කේළාම් බස් කියූ භික්ෂුව පසු දින අවදිව බලන්නේ තමන්ගේ අභිමතාර්ථය ඉටු වූ බව දැන සතුටින්ම ගමට පිඬු පිණිස වැඩියහ.
ගමේ මිනිස්සු තනිව වඩින ඔහු දැක අනෙක් දෙනම වහන්සේලා ගැන විමසූහ. පින්වත්නි, පෙර දින රාත්‍රියෙහි ඔවුහු දබර ඇත්තෝ වූහ. ස්වාමිනි, දබර නො කරන්න. සමඟි වන්න. දබරය විනාශකාරීය. මතු භවයෙහි පවා විපාක දෙන්නක් ය. දුක් උපදවන්නේ ය. පෙර දබර කළෝ ද විනාශයට පත්වූහ යැයි ආදී වශයෙන් ම විසින් අවවාද කළේ මුත් එයද නො අසා පන්සලෙන් පිටත්ව කොහේ ගියාදැයි නො දනිමි’ යි කේළම් කියා බිඳ වූ භික්ෂුව කීහ. ඒ ඇසූ උපාසක ගම් ඇත්තෝ කියන්නෝ ඒ එසේ වෙත්වා, දබරකාරී භික්ෂූන් කැමැති තැනකට ගියේවා! ඔබ වහන්සේ අපට අනුකම්පා පිණිස මෙහි වැඩ වසත්වා! ආවාසය හැර නො යන්නයයි අයැද සිටියහ. හෙතෙම උපාසකයන්ගේ බස් පිළිගෙන ආවාසයෙහි වැඩ සිටින්නේ නොබෝ දිනකින්ම මෙසේ සිත් වීය. සිල්වත් වූ යහපත් පැවතුම් ඇති ඒ භික්ෂූන් දෙනම වහන්සේ ආවාසයත් පිණ්ඩපාතයත් පිළිබඳ ලෝභයෙන් ම විසින් කේළාම් බස් කියා බිඳවාපු ලූහ. ම විසින් කරන ලද්දේ ලාමක (පහත්) පාප කර්මයකි. මෙසේ සිත තුළ නිතර ඇති වූ මහත් විපිළිසර භාවය නිසා ශෝක ඇත්තෝ ගිලන් වූයේ කෙටි කාලයකින්ම කලුරිය කොට අවිචිමහ නරකයෙහි උපන්නේ ය. (මෙහි උපන් සත්ත්වයෝ බුර බුරා නගින ගිනිදැල්වලින් තද දුකින් අතරක් නැතිව පැසෙන්නේ ය. දිගින් පළලින්, උසින් සියක් සියක් යොදුන් පමණ වෙති. එහි එක් බිත්තියෙක් නව යොදුන් පමණ ඝනය. පොළොව සහ පියන ද එපමණ ඝනය. පිහිටීම් වශයෙන් සතරැස් ය. ගිනි දල්වන්නෝ ද මෙහි උපන් නිරි සතුන්මය. මිනිසුන්ගේ ආයු කාලය, දවසින් පටන් ගෙන පිළිවෙළින් නැගී ගොස්, අසංඛෙය්‍ය පැමිණ නැවත අසංඛ්‍යෙයෙහි සිට, පිරිහෙමින් අවුත් දස වසකට වැටේ. මේ දෙඅතර කාලය අන්තඞකල්පයකි.
අවීචිමහ නරකයෙහි ආයු කාලය මෙවන් එක් අන්තඞකල්පයෙකි. මවුපියන් රහතන් වහන්සේ ගේ දිවි තොරකරන්නෝ, බුදුන්වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙන් ලේ සොලවූවෝ’ කේළාම් කියා සංඝ භේද කරන්නෝ, ආරාම, දාගැබ්, මහබෝ, පෙතිපිළිම ඈ නසන්නෝ මිථ්‍යාදෘෂ්ටි ගත්තෝ මේ අවීචිමහ නරකයෙහි උපදිති. දෙව්දත් තෙරුන් ද පාපකාරයකු වී දැන් තැවෙන්නේ මෙහි ය.
(අපාය විස්තර ධම්මපද අට්ඨකථාඞ යමක වග්ගය 17 ගාථාව ඇසුරෙනි)
අනෙක් තෙරුන් වහන්සේ දෙනම ජනපදයන් හි සැරිසරා යන්නේ එක් ආරාමයකදී කලෙකට පසු හමු වූහ. ඔවුනොවුන් සතුටු කතා ඇත්තේ ඒ කේළාම් කී භේදකාරී භික්ෂුව විසින් කීවා යැයි සඳහන් වූ අන්‍යොන්‍ය බස් පිළිබඳව ද විමසීම් කළහ. ඒවා හිස් බොරු බව දැනගෙන සමඟිව නැවැත පළමු ආරාමයටම වැඩම වූහ. උපාසකයෝ ඒ තෙරුන් වහන්සේ නැවැත චච්;මන් මහත් සතුටට පත්වූයේ සිව්පසයෙන් උපස්ථාන කළහ. තෙරුන් වහන්සේ ද පහසුවෙන් සිව්පසය ලැබීම නිසා සිත් එකඟ කොට ගෙන (මහත් සේ උපකාරයක් සේ සලකා) විදසුන් වඩා නොපමාව රහතන් වහන්සේ අතර තවත් රහතන් වහන්සේ දෙනමක් බවට පත්ව දක්ෂිණාවට ද සුදුස්සෝ වූහ. කේළාම් කී භික්ෂුව එක් බුද්ධාන්තරයක්ම අවිචිමහ නිරයෙහි පැසී අප බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි රජගහ නුවරට නුදුරින් මෙසේ ප්‍රේතයෙක්ව පණුවන් කන කුණු වූ ගඳින් යුත් කටක් ඇතිව උපන්හ. එහෙත් භික්ෂුත්වයෙන් බඹසර රැක්ක නිසා රන්වන් සිරුරක් ඇති විය. මේ දේශනය රැස්ව සිටි බොහෝ පිරිස්හට මහත්ඵල දායක විය.
(පෙතවත්ථු පාලි 1 – 3 “පූතිමුඛ ප්‍රේත වස්තුව“)