අයිස් මිදුණු උතුරු මුහුදේ දැවැන්තයන්ගේ ද

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අයිස් මිදුණු උතුරු මුහුදේ දැවැන්තයන්ගේ ද

    අයිස් මිදුණු උතුරු මුහුදේ දැවැන්තයන්ගේ දඩයම් කලාපය

    ‘සමුදුරු සුවිසැරිය’ ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි
    image_e369443551.jpg


    91 හැවිරිදි වියෙහි පසුවන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ඇටන්බරෝ ස්වභාවවේදියෙකි. කෘතහස්ත රූපවාහිනී නිවේදක​ෙයකි. රූපවාහිනී වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක වන්නේ සාගරයයි. ‘බ්ලූ ප්ලැනට්’ කතාමාලාවේ දෙවැනි වැඩසටහන් පෙළ මේ වනවිට, බී.බී.සී. නාළිකාව ඔස්සේ විකාශය වෙයි. මීට වසර කීපයකට පෙර නිර්මාණය වුණු ‘බ්ලූ ප්ලැනට් 1’ මෙන් නොව, මෙම ‘බ්ලූ ප්ලැනට් 2’ සඳහා අති නවීන තාක්ෂණය භාවිතා කර ඇත. විවිධාකාරයේ කැමරා උපකරණ, ඩ්‍රෝන යානා සහ සබ්මැරීන ආදිය භාවිතා කර ඇත. ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණය සඳහා බී.බී.සී. නිර්මාණකරුවන්ට වසර හතරකට වඩා වැඩි කාලයක් ගත වුණු අතර, සියලු දසුන් ‘එච්.ඩී’ තාක්ෂණයෙන් පටිගත කර ඇත. ඒ අනුව, අති සුපැහැදිලි දසුනින් පිරි ‘බ්ලූ ප්ලැනට් 2’ කතාමාලාව සැබැවින්ම විස්මිතය.

    ධ්‍රැව ප්‍රදේශවලට ළං වෙද්දී, සාගර සීතල වෙයි. ග්ලැසියරවලින් කැඩී වෙන් වී සෙමින් සාගරයට පාවී ආ දැවැන්ත අයිස් කුට්ටි දකින්න ලැබෙයි. සීතල වැඩිවෙද්දී සාගර මතුපිට මිදෙන්න පටන් ගනී. ඔරෝරා බොරියාලිස් (උත්තරාලෝකය) දීප්තිමත් ආලෝකයෙන් රාත්‍රී අහස වර්ණවත් වෙද්දී, සීත සෘතුව මැද දී වුවත්, උතුරේ ආක්ටික් වෘත්තය අවට මිදී නොගිය සාගරය දකින්න ලැබෙයි. උතුරුදිග නෝර්වේ රාජ්‍යයේ ෆියෝඞ්ස් සාගර කලාපය මේ අයුරින් අයිස්වලින් තොරව දකින්න ලැබෙන්නේ, දකුණේ සිට සමකය හරහා ඇදී එන විශාල දිය වැළක් වන ගල්ෆි දිය රළ නිසාය. ගල්ෆ් දිය වැළි මේ සාගර කලාපය හරහා යද්දී, කැරිබියානු දූපත් සහ ඒ අවට උණුසුම මෙම මුහුදු කලාපයට මුසුවෙයි.


    ‘ඕකා’ගේ දඩයම

    සෑම සීත කාලයකම, හුරුල්ලන් (ඉංග්‍රීසියෙන් හෙරිං මසුන්. සත්ව විද්‍යාත්මකව මෙම කුඩා මසුන් හැඳින්වෙන්නේ ‘ක්ලුපියා හරෙන්ගස්’ යනුවෙනි) බිලියන ගණනින් මේ සාගර කලාපයට පැමිණෙන්නේ ආරක්ෂාව සොයමිනි. හුරුල්ලන් පසුපස තවත් පිරිසක් මෙම සාගර කලාපයට පැමිණෙති. ඒ, ‘ඕකා’ හෙවත් ‘මරු තල්මසුන්’ ය. තල්මස් පවුලේ කුඩා ප්‍රමාණයේ සාමාජිකයෙකු වන ‘ඕකා’ ක්ෂීරපායීයෙකි. හුරුල්ලන් පසුපස පැමිණි ‘ඕකා’ රංචුවේ සියයකට ආසන්න පිරිසක් සිටිති. පෘථිවියේ ‘ඕකා’ මසුන් එකිනෙකා මහා පරිමාණයෙන් එකට එකමුතු වෙනවා නම්, ඒ මේ අවස්ථාව යැයි පෙන්වා දිය හැකිය. බිලියන ගණනින් හුරුල්ලන් සිටියත්, නෝර්වේ රාජ්‍යයේ ෆියෝඞ්ස් සාගර කලාපයට පිහිනා එන හුරුල්ලන් හසුකර ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. හුරුල්ලන් පසුපස පැමිණෙන අපේ මේ කථාවට සම්බන්ධ ඕකා මසුන්, මාළු ඇල්ලීමේ ශූරයන්ය. උන් වැඩ කරන්නේ කණ්ඩායමක් ලෙසින්, හොඳින් සැලසුම්සහගතවය. හොඳින් ඇසෙන ලෙස, තියුණු ශබ්ද පිට කරමින්, එකිනෙකා සමඟ සන්නිවේදනයේ යෙදෙමින්, ඕකා හුරුල්ලන් දඩයමේ යෙදෙන්නේ හුරුල්ලන් මුහුදේ නොගැඹුරු තැන්වලට කොටු කර ගනිමිනි. ඔවුන් හුරුල්ලන් රංචුව යටින් පිහිනමින් උන් මුහුදේ මතුපිට සීමාවට කොටු කර ගනී. එක පොදියට හුරුල්ලන් කොටු කරගත් පසු, එම හුරුල්ලන් වට කරගත් ඕකා රංචු ඔවුන් සතුව ඇති ‘සුවිශේෂී අවිය’ දඩයමට යොදා ගනී. සුවිශේෂී අවිය ඕකාගේ පසුපස වරලය. පසුපස වරලින් ඕකා හුරුල්ලන් රංචුවට වැරෙන් පහරක් දෙයි. එම දරුණු පහරත් සමඟ ප්‍රචණ්ඩ කම්පන තරංග නිකුත් වෙයි. ඒවා දසත පැතිරෙන්නේ හුරුල්ලන් අඩපණ කරමිනි. ඉන්පසු ඕකා අන්දමන්ද වී අඩපණ වුණු හුරුල්ලන් බොහොම පහසුවෙන් ආහාරයට ගනී.

    image_8cd4c2eab5.jpg

    image_3f91fcf1a4.jpg



    මොල්ලි තල්මසුන්

    පසුපස වරලින් ඕකා රංචුව මෙසේ පහර දෙද්දී, එම හඬ සාගරය පුරා විහිදී යයි. සාගරය පුරා විහිදෙන ඒ හඬ අනුව තවත් පිරිසක් මෙතැනට පැමිණෙති. ඒ, අති දැවැන්තයන් රංචුවකි. උන් හම්ප්බෑක් (මොල්ලි) තල්මසුන්ය. දැන් හුරුල්ලන් රංචුව දඩයම සිදු කරන්නේ මොල්ලි තල්මසුන් රංචුවය. මොල්ලි තල්මසුන්ට ඉඩ දී සෙමින් පසුබෑමට බඩකට පුරවාගත් ඕකා රංචුවට සිදුවෙයි. මොල්ලි තල්මසුන්, ඕකා රංචුව විසින් කොටු කරගත් හුරුල්ලන් වෙත පැමිණෙන්නේ මුහුද යට සිටය. ඉන්පසු කෙළින්ම උන්ගේ යෝධ කට විවර කරමින්, මුහුද මතුපිට දෙසට පැමිණෙන්නේ එක කටට රංචු පිටින් හුරුල්ලන් ගිල දමමිනි. මොල්ලි තල්මසකුගේ එක කටකට යන හුරුල්ලන් ප්‍රමාණය කිලෝ සියයකට වැඩිය. මොල්ලි තල්මසුන් මේ විදියට දඩයම් කිරීමට නවකයන් යැයි සාගර ජීව විද්‍යාඥයෝ පෙන්වා දෙති. සාගර ජීව විද්‍යාඥයන් වැඩිදුරටත් පැහැදිලි කරන අන්දමට, මොල්ලි තල්මසුන් මේ අයුරින් හුරුල්ලන් දඩයම් කරන්නේ පසුගිය දශකයක පමණ කාලයක සිටය. ධ්‍රැව ආශ්‍රිත මේ මුහුදු කලාපය හැමෝටම ඇති තරම් ආහාර ඇති කලාපයක් ලෙස බැලූ බැල්මට පෙනී යයි. ගල්ෆ් දිය රළ නැතිනම් මේ සියල්ල හමාරය.

    image_16c1c9eff0.jpg

    image_7efb14d542.jpg



    ජීවනාලිය

    අප පෘථිවියේ පැවැත්මට සාගර දියවැල් අත්‍යවශ්‍යය. ඒවා අප පෘථිවියේ ජීවනාලියයි. හිරුගේ උණුසුම, සමකයේ සිට ධ්‍රැව ප්‍රදේශ අතරට බෙදා හැරීම සිදු කරන්නේ මේ දියවැල්ය. පෘථිවියේ සෑම අස්සක් මුල්ලකම, ජීවීන්ගේ පැවැත්මට හිතකර දේශගුණික සහ පාරිසරික තත්ත්වයන් නිර්මාණය වන්නේ ඒ අනුවය. යහපත් කාලගුණ තත්ත්වයන් නිර්මාණ කරනවා පමණක් නොව, ඔක්සිජන් නිපදවීමේ ක්‍රියාවලියට පවා සාගර දායක වෙයි. අප පෘථිවිය, හේස් නැතිනම් අප සැමගේ මේ නිවහන නිරෝගීව තැබීමට හේතු සාධක වන්නේ සාගරය. ඒත් අවාසනාවට, අපේ සාගර සම්බන්ධයෙන් කනගාටුදායක තත්ත්වයක් උදා වී තිබේ. වසර මිලියන ගණනක් හොඳින් නිරෝගීව පැවැති සාගර දැන් ඉතාමත් වේගයෙන් වෙනසකට ලක් වෙමින් පවතී. ඒ ‘වෙනස’ ආක්ටික් කලාපය ආශ්‍රිතව පැහැදිලිව දකින්න ලැබේ. පසුගිය අවුරුදු 30 පුරාවට, ගිම්හාන සමයේ දී අයිස් දියවීම කෙමෙන් කෙමෙන් වැඩිවීමට පටන් ගෙන ඇත. මේ අයුරින් ආක්ටික් හිම දියවීම, මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රථිඵලයක් බව පැහැදිලිය. එය මේ කලාපයේ ජීවීන්ට ලොකු බලපෑමක් කිරීමට ද හේතුවක් වී තිබේ.

    මුහුදු ඇතා

    ආක්ටික් කලාපයේ ‘වෙනස’ දරුණු අන්දමින් බලපෑ ක්ෂීරපායී සත්ව විශේෂයක් ලෙස වොල්රස් පෙන්වා දිය හැකිය. වොල්රස් අයත් වන්නේ සීල් (සිංහලෙන් නීවගයන්) අයත් පවුලටමය. සීල් මෙන් නොව, වොල්රස් ප්‍රමාණයෙන් විශාලය. වොල්රස්ගේ කෘන්තක දත් දළ දෙකක් මෙන් පහළට වනසේ පිහිටයි. මේ හේතුව නිසා ‘මුහුදු ඇතා’ යන නමින් ද මෙම සත්වයා හැඳින්වෙයි. වොල්රස් විශේෂ කිහිපයකි. වැඩුණු සෑම ගැහැනු වොල්රස් සතකුම වද වෙන්නේ උන්ගේ පැටවුන්ට ආරක්ෂාව දීම සම්බන්ධයෙනි. අම්මා සහ පැටවා අතර සම්බන්ධය බොහොම සමීප එකකි. වොල්රස් අම්මා සැමවිටම කල්පනාවෙන් සිටින්නේ කිලෝ 80 ක් බර තම පැටවාට විවේක ගැනීමට සුදුසු තැනක් සොයාදීම කෙරෙහිය. මුහුදේ අයිස් පර සහ අයිස් කුට්ටි වොල්රස් සතුන්නේ නිවහන වෙයි. අයිස් කුට්ටි දියවී යද්දී, ගොඩබිම් බලා රංචු වශයෙන් පැමිණීමට වොල්රස් සතුන්ට සිදුවී ඇත. එක පොදියට සිටින සියයකට වැඩි වොල්රස් රංචුවකට පුංචි බිම් කඩක් ප්‍රමාණවත් නොවෙයි. ටොන් ගණනින් බර, සැමවිටම රණ්ඩුවට බර වොල්රස් අම්මලාට ඔවුන්ගේ පැටවුන් ආරක්ෂිතව තබා ගැනීමට මෙවැනි තැන් සුදුසු නොවෙයි. මුහුද මැද අයිස් කුට්ටිවල මෙන් නොව, ගොඩබිමට පැමිණෙන වොල්රස් සතුන් එක පොදියට රංචු ගැසී සිටින්නේ හොඳ හේතුවක් ඇතිවය. ඒ, හේතුව හිම වලසුන්ය.

    අම්මලා දෙන්නෙක්

    හොඳින් වැඩුණු වොල්රස් පිරිමි සතකු හිම වලස් අම්මා (වැලහින්න) ට යෝධයෙකි. එවැනි වොල්රස් සද්දන්තයකු සමඟ හිම වලසකු හැප්පෙන්න යන්නේ නැත. වැලහින්න, සෙමින් සෙමින් ඉව අල්ලමින්, වොල්රස් රංචුවට කිට්ටු වෙන්නේ පැටවකු ගොදුරු කර ගැනීමටය. දඩයක්කාර වැලහින්නගේ ඉව වොල්රස් රංචුවට දැනෙද්දී, උන් නොසන්සුන් වන අතර, වැලහින්නගේ පැමිණීම පිළිබඳ රංචුව අතරේ අනතුරු ඇඟවීමක් සිදුවෙයි. එම අනතුරු ඇඟවීමත් සමඟ වොල්රස් සත්වයෝ වතුරට පසුබා යති. තමන්ට දඩයමක් කර ගැනීමට නොහැකි බව වලස් අම්මාට වැටහෙයි. ඒත් වලස් අම්මාට පැටවුන් දෙදෙනෙකි. ඇය පුංචි පැටවුන් දෙදෙනාට කෙසේ හෝ ආහාර සොයා දිය යුතු වෙයි. වලස් අම්මා අසරණය. තමන්ගෙන් බේරී මුහුදේ පිහිනා යන වොල්රස් පැටවුන් ගැන ඇය කනගාටුවෙන් බලා සිටී. තම පැටවා සමඟ මුහුදට ගිය වොල්රස් අම්මාටත් ගැටලුවකි. දිගටම පිහිනීම සහ කිමිදීම වෙහෙසකරය. වොල්රස් අම්මා ඇගේ පැටවාට විවේක ගැනීමට සුදුසු තැනක් ඉක්මනින් සොයා දිය යුතු වෙයි. හොඳ සවිමත් අයිස් කුට්ටියක් ඇයට දකින්න ලැබේ. ඒත් ඇය ප්‍රමාද වැඩිය. එතැන ඉඩකඩ නැත. ඒ වනවිටත් වෙනත් වොල්රස් අම්මලා කිහිප දෙනකු ඔවුන්ගේ පැටවුන් ද සමඟ පැමිණ අයිස් කුට්ටිය ආක්‍රමණය කර අවසන්ය.

    image_c1f532fcfd.jpg

    image_8be32b66e4.jpg

    image_e51fcdfd42.jpg

    image_0fb82c5244.jpg



    අහිමි නිවහන

    සුදුසු ආරක්ෂිත හැම තැනක්ම වොල්රස් අම්මලා සහ පැටවුන් විසින් අල්ලා ගෙන ඇත. අනෙක් අම්මලා කවුරුත් ඉඩ දෙන්න කැමැත්තක් දක්වන්නේ ද නැත. අපේ වොල්රස් අම්මා වගේමයි, අනෙක් වොල්රස් අම්මලා ද ඔවුන්ගේ විඩාබර පැටවුන් ආරක්ෂා කර ගත යුතුව ඇත. වෙන කරන්න දෙයක් නැත. අපේ වොල්රස් අම්මා බලහත්කාරයෙන් අයිස් කුට්ටියට ගොඩ වෙයි. ඒ, තියුණු දළවලින් පහර දෙමින් අනෙක් අම්මලා විසුරුවා හැරීමට උත්සාහ ගනිමිනි. ඇරැඹෙන එම ගැටුමට අනෙක් වොල්රස් අම්මලා ද එක් වෙති. ඔවුහු දළ වලින් එකිනෙකාට ඇන ගනිති. අන්තිමේදී රංචුවම වතුරට වැටෙයි. මේ වතාවේ කාටවත් දිනුමක් ලැබෙන්නේ නැත. දියවෙන අයිස් කුට්ටි අතරේ ආරක්ෂිත සුදුසු තැනක් සොයා ගැනීම වොල්රස් සතුන්ට ලොකු අභියෝගයකි. එම අභියෝගය දිනෙන් දින අසීරු වෙයි. මිනිස් ක්‍රියාකාරකම් නිසා වාසස්ථාන අහිමි වුණු මේ වොල්රස් සතුන්ගේ හෙට දිනය අවනිශ්චිතය. සාගරය කේන්ද්‍රකොටගත් මේ ජීවීන්ගේ ජීවන රටාව පිළිබඳ සංකීර්ණ තොරතුරු අනාවරණය කර ගැනීමට දිනෙන් දින අපට හැකියාව ලැබෙද්දී, ඔවුන්ගේ වාස භූමි ආරක්ෂා කිරීම පිළිබඳ අප තුළ උන්නදුවක් ඇති කර ගත යුතු වෙයි. හේතුව, අප සැවොම නීල ලෝකයක වැසියන් වන නිසාය.







    ලුසිත ජයමාන්න
     
    • Like
    Reactions: chaturanga836