , මේස , පිරිසිදුව තියා ගන්න ..ඔන්න දැන් ඉතින් දොරවල් පිහිදල ඒ රෙදි කෑල්ලෙන්ම මහත්තයගේ මේසෙත් පිහිදැම්මොත් වැඩේ තේරුමක් නැහැ , ඒ වෙනුවෙන් යම් පිළිවෙලක් හදාන්න , ඒ පිසදැම්මි වලට ගන්න රෙදි එදිනෙදාම සෝදල , හොඳින් අව්වේ වේලල තියන්න , මොකද විෂබීජ හොඳින්ම වැඩෙන්නේ , අඳුරු , තෙත් තැන් වල , දැන් පොඩ්ඩක් හිතල බලන්න ඔය මුදල් නෝට්ටු ගැන ...! සල්ලි වල වටිනකමට වැඩිය විෂබීජ ඔය කොළ වල ඉන්න පුළුවන් , ඒව පිරිසිදු කරන්න බැහැනේ , ඒත් අපිට පුළුවන් අපේ අත පිරිසිදු කරගන්නට ...


මේ ඔක්කොමත් එක්ක ඔබේ පෝෂණය , මානසික විවේකය , ව්‍යායාම වැනි දේ නිවැරදිව පවත්වා ගන්න ශාරිරික පවිත්‍රතාව ගැන වෙනදට වඩා සැළකිලිමත් වෙන්න , මොකද අපි වටේ බෙහෙත් වලටත් බය නැති විෂබීජ ගැවසෙනවා , මේ සියල්ල එක් වුනු තැන නිරෝගී පරපුරක් අපේ රටට හිමි වේවි .මොකද වැදගත්ම දේ ලෙඩ වුනාම හොඳම බෙහෙත ගන්නවාට වඩා , ලෙඩවෙන එකෙන් ගැලවිලා ඉන්න එක.


වැදගත්ම දේ අපිට පරිසරයේ ඉන්න විෂබීජ සියල්ල නැති කරන්න බැහැ , ඒත් ඒ අයගේන අපට වෙන්නට පුළුවන් අනතුරු වලින් ගැලවිලා ඉන්නට ක්‍රම තිබෙනවා , ඒ ටික දැන ගෙන ජීවත් වෙන්න


මේක ගත්තේ සොදුරු සුව අසපුව බ්ලොග් එකෙන්
හෙන ගේමක් දීල මේවා ටයිප් කරන එතුමාට අපේ උපහාරය !!!!
මෙන්න තැන ....http://nursinglanka.blogspot.com/
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි