අරගලය ඉවර ද?
මේ වන විට මර්ධනයේ උපරිමය පසු කොට තිබෙනවා. අරගලයෙන් මතු වූ එයට මූලිකත්වය ගත් සියල්ලන්ම පාහේ කොටු කර නඩු හබ පටලවා නීතියේ රැහැනින් බැඳ දමා තිබෙනවා. ඒ නඩු වලට කෙළවරක් නොමැතිව පෙනී සිටිය නීතීඥයෝ වෙහෙසට පත් වෙලා. ඇතැමුන් තවමත් සිර ගෙවල් වල සිටිය දී තවත් පිරිසක් ඔවුන්ව ද අත් අඩංගුවට ගනු ඇතැයි බියෙන් පසු තැවෙනවා.
ඒ වගේම අරගලය තුල පිළිගත් දේශපාලන පක්ෂ මතු වීමට දැඩි උත්සහයක් දැරුවත්, මේ වන විට ඔවුන්ට එරෙහිව මර්ධනය සෘජුවම ක්‍රියාත්මක වන අයුරු පෙනෙන්නට නෑ. අරගලය තුලින් වාසි සෙවූ ඔවුන් දැන් යම් ආකාරයක දේශපාලන ආරක්ෂාවක් ලබන අයුරු අපිට පෙනෙන්නට තියෙනවා.
ඒ වගේම ඇතැමුන් අරගලය ඉවර දැයි ප්‍රශ්න නගනවා. ඒ ඔවුන් අරගලයට අකමැති වූ නිසා විය යුතුයි. කෙසේ වෙතත් අරගලය අවසන් නොවන්නේ මන්දැයි මා පැහැදිලි කල යුතුයි.
වර්තමාන ආර්ථික අර්බුදයෙන් ඔබ පීඩා විඳින්නේ නම් ඔබ තුල එහි වේදනාව රැඳී තිබෙනවා. ඒ පීඩාව තමන්ගේ ධනය හානී වීම, කුසට අහරක් ලබන්නට තිබූ නිදහස අහිමි වීම, තමන් කැමති ගමනක් බිමනක් යෑමට තිබූ නිදහස අහිමි වීම, දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වීම, තමන්ගේ ව්‍යාපාර පාඩු ලබා විනාශ වීමේ වේදනාව, තමන්ගේ ධනය හානි වීමේ වේදනාව ආදී ඕනෑම එකක් වෙන්න පුළුවන්. ඔබ තුල ඒ වේදනාව කැකෑරෙන තුරු ඔබ තුල අරගලයක් වැඩෙනවා. ඒක ස්වාභාවිකයි. සාමුහික විපලවයක් ලෙස පිටවී යන්නේ ඒ වේදනාවයි.
ඒ වේදනාවට හේතුව මේ දේශපාලන ක්‍රමය බව ඔබට ඒත්තු ගිය විට එම හේතුව උගුල්ලා දමන්නට ඔබ පෙළඹෙනවා. ඔබ විසඳුම් හොයනවා. ප්‍රශ්නයෙන් කැකෑරෙමින් ඉන්න ඔබ සූදානම් නෑ. එවිට ඔබ තුල ඇති අරගලය බාහිරයට පිට වෙනවා. ඔබට එය සාමුහික ප්‍රයත්නයක් කර ගන්න ඕන වෙනවා. මොකද අපි සාමුහිකව ඉල්ලුවොත් පමණයි එය හැබෑ භූමියේ අරගලයක් බවට පත් වන්නේ. එය සාමුහික ප්‍රයත්නයක් කර ගන්න ඔබට අනෙක් පීඩිතයන් රැස් කර ගන්න වෙනවා.
1. ඒකට සම්බන්ධීකරණය කරගන්න ක්‍රමෝපායක් ඕනේ. මිනිසුන් සහ සතුන් අතර ඇති වෙනස තමයි අපිට පුළුවන් විශාල ප්‍රමාණයක් මිනිසුන් සම්බන්ධීකරණය කර ගන්න. ඒකට පොදු මෙවලමක් පාවිච්චි කරන්න ඕනේ. හෑෂ් ටැග් කැම්පේන් එක පාවිච්චි කලේ ඒ වෙනුවෙන්.
2. පොදු විශ්වාසයක් ඕනේ.
අපි හැමෝම විශ්වාස කරන පොදු එකඟතාවක් ඕනේ. GoHomeGota උනේ ඒක. ලංකාවේ හැමෝම ඒකට එකඟ උනා. ඒ නිසා ඒ විශ්වාසය වෙනුවෙන් සාමුහිකව එකතු උනා.
3. බිය තුනී කර ගැනීම.
එකිනෙකා එළියට එන්න, සාමුහිකව ඇති බිය නැති කර ගන්න ඕනේ. ඒ බිය තනි තනිව නැති කර ගන්න අපිට පොඩි පොඩි දේවල් කරන්න ඕනේ. අපි ඒකයි ගිය වර Small Acts of Resistance කියලා වැඩසටහනක් කලේ.
ඔය කරුණු 3 අනුව යමින් අරගලයේ උච්චතම අවස්ථාව පසුගිය ජූලි 9 වන දින පැමිණියා. නමුත් එතනින් එහාට අවශ්‍ය කරන අන යන්න අරහලය තුලින් නායකත්වය මතු වෙතැයි අපි බලාපොරොත්තු උනා. අරගලය තුල ඒ නායකත්වය වටා මිනිසුන් එකතු වී සංවිධානය වනු ඇතැයි අපි බලාපොරොත්තු උනා.නමුත් එසේ කර ගන්නට අපිට ලැබුනේනෑ. අරගලය නායකත්වය ප්‍රතික්ෂේප කලා. සාමුහික වීමට වඩා බෙදී සිටීම තෝරා ගත්තා. දැන් යලිත් රෙජීමය ආරක්ෂා වී තිබෙනවා. ආයේත් අර සුපුරුදු ඇමති මණ්ඩලයම ඔබට ලැබී තිබෙනවා.
රටේ අර්බුදය විසඳෙන ලකුණු පෙනෙන්නට තවම නෑ. ඒකට මේ දේශපාලන ක්‍රමය වෙනස් වෙන්නම ඕනේ. ප්‍රතිසංස්කරණ කෙරෙන්නම ඕනේ. ඒ දේවල් කරන්න ඔබට ආයේ කාලයක් බලං ඉන්න වෙනවා. ඒ සඳහා ඔබට බාදා දෙකක් තිබෙනවා.
1. පලමු වැන්න තමයි පාර්ලිමේන්තුව. එහි සංයුතිය තව දුරටත් ජනතාවගේ මතය නියෝජනය කරන්නේ නෑ. ඒ නිසා හැකි මීළඟ අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයට යැමේ අවශ්‍යතාවය තිබෙනවා. එසේ නම් ඔබ කල යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හඬ නැගීමත්, ඡන්දයෙන් එහි යැවීමට අලුත් නායකයන් තැනීමත්. ඔබේ ශක්තිය මේ කාලයතුල අලුත් නායකයන් තැනීමට යොමු කල යුතු වෙනවා.අලුත් නායකයෝ 50ක් 60 ක් අපිට ඕනේ. රට වටෙන්ම. එසේ නොවුනහොත් අපිට ආයේ යවන්න වෙන්නේ ඒ පක්ෂ වලින්ම පත් ටිකට් එක දීලා එවන අය. පරණ අය. නරක අය අතරින් අඩුම නරක අය.
2. දෙවැන්න තමයි, ප්‍රතිසංස්කරණ විරෝධී ජනතා මතය. මේකත් ලංකාවේ ලොකු බාදාවක්. ලංකාවේ ජනමතය හදලා තියෙන්නේ වාමාංශික අදහස් වලින්. යල් පැන ගිය රාජ්‍ය මූලික, රාජ්‍ය සරණ ගිය , රාජ්‍ය මැදිහත් දේශපාලන ආර්ථික ක්‍රමයකට පෙම් බඳින මිනිස්සු ඉන්නේ. ඒ ජනමතය දේශපාලකයෝ, වෘත්තීය සමිති සහ වාමාංශික කුඩා දේශපාලන කණ්ඩායම් තමන්ගේ වාසියට හසුරවනවා. රටේ බලය කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ තව එක අසුනක් හෝ වැඩි කර ගැනීම රට හදනවාට වඩා ප්‍රමුඛ කර ගත් මේ ඈයෝ හැබෑ විනාශකාරීන්. මේ ජන මතය වෙනස් කර ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදු වෙනවා. එසේ කර ගැනීමට අපොහොසත් නම් අපිට අනාගතයක් නෑ.
ඉතිං, ලිපිය කෙටි කර ගන්න නිසා මා කියන්නේ, අරගලය අවසන් නෑ. ඒක තියෙන්නේ මිනිස්සුන්ගේ හිතේ. ඒක අපි අවිහිංසාවාදීව පිට කලා මාස කීපයක තිස්සේ. නමුත් රෙජීමය එය මායිම් නොකොට යලිත් සුපුරුදු රිද්මයට පැමිණිලා තියෙනවා. අපි යලිත් ඉවසීමෙන් කටයුතු කරමු. වේදනාව පුපුරා යාවි.
අරගලය අවසන් නොවේ. මිනිසුන්ගේ වේදනාව අවසන් වන තුරු අරගලය මිය නොයනු ඇත.
#NoLeftism
#WeneedReforms
#Weneednewleaders
#DissolveSLParliament2023
පැතුම් කර්නර්