අගවිනිසුරුතුමියට එරෙහිව දෝෂාභියෝග යෝජනාව මගින් ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි, මුළු ලෝකයෙම ශ්‍රී ලාංකීය ජනතාව කළඹවා අවසන්. ඒ විතරක් නෙවෙයි, ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ලොව තවත් බලවතුන් මෙම සිද්ධියට දැනටමත් සිය කණගාටුව පළ කර අවසන්. මේ සිද්ධිය ගැන අපේ රටේ සමහර දේශපාලකයන් කියන කතා හොඳයි ගැලරියට. දැන් ගැලරියක් නැහැනේ. ඒ නිසා එයාලගේ හෙන්චයියලාට විසිල් ගහන්න , හෙන්චයියලා ඉදිරිපිට මං පොර වගේ ‘ටෝක්ස්’ දෙන්න මේ සිද්ධිය යොදා ගෙන තිබෙනවා. නමුත් අපි අමතක කරන්න නරකයි මේ වෙලාවේ රට තියෙන තැන. රත්නපුරේ වැඩිහිටි කාන්තා සංහාරයක් යනවා. දකුණේ දෑස්, දෙපා, දෑත් ගැට ගසා තරුණයන්ගේ ඔලුවලට වෙඩි තියලා මරනවා. අධිකරණ සේවා කොමිෂමේ ලේකම්වරයාට පහර දෙනවා. ඒ අතරේ අගවිනිසුරුවරියට එරෙහිව දොෂාභියෝගයක් ගේනවා. ගැලරියට විසිල් ගහන්න වචන පාවිච්චි කරන දේශපාලකයෝ මේවා ගැන කල්පනා කරන්නේ නැහැ. මේ හැම සිදුවීමක්ම ගැනම ලෝකයේ බලවත් රටවල් ගණන් හදනවා. ඊට පස්සේ කුට්ටිය පිටින් අපේ ඔලුවට අත හරිනවා. ඒවාට ‘අධිරාජ්‍යවාදි ජාත්‍යන්තර කුමන්ත්‍රණ’ කියලා කියන තවත් පිස්සෝ රැළක් මේ රටේ ඉන්නවා. අපිට ලෝකයේ බලවත් රටවල් තරහා කරගෙන යැපෙන්න බැහැ. අපි මොන කයිවාරු ගැහුවත් ‘ලෝන්’එකක් ගහන්න , ශිෂ්‍යත්වයක් ඉල්ලන්න, තෙල් ටිකක් ගන්න , ක්‍රිකට් ගහන්න පවා ලෝකය ඉදිරියට යන්න වෙනවා. මේ හැම දෙයක්ම එක පෑන් පහරින් බලවත් රටවලට නතර කරන්න පුළුවනි. මේ ඇත්ත කතා කරන උදවියට රටේ තැනක් අද නැත්තේ කයිවාරුකාරයින්ටම, කඩේ යන්නන්ටම රට ගිහිල්ලා තියෙන නිසා. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන ජනතාවගේ අදහස් තියෙනවා. ඒ අදහස් මේ විදිහට පෙළ ගස්වන්න පුළුවනි. රටේ අගවිනිසුරුවරිය, නීතිපති, පොලිස්පති, හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති , ආරක්ෂක ලේකම් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ රටේ ජනාධිපතිවරයා එකතුවයි මේ රට පාලනය කරන්නේ. මේ තනතුරුවලට ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ තමන්ට ඉතා විශ්වාසවන්ත පුද්ගලයින්. මොකද මේ එක තනතුරක් හරි රජයට එරෙහි වුණොත් එතන ඇතිවන කැළඹිල්ල සුළුපටු එකක් නොවන නිසා. රටේ පාලනයට ,සාමයට මේ තනතුරු අතිශය වැදගත්. මේ වගේ එක් තනතුරක් තමයි දැන් දෙදරන්නට පටන් ගෙන තිබෙන්නේ. අගවිනිසුරුතුමිය ආණ්ඩුවේ ‘දිවිනැගුම’ පනත් කෙටුම්පතේ ඇතැම් කොටස්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පැවසුවා. ඊට පෙර එතුමියගේ ස්වාමි පුරුෂයා වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාට එරෙහිව කොටස් වෙළෙඳපොළේ කොටස් මිල දී ගැනීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. ඒ අවස්ථාවේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු හැටියට නොව, ජනාධිපතිවරයාට ඉතා කිට්ටු හිතෛෂිවන්තියක් හැටියට ඉල්ලීමක් කරන්න ඇති තමන්ගේ ස්වාමි පුරුෂයා නිදහස් කර දෙන්න. ඒක එහෙම වුණේ නැහැ කියලා කියන්න අපේ රටේ හැටියට බැහැ. නමුත් ජනාධිපතිවරයා ඒ ඉල්ලීමට සවන් දීපු බවක් පෙනුනේ නැහැ. ඊට පස්සේ තමයි ආණ්ඩුවේ දිවිනැගුම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වුණේ. ඒ අවස්ථාවේ එම පනත් කෙටුම්පතේ තිබෙන සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන බවක් පෙනෙන්න ඇති. එහිදී ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුතුමිය හැටියට, මෙම වගන්ති බහුතර ජන්දයකින් සම්මත කරගත යුතු බව ප්‍රකාශ කළා. ඒ, අධිකරණයේ ස්වාධීනත්වයයි. නමුත් ඇති වුණේ ආණ්ඩුවව සමග ගැටුමක්. ඒක කැත්තට පොල්ල වගේ සිද්ධියක්. දිවි නැගුමේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නම් ඒ ගැන ජනාධිපතිතුමා සමග පුද්ගලිකව කතා කරන්නට ඉඩකඩ ශිරාණි බන්ඩාරනායක මහත්මියට තිබුණා. “මොන මගුලකට ද එහෙම කතා කරන්නේ?” කියා සමහර අයට අසන්න පුළුවනි. නමුත් ලංකාවේ තත්ත්වය ඒකනේ. ඊට පස්සේ තමයි ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග චෝදනා එල්ල වෙන්නේ. ඒ චෝදනාවලින් කියන්නේ පසුගිය වසර් දී පමණ ඇය විශාල වශයෙන් මුදල් යොදවා පිටරට ඉඩම් මිලදී ගත්ත බවක්. ඒ මුදල් ඇය විසින් ඉපැයූ ආකාරය ගැන අවශ්‍ය තැන්වලට කරුණු අනාවරණය නොකළ බවත් සඳහන් වෙනවා. තවත් චෝදනා තිබෙනවා. මෙතැනදී ජනතාවට ප්‍රශ්නයක් ඇති වෙනවා. අගවිනිසුරුතුමියට එරෙහි මේ චෝදනා එළියට ආවේ දිවිනැගුම පනත් කෙටුම්ත අනුමත නොකළ නිසාද කියලා. ඒ වගේම මෙහි මුලින්ම සඳහන් ඉහළ නිලධාරින්ගේ වත්කම් සොයා බලන්න පටන් ගන්නේ ඔවුන් රජයේ තීරණයකට විරුද්ධව ගියොත් විතරක්ද කියලා ප්‍රශ්ණයකුත් ජනතාවට මතුවෙනවා. නැත්නම් පසුගිය වසරේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ආයෝජනය කළ මුදල් ගැන තොරතුරු 2012 නොවැම්බරයේ දී එළියට එන්න විදිහක් නැහැනේ. ආණ්ඩුවලට නොදිරවන පුද්ගලයන් ආණ්ඩු මට්ටු කරන්නට පියවර ගත්තේ මේ ආණ්ඩුව විතරක්ම නෙවෙයි. අද මේ සිද්ධිය දේශපාලන තුරුම්පුවක් කර ගෙන සිටින එජාපය විතරක් නෙවෙයි, චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ පවා ඒ උදවියට නොදිරවන පුද්ගලයන් අල්ලා හිරේ විලංගුවේ පවා දැම්මා. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියගේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රශ්ණයක් නෙවෙයි. මේක අපේ රටේ තියෙන තක්කඩි දේශපාලනයේ ප්‍රශ්ණයක් විදිහටයි මට පෙනෙන්නේ.
Last edited:


