ජ්‍යෝතිෂ්‍ය ද? බෞද්ධ කර්ම සංකල්පය ද?
ජ්‍යෝතිෂ්‍ය සහ බුදුදහම එකක් නො ව දෙකක් බව පළමු ව කිව යුතු ය. බොහෝ ගිහි උදවිය මෙන් ම පැවිදි පිරිස ද, මේ දෙක එකට සංකලනය කර එක් ධර්මයක් බව ට පත්කිරීම ට වෙරදරන බවක් පෙනෙන්නට තිබේ. හඳහන් බැලීම, නැකත්, බැලීම ආදී නො මනා ක්‍රියා භික්ෂුන් වහන්සේ නමක් කිසිසේත් නො කළ යුතු බවට දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ දේශනා කර ඇත. එ සේ තිබියදී ත් තම ජීවන වෘත්තීය වශයෙන් අතිවිශාල ප්‍රචාරණයන් ලබා දෙමින් බුද්ධ ශාසනය ගැන තුට්ටුවකටවත් මායිම් නො කරන පැවිදි පිරිසක් ද, වෙති. බෝධිපූජා පැවැත්වීමට, දානමාන දීමට පවා නැකත් බලන තත්වයකට අද සමාජය පත් වී තිබේ.
බුදුදහමේ කර්ම සංකල්පය තුළ සත්වයා ට කර්මය තරම් බලපානා කිසිවක් නොමැති බව දක්වා තිබේ. (චුල්ලකම්ම් විභංග සුත්‍රය කියවන්න) එ මෙන් ම නියාම ධර්ම සහ ගති, උපධි ආදී සම්පත්තියන් සහ විපත්තියන් ද, සත්වයා කෙරෙහි බලපානා බව දේශනා කර ඇත. නමුත් ග්‍රහ තාරකාදිය සත්වයා කෙරෙහිඉතා සුළු ආකාරයෙන් හෝ බලපානා බවක් බුදුදහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත.
ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ ඇයි?
බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එ ම දේශනාව සඳහන් වන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.
"නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"
අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.
මෙ හි පැහැදිලි ලෙස ම ග්‍රහ තාරකාදිය මගින් කිසිඳු බලපෑමක් සත්වයා ට හෝ සත්ව සන්තානවලට නො කළ හැකි බව දේශනා කර ඇත. එ බැවින් ග්‍රහ තාරකා ආදියෙන් ගොඩනැගී ඇති සියලු ධර්මයන් මේ අනුව බුදුදහමේ මුළුමනින් ම ප්‍රතික්ෂේප කර ඇත.