අධ්යාපන_චාරිකා.....

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අධ්යාපන_චාරිකා.....

    .....අධ්යාපන චාරිකා.....​

    මම ජීවිත කාලය පුරා විවිද චාරිකා ගොස් ඇත්තෙමි.. කිරිඅම්මා සමග වන්දනා චාරිකා ගොස් බස් රතයේ පිටිපස්සේ ජනේලේ ලඟ වීදුරු ඇරගෙන ගිය මා අදාල විහාර ස්තානය අසලින් බස් රතයෙන් බැස්සේ සමාජයට මුහුණ දීමේ දැඩි අපහසුතාවයකිනි.. එයට හේතුව වූයේ මාගේ මුහුණ බුලත් කෙල ලීටර තුනක් පමණ යොදාගෙන කරන ලද සුවිශේෂී බතික් මෝස්තර රටා කීපයකින් ම විචිත්‍රවත් වී තිබීම නිසාය... මා පිටිපස්සේ සීට් එකේ ජනේලේ අසල සිටිමින් මගතොට සිරී නරඹමින් විනෝදයෙන් ගමන් කල අතර ඉස්සරහා සීට් වල සිටියේ සුපහන් නිවන් මග යාමට කුරුමානං අල්ලා සිටින කිරිඅම්මලා කිරි අත්තලාය.. ඔවුන් නිතරම ගමන් කරන්නේ එර්දියෙන් නිසා බස් රත වල ගමන් කිරීම ඔවුන්ට හුරු නැත.. එනිසා ගමේ පාරේ පයින් යන විට මෙන් සුපුරුදු නිදහස් ආරෙන් බුලත් කෙල ගැසීම මා මෙසේ කුට්ටනයට ලක් වීමට හේතුවක් විය.. හුණු සැරට ඇස් දැවී මා වේදනාවෙන් වැලපෙන විට විට එතනට පැමිනි සොපියා ආච්චී පැවසුවේ අනේ ලමයෝ ඕක ඔය තරං විලාප තියන්ඩ දෙයක්යැ අනික ඔය බුලත් කෙල ගහලා තියෙන්නේ පරුස වචන කියන මූසා කියන සම්පප්පලාප කියන කටවල් වලිං නෙවෙයි නොවැ අපි වගේ තුන් වරුවට ම පිරිත් කියාගෙන ඉන්න කටවල් වලින්නේ.. කියාය... මගේ පුන්චි කමට උනත් වන්දනා චාරිකාවේ වන්දනා යන නමට ගැලපෙන සේ මමත් බුලත් කෙල ගහපු අයගේ මාපියන් සිතින් වන්දනා කලෙමි... වන්දනා චාරිකාවේ ස්වබාවය එය වුවද විනෝද චාරිකා ඊට හාත්පසින්ම වෙනස්ය.. අපේ ගමේ සමිතියෙන් ගිය විනෝද චාරිකාවේදී චාරිකාව පුරා සිදු වූයේ විනෝද ජනක දේවල්මය... විනෝද චාරිකාවේ වඩාත්ම විනෝද ජනක ඉසවුව වූයේ ගුණපාල බාප්පා කරටි කැඩෙන්නට බීගෙන ගත්ත ආතල් එක වන අතර බස් එකෙන් බහින්නටත් බාප්පාට දෙදෙනෙකුගේ වාරුව අවශ්ය විය.. දෙදෙනෙකුගේ වාරුවෙන් බහින ගුණපාල බාප්පාගේ සරම කැඩී බිම වැටුන අතර එයට වඩා බාප්පාට ප්‍රශ්නයක් වූයේ පුන්චි අම්මා එයට ඊයා කීමය... උඹට ගෙදරදි ඊයා නෑ මෙහෙදි තමයි ඊයා.. කියා බාප්පා වෙරි මතේ කී කතාව නිසා පුංචිඅම්මාට චාරිකාව නිමවන තුරු බිම බලාගෙන ඉන්නට සිදු විය....
    ඒ චාරිකා දෙකට අමතරව මට තවත් අත්දැකීමක් චාරිකා සම්බන්දව ඇත .. ඒ නවගමුවේ උක්කුං මාමාගේ ලොකුදුව චාරිකා නංගී එක්ක මගේ තිබුන පලහිලවුවය.. මට හොරෙං චාරිකා නංගි තව කොල්ලෝ තුන් හතර දෙනෙකු සමගම චාරිකා යාමේ අතුරු ප්‍රතිපලයක් හැටියට ඇයට ඉක්මනින්ම විවාහය කරා චාරිකා කරන්නට සිදු වුයේ ඒ වන විටත් කුසේ උන් දරු සිඟිත්තා මෙලොව බලා චාරිකා කරන්නට තීරනය කිරීම නිසාය...

    මේ සියලු චාරිකා අබිබවන චාරිකා වර්ගය නම් අද්යාපන චාරිකාය... මේ චාරිකා වර්ගයට අද්යාපන චාරිකා කියන නම දමන්නට ඇත්තේ අපේ පන්තියේ අන්තිමයා වූ බුද්දිකයාට නම දැමූ එකාම විය යුතුය යන්න මගේ අදහසයි... එයට හේතුව වන්නේ එම චාරිකා වලින් අප ලද අද්යාපනයක් නොමැති වීමයි.. එහෙත් මගේ පංතියේ ගුරුතුමා කියන විදිහට නම් ඒ චාරිකා අපේ ජීවිත වලට මනා ඉගැන්වීමක් ලබා දෙන ඒවාය.. සෑම අද්යාපන චාරිකාවකම අවසානයේ බසයෙන් පොලෝ තලයට සම්ප්‍රාප්ත වන අවස්තාවේදී එතුමාගේ අණකිරීම වූයේ

    " හෙට ඉස්කෝලේ එනකොට මා ගිය අද්යාපන චාරිකාව කියන මාතෘකාවෙන් රචනාවක් හැමෝම ලියාගෙන එන්න ඕනෙ තේරුනාද.."

    පාසල් කාලය තුල මෙම දෙබස සෑම චාරිකාවක් අවසානයේදීම අපට ගුරුතුමාගෙන් අසන්නට ලැබුනත් කිසි දිනක අප විසින් එම රචනාව ලියා ගුරුතුමාට බාරදී නොමැත.. ඊයේ පෙරේදා දවසක එතුමාට දැඩි සේ අසනීප වී මරණාසන්නව සිටින බව ආරන්චි වී එතුමා බැලීමට රෝහලට ගිය විට වයිද්යවරයා පැවසුවේ එතුමාගේ ජීවිතය බේරාගැනීමට නම් එතුමාගේ එකම ප්‍රාර්තනාව වූ " මා ගිය අද්යාපන චාරිකාව " යන මාතෘකාව යටතේ රචනාවක් ලියාගෙන ආ යුතු බවයි... එතුමාගේ අසනීපය සුවපත් කරනු සඳහා පහත සඳහන් ආකාරයට රචනාව ලීවෙමි...

    .......මා ගිය විනෝද චාරිකාව....

    පසුගිය සතියේ සිකුරාදා දිනයේ මා සුපුරුදු ලෙස උදෙන්ම අවදි වූයේ අපේ නවය වසරේ අද්යාපන චාරිකාව එදිනට යෙදී තිබූ බැවිනි.. එම චාරිකාව කොලඹ නම් මැජික් ලෝකය වටා බැඳී ඇති බැවින් මගේ සතුට තවත් වැඩි දියුනු වී ඇත.. පාන්දරම නිවසේ වෙල දෙනියේ පහල ඇලට ගොස් මුහුන කට සෝදාගෙන ( මූණ සේදුවේ ටැප් එකෙන් උනත් රචනාව ලස්සන කිරීමට එසේ ලියා ඇත) පැමින මව විසින් මගේ ලමා විය සංවර්දනය වීම සඳහා සාදා දුන් පීඩියා ප්‍රෝ කෝප්පය බොන අතරේ මගේ විදග්ද බව නිසා චාරිකාව අතරමගදි යම් විපතක් වේදෝ හෝයි සිතු අම්මා සහ අප්පච්චී විසින් මා කිරි බොන එක අතර පුවක් මල් කිනිත්තෙන් පිරිත් පැන් ඉසින්නාක්මෙන් අවවාද දීම ඇරඹිනි...

    අම්මා .....
    පුතේ තෝ ග්‍රහලෝකාගාරේ පුටු උඩ නිදාගන්න එහෙම එපා තොට නින්දෙන් චූ යනව...

    අප්පච්චී ....
    ඔය සත්තු වත්තෙ කූඩු වල ඉන්න සත්තු එක්ක කෝනිත්තං කරනව එහෙම නෙවෙයි..

    ආච්චී...
    ඔය ගෝල්පීස් එකේ මූදට එහෙම බහිනවා නෙවෙයි උඹට මේ දවස් වල සෙනසුරු ඒරාස්ටකේ...

    අප්පච්චී....
    ඔය ජනෙල් වලින් එලියට ඔලුව දාගෙන බෙල්ල ගැලවුනා කියලා අඬාගෙන එහෙම මෙහෙ එන්න එපා...

    ආච්චී....
    අනේ පුතේ ඔය කැලණි විහාරේ ඉන්නවලු තවුතිසාවේ ඉඳං නයි වේසයෙන් ආව දිවියරාජයෝ.. ඒ උත්තමයෝ අදත් නයි වේසෙන් කැලනි බූමියේ ඉන්නවලු උඹලා ඔය කැට කබලිති වලින් ගහලා උන්නාන්සෙලාට තුවාල එහෙම කොරන්ඩ එපා මෙහෙදි නයින්ට කොරනවා වගේ..

    අම්මා...
    ඔය කවුතුකාගාරේ කඩු තියෙන හරියට එහෙම යන්ඩ එපා ඔවයේ තියෙන කඩු නැති වෙනව හිටි ගමන් .. තෝ අහු වෙයි ඕවටත් ඒගමන...

    අප්පච්ච්චී...
    ඔවු ඔවු ඔය කවුතුකාගාරේ ගෑනූ පිලිම තියෙන එවුවා අතපත ගාන්න යන්න එපා ..මතකනේ එක පාරක් උඹ සීගිරි ගිහින් අර අප්සරාවකගේ කුක්කු අතගාන්න ගිහින් බැනුම් ඇහුවා...

    අවසාන අවවාදය අප්පච්චීගේ මුවගින් පිටවෙනවාත් සමගම

    ඔවු ඉතිං අප්පගෙම පුතා නොවැ කියා අම්මා කී නිසා මට අවවාද දීම පසෙක තබා දෙමාපියන් අතර ගැටුමක් ආරම්බ විය .... දෙදෙනාගේ තරුණ කාලයේ හැසිරීම් පිලිබඳ වාර්තාවක් හරේන්ද්‍ර ජයලාල් ස්වර්ණවාහිනියෙන් කරන වාර්තා වලටත් වඩා මනරම්ව එම වලිය තුලින් ඉදිරිපත් වූ බැවින් එම වාර්තා අහම්බෙන් හෝ මට ශ්‍රවනය වීම නිසා තව දුරටත් මට අවවාද දීමට තරම් ශක්තියක් ඔවුනට නොවීය..

    මෙකී නොකී කලි කලහයන් සමගින් හැඳ පැලඳ ගෙන පොල් තෙල් පාරක් දෙකන්සෙන් පෙරෙන්න ගා රොදක්ද තබා චාරිකාවට සුදුසු ලෙස සැරසුන මා අප්පච්චී විසින් කොලඹ පාර අසබඩ පිරිසිදු නල ජලය සහ ජල විදුලිය අතලඟ ඇති මනරම් බූමි බාගයක නැවැත්වූ බස් රතයට මා ගොඩ කරන ලදී... බස් රතයේ ඉස්සරහා දොරෙන් නගින මගේ නෙත පිනන රුසිරු දසුන වූයේ ඩ්‍රයිවර අංකල්ගේ සීට් එක පිටුපස පෙට්ටි දෙකක අහුරා තිබූ ආනමාලු කෙහෙල් ගෙඩි සහ ක්‍රීම බනිස්ය.. එහෙත් එම සතුට මහදේ රැඳී තිබුයේ අසුරු සැනක් වැනි සුලු වෙලාවක් පමණි.. සෑම රිදී ඉරකම කලු වලාවක් ඇත යන කියමන සත්ය කරමින් මගේ සතුට පැහැරගත් දසුන තිබුනේ කෙහෙල් ගෙඩි සහ බනිස් තිබුන සීට් එකට පසුපස සීට් එකේය.. එම දසුන නම් අපේ ඉංග්‍රීසි මිස් ලඟින්ම විද්යා සර් වාඩි වී සිටීමයි.. රුසියාව ලොකු රටක් බව ටොලමි පවසා තිබූ බව බූගෝල සර් අපට ඉගැන්නුවද රුසියාවට වඩා ඊරිසියාව ලොකු බව මම පවසමි... අපි කොහොමත් විද්යා සර්ට කැමති නැත පොර හැන්ඩියා උනාට අපිට නං පේන්නට බැරිය එයට හේතුව අපට විද්යාව තේරෙන්නේ නැති වීමයි.. ආනති සහ කප්පි බොලොක්ක සහ කාච දුරවල් සර් උගන්නන විට අප ඒදෙස බලා ඉන්නේ කං ඇහෙන්නේ නැති එවුන් සන්ෆ්ලවර් මියුසිකල් ශෝ එකක් බලනවා වගේ හැඟීමකිනි.. අපිට කාච සූත්‍ර වියුත්පන්න කොරනවාට වඩා කාච වලින් කිරීමට වැදගත් දේ ඇත.. කාචය අවුවට අල්ලා කාගේ හෝ අතක් පයක් පුච්චා සර්ගෙන් ගුටි කෑම අපට කාච සූත්‍ර වලට වඩා පහසුය සරලය.. අපට විද්යාව බැරි නිසා අපි විද්යා සර්ට කැමති නැත.. අපට ගණන් බැරි නිසා අපි ගනන් සර්ට කැමති නැත.. අපේ ලොජික් එක ඒකය
    .
    ඒත් මට අදටත් විසඳාගත නොහැකි ගැටලුවක් ඇත.. මට විසඳාගත නොහැකි නිසා මම අංජනං බලන තැන් කීපයකටම ගිය නමුත් එයට හේතුව දැන ගැනීමට නොහැකි විය.. එම ගැටලුව නම් අපට අමාරු විශයන් උගන්නන සර්ලා අපට වහ කදුරු වාගේ වුවද යර්ස් නෝ දෙකේ තෙරුම වත් නොදන්නා හෑන්ඩ්ස් අප් කීවාම පහසුවෙන් හිටගන්නා ගුඩ් මෝනිං කීවාම අත් දෙක ඉහලට ඔසවන මෙලෝ ඉංගිරිසියක් බැරි අපිට ඉංග්‍රීසි මිස්ව අපිට එපා වෙන්නේ නැත්තේ ඇයි යන්නය...අපේ ඉංග්‍රීසි මිස්ව නොදුටු ඇස් වලින් පලක් නැත අපට අවුරුදු දහයක් පමණ වයසින් වැඩිමල් ඉංග්‍රීසි මිස්ගෙන් ගුටියක් කෑමද දෙවුලොව සැපතක් බඳුව අපට දැනුනි..
    කොහොම උනත් මම , පුංචි නංගි බුලත් අතක් දී දීගෙක ගිය දවසේ සුනිල් එදිරිසිංහ සිටියාක්මෙන් නෙතේ කඳුලු සිර කරගෙන ඉවසාගෙන මිතුරන් සොයා බස් රතයේ පිටුපසට ගමන් කල අතර මට මෙන් ඔවුන්ටද කඳුල විද්යා සර් බවත් කදුල විද්යා සර් බවත්.. හසරැල්ල විද්යා සර් බවත් ඔවුහු මට පැවසූහ.. කිසිවකු රිදවා හිනැහෙනු බැහෑ අපට කියා හිත හදාගත් අපි එතැන් සිට අපේ ගීත වාදන ගායන කවුශල්යය මොනවට විදහා පාමින් බස් රතය තුල එකම රස ගුලාවක් කල අතර වරින් වර කුණුහරප ගීත ගායනය අපේ ප්‍රදානත්වයෙන් සිදු වූ අතර සර් පැමින " මොකුන්ද ඔය කුනුහරප සිංදු කියන එවුන්" කියා ගෝරනාඩු කලද පංති නායකයා ඇතුලු වාර විබාගයෙන් පලවෙනියාගේ සිට දහවැනියා දක්වා පරාසයක විහිදෙන චීත්ත සෙට් එක සර්ට කිට්ටුවෙන් ඉස්සරහ සීට් වල ඉඳගෙන හොඳ ලමයි සේ නොසෙල්වී ඉදිරිය බලා ගමන් කල බැවින් වෙනදා මෙන් "සර් මේ මෙයා තමයි කුනුහරප සිංදු කීවෙ" කියා පාවා දෙන්නට කෙනෙක් පිටුපස අප සිටි හරියේ නොසිටි බැවින් සර්ට සිදු වූයේ ආපසු යන්නටය.. කෙසේ හෝ මග ගෙවා දමා අප පලමුවෙන්ම පැමිනියේ ග්‍රහලෝකාගාරයටය... ග්‍රහ ලෝක වලට පවා වදයක් වී සිටි අපේ මදාවි සෙට් එක ග්‍රහලෝකාගාරයට වදයක් නොවුනේ නම් එය අපේ කීර්ති නාමයට කැලලක් වූ බැවින් අප විසින් ඒ සඳහාද යමක් කල යුතු බව කලින් කීප වතාවක්ම ග්‍රහලෝකාගාරය නරඹා අත්දැකීම් ඇති අපේ මදාවියෙක් පැවසීය... ග්‍රහලෝකාගාරය තුලදී අන්දබූත කලුවරේ අපට ග්‍රහලෝක ගැන මෙන්ම ඉර පායන හැටි ඉර බහින හැටි මෙන්ම වර්ශාව ඇති වන හැටි පවා පෙන්වන ලද අතර වර්ශාව වසින ආකාරය පෙන්වන අවස්තාවේදී නරඹන්නන් සිසාරා ඉහිං කනින් යනසේ වැදුන වතුර පාරවල් ග්‍රහලොකාගාරයෙන් වරුසාව පෙන්වීමට ගසන ලද ඒවා නොව අපේ ප්‍රවීන මදාවියාගේ අනුදැනුම ඇතිව වතුර බෝතලේ කෝප්ප වලට පුරවාගත් වතුර මගින් ඇති කල අසමජ්ජාති වරුසාවක් බව අද වන තුරුත් අපේ සමහර එවුන් දන්නේ නැත... ග්‍රහ ලෝක නැරඹීමෙන් අනතුරුව අප ගියේ දෙහිවල සත්තු වත්තටයි... අප සත්තු වත්ත නැරඹීමට යාම අපට මෙන්ම සතුන්ටද අලුත් අත්දැකීමක් බව අපට පෙනුනි.. ගොඩයන්ට මැජික් කීවා වගේ පංතියේ පලවෙනියාගේ සිට දහවෙනියා දක්වා සිසුන් ගෙදරින් එන විට රැගෙන ආ පිටු හතලිහේ ඇක්සසයිස් පොතේ අංක දමා පිලිවෙලට සතුන්ගේ විස්තර කූඩු වල තිබෙන බෝඩ් වලින් බලමින් සටහන් කරගන්නවා අප දුටුවෙමු.. දහවැනියාගේ සිට විසිවෙනියා දක්වා සෙට් එක සිංහයන්ට කොටියන්ට ඇද කරමින් කුරුල්ලන්ට උංගේ හඬින්ම පිලිතුරු දෙමින් ගිය අතර විසිවෙනියාගේ සිට අන්තිමයා දක්වා මදාවි මැටි මෝල් කඩප්පුලි හැත්ත වන අපට සතුන් බැලීමට වඩා වැදගත් රජකාරිය වූයේ පැය දෙකකින් ආපහු ගේට්ටුව ලඟට එන්නට යැයි කියා විද්යා සර් සහ මිස් අතුරුදහන් වූයේ කොහේද කියා සෙවීමය... ලමුන් ආරක්ශා කිරීම සඳහා පැමිනි කඩවසම් අවිවාහක සර් සමග සීනි බෝලයක් වගේ ලස්සන අවුරුදු විසි දෙක තුනක ඉංග්‍රීසි මිස් තනිපංගලමේ යැවීම අප වැනි සුකීකරු සුපේශල කාමී සිසුන්ට තරම් නොවන බැවින් නිතරම ඒ යුවලට කිඹුලා උදැල්ලක් දමමින් ඔවුන්ට පෙනෙන තෙක්මානයේ ගැවසීම අප විසින් සිදු විය.. කවුතුකාගාරය නැරඹීමෙන් පසුව අප යොමු වූයේ අපගේ අද්යාපන චාරිකාවේ මෙතෙක් අප පුල පුලා බලා සිටි ස්තානය වන ගෝල් පේස් පිටියටයි...සර්ලා සහ පන්තියේ පලවෙනි සහ දහවෙනි අතර පරාසයේ සෙට් එක මුහුදේ ක්ෂිතිජය ගැන සහ ක්ෂිතිජ ඉමෙන් මතු වන නැවේ කුඹ ගස නැවට කලින් පෙනෙන්නේ ලෝකය ගෝලාකාර නිසා බව කතා කරමින් සිටි අතර මදාවි අපේ රාජකාරිය වූයේ බංකු වල සිටින ජෝඩු වල හැසිරීම් රටා නිරීක්ශනය කිරීමය.. අපි ඔවුන් දෙස බලමින් සිටින අතර එතනට පැමිනි සර් පැවසුවේ ඔන්න පේනවා නේද මුං ගෙවල් වලින් ඇවිත් මෙහේ ජෝඩු දාගෙන මගුල් නටනවා.. ඔය ලමයි එහෙම ඔහොම වෙන්න එපා හොඳට ඉගෙනගන්න .. එතකොට ඔහොම මගුල් නටනටා ඉන්න වෙන්නේ නෑ කැම්පස් ගිහින් රටට වැඩ ඇති පුද්ගලයන් වෙන්න පුලුවන්...

    සර් එදා ඒ කී වදන් අදටත් අප මේ විඳින මූසල ජීවිතයට වග කිව යුතුය... සර්ගේ උපදේශය අනුව අපගේ නිගමනය වූයේ..

    1... ඉගෙනගෙන කැම්පස් ගියොත් මෙවුවා කල නොහැකිය..

    2.... ඉගෙනගත්තේ නැත්නම් මේ වාගේ මගුල් නටා සතුටින් සිටිය හැක..

    3... අපට අවශ්ය වන්නේ මෙසේ සතුටින් සිටීමටය..

    4... එම නිසා අප ඉගෙනගැනීම නොකල යුතුය..

    එදා මෙම සිද්දිය සිදු වූයේ නැත්නම් අපි කැම්පස් යන එක නවත්තන්නට පුලුවන් ජගතෙක් මෙ තුන් ලොව හෝ දෙදෙවු ලොව නැත..
    ගෝල්පේස් එකේ සිට කැලනිය පන්සල දක්වා එන ගමනේදී එතරම් විශේශ සිද්දි නොවුනද කැලණිය පංසලේදී අප උපන් දා සිට කරපු පවු නැති වීම කෙසේවෙතත් මෙතෙක් අතේ ඉතුරු වී තිබු සල්ලි ටික නම් ඉවර වීම අති විශේශ සිද්දියකි.. ආච්චී කී ලෙසට නාග වෙසින් සිටින දිවිය රාජයෝ කෙසේවෙතත් වෙලෙන්දන් වෙසින් සිටි යක්ශයන් විසින් එම සිද්දිය අපූරුවට කරන ලදී.. නිතරම අතේ සත පහක් නැති අපට පර්ස් විකිනීමද මෙලවක රහක් නැති පච්ච වඩම් ප්ලාස්ටික් මල් පොකුරු ඉතා ඉහල මිලකට අපට ලබාදීමද ඔවුන් විසින් ඉටු කරන ලද සේවාවන්ය... අපේ සමහර එවුන්ට කැලනියේ පංසලේ සිට ගෙදර යන තෙක් කිසිම දෙයක් සියැසින් දැකගැනීමට නොහැකි වූයේ සවස හතට පමණ මිලදීගත් අවු කණ්න්නාඩි කුට්ටම ගමනාන්තය තෙක්ම පැලඳගෙන සිටීම නිසාය... ඔක්කොටම වඩා කරදරය වූයේ තිත්තපජ්ජල සුරඹා ගුරුන්නාන්න්සේගේ ඔරිජිනල් ගැට බෙරේටත් වඩා ඉහල මිලක් ගෙවා බල් බල් නාදය එන පොඩි ඩොල්කි කෑලි මිලදී ගත් එවුන්ගෙන්ය.. කැලනියේ සිට ගේ ලඟින් බහින තුරුම මෙලෝ තාලයක නැති වාදන වලට සවන්දීමට සිදු වීම එහි අතුරු ප්‍රතිපලයකි... උදේ කී තරම් සින්දු හවස ආපසු එන විට ඇහුනේ නැති වීමට හේතුව සමහර එවුන් කැලනියෙන් අරගත් සුපිරිම ප්‍රමිතියෙන් යුතු දොදොල් පට්ටා සහ මස්කට් පට්ටා කෑම නිසා ඔවුන්ගේ කටවල් වල දිව සහ උඩු තල්ල එකට ඇලී තිබීමය...ආපසු එන ගමනේදී වරින් වර අපේ මිතුරන්ගේ උදරයේ සිදුවූ කැලඹිලි තත්ව හොර රහසේ වා තලයට මුදා හැරීම හේතු කොට ගෙන ගමනේ මිහිරට යම් යම් බාදා ඇති වුනද එය කරපු එකාගේ මූලිකත්වයෙන් ආනා රූනා රූං කටුස්සා කියා ගනන් කර වෙන එකෙක් ඒ වරදට හසු කිරීම මගින් එය සමතයකට පත් වීම සිදු විය...

    රාත්‍රී නවය පමණ වන විට නිවසට ලඟාවූ මා එදින රත්‍රියේ නින්දට ගියේද මා ගිය විනෝද චාරිකාව පිලිබඳ ඇතිවූ සතුටිනි..
    විනෝද චාරිකාවට අය කරගත් මුදලින් ඉතිරි වූ මුදල් ලෙස අපට රුපියල් පහ බැගින් සෑම සිසුවෙකුටම ලබාදීම සතියකින් පමණ පංති බාර සර් අතින් සිදු වුවද එම රුපියල් පහ ලැබුන බව නිවසට දැනුම් දීම එකෙකු අතින් හෝ මේ දක්වා සිදු නොවූ බවද මෙහිලා අවසාන වශයෙන් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.....

    මෙම රචනාව ලියා ගෙනගොස් සර්ට දී දින දෙකක් පමණ යන විට සර්ට සම්පූරන සුවය ලැබුන අතර එය කියවීමෙන් පසුව එතුමා මැහිතෙල් පානය කර කනේරු ඇට කා ගෙල වැලලාගෙන මියගිය බව මට ආරංචි විය....

    ධනුෂ්කා කාංචන ජයවීර........