මා අනුස්සවේන’ – ආරංචි මාර්ගයෙන් කටකතා මාර්ගයෙන්, එනම් තමන් දැකලත් නැහැ, අහලත් නැහැ, තමන්ට කියූ පුද්ගලයා දැකලත් නැහැ, අත්විඳලත් නැහැ, අත්දැකීමකුත් නැහැ. එනම් ‘ලූ’ ප්‍රත්‍යයෙන් යුක්තව කිව්ව ලු, මෙහෙම වුණා ලු, ගියා ලු,..... යනුවෙන් තව කෙනෙක් අසා තවත් කෙනෙකුට කියපු ආරංචි පිළිගන්නට එපා යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.
‘මා පරම්පරාය’ – පරම්පරාවෙන් ආවා කියා ගන්නත් එපා. දැන් සමහර අය ඉන්නවා නුවණ තියෙනවා. බුද්ධිමත්ව කල්පනා කරන්න පුළුවන්. ඒ අය දන්නවා පරම්පරාව කරගෙන ආ ක්‍රමය වැරදියි කියා. නමුත් අත්හරින්නේ නැහැ. ඇහුවොත් කියන්නේ පරම්පරාවෙන් ආ නිසාය කියා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පරම්පරාවෙන් ආ නිසා පිළිගන්නත් එපා කියාය.
‘මා ඉතිකිරාය’ - මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න ඇති කියා උප කල්පනය කරනවා. මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න ඇතියි කියා මේ අය කල්පනා කර යම් කිසි කරුණක් කියනවා.
මා පිටකසම්පදානේන’ - පොත්පත්වල මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඒ පොතේ හැටියට නම් මේක හරි හෝ වැරදි හෝ කියා පිළිගන්නට උත්සාහ කරන්න එපා.
‘මා තක්ක හේතු’ – තර්කයට එකඟයි කියා පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට එපා.
‘මා නය හේතු’ – න්‍යායට අනුව බැලූ පසු මේ දේ මේ ආකාරයට ගලපා ගන්න පුළුවන් කියා හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියා ගන්න එපා.
‘මා ආකාරපරිවිතක්කේන’ – අප යම් කිසි දෘෂ්ටියක බැසගෙන එම දෘෂ්ටියට මෙය ගැළපෙනවා කියා ගන්නට එපා.
‘මා දිට්ඨිජ්ඣානක්ඛන්තියා’ - සොයන්නේ බලන්නේ නැතිව දෘෂ්ටියට එකඟයි කියන මතවාදයට බැසගෙන තීරණ ගන්න එපා.
‘මා භබ්බරූපතාය’ - ගෞරවයක් තිබෙන නිසා, ගෞරවයෙන් පිළිගන්න ඕන කියන භක්තියෙන් පිළිගන්නත් හොඳ නැහැ.
‘මා සමණෝ නො ගරූති’ – අපගේ ශාස්තෘවරයා, ගුරුවරයා කියූ නිසා පිළිගන්න එපා කියා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ.
තථාගත බුදුරජාණන් වහන්සේ වීමංසනය නැතිනම් පරීක්ෂා කිරීමේ ස්වභාවය තථාගතයන් වහන්සේගේ දේශනාවේ උදාහරණයක් ලෙස, දක්ෂ රන්කරුවෙක්ට බිම වැටී පොළොවට යට වී තිබූ රන් කැබැල්ලක් හමුවෙනවා. මෙම රන්කරුවා එය දුටු පමණින් රන් කියා භාරගන්නේ නැහැ. එම රන් කැබැල්ල තලා, පුච්චා, කපලා මෙහි නිවැරදි තත්ත්වය පරීක්ෂා කර බලා අවසන මෙය රත්තරං ද? නැද්ද? කියා තීරණයකට පැමිණෙනවා. එලෙසින් තථාගත බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා යමක් මතුපිටින් දැක්ක පමණින් තමන් පූර්ව නිගමනයකට නොපැමිණ, ගවේෂණය කර, ප්‍රශ්න කර, සාකච්ඡා කර නිගමනයකට පැමිණිය යුතුයි කියා