අභයගිරි විහාරය
බුද්ධඝෝෂ භික්ෂුව පිළිබඳව කතා කිරීමේ දී අභයගිරි විහාරය ගැන කතා නොකර ම බැරිය. එනිසා මෙහිදී ඒ සම්බන්ධයෙන් ද කෙටි අවධානයක් යොමු කිරීමට සිතමි.
චූලවංශයට අනුව රේවත තෙරුන්ගේ පැවරීම පරිදි බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට පැමිණෙන්නේ ඒ වන විට මහා විහාරයේ ව්‍යවහාරව පවතින හෙළ අටුවා ව මගධ භාෂාවට පෙරලීම සඳහා ය. එය චූලවංශයේ පැහැදිලිව දක්වා තිබේ. බහුතරයක් දෙනා හට පිරිසිඳු බුද්ධ ධර්මය ගැන අවබෝධයක් ලබා ගැනීමට ඉන් අවකාශය සැලසෙන බව රේවත තෙරුන් විශ්වාස කළ බව පෙනේ. මුහුද මැද දී බුද්ධඝෝෂ භික්ෂුවට ඒ වන විට ලංකාවේ සිට ආපසු ඉන්දියාව බලා යාත්‍රා කරන බුද්ධදත්ත භික්ෂුව ද හමු වූ බව බුද්ධඝෝසුප්පත්තියෙහි දැක් වේ. ඒ බුද්ධදත්ත භික්ෂුව විසින් තමුන් ද බුද්ධඝෝෂ භික්ෂුව කිරීමට ගිය ක්‍රියාව ම කිරීමට උත්සාහ කළත් වයස්ගත භාවය නිසා නිම කිරීමට නොහැකි වීම හේතුවෙන් ආපසු යන බවට පවසනු ලැබිණි. එහිදී බුද්ධදත්ත භික්ෂුව කියන්නේ තමුන් ට අට්ඨකතාව සහ ඨික පොත් හමු නොවූ බවයි. උන්වහන්සේ මේ අනුව අට්ඨකතාව සහ ඨික මගධයට පෙරලන ලෙසින් බුද්ධඝෝෂ භික්ෂුවට ආරාධනා කර සිටී. මේ අනුව රේවත තෙරුන් බුද්ධඝෝෂ භික්ෂුවට පැවරූ කාර්යය ඉන් පෙර සිටම අරඹා තිබූ කාර්යයක් බවත් එය නිෂ්ටාවට පත්ව නොතිබූ බවත් පැහැදිලි ය. බුද්ධදත්ත භික්ෂුව කොටසක් අවසන් කර තිබී ඇත.
එසේම චූලවංශයට අනුව ලංකාවේ බුදුදහම ගැන තවත් වැදගත් කරුණක් මින් අනාවරණය වේ. රේවත තෙරනුවෝ ලංකාවට යෑමේ අවශ්‍යතාව පැහැදිලි කරද්දි ඒ වන විට ලංකාවේ පවතින බුද්ධ ධර්මය පිළිබඳව ද හැඳින්වීමක් කරයි. ධම්මසංගායනාවලදී මහතෙරවරුවන් සංගායනා කළ ධර්මය මහින්ද මහතෙරනුවන් විසින් ලංකාවට රැගෙන යාමෙන් පසුව සිංහල බසින් පවතින බවත් එය මගධයට පෙරලන ලෙසත් එහිදී උපදෙස් දෙයි. ඒ අනුව ලංකාවේ මේ වන සිංහල බසින් ධර්මය පවතී.
මේ අනුව බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට පැමිණ මහා විහාරයට සම්බන්ධ වෙයි. ඉන්පසුව මහා විහාර සම්ප්‍රදාය අනුව යමින් විශුද්ධිමාර්ගය ප්‍රථමයෙන් රචනා කරන අතර පසුව අට්ඨ කතා පරිවර්තනය කරයි. මේ කාර්යය අවසන් කොට ආපසු ජම්බුදීපයට යෑමට සූදානම් වන විට සිදු වූ දෙයක් ගැන බුද්ධඝෝසුප්පත්තියෙහි සඳහන් වේ. ඒ අනුව නැව් නැගීමට යන බුද්ධඝෝෂ භික්ෂුවට ලංකාවේ වාසය කරන භික්ෂූන්වහන්සේලා කොටසක් විසින් මේ භික්ෂුව සංස්කෘත ගැන දැනුමක් නොමැති අයෙකැයි උපහාස කරයි. ඒ අනුව සංස්කෘත භාෂාවෙන් ද භික්ෂූන්වහන්සේලා මෙන්ම උපාසක උපාසිකාවන්ගෙන් ද පිරුණු මහා සභාවක් මැද ධර්ම දේශනයක් පැවැත්වීමට කටයුතු කරයි. එයින් භික්ෂූන්වහන්සේලා මෙන්ම රැස්ව සිටි ජනයා ද මහත් සතුටට පත්ව තිබේ.
මේ කථාව අනුව ක්‍රි.ව. 5 වන සියවස වන විට ලංකාවේ සංස්කෘත බුද්ධ වචනය තේරුම් ගැනීමට හැකි ජන කොටසක් සිටි බව පැහැදිලි ය. එසේම සංස්කෘත බුදු දහම දැන සිටි භික්ෂූන්වහන්සේලා පිරිසක් සිටි බව ද පැහැදිලි ය. නමුත් මේ භික්ෂූන්වහන්සේලා මහා විහාරික භික්ෂූන්වහන්සේලා නොවේ. මහා විහාරික භික්ෂූන්වහන්සේලා සිංහල බසින් බුද්ධ වචනය පවත්වා ගෙන ආ පිරිසක් වූ අතර තෙවන ධර්මසංගායනාවේ දී සම්මත කර ගත් ධර්මය පුහුණු කළ පිරිසක් විය. ථෙරවාදීන් බවට ඔවුන් හැඳින්වුනේ එහෙයිනි. එසේ නම් මේ සංස්කෘත බසින් ධර්මය පවත්වාගෙන ගිය භික්ෂූන්වහන්සේලා කවුරුහු ද? ඔවුන් නම් අභයගිරිවාසී භික්ෂූන්වහන්සේලා ය. මන්දයත් ඒ වන විට මහා විහාරයට තරඟයක් ලෙසින් පැවතුනේ අභයගිරි විහාරය වන නිසාවෙනි.
ඒ අනුව ක්‍රි.ව. 5 වන සියවස වන විට අභයගිරි විහාරය මුල් කර ගනිමින් සංස්කෘත බුද්ධ ධර්මය ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පැවතුන බව ද පෙනී යයි.
