අවුරුදු 1000කට පෙරත් ලංකාවේ මිනිස්සු නාට්‍ය &#

Chami_Boy

Member
Jul 6, 2015
671
288
0
අවුරුදු 1000කට පෙරත් ලංකාවේ මිනිස්සු නාට්‍ය &#

අවුරුදු 1000කට පෙරත් ලංකාවේ මිනිස්සු නාට්‍ය බැලුවේ ටිකට් අරන් -
රජගල සෙල් ලිපියෙන් හෙළිවෙයි.


Rajagala.jpg

සෙල්ලිපි හෝ නටබුන් කී සැණින් අපට සිහිවනුයේ අනුරාධපුර, ‍පොළොන්නරුව වැනි ඓතිහාසික නගර බව නොරහසකි. එයට ප්‍රධාන හේතුව ගෙවුණ සියවසේ සිරිලක සිදුකළ පුරාවිද්‍යාත්මක
කැණීම් හා ගවේෂණවලින් බහුතරයක් එම ප්‍රදේශ කේන්ද්‍ර කර සිදුකිරීමත්, ඒවායෙන් සොයාගත් ඓතිහාසික උරුමයන් නොමද ජනතා අවධානයට ලක් වීමත්ය.

එහෙත් හෙළයාගේ පේ‍රෟඪ ඉතිහාසය ඓතිහාසික රාජධානි දෙකකට සීමා වී නොතිබුණ බව දැන් දැන් තහවුරු වෙමින් පවතී. අනාදිමත් කාලයක් පුරා මහ ‍පොළොවට යටවීමෙන්ද, ඝන වනය විසින් ගිල ගැනීමෙන්ද ලෝකයෙන් සැඟව තිබූ හෙළයාගේ අද්විතීය උරුමයන් පිළිබඳ ඓතිහාසික සාධක රැසක් මේ දිනවල අම්පාරට නොදුරු රජගල ප්‍රදේශයේ සිදුකරන කැණීම් මගින් මතුකර ගන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස පුරාවිද්‍යා අංශයේ පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් සමත්ව ඇත.


Rajagala3.jpg

රජගල කැණීම් ජාතියේ අවධානයට යොමු වන්නට පටන් ගත්තේ එම ප්‍රදේශයෙන් ආරාම සංකීර්ණයක නටබුන් හා සෙල්ලිපි සොයා ගැනීමත් සමගය. ක්‍රි.පූ. 01 වෙනි සියවසේ රජ කළ සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස රජ දවස ගොඩනැගූ මෙකී ආරාම සංකීර්ණය ගිරි කුම්බිල තිස්ස පබ්බත විහාරය ලෙසින්ද හඳුන්වයි. ඒ රජගල කැණීම් සම්බන්ධ අතීත තොරතුරුය.

මීට සති කිහිපයකට පෙර රජගල ප්‍රදේශයෙන් තවත් අද්වතීය පුරාවිද්‍යා සාධක කිහිපයක් සොයා ගෙන තිබේ. එලෙස සොයා ගත් දේ අතර ඉතා දුලබ පුරා වස්තුවක් ලෙස සැලකෙන ගල් ඔරලෝසුවක්, ශෛලමය පාත්තර දෙකක් ද ඇතුළුව සෙල්ලිපි ගණනාවක්ද වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

රජගලින් සොයාගත් ගල් ඔරලෝසුව මහා වංශය වැනි ඓතිහාසික මූලාශ්‍රවල කාලසන්ධී යන නමින් හඳුන්වා දෙයි. පැතැලි හැඩයෙන් සහ වෘත්තාකාර පෙනුමින් යුත් මෙම කාලසන්ධිය මතට හිරුඑළිය වැටෙනා ආකාරය නිරීක්ෂණය කර එමගින් වේලාව තීරණය කිරීම සිදුකළ හැක. මීට පෙර අභයගිරි පරිශ්‍රයේ සිදුකළ කැණීම් මගින්ද මීට සමාන කාලසන්ධියක් හමුවී තිබේ.


රජගල ආරාම සංකීර්ණයක් ලෙසින් පැවැති බැවින් මෙම කාලසන්ධිය ද භික්ෂු සමාජයේ ප්‍රයෝජනය පිණිස භාවිතා කළ එකක් විය හැක. විශේෂයෙන්ම ප්‍රධාන ආරාම සංකීරණයෙන් බැහැරව වනගතව භාවනා යෝගීව සිටිනා භික්ෂුන් වහන්සේලාට කාල හෝරා දැන්වීමට සිදුකරණා ගෙඩිය ගැසීමේ ක්‍රියාවට මෙම කාලසන්ධියෙන් වේලාව දැනගන්නට ඇතැයි උපකල්පනය කළ හැක. රජගලින් සොයාගත් මේ කාලසන්ධිය ක්‍රි.ව. පස්වෙනි සියවස හෝ ඊට ආසන්න යුගයකට අයත් එකක් බව ප්‍රදේශයෙන් සොයාගත් සෙසු පුරාවිද්‍යා සාක්ෂිවලට සමාන්තරව සිදුකරනා විශ්‍ලේෂණ මගින් තීරණය කළ හැක.

සෙල්ලිපි සම්බන්ධ රජගලට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ සෙනරත් පරණවිතාන මහතා පවා රජගල සෙල්ලිපි කියවා ඇත. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සහ ඉට්ඨිය මහරහතන් වහන්සේගේ ධාතූන් රජගල ප්‍රදේශයේ නිදන් කර ඇති බව මුලින්ම නිරාවරණය වනුයේ එකී සෙල්ලිපි අනුසාරයෙනි.

මේ දිනවල රජගල සිදුකරන කැණීම්වලදීද සෙල්ලිපි පහකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇත. මෙම සෙල්ලිපි ක්‍රි.ව. 9 වැනි සියවසට අයත් ඒවාය. එම සෙල්ලිපි අනුසාරයෙන් අතීත හෙළයන්ගේ ජීවන රටාවන් හා කලා උරුමයන් පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රාශියක් නිරාවරණය කර ගත හැකිව තිබේ.

රජගල පර්වතය එක ගඩොලින් කරන ලද විහාර දෙකක් තිබි ඇත. එකී විහාර දෙක වටකරමින් මීටර් 80*12 ප්‍රමාණයේ ප්‍රාකාරයක්ද තිබි ඇති අතර නටඹුන්ව ගිය එකී ප්‍රාකාරයේ දොරටුවක් අසලින් සොයාගත් සෙල්ලිපියක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. එකී සෙල්ලිපිය මගින් එම ප්‍රාකාරය ඉදිකිරීමට ධනය පරිත්‍යාග කළ පුද්ගලයකු ගැන කියැවේ.


නාටක සා ගෙහි
ලහශ්නා පළෙළු
දහම් සෙත් වත් හිමියන් .............

ආදී වශයෙන් සටහන් වන එම සෙල්ලිපියේ සරල අරුත නම්

නාටක ශාලා ගබනයේ
සළාක පත් නිකුත් කරනා
දනව් වසන් නමැති අය
මේ ප්‍රාකාරයට රන්
කළඳක් පරිත්‍යාග කර මතු බුදු බව පතයි...

යන්න බව එකී සෙල්ලිපිය කියවූ පුරාවිද්‍යා ප්‍රවීණයෝ පවසති.

මෙම සෙල්ලිපිය මගින් රජගල ආරාම අවට හෝ රාජධානියේ කොතනක හෝ නාටක හෝ නැටුම් රඟ දක්වන ශාලාවක් තිබුණ බව හඳුනා ගත හැක. එපමණක්ද නොව එම ශාලාවේ ළහන්නා කෙනකු (සලාක නිකුත් කරනා) සේවය කර ඇති බවද අපට වටහා ගත හැක. එම නිසා අතීත ලාංකිකයා සතු නාට්‍ය කලා සම්ප්‍රදායක් තිබූ බව අපට වටහා ගත හැක. එපමණක්ද නොව ප්‍රවේශ පත්‍ර (සළාක) ලබා නාට්‍ය නරඹන ප්‍රේක්ෂක පර්ශදයක් අතීත ලංකාවේ තිබූ බවද මෙමගින් වටහා ගත හැක. මේ සියලු සාධක තහවුරු කරන්නේ ක්‍රි.පූ. 9 වැනි සියවසේ තරම් ඈත යුගයේ පවා ලාංකිකයා සතු දියුණු නාට්‍ය සම්ප්‍රදායක් මෙන්ම නාට්‍ය නරඹන සංස්කෘතියක් අපට උරුමව තිබූ බව නොවේද?
මෙම සාධක වඩාත් වැදගත් වනුයේ අතීත ලාංකිකයා සතුව ප්‍රාසාංගික නාට්‍ය කලාවක් නොතිබෙන්නට ඇතැයි වර්තමාන නාට්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා දරනා මතය වැරදි සහගත බව මෙම සෙල්ලිපිය මගින් තහවුරු වන නිසාය.
රජගලින් සොයා ගත් දැවැන්ත ශෛලමය පාත්තර දෙකද සුවිශේෂී තැනක් ගනී. වැඩුණු පුද්ගලයන් පස්දෙනකුට පමණ ඉඩකඩ සහිතව සිටිය හැකි තරමට විශාල මෙම ශෛලමය පාත්තර ජලය ගබඩා කිරීමට යොදා ගන්නට ඇති බව විශ්වාස කළ හැක. මෙම පාත්තර වෙත පිටතින් ජලය ගෙනවිත් ගබඩා කර තබන්නට ඇතැයි සිතිය හැක. එලෙසින් ජලය පිටතින් ගෙන ඒමට භාවිත යැයි සැලකෙන භූගත ජල මාර්ගයක්ද සොයා ගැනීමට හැකිව ඇති අතර ඉදිරියේදී ඒ සියල්ල පුරාවිද්‍යානුකූලව තහවුරු කිරීමට මෙම කැණීමට දායක වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් බලා‍පොරොත්තු වෙයි.

ප්‍රධාන මාර්ගයෙන් කි.මී. 10ක් පමණ ඈතට වන්නට ඝන වනාන්තරයක්ද මැද සිදුකරනා මෙම දුෂ්කර අභ්‍යාසයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසු සිසුවියන් කණ්ඩායමක් සක්‍රීයව දායක වෙයි. මේ අසීරු ව්‍යායාමය ඔවුනට ලැබ දෙන්නේ මිල කළ නොහැකි අත්දැකීමකි. මහාචාර්ය පී.බි. මඩවල මහතා මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබන අතර මහාචාර්ය පද්මසිරි කන්නන්ගර හා ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මෙහි උපදේශකවරුන් ලෙස ක්‍රියාකරයි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ඉතිහාසය අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඇතුළු ඇදුරුමඩුල්ලක් මෙම කැණීම් ව්‍යාපෘතියට අඛණ්ඩව සම්පත් දායකත්වය ලබාදෙයි.



උපුටා ගැනීම :- http://denethharinna.blogspot.com/2015/09/1000.html
 
  • Like
Reactions: Garrus