අමු සොහොනක් බඳු මිනිසා

hpalpola

Well-known member
  • අමු සොහොන ඔබට එතරම් දැක පුරුදු ස්ථානයක් විය නොහැක්කේ අද වන විට විධිමත් ආකාරයට මළ සිරුරු බැහැර කිරීමේ ක්‍රමයක් ඇති නිසාවෙනි. නමුත් දැනට වසර දහස්ගණනකට පෙර ආසියානු කලාපයේ එවැනි භාවිතාවක් නොතිබුණි. මෙනිසා අමු සොහොන් දක්නට ලැබිණි. මළ මිනී රෙද්දකින් ඔතා එහි ගොස් දමයි. සතිපට්ඨානය තුළ මළසිරුර ආශ්‍රයෙන් සිහිය වැඩීමේ ක්‍රමයක් ද ඇත. කෙසේවෙතත් මේ කතා කරන්නේ ඒ ගැන නොවේ.

    වරක බුදුරජාණන්වහන්සේ අමුසොහොනක් ඇසුරු කර කරනු ලැබූ දේශනාවක් සම්බන්ධයෙනි. සීවථික සූත්‍රය එයයි. මේ සූත්‍රයෙදී බුදුරජාණන්වහන්සේ අමු සොහොනක ඇති දෝෂ පහක් දක්වයි.

    අපවිත්‍ර ය, දුඟඳ ය, බිය සහිත ය, ව්‍යාඩ අමනුෂ්‍යයනට ආවාසය, බොහෝ දෙනාගේ ආරොදනා (වැලපීම්) ඇත.

    මේ දෝෂ පහ උපමා කොට එවැනි ගති ඇති පුද්ගලයකු ගැන ද බුදුරජාණන්වහන්සේ දේශනා කරයි.

    මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් අපවිත්‍ර කායකර්මයෙන් සමන්වාගත වෙයි, අපවිත්‍ර වාක්කර්මයෙන් සමන්වාගත වෙයි, අපවිත්‍ර මනඃකර්මයෙන් සමන්වාගත වෙයි. මෙය ඔහුගේ අපවිත්‍රතා යී කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව අපවිත්‍ර වු ද, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.


    අපවිත්‍ර කායකර්මයෙන් සමන්වාගත වූ අපවිත්‍ර වාක්කර්මයෙන් සමන්වාගත වූ අපවිත්‍ර මනඃකර්මයෙන් සමන්වාගත වූ ඔහුගේ ලාමක කීර්තිශබ්දය නැ‍ඟෙයි. මෙය ඔහුගේ දුගඳ බවයි කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව දුගඳ වූ ද, මහණෙනි, මෙ පුඟුල් එබඳු කොට මම කියමි.

    මහණෙනි, අපවිත්‍ර කායකර්මයෙන් සමන්වාගත වූ, අපවිත්‍ර වාක්කර්මයෙන් සමන්වාගත වූ අපවිත්‍ර මනඃකර්මයෙන් සමන්වාගත වූ තෙල පුඟුල් ප්‍රියශීල සබ්‍රම්සරහු දුරින් බැහැර ලති. මේ ඔහුගේ සප්‍රතිහය යි කියමි. මහණෙනි, සප්‍රතිභය වූ ඒ සීවථිකාව යම්බඳු වේ නම්, මහණෙනි, මෙ පුඟුල් මම එබඳු කොට කියමි.

    අපවිත්‍ර කායකර්මයෙන් සමන්වාගත වූ, අපවිත්‍ර වාක්කර්මයෙන් සමන්වාගත වූ, අපවිත්‍ර මනඃකර්මයෙන් සමන්වාගත වූ හෙතෙම සභාග (තමහට සමාන) පුද්ගලයන් හා සමග වෙසෙයි. මෙ ඔහුගේ ව්‍යාඩ වාසයයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ ව්‍යාඩ අමනුෂ්‍යයනට ආවාස වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.

    මහණෙනි, ප්‍රියශීල සබ්‍රම්සරහු අපවිත්‍ර වූ කායකර්මයෙන් සමන්වාගත වූ අපවිත්‍ර වූ වාක්කර්මයෙන් සමන්වාගත වූ, අපවිත්‍ර වූ මනඃකර්මයෙන් සමන්වාගත වූ තෙල පුඟුල්හු දැක “අපි මෙබඳු පුද්ගලයන් හා සමග වසමෝ නම්, අහෝ ඒකාන්තයෙන් දුකෙකැ” යි වැලපිය යුතු බවට පැමිණෙත්. මේ ඔහුගේ ආරොදනායයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ බොහෝදෙනාට ආරොදනයට (හඬා වැලපීමට ස්ථාන වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.

    අද අමුසොහොන් නැතත් මෙවැනි ගති ලක්ෂණ ඇති පුද්ගලයන් දක්නට ලැබේ. ඔබත් එවැනි පුද්ගලයකු ද?
     
    • Like
    Reactions: animation and NRTG