අපි නොදත් චාලි චැප්ලින්

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    අපි නොදත් චාලි චැප්ලින්

    නිහඩ චිත්‍රපට ලෝකයේ විකට රජා ලෙස ලෝක චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර නමක් රැන්දූ චාලි ස්පෙන්සර් චැප්ලින් අන්‍යයන් හිනැස්සීමට උපන් හපන්කම් දැක්වූ විකට නළුවෙක් මෙන්ම අභිරූපන ශිල්පියෙක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඒ ඔහු ලොව ප්‍රසිද්ධ වූ ආකාරයයි.

    නමුත් ලොවෙන් වහන් වූ ඔහුගේ ජිවන චරිතය ආශ්‍රිතව අපූරු කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නයි මේ ලිපියෙන් අපි සුදානම් වෙන්නේ. චාලි චැප්ලින් පිළිබඳව තවත් අපූරු විස්තර ඔබත් දන්නවානම් comment එකකින් ඒ බව සටහන් කර යන්නත් ඔබට පුළුවන්.

    කුසගින්නෙන් හෙම්බත් වූ වීදි දරුවා
    01-4-760x507.jpg

    ළමා වියේදී (Chaplin: A Life)

    1889 අප්‍රේල් 18 වනදා එංගලන්තයේ ලන්ඩන් නුවර ඉතාමත් දිළිදු පවුලක දෙවැන්නා ලෙස චැප්ලින් උපත ලබනවා. තරුණ වියේදී මත්පැනට හුරුවූ ඔහුගේ පියා විසින් කුඩා චැප්ලින්ව, ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන සිඩ්නිව සහ ඔහුගේ මව වන හැනා යන තිදෙනාම හැරදා යනවා.

    කුඩා ප්‍රමාණයේ නාට්‍ය ශාලාවක ගීත ගයමින් වරින් වර ඔත්පල වෙන හැනා විසින් ලබා ගන්නා කුඩා මුදල ඔවුන්ට ජීවත් වීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. අඩුම තරමින් ගෙවල් කුලිය පවා ගෙවා ගැනීමට නොහැකිවූ අවස්ථාවන් වලදී කුඩා චාලිට මහපාරේ හා විවිධ වර්ගයේ අනාථ නිවාස වල කාලය ගත කරන්නට සිදු වෙනවා. වරෙක ඔහු තමන්ගේ මව සමඟ නාට්‍ය ශාලාව මුර කරන කුඩා දොරටුපාලකයෙක් ලෙස කටයුතු කරනවා. තවත් වරෙක ඔහුගේ මව ගීත ගායනය හැරදමා වැඩ බිමක සේවය සඳහා බැඳෙන විට වැඩ බිමේ අනාථ නිවාසයේ සිටි චැප්ලින්ට කම්කරුවෙක් වීමට පුරුදු පුහුණු වන්නට සිදුවෙනවා.

    අහම්බෙන් නළුවෙක් වූ හැටි

    02-1.png

    තරුණ චාලි චැප්ලින් (Modern Notion)

    චාලිගේ මව හැනා ජීවිත කාලය පුරාම ස්වරාලයේ ආසාත්මිකතාවයකින් පෙළෙනවා. වරෙක ඇය නාට්‍ය ශාලාවේ ගී ගයන විට එක් වරම ඇගේ කටහඩ නිකුත් වීම නවතිනවා. මින් කෝපයට පත් වන ප්‍රේක්ෂකයන්ගේ කුණු තක්කාලි ප්‍රහාර වැළක්වීම සඳහා පස් වියැති කුඩා චැප්ලින් වේදිකාවට නැඟ මවට සිදු වූ අකරතැබ්බය අනුකරණය කරමින් එය අභිරූපනයෙන් නිරූපනය කරනවා.

    මෙය හුදෙක්ම ඒ අවස්ථාවේ ඔහුට සිතුණු දෙයක් මිස කලින් සැලසුම් කළ දෙයක් නොවුනි. නමුත් කුඩා දරුවාගේ මේ හාස්‍ය උපදවන රඟපෑමට ප්‍රේක්ෂකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා. මෙසේ ආරම්භ කරන ඔහුගේ රංගන ගමන නවතින්නේ ඔස්කාර් සම්මානලාභී කෝටිපති නළුවෙක් වීමෙන් පසුවයි.

    වාමාංශිකයෙක් ලෙස හංවඩු ගැසීම

    03-4-760x399.jpg

    The Great Dictator චිත්‍රපටයේ ජවනිකාවක් (Vulture)

    දෙවන ලෝක යුද්ධ සමයේ තිර ගත වූ The Great Dictator නම් ඔහුගේ චිත්‍රපටයේ හරය වුයේ සමාජවාදී රුසියාවට ආධාර පිණිස දෙවන පෙරමුණක් යුරෝපයේ නිර්මාණය කිරීමයි. ඒත් සමඟම එවකට වාමාංශික අදහස් දැරීම විවේචනයට හේතුවක් බව පසක් කරමින් නොයෙකුත් දේශපාලකයන් හා මාධ්‍ය විසින් මොහුට විරුද්ධව මඩ ප්‍රචාරයන් ආරම්භ කරනු ලබනවා. තවත් සමාජ පෙරළියක් ඇති කරන්නට සමත් වූ චිත්‍රපටයක් වන Monsieur Verdous (1947) තුළින් සමකාලීන සමාජය දෙස නව්‍ය දෘෂ්ටියකින් බැලූ හෙයින් එම චිත්‍රපටයටත් විරුද්ධව වාරණයක් පැනවීමට ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියා කරනවා.

    දෙවන ලෝක යුද්ධ සමයේ මිත්‍ර පාර්ශවය දැඩි අසීරුතාවයට පත්ව සිටින අවස්ථාවක චැප්ලින් විසින් ඇමරිකාවද ඊට මැදිහත් විය යුතුයි යන්න අනුමත කරමින් ඇමරිකානු දේශපාලන බලධාරීන් ඉදිරිපිට රුසියානු නියෝජිතයෙක් ලෙස නිර්භීතව කතාවක් පවත්වනවා.

    ඔහුගේ කතාවේ හරය වූයේ නාසිවාදයට එරෙහිව මනුෂ්‍යත්වයේ නාමයෙන් ඊට ඇමරිකාව මැදිහත් විය යුතු බවයි. ඇමරිකාව තුළ රුසියා විරෝධත්වයක් පැවතුණු මේ මොහොතේ එය උපයෝගී කරගෙන දේශපාලකයන් හා මාධ්‍ය විසින් මොහුව නිර්ධය ලෙස විවේචනය කරනවා.

    විවේචන කොතරම් දරුණුද පවසනවානම් 1952 දී චැප්ලින් ඇමරිකාවෙන් පිට වී ස්විස්ටර්ලන්තයේ පදිංචිය සදහා පිටත්ව යනවා.

    විවාහ හතරක්

    04-4-760x428.jpg

    Modern Times චිත්‍රපටයේ ජවනිකාවක් (Mubi)

    විකට නළුවෙක් ලෙස The kid (1921 ), A Women of Paris (1923), The Gold Rush (1925), He Circus වැනි සමාජ ඛේදවාචක හරහා ගොඩනැගුනු හාස්‍යජනක චිත්‍රපට තුළින් ඉමහත් ප්‍රසිද්ධියක් ලබන චැප්ලින් ප්‍රේක්ෂකාගාරයෙන් ඔබ්බට සිතීම උදෙසා නිර්මාණය කළ City Lights හා Modern Times වැනි චිත්‍රපට අදත් ලෝක මට්ටමෙන් සංවාදයට බදුන් වන නිර්මාණ ලෙස හදුන්වන්න පුළුවන්.

    චිත්‍රපට නිර්මාණයෙන් හෙම්බත් වන ඔහු තම ලිංගික ආශාවන් සන්තර්පණය කර ගන්නට අමතක කරන්නෙත් නෑ. “මම වැඩ කරලා වැඩ කරලා එපා වුනාම ඒ පැත්තට යොමු වෙනවා” ලෙස ඔහු ඒ පිළිබඳව සදහන් කරනවා.

    කොතරම් වයසට පත් වූවත් තරුණ ගැහැණු ළමුන් හොයාගෙන යෑම ඔහුගේ පුරුද්දක්. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මිය යන්නට ප්‍රථම විවාහ හතරක් සිදු කරගන්නවා. තවත් වරෙක ඔහු ලොව අට වැනි පුදුමය ලෙස තමා විසින් තමන්වම නම් කරගනු ලබනවා

    බිරියට සියදිවි නසා ගන්නා ලෙස බල කළ චැප්ලින්

    05-4.jpg

    හතරවන බිරිද ඌනා ඕනිල් සමඟ (Pinterest)

    ඔහුගේ පළමු පෙම්වතිය වුයේ 14 හැවිරිදි මිල්ඩ්රඩ් හැරිස්ය. චිත්‍රපට නිළියක් වන්නට අවස්ථාව ලබා දෙන බවට ඇයට පොරොන්දු දුන් චැප්ලින් පසුව ගැබ් ගත් මිල්ඩ්රඩ් 1918 දී විවාහ කර ගන්නේ ඇයගේ මවගේ දැඩි පෙරැත්ත කිරීම හේතුවෙන්. කසාදයෙන් පසු අංගවිකල දරුවෙක් බිහි වූ අතර දරුවා මරණයට පත් විමත් සමඟම විවාහයද කෙළවර වෙනවා.

    පසුව ඔහු පෙමින් වෙළෙන්නේ ලීටා ග්‍රේ නැමති 12 හැවිරිදි දැරියක් සමඟයි. වයස අවුරුදු 16දි ගැබ් ගන්නා ඇයව විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කරන චැප්ලින් ගබ්සාවක් හෝ වෙනත් අයෙකු විවාහ කරගන්නා ලෙස පවුම් 20,000 ක් ලබා දුන්නත් ලීටා විසින් එය ප්‍රතික්ෂේප කර ඔහුව විවාහයට පොළඹවාගනු ලබනවා. ඇයගේ තර්ජන හමුවේ චැප්ලින් විවාහ කර ගත්තත් විවාහ වී එන අතරමගදී දුම්රියට පැන සියදිවි නසා ගන්නා ලෙස බල කළ බව ඇය විසින් රචිත කෘතියක සදහන් කරනවා. තවත් වසර දෙකකට පසු පිටු 42කින් යුත් චෝදනා පත්‍රයක් සකස් කරන ඇය ඔහුට විරුද්ධව දික්කසාද නඩු පවරනවා.

    1934 දී වයස අවුරුදු 20ක් වූ පොව්ලේට් ගොඩාර්ඩ්ව විවාහ කරගන්නා චැප්ලින් පසුව ඇයව නිව්යෝර්ක් වෙත පිටත් කරනු ලබනවා. විවාහ තුනකින් නොනවතින චැප්ලින් 1943දී ඔහුගේ පුතෙක් හිත දිනා ගැනීමට උත්සාහ කළ වයස අවුරුදු 17ක් වූ ඌනා ඕනිල් සමඟ විවාහ වෙනවා. ඇය අවසාන දරුවා බිහි කරන විට චැප්ලින්ට වයස අවුරුදු 70ද පසු වී අවසන්.

    අසාමාන්‍ය පුරුදු

    06-3-760x423.jpg

    අවසන් විවාහයෙන් ලැබුණු දරුවන් අට දෙනා සමඟ චැප්ලින් හා බිරිද ඌනා ඕනිල් (a trip down memory lane)

    චැප්ලින්ගේ දික්කසාද නඩු එවකට උසාවි වළ පවා ප්‍රසිද්ධව තිබුණා. මොහුව එකළ නීතිඥයන් විසින් හදුන්වනු ලැබුවේ “කාන්තාවන් හඹා යන දඩ බල්ලා” ලෙසයි. තවද එක්සත් ජනපද රජය මඟින් ඔහුට සදාචාරය කෙළසීම සම්බන්ධයෙන්ද නඩු පවරනවා. එසේම විද්වතුන් විසින් චැප්ලින් සල්ලාලයෙකු ලෙස විවේචනයට බදුන් කරනවා.

    මේ කිසිදු දෙයක් පිළිබඳව නොසළකන ඔහු තමන් විවාහයන්ට අමතරව තවත් කාන්තාවන් විශාල ප්‍රමාණයක් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත් වූ බව පවසමින් උදම් අනනවා. විශේෂයෙන් එවකට සමාජයේ ප්‍රසිද්ධ කාන්තා චරිත සමඟ තමන් සම්බන්ධතා පැවැත්වූ බවත් ඔහු ප්‍රකාශ කරන්නේ මහත් ආඩම්බරයෙන්.

    තම බිරියන්ගේ කාමර තමන් සිටින තැනට පෙනෙන ලෙස සකස් කළ ඔහු ඒවා නිරීක්ෂණය කළ හැකි වනසේ දුරදක්නයක් තම කාමරයේ සවි කළ බවද තරමක් අප්‍රසිද්ධ කරුණක් වෙනවා. කාමුක සිදුවීම් පිළිබඳව මහත් උනන්දුවක් දැක වූ චැප්ලින් “fanny hill on lady Chatterley’s love” වැනි කෘතින් නිතර කියවූ බව සදහන්. ” කිසිම කලාවක් එකවර ඉගෙන ගන්නට බෑ….අන්න ඒ වගේ ප්‍රේම කිරීමත් පියවරෙන් පියවරට ඉගෙන ගත යුතු කලාවක්” යැයි වරෙක චැප්ලින් විසින් ප්‍රකාශ කරනවා.

    “නිහඩ විකට චිත්‍රපට රජා” ලෙස විරුද්ධාවලිය ලැබූ චැප්ලින්ගේ දිවියේ සාමාන්‍ය පාඨකයා නොදත් විස්තර ටිකක් තමයි ලිපියෙන් දක්වුයේ. කුඩා කළ දුක් විදිමින් පසුව මුළු ලොවක් හිනා සාගරයක් වෙත රැගෙන ගිය චැප්ලින්ගේ පුද්ගලික ජීවිතය කෙසේ වෙතත් චිත්‍රපට කලාවට කළ සේවය වෙනුවෙන් නම් චාලි චැප්ලින් යන නාමය අනාගතයේත් අමරණීයව පවතින බවයි අපිට නම් හිතෙන්නේ.


    by Lasantha Kularatna
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ඒ කාලේ කෙල්ලෙක්ට ඉන්ඩම දෙන් නැතිව ඇති මූ නම්........ පට්ට පොස්ට් එකක්