6.මෙරට බහුතර දේශපාලුවන් යන තාප නරකය
තාප නරකයෙහි උපන් සත්ත්වයෝ තමන් කළ කර්මානුරූප ව රත් වීමෙන් රත් පැහැ ගැන්වුණු තියුණු යකඩ උල්වලින් සිරුර පසා කරගෙන යන ලෙස විදිනු ලබන කල්හි තද වේදනාවෙන් පෙළී නිසොල්මන් ව සිටිති. ඔවුන් කළ පාප කර්මය ගෙවී අවසන් වන තෙක් ම ඔවුහු මේ නරකයෙහි දුක් විඳිති. ගිනි ගත් අයෝමය දණ්ඩෙන් සිරුරු විදිනා කල්හි එයින් බොහෝ කලක්, තැවිතැවී දුක් විඳිනා හෙයින් මේ නරකය තාපන හෙවත් චුල්ල තාපන නරකය නමින් හැඳින්වේ.
අදමිටු අයුරින් සතර අගතියෙන් බැඳී රට-රාජ්‍යයන්, ප්‍රදේශයන් පාලනය කළ රාජ-රාජ-මහාමාත්‍යවරු ද, ඔවුන්ගේ පුරෝහිතයෝ ද, වංක ලෙස කටයුතු කළ රජයේ නිලධාරීහු ද, නිසි ලෙස සේවය නොකොට අයථා පරිදි රාජ්‍ය දේපළ සූරා කෑවෝ ද, රාජ්‍ය සේවය නිසි පරිදි ඉටු නොකොට අයුතු ලෙස ධන සම්පත් ගසා කෑ නිලධාරීහු ද මේ බිහිසුණු නරකාදියට වැටෙන්නෝ ය. රජයට ධනය ලැබෙන්නේ පහළ මට්ටමේ දිළින්දාගේ පටන් මහා ධන කුවේරයන් දක්වා වූ සකලවිධ ජනතාවගෙන් ලබාගන්නා අය බදුවලිනි. යමකු බදු වංචා කරන්නේ නම් රජුට රට වෙනුවෙන් කළ යුතු සේවය නොකළ හැකි වන්නෝ ය. බදු වංචා කරන්නන් මෙන් ම, තමා ගන්නා වේතනයට සරිලන අයුරින් සේවය නොකොට ගතමනාව ලබාගන්නෝ ද රටට ණයකාරයෝ වන්නෝ ය. මේ වංචනික ක්‍රියාවන්ගේ අකුසල පක්ෂය විසින් ඔවුහු තාපය නම් අපායට හෙළනු ලබති.
මිනිස් හට එක්දහස් හයසියයක් අවුරුදු පරනිම්මිත වසවත්තියෙහි වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු දහසය දහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සොළොස් දහස තාපන නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් දහසය දහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ නවසිය විසිඑක් කෝටි හැට ලක්ෂයක් මේ නිරයට එක් දවසකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු දහසය දහසක් තාප නරකයට ආයුෂ වන්නේ ය.
Even hitler doesn't deserve that...



