# මැරිච්ච අශ්වයෝ.
1951 වසරේ දිනක, තුරඟ තරගයක් සඳහා ඉදිරිපත් කිරීමට දේශපාලකයෙක් විසින් පවුම් පනස්දහසක් ගෙවා වෙන්දේසියකින් අශ්වයකු වෙන්කර ගන්නා ලදී. අශ්ව වෙළෙන්දා පොරොන්දුවී ඇත්තේ පසුවදා අශ්වයා රැගෙනවිත්, ගැනුම්කරුට භාර දෙන බවටයි.
පසුවදා උදෑසන දේශපාලකයා හමුවීමට පැමිණි අශ්ව වෙලෙන්දා මෙසේ කීය.
" අනේ මහත්මයා මට සමාවෙන්න. ඉතාමත් දුක්බර ප්‍රවෘත්තියක් තියෙනවා ඔබතුමාට කියන්න. ඊයෙ ඔබතුමා මිලදී ගත් අශ්වයා රැගෙන එන අතර මගදී මැරුණා."
" හපොයි එකත් එහෙමද..? එහෙනම් ඉතින්, මගේ මුදල් ටික මට ආපහු ලැබෙන්න සලස්වන්න."
එවිට අශ්ව වෙළෙන්දා පවසා සිටියේ එය කළ නොහැකි බවත්, මේ වන විටත් එම මුදල ඔහු අතින් වියදම් වී ඇති බවත්ය .
" හොඳයි කමක් නෑ. එහෙනම් මට මැරිච්ච අශ්වයා ගෙනල්ලා දෙන්න."
එවිට වෙළෙන්දා විමසුවේ මැරිච්ච අශ්වයකුගෙන් කුමක් කරන්නට බලාපොරොත්තු වන්නේ ද යනුවෙනි.
" මම ඌව ලොතරැයි දිනුම් ඇදීමකට ලක් කරනවා. තරඟ දිනන්න පුළුවන් හොඳ ජවසම්පන්න අශ්වයෙක් මා ළඟ ඉන්නවා කියලා. "
" ඒත් මැරිච්ච අශ්වයෙක් කොහොමද ඔයා දිනුම් ඇදීමකට ගන්නේ.? "
එවිට දේශපාලනඥයා මෙසේ පැවසීය.
" දේශපාලනය කරන කෙනෙක් විදිහට ඒක මට කරන්න පුළුවන්. ඔයා බලාගෙන ඉන්නකෝ. ඔයා මොනවද දන්නේ මේ රටේ මිනිස්සු හිතන පතන විදිහ ගැන. මම ප්‍රසිද්ධ කරනවා අශ්වයාගේ නියම පොටෝ ටිකක්. මම කාටවත් කියන්නේ නැහැ ඌ මැරිච්ච එකෙක් කියලා . මම ඒ කැම්පේන් එක කරන්නේ අමුතුම විදිහකට. ජයග්රාහකයාට අශ්වයා ලැබෙන බව ලොතරැයියේ සඳහන් කරනවා."
මාසයකට පමණ පසු අශ්ව වෙළෙන්දාට දේශපාලනඥයා නැවත හමුවිය.
" ආයුබෝවන් මැතිතුමනි, ඔබතුමා මොකද අර අශ්වයාගේ වැඩේට කරගත්තේ..? "
" මම ඔහේට කීව විදිහටම අශ්වයාව දිනුම් ඇදීමට දැම්මා. මම වික්කා ටිකට් ලක්ෂ දහයක් එකක් පවුම් දෙක ගානේ. හහ්..හහ්..හා.. බලනවා මට කීයක් ලාබයිද කියලා...! "
අශ්ව වෙළෙන්දා මහත් පුදුමයට පත්විය.
"ඉතින් කිසිම කෙනෙක් කම්ප්ලේන් කෙරුවේ නැද්ද..?"
" මොකෝ නැත්තේ..? කම්ප්ලේන් කලා. අර දිනපු මනුස්සය විතරක් ! මම මිනිහට කිව්වා අශ්වයා අරන් එද්දි මගදී මැරුණා කියලා. මම එයාට කණගාටුව ප්‍රකාශ කරලා, මිනිහගේ පවුම් දෙකත් ආපහු දුන්නා . ඒ විතරක් නෙවෙයි ටිකට් ගත්තු හැමෝටම පවුම් දෙක ගානේ ආපහු මම ගෙවනවා කියලත් කිව්වා. "
" ඉතින් මිනිහ ඒ කතාව විශ්වාස කළාද..? "
" හහ්..හහ්..හා..විශ්වාස කළා විතරක් නෙමෙයි. අශ්වයා මැරිච්ච එකට, මිනිහා නොසෑහෙන්න දුක් වුණා. මං වෙනුවෙන් යාච්ඤා කරලා දෙවියන්ට කීවා, මට ආශිර්වාද කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි. මේ රටට මං වගේ අවංක හිත හොඳ මිනිස්සු ඕනේ නිසා, ඊළඟ ඡන්දෙටත් ඉල්ලලා පාර්ලිමේන්තු එන්නත් කිව්වා. මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්නම් කියලත් කිව්වා. "
කතාවේ ආදර්ශය;
2024 දීත් , දේශපාලන ලොතරැයි පත් අලෙවි කරන්නන් මැරිච්ච අශ්වයන් විකිණීමට , යලිත් කරලියට පැමිණෙමින් සිටිති. ඔබ අවදියෙන් සිටින්න.
( උපුටාගැනීමකි)
Professionals do the same