අමෘතය සෙවීම

hpalpola

Well-known member
  • අමෘතය සෙවීම.

    අමෘතය ගැන අපි හැමෝම දන්නවා අහලා තියෙනවා. මන් හිතන්නේ අමෘතය කියන දේ විශ්වීයයි. හැබැයි විවිධ අර්ථ තියෙනවා. බුදු දහමට අනුව අමෘතය කියන වචනය නිවන වෙනුවෙනුත් යොදා ගන්නවා. හින්දු සාහිත්‍යයේදී අමරණීයත්වයට හේතුවක් විදියටත් යොදා ගන්නවා. දැන් මම කථා කරන්න හිතුවෙ හින්දු සාහිත්‍යය පැත්තෙන් අමෘතය සෙවීම ගැන කථාව. මේ ගැනත් විවිධ කථා තියෙනවා. මේ එකක් විතරයි. මේකෙ මූලාශ්‍ර වෙන්නේ භගවත පුරාණයයි විෂ්ණු පුරාණයයි. එහෙනම් අපි කථාවට යමු වැඩිය වටේ නොගිහින්.

    එක්තරා කාලයක දී සිදුවන සිද්ධියක් නිසා දුර්වාස සෘෂිවරයා විසින් ඉන්ද්‍ර ඇතුළු දේව මණ්ඩලයට ම ශාපයක් කරනවා එයාලගේ දිව්‍ය බල නැති වෙලා යන්න කියලා. ඒ ශාපෙ විදියට ඉන්ද්‍ර ඇතුළු දෙවියන්ගේ දිව්‍ය බල නැති වෙලා යනවා. මේක අවස්ථාව කර ගත්ත අසුරයො දෙවියො එක්ක පටන් ගන්නවා යුද්ධයක්. අසුරයන්ගේ ප්‍රධානියා විදියට සටන් කරන්නේ මහාබලි. ඉතින් මේ යුද්ධයෙන් අසුරයො දිනනවා. දිනලා විශ්වයේ අයිති කරගන්නවා. දෙවියො දැන් කරන්නේ විෂ්ණු දෙවියන්ව හම්බවෙලා වෙච්චි දේට සහනයක් අරන් දෙන්න කියලා ඉල්ලන එක. විෂ්ණු දෙවියො උපදෙසක් දෙනවා අසුරයො එක්ක සාමයෙන් කතා බහ කරලා මුලින් ම නැති වෙච්චි බලය ආපහු අරගන්න විදියක්. ඒ තමයි අමෘතය හොයා ගන්න එක. අමෘතය තියෙන්නෙ මුහුදෙ. අමෘතය ගන්න නම් දෙවියන්ට විතරක් බැහැ. අසුරයන්ගෙ සහයත් ඕනා. ඒ අනුව දෙවියො අසුරයො එක්ක එකඟතාවයකට එනවා එකතු වෙලා මේ අමෘතය හොයාගෙන දෙකට බෙදා ගන්න. අසුරයො මේකට කැමැති වෙනවා. හැබැයි විෂ්ණු දෙවියන්ගෙ සැලැස්ම තමයි අමෘතය හොයා ගත්තට අසුරයන්ට මේක දෙන්නෙ නෑ. දෙන්නෙ දෙවියන්ට විතරයි. ඒක උපායක්. කොහොමහරි මුහුද කළඹන්න මන්දාර කන්ද යොදාගන්න තීරණය කරනවා. වැඩේ කෙරෙන්නෙ ඒ කන්ද වටේ වාසුකී නාගයව (ශිව දෙවියන්ගේ බෙල්ලෙ එතිලා ඉන්න නාගයා) ඔතලා දෙපැත්තට අදිද්දි අර වතුර කැළඹුනා ම යට තියෙන දේවල් උඩට එනවනෙ. ඒ එද්දි අමෘතය ආවම අමෘතය අරගන්නවා.

    ඉතින් යොදා ගත්ත විදියට වැඩේ පටන් ගන්නවා. මුලදි අසුරයො අල්ලගන්නෙ නාගයගෙ වල්ගෙ පැත්ත. දෙවියො ඔළුව පැත්ත. අසුරයො මේකට ආරවුල් කරනවා පස්ස පැත්ත දුන්නා අපිට කියලා. ඒ පාර ඉන්ද්‍ර දෙවියො බොහොම කාරුණිකව වල්ගෙ පැත්ත දෙවියන්ට අරන් ඔළුව පැත්ත අසුරයන්ට දෙනවා. අසුරයො ඒකට හරි සතුටින් එකඟ වෙනවා. හැබැයි ඉන්ද්‍ර දෙවියො දන්නවා නාගයාව එහෙට මෙහෙට අදිද්දි උගේ කටින් විෂ පිට වෙන බවත්, ඒ විෂ නිසා අනතුරක් වෙනවා කියලත්. ඒ නිසා තමයි පැත්ත මාරු කරගන්නෙ. ඉතින් වැඩේ කරන් යද්දි හිතුව විදියට ම නාගයගෙ කටින් විෂ පිටවෙලා අසුරයන්ට නොයෙක් අපහසුතා එනවා. ඒ වුනත් අමෘතයට තියෙන පෙරේත කමට වැඩේ කරන් යනවා. ඔහොම කරන් යද්දි හලාහල විෂ හම්බවෙනවා. (සමහරු කියන්නෙ මේ විෂ නාගයගේ කටෙන් පිටවුන විෂ කියලා. සමහරු කියනවා ඒක මුහුදෙන් හම්බවුනා කියලා.) මේ විෂ නිසා තුන්ලෝකෙම විනාශ වෙන්නයි යන්නෙ. අමෘතය හොයන්න එකට එකතුවෙලා වැඩේට බැස්සට හලාහල විෂ හම්බවුනාම දෙවියොවත් අසුරයොවත් ඒකට අයිතිවාසිකම් කියන්නෙ නෑ. මෙන්න මේ වෙලාවෙදි තමයි හැමෝගෙම පිහිට ට ශිව දෙවියො එන්නෙ. ශිව දෙවියො තුන් ලෝකය ගැන අනුකම්පාවෙන් අර විෂ ටික බොනවා. ඒ විෂ නිසා ශිව දෙවියන්ගෙ බෙල්ල නිල්පාට වෙනවා. එතැන් පටන් ශිව දෙවියන්ව ‘නීලකණ්ඨ‘ කියලත් හඳුන්වනවා.

    කොහොමහරි ඉතින් ඒ ප්‍රශ්නෙත් අවසන් වෙලා ආපහු අමෘතය හොයන් යද්දි තවත් වටිනා කියන දේවල් 14 ක් මුහුදෙන් හම්බවෙනවා. මේ හම්බවෙන දේවල් එක එක අය අයිති කරගන්නවා. මොනවද හම්බවෙන්නේ.

    ලක්ෂ්මී - විෂ්ණු දෙවියො අයිති කර ගන්නවා.

    අප්සරාවො - එයාලා යනවා ගාන්ධර්වයො ලඟට

    වරුණි - මෙයාව ගන්නෙ අසුරයො

    කාමධේනු - බ්‍රහ්මයා ගන්නවා. මේ එළදෙනක්.

    අයිරවාත - ඉන්ද්‍ර අයිති කරගන්නවා. මේ ඇතෙක්. (බුදුදහමෙදි ඓරාවන)

    උච්ඡෛෂ්ශ්‍රවස් - හිස් හතක අශ්වයා. මහාබලි අයිති කරගන්නවා.

    කෞට්ෂුබ - මැණිකක්. විෂ්ණු දෙවියො පැළඳගන්නවා.

    කල්පවෘක්ෂය - දිව්‍යලෝකයට අරන් යනවා.

    ෂාරංග - බලගතු දුන්නක්. විෂ්ණු දෙවියන්ට ම අයිතියි.

    චන්ද්‍ර - ශිව දෙවියන්ගේ හිසේ තියෙන්නෙ

    ධන්වන්තරි - දෙවියන්ගේ වෛද්‍යාචාර්ය (මොහු තමයි අමෘතය අරන් එන්නෙ)

    හලාහල - මේ විෂ ශිව දෙවියො ගිලිනවා

    ෂංඛ - විෂ්ණු දෙවියන්ගේ කුන්තය

    අලක්ෂ්මි - අවාසනාවේ දේවතාවිය

    ඉතින් කොහොමහරි අන්තිමට තමයි ධන්වන්තරි විසින් අමෘතය භාජනය අරන් එන්නෙ. මේකට ආපහු දෙවියොයි අසුරයොයි යුද්ධ කරන්න ගන්නවා. ඒ තමුන්ට අයිති කරගන්න. අසුරයන්ගෙන් අමෘතය බේර ගන්න ඟරුඬා ඒ භාජනය අරන් පියඹලා යනවා. ඒ සැරේ දෙවියො ආපහු විෂ්ණු දෙවියන්ගෙන් මේකට උත්තර හොයනවා. ඒ පාර විෂ්ණු දෙවියො කරන්නේ මෝහිනීගේ රූපෙ මවාගෙන අසුරයන්ව මුලා කරලා අර අමෘත භාජනය අරන් දෙවියන්ට බෙදලා දෙන එක. දෙවියො මේ ටික බෙදාගෙන බොනවා. ඔය අතරෙ ඉන්නවා දෙවියො වගේ වෙස්වලා ගත්ත ස්වර්භාණු කියන අසුරයත්. එයත් මේක බොනවා. හැබැයි මෙයාව චන්ද්‍ර, සූර්ය දෙවියො දෙන්නා හඳුන ගන්නවා. ඒ අය ඉක්මණින්ම අමෘතය බෙදන මෝහිනීට මේක දැනුම් දෙනවා. මෝහිනී විදියට ඉන්න විෂ්ණු දෙවියො අසුරයාගේ උගුරෙන් පහලට අමෘතය යන්න කලින් සුදර්ශන චක්‍රයෙන් ගහලා හිස කඳෙන් වෙන් කරනවා. එදා ඉඳන් මේ හිස කොටසට කියන්නේ රාහු කියලා. කඳ කොටස කේතු. මේවා පස්සෙ කාලෙකදි නක්ෂත්‍රයෙදි ලෝක විදියට හඳුන්වනවා. මේ රාහු චන්ද්‍රයා එක්ක තරහයි. එයා චන්ද්‍රයාව ගිලිනවා. හැබැයි රාහුට ඇඟක් නැති නිසා බෙල්ලෙන් චන්ද්‍රයා එළියට එනවා.

    අවසානයේ අමෘතය ලබන දෙවියො යුද්ධයෙන් අසුරයො පරාද කරලා දිව්‍යලෝකයෙ බලය අරගන්නවා.

    ඕක තමයි අමෘතය සෙවීමේ කථාව. මේ කථාවත් එක්ක අද වෙනකන් පවතින හුගක් දේවල් තියෙනවා. මහාශිව රාත්‍රිය, රාහු - කේතු එයින් කීපයක්.

    මේ කථාවෙ කියන දේවල් ඇත්තටම උනා ද නැද්ද කියන්න මම දන්නෙ නෑ. නමුත් ක්‍රි.පූ. යුගයෙ ඉඳලා මිනිස්සු අතරෙ පැවතුන දේවල්. එක අතකට බැලුවම කථාව යටින් මිනිස්සුන්ගෙ හැඟීම් ලස්සනට පෙන්නලා දෙනවා. ඒවත් අද වෙනකම් තියෙනවා. උදාහරණයකට බලන්න. ශිව දෙවියන්ගෙ මැදිහත්වීම. දෙවියොයි අසුරයොයි හැමෝම එකතු වෙන්නෙ අමෘතය හොයන්න, ඒ කියන්නෙ සැප හොයන්න. ඒ සැප හොයන්න යන ගමනෙදි ලෝකමෙ විනාශ කරන්න පුළුවන් විෂක් හම්බ වෙනවා. ඒකට කව්රුවත් ඉදිරිපත් වෙන්නේ නෑ. අන්තිමට කොහේවත් ඉන්න ශිව දෙවියො තමයි එතනැට ඉදිරිපත් වෙලා ඒ විෂ ගිලින්නෙ. මේ එකක් විතරයි. විෂ්ණු දෙවියන්ගෙ මැදිහත්වීමේ ස්වභාවයත් ටිකක් හිතලා බලන්න. ඒකයි මන් කිව්වෙ මේ ඇතුලෙ මනුස්ස හැඟීම් හරි ලස්සනට පෙන්නලා දෙනවා කියලා. කොච්චර සැප හොයන්න එකඟ වුනත් සැප ලැබුනම ඒ එකඟතා අවසන් වෙනවා. ලෝකෙ හැටි. කියවලා බලන්න මේවා. ජිවිතේට දෙයක් එකතු කර ගන්න පුළුවන්.