අයිකිඩෝ සටන

Dark_Night_of_the_Soul

Active member
  • Nov 24, 2013
    601
    228
    43
    ටෙරී ඩොබ්සන් විසිනි:
    හඩ: රාම් දාස්


    පරිවර්ථනය: කසුන් L. (Dark_Night_of_the_Soul)

    ---------------------

    එය වසන්ත කාලයේ නිදිබර සැන්දෑවක් විය. ටෝකියෝවේ අතුරු පලාතක් තුලින්, දුම්රිය රළු හඩක් නගමින් සෙලවි සෙලවී ගමන් කලේය. මා සිටි කෝච්චි පෙට්ටියේ සිටියේ මගීන් ටික දෙනෙකු පමනි. ගෘහණියක් කීපදෙනෙකු සහ ඔවුන්ගේ දරුවන්, සහ බඩු ගැනීමට ගිය මහළු ගැහැණු මිනිසුන් කීප දෙනෙක්. දුම්රිය පසුකරගෙන යන ඔපයකින් තොර නිවාස සහ දූවිලි වැදුනු පැළඉණි වැටවල් දෙස මා නොසැලකිලිමත් බැලුම් හෙළුවෙමි. දුම්රිය නැවතුමට ලගා වුන විට එහි දොරටු විවර වී ගිය අතර, සන්ද්‍යාවේ නිහඩබව මිනිසෙකුගේ උස් හඩැති සහ වටහාගත නොහැකි අසභ්‍ය වචන වලින් බිදී ගියේය. ඔහු අපගේ කොච්චි මැදිරිය වෙත වැනි වැනී පැමිනියේය. ඔහු කිලිටු කම්කරු ඇදුමක් ඇද සිටියේය. විශාල මිනිසෙකු වූ ඔහු පදමට බීමත්ව ය සිටියේය. එකවරම ඔහු කෑගාමින්, දරුවෙකු වඩා සිටි කාන්තවකට අත දිගෑර පහරක් ගැසුවේය. පහරින් ඈ කැරකී විසි වී ගොස් ඇද වැටුනේ මහළු ජෝඩුවකගේ ඔඩොක්කුව මතය. ප්‍රහාරයෙන් ඈ‍ට හෝ ලදරුවාට හානියක් සිදු නොවුනේ හාස්කමකින් මෙනි.

    බියපත් වූ මහළු ජෝඩුව හනිකට නැගී සිට, කෝච්චි පෙට්‍ටියේ අනෙක් අන්තය කරා දනිපනි ගා යන්නට පටන්ගත්තෝය. කම්කරුවා ඉවත හැරී යන මහළු කාන්තාවට පයින් පහරක් ගැසූ නමුත් ඔහුගේ ඉලක්කය වැරදිනි. මෙයින් කුපිතව ගිය ඔහු, මැදිරිය මැද තිබූ යකඩ පොල්ලක් අල්ලා, එය එහි ආධාරයකයෙන් ගලවා ගැනීමට තැත් කරන්නට පටන් ගති. ඔහුගේ එක් අතක් කැපී ලේ ගලමින් ඇති බව මට පෙනී ගියේය. දුම්රිය ගැස්සී ගොස් නැවතත් තම ඉදිරි ගමන ආරම්භ කලේය. මගීන් භිතියෙන් ගල් ගැසී ගොස් සිටියහ. මම හිදගෙන සිටි නැතින් නැගිට්ටෙමි.

    ඒ දැනට අවුරුදු විස්සකට කලින් වූ අතර, මා හයි හත්තියෙන් යුතු තරුණයෙකු විය. ඊට කලින් වූ අවුරුදු තුන පුරා සෑම දිනකම මෙන්, මා අයිකිඩෝ පුහුණුවේ යෙදී සිටියෙමි. මා දිනකට එක දිගට පැය අටක් පුහුණු විය. මම මිනිසුන්ව අල්ලා වීසි කිරීමේ ක්‍රීඩාවෙන් සතුටක් බැලුවෙමි. මා ශක්තිමත් මිනිසෙකු බව මට නිසැක විය. එහෙත් ප්‍රශ්ණය වූයේ, මගේ සටන් හැකියාව මැන බැලීමට මා සැබෑ සටනක මෙතෙක් නොයෙදී සිටීමය. විනෝදය පිණිස සටන් කිරීම අයිකිඩෝ ශිෂ්‍යයින්ට තහනම් දෙයක් විය.

    මගේ ගුරුවරයා නිතරම මෙසේ කීමට පුරුදු වී සිටියේය: 'අයිකිඩෝ කියන්නේ හටන් සංසිදුවීමේ කලාවක් මිසක් හටන් ආරම්භ කිරීමේ ක්‍රමයක් නෙවෙයි. කෙනෙකුට හටන් කිරීමට අසාවක් ඇති වුනොත්, ඒ කෙනා විශ්වය සමග තමුං තුල ඇති සම්බන්ධය කඩා ගන්නවා. නුඹලා මිනිස්සුන්ව දමනය කිරීමට උත්සාහ කලොත්, දමනය වෙන්නේ නුඹලාමයි."

    මම මේ වචන සිතේ තබාගෙන ය සිටියේ. කෝච්චි පොල අසල නිතර ලැග සිටින කලහකාරී රස්තියාදුකාරයින්ව මග හැරීම පිනිස, පාර පැන අනෙක් පසින් ගමන් කිරීමට තරම් මම පරෙස්සම් සහගත වූයේ එහෙයිනි. මගේ ඉවසීම ශක්තිය ගැන මම අතිශය ප්‍රීති වූයෙමි. මට දැනුනේ මා ශක්තිමත් සහ ධාර්මික මිනිසෙකු බවයි. එහෙත් මගේ හදවත තුල තිබූ ආශාව වූයේ, දුෂ්ට බව පරාද කොට අහිංසකයින්ව බේරා ගැනීමේ සැබෑ අවස්ථාවකට මුහුන දීමටයි.

    මේක තමා වෙලාව! නැගිටිමින් මා සිතුවෙමි. මිනිසුන් අනතුරට පත් වී ඇත. මම ඉක්මනින් කිසිවක් නොකලහොත් ඔවුන්ට හිරිහැරයක් සිදුවනු ඇත. මා නැගිටිනු දුටු විට, බේබද්දා තම කෝපය එක්රාශි කොට පිට කිරීමට එය අවස්ථාවක් කොට ගත්තේය. "අහා!" ඔහු ගිගිරුවේය. "සුද්දෙක්! උඹට ජපන් අචාර සමාචාර ඉගෙනගන්ඩ වෙලාව ඇවිල්ලා වගෙයි!". මගීන්ට අල්ලාගෙන යාමට වහලයේ එල්ලෙමින් තිබූ පටිය සැහැල්ලු ලෙස අල්ලාගත් මා, සෙමින්, පිලිකුල මුසු අවඥාසහගත බැල්ලමක් ඔහු වෙත යොමු කලෙමි. මෙම පොර කුකුලාව දෙකට ඉරීමට මම තීරණය කලෙමි. එහෙත් පලමුවැනි පියවර ඔහු තැබිය යුතු විය. ඔහුව කෝපයට පත් කිරීමට මට ඕනෑ වූ අතර, මා මගේ තොල් අකුලා ඔහු වෙත නිග්‍රහශීලී හාද්දක් පා කර හැරුවෙමි.

    "හොදා ඒනං!" ඔහු උඩුබිරළුවේය. "උඹ අද පාඩමක් ඉගනගනීවි." ඔහු මා වෙත කඩා පැනීමට තම ශක්තිය කැටි කොට ගති. එහෙත් ඔහුට සෙලවීමට ඉඩක් ලැබීමට තත්පර බාගයකට පෙර, කිසිවෙකු කෑගෑවේය: "ඒ!". එම ශබ්ධය කන කිරී ගසාගෙන යන හඩක් විය. එහි තිබූ අසාමාන්‍ය සන්තෝෂජනක සහ ක්‍රීඩාශීලී ස්වභාවය මට මතකය. එය හරියටම, මිතුරන් දෙදෙනෙකු ඉතා උවමනාවෙන් කිසියම් දෙයක් සොයමින් සිටිද්දී, එකකුට එය හමුවූ විට සිදුකල හදිසි කෑගෑමක් බදු විය. "ඒ!".

    මම වමතට හැරී බැලුවෙමි. බේබද්දා දකුනතට කැරකුනේය. අප දෙදෙනාගේම දෑස් පතිත වූයේ කුඩා ජපන් මහළු මිනිසෙකු මතය. පිරිසිදු කිමෝනාවකින් සැරසී සිටි මෙම කුඩා මහළු තැන, නියතයෙන්ම තම සැත්තෑවන වසර පසු කර සිටියේය. ඔහු මා පිළිබද කිසිම සැලකිල්ලක් නොදැක්වූ අතර, කම්කරුවා දෙස බලා ප්‍රීතිජනක සිනාවක් පෑවේය. කම්කරුවා සමග හුවමාරු කරගැනීම පිණිස තමාට ඉමහත් වැදගත් සහ සතුටුදායක රහසක් මහල්ලා සතුව ඇති වගකි ඔහුගෙන් දිස්වූයේ.

    "මෙහෙ එන්ඩකො" ඔහු බේබද්දා වෙත අතින් සංඥා කරමින් පැවසුවේ සැහැල්ලු දිනපතා භාශාවෙනි. "පොඩ්ඩක් එන්ඩකො කතා කරන්ඩ" ඔහු තම අත සැලුවේය. විශාල මිනිසා ඔහු වෙත ඇදුනේ නූලකට ඇමිනූ රූකඩයක් මෙනි. ඔහු තම දෙපා මහල්ලා ඉදිරියේ පොලොවේ ගසා පැලකර, දුම්රිය රෝද වල සට-සට ශබ්ධය මතින් මෙසේ ගිගිරුවේය: "මොන මගුලකටද ඕයි මම තමුසෙත් එක්ක කතා කරන්නේ?" බේබද්දා දැන් සිටියේ මට පිටුපා සිටගෙනය. ඔහුගේ වැලමිට මිලිමීටරයක් තරම් හෝ සෙලවුනහොත්, මා ඔහුව අල්ලා පොලොවේ ගසමි.

    එහෙත් මහල්ලා කම්කරුවා දෙස තවමත් තම සිනාමුසු මුහුනින් බලමින් සිටියේය.

    "මොනවද ඉතිං බීවේ?" මහල්ලා ඇසුවේ කුතුහලයෙන් දිලිසෙන දෑසිනි.

    "සකේ බීවා" කම්කරුවා ගිගිරුවේය. "තමුසෙට ඒකෙං වැඩක් නෑ"කම්මකරුවාගේ මුවින් පිටවූ කෙල බිදිති මහල්ලා මත ඉහිරිනි.

    "ආහ් නියමයි." මහල්ලා කියපි. "නියමයි! දන්නවද, මාත් සකේ වලට බෝම ආසයි. හැම රෑකම මමයි මගේ ගෑනු මනුස්සයයි -- එයාට දැන් 76ක් වෙනවා නෙව -- අපි දෙන්නා පොඩි සකේ බෝතලයක් රත් කරගෙන වත්තට යනවා. ගිහිං අපි පරණ ලෑලි බංකුවක් උඩ වාඩි වෙනවා. එතන ඉදගෙන අපි ඉර බැහැගන යන හැටි බලාන ඉන්නවා. තව, අපි අපේ ඇපල් ගහ කොහොමද කියලා පරීක්ෂා කරලා බලනවා. මගේ මුත්තා තමා ඒ ගහ හිටෙව්වේ. ගිය අවුරුද්දේ සීත කාලේදී හැමුව හිම කුණාටුවෙන් ඒකට කරදර උනා නෙව. ඉතිං ඒ ගහට ආයේ තිබුනු තත්වෙට එන්ට පුළුවං වෙයිදැ කියලා අපිට සාංකාවක් තියනවා. ඒත් පසේ නරක තත්වෙත් එක්ක බලනකොට, ගහ අපි හිතුවාට වඩා හොද හයි හත්තියකින් ජීවත් වෙනවා. හැන්දෑවට අපි එතනට වෙලා සකේ බොන එක හරි ජොලි වැඩේ -- වහින දවස් වලට උනත් ඒමයි!" ඔහු තම දිලිසෙන දෑසින් කම්කරුවා දෙස බැලුවේය.

    මහළු මිනිසාගේ කථාව අසාගෙන සිටිද්දී බේබද්දාගේ මුහුනෙහි තිබූ කර්කශ පෙනුම මදකින් අඩුව ගොස් තිබිනි. ඔහුගේ මිට මෙලවුනු දෑත් මදකින් ලිහිල් වෙලාය. "හ්ම්හ්" හේ කීය. "ඇපල් වලට මාත් කැමතියි..." ඔහුගේ හඩ සිහින්ව ගියේය.

    "එහෙමෙයි?" මහල්ලා සිනාසී පැවසීය. "ඔහේටත් හොද ගෑනු මනුස්සයෙක් ඇති තක්කෙටම."

    "නෑහ්" කම්කරුවා පිලිතුරු දුනි. "මගෙ ගෑනි මලා" ටික වේලාවක් නිසලව සිටි කම්කරුවා, අනතුරුව දුම්රිය පැද්දෙන තාලයට පැද්දෙමින්, සෙමින් ඉකිගසන්නට පටන් ගති. "මට ගෑනියෙක් නෑ, මට ගෙයක් නෑ, මට රස්සාවක් නෑ. මම කාලකණ්ණියෙක්." ඔහුගේ කම්මුල් දිගේ පහලට කදුළු බිදු ගලා යන්නට පටන් ගත්තේය. බලාපොරොත්තු නැතිභංග බවින් යුතු ගැස්මක් ඔහුගේ සිරුර දිගේ දිවගියේය.

    ඊලගට පැමිනියේ මගේ වාරයයි. පිරිසිදුව ඇද පැලද ගෙන, ලෝකය බේරා ගැනීමේ ප්‍රජාතත්ත්‍රවාදී තරුණ චින්තනයෙන් යුතුව, මම එතැන සිටගෙන සිටියෙමි. එහෙත් හදිසිසේම මට දැනුනේ මා කම්කරුවාටද වඩා කාලකණ්ණියෙකු බවයි. දුම්රිය මගේ ගමනාන්තය කරා පැමිනියේය. දොරටුව විවර වෙද්දී, මහල්ලා තම කාරුණික හඩින් කථා කරනු ඇසිනි. "අනේ අයියෝ" ඔහු කීවේය. "සත්තෙයි, ඒක නං හරි අකරතැබ්බයක් තමා. මෙන්න මෙතනින් වාඩි වෙලා, ඔහේට මොකද උනේ කියලා මට කියන්ට."

    මම අවසාන වතාවට ඒ දෙස බැලීම පිනිස හිස හැරවූයෙමි. කම්කරුවා සීට්ටුව මත දිග ඇදී සිටි අතර, ඔහුගේ හිස තිබුනේ මහල්ලාගේ ඔඩොක්කුවේය. මහල්ලා සිටියේ කම්කරුවාගේ දැලි කුණු තැවරී ඝන වුනු හිසකේ සෙමින් පිරිමදිමිනි.

    දුම්රිය ඉවතට ඇදී යද්දී මම දුම්රිය පොලේ බංකුවක හිදගතිමි. මම මගේ මාංශ පේෂීන් වලින් ඉෂ්ට කරන්නට බලාපොරොත්තුවෙන් සිටි දෙය, කාරුණික වචන වලින් ඉෂ්ට කොට තිබිනි. සැබෑ අරගලයකදී අයිකිඩෝ සටන් ක්‍රමය පාවිච්චියට ගන්නා හැටි මා මොහොතකට පෙර දුටුවේය. එහි සාරය වූයේ කාරුණික බවයි. දැන් මට අයිකිඩෝ කලාව පුහුනු වන්නට සිදුවන්නේ අළුත්ම චිත්ත ස්වභාවයකින් යුතුවය.

    --ටෙරී ඩොබ්සන්